ගව ඝාතනය නැවතීමක් පිළිබඳ කතාබහක් ඉකුත් දිනක අසන්නට ලැබිණි. එහෙත් එය තවත් හුදු කතාබහක් පමණක්ම වී ඇත. එවැන්නක් කිරීමට තරම් සවිමත් ප්‍රායෝගික වැඩපිළිවෙළක් පෙනෙන තෙක් මානයක නැත. සත්‍ය ලෙසම ගැටලුව වනුයේ මෙවැනි චවන මාත්‍ර සමාජගත කරන්නවුන්ට ඒ සඳහා අවංක උවමනාවක් ඇතිද යන්නය. සියලු තැන්හී පිරිහුණු මෙරට වත්මන් ජනසමාජය මෙවැනි සද් කටයුතු අරඹයා අරගල කිරීමට සූදානම් නැති බව නම් ඉඳුරාම කිවත හැකිය. සිදුව ඇත්තේ අපේ යැයි කිව හැකි සියලු අක්මුල් සිඳගත් ජාතියක් බවට අප පත්ව තිබීම පමණකි. සොබාදහම විසින් මාහැඟි වටිනා මාවතක් පාදා ඇති මෙවන් අවදියක පවා අප ගමන් කරමින් සිටිනුයේ සුපුරුදු මංමුළා වූ මාවතේමය.
රටට බත සැපයූ සාම්ප්‍රදායික ගොවියාගේ ළෙංගතු ගමන් සඟයාව සිටියේ ගවයාය. එහෙයින්ම ගවයන් උදෙසා ඉහළම පුදසත්කාර කළ ජාතියක් ලෙස ලොව පතළව සිටියෙමු. ගොනු බැඳි කරත්ත පිට නැග බුදු පුදට මල්, පහන්, සුවඳ දුම්, දන්, පිරිකර ගෙන ගිය සරුසාර අතීතයක් අපට තිබිණි. එහෙත් අද අප ලොව ප්‍රකටව ඇත්තේ ගවමස් බුදින්නවුන් අතර කොඩිය ඉහළටම එසවූ ජාතියක් ලෙසය. අපගේ සාම්ප්‍රදායික ගැමියන් පවසන්නාක් මෙන් එහෙව් අපට ඉර පායනවා පුදුම නොවේද? මේ මෙරට අතීත ජීවන සම්ප්‍රදාය තුළ ගවයා සහ ගැමියා අතර පැවැති අවියෝජනීය සහසම්බන්ධතාවය පිළිබඳව තබන සටහනකි.
සහජීවනය මෙරට අතීත ජනසමාජයේ පදනම විය. ගම කේන්ද්‍රීයව පැවැති සරල, සැහැල්ලු දිවිපෙවෙත ඊට මනා රුකුලක් වී තිබේ. කෘෂිකර්මාන්තය මුල්තැන්හී තබා දිවි ගෙවූ ගැමියන්ගේ ආර්ථිකයද ස්වයංපෝෂිත වූවකි. ගමට අවැසි දෑ ගම තුළදීම වවා, නිෂ්පාදනය කොටගත් ගැමියන් භාණ්ඩ හුවමාරුවද සිය ජීවන සම්ප්‍රදායක් කොටගෙන ඇති බව පැහැදිලිව පෙනේ. ගැමියන්ගේ කෘෂිකාර්මික දිවිපෙවෙතේ මුදුන්මල්කඩ බඳු වූ වී ගොවිතැනෙහි වැපිරීමේ සිට කමතෙහි අස්වනු නෙළීම දක්වා වූ සියලු කටයුතු සඳහා දායකව ඇත්තේ ගව සම්පතය. ළෙංගතු, සමීප ගමන් සගයෙකු වූ ගවයා මරා කෑමට තරම් මෙරට සාම්ප්‍රදායික ගැමියන් සාහසික වූයේ නැත.
