රටේ ජනතාවත්, රටේ සම්පත් හා අනෙකුත් දෑත් ආරක්‍ෂා කරදීම රජය සතු වගකීමකි. එහෙත් අද දවස වනවිට එම වගකීම නිසි ලෙස ඉටු කිරීමට රජයට නොහැකි වී තිබේ. ගෙවීගිය දශක පහ සැලකීමේදී විශාල ලෙස මිනිස් ජීවිත අහිමි වූ ක්‍රියාකාරකම් හතරකට ප්‍රධාන වශයෙන් මෙරට ජනතාවට මුහුණ දීමට සිදු විය.
1971 වසරේ සිදු වූ අරගලයෙන් පසු මෙරට පාලකයන් ජනතාවට පොරොන්දු වූයේ මෙවැනි සිද්ධියක් ඉදිරියේදී ඇති නොවීමට වග බලාගන්නා බවයි. එහෙත් 1983 වසර වනවිට ඇති වූ සන්නද්ධ අරගලවලට නිසි අවස්ථාවේදී නිසි ලෙස ප්‍රතිචාර දැක්වීමට පාලකයන්ට නොහැකි වීම හේතුවෙන් වසර තිහක් පුරා මෙරට මිනිසුන්ට ජීවිතයෙන්ද, අත්පා, ඇස් ඇතුළු ශරීර කොටස්වලින් වන්දි ගෙවීමට සිදුවිය.
සන්නද්ධ අරගලය නොහොත් බෙදුම්වාදී අරගලය ආරම්භ වී වසර කිහිපයක් ගතවන විට එනම්, 88 හා 89 කාලවකවානුවලදී අභ්‍යන්තර අර්බුදයකට මුහුණදීමට ජනතාවට සිදු විය. අභ්‍යන්තර අරගලය නිමාවට පත්වන විට එවකට මෙරට සිටි තරුණ පරපුරෙන් විශාල පිරිසකට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු වූහ. බෙදුම්වාදී යුද්ධය 2009 වසරේදී අවසන් කිරීමට මෙරටට හැකි විය. එනම්, බෝම්බ පුපුරණ හඬ, වෙඩි හඬ නැවතී ගියේය. එහෙත් තිස් අවුරුදු යුද්ධය හේතුවෙන් බිඳී ගිය සිත් සුවපත් වූ ආකාරයක් දක්නට නොලැබිණි.
එයට ප්‍රධානම හේතුව වී තිබුණේ පටු අරමුණ වෙනුවෙන් කටයුතු කරන දේශපාලනඥයන් කිහිප දෙනෙකු හා ඇතැම් එන්.ජී.ඕ. සංවිධාන ජනතාව අතර විරසකයක් ඇතිවන ආකාරයට කටයුතු කිරීමය. යුද්ධය අවසන් වී මේ වනවිට වසර 10ක් ගතවී තිබුණද, කැඩීබිඳී ගිය සිත් සුවපත් කර ගැනීමට තවමත් බොහෝ ජනතාවට නොහැකි වී තිබේ. යුද්ධය අවසන් වීමත් සමග තවත් මෙවැනි ආකාරයේ සිදුවීම්වලට ජනතාවට මුහුණ දීමට සිදු නොවන ආකාරයට කටයුතු කරන බවට එවකට සිටි පාලකයෝ ජනතාව ඉදිරියේ පොරොන්දු වූහ.
පසුගිය ආණ්ඩුව ජනතාවට ලබාදුන් පොරොන්දුව ඒ ආකාරයට ඉටුකිරීමට වර්තමාන ආණ්ඩුවට නොහැකි වූ බවට මේ වනවිට ඔප්පු වී තිබේ. මේ නිසා උදෑසන නිවසින් යන පුද්ගලයා නැවත නිවසට පැමිණීම පිළිබඳ ජනතාව තුළ අවිනිශ්චිත තත්ත්වයක් ඇතිවී තිබේ. සකස් කරගත් ආහාර ටික සතුටින් ආහාරයට ගැනීමට තරම් ජනතාවගේ සිතේ සතුටක් නැත. අත්‍යවශ්‍ය ගමන්බිමන් පවා ජනතාව යනුයේ සිත තුළ විශාල බියක් දරාගෙනය.
