අනුරාධපුර ’සෙත්සවිය‍’ ආයතනයෙන් අන්තර් ආගමික සංහිඳියා වැඩසටහන් මාලාවක්


අනුරාධපුරය, "සෙත්සවිය" ආයතනය මගින් විවිධ ජාතීන් අතර ආගමික සහජීවනය ඇති කිරීමේ අරමුණින් වැඩසටහන් මාලාවක් ආරම්භකොට ඇතැයි එම ආයතනයේ අධ්‍යක්ෂ බෙනට් මෙල්ලව පියතුමන් පැවසීය. තරුණ සහ පාසල් වයසේ පසුවන දරු දැරියන්ගේ හැකියා වර්ධන පුහුණු වැඩසටහන් සහ තෝරාගත් දුෂ්කර ගම්මාන ගණනාවක ජනතාවගේ ජීවනෝපාය නගාසිටුවීමේ වැඩසටහන් රැසක් මීට සමගාමී ලෙස ක්‍රියාත්මක වන බව මෙල්ලව පියතුමන් සඳහන් කළේය. අන්තර් ආගමික සහජීවනය ගොඩනැගීම, තිරසර කෘෂිකර්මාන්තය තුළින් දිළිඳු ජනතාවගේ ආහාර සුරක්ෂිතතාවය, ජාතීන් අතර සාමය හා සංහිඳියාව ඇතිකිරීම, විදෙස්ගත ශ්‍රමිකයන්  සඳහා සේවා සැලසීම ආදී තේමාවන් යටතේ ව්‍යාපෘති ගණනාවක් සෙත්සවිය ආයතනය මගින් ආරම්භකොට ඇත.

දුෂ්කර ගම්මාන ගණනාවක ජනතාවගේ ජීවනෝපාය නගාසිටුවීමේ වැඩසටහන යටතේ පොකුණු තුළ මිරිදිය මසුන් සහ විසිතුරු මසුන් ඇතිකිරීම, ගම් කුකුල් පාලන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වැනි වැඩසටහන් ක්‍රියාවට නංවා ඇත. දුෂ්කර ගම්මාන සඳහා පිරිසුදු පානීය ජල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත් දරු දැරියන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම, පාසල් සහ පෙරපාසල් ගෙවතු වගා වැඩසටහන් ආදිය සෙත්සවියේ සමාජ සත්කාරක සේවාවන් ලෙස මේ වන විටත් ක්‍රියාත්මකව පවතින බව බෙනට් මෙල්ලව පියතුමන් පැහැදිලි කළේය.

සෙත්සවිය මගින් සංවිධානය කළ තරුණ සහ පාසල් වයසේ පසුවන දරු දැරියන්ගේ හැකියා වර්ධන පුහුණු වැඩසටහන යටතේ විජිතපුර, කලාවැව සහ තලාව ප්‍රදේශවලදී පුහුණු වැඩසටහන් පසුගියදා පැවැත්වීය. පෞරුෂ සංවර්ධනය, පරිගණක සාක්ෂරතා වර්ධනය සහ අත්කම් නිර්මාණ හැකියා වර්ධනය යන තේමාවන් ඔස්සේ එහිදී පුහුණු වැඩසටහන් පැවැත්වීය. අන්තර් ආගමික සහජීවනය අරමුණු කර අධ්‍යාත්මික සංවර්ධන වැඩසටහන් ද ග්‍රාමීය විහාරස්ථාන කිහිපයක් කේන්ද්‍රීයව පැවැත්විණි. සමකාලීන සමාජ කාරණා පිළිබඳව මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීම සහ සංවාද ඇතිකිරීම ආදියද එම ආයතනයේ විශේෂ වැඩසටහන් අතර වේ. සෙත්සවිය ආයතනයේ අරමුණු සහ වැඩසටහන් පිළිබඳව බෙනට් මෙල්ලව පියතුමන් මෙසේ කරුණු පැහැදිලි කළේය.

“විවිධ ජාතීන් අතර සහජීවනය සහ අන්තර් ආගමික සංහිඳියාව අරමුණු කරගෙන තමයි දිස්ත්‍රික්කය පුරා අපේ වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ. අපි විශේෂයෙන් තරුණ පිරිස් සහ ළමයින් ඉලක්ක කරලා වැඩසටහන් සංවිධාන කරනවා. දරුවෝ අන්‍ය ජාතීන්ට, වෙනත් ආගම් අදහන අයට ගරු කරන්න හුරුවීම වැදගත්.  ඉවසීම, සාමකාමී බව වගේ ගුණාංග දරුවන්ට හුරු කරවන අතරවාරයේ ඒ අයගේ පෞරුෂ සංවර්ධනයට ඉවහල් වෙන වැඩසටහන් අපි සංවිධාන කරනවා. "

බුල්නෑව ප්‍රදීප් රණතුංග



Recommended Articles