ශ්‍රී ලාංකිකයන් ලෙස සියලුම ජාතීන් එකමුතු කිරීමට මේ වනතෙක් පැවති කිසිදු රජයක් සමත්වී නොමැති බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා පවසයි. වර්තමාන දේශපාලන තත්ත්වය සහ උතුරු නැගෙනහිර ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් අපි ඔහු සමග සාකච්ඡා කළෙමු.
උතුරු නැගෙනහිර ජනතාවගේ සහභාගීත්වයෙන් ඔබලා දැවැන්ත පාගමනක් පැවැත්වුවා. එහි අරමුණ වුණේ කුමක්ද?
අරමුණු 10ක් මුල්කර ගනිමින් අපි මේ පාගමන පැවැත්වුවා. උතුරු නැගෙනහිර ජීවත්වන ජනතාවගේ ගැටලු, ද්‍රවිඩ භාෂාව කතාකරන ජාතීන්ගේ තිබෙන ගැටලු මූලික කරගනිමිනුයි එය පැවැත්වුවේ. ඒ සඳහා ද්‍රවිඩ මුස්ලිම් ජනතාව විශාල පිරිසක් සහභාගී වුණා. උතුරු නැගෙනහිර දේශපාලන සිරකරුවන් ලෙස වසර ගණනක් සිරගත කරගෙන සිටින පිරිස නිදහස්කරන ලෙස ඉල්ලමින්, ඒ වගේම අතුරුදන් වූවන් සම්බන්ධයෙන් නිසි පිළිතුරක් ඉල්ලීමත් එහි අරමුණ වුණා. ඔවුන්ට මොකද වුණේ කියලා දැනගන්න අවශ්‍යයි. මොකද ඉක්මනින් එන්නම් කියලා ගෙදරින් ගිය පුතාලා ගෙදර එයි කියලා අම්මලා තාම බලාගෙන ඉන්නවා. ඒ වගේම සාමාන්‍ය ජනතාවට අයිති ඉඩම් බලහත්කාරයෙන් අරගෙන තිබෙනවා. පාස්කු ප්‍රහාරයට අත්අඩංගුවට ගත්තු මුස්ලම් ජාතිකයෝ පිරිසක් තවමත් රඳවාගෙන ඉන්නවා. ඔවුන්ට නඩු දාන්නෙ නැතිව හිරේ තියාගෙන ඉන්නවා. වතුකරයේ දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳිලා නැහැ. මෙවැනි සියලු ගැටලු මුල්කරගෙන අපි පාගමන සංවිධානය කළා. මිනිස්සු ලක්ෂ 05ක් පමණ පිරිසක් මෙයට එකතු වුණා. මේ ගැටලුවලට විසඳුම් දෙන්න කියලා අපි රජයෙන් ඉල්ලීමක් කළා.
බොහෝ දෙනෙක් දැන් කියනවා යුද්ධය අවසන් වුණ නිසා දෙමළ මිනිස්සුන්ට දැන් කිසිම ගැටලුවක් නැහැ කියලා. නිදහස ලැබුණු දා ඉඳන් ජනතාවට තිබුණු ගැටලුවලට විසඳුමක් ලැබුණෙ නැති නිසා තමයි උතුරු නැගෙනහිර යුද්දෙ පටන් ගත්තේ. දැන් යුද්ධය අවසන් උනත්, ඒ ගැටලු තවමත් තිබෙනවා. දෙමළ ඊලම ඉල්ලීම හෝ වෙන රාජ්‍යයක් ඉල්ලීමක් නෙවෙයි අපි කරන්නේ. අපි කියන්නේ දෙමළ ජනතාවට තිබෙන ප්‍රශ්න විසඳලා දෙන්න කියල විතරයි.
නමුත් දේශපාලන සිරකරුවන් ලෙස කිසිවෙකු නැහැ කියලා රජය ප්‍රකාශ කර තිබෙනවා. ඔබ පවසන්නේ එය පිළිගත නොහැකියි කියාද?
