අනාගත ජනාධිපති තෝරා පත්කර ගැනීමේදීවත් ජනතාව බුද්ධිමත් විය යුතුය


ගෙවී ගිය හැත්තෑ එක් වසරක පාලන ක්‍රමය සැලකීමේදී 1978 වසරේ සිට මෙරට පාලනය කර තිබෙන්නේ විධායක ජනාධිපතිවරුන්ය. මෙම කාලය තුළ විධායක ජනාධිපතිවරුන් හය දෙනෙකු රට පාලනය කර තිබෙන අතර, එහිදී ටී.බී. විජේතුංග ජනාධිපතිවරයා කෙටිම කාලයක් විධායක ජනාධිපති ධුරය දැරූ ජනාධිපතිවරයා ලෙස හැඳින්වේ. විධායක ජනාධිපති ධුරය ගැන සැලකීමේදී තනි පුද්ගලයෙකු සතුව අති විශාල බලතල ප්‍රමාණයක් හිමිව ඇති අතර, රට දියුණු කර ලෝකයා ඉදිරියේ ශ්‍රී ලංකා නාමය ඉහළින් තැබීමට අවශ්‍ය කටයුතු සිදුකිරීමට විධායක ජනාධිපති ධුරයට හැකිය. එහෙත් 1978 වසරේ සිට අද දක්වා සැලකීමේදී මෙරට පැවති තත්ත්වයෙන් ඉදිරියට පියවරක් තැබීමට අසමත් වී තිබේ. විධායක ජනාධිපතිවරයා නඩත්තු කිරීමට අතිවිශාල මුදලක් දැරීමට සිදුවීම හා විධායක බලතල භාවිත කර රටට නොගැළපෙන ක්‍රියාවන් සිදුකිරීමත් යන කාරණා මත අද දවස වන විට විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම පිළිබඳව රට තුළ විශාල කතාබහක් ඇතිවී තිබේ. 



ජනාධිපති මෛත්‍රීපාල මහතා බලයට පත්වීමට පෙර ජනමතයට තුඩුදෙන බලතල හැර අනෙකුත් බලතල ඉවත් කරන බවට මහජනතාව හමුවේ පොරොන්දු විශාල ප්‍රමාණයක් දෙනු ලැබිණි. මීට අමතරව චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ජනාධිපති වීමට පෙර හා මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වීමට පෙරත් මෙවැනිම ආකාරයේ පොරොන්දු ලබා දී තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විධායක ජනාධිපති ධුරයේ බලතල අඩු කිරීමට යම් යම් වැඩකොටසක් සිදුකළද ඒ පිළිබඳව මෑත කාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාම විවිධ ප්‍රකාශ සිදුකරනු ලැබිණි.
කෙසේ නමුත් හත්වන විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා මේ වන විට ඡන්ද විමසීමක් ප්‍රකාශයට පත්කර තිබේ. ඊට අදාළව අපේක්ෂකයන්ගෙන් ඇප මුදල් භාරගැනීම මේ වන විට ආරම්භ කර තිබෙන අතර, පසුගිය 27 වන දින වන විට අපේක්ෂකයන් අටදෙනෙකු ඇප මුදල් තැන්පත් කිරීමට කටයුතු කර ඇත. මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ප්‍රකාශ කරන ආකාරයට හා විවිධ බුද්ධි තොරතුරු වලට අනුව මෙවර මැතිවරණයට අපේක්ෂකයන් දහඅටක්, විස්සක් අතර ප්‍රමාණයක් ඉදිරිපත් විය හැකි බවට තොරතුරු වාර්තා වී තිබේ. 

ප්‍රධාන ධාරාවේ පක්ෂ සැලකීමේදී එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, මේ වන විට අපේක්ෂකයන් නම්කර ඇති අතර, පෙරටුගාමී සමාජවාදී පක්ෂය හා විද්වතුන්, වෘත්තීයවේදීන් විසින් සකස් කළ ජාතික ජන බලවේගයේද ජනාධිපති අපේක්ෂකයා නම්කර තිබේ. මේ නිසා ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ පසු සිදුකරන කටයුතු පිළිබඳව බොහෝදෙනා මේ දිනවල විවිධ පොරොන්දු ලබාදෙමින් තිබේ. 

