පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම දේශපාලන පළිගැනීමක් බවට මේ වනවිට විපක්ෂය මත ඉදිරිපත් කරමින් පවතී. මේ ඒ සම්බන්ධව සහ වත්මන් දේශපාලන වාතාවරණය සම්බන්ධව වාරිමාර්ග, ග්‍රාමීය සංවර්ධන, නව රාජ්‍ය අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා සමග කළ සංවාද සටහනකි.
වත්මන් දේශපාලන වාතාවරණය සම්බන්ධව ඔබතුමන්ගේ අදහස කෙබඳුද?
නව ජනාධිපතිවරයෙක් පත්වෙලා ජනතාව බලාපොරොත්තු රාශියක් ඇතිකරගෙන තිබෙනවා. නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අමාත්‍ය මණ්ඩලය සීමා කිරීම හා විවිධ ක්ෂේත්‍ර තුළ ගත්ත ක්‍රියාමාර්ග ජනතාව අතරේ ජනප්‍රිය තීරණ බවට පත්වෙලා තියෙනවා. ඒ ගැන අපි සතුටු වෙනවා.
එම්.සී.සී. ගිවිසුම සම්බන්ධව නවතම තොරතුරු මොනවාද?
අපි විපක්ෂයේ හිටිය කාලේ පැහැදිලිව කිව්වා එය රටට හිතකර ගිවිසුමක් නෙමෙයි කියලා. දැන් මේ සම්බන්ධව රට තුළත්, පක්ෂය තුළත් විවිධ මත ඉදිරිපත් වෙලා තිබෙනවා. ඒ මතවාද විභාග කරලා තමයි අවසන් තීරණයකට එළැඹෙන්නේ.
නමුත් නව රජය එම ගිවිසුම අත්සන් කිරීමට පිඹුරුපත් සකස් කරන බවට විපක්ෂය චෝදනා නගනවා ?
විපක්ෂය මොන කතා කිව්වත් තාම අවසන් තීරණයක් අරගෙන නැහැ. සියලු කාරණා සලකා බලලා රටේ යහපත වෙනුවෙන් ගතයුතු ක්‍රියාමාර්ගය ඉදිරියේදී අපි ගන්නවා. මේ රජය රටට අයහපතක් කරන රජයක් නෙමෙයි කියලා ජනතාව දන්නවා. ඒ නිසා තව ටිකක් බලා ඉන්න සිදුවෙනවා.
පාඨලී චම්පික මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම දේශපාලන පළිගැනීමක් ලෙසින් විපක්ෂය චෝදනා නගනවා?
මේ ප්රශ්නය කාලාන්තරයක් තිස්සේ ඇදිලා ඇදිලා ඒ මන්ත්‍රීවරයා අයුතු බලපෑම් කරලා යටපත් කළ බවක් තමයි දිගින් දිගටම ජනතාව අතර තිබුණ මතය. ඒක මතුවෙලා නැවත වාරයක් එළියට ආවම ඒක දේශපාලන පළිගැනීමක් වෙන්නේ කොහොමද. එය රටේ නීතිය ක්‍රියාත්මක කිරීමක්.
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට පෙරම තෙවැනි වරටත් ඇප අයදුම්පතක් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා ?
ඒක තමන්ගේ අයිතිය. තමුන්ගේ හිත දන්නවනේ තමුන් වැරදි කළා කියලා. ඒ නිසා ඒ වගේ අයදුම්පතක් ඉල්ලා සිටීම ගැන අපි පුදුම වෙන්න ඕන නැහැ. අපි බලන් ඉමු අධිකරණය මොන වගේ තීරණයක් ලබාදෙයිද කියලා.
එජාපයේ නායකත්ව අර්බුදය ඔබ දකින්නේ කුමන ආකාරයෙන්ද?