ඒ කතාව පිළිගන්න බැහැ. මොකද දේශපාලන වැඩකටයුතු කරද්දි අත්අඩංගුවට ගත්තු අය ඉන්නවා. ඔවුන් සිරගත කරගෙන ඉන්නේ පෞද්ගලික වැරැද්දක් නිසා නෙවෙයි. අතීතයේ ජනතා විමුක්ති පෙරමුණ තමන්ගේ ප්‍රශ්නවලට විසඳුම් ඉල්ලන්න ආයුධ ගත්තා වගේම තමයි එල්ටීටීඊ එකත් ආයුධ ගත්තේ. නමුත් ඒ කාරණා හරි කියලා අපි කියන්නේ නැහැ. දෙමළ ජාතික සන්ධානය ලෙස අපි ප්‍රජාතන්ත්‍රවාදය තුළ ප්‍රශ්න විසදාගන්න උත්සාහ කරනවා. එල්ටීටීඊ යැයි සැකපිට අත්අඩංගුවට ගත්තු අය තාම ඉන්නවා. ජෝසප් පරරාජසිංහම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මීනීමරපු චෝදනාවට අත්අඩංගුවට ගත් පිල්ලයාන්ව නඩුවත් ඉවත් කරලා නිදහස් කරලා තියෙනවානේ. ඔහුව අත්අඩංගුවට ගත්තෙත් මේ නීතිය යටතේම තමයි. පිල්ලයාන් දේශපාලන සිරකරුවෙක් කියලා දැන් ආණ්ඩු පැත්තෙම මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ කියනවා. ජනතා ඡන්දයෙන් තේරීපත්වුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මරණයට ලක්කිරීම සම්බන්ධයෙන් අත්ඩංගුවට ගත් පුද්ගලයන් දේශපාලන සිරකරුවෙක් වෙලා. නමුත් තමන්ගේ දේශපාලන අයිතීන් වෙනුවෙන් හඬනැගීම වෙනුවෙන් අත්අඩංගුවට පත්වෙලා ඉන්නවා නම් ඔවුන් දේශපාලන සරකරුවෝ නෙවෙයි කියලද මේ කියන්නේ. ඒක පිළිගන්න බැහැ. මොකද මේ සමහර අයට නඩු දාලත් නැහැ. වැරැද්දක් කළා නම් නඩු දාලා ඒවා අවසන් කරන්න ඕන. නමුත් ඇත්තටම ඒ වැරැද්දට හිරේ සිටිය යුතු කාලයටත් වඩා කාලයක් ඔවුන් දැන් හිරේ ඉන්නවා. ඔවුන්ව නිදහස් කරන්න කියලයි අපි ඉල්ලා සිටින්නේ.
උතුරේ ඉඩම් ගැටලුව ගැන කතා කළොත්?
උතුරේ ඇතැම් පාසල් තිබෙනවා, ඒවා තවමත් හමුදා කඳවුරු ඇතුළෙ තියෙන්නේ. කලවන්චුලි නගරයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, තැපැල් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන බොහොමයක් තිබෙන්නේ හමුදා කඳවුර ඇතුළේ. හමුදාවට කඳවුරක් අවශ්‍ය නම් ඒක පවත්වාගෙන යනවාට අපි විරුද්ධ නැහැ. නමුත් නගරය මැද තිබෙන මේ ඉඩම් ටික නිදහස් කරන්න බැරිකමක් නැහැනේ. ඒ වගේ පෞද්ගලික ඉඩම්වල හමුදාව තවමත් ඉන්නවා. ඔබ මෙහෙම හිතන්න, ඔබේ පාරම්රිකව තිබුණු ඉඩමක් ඔබට තිබියදී එහි ජීවත් වෙන්න ඉඩදෙන්නේ නැතිව වෙන කොහේ හරි ඉන්න කියලා කිව්වොත් ඔබ ඒකට කැමති වෙනවද? රටේ යුද්ධයක් තිබෙනවා නම් ආරක්ෂක හේතූන් මත ඒවා ගත්තා කියලා අපිට කියන්න පුළුවන්. එහෙමනම් අපි විරුද්ධ වෙන්නෙ නැහැ. යුද්දෙ ඉවරවෙලා දැන් අවුරුදු 12ක් ගතවෙලා තිබෙනවා. ජාතික ආරක්ෂාව ශක්තිමත් කරලා තියෙනවා කියලා වත්මන් ආණ්ඩුව කියනවා. උතුරේ ජාතික ආරක්ෂාවට මේ විදිහට කඳවුරු ගහන්න ඕන කියලා කියනවා නම්, චීනයෙන් පාලනය කරන හම්බන්තොට වරාය අසල අපි කඳවුරු 1000ක් විතර ගහන්න ඕන. ලංකාවේ දෙමළ මිනිස්සු ඉන්නේ පොඩි ප්‍රමාණයක්. ඒ පොඩි ප්‍රමාණයට බයේ අක්කර දහස් ගණනක හමුදා කඳවුරු හදනවා නම්, ලෝකයේ ප්‍රබලම හමුදාවක් ඉන්න රටකට හම්බන්තොට වරාය දීලා තියෙද්දි අපේ ඉන්න හමුදාවේ හැමෝම වරාය වගේ කඳවුරු දාල තියන්න වෙයි.