සීමිත ඕනෑඑපාකම් වලින් තෘප්තිමත්ව ජීවිත ගෙවා ඇති ගැමියන්ගේ එදිනෙදා කටයුතු සඳහා එහේමෙහේ යෑම බොහෝ විට පා ගමනින්ම සිදුවී ඇත. වෙළහෙළදාම් සහ එදිනෙදා ගමන්බිමන් යෑම සඳහා ගොනුන් බැඳි කරත්ත එවක ගෞරවාන්විත ප්‍රවාහන මාධ්‍යයක් වී ඇත. ගොන් කරත්තයක් එවක තිබී ඇත්තේ එහෙමත් නිවසකය. ජීවනෝපායට වෙළෙඳාමේ ගිය උදවිය ළඟ හෝ ගමේ යමක්කමක් තිබූ ප්‍රභූන් යැයි පිළිගත් උදවිය ළඟ කරත්ත තිබී ඇත.
මෙපරිද්දෙන් එවක හොඳින් හීලෑ වූ ගොනු බැඳි කරත්තය මත ගොඩවී පිටිසර ගම්මැදි වෙත පොල්අතු හෝ මැටි වළං වෙළෙඳාමේ පැමිණි උදවිය එවක ගැමියන්ට සුපුරුදු දසුනකි. එහෙත් අද වන විට ඒ දසුන හුදු මතක මාත්‍රයක් පමණක් වී ක්‍රමයෙන් වියැකී යමින් තිබේ. එනමුත් එතුළ ඇත්තේ තවමත් නොසිඳුණු රසයකි.
ගම මැදට වන්නට පිහිටි තුන්මං හන්දියේ ඉඩකඩ ඇති තැනක කරත්ත පෙළ නවතා රාත්‍රිය ගත කළ කරත්තකරුවන් එහිම හිද රෑ බත පිළියෙළ කළ අයුරු වියපත් ගැමියන්ගේ මතකයේ තවමත් සැඟව ඇතිවාට සැක නැත. රෑ බත සමග ඉදෙන වෑංජන හා කරවල සුවඳ ඒ මග යන්නවුන්ගේ නාස්පුඩු විනිවිද යන්නේ අනාරාධිතවය. හට්ටි, මුට්ටි, හැඳි, පිඟන්, ලුණු, මිරිස්, හාල්, පොල් ආදී අඩුමකුඩුම ඇති තරමට කරත්තයේ ඇත. යළි නිවෙස් බලා යන තෙක් ඒ අඩුවැඩිය ඔවුනට සෑහේ.
“ගෙදර ගිහින් ඇළ ගාවින් හොඳ තණ කොළ ටිකක් උඹට
තලු ගහ ගහ බඩ පිරෙන්න ගෙනත් දාන්නම් කන්නට
හැන්දෑවට උඹ ඉඳගෙන තලු ගහනවා මට ඇහෙනවා
උඹට කලුවේ හුඟක් හොරද හැන්දෑවට නින්ද යනවා”
ගුණදාස අමරසේකර කවියාගේ කවි පෙළක මතුව එන මේ අපූර්ත්වය සිහින් සුළඟක් සේ සිත විනිවිද යයි. වචන කළ නොහැකි හැඟීම් රොත්තකින් සිත පිරී යයි. දහවල මැදියමට පැමිණෙත්ම මහ මග පසෙක ඉඩ ඇති තැනක් බලා දවල් බත පිළියෙළ කිරීමට කරත්තකරුවන් අඩුමකුඩුම සොයයි. එළවළුවක් දෙකක් සමග පිසින කරවල හොද්දක සුවඳ නාස්පුඩු විනිවිද යයි. තවත් මිනිත්තු කිහිපයක් ගිය තැන්හී කරත්ත බත සූදානම්ය. කරත්ත බතේ රස දන්න ගැමියන් තවමත් පිටිසර ගම්මැදිවල සොයාගත හැකිය. එවක මසකට හමාරකට සැරයක් ගමට එන කරත්තකරුවන් සමග හිතවත්කම් හදාගන්නා ගැමියන් විටෙක කරත්ත බතේ රස බැලුවේය. නිවසේ ඉදෙන මාළුපිනි ටිකක් කරත්ත නෑසියන්ට ගෙනැවිත් දුන්නේය.
