අපට මැදිහත්වන විදේශ ණය සහ ආධාර ආයතන හරියට ගමේ මුදලාලි සහ සුබසාධක සමිතිය වගෙයි


රට තුළ ඇති බදු බර, ණය උගුල, ජාතික සම්පත් විදේශයන්ට විකිණීම පිළිබඳ තියුණු සංවාදයක් මේ වනවිට ඇති වී තිබේ. මේ සම්බන්ධයෙන් අදහස් විමසීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ හිටපු මහාචාර්ය කරුණාතිස්ස අතුකෝරළ මහතා අද සමග සම්බන්ධ කර ගැනීමට අප සිතුවෙමු. මේ ඒ මහතා අප සමග දැක්වූ අදහස්ය.


අදටත් තේරුම් නොගත් යටත් විජිත ඉලක්කය

බ්‍රිතාන්‍යයන් කන්තෝරු ක්‍රමය සහ පරිපාලන ක්‍ෂේත්‍රයේ ලිපිකරු පැලැන්තියක් අපට හඳුන්වා දෙන්නේ ඔවුන්ගේ පරිපාලන අවශ්‍යතා ඉටු කරගත හැකි පිරිසක් අඩු වැටුපකට ස්වදේශිකයන් අතරින් නිර්මාණය කර ගැනීම සහ ඒ හරහා ආගම ප්‍රචාරය කර ගැනීමේ ක්‍රියාවලියක් පවත්වාගෙන යාමටයි.

ලංකාව වෙන්කර නොගතහොත් සමස්තයක් ලෙස එක්තරා බටහිර පෙනුමකින් රට පාලනය කරනවා. සංවර්ධනය වන රටවල් මෙහි කෙලවරක ඉන්නවා. මුල් අවස්ථාවලදී බටහිර රටවල් ඔවුන්ගේ යුදමය සහ දේශපාලන බලය භාවිත කරමින්  යටත් විජිතයන් බවට පත්කර ගනිමින් ඔවුන්ගේ සංවර්ධනය සඳහා අපේ සම්පත් භාවිත කරනවා.

ලෝක බැංකුව සහ අයි.එම්.එෆ්. බිහිවීම

එනිසා අප දුප්පත් රටවලට උදවු කළ යුතු බව බටහිර රටවල් සිතූ නිසා එහි ප්‍රතිඵලයක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව වැනි ආයතන බිහිවුණා.

 අධ්‍යාපනයට අමතක වූ දේ

අපි කන්නන්ගර මහතාට ඉතා ගෞරවයෙන් ගරු කරනවා. නමුත් වඩා සුදුසු දිශානතියකට අධ්‍යාපනය යොමු කිරීමට අපේ අධ්‍යාපනඥයන්ට බැරි වෙනවා. එහි අවසාන ප්‍රතිඵලය ලෙස 1971 කැරැල්ල එනවා. ඒනිසා එය අපේ රටේ ආර්ථිකයට බලපාන  ප්‍රධාන සාධකය පමණක් නොවෙයි දේශපාලන නොසන්සුන්තාවට මුල පුරනවා.

මම උදාහරණයක් දෙන්නම්. අපේ අධ්‍යාපන පද්ධතිය තුළ ගොවියාගේ පුතාට රජයේ කාර්යාලයක වැඩ මිස උදැල්ල කරට ගෙන කුඹුරට යෑම නොකළ යුතු දෙයක් හැටියටයි දකින්නේ. ‘‘&අන්න විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නා අය කුඹුරට යනවා. ඒක හොඳ මදි,* කියන අදහසක් සමාජ ගතව තිබෙනවා. මේ සුදු කරපටි චින්තනය අපේ රට තුළ නිර්මාණය කරගත් දේ බව පැහැදිලියි. සියලු දෙනාම අධ්‍යාපනයට අමතරව අපට රැකියා දිය යුතුයි කියනවා. නමුත් රටට අවශ්‍ය ශ්‍රම බළකායක් අපේ අධ්‍යාපනය හරහා නිර්මාණය වන්නේ නැහැ.