ගෙවී ගිය 71 වසරක පාලනය සැලකීමේදීත් දේශපාලනඥයන් බොහෝ පොරොන්දු ලබාදී තිබෙන අතර, ලබාදුන් පොරොන්දු ඉටුකරනු ලැබුවේ නම් මෙරට අද වන විට ඇමරිකාව, ජර්මනිය, එංගලන්තය, ජපානය වැනි රටවලටත් වඩා දියුණු රටකි. එහෙත් දේශපාලනඥයන් ලබාදුන් පොරොන්දු පුස්සක් වීම නිසා පෙරදිග ධාන්‍යාගාරය ලෙස අතීතයේ හැඳින්වූ ශ්‍රී ලංකාව අද දවස වන විට ලෝකයාටම අතපා ජීවත්වන රටක් බවට පත්ව තිබේ.

ශ්‍රී ලංකාව සේ අට ගුණයක විශාලත්වයකින් යුත් මහ මුහුදක් අපිට හිමි වුවද දකුණු ආසියාවේ දුප්පත් රටක් ලෙසට සැලකෙන මාලදිවයිනෙන් පවා හාල්මැස්සන්, උම්බලකඩ වැනි ද්‍රව්‍ය ගෙන්වන තත්ත්වයට අප රට පත්ව ඇත. රට තුළ කුඹුරු හෙක්ටයාර් ලක්‍ෂ අටකට අධික ප්‍රමාණයක් තිබුණද, වර්තමානය වන විට වාර්ෂිකව විශාල සහල් තොගයක් රට තුළට ගෙන්වීමට සිදුව තිබේ. ලොකු ලූනු, අර්තාපල්, මුංඇට, කව්පි, කුරහන්, තල, රතුලූනු වැනි ද්‍රව්‍ය රට තුළ වගා කරගත හැකිව තිබියදීත් එම ද්‍රව්‍යවලින් වැඩිම කොටසක් විදේශ රටවලින් ගෙන්වීමට සිදුව ඇත. මීට අමතරව පිච්ච මල්, බුලත් වැනි ද්‍රව්‍ය හා සරුංගලය, වෙසක් කූඩුව, බෞද්ධ කොඩිය වැනි ද්‍රව්‍ය පවා රට තුළට විදේශ රටවලින් ගෙන්වීමට සිදුව තිබේ. 

ලෝකයේ ඉස්තරම් රබර් අප සතුව තිබුණත් නිවැරදි ආකාරයකට මකන කෑල්ලක්වත් අප රට තුළ නිෂ්පාදනය වන්නේ නැත. ඇඟලුම් කර්මාන්ත සැලකීමේදී ඉහළ තැනක් රට අත්පත් කරගෙන සිටියද ඉදිකට්ට, නූල් කැබැල්ල පවා විදේශ රටවලින් ගෙන්වීමට සිදුව තිබේ. 

ලෝකයාම රසවිඳින තේ අප සතුව තිබුණත් තේ එකක් සකස් කරගැනීමට හැකි තේ පැකට් එකක්වත් අවශ්‍ය ප්‍රමාණයට නිෂ්පාදනය කර ගැනීමට නොහැකි වී ඇත. දේශීය ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකු තම උත්සාහයෙන් නිමි තේ සකස් කර ලෝක වෙළෙඳපොළට නිකුත් කළද, රටක් වශයෙන් තවමත් තේ විදේශ රටවලට අලෙවි කරනු ලබන්නේ අමුද්‍රව්‍යයක් වශයෙනි. අප රටෙන් අමුද්‍රව්‍යයක් වශයෙන් අලෙවි කරන තේ උපයෝගී කරගනිමින් විවිධ රසැති තේ පැකට් නිර්මාණය කර විදේශීය සමාගම් විශාල ආදායමක් උපයා ගනී. ලෝකයේ ඉස්තරම් මිනිරන්, ග්‍රැනයිට්, ඉල්මනයිට් ඇතුළු ඛනිජ ද්‍රව්‍ය රාශියකින් පොහොසත් රටක් වුවත් නිසි ලෙස පැන්සලක්වත් නිෂ්පාදනය වන්නේ නැත. නිෂ්පාදනය කරන පැන්සල් පවා තත්ත්වයෙන් බාල නිසා මෙරටේ ජනතාව ඒවා භාවිත කිරීම ප්‍රතික්ෂේප කරන තත්ත්වයට පත්ව තිබේ. 