පවතින තත්ත්වය හේතුවෙන් බස් රථයක රාක්කයේ හෝ ආසන යට කිසිදු බෑගයක් හෝ පාර්සලයක් තබා ගැනීමට අවසර නැත. පොදුවේ සලකා බැලුවහොත් සෑම කෙනෙකුම ජීවත් වන්නේ සිත් තුළ සුළු හෝ බියක්, සැකයක් තබාගෙනය.
රටේම ජනතාව මෙතරම් තත්ත්වයකට මුහුණදී සිටියද, පාලකයන්ට ඒ පිළිබඳ වගේ වගක් නැත. පාර්ලිමේන්තුවට ගොස් සිටින බොහෝ දේශපාලනඥයන් තමන් පාර්ලිමේන්තුවට ගොස් ඇත්තේ කුමන කාරණයකටද යන්න නොදන්නා බවද පෙන්නුම් කරමින් සිටියි. මේ නිසා විදේශීය ත්‍රස්තවාදීන් මෙරට සිදු කරන අපරාධවලට දඬුවම් කිරීමට නීති නොමැති බවට නහයෙන් අඬමින් ප්‍රකාශ සිදු කරමින් තිබේ.
පාර්ලිමේන්තුවට තේරී පත්වන සෑම කෙනෙකුගේම ප්‍රධාන වගකීම වී තිබෙන්නේ ප්‍රතිපත්ති සම්පාදනය කිරීමය. මේ නිසා රට ආරක්‍ෂා කර ගැනීමේ නීති සකස් කිරීමේ ප්‍රධානම ආයතනය වන්නේ පාර්ලිමේන්තුවය. ත්‍රස්තවාදීන් මර්දනය කිරීමට නීති නොමැති බවට පාලකයන් අඬා වැලපුණද ෆේස්බුක්, වයිබර්, ඉමෝ, වට්ස්ඇප් හෝ යූ-ටියුබ් නවතා දැමීමට ආණ්ඩුවට ගත වූයේ පැය දෙකක් වැනි සුළු කාලයකි.
මෙවැනි අවස්ථාවල රට තුළ සෑම කටයුත්තක්ම පාලනයකින් කළ යුතු නිසා සිදු කළ දේවල් පිළිබඳ ගැටලුවක් නැත. නියපොත්තෙන් කපන මට්ටමේ සුළුවට පවතින මෙම අන්තවාදී ක්‍රියා නියපොත්තෙන්ම කපා ඉවත් කළ යුතුය. එසේ නොමැතිව තිස් අවුරුදු යුද්ධයේදී සේ ප්‍රශ්නය දුරදිග යෑමට ඉඩ හැරීමට කටයුතු කළහොත් මේ ප්‍රශ්නය කොතැනින් අවසන් වේදැයි කිව නොහැකිය. පාලකයන් ජනතාව වෙනුවෙන් යුතුකම් ඉටු කරන්නේ නම්, අංක එකටම ඉටුකළ යුතු වන්නේ රටේත්, ජනතාවගේත් ආරක්‍ෂාව වෙනුවෙන් අවශ්‍ය වැඩකටයුතු කිරීමය. රටක තිබෙන ආරක්‍ෂාවේ තරමට ආර්ථිකයද පවතින අතර, එබැවින් ලෝකයේ අතිබහුතරයක් රටවල් ආරක්‍ෂාව අංක එක බවට සලකා කටයුතු කරයි.
එහෙත් ගෙවී ගිය කාලයේදී අප රට තුළ දැකගන්නට ලැබුණේ සංහිඳියාව නමැති බෝඩ්ලෑල්ල ඉදිරියට දමා රටේ ආරක්‍ෂාවත්, රටේ ආර්ථිකයත් අනතුරට ඇද දමන ආකාරයකි. රට තුළ නිසි ආරක්‍ෂක වැඩපිළිවෙළක් ඇත්නම් රටේ පවතින නීතිය සැමට එක සේ ක්‍රියාත්මක විය යුතුය. එහෙත් ගෙවී ගිය කාලය තුළදී මෙරට තුළ සැමට එක සේ නීතිය ක්‍රියාක්මක වූ ආකාරයක්ද දක්නට නොලැබිණි.