රැකියා ඉලක්කය

ලංකාවේ කෘෂි, ධීවර ක්‍ෂේත්‍රය තුළ පුරප්පාඩු තිබියදී අපි අපේක්ෂා කරන්නේ කාර්යාලයක රැකියාවක්. එනිසා මේ දෙක ගැළපෙන්නේ නැහැ. එනිසා අධ්‍යාපන ක්‍රමය තරුණ විරැකියාවට සහ ඉච්ඡාභංගත්වයට අනුබල සපයනවා. එය දේශපාලන අස්ථාවරත්වයටත් හේතුවක් වෙනවා.

නිතර පෙන්වන මාධ්‍යරූප සහ ඇසෙන දේ තුළ ගොවියා යනු ආණ්ඩු විරෝධියෙක්. එහෙත් ගොවියා වෙනුවෙන් වැඩ කරන්නේ ආණ්ඩුව බව ඔවුන් අමතක කර තිබන බව පෙනෙනවා. සාමාන්‍යයෙන් ආණ්ඩුව විසින් අක්කරයකට රුපියල් ලක්ෂයකට වැඩි මුදලක් ගොවියා වෙනුවෙන් වැය කරනවා.

නැවතත් සිහිපත් කරන්නේ නම් පොහොර වතුර පමණක් නොවූ විටෙක ඉඩමත් රජයෙන් ගොවියාට නොමිලයේ ලබා දෙයි. එයින් ගොවියා රජුන් කරනු වෙනුවට එම ගරුත්වය නොතකා ගවයෙක් කරන තැන දක්වා රජය විසින්ම ක්‍රම සකස් කළ නිසා ගොවියාද හැමදාමත් ණයකරුවෙකු වී ගැතිකම පසුපස දිවයන පුද්ගලයෙකු බවට පුරුදු වෙනවා.
වෙළෙඳ පොළින් අප මිලදී ගන්නා හාල් කිලෝවට අවශ්‍ය පොහොර, රසායනික, ජලය,බීජ, සහනාධාර ආදි සියල්ලම ගොවියාට රජය විසින් ලබා දෙනවා. ඒ රජය කියන්නේ ජනතාව. ජනතාවගේ මුදල්. ඒත් ඔවුන් වීදි බසිනවා.

ජන දිවිය අවුල් කළ විදේශීය ණය

දේශපාලන නායකයන් ණය සහනාධාර යැපීම වැනි මර උගුලෙන් බේරීමට තවමත් පුරුදුවී නැහැ. මෙම උගුලේ තරම මැන ගැනීමට මම උදාහරණයක් කියන්නම්.
අපේ සංවර්ධන න්‍යාය පත්‍රය තීරණය කරන්නේ ලෝක බැංකුව හෝ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වැනි බටහිර ආයතන. ලංකාවේ ගමේ බැංකු  වසා දමන තැනට %අයි.එම්.එෆ්, කීවා යැයි පසුගිය සතියේ ජනමාධ්‍ය හරහා ඇසුණේද ඒ නිසයි.

ආසන්න වශයෙන් ගතහොත්  මහින්ද රාජපක්ෂ පාලන යුගයේදී  තවතවත් ණය පිළිබඳ අර්බුදය මතු වෙනවා. ඒ අර්බුදය තුළ චීනය උදව්වට එනවා. එය වෙනම සාකච්ජා කළ යුතු කරුණක්.
එය ප්‍රයෝජනයට ගනිමින් ලෝක බැංකු  මුදල් ලබාගැනීමේ දේශපාලන අවශ්‍යතාව තුළ සියලුම කටයුතු ප්‍රදාන හරහා සොයා ගැනීමේ උත්සාහයක් පෙනෙනවා.
මෙයට හොඳම උදාහරණය ලෙස අයි.ආර්.ඩී.පී. ව්‍යාපෘති දැක්විය හැකියි. විශාල ලෙස එවැනි ප්‍රදාන ලැබෙනවිට අපි බටහිර ප්‍රදාන මත යැපෙන ස්වාභාවයට පත්වෙනවා. ඔවුන්ගේ න්‍යාය පත්‍රය මත වැඩකිරීමට යෑමේදී දේශීය වශයෙන් ප්‍රාග්ධනය සංචිත කරමින් මෙවැනි කාර්යය සඳහා උනන්දුවීමට ඇති අවශ්‍යතාව රාජ්‍ය පාර්ශ්වයන්ගෙන් තුරන් වෙයි.
අවුරුදු සියයක්, එකසිය පනහක් තිස්සේ මෙම ප්‍රවාහය සිදුවන අතර මේ අයගේ අය සහ වැය විමසීමේදී ක්‍රමක්‍රමයෙන් පාඩු ලබමින් අවදානමට පත්වන බව දකිනවා.