උතුරේ ජනතාව සම්බන්ධයෙන් දකුණේ දේශපාලඥයන් දක්වන අදහස් පිළිබඳ ඔබ දකින්නේ කෙසේද?
දකුණේ සමහර දේශපාලඥයෝ අපි පාගමන ගිය නිසා සතුටු වෙනවා කියලා අපිට දැනගන්න ලැබුණා.මොකද දකුණේ මිනිස්සුන්ට ඒ ගැන වැරදි අර්ථකථන දීලා ඔවුන්ගේ ජාතිවාදී දේශපාලනය තවදුරටත් කරගෙන යන්න පුළුවන් නිසා ඔවුන් සතුටු වෙනවා කියලා අපිට දැනගන්න ලැබුණා. අපේ පාගමනට ලක්ෂ ගණනක් ජනතාව සහභාගී වුණා. නමුත් කිසිම කෙනෙක් කිසිම පුද්ගලයෙකුට හෝ කිසිම දේපළකට හානි කළේ නැහැ. පාගමන ආරම්භයේ සිට අවසානය දක්වා කිලෝමීටර් 700ක දුර මම ඇවිද්දා. කිසිම ප්‍රශ්නයක් ඇතිවුණේ නැහැ. නමුත් ඒ ගැන දකුණට වැරදි චිත්‍රයක් පෙන්වන්න උත්සාහ කිරීම වැරදියි.
උතුර, දකුණ බෙදීම නිසා රටක් ලෙස තවදුරටත් අපිට සිදුවෙන්නේ පාඩුවක් නේද?
ඒක සම්පූර්ණයෙන්ම ඇත්ත. රටක් විදිහට ශ්‍රී ලංකාව, ශ්‍රී ලාංකිකයෝ විදිහට හැමෝම එකට කටයුතු කරන්න කියල තමයි අපිත් මේ කියන්නේ. ශ්‍රී ලාංකික කියන අනන්‍යතාවය තහවුරු කරන්න මේ කියන ගැටලු නිරාකරණය කරන්න කියලා තමයි අපිටත් කියන්න තිබෙන්නේ. ඒක කරන්න පුළුවන් බලයේ ඉන්න පාර්ශ්වයට විතරයි. මන්ත්‍රීවරුන් දහයක් පහළොවක් ඉන්න අපේ කණ්ඩායමට ඒක කරන්න බැහැ. ජනතාවට තිබෙන ගැටලු අමතක කරලා අපි හැමෝම ශ්‍රී ලාංකිකයෝ කියලා කියන්න බැහැනේ. නිදහස ලබපු දා සිට අවුරුදු හැත්තෑ ගණනක්ම මේ දේනේ අපිට කියන්න වෙලා තියෙන්නේ.
ඔබේ මතයට අනුව පළාත් සභා ක්‍රමය රටකට අවශ්‍යද?
වෙනම රටක් ඉල්ලනවා වෙනුවට සියලුම දේශපාලන පක්ෂ එකම රටක දේශපාලනයට යොමු වුණේ පළාත් සභා ක්‍රමය නිසා. බලය බෙදාහැරීමේ ආරම්භක පියවරයක් ලෙස පළාත් සභා ක්‍රමය හඳුන්වන්න පුළුවන්. අද රටේ ජාතික පාසල් තිබෙනවා, පළාත් පාසල් තිබෙනවා. නමුත් අද සෑම පළාත් පාසලක්ම උත්සාහ කරන්නේ ජාතික පාසලක් බවට පත්වෙන්න. ඒ මොකද ප්‍රතිපාදන වැඩිපුර දෙන්නේ ජාතික පාසල්වල. පළාත් සභා තියාගෙනත් එවයින් වැඩක් වෙන්නේ නැතිනම් පළාත් සභා ආරම්භ කිරීමේ අරමුණ ඉෂ්ට වෙන්නේ නැහැ. ඒ නිසා පළාත් සභා ශක්තිමත් කළයුතු වෙනවා.
සංහිඳියාව මානව හිමිකම් පිළිබඳ යළිත් කතා වෙමින් තිබෙනවා. රටේ මානව හිමිකම් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ඔබේ දැක්ම කෙබඳුද?