එක් එක් ජන කණ්ඩායම්වලට එක් එක් ආකාරයට නීතිය ක්‍රියාත්මක වූ ආකාරයක් දක්නට ලැබුණු අතර, එයට ලබාදිය හැකි සරලම උදාහරණය වන්නේ යතුරුපැදි භාවිතයේදී ආරක්‍ෂිත හිස්වැසුම් භාවිතයයි. අනතුරකදී හිසට සිදුවන හානිය වළක්වා ගැනීමට ආරක්‍ෂිත හිස්වැසුම් පැලඳිය යුතු බවට රට තුළ නීතියක් තිබේ. මෙම නීතිය කඩකර යතුරුපැදි භාවිත කරන පිරිස්වලට පොලීසිය විසින් නීතිය ක්‍රියාත්මක කරයි. එහෙත් උතුරු නැගෙනහිර ඇතැම් ප්‍රදේශවල සහ බේරුවල, දර්ගා නගරය හා කොම්පඤ්ඤ වීදිය වැනි ප්‍ර‘දේශවල මෙම නීතිය කඩ කරමින් යතුරුපැදි ධාවනය කිරීම බොහෝ අවස්ථාවල සිදු වේ. මෙම ප්‍ර‘දේශවල පසුගිය කාලයේදී පොලිස් නිලධාරීන් ඉදිරිපිටදී පවා නීති උල්ලංඝනය කරමින් කටයුතු කරන ආකාරයක්ද දක්නට ලැබිණි.
මීට අමතරව ඇතැම් සිද්ධිවලට අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් දේශපාලනඥයන් මැදිහත්ව මුදාගත් බවටද චෝදනා එල්ල විය. විල්පත්තුව ප්‍ර‘දේශයේ සිදුකළ වන විනාශය සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද විගණන පරීක්‍ෂණයකට අනුව දේශපාලනඥයන් කිහිපදෙනෙකුට හා රාජ්‍ය නිලධාරීන් කිහිපදෙනෙකුට චෝදනා එල්ල වී තිබේ.
එහෙත් එම වාර්තා සැලකිල්ලට ගෙන චෝදනා එල්ල වී තිබෙන රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව විනය පරීක්‍ෂණයක්වත් සිදුකරන බවට වාර්තා වූයේ නැත.
රට තුළ තිබෙන පරිපාලන දිස්ත්‍රික්ක ප්‍රමාණය විසිපහකි. එහෙත් මැතිවරණය පැවැත්වීමේදී ගණනය කරන දිස්ත්‍රික්ක ප්‍රමාණය විසි දෙකකි. රටට වැදගත් අනෙකුත් සෑම කටයුක්තක්ම සිදුවන්නේ පරිපාලන දිස්ත්‍රික්ක 25 ගණනය කිරීමෙන්ය. මෙවන් තත්ත්වයක් තිබියදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කිරීමේදී දිස්ත්‍රික්ක 25 සංඛ්‍යා ලේඛන වෙනම ඉදිරිපත් කර කල්මුනේ ප්‍ර‘දේශයේ සංඛ්‍යා ලේඛනයක්ද ඉදිරිපත් කරයි. මෙම සංඛ්‍යා ලේඛන අන්තර්ජාලයේ පළවන අතර මේ නිසා ලංකාව පිළිබඳ නොදන්නා කෙනෙකුට ලංකාව තුළ දිස්ත්‍රික්ක 26ක් තිබෙනවා යැයි හැඟී යා හැකිය.
කල්මුනේ ප්‍ර‘දේශය වෙනුවෙන් වෙනම සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරන්නේ එම ප්‍ර‘දේශය විශාල භූමි ප්‍ර‘දේශයක පැතිර තිබෙන නිසා බවට සෞඛ්‍ය ක්ෂේත්‍ර‘යේ කිහිප දෙනෙකුගේ මතවී තිබේ. එහෙත් ජනගහනය සැලකීමේදී ලංකාවේ වැඩිම පිරිසක් ජීවත් වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේය. නගරයක් ලෙස කුඩාම භූමියක වැඩිම පිරිසක් ජීවත් වන්නේ කොළඹ නගරය තුළය.
භූමිය සලකා බැලීමේදී අනුරාධපුර, මොනරාගල දිස්ත්‍රික්ක විශාලත්වයෙන් වැඩිම දිස්ත්‍රික්ක ලෙස සැලකේ. අනුරාධපුර නගරයේ සිට එම දිස්ත්‍රික්කයේ පිහිටි හොරොව්පතාන ප්‍ර‘දේශයට වාහනයකින් යෑමට පැය දෙකකට ආසන්න කාලයක් ගතවේ.
