අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මධ්‍යම පර්යේෂණ අංශය සංවිධානය කරන අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අපනයන කෘෂිබෝග වාර්ෂික සමුළුව (ASEAC) එළඹෙන 18 සහ 19 යන දිනවල පේරාදෙණිය ගන්නෝරුව පැළෑටි හා ජාන සම්පත් තාක්ෂණ මධ්‍යස්ථානයේදී ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. මේ ඒ සම්බන්ධයෙන් සහ එම දෙපාර්තමේන්තුවේ නව පර්යේෂණ සම්බන්ධයෙන් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය සරත්චන්ද්‍ර ධර්මපරාක්‍රම මහතා සමග කළ සාකච්ඡාවකි.
ASEAC සමුළුව කියන්නේ කුමක්ද?
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පිහිටුවන ලද්දේ 1972 වර්ෂයේදීයි. එයට සමගාමීව 1973දී මෙම දෙපාර්තමේන්තුවේ පර්යේෂණ අංශය ආරම්භ කළා. මෙම පර්යේෂණ ආයතනය මගින් අපනයන කෘෂි බෝග පිළිබඳ සිදු කරන නව සොයාගැනීම් එළිදැක්වීම සඳහා වාර්ෂික සමුළුවක් පවත්වනවා. මෙවර එය නම් කර තිබෙන්නේ ASEAC - 2018 නමින්. එනම් Annual Symposium on Export Agricultural Crops - 2018 ලෙසයි. මෙවර එය පවත්වන්නේ පස්වැනි වරටයි. 2018 වනවිට අප දෙපාර්තමේන්තුවේ පර්යේෂණ අංශයට වසර 45ක් සම්පූර්ණ වෙනවා. මෙයට සමගාමීව සංවත්සර සැමරුමක්ද පවත්වනු ලබනවා. මෙය සංවිධානය කරනු ලබන්නේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂණ අංශය මගින්.
මෙවර සමුළුවේ තේමාව ලෙස තෝරාගෙන ඇත්තේ තිරසර බෝග කළමනාකරණය මගින් උසස් ගුණාත්මයක් සහිත නිෂ්පාදන යන්නයි. මෙවැනි තේමාවක් මුල් කරගන්න විශේෂ හේතු මොනවාද?
අප ජීවත්වන පරිසරයේ ස්වාභාවික සම්පත් ඉතාමත් සිමිතයි. අප සියලු නිෂ්පාදනයන් කළ යුතුව තියෙන්නේ මෙම සීමිත සම්පත් උපයෝගී කරගෙනයි. නමුත් අප කෘෂිකාර්මික නිෂ්පාදන අසීමිත ලෙස වැඩි කරන්න ඒ සීමිත සම්පත් අවභාවිත නොකළ යුතුයි. එහෙම වුණොත් ඉතා ඉක්මනින් ඒ සීමිත සම්පත් අහිමි වෙන්න පුළුවන්. පවතින ස්වාභාවික සම්පත් අරපිරිමැස්මෙන් භාවිත කරමින් අනාගතය උදෙසාද එම සම්පත් ඉතිරි කරමින් කෘෂිකාර්මික නිෂ්පාදන සිදු කළ යුතු වෙනවා. එහි අදහස ප්‍රශස්ත නිෂ්පාදනයක් මිස උපරිම අධික නිෂ්පාදනයක් නොවේ. මෙලෙස ලැබෙන නිෂ්පාදන තුළින් ලැබෙන ලාභය තුළින් විදේශ විනිමය වැඩි කිරීමට නම් උසස් ගුණාත්මයකින් යුක්තව නිශ්චිත ප්‍රමිතියකට නිෂ්පාදන සිදු කළ යුතුයි. මෙම කාලීන තේමාව පෙරදැරි කරගෙන මෙවර අපගේ සමුළුව පැවැත්වීමට අදහස් කළා.
දේශීය ආර්ථිකයට ඔබේ ආයතනයෙන් ලබාදෙන දායකත්වය කවරාකාර ද?
ශ්‍රී ලංකාවේ මුළු කෘෂිකාර්මික නිෂ්පාදන අපනයනයෙන් 17%ක දායකත්වයක් ලබාදෙන්නේ කුළුබඩු ක්ෂේත්‍රයෙන්. ඒ අනුව වර්තමානයේ දළ දේශීය නිෂ්පාදිතයට 01%ක පමණ දායකත්වයක් ලබාදෙන අතර, එය තවදුරටත් සංවර්ධනය කිරීම අපේ අරමුණයි. මෙලෙස 2017 වසරේ කුළුබඩු නිෂ්පාදන මෙට්‍රික් ටොන් 60,000ක් අපනයනය කර ඇති අතර, ඉන් ලැබූ විදේශ විනිමය ප්‍රමාණය රුපියල් මිලියන 72,000ක්.