එම පක්ෂයේ නායකත්ව අර්බුදයක් පිළිබඳ අහන්න, දකින්න ලැබෙනවා. නමුත් පක්ෂ ඇතුළේ මොනවා වෙනවද කියලා දන්නේ නැහැ. කොහොම වුණත් එජාපය තමන්ගේ අර්බුද විසඳා ගන්නවානම් හොඳයි කියන එකයි මගේ අදහස.
විපක්ෂනායකත්ව ධුරය සජිත් ප්‍රේමදාස මහතාට පිරිනමන බවට මත පළවුණත් එයත් තවම නිශ්චිත නැහැ?
විපක්ෂනායකත්වය සම්බන්ධව තවමත් අවසන් තීරණයක් ප්‍රකාශ කරලා නැහැ. කථානායකතුමන් තමයි අවසන් තීරණය ප්‍රකාශ කරන්නේ. මං හිතන්නේ ජනවාරි 3 වැනිදා පාර්ලිමේන්තුව රැස්වුණාම මේ ප්‍රශ්නයට විසඳුමක් ලැබෙයි කියලා.
අමාත්‍ය මණ්ඩලය සීමා කරන බවට මත පළ වුණත් රාජ්‍ය ඇමතිවරු විශාල ප්‍රමාණයක් දිවුරුම් දී තිබෙනවා. මේ සම්බන්ධව ඔබේ අදහස ?
ඇමති මණ්ඩලය ජනාධිපතිතුමා 15කට සීමා කරා. නමුත් එක් ඇමතිවරයෙකුට තියෙන වපසරිය විශාල නිසා රාජ්‍ය ඇමතිවරු පත්කළා ඒ අමාත්‍යවරුන්ට උදවු කරන්න. එයයි සිදුවුණේ.
ඔබතුමන්ලා විපක්ෂයේ සිටියදී ටොප් ටෙන් නමින් වංචා දූෂණ හෙළි කිරීමක් සිදුකරාට තවම එයට නිතීය ක්‍රියාත්මක කර නැහැ ?
ඇත්තටම ඔව්. පැහැදිලිවම කියන්න ඕන අපි ඒ කාලේ කළ පැමිණිලි කිසිවක් තවමත් අල්ලස් හා දූෂණ එකෙන් විභාග කරලා නැහැ. ඒ වෙනුවෙන් හෙට හෝ අනිද්දා මේවා මේ තරම් පරක්කු ඇයි කියලා කොමිසමට ගොස් අහනවා. මේවා පරක්කු වෙලා තියෙන්නේ දේශපාලන බලපෑම් නිසයි.
දැන් බලයේ සිටින්නේ එම පැමිණිලි ඉදිරිපත් කළ ඔබතුමන්ලා ?
බලය තිබුණට අපි අල්ලස් හා දූෂණ කොමිසම වේවා, වෙනත් ආයතනයකට වේවා බලපෑම් කරන්නේ නැහැ. පසුගිය රජය තමයි එහෙම බලපෑම් කළේ. ප්‍රතිපත්තියක් හැටියට අපේ රජය එවැනි දෑ කරන්නේ නැහැ. අපි කරන්නේ අපේ අයිතිය වෙනුවෙන් ප්‍රශ්න කරන එක විතරයි.
එළැඹෙන මහ මැතිවරණයට ඔබලාගේ තිබෙන සූදානම කෙසේද?
අපි මැතිවරණයට සූදානම් වුණේ වසර ගණනාවකට කලින් ඉඳන්, ඒ සූදානම් වීම තුළ අපි විශාල ජයග්‍රහණයක් ලබන්න බලාපොරොත්තු වෙනවා. පැහැදිලිවම එහිදී තුනෙන් දෙකක බලය ලැබේවි කියලා අපි විශ්වාස කරනවා.
එම මැතිවරණයේදී ඔබ පක්ෂය තරග කරන්නේ කුමන ලකුණින්ද?