මොනරාගල දිස්ත්‍රික්කයේ සෙවණගල මායිමේ සිට සියඹලාණ්ඩුව මැයි දක්වා වාහනයකින් ගමන් කිරීමටත් පැය දෙකකට ආසන්න කාලයක් ගතවේ. මේ ආකාරයට හිතාමතා කරන සුළු වැරදි නිසා පවා අනාගතයේදී විශාල ප්‍රශ්නවලට පවා මුහුණදීමට සිදුවිය හැකිය.
කල්මුනේ සෞඛ්‍ය බල ප්‍ර‘දේශයේ සංඛ්‍යා ලේඛන අම්පාර දිස්ත්‍රික්කයේ සංඛ්‍යා ලේඛනවලට ඇතුළත් විය යුතුය. දේශපාලනඥයන් කිහිප දෙනෙකුගේ විවිධ මැදිහත්වීම් හේතුවෙන් නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් පවා ගෙවී ගිය කාලයේදී අසරණ තත්ත්වයට පත්වූ බවද වාර්තා විය. මේ නිසාම නීති විරෝධී කටයුතු කරන දේශපාලන හෙංචයියලා ඔවුන්ට ඕන දේ කිසිදු බියක් නොමැතිව කරගෙන ගියේය.
එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය 21 වැනි දින පුද්ගලයින් පිරිසකට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවිය. තවත් පිරිසකට තුවාල ලබා රෝහල් ගතවීමටද සිදුවිය. ප්‍රහාරය සිදුවී අදට (30) දින 09ක් ගතවී තිබුණත් පිපිරීම නිසා මියගිය ප්‍රමාණය හා තුවාල ලැබූ ප්‍රමාණය නිවැරදිව ප්‍රකාශයට පත්කිරීමටත් පාලකයින්ට නොහැකිවිය.
රජයේ පාර්ශ්ව දෙකක් මියගිය ප්‍රමාණය පිළිබඳව සංඛ්‍යා ලේඛන දෙකක් ඉදිරිපත් කරන අතර රෝහල් ගත වූ ප්‍රමාණය පවා ප්‍රකාශයට පත්කරන්නේ නිශ්චිතතාවකින් තොරවය.
යම් සිදුවීමක් සිදු වූ විට ඒ පිළිබඳව නිශ්චිත තොරතුරු ලබාදීමටවත් පාලකයන්ට නොහැකි නම් රටේ ආරක්‍ෂාවත් ජනතාවගේ ආරක්‍ෂාවත් රජය විසින් නිසි ලෙස ඉටු කරනවා යැයි සිතිය හැකිද?
අදාළ පිපිරීම්වලින් පසු ස්ථාන දෙක තුනක සිදු වූ පිපිරීම් හේතුවෙන් හා පසුගිය 21 වැනි දින සිදුවූ ආකාරයේ ප්‍රහාර නිසා තවත් ප්‍රහාර ඇතිවිය හැකි බවට අනුමාන කිරීම නිසා තවමත් ජන ජීවිතය යථා තත්ත්වයට පත්වී නොමැත.
අලුත් අවුරුදු සමය නිසා පසුගිය 12 වැනි දිනෙන් පසු මෙරටේ බොහෝ දේවල් සිදුවූයේ මන්දගාමී අයුරිනි. අලුත් අවුරුදු සමයෙන් පසු ජනතාවගේ රැකී රක්‍ෂා කටයුතු, වෙළෙඳාම්, නිෂ්පාදන ක්‍රියාවලින් නැවත ආරම්භ වීමට තිබුණේ පසුගිය 18 වැනි දින සිටය. එහෙත් අදටත් කොළඹ ඇතුළු බොහෝ නගරවල ජන ජීවිතය යථා තත්ත්වයට පත්ව නැත.
