නව ආණ්ඩුවේ පළමු කාර්ය වන්නේ මැතිවරණ වේදිකාවේ පොරොන්දු වු පරිදි ව්‍යවස්ථා සංශෝධනයකට යාම බව ආණ්ඩුව පවසයි. එබැවින් පවතින ව්‍යවස්ථාව සහ නව සංශෝධනය කෙබඳු විය යුතුදැයි යන්න සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ හිටපු මහාචාර්ය සිසිර පින්නවල මහතා සමග අද අප සිදුකළ විමසුමකි මේ.
ව්‍යවස්ථාව ගැන ඇහෙන කතාබහ මොකක්ද?
ඉදිරි දෙසතිය තුළ පළමු කැබිනෙට්ටුවට 19ට අදාළ සංශෝධන ඉදිරිපත් කරන බව නව අධිකරණ ඇමතිවරයා පැවසුවා. අලුත් ව්‍යවස්ථාවක්ද, 19 සංශෝධනයද, නැත්නම් 18ද කියන කතාව පහුගිය දවස්වල ඇහුණු දෙයක්.
අලුත් එකක් ගෙනෙනවා නම් තියෙන ඒවායේ සංශෝධනයක් අවශ්‍ය නැහැ. එහෙම වෙනකොට දැන් තියෙන අර්බුදගතයි කියන ඒවා ඉබේම අහෝසි වෙනවා. 19 සංශෝධනයක් නම් ඒක ධනාත්මකව සිතිය යුතු කරුණක්. මොකද බැසිල් මහත්මයා කීවේත් 19 තියෙන අඩුපාඩු නිවැරැදි කරගනිමු කියලයි.
එහෙම වෙනවා නම් එය කෙසේ විය හැකිද?
ඇත්තෙන්ම එහෙම වෙනවා නම් හොඳයි. අපි පක්ෂ වශයෙන් නෙවෙයි. අවශ්‍යතාව අනුව යහපත් පැත්තෙන් සිතිය යුතුයි. මොකද 19දී යම් ව්‍යවස්ථා අර්බුදයක් මතුවුණා. එය එදා සිදු වූ ප්‍රමාදයක් හැටියට හිටපු ජනාධිපතිවරයාත් දකිනවා. නමුත් එහි හොඳ දේවල් නැත්තෙත් නැහැ. ජනාධිපතිවරයෙකුගේ කාලය එතුමාම සීමා කරගත්තා. එක් අයෙකුට ඉදිරිපත් විය හැකි අවස්ථා ගණන වගේ දේවල්ද එතැන තිබුණා.
ස්වාධීන කොමිසම් ගැන කතා කළා. ඒ එහෙම වුණත් ප්‍රායෝගිකව අත්විඳිනකොට අඩුපාඩු නිවැරදි කළ යුතු බව පෙනෙනවා නම් දැන් එය කළ යුතුයි.
එහෙම නොවුණොත් මේ ව්‍යවස්ථාව මෙසේ තබාගත යුතුද? මේ අර්බුද තවදුරටත් පවත්වා ගත යුතුද? පවතින ජනවරම තුළ එය යහපත් ආකාරයෙන් නිදොස් කළ යුතු තැන් නිවැරදි කර ගැනීමේ අවස්ථාව මග හැරී යනවා. මගේ අදහස කොහොම වුණත් 19 වෙනස් කිරීම හෝ අහෝසි කිරීම නැතිනම් ඒ වෙනුවට 20ක් පැමිණීම හොඳයි.
18 වන ව්‍යවස්ථාවට මොකද වෙන්නේ?
මෙතෙන්දී 19 එක්වරම අයින් කළොත් 18 බලාත්මක වෙයි. 18 කියන්නේ ඉතා භයානකයි. එහෙම නම් ඒ වරද නිවැරදි විය යුතුයි. ඒ වරද නිවැරදි කරන්න හදපු 19 අහෝසි කරමින් මුල් වරද නැවත නීතිගත විය යුතු නැහැ.
අනෙක ගෝඨාභය ජනාධිපතිවරයා සහ බැසිල් රාජපක්ෂ යන දෙදෙනාම ලොකු දේ ගැන ජනතාව ඉදිරියේ කීවේ නැහැ. මොකද එජාප රනිල් මෛත්‍රී ආණ්ඩු කාලයේ හදිසියේම කරන්න ගිය දෙයක් නිසා මෙවැනි ගැටලුසහගත තත්ත්වයක් මතුවුණා කියන චෝදනාව තියෙනවා.
