ලංකාවේ සමාජය වසර දහස් ගණනක් තිස්සේ අතීතකාමය තුළම ඇලී ගැලී විනාශය කරා ගිය සමාජයකි. අතීතකාමය හා අනම්‍ය බව පැරණි වැඩවසම් සමාජයෙන් එවකට තිබූ සූරාකෑම තවදුරටත් පවත්වාගැනීම උදෙසා පවත්වාගෙන පැමිණි ආකල්පයකි.
ලාංකික අපි වෙනස් වීමට අකමැතිය. කැමති වුවත් වෙනස් වීමට හැකියාවක්වත්, දිරියක්වත්, ලාංකික සමාජයට නැත. එය දෙමළද, මුස්ලිම්ද, සිංහලද කියා වෙනස් නැතිව සැමටම පොදුය. මේ වෙනුවෙන් ගත හැකි හොඳම උදාහරණය ගත හැක්කේ දෙමළ සමාජයෙනි. ප්‍රභාකරන් තිස් වසරක් තිස්සේ යුද්ධ කරමින් දෙමළ මිනිසුන් ලක්ෂයක් පමණ මියයෑමටද තවත් ලක්ෂ හයක් පමණ රට හැර යෑමටද සලස්වා කුලවාදය පිටුදකින දරුණු පාලනය, දශක තුනක එනම් සම්පූර්ණ ජන යුගයක් පවත්වාගෙන ගොසිනුත් අදත් දෙමළ සමාජයේ කුලය බරපතළ ප්‍රතිගාමී සමාජ ප්‍රපංචයක් ලෙස පවතී. එය එම සමාජය පවත්වාගෙන යන්නේ සමාජ ප්‍රගමනයට නොව අනෙකා පීඩනයට ලක්කොට පාගා දැමීමටය.
අප සමාජයක් ලෙස කෙතරම් පසුගාමීද යත්, අනෙකා පාගා දැමීමට විනාශ කිරීමට උපකරණයක් ලෙස ලෝකයේ අවිහිංසාව තම ධර්මය කරගත් බුදුදහම පවා උපකරණයක් කරගනී. ලංකාවේ බුදුදහම එහි මූලික වටිනාකම්වලින් මිදී බුද්ධ, ධම්ම සහ සඟ යන අංශ තුනෙන් සඟ යන අංශය ප්‍රමුඛ කරගත්, සිවුරු දරන එම ආයතනයේ සාමාජිකයන්ගේ සමාජීය, ආර්ථික හා දේශපාලන ව්‍යාපෘතියක් ලෙස බුදු දහම ලංකාවේ පවත්වාගෙන යයි. එම තත්ත්වයෙන් හොඳින්ම ප්‍රයෝජන ගෙන රට අන්තිම බින්දුව දක්වා සූරා කන ලද්දේ රාජපක්ෂවරුන්ය. එහි කූඨප්‍රාප්තිය වන්නේ සංඝයා වහන්සේලා මෙරට සමාජ තුළ රස්තියාදුකාර කල්ලියක් ලෙස හැසිරීමට පටන්ගැනීමයි. දැනට වසර පහළොවකට විස්සකට පෙර සංඝයා වහන්සේ නමක් පන්සලෙන් එළියට වැඩම කළේ නම් එය අහල ගම් හතක දන්නා හැමදෙනාගේම අවධානයට ලක්වන කාරණයකි. අද කඩපිලේ, බස් පොළේ, සූදු පිටියේ, පිට්ටනියේ පමණක් නොව මේ ලියුම්කරුට රටේ නමගිය හාමුදුරුවරු බාර් එකේදී සිවුර පිටින්ම හමු වී තිබේ. එක අතකින් සමාජ මාධ්‍ය හරහා අප සමාජය මත මෙම ආගමික සංස්ථාවේ කියුම් කෙරුම් වේගයෙන් හෙළිවෙමින් තිබේ. මෙම තත්ත්වය මත රටේ දේශපාලන බලවේග පිළිබඳ නැවත සලකා බලන තත්ත්වයක් ඇති වී තිබේ.
එසේම පසුගියදා සිර දඬුවම් ලැබූ ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවන්ගේ දේශපාලන හා ශාසනික අනාගතය අවුලෙන් අවුලට පත් වී ඇති බව කිව යුතුය. පන්සල්වල බෝ ගස්වලට හා බණ මඩුවලට මුවා වී අවාස ගෙවල්වල රහසේ සිදු වූ අකටයුතුකම් හා මගෝඩිකම් ජනතාව අතරට ගෙනැවිත්, මාධ්‍ය සංදර්ශන පවත්වා එම සංදර්ශනවලම උගුලක් බවට පත්වෙමින් උන්වහන්සේ වසර 06කට සිරගත විය. සාමාන්‍යයෙන් ලංකාවේ සංඝ ශාසනය තුළ දැකිය හැකි නිකාය භේදයට මෙන්ම පන්සල් අභ්‍යන්තරයේ ඇති අධිකාරී බලයට ප්‍රසිද්ධියේ අභියෝග කළ ඥානසාර හාමුදුරුවෝ එයින් උපයාගත් බලය දේශපාලන ආයෝජනයක් ලෙස ගොඩනගාගැනීමට තැත් කිරීමේදී මෙන්ම ඒ සඳහා භාවිත කරන ලද කෙටි මාර්ගවල ප්‍රතිඵලයක් ලෙස උන්වහන්සේ සිරගත විය. උන්වහන්සේගෙන් හිස් වූ ජාතික අරගලයට කුමන පාර්ශ්වයක් ඉදිරිපත් වෙත්දැයි තවම කිව නොහැකි වුවත්, එම හිස්තැන පිරවීමට ලංකාවේ වැඩිම සුදුසුකම ඇත්තේ මහින්ද රාජපක්ෂ පවුලේ ගෝඨාභය රාජපක්ෂටය.