මේ නිසා රට තුළ තවත් අර්බුද ගනණාවක් ඇතිවී තිබේ. රටේ ජනතාවගෙන් 50%කට වැඩි පිරිසක් ජීවත් වන්නේ ගොවිතැන් කිරීමෙනි. ගොවි ජනතාවගේ වැඩ කටයුතුවලට ශ්‍රමයෙන් දායකත්වය ලබාදී තවත් සැලකිය යුතු පිරිසක් ජීවත් වෙති. එහෙත් අද වන විට නගරාශ්‍රිත බොහෝ වෙළෙඳ සැල් වසාදැමීම හේතුවෙන් ගොවීන්ට නෙළා ගන්නා අස්වැන්නෙන් 60෴ක් වත් අලෙවිකර ගැනීමට නොහැකි වී තිබේ.
ගොවි ජනතාවගේ ආදායම අඩුවීම හේතුවෙන් වගා භූමි නඩත්තු කිරීම් නවතා දමා තිබෙන අතර, එදිනෙදා කුලී වැඩක් කරමින් ජීවත් වූ ජනතාවගේ ආදායම් මාර්ග අහිමි වී තිබේ. මෙය කිසිදු බලධාරියෙකුගේ අවධානයට ලක් නොවන කාරණයකි. වෙළෙඳ සැල වසා දැමීම නිසා තොග වෙළඳුන්ගේ ආදායම අඩුවී තිබෙන අතර, ඔවුන් යටතේ සේවය කරන පිරිස්වලට දෛනික ආදායම අහිමි වී ගොස් තිබේ.
වෙළෙඳ සැල් ඇතුළු ව්‍යාපාරික ස්ථාන වසා දැමීමට සිදුවීම හේතුවෙන් ඔවුන්ගේ ආදායම අහිමි වී ගොස් තිබෙන අතර, මේ නිසා ඔවුන් යටතේ සේවය කරන පිරිස්වල ආදායම අහිමි වී ගොස් තිබේ. එනම් මගීන් සිටියත් නැතත් සමහර අවස්ථාවල බස් රථ ධාවනය කිරීමට සිදුවීමය. සමහර දිනවල දෛනික ආදායම බස්රථ රියදුරන්ගේ කොන්දොස්තරවරුන්ගේ වැටුප් ගෙවීමටවත් ප්‍රමාණවත් නොවන බව බස් හිමියන් සඳහන් කරති.
නගරවලට ජනතාව නිසි ලෙස නොපැමිණීම හේතුවෙන් බොහෝ නගරවල ආපනශාලා හිමියන්ද දැඩි දුෂ්කරතාවන්ට මුහුණදී සිටින අතර, මීට අමතරව නගර ආශ්‍රිතව අනුන්ට අතපා ජීවත්වන අසරණ ජනතාව දිනකට එක් ආහාර වේලක්වත් නොලැබෙන අවස්ථා තිබෙන බවට වාර්තාවේ. පවතින තත්ත්වය රට කජු, ටොෆි, මුරුක්කු වැනි ද්‍රව්‍ය අලෙවි කරන කුඩා ව්‍යාපාරිකයන්ට හා කඩල, වඩේ අලෙවි කරන කරත්තකරුවා දක්වා විශාල බලපෑමක් එල්ල කර තිබේ.
අවුරුදු නිවාඩුවෙන් පසු ඇඟලුම් ඇතුළු කර්මාන්තශාලා මේ මස 18 හෝ 22 ආරම්භ කිරීමට නියමිතව තිබුණද බොහෝ කර්මාන්ත ශාලාවන් තුළ නිෂ්පාදන ක්‍රියාවලිය තවමත් නිසි ලෙස සිදු නොවන බවට වාර්තාවේ. එයට හේතුව රට තුළ ඇතිවී තිබෙන අනාරක්‍ෂිත තත්ත්වය හේතුවෙන් බොහෝ සේවකයන් සේවයට වාර්තා නොකිරීමය.
පසුගිය 25 වන දින වනවිට රාජ්‍ය සේවයේ පැමිණීම 50෴ ඉක්මවා නොතිබූ බව රජයට අයත් වෘත්තීය සමිති සඳහන් කරති. මේ අනුව රටේ නිෂ්පාදන ක්‍රියාවලියට මේ තුළින් බලපෑම් එල්ල වී තිබෙන අතර, මේ හරහා අපනයන ආදායම පහළ වැටීම වළක්වා ගැනීමට කිසිවෙකුටත් හැකිවන්නේ නැත.