ස්වාධීන කොමිසම් ගැන ඔබ හිතන්නේ කුමක්ද?
යම් යම් අඩුපාඩු තිබුණත් ස්වාධීන කොමිසම් ස්ථාපනය වැදගත්. නමුත් ස්වාධීන කියන්නේ කවුරුත් සතුටු කිරීම නෙවෙයිනෙ. ඒ ස්වාධීනව කාටත් අපක්ෂපාතී ආකාරයෙන් කටයුතු කිරීමේ අවස්ථාවයි.
මැතිවරණ කොමිසම ඉතා ඉහළ මට්ටමකින් භාරදූර අපක්ෂපාතී කාර්යභාරයක් ඉටු කරන බවට ජනතාව අතර පිළිගැනීම තියෙනවා. ඒ වගේම ඇතැම්විට පොලිස් කොමිසම වගේ දේ අගය කළ යුතු වුවත් යම් චෝදනාත්මක තැන්ද තියෙනවා. රාජ්‍ය සේවා කොමිසම යම් අස්වැසිල්ලක්. ඒවා ගැන චෝදනා තියෙනවා නම් දැන් ලැබුණු බලය තුළ ඒවා නිවැරදි කිරීම අවශ්‍යයි. 19 යටතේ විය යුත්තේ එයයි.
නමුත් කොමිසම්වලට පුද්ගලයන් නම් කිරීමේ ගැටලු තිබෙනවා. එතෙන්දී හොඳ යාන්ත්‍රණයක් යටතේ එය සිදුවෙනවා නම් තවදුරටත් දේශපාලනීකරණයෙන් බැහැරව පවත්වාගෙන යාමට හැකි වාතාවරණයක් 19 යටතේ තිබිය යුතුයි. පත්කිරීම සහ ඇඟිලි ගැසීම්වලට ඇති අවස්ථා නැති කළ යුතුයි. ඉස්සර සිරිමා ආණ්ඩුව සමයේ රාජ්‍ය සේවා කොමිසම නිසා ඒ අයට වැඩ කළ නොහැකි යැයි චෝදනා කරමින් එය අකර්මණ්‍ය කළා.
ව්‍යවස්ථා ප්‍රතිපාදන කොමිසම ගැන කිව්වත් එහි සංයුතිය ගැන විවිධ මතිමතාන්තර මතු වෙනවා. එතෙන්දී කොමිසම්වල කාර්යභාරය කියන එක තුළ දේශපාලනය තිබිය යුතු නැහැ. එම දේශපාලන බලපෑම් අහෝසි කර කොමිසම් සභා ස්වාධීන කළ හැක්කේ කෙසේද කියන එක සංශෝධන තුළ පැහැදිලි විය යුතුයි. 19 වන ව්‍යවස්ථාවක් ගැන ලංකාවේ මිනිසුන්ට උවමනාවක් තිබුණද කියන එක ගැන මට සැකයි. එය මධ්‍යම පාන්තික ලිබරල් මතධාරීන්ගේ අවශ්‍යතාවක්.
ඒ කියන්නේ 19 එතරම්ම වැදගත් සාධකයක් නෙවෙයිද?
නැහැ. මේක හොඳ උත්සාහයක්. ඒත් එතැන ඒ අයගේ මතය පමණක් නෙවෙයි. මම කලින් කියපු විදිහට ඡන්ද දායකයාගේ අදහස නියෝජනය වුණේ නැහැ.
අනෙක් අතට ආර්ථිකය සංවර්ධනය තුළ රටේ යම් අවස්ථාවලදී ජනාධිපතිවරයාට යම් බුද්ධිමත් කඩිනම් අපක්ෂපාතී තීරණ ගැනීමට ඇති බලය වෙනුවෙන් ප්‍රතිපාදන තිබිය යුතුයි. නව ව්‍යවස්ථා සංශෝධනයකදී පවා මෙවැනි කරුණු පුළුල්ව සංවාදයකට භාජනය විය යුතුයි කියලා මම යෝජනා කරනවා.
අපේ රටේ ව්‍යවස්ථාව කියන්නේ ජනතාව අසරණ කළ මරාලයක්ද?