මෙමගින් දිවයින පුරා විසිරී සිටින දසලක්ෂයක් පමණ වූ පාර්ශ්වකරුවන් ඍජු හා වක්‍රව ප්‍රතිලාභ ලබනවා. මේ අනුව වසර 2020 වනවිට අපගේ ඉලක්කය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක් උපයාගැනීමයි. ඒ අනුව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂණ හා සංවර්ධන ක්‍රියාවලිය යොමු වී ඇත්තේ මෙම අරමුණ සපුරාගැනීමටයි. අපනයන කෘෂිබෝග පිළිබඳ පර්යේෂණ සමුළුව හා ප්‍රදර්ශනය පැවැත්වීම මගිනුත් අපි අපේක්ෂා කරන්නේ ඉහත අරමුණු සවිබලගැන්වීමට මංපෙත් විවර කර ගැනීමයි.
ඔබගේ පර්යේෂණ අංශයේ කාර්යභාරය කුමක්ද?
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂණ අංශය මගින් ප්‍රධාන බෝග 14ක් සම්බන්ධයෙන් පර්යේෂණ පවත්වනවා. ගම්මිරිස්, කෝපි, කෝකෝවා, සාදික්කා, පුවක්, බුලත්, කරාබු, එනසාල්, වැනිලා, ඉඟුරු, කහ වගේ බෝග සම්බන්ධයෙන් පර්යේෂණ කරනවා. ඒ වගේම බෝගවල විවිධ ප්‍රභේද නිකුත් කිරීමත් අපි සිදු කරනවා. සමහර බෝග ලංකාවේම තියෙනවා. ඒවා වර්තමානයට ගැළපෙන ආකාරයට සංවර්ධනය කරනවා.
තවත් සමහර බෝග පිටරටවලින් ගෙන්වලා ලංකාවට උචිත ආකාරයට වර්ධනය කරලා නිකුත් කරනවා. සමහර අවස්ථාවල ඔය දෙක එකතු කරලා හයිබ්‍රිඩ් ක්‍රමයට අභිජනනය කරලා අලුත් ප්‍රභේද නිකුත් කරනවා. මේ වනවිට නවීන තාක්ෂණය උපයෝගී කරගෙන මෙම පර්යේෂණ සිදු කරනවා. අපි අලුත් අංශයක් පිහිටුවලා තියෙනවා ජාන හා අභිජනන අංශය කියලා ඒකෙන් තමයි දැනට මෙම පර්යේෂණ සිදු කරන්නේ.
ඊට අමතරව අපේ ආයතනයේ තවත් අංශ කිහිපයක්ම තියෙනවා. ශෂ්‍ය විද්‍යා අංශය මගින් බීජ පැළ කරන ක්‍රමය පිළිබඳ සොයා බැලීමක් කරනවා. බීජවලින් පැළ කරනවාද, අතු බද්ධ කරනවාද? වගේ කරුණු සලකා බලනවා. ඒ වගේම පැළ අතර පරතරය ආදිය පිළිබඳවත් සොයා බලනවා. ඊට අමතරව පාංශු අංශයක් තිබෙනවා. මෙවැනි අංශ කිහිපයක්ම තිබෙනවා.
මෑත කාලයේ අපනයන බෝග ක්ෂේත්‍රයෙන් වාර්තා වූ ප්‍රධාන දෙයක් තමයි රෝග තත්ත්වයන්. මේකට පිළියමක් හොයාගෙන තියෙනවද?
සාමාන්‍යයෙන් සියලු කෘෂිකාර්මික බෝගවලට විවිධ රෝග බෝවීම සිදු වෙනවා. අපි මේ සඳහා කාලයෙන් කාලයට අවශ්‍ය ප්‍රතිකර්ම ගොවීන්ට ලබාදෙනවා. මේ සඳහා අවශ්‍ය සියලු තාක්ෂණය අප සතුව තිබෙනවා. නමුත් ගොවීන් අප සමග සම්බන්ධ වීම අඩු නිසා ඔවුන්ට මෙය ළඟාවීමේ අඩුවක් පේනවා. සමහර රෝග තිබෙනවා පෝෂණ ඌණතා නිසා හටගන්න ඒවා. ඒ වගේම භෞතික හේතූන් මත ඇති වන රෝගී තත්ත්වයන්.
ඒ වගේම වෛරස්, දිලීර රෝගත් ඇති වෙන්න පුළුවන්. මෙම රෝග පරිසරයට හිතකාමී විදිහට මර්දනය කරන්නේ කොහොමද කියලා අපි සොයා බලනවා. වෙනම අංශයක් තියෙනවා කීට විද්‍යා අංශය කියලා. ඒ අංශයෙන් සතුන් ගැන සොයා බලනවා. බෝගවලට හානි කරන සතුන් ගත්තම පැළ මැක්කන් වගේ කුඩා සතුන්ගේ පටන් විශාල සතුන් දක්වා සිටිනවා. ඒවත් සමහර අවස්ථාවල වසංගත තත්ත්වයට පත් වෙනවා.