පසුගිය කාලයේ සිදුකළ විදුලි කප්පාදුව හේතුවෙන්ද නිෂ්පාදන ක්‍රියාවලියට දැඩි බලපෑම් එල්ලවිය. මෙහි ප්‍රතිඵල ඉදිරි අයවැයේදී ජනතාවට අත්වීමට සිදුවනු ඇත.
රට තුළ මෙවැනි අර්බුදකාරී තත්ත්වයක් ඇතිව තිබියදී පවා සමහර දේශපාලනඥයන් වගකීම් විරහිත ආකාරයට කටයුතු කරන අතර සමහර ක්‍රියා ජාත්‍යන්තරය පවා හිනා වෙන තත්ත්වයක් ඇතිවී තිබේ.
නීතිය හා සාමය ආරක්‍ෂක ලේකම්වරයා යටතට පත්ව තිබෙන බැවින් මෙරටේ ජනතාවගේ ආරක්‍ෂාව දේපළවල ආරක්‍ෂාවත් සඳහා වග කියන ප්‍රධානම රාජ්‍ය නිලධාරියා වන්නේ ආරක්‍ෂකත් ලේකම්වරයාය.
එහෙත් පසුගිය 25 වැනි දින තනතුරින් ඉල්ලා අස්වීම ලබාදුන් හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ගෙවී ගිය දින කිහිපය පුරාම කටයුකු කරනු ලැබුවේ සාමාන්‍ය පුද්ගලයෙකුගේ තත්ත්වයට පහළ තත්ත්වයක සිටය.
යම් ප්‍රහාරයක් සිදුවිය හැකි බවට බුද්ධි අංශ විසින් තොරතුරු හෙළි කරගෙන තිබෙන අතර මීට අදාළව ප්‍රභූවරුන්ගේ ආරක්‍ෂාවට බලධාරීන් දැනුවත් කිරීමටත් කටයුතු කර තිබේ.
මේ පිළිබඳව හිටපු ආරක්‍ෂක ලේකම්වරයා හා පොලිස්පතිවරයා සේම ආණ්ඩුවේ දේශපාලනඥයින් කිහිපදෙනෙකු දැන සිටි බවටත් වාර්තා විය.
මෙවැනි තොරතුරක් සමාජගත කිරීමේ ප්‍රධාන වගකීම ආරක්‍ෂක ලේකම්වරයා හෝ පොලිස්පතිවරයා විසින් සිදුකළ යුතුය. එසේ නොමැතිව මෙවැනි තොරතුරු දේශපාලනඥයන් සමාජගත කිරීම තුළින් සියට සීයක් ප්‍රතිඵල ලබාගැනීමට නොහැකිය.
මේ නිසා ජනතාවට වගකියන දේශපාලනඥයන්ට සිදුකළ යුතු වන්නේ අදාළ තොරතුරු පිළිබඳව වගකිව යුතු පාර්ශ්ව සමග සාකච්ඡා කර නිවැරදි තීරණයක් ගැනීමය.
එහෙත් දේශපාලනඥයන්ද එම වගකීම ඉටුකළේ නැත. අවසානයට සිදුවූයේ සියලුම දේවල්වලට මේ රටේ ජනතාව වන්දි ගෙවීමය. එසේ තිබියදිත් යළිත් වතාවක් දේශපාලනඥයන් කිහිපදෙනෙක් හා හිටපු ආරක්‍ෂක ලේකම්වරයා වගකීම් විරහිත ආකාරයට කටයුතු කළේය. මේ නිසා යළිත් වතාවත් රට ජාත්‍යන්තරය ඉදිරියේ අපකීර්තියට ලක්විය.
මෙම තත්ත්වය නිසා ලංකාවේ සංචාරයට පැමිණි සමහර සංචාරකයන් සංචාරය අතර තුර රටින් පිටව ගොස් තිබේ. සිදුවීමෙන් පසු ලංකාවට පැමිණෙමින් සිටි සමහර සංචාරකයන් ගුවන් තොටුපළින් බැස වෙනත් ගුවන් යානයකින් යළිත් සිය රට බලා හෝ වෙනත් රටකට ගමන් කිරීමේ සිදුවීම්ද වාර්තා විය.