හැමදේටම ව්‍යවස්ථාවට බණින එක අද පුරුද්දක් වෙලා. නමුත් එයට වඩා අපි එය භාවිත කරන ආකාරයේ වරද ගැන කවුරුත් කාටවත් දොස් කියන්නේ නැහැ නේද. අපි එය නිවැරදිව පාවිච්චි කරනවාද කියන දේ අවබෝධ කරගත යුතුයි.
හිටපු අගවිනිසුරුවරිය ඉවත් කිරීම ගැන උදාහරණයක් හැටියට කතා කරන්නම්. එදා පාර්ලිමේන්තුව ගත් තීරණය වැරදි බව බහුතරයක් පිළිගත් කරුණක්. නමුත් අපි හිතමු ඇත්තටම එතැන නුසුදුසු අයෙකු අයථා ආකාරයෙන් කටයුතු කරමින් රැඳී සිටීමට උත්සාහ කරනවා කියලා. එහෙම වෙනකොට ඒ අය ඉවත් කිරීමට යම් බලයක් තිබිය යුතුයි. ඇමෙරිකාවේ රුසියාවේ එහෙම බලයක් තිබෙනවා.
එහෙත් ලංකාවේ සිදුවන්නේ එය දේශපාලන බලයක් බවට පත්කර ගැනීමයි. ශිරානි බණ්ඩාරනායක මහත්මිය ඉවත් කරන්නේ ඒ භාවිතය තුළයි.
එවැනි අයථා බලයක් ව්‍යවස්ථාවක තිබිය යුතු නැහැ. එහෙම නැත්නම් ව්‍යවස්ථාවෙන් එවැනි දෙයක් සිදුවීමට ඇති අවස්ථාවක් තිබිය නොහැකියි. ඒකයි මම කියන්නේ ව්‍යවස්ථාවට දොස් නොකියා කාටත් පිළිගත හැකි පොදු පැහැදිලි දැක්මක් සහිතව ව්‍යවස්ථාව ක්‍රියාත්මක විය යුතුයි කියලා. වැරදි කරන කෙනෙක් ඉවත් කිරීමේ බලයත් නොකරන අයෙකු රැක ගැනීමේ බලයත් ව්‍යවස්ථාවක තිබිය යුතුයි. එදා හැටේ දශකයේ පවා එවැනි අවස්ථා තිබුණා.
නමුත් මෙවැනි නොමනා ක්‍රම ක්‍රියාත්මක වන්නේ කොහොමද?
පක්ෂයක දේශපාලනය සහ නායකත්වයට පටහැණිව යමින් කටයුතු කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට දැන් බැහැ. එතෙන්දී සමානුපාතික ක්‍රමය තුළ පක්ෂයකට ලොකු බලයක් ලැබෙනවා.
අදට පවතින තත්ත්වය ගත්තොත් ජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළ තීරණ ගන්නේ ඡන්ද දායකයාමද කියන දේ ප්‍රශ්නයක්. ඒ වෙනුවට එතැන සිටින්නේ සිරිකොත හෝ ඩාලි පාර නැතිනම් නෙළුම් මාවත වගේ ඒ ඒ පක්ෂ මූලස්ථාන හරහා දක්වන නියෝජිතයන් කීවාට කමක් නැහැ.
නමුත් එදා එහෙම නෙවෙයි. මෛත්‍රීපාල සිරිසේන නමැති මහජන නියෝජිතයා ගැන තීරණය කළේ පොළොන්නරුවේ ජනතාවයි. තම යෝජකයාට බලපෑම් කිරීමේ හැකියාව ජනතාවට තිබුණා. සමානුපාතික ක්‍රමය තුළ ඒ දේ අද අහිමි වෙලා. අද තමන්ගේ හෘද සාක්ෂිය ක්‍රියාත්මක කරන්නත් පක්ෂ නායකත්වයෙන් ඇසිය යුතුයි. මේ ක්‍රමය වෙනස් විය යුතුයි.
එහෙම නම් වඩා හොඳ සංශෝධනයද? සියල්ල අහෝසි කර අලුත් එකක්ද?