ලෝකයාට අවශ්‍ය පොල්, කොප්පරා ලබාදුන්නද රටට අවශ්‍ය පොල්තෙල් ටික නිෂ්පාදනය කර ගැනීමට අපට නොහැකි වී ඇත. මේ නිසා පොල්තෙල් හා පොල්තෙල් වලට ආදේශ ලෙස ෆාම්තෙල් ඇතුළු විවිධ තෙල්වර්ග විශාල ප්‍රමාණයක්ද රට තුළට ගෙන්වනු ලබයි. හොඳම එළඟිතෙල්, දුන්තෙල් අප රට තුළ නිෂ්පාදනය කරගත හැකි වුවත් ඊට අවශ්‍ය වැඩපිළිවෙළක් නොමැති බැවින් අපේ රට ජනතාව චීස්, බටර්, හැම්බේකන්වලට හුරුවී තිබේ.

කිරිපිටි අවශ්‍යතාවයෙන් 90෴කට වැඩි ප්‍රමාණයක් විදේශ රටවලින් ගෙන්වමින් තිබුණත්, දේශීය ගොවීන්ට තම කිරි අස්වැන්න විකුණා ගැනීමට නොහැකිව මහා පාරේ ගලායන දර්ශන අප ඕනෑතරම් දැක ඇත. මීට අමතරව කිරි ගොවීන්ගෙන් ලබාගන්නා අස්වැන්නෙන් පිටිකිරි නිෂ්පාදනය කිරීමට නොහැකි අවස්ථා වාර්තා වන අතර, එවන් අවස්ථාවලදී සමාගම් විසින් කිරි ඉවත දැමූ බවටත් පසුගිය කාලයේ වාර්තා විය.

බිබිලේ දොඩම් ගැන මහා උජාරුවෙන් අප කතා කළත්, අද වනවිට විදේශ දොඩම්වලින් වෙළෙඳසැල් පිරී ඉතිරී ගොස් තිබේ. අතීතයේදී රසම රස ගුණදායී ගස්ලබු, මිදි, අඹ, පේර අප රට සතු වුවත් ඇපල්, මිදි, බේබිනාරං වැනි පලතුරු අධික ලෙස රට තුළට ගෙන්වනු ලබයි. රටට ආදරය කරන විධායක ජනාධිපතිවරයෙක්, දේශපාලනඥයන් බිහිවූයේ නම් අප රට පරාක්‍රම රජ දවස සේ බත බුලතින් ස්වයංපෝෂිත වී අවසන්ය.

මෙරට තුළ පහළවන කිසිදු නායකයෙකුට රට දියුණු කිරීමට උවමනාවක් නොතිබුණි. එසේ තිබුණේ නම් ඊට අවශ්‍ය ශ්‍රම බළකාය, මහපොළව හා වෙළඳපොළ ඇති තරම් රට තුළ තිබේ. පොදුවේ ගත්කල අප රටට හිමිව තිබෙන්නේ මහා ධන සම්පතකි. පාලකයන්ට සිදුකිරීමට තිබෙන්නේ එය නිසි ලෙස කළමනාකරණය කිරීම පමණි. 