අවුරුදු නිවාඩුවෙන් පසු දෙවැනි පාසල් වාරය ආරම්භ වීමට නියමිතව තිබුණේ පසුගිය 22 වැනි දිනය. එහෙත් 21 වැනි දින සිදුවූ පිපිරීම් නිසා දෙවැනි පාසල් වාරයේ පාසල් ආරම්භ වීම කල් දැමීමට අධ්‍යාපන බලධාරීන්ට සිදුවිය. එහෙත් රටේ පැවැති තත්ත්වය සැලකිල්ලට ගෙන දෙවැනි පාසල් වාරය ආරම්භ කරන දිනය ඊයේ (29දා) දක්වා කල් දැමීමට බලධාරීන් කටයුතු කළේය. ස්ථාන කිහිපයක සිදු වූ යම් යම් සිද්ධීන් මුල්කර ගනිමින් දෙවැනි පාසල් වාරය ආරම්භ කිරීම මැයි 06 වැනිදා දක්වා කල් දැමීමට කටයුතු කර තිබේ.
පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන රටේ දරුවන් ආරක්‍ෂා කිරීමට මෙවැනි තීරණයක් ගැනීම රජය ගත් හොඳ තීරණයක් ලෙස සැලකිය හැකිය.
එහෙත් පාසල් අධ්‍යාපන ක්‍රියාවලියේ සමස්ත වැඩපිළිවෙළ සකස් කර තිබෙන්නේ යම් කාල සටහනකට අනුවය. සිදු වූ අවාසනාවන්ත තත්ත්වය හේතුවෙන් එම ක්‍රියාවලියට බාධා එල්ල වී තිබේ.
මේ ආකාරයේ කටයුතුවලට අද අපට මුහුණදීමට සිදුව තිබෙන්නේ බලය ලබාගැනීමට අවශ්‍යවන ඡන්ද ලක්‍ෂ පහක් හයක් වෙනුවෙන් දේශපාලනඥයන් වගකීම් විරහිත ආකාරයට කටයුතු කිරීම නිසාය. බලය ලබා ගැනීමට නම් තම පාර්ශ්ව ඡන්ද ලක්‍ෂ 05, හය අවශ්‍ය බව දන්නා දේශපාලනඥයන් සුළුතර පිරිසක් එය ඉදිරියට දමා තම තමන්ගේ අන්තවාදී වැඩ ටික රට තුළ සිදුකරනු ලබයි.
මේ නිසා රටට ආදරය කරන සියලුම දේශාපලනඥයන් බලධාරීන් එකට අත්වැල් බැඳගෙන සියලුම දෙනාට නිදහසේ ජීවත් වියහැකි රටක් නිර්මාණය කිරීමට දැන්වත් කටයුතු කළ යුතුය.
එසේ නොමැතිව බලය ලබා ගැනීම වෙනුවෙන් ඡන්ද ලක්‍ෂ පහක් හයක් ලබා ගැනීමේ වැඩපිළිවෙළ මත ඉදිරියටත් කටයුතු කළ හොත් ජනතාවට රටක් නැතිවෙනවා සේම රටට ආදරය කරන ජනතාවට ආදරය කරන දේශපාලනඥයින්ට දේශපාලනය කිරීමටත් ඉදිරියේ රටක් ඉතිරි වන්නේ නැත. ජාවාරම්කාර දේශපාලනඥයන්ගේ ක්‍රියාපිළිවෙත හේතුවෙන් ඔවුන් කිහිප දෙනා සෑම විටම නියෝජනය කළේ ආණ්ඩු පක්‍ෂයය. ආණ්ඩු පක්‍ෂයට එක්වී මෙම පිරිස් ආණ්ඩු අල්ලේ නැටවීමට කටයුතු කළේය. සැබෑ ලෙසම දේශපාලනය කරනවා නම් යම් කාලයකදී දේශපාලනඥයන් විපක්‍ෂයද නියෝජනය කළ යුතුය. එහෙත් ජාවාරම්කාර දේශපාලනඥයන් කිහිපදෙනා දීර්ඝ කාලයක් විපක්‍ෂය නියෝජනය කර නැත. මෑත කාලය සලකා බැලුවහොත් දින 51 ආණ්ඩු සමයේදී ඔවුන්ට විපක්‍ෂයේ අසුන් ගැනීමට සිදුවිය. එම සුළු කාලය තුළ මෙම පිරිස විවිධ ජාවාරම් කටයුතු කළ බවටද වාර්තා විය.