මගේ අදහස අනුව හොඳම විසඳුම තියෙන්නේ සංශෝධන ගැන නෙවෙයි. අලුත් ව්‍යවස්ථාවක් වඩාත් හොඳයි. ඒ කියන්නේ අපි හැමදාමත් ව්‍යවස්ථාව ගළපන්නේ බලයට පත්වන ආණ්ඩුව විසින් ඒකට සහ ඒ අයට අවශ්‍ය විදිහටයි. විරුද්ධ මතධාරී අදහස් එයට ගන්නේ නැහැ.
පැහැදිලි කළොත්?
සිරිමා ආණ්ඩුවේ ව්‍යවස්ථාව කොල්වින් සකස් කළත් අඩුපාඩු තිබුණා. සුළු ජාතික සංවාදය එතැන තිබුණේ නැහැ. යම් අවස්ථාවක ඒ අයගේ අදහස් තිබුණත් ඒවා භාර ගත්තේ නැහැ. ඉවත් කළා. ඒ සමගම ඒ අය එතැනින් ඉවත් වුණා. එයින් එම ව්‍යවස්ථාව එක් පාර්ශ්වයකට සීමා වුණා.
ඒ නිසා දෙමළ ජනතාවගේ අවශ්‍යතා ඉටු වුණේ නැහැයි ඔවුන් චෝදනා කළා. ඒ විතරක් නෙවෙයි. ඒ ව්‍යවස්ථාවෙන් එජාපයේ අවශ්‍යතා ඉටු වුණෙත් නැහැ. අවසානයේ එය ශ්‍රීලනිපයේ ව්‍යවස්ථාවක් වුණා. ව්‍යවස්ථාවට හැම කොටසක්ම එකතු වුණත් අවසානයේ ව්‍යවස්ථාවේ එහෙම දෙයක් තිබුණෙ නැහැයි චෝදනා එල්ල වුණා.
ඒ වරද නිවැරදි කරන්න 1978දී ජේ.ආර්. අසීමිත බලයෙන් එජාප ව්‍යවස්ථාවක් නිර්මාණය කළා. අදටත් එය ක්‍රියාත්මකයි. නමුත් ඒක සිරිමා රජයේ ශ්‍රීලනිපයේ ව්‍යවස්ථාව නෙවෙයි.
අපි 1972 එකට සිරිමාවන්ගේ ව්‍යවස්ථාව නොකියා 1972 ව්‍යවස්ථාව කියනවා. නමුත් 1978 එකට කෙළින්ම ජේ.ආර්.ගේ ව්‍යවස්ථාව කියනවා. ඒ නිසාම 1978 ව්‍යවස්ථාව තුළත් සුළු ජාතීන් නියෝජනයක් වුණේ නැහැ. අසූ ගණන්වලදී ඇති වූ ජාති, සමාජ, දේශපාලන අර්බුද තත්ත්වයන් එහි විපාකය වුණා.
ඡන්දදායකයන් කාටත් සමාන අයිතිවාසිකම් තිබිය යුතුයි. එහෙම වෙනකොට ඡන්දදායකයාගේ ඡන්දයට වටිනාකමක් තිබිය යුතුයි. නමුත් 1972 හෝ 1978 ව්‍යවස්ථා තුළ එය තහවුරු වුණේ නැහැ.
එහෙම නම් සුළු ජාතික ප්‍රශ්නයට මොකද වෙන්නේ?
ඒක තමයි ප්‍රශ්නය. සුළු ජාතීන්ගේ ප්‍රශ්නය තව ටික කාලයක් මෙහෙම අල්ලාගෙන යන්න ආණ්ඩුවකට බැරිකමක් නැහැ. මට හිතෙන විදිහට අපි කළ ලොකුම වරද යුද්ධය කරපු එකයි. ඒක නොකළා නම් කියන එකයි මගේ අදහස.
බලය බෙදීමක් අවශ්‍යයි. නමුත් පිළිතුර 13 නෙවෙයි. පළාත් නවයක් තියෙන අපිට පළාත් සභාවක් අවශ්‍ය නැහැ. මෙයින් වුණේ උතුරේ සුළු ජාතික ප්‍රශ්නය රටේ ප්‍රශ්නයක් හැටියට අපි රට පුරා වැපිරීමයි.