මන්දයත් ධීවර කර්මාන්තය සැලකීමේදී රට වටේම ධීවරයෝ සිටිති. එහෙත් මත්ස්‍ය සම්පත නෙළා ගැනීමට අවශ්‍ය නාවික යාත්‍රා උපකරණ තාක්ෂණය අප රටේ ධීවරයන්ට නැත. 
වී, ධාන්‍ය, එළවළු, පලතුරු, වගා කිරීමට රට තුළ ලක්‍ෂ තිහකට වැඩි ගොවි ජනතාවක් සිටියද‍, ඔවුන්ට අවශ්‍ය මඟපෙන්වීම නැත. අස්වැන්නට නිසි මිලක් ලැබෙන වැඩපිළිවෙළක් නැත. අපේ රට සැලකීමේදී ජනතාවට තිබෙන ලොකුම ප්‍රශ්නය බඩගින්නය. මේ නිසා පාලකයෙකුගේ ප්‍රධානම වගකීම විය යුත්තේ ජනතාවගේ බඩගින්න නිවීමට මුලින්ම වැඩපිළිවෙළවල් සකස් කිරීමය. 
රටට අවශ්‍ය කිරි ටික ලබාදීමට හැකි කිරිගොවීහු විශාල ප්‍රමාණයක් සිටිති. එහෙත් කිරි ගොවියාට අවශ්‍ය පහසුකම් නැත. ගොවියා ලබාදෙන කිරි අස්වැන්නට නිසි මිලක් නැත. මෙතෙක් පහළවු සෑම පාලකයෙකුම හා දේශපාලනඥයන් වැඩිපුරම උනන්දු වූයේ පිටි කිරි ටිකක් රටින් ගෙන්වා කිරි අවශ්‍යතාව සම්පූර්ණ කිරීමටය.

නිදහස් අධ්‍යාපනයක් ගැන ගෙවී ගිය දශක දෙක තුනක කාලය තුළ දේශපාලනඥයන් පම්පෝරි ගැසුවත්, පෙරපාසල් අධ්‍යාපනයේ සිට උසස් අධ්‍යාපනය දක්වා අධ්‍යාපනය ලබාගැනීමට නම් දරුවන් වෙනුවෙන් දෙමාපියන්ට අති විශාල මුදලක් වියදම් කිරීමට සිදුව තිබේ. නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිලාභ ලබාදීමට විධායක ජනාධිපති බලතල ඇති පාලකයන් කටයුතු නොකිරීම නිසා මෙම අවාසනාවන්ත තත්ත්වයට රටේ ජනතාවට මුහුණදීමට සිදුව ඇත. නිදහස් සෞඛ්‍යයක් ගැන පම්පෝරි ගැසුවද රෝහලට යන රෝගීන්ට අවශ්‍ය වන ඖෂධවලින් සැලකිය යුතු ප්‍රමාණයක් පෞද්ගලික ඖෂධ වෙළෙඳ සැල් වලින් මිලදී ගැනීමට සිදුව තිබේ. ලබාදෙන ඖෂධවල පවා ප්‍රමිතිය සම්බන්ධ ගැටලු ඇතිව තිබෙන බවට වෛද්‍යවරු විසින් පසුගිය කාලයේ පෙන්වාදෙනු ලැබූහ.

නිදහස් අධ්‍යාපන ක්‍රමයක් නැති නිසා පාසල් වටේම උපකාරක පන්ති පවත්වන ස්ථාන තිබෙනවා සේම නිදහස් සෞඛ්‍යයක් නොමැති නිසා රෝහල් වටේම තිබෙන්නේ පෞද්ගලික ඖෂධ අලෙවි සැල්ය. සැබෑ ලෙසටම රට තුළ නිදහස් අධ්‍යාපනයක් ක්‍රියාත්මක වනවා නම් උපකාරක පන්ති සේම පෞද්ගලික පාසල් තිබිය නොහැක. නිදහස් සෞඛ්‍ය සේවාවක් ක්‍රියාත්මක වනවා නම් රෝහල් අසල ෆාමසි තිබිය නොහැකිය. රෝහල අසල තිබිය හැක්කේ මරණය තැන්පත් කරන පෙට්ටි අලෙවි කරන ස්ථාන පමණි. එයට හේතුවී තිබෙන්නේ පෙට්ටිය රජයෙන් ලබා නොදෙන නිසාය. 
මේ නිසා හත්වන විධායක ජනාධිපති තෝරා ගැනීමේදීවත් ජනතාව නිවැරදි තීරණයක්  ගත යුතුය. පාට පක්ෂවලට