සහනාධාර තරගය සහ ගැතිකම

එය තවදුරටත් මම විස්තර කරන්නම්. ගොවියා අතෘප්තියට පත් වූ පසු රජය මගින් රුපියල් 35,000.00කට ආසන්න මුදලක් ආධාර ලෙස ලබාදෙනවා. එහිදී රජය විසින් සෘජුව බහුජාතික සමාගම් නඩත්තුව සඳහා දේශීය ආදායමෙන් විශාල ප්‍රතිශතයක් වැය කරනවා. මෙයට අමතරව ගොවියාට ජලය නොමිලයේ ලබාදීම මගින් සහ අනෙක් සියලු පහසුකම් ලබා දුන්නද මෙයින් දේශීය කෘෂිකර්මාන්තය වැඩි දියුණු කර වර්ධනය කිරීමට නොව බහුජාතික සමාගම්වල නඩත්තු කරන තත්ත්වයට පත් කරවීමයි සිදුවන්නේ.

බලය සහ අයි.එම්.එෆ්

වත්මන් දේශපාලකයන් වේදිකා මත අපට කියන්නේ කුමක්ද? අපට බලය දුන්නොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ගත හැකියි. එය කළ හැක්කේ අපේ ආණ්ඩුවකට පමණයි යනුවෙන්. එතෙන්දී හැම අවුරුද්දකම අයවැය හදන්න උපදෙස් ගන්නෙත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මිස රටේ උගතුන් බුද්ධිමතුන්ගෙන් නොවෙයි. අයවැය අත්විඳින ජනතාව එතන නැහැ.

චීනයේ සංක්‍රමණය   

කොහොම වුණත් මහින්ද පාලන සමයේදීත් බටහිර අර්බුදය මතුවෙනවා. ඒ අර්බුදය තුළ චීනය ලංකාවට උදව්වට එනවා. ඔවුන්ට අවශ්‍යවන්නේ රටේ ඉඩකඩම් ගන්නයි. අයි.එම්.එෆ්. එක මුදල් මත දුවනවා. නමුත්  චීනය ඉඩම් සහ බිම මත දුවනවා. හරියට ගමේ මුදලාලි සහ සුබසාධන සමිතිය වගේ. සුබසාධන සමිතිය සුබ සාධන කටයුතු කරන කොට ගමේ  පොලී මුදලාලි පොලිය ඉඩකඩම් පසුපස යනවා. ඒ අනුව අයි.එම්.එෆ් කළ පොලිය එකතු කරන වැඩේ වෙනුවට ඒ වැඩය දැන් චීනය භාර ගත්තා. කොහොම හරි ලෝක දේශපාලනය තුළ චීනය ඉදිරියට එමින් ඔවුන් දක්ෂ ලෙස විදේශ ප්‍රතිපත්තිය ගෙන යනවා. අයි.එම්.එෆ්ටත් වඩා චීනය උපක්‍රමශීලීව ණය දෙන ගමන් අපේ දේපොළ ගැනීමත් සිදුවෙනවා. චීනය යටිතල පහසුකම් සඳහා ණය දෙනවා. 

සංවර්ධනය සහ ණය උගුල

ණයවාරික ගෙවීමට රට තුළ නිෂ්පාදනයක් නොවන විට ණයත් ආදායමක් ලෙස ලේඛන ගතවෙනවා. ණය ගොඩ එකතුවන අතර, ජාතික ආදායම් ගණනය කරන්නෙත් ණය ආදායමක් හැටියටයි. එවිට එය ඒකපුද්ගල ආදායම ලෙස දක්වනවා.

එහෙත් ඒකපුද්ගල ණයක් ලෙස එය ගණනය කරමින් ණය ගණනය කළ යුතුයි. ඒ නිසා කෘත්‍රිමව ආර්ථික සංවර්ධනයක් දත්ත ලෙස පෙන්වුවද, ණය ආපසු ගෙවීමේ ප්‍රතිශතය ලෙස දැක්වුවද ණය ගෙවීම වැඩි වෙනවා.