ඉදිරි ජනාධිපතිවරණයක හෝ මහ මැතිවරණයකදී ඔවුන්ගේ නැගීසිටීම අපට බලාගත හැකි වනු ඇත. විශේෂයෙන් රාජපක්ෂ පරපුරෙන් කිසිවෙකුත් තම පුද්ගලික ධනයෙන් අබ ඇටක් තරම් දෙයක් බුදු සසුනට පූජා නොකළද, බුදු දහම දේශපාලන උපකරණයක් ලෙස භාවිත කිරීමේ රුසියෝ වෙති. පසුගිය කාලයේ ලංකාවේ සමාජය තුළ සංඝ සමාජයට එරෙහි එක්තරා ආකාරයක විරෝධයක් එල්ල වුවද ඉතිහාසයේ කවරදාකවත් නොවූ තරම් සංඝ සමාජය රාජපක්ෂවරුන් යටතේ ශක්තිමත් විය. එය කෙතරම් ශක්තිමත් වීද යත් ග්‍රාමීය මට්ටමේ ජනතාවට බලහත්කාරයෙන් පිරිත් ඇස්සවීම, ලවුඩ්ස්පීකර් බණ කීම, ගිහි ජීවිතයේ සිට ලිංගික කටයුතු කරන ආකාරය දක්වා සියල්ලම සංඝයා වහන්සේලා විසින් ගැමියන්ට බලෙන්ම ලවුඩ්ස්පීකර් මගින් ඉගැන්නුවේය.
පාකිස්තානය දැනට වසර විස්සකට තිහකට පමණ පෙර සිට ජාතිවාදයේ ගොදුරක්ව තිබී දේශපාලකයින් සූරා ගත් රටකි. එහි දේශපාලකයන්ගේ ප්‍රධානතම වැඩපිළිවෙළ වූයේ මුස්ලිම් ආගම නගාසිටුවීමයි. අද එය ලෝකයේ අර්බුදවලින් ගහන දිළිඳු රටක් බවට පත්ව තිබේ. එහි පසුගිය සතියේ සිදුවූ විශේෂ සිදුවීම වන්නේ හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන් එරට අගමැති ධුරයට පත් වීමයි. ඔහුගේ ජීවිතයෙන් අපට බොහෝ පාඩම් ඉගෙනගත හැක. දැනට වසර විස්සකට පමණ පෙර දේශපාලනයට ප්‍රවිෂ්ට වන ඔහු එරට අගමැති ධුරයට පත්වන විට ඔහුගේ පක්ෂය වන Pakistan Movement for Justice පක්ෂයට වසර විසිදෙකක් ගෙවී තිබිණි. 1996 ආරම්භ වන එම පක්ෂයේ මූලික පදනම වන්නේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදයයි.
ඉම්රාන්ගේ ජනප්‍රියත්වයේ ඉහළම අවධියේදී අරඹන ලද එම පක්ෂයට මුල් යුගයේදී ලබාගත හැකි සාර්ථකත්වය ඉතා අල්ප වේ. එයට ප්‍රධානතම හේතුව වන්නේ ආගමික හා ජාතිකවාදී දේශපාලන හැඟීම්වලින් රෝගී වී තිබූ පාකිස්තානයට ඔහු විසින් ඉදිරිපත් කරන ලද දියුණු ශීලාචාර, බටහිර ආභාසය ලත් පාලන ක්‍රමය තේරුම් ගැනීමට තරම් ඒකාග්‍රතාවක් එරට සමාජයට නොතිබුණු බැවිනි.
මුලදී එම පක්ෂය ඉදිරිපත් වන සියලුම මැතිවරණවලින් පරාජයට පත්වන නමුත්, 2002 වසරේදී ප්‍රථම වරට ඉම්රාන් පාර්ලිමේන්තු ආසනයක් දිනාගනී. එසේම අඛණ්ඩව දේශපාලන ක්‍රියාවලියේ යෙදෙන ඉම්රාන්ගේ පක්ෂය 2008 මැතිවරණය වර්ජනය කරනු ලබන අතර, නැවත ඔවුන් 2013දී ජාතික මැතිවරණයට ඉදිරිපත්ව එරට තුන්වැනියට විශාල පක්ෂය ලෙස ආසන දිනාගනී. නැවතත් 2018දී මැතිවරණයට ඉදිරිපත් වන එම පක්ෂය එරට තනි පක්ෂයක් ලෙස ලබාගත් ඉහළම ආසන සංඛ්‍යාව දිනාගනිමින් එරට පාර්ලිමේන්තුවේ බලය අත්පත් කර ගනිමින් අගමැති ධුරයට පත් වේ.
ඔහුගේ වචනවලින්ම පවසන පරිදි පාකිස්තානය පසුගිය වසර ගණනාව තුළ විශාල අර්බුදයකට මෙන්ම අනාරක්ෂිත තැනක් බවට පත් වී තිබේ. එහිදී ඔහු එහි වරද ලෙස දකිනුයේ පාකිස්තානු ජන සමාජය නීතියේ ආධිපත්‍යය වෙනුවට ආගම මුල් කරගත් දේශපාලන සමාජ හා ආර්ථික වැඩපිළිවෙළකට යොමු වීමයි. අද ලෝකයේ සාමකාමී දියුණු රටවල් සියල්ලම පාහේ ආගමික නැඹුරුව අඩු රටවල්ය. ආගමික දැනුමටත් වඩා ලොකුම හානිය ඇත්තේ ආගමික සංස්ථාවේ නැතහොත් පූජක පන්තියේ ඇති ඔවුන්ගේ පැවැත්ම උදෙසා වූ තක්කඩිකම් නිසාය.