“බැරි බර කරේ තියන් දෙපයට වාරු අරන්
අපෙ බඩ කට පුරවනවා
රෑ සීපද කියමින් සීතලයට ගැහෙමින්
හපුතලෙ කන්ද නගිනවා
රෑ සීපද කියමින් සීතලයට ගැහෙමින්
හපුතලෙ කන්ද නගිනවා
උඹ පොඩි පැටිය කාලෙ මගෙ හොඳ තරුණ කාලෙ
තවමත් මට සිහිවෙනවා
ළිඳ ළඟ හරක් ගාලෙ සෙල්ලම් කෙරුව තාලෙ
අම්මප පුදුම හිතෙනවා
උඹ පෙර ආත්මයක කර ඇති මහ පාපෙට
ණය මට තවමත් ගෙවපන්
මේ මහ සංසාරෙත් නොදන්න මනුස්සකම
උඹවත් වටහල දීපන්
උඹට වාරු නැති වෙනකොට උඹ නාකි වී එනකොට
මම උඹ ගැන දුක් වෙනවා
උඹ අඩපණ වෙනකොට මස්කඩ මුදලාලිට
උඹෙ වටිනාකම වැඩි වෙනවා
උඹයි මට කන්න දුන්නෙ උඹයි මට බොන්න දුන්නෙ
ඒ ගැන මම දිවුරනවා
උඹෙ මස් මිනිස්සුන්ට කවදාවත් නොදෙන්න
මම උඹට පොරොන්දු වෙනවා”
මැක්සි ජයවීර ගායනවේදියා ගැයූ මේ මියුරු ගී පද ඒ අතීත මතකයන් වල ජීවගුණය කුළුගන්වයි. එවක කරත්තයෙන් දිගේලි කළ ගවයන් පුන්නක්කු මෙන්ම පිදුරු හෝ තණකොළ ආදිය තලුමරන්නේ ලද විරාමය නොඅඩුව විඳිමිනි. කරත්ත පවුලක ජීවන බරට ගිනිගහන අව්ව නොතකා උරදෙන මේ අහිංසකයන් කෙරෙහි ගැමියන් තුළ වූයේ මහත් වූ අනුකම්පාසහගත හැඟීමකි. සැතපුම් සිය ගණනක් ගවයන් සමග මහ මග ගෙවන ගැමියෝ විටෙක කවි ගායනා කළෝය. එතුළින් වහනය වූයේ ඔවුනගේ දුක, වේදනාව, ජීවන සම්ප්‍රදායන් සහ වටිනාකම්ය. බොහෝ විට කරත්තකරුවන්ගේ රැය ගෙවී යන්නේ නිදිවර්ජිතවය. දවසේ කළ කී දෑ සේම අතීත රස මතකයන් අතර හෝරා ගණනාවක් රෑ මැදියම වන තෙක් ඔවුන් කාලය ගෙවා දමන්නේ අකම්පිතවය. ගම්මැදි හන්දියක රැය ගෙවන ඔවුනොවුන් මොනවදෝ මුමුණන, විටෙක කොක් හඬලා සිනාසෙන හඬ රැය මැදියම අවදිවන ගැමියන්ට එවක නුහුරු නොවූවකි. විටෙක තුන්මං හන්දිය වෙත යන ගැමියන් අඳුරේ දැල්වෙන ලන්තෑරුම් එළිය යට දිගහැරෙන කතාබහට කරත්තකරුවන් හා එක්වන්නේ අලුත් හිතවත්කමකට මග පාදා ගනිමිනි.