රටක් උනාම ඒ රටට යම් ප්‍රතිරූපයක් තිබෙනවා. එය දිගටම පත්වාගෙන යා යුතුයි. එක පවුලක්, පුද්ගලයෙක් යම් දෙයක් වෙනස් කළොත් ඒක මුළු ලංකාවටම බලපානවා. ඒක රටේ අනාගතයත් සමග සෙල්ලම් කිරීමක් විදිහටයි අපි දකින්නේ. අපේ මානව හිමිකම් කඩවෙලාද නැද්ද කියලා හොයලා බලලා මානව හිමිකම් කඩවෙලා නැතිනම් ඒ ගැන කියන එක අපේ වැඩක්. යුද්ධයක් කරද්දි අනිවාර්යෙන්ම මානව හිමිකම් කඩවෙන්න ඉඩ තියෙනවා. මානව හිමිකම් කඩවෙන්නේ නැතිව යුද්ධයක් ඉවර කරනවා කියන්නේ අමාරු වැඩක්. හමුදාවක් විදිහට සමූහයක් යුද්ධයක් කරද්දි එක්නෙක් දෙන්නෙක්ගේ අතින් වැරදි වෙන්න පුළුවන්. වැරදි වුණා කියලා මම කියන්නේ නැහැ. වැරදි වෙන්න පුළුවන්. ඒවාගැන හොයලා බලන්නේ නැතිව එහෙම දෙයක් වුණේ නැහැ කියලා කිව්වා. ඊට පස්සේ 2015දී කිව්වේ මානව හිමිකම් කඩවීමක් උනාද කියලා හොයල බලන්නම් කියලා. ආයෙ දැන් කියනවා එහෙම හොයල බලන්න කැමති නැහැ කියලා. මෙහෙම උනාම ජාත්‍යන්තරයට යන්නේ ලංකාව පිළිබඳ වැරදි අදහසක්. රටක එක ප්‍රතිපත්තියක් තිබිය යුතුයි. 2010 ඉඳන් 2021 වෙනකම් ආණ්ඩු මාරු වෙද්දි මානව හිමිකම් ගැන එක එක කතා කියනවා. උදාහරණයක් විදිහට අපේ නිෂ්පාදන වැඩිම ප්‍රමාණයක් මිලදී ගන්නේ ඇමරිකානු සහ යුරෝපීය රටවල්. නමුත් අපි චීනයෙන් ණය ගන්නවා. අපේ කිසිම දෙයක් චීනය ගන්නෙ නැහැ. අපේ නිෂ්පාදන මිලදී ගන්න රටවල් තරහ කරගන්නේ ඇයි. අපේ පැත්තෙන් වැරදි සිදුවුණාද කියලා හොයල බලන්න ඇයි අපි බය වෙන්නේ. ඒ ගැන හොයල බලන්න ලංකාවේ ආණ්ඩුව බය වෙනවා නම් ඒ කියන්නේ එතැන සැකයක් තිබෙනවා. මම බය නැතිව කතා කරන්නේ මගේ වැරදි නැති නිසා. මගේ වැරදි තියෙනවා නම්නේ මම බය වෙන්නේ. එහෙම නේද?
දෙමළ ජාතික සන්ධානය ලෙස ඔබලාගේ ඉදිරි කටයුතු කෙසේ වේවිද?
දෙමල ජාතීන්ගේ ප්‍රශ්නය වෙනුවෙන් විතරක් දේශපාලනය කරන්නේ නැතිව ලංකාවේ ජනතාව වෙනුවෙන් පෙනී සිටින එකම පක්ෂය අපි විතරයි. අපි කිසිම දවසක අමාත්‍යාංශ බාර අරගෙන ආණ්ඩුවට එකතුවෙලා කටයතු කරලා නැහැ. එහෙම කරන්න මේ හැමෝගෙන්ම අපිට ආරාධනා ආවා. නමුත් අපි හැමදාම ජනතාව වෙනුවෙන් පෙනී ඉන්නවා.
ඒ නිසා මම කියන්නේ තව තවත් මේ ගැටලු වැඩි කරගෙන පටල ගන්නෙ නැතිව අපි රටක් විදිහට ඉස්සරහට යන්න කටයුතු කරමු කියලා. එහෙම නැති උනොත් අපිටත් පුළුවන් ගැටලු ඇතිකරන්න. ආණ්ඩුවටත් පුළුවන් ගැටලු ඇතිකරන්න. නමුත් රට එක තැන පල් වේවි.