දකුණේ අයට ප්‍රශ්නයක් තිබුණේ නැහැ. උතුරේ අය පළාත් සභා ඉල්ලුවෙත් නැහැ. ඒ අය ඒ ජීවත්වන ප්‍රදේශවල තියෙන ප්‍රශ්න විසඳා දෙන්න කියන ඉල්ලීමයි කළේ. නමුත් ඒවාට ඇහුම්කන් නොදෙනවිට ඒවා ප්‍රශ්න බවට පත් වුණා. අපි ඒවා නිවැරදිව කියවා තේරුම් ගත්තේ නැහැ.
එහෙම නම් ඒ අයගේ අර්බුදයට පිළිතුර කුමක්ද?
ඒක දිග සංවාදයක්. කෙටියෙන් කිව හැක්කේ මෙයට වැඩි පිළිතුරු තිබෙනවා හෝ සෙවිය යුතුයි කියන එකයි. වෙනත් විකල්ප ක්‍රම ගැන විදේශීය රාජ්‍යයන්ගෙන් ඇති තරම් උදාහරණ සොයාගත හැකියි. ඒවා සංවාදයට භාජනය කළ යුතුයි.
එක් උදාහරණයක් කීවොත්?
එතෙන්දී දෙවැනි මන්ත්‍රී මණ්ඩලයත් හොඳයි කියන අදහස මට තියෙනවා. මොකද අපි බලෙන් පැටවීම් කිරීම හෝ බලය තුළ නොසලකා හැරීම නොකළ යුතුයි. සෝල්බරි කොමිසමේ යම් හොඳ අදහස් තිබුණා. අපිට සෙනෙට් සභාව ගැන අත්දැකීම් තිබුණා. හොඳ දේ කාලානුරූපව සංවාදයට ගළපාගත හැකියි.
එහෙමනම් 13 සංශෝධනය යටතේ පළාත් සභා ක්‍රමය අසාර්ථකද?
සම්පූර්ණයෙන්ම අසාර්ථකයි. අවුරුදු තිහකට කලින් ඇහුණ දේවල් අපි අදත් අහන්නේ. ඒක සාර්ථක නම් නැවත සංශෝධන, බලතල තවත් මොකටද කියලා අහන්න වෙනවා. ඒ කියන්නේ අසාර්ථකයි කියන එකයි. එහෙම නම් එකම උත්තරය බලතල වැඩි කරන එක නෙවෙයි. වෙනත් සංවාදයක්.
ඔබට යම් යෝජනාවක් තියෙනවාද?
මේක ප්‍රායෝගිකව සංවාදයෙන් විසඳිය යුතු දෙයක්. උතුරේ වෙසෙන සිංහල ජනතාවට තමන්ගේ ප්‍රශ්න ගැන අර්බුද ඇති. දකුණේ වෙසෙන උතුරේ දෙමළ අයටත් ප්‍රශ්න ඇති. එතෙන්දී දෙපැත්තටම ලංකාවෙ කොතැනකදී වුණත් එකඟතාවක් ඇති විසඳුමක් ව්‍යවස්ථාවෙන් තිබිය යුතුයි. නැතිනම් මහජාතීන් හමුවේ සුළු ජාතීන්ට වගේම සුළු ජාතීන් ඉදිරියේ මහජාතීන්ටත් අසාධාරණයක් විය හැකියි.
අද හැම ආණ්ඩුවක්ම ව්‍යවස්ථා ගැන කියනවා. ඒ අය කියන දේ හරියි කියා ජනතාව විසින් එය පිළිගත යුතුයි යන මතයේ ඒ අය ඉන්නවා. අපි හොඳ ව්‍යවස්ථාවක් හදනවාය, අපිට බලය දෙන්නැයි දේශපාලකයන් මැතිවරණවලදී ඉල්ලා සිටිනවා. ඒත් අපිට නොවෙයි. රටට ගැළපෙන ව්‍යවස්ථාවක් හැදිය යුතුයි. අපි කියන්නේ පක්ෂයක් පාටක් නායකයෙක් හෝ ජාතියක් නෙවෙයි. ඒ සියල්ලෙන් බැහැර වූ රට වැසියාට ගැළපෙන ව්‍යවස්ථාවක් විය යුතුයි.
නමුත් ගත වූ රනිල් මෛත්‍රී ආණ්ඩුව සමයේ නව ව්‍යවස්ථාවක් වෙනුවෙන් ජනතා අදහස් ලබා ගැනීමට ලාල් විජේනායක කමිටුව පත් කළා?