වගාවන්ට සතුන්ගෙන් වන හානි පාලනයට යම් විසඳුමක් හොයාගෙන තියෙනවද?
මෙම සතුන්ගේ හානියට තියෙන්නේ පොදු විසඳුම් තමයි. ක්ෂීරපායී සතුන් නිසා උන්ටත් මොළයක් තියෙනවා. ඒ නිසා යම් දෙයකට ඔවුන් හසුවන්නේ කෙටි කාලයක් විතරයි. ඊට පස්සේ ඔවුන් ඒකට විකල්පයක් හොයාගන්නවා. සාමාන්‍යයෙන් අපි ළඟ තියෙනවා ඒ සතුන්ට දරාගන්න බැරි ශබ්ද නිකුත් කරන උපකරණ. ඒවා සවි කරලා පාලනය කරන්න පුළුවන්. ඒ ශබ්ද වුණත් වෙනස් කරන්න ඕන. එකම ශබ්දය තිබුණොත් ඔවුන් පුරුදු වෙනවා. මේ සතුන් පාලනය කවුරු කළත් තියෙන එකම විසඳුම මරණ එකයි.
නමුත් හැම සතෙක්ම එහෙම මරන්නත් බෑනේ. අපි මොන දේ කතා කළත් ඒ සත්ත්වයන්ගේ සංඛ්‍යාව සීමා කළේ නැත්නම් අපට මේක නවත්වන්න බෑ. සතුන් පළවා හරිනවා කියන එක උත්තරයක් නෙවෙයි. පළවා හැරියත් උන් කොහාටද යන්නේ. ගියත් යන තැනට ප්‍රශ්නයක්. මොනරු වගේ සතුන්ට මේ ශබ්ද සකස් කරල තියෙනවා. ඒ ශබ්ද ඔවුන්ට අහගෙන ඉන්න බැරි නිසා ඉවත් වෙනවා. සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන ඒ වගේ උපකරණයක් හඳුන්වා දී තියෙනවා.
අනෙක් අංශය තමයි පශ්චාත් අස්වනු තාක්ෂණ අංශය. පසු අස්වනු තාක්ෂණය මගින් අපි විශේෂයෙන් ගුණාත්මක නිෂ්පාදන ඇති කිරීමට මෙන්ම වියදම් අඩු කිරීමටත් අවශ්‍ය කටයුතු සිදු කරනවා. විශේෂයෙන් අපේ රටේ නිෂ්පාන වියදම ඉහළයි. ඒ නිසයි මිනිස්සු පිටරටවල ඉඳල යම් යම් බෝග ගේන්නේ. ගම්මිරිස් වුණත් අපි මෙහේ හදන්න ගියාම ලොකු මුදලක් යනවා. පිටින් ගේන්න ගියාම ලාබයි. ඒ නිසා වියට්නාමයෙන් ගෙනල්ලා මේවට දානවා.
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වාර්ෂික සමුළුව මගින් අපේක්ෂා කරන්නේ මොන වගේ කාර්යයන්ද?
අපගේ පර්යේෂණ අංශය මගින් මෙතෙක් සොයාගත් නව සොයාගැනීම් ඉදිරිපත් කිරිම මෙහි අරමුණයි. අපි මේ වසරේ පමණක් නොව පසුගිය වසරවලත් මෙලෙස නව සොයාගැනීම් විශාල වශයෙන් කරල තියෙනවා. ඒවා ගැන අවබෝධයක් ලබාගැනීමටත් මෙහිදී අවස්ථාව ලබාදෙනවා. මෙම සමුළුවට සමගාමීව ප්‍රදර්ශනයකුත් පවත්වනවා. අපි ආරාධනා කරල තියෙනවා මේ ක්ෂේත්‍රයේ නිෂ්පාදන සිදු කරන ව්‍යාපාරිකයන්ට මෙන්ම ක්ෂේත්‍රයේ නියුක්තව සිටින අයට මෙයට සහභාගි වන ලෙස.
මෙහිදී කුළුබඩු ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු තොරතුරු ලබාගන්නත්, ඒ වගේම වගාවලට අවශ්‍ය උපකරණ, බීජ පැළ ආදිය ලබාගන්නත් අවශ්‍ය පහසුකම් සපයා තිබෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ අපනයන කෘෂිකර්ම බෝග අපනයනය මගින් අපේ රටට අදට වඩා වැඩි විදේශ විනිමයක් හෙට දිනයේ ගෙන එන්නයි. ඒ සඳහා දායක වෙන්න කියලා අපි සියලු දෙනාට ආරාධනා කරනවා.
මොහොමඩ් ආශික්