හිමිදිරි පාන්දර හිරු එන්නට පෙර අවදිව උණු උණුවේ දුම් දමන තේ කහට කෝප්පයකින් සප්පායම් වී යළි දවසේ මෙහෙවර අරඹන කරත්තකරුවන්ගේ දසුන ගම්මැද්දේ කාටත් එවක හුරුපුරුදුව තිබූවකි. පොල් අතු හෝ වළං සමග මනුස්සකමද මේ මිනිසුන් ගමට ගෙන එන්නේය යන විශ්වාසය එවක ගැමියන්ගේ සිත් තුළ දළුලා තිබුණේ කවර හෝ බලපෑමකින් තොරවය. දැන් පොල් අතු හෝ වළං රැගෙන ගමට එන කරත්තකරුවෙකු දක්නට ලැබෙනුයේ ඉතා කලාතුරකිනි. ගල්ගමුව, පාලුගම ගමේ හැත්තෑ තුන් වියැති එස්.එම්. ජයකොඩි මහතා කරත්ත රස්සාවේ වසර හැටකට කිට්ටු අත්දැකීම් ඇත්තෙකි.
කරත්තයෙන් ගම්මැදි වලට ගොස් මැටි වළං විකුණා ඇති ඔහු දැන් රස්සාවෙන් ඈත්වී ජීවිතයේ සැදෑ සමය ගත කරමින් හිඳියි. දින ගණනක් නිවසින් ඈත්වී ගෙන ගිය ජීවිත සටන අද ඔහුට මතක මාත්‍රයක් පමණකි.
එදා කරත්ත පාරවල් අද අතෝරක් යානවාහන යන එන විසල් මහාමාර්ග වී තිබේ. මේ පාරවල් මත ගොන් බැඳි කරත්ත දැක්වූ කාලය දැන් ඔහුට සිහිනයක් මෙන්ය. සියලු වෙනස්වීම් මැද ඔහුද ජීවිතාවබෝධයෙන් මුහුකුරා ගොසිනි.
“ කරත්තේ යනකොට තියෙන ලොකුම වෙනස තමයි රෑට ගමන්බිමන් යන්න බැරි එක. රෑ වෙනකොට හරක්ට ඇස් පේන්නෙ නෑ. එතකොට කොහොමත් කොහේ හරි තැනක නවතින්න වෙනවා. හරක්ට වතුර, පුන්නක්කු ටිකක් දීලා දිගේලි කරන්න පුළුවන් තැනක් බලලා තමයි නවතින්නේ. ගෙදරට හැතැම්මක් විතර දුර තිබ්බත් ආයෙ එළිවෙනකන් ඉඳලා තමයි පිටත් වෙන්නේ. සත්තුන්ටත් විවේකයක් ඕනනේ. මොනව කෙරුවත් ගොන්නු රෑට කරත්තෙ අඳින්නෙ නෑ. එකම හේතුව ඇස් පේන්නෙ නැතිකම.”
“මාමට ඒ විදිහට රෑට නැවතිලා උයා පිහාගෙන කාපු දවස් මතකද?” මම අතීතයේ ලස්සනම දවස් ගැන ඔහුගෙන් අසමි.
“අපොයි ඔව්. සමහර කාලවලට ගෙදරින් ගියහම දවස් දහය දොළහ ගෙදර නෑ. ඉන්න තැනක් ගැන ගෙදරට පණිවුඩයක් දීගන්න විදිහක් නෑ. හරි දුකෙන් තමයි සමහර වෙලාවට ඒ දවස් ගෙවන්නේ. ඒත් අපි ඒ ජීවිතේට හුරුවෙලා හිටියේ. රෑට කරත්තෙ ගෝනි පඩංගුවේ නිදාගත්තේ. ඇත්තම කිව්වොත් සමහර දවස් වලට නින්දක් නෑ. ඔය ගම් මණ්ඩියක එහෙම නවත්තපුවහම රෑ දොගොඩහරිය වෙනකන් මොනව හරි කතා කර කර ඉන්නවා. අපි කට්ටියක්නේ යන්නේ ගම් වලට. සමහර වෙලාවට ගමේ දෙතුන් දෙනෙකුත් එනවා කතාවට. ගිනිමැල ගහගෙන මඤ්ඤෙක්කා අල එහෙම පුච්චනවා. මට මතකයි අපි වළං දීලා කව්පි, මුං, කුරහං වගේ දේවල් අරගෙන එනවා.”