ඒක මෙහෙමයි. නව ව්‍යවස්ථා සම්පාදනය තුළ ලංකාවේ පළමු වරට යම් මට්ටමකින් මහජන මතයට සාධාරණයක් වුණා යැයි කියන්න ඉඩක් තියෙනවා. ඒත් එය ජාතික මට්ටමේ කමිටුවක් නොවී බිම් මට්ටමේ ජනතාව කණ්ඩායම් පක්ෂ සමිති සංවිධාන වෙත ගොස් ඔවුන්ගේ අදහස් යෝජනා මත විමසුවා නම් එය යථාර්ථයක් වෙන්න තිබුණා. නමුත් එතෙන්දී සිදුවුණේ ඒ අය හිතාගෙන යන දේ අරමුණු ඉලක්ක කෙරෙහි තමන් හමුවට එන ජනතාව පෙලඹවීමට යම් උත්සාහයක් තිබුණාද කියන ප්‍රශ්නය තියෙනවා. මොකද එතැන හිටියෙත් වාමාංශික සහ ලිබරල් මතවාදී පාර්ශ්වයක් කියන චෝදනාව තියෙනවා. නමුත් ඒ අයගේ අදහස් ජනතාවට නොදී ජනතාවගේ අදහස් ලබා ගත්තා නම් අපට නොව රටට අදාළ ව්‍යවස්ථාවකට අවස්ථාව තිබුණා.
අනික මෙතෙන්දීත් දෙමළ සහ සෙසු සුළු ජාතීන්ගේ බිම් මට්ටමට යා යුතුයි. සමහරවිට ඔවුන් අතර උග්‍ර මතවාදීන් සිටිය හැකියි. ඒ මතයටත් ඇහුම්කන් නොදී ව්‍යවස්ථාව පරිපූර්ණ වෙන්නේ නැහැ. දෙමළ අන්ත මතවාදීන්ගේ වුවත් අදහස් යෝජනා නැතිව එම අර්බුදවලට විසඳුම් සෙවිය නොහැකියි. එහෙම ධනාත්මකව හිතුවොත් එකඟතාව ඇති මධ්‍යස්ථ මතයකට යා හැකියි.
මම දකින හැටියට ලංකාවේ සිදුවුණු ලොකුම වරද 1972 හෝ 1978 කියන ව්‍යවස්ථා දෙකම යම් නීතිඥවරු පිරිසක් අතින් සම්පාදනය වීම. හැත්තෑ දෙක කොල්වින් හැදුවා. හැත්තෑ අට ජේ.ආර්. ගේ මතයයි. ඊට පස්සේ දෙදහස් පහළොව කෙටුම්පත ලාල් සහ ජයම්පතිලා වැනි නීතිවේදීන් පිරිසක් අතට ගියා. ඒත් එතෙන්ට අවශ්‍ය රටේ බිම් මට්ටම ගැන දන්නා දේශපාලන විද්‍යාව, සමාජ විද්‍යාව වැනි විවිධ විෂය පථ දන්නා ආචාර්ය මහාචර්යවරුන් වගේම රටේ අත්දැකීම් බහුල දේශපාලකයන් සහ සුවිශේෂ පුද්ගලයන් සිටිය යුතුයි. එහෙම නොවන තැනක හැමදාමත් හදන ව්‍යවස්ථාවන් පිළිබඳ අර්බුද ගැටලු චෝදනා සංශෝධන බහුලයි.
නීතිඥවරු විසින් නොහැදුවත් එංගලන්තයට අදටත් ව්‍යවස්ථාවකුත් නැහැ. ඒත් ඒ අය රට කරනවා. ඇමෙරිකාව ගත්තත් ඒක හදල තියෙන්නේ නීතිවේදීන්ම නෙවෙයි. මෙවැනි හැදෑරිය යුතු උදාහරණ අනන්ත තියෙනවා.
දැන් කළ යුතුව ඇත්තේ ලැබුණු අවස්ථාවේ හෝ පවතින ව්‍යවස්ථාවල ඇති සංශෝධන ගැන ධනාත්මකව හිතා කටයුතු කරන එකයි. මේ එයට අවස්ථාවයි.
සංවාදය - ලාල් ජයසුන්දර