ඒ සඳහා පසුගිය රජයටත් දිගුකාලීන සැලැස්මක් තිබුණේ නැහැ. ඒ නිසා යටිතල පහසුකම් සඳහා ණය ගත්තද ඒ හරහා ආර්ථිකයට ලැබන ප්‍රතිලාභ නොලැබුණු නිසා අපි තවත් ණය ගෙවනවා මිස නිෂ්පාදනයට  අතපෙවීමක්  සිදුවන්නේ නැහැ.

යටිතල පහසුකම් සිදුකරන විට මෙමගින් ආදායම් ලබන්නේ කවදාද යන තීරණය අපට තිබිය යුතුයි. මේ පහෙන් පහට වෙනස් වන ක්‍රම නිසා වැජඹීම විනා දීර්ඝකාලීන සැලැස්මක් නැහැ. එය ජන ජීවිතයට ඇතිකරන විශාල හානියක්.

සංවර්ධන සැලසුම් කාගෙද?

අප ළඟ ඇත්තේ පක්ෂ විසින් සම්පාදනය  කරන සැලැසුම් පමණයි. ජාතික සැලසුම් ගැන වුවමනාවක් පාලකයන්ට නැහැ. නමුත් ජනතාව පාලකයන් ඒ තැනට පත්කර යවන්නේ මහජන නියෝජිතයන් ලෙස නම් ඒ හැම නියෝජිතයෙකුටම එකට එක්වී ජාතික සැලසුම් සකස් කිරීමේ වගකීම තිබෙනවා. 

ඒ වුණාට ඒ අය පිල් වශයෙන් බෙදීමෙන් රටත් ආර්ථිකය වගේම ඔවුන් පත්කර යවන ඡන්දදායකයාටත් සිදුවන  යහපතක් නැහැ.
ඒ නිසා පක්ෂ විසින් මැතිවරණ ඉලක්ක කර පසුව සැලසුම් ජාතික සැලසුම් නොවන බව අවධාරණය කළ යුතුයි. අප රටට හැමදාමත් ආර්ථික සැලැස්මක් නැති නිසා දිළිඳුකම වැඩි වනවිට පවතින දේපොළ විකුණාකෑම හැර වෙනත් විකල්පයක් නැති වෙනවා. මිනිසුන් සතුටු කිරීම සුබසාධන රාජ්‍ය ක්‍රමයකට අවශ්‍ය නම් අනික් පැත්තෙන්ද ඒ සමගම දේශපාලන ස්ථාවරත්වයද තහවුරු කළ යුතුයි. එම අභියෝගයට  රට මුහුණදී තිබෙනවා.

ආයෝජකයන් රට හැර යෑම

එහි ප්‍රතිඵලයක් වශයෙන් ආයෝජකයන් ප්‍රාග්ධන යොදවන්නේ වෙළෙඳ පොළ ඇති රටවල්වලටයි. යම් අාර්ථික පසුබෑමක් ඇති රටවලට ප්‍රාග්ධනය යෙදවීමෙන් පාඩු ලැබීමට කිසිවෙකු කැමති වන්නේ නැහැ. ඒ තැන්වලින් ඉවත් වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ජාත්‍යන්තර පෞද්ගලික  ආයතන රට තුළ කරන ප්‍රාග්ධනය ක්‍රමයෙන් අඩුවනවිට අපගේ ඩොලර් සංචිත ප්‍රමාණයත් අඩු වෙනවා. ඩොලර් අඩුවෙන විට පිටරටින් බඩු ගැනීමට මුදල් නැතිවෙනවා. එවිට තිබෙන මුදල් මුදා හැරිය යුතුයි. එහිදී රුපියල අර්බුදයට පත් වෙනවා.

ජනතාවගේ බදුබර ඉහළ යෑම

ඒ නිසා දේශීය වශයෙන් බදුවැඩි කිරීමට යොමු වෙනවා. මෙය එතරම් යහපත් ප්‍රතිපත්තියක් නෙවෙයි. බදුවැඩි කිරීම සමග නැවත මිනිසුන්ගේ වියදම් කිරීමේ හැකියාවන් අඩුවෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස රෝගී බව, දිළිඳුකම, සුබසාධනය බිඳ වැටීම වැනි තත්ත්වයන් ඇති වෙනවා.
ඒ නිසාම නිෂ්පාදකයන්ද බියවී දේශීය නිෂ්පාදනයන්ගෙන් ඉවත්ව යනවා. රටේ රැකියා ඉඩකඩ වෙළෙඳ පොළ අවදානම වැඩිවෙනවා. ජන ජීවිතයට එය විවිධාකාරයෙන් බලපෑම් ඇති කරනවා. සමාජ අර්බුද නිර්මාණය කරනවා.