අපි ඉදිරි මහ මැතිවරණයට පොහොට්ටුව ලකුණින් තරග කළ යුතුයි කියලයි අපේ ඉල්ලීම වුණේ. මොකද අපි පාළාත් පාලන මැතිවරණයක් සහ ජනාධිපතිවරණයක් ජයග්‍රහණය කළේ එම ලකුණින්. එම නිසා එම ලකුණයි ඉදිරියට ගෙන යා යුත්තේ.
එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම ලකුණකින් තරග කරනවාද?
අපි ඒ ගැන තවම දන්නේ නැහැ. ඒ පක්ෂයේ අය ඒකට අදාළ තීන්දු තීරණ ගනීවි. අපි තරග කරන්නේ පොෙහාට්ටුව ලකුණින්.
ඔබ පක්ෂය එම මැතිවරණය ජයග්‍රහණය කළෝතින් ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකරනවාද?
රනිල් වික්‍රමසිංහ මහත්තයා ව්‍යවස්ථාව වෙනස් කළේ රටේ යහපත ගැන හිතලා නෙමෙයි. එතුමාගේ පුද්ගලික පහසුව තකා. ඒකෙන් රට තුළ දැවැන්ත අර්බුද මේ මොහොත වෙනකොට ඇතිවෙලා තිබෙනවා. ඒ නිසා ගැටලු නිරාකරණය කරගත හැකි, රටට ඔබින, සියලුදෙනාම කැමති, ව්‍යවස්ථාවක් ඇතිකර ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා.
ඒ කියන්නේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරනවාද?
පැහැදිලිවම 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අපේ රටේ විලෝපන රාශියක් ඇතිකරලා තිබෙනවා. එය අවලංගු කරන්න ඕන කියන මතයේ අපි ඉන්නවා. ඒ වගේම ජනතාව තුළ විශ්වාසයක් තියෙනවා ගෝඨාභය රාජපක්ෂ මහතා රට වෙනුවෙන් වැඩකරන නායකයෙක් කියලා. ඔහු තමන්ගේ පුද්ගලික අවශ්‍යතා ගැන හිතනවාට වඩා රට, ජාතිය ගැන හිතන නායකයෙක් නිසා එතුමා යටතේ ඇතිවන ව්‍යවස්ථාවක් තුළ විශාල බලාපොරොත්තු රාශියක් ජනතාව තුළ පවතිනවා.
එවිට මැතිවරණ ක්‍රමය සහ ජනාධිපති ධුර කාලයේත් වෙනසක් සිදුකෙරෙනවාද?
අනිවාර්යෙන් මැතිවරණ ක්‍රමය වෙනස් විය යුතුයි. එය වෙනස් වෙන ආකාරය සම්බන්ධව සාකච්ජා පවතිනවා. අපි යෝජනා කළේ කොට්ඨාස ක්‍රමය සහ අනුපාත ක්‍රමය දෙකම සම්මිශ්‍රණය කරගෙන මැතිවරණයක් පැවැත්වුවහොත් ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු වෙයි කියලා. ජනාධිපති ධුර කාලය ගත්තම සමහරු කියනවා ජනාධිපති ධුරයක් රටට අවශ්‍ය නැහැ කියලා. ඉතින් වැඩි දෙනෙක් ගන්නේ එම තීන්දුව නම් අපිටත් එයට එකඟවෙන්න වෙනවා. ඉදිරියේදී ඒ පිළිබඳව තීරණයකට එළැඹීමට නියමිතයි.
ඔබලාගේ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව මතක් කළොත්?
ඉදිරි මැතිවරණයට අපි සූදානම් වෙනවා. ජනතාව අපිට වසර 5කට බලය ලබාදුන්නට පස්සේ ජනතා සේවයට ඇපකැප වෙලා කටයුතු කරනවා. ඒ නිසා ජනතාව අපිට සහයෝගය ලබාදේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මොකද රටේ වෙනස්කම් රාශියක් ඇතිවිය යුතුයි.