“කොහොමද කරත්ත හදාගත්තේ.”
“සාමාන්‍යයෙන් කරත්තයකට බඳින්න වස්සෙක් අවුරුදු දෙකහමාරක් විතරවත් වෙන්න ඕන. කරත්ත රෝදය හදන්නේ දඹ ලීයෙන්. හල්මිල්ල තමයි කරත්තයේ සැකිල්ලට ගන්නේ. විය ගහට ගන්නේ කොස්. මොකද කොස් ලීය රත්වෙන්නෙ නැහැ. ඒ නිසා වස්සාගේ බෙල්ලට හොඳයි. තුවාල වෙනව අඩුයි. බරකරත්තේ, අත් කරත්තේ, බරබාගේ, තිරික්කලේ, බක්කි කරත්තේ, භූමිතෙල් කරත්තේ, බණ කරත්තේ වගේ කරත්ත ඒ කාලේ තිබ්බා. අපි පාවිච්චි කෙරුවේ බර කරත්තේ. මේ කරත්තෙට ගොන් නාම්බෝ දෙන්නෙක් ඕන. තිරික්කලය වගේ කරත්තයක් ගත්තොත් ඒකට බඳින්නේ එක ගොන් වස්සයි.”
“කෝ දැන් ඒ කරත්ත.” මම අතරමැදි ප්‍රශ්නයක් විමසීමි.
“සත්තු මැරිල ගියාට පස්සේ කරත්තත් නිකංම දිරලා විනාශ වෙලා ගියා. අපේ තාත්තලගේ කාලේ ඉඳන් කරත්ත රස්සාව කරපු මමත් දැන් කරත්තෙ අතෑරලා අවුරුදු හය හතක් වෙනවා. ඉස්සර වගේ දැන් කවුරුවත් කරත්තෙන් ගිහිල්ලා වළං රස්සාව කරන්නෙ නෑ. දැන් හැමදේම අපේ හිත්වල තියෙන මතකයක් විතරයි. ඒත් මොනතරම් සල්ලි හම්බ කෙරුවත් ඒ කාලේ තිබ්බ සැනසීම දැන් නෑ කියලයි මට නම් හිතෙන්නේ. ඒ කාලේ ලොකු ලාභයක් නැති වුණත් ජීවත් වෙන්න හොයාගත්ත කීය හරි ඇති. ඒ කාලේ අපි දෙමව්පියෝ වගේ බලාගත්ත සත්තු අද මරාගෙන කනවා. මට නම් තියෙන ලොකුම වේදනාව ඒක.”
ගැමි සහජීවන ආර්ථීක වටපිටාවේ අනිවාර්ය කොටස්කරුවෙකු වූ ගවයන්ට අම්මා, අප්පා ලෙස ඇමතූ ගැමියන් සතුන් කෙරෙහි වූ තම දයා කරුණාව මොනවට විද්‍යාමාන කළේය. මේ අහිංසකයන්ගේ දෙනෙතේ පිරී ඉතිරෙන කියාගත නොහැකි වේදනාවට ඔවුහු අනුකම්පා කළෝය.
එහෙත් අකාරුණික සැඬ සුළඟකට හසුව සරල, සොඳුරු ගැමි ජීවන පෙවෙතට පණ දුන් කරත්තකරුවාගේ භූමිකාවද හමාර වී තිබේ. හරක් දිගේලි කළ තුන්මං හන්දියට ඉහළින් අදත් නොවෙනස්ව හිරු පමණක් මෝදු වී රක්ත වර්ණයෙන් බැස යනු පෙනේ. ලොව ගව මස් බුදින ජාතීන් අතර ඉහළම වාර්තා තැබූවන් අතර අප නොමිනස්කමේ කොඩිය ඉහළටම ඔසවමින් සිටිමු. මිනිස්කමේ ගුණ සුවඳ රක්ත වර්ණ රුහිරු අතර වියැකෙමින් තිබේ.
සටහන හා ඡායාරූප - බුල්නෑව ප්‍රදීප් රණතුංග