ආයත ද්‍රව්‍ය පාලනය

ආයත ද්‍රව්‍ය පාලනය කිරීම එහිදී ප්‍රතිකර්මයක් ලෙස අපට කළ හැකියි. මිරිස් සීනි හාල් වැනි දේට ජාතික ආදායමෙන් විශාල මුදලක් විදේශයන්ට ඇදී යනවා. අප මේවා පාලනය කළොත්  සමහරවිට තාවකාලිකව බහුතර ජනතාව පීඩාවන්ට ලක්වෙයි. නමුත් දිගුකාලීනව ආර්ථික ගැටලුවට යම් සහනදායී  යහපත් පියවරක් ගත හැකියි. මුලදී ප්‍රශ්න එයි. ඒත් අතහැර දමා ඇති කුඹුරු ඉඩකඩම් ඉබේම වගා කෙරෙයි. ගොවියන් වීදි බැසීම නතර වෙයි.

නමුත් මේ සමගම දේශීය නිෂ්පාදන  කෙරෙහි උනන්දු කරවීම මගින් අපට ණය සම්බන්ධ අර්බුදවලින්ද ක්‍රමයෙන් ගොඩ ඒමට හැකි වෙයි. එදා සිරිමා බණ්ඩාරණායක මහත්මියගේ වගා සංග්‍රාමය යම් බාධක මත හෝ ක්‍රියාත්මක වූවා නම් අප අද සෑහෙන දුරක් ගිහින්. මිනිසුන්ට ඇත්තේ කඩිනම් සහ තදියම් අවශ්‍යතා නිසා එවැනි දුරදක්නා  යෝජනා බැහැර වෙනවා.

දූෂණය සහ නාස්තිය

අනික දූෂණය, වංචාව, නාස්තිය, සොරකම වැනි දේ දුරු කිරීම සහ එය කළ යුතුයි කියන දේ පාලකයන් මහජන නියෝජිතයන් සහ නිලධාරීන් අවංකව තේරුම් ගෙන ක්‍රියාත්මක විය යුතුයි. කොතරම් කතා කළත් ඒ දේ සිදුනොවී රට ගොඩගන්න බැහැ. හැමදාමත් ඇහෙන්නේ මේ විනාශයයි.

අපේ රට ලෝකයේ දූෂිත රටවල් අතරින් සිවුවන තැනට පත්ව තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ජාතික ආදායමෙන් විශාල ප්‍රමාණයක් අයථා ක්‍රම මගින් දේශපාලකයන් සහ රාජ්‍යතාන්ත්‍රිකයන්  භාවිත කරන විට සංවර්ධන කටයුතු සඳහා මුදල් නැතිකම මත අර්බුද මතුවෙනවා.
එහෙම වෙන කොට එයින් සිදුවන්නේ නැති බැරි දිළින්ඳන් විසින් පත්කළ සහ මහජන නියෝජිතයන් සහ ඔවුන්ගෙන් වැටුප් ගන්නා නිලධාරීන් පමණක් සුඛවිහරණය විඳීම නම් දිළින්ඳන් ඉලක්ක ජනතාව සමාජ ආර්ථික වශයෙන් පිරිහී යෑම පුදුමයක් නොවෙයි.

අනික් කරුණ තමයි දූෂණය ඇතිතාක් කල් කවදාවත් රටක් ගොඩගන්න බැහැ. එය පාලකයන්, නායකයන්, මහජන නියෝජිතයන් වගේම නිලධාරීන්ද තේරුම් ගත යුතුයි. මේ හැම දෙයකින්ම සිදුවන්නේ ජන ජීවිතය කඩාවැටීම. ජනතාවට රාජ්‍ය සහ පරිපාලන යාන්ත්‍රණයත් පිළිබඳ කලකිරීමත් ඇතිවෙනවා නම් ඒ ඉච්ඡාභංගත්වය රටකටත්, ජනතාවටත්, සමාජයටත් ඇතිකරන හානිය ලෙහෙසි පහසු නැහැයි කියන දේ අවධාරණය කළ යුතුයි.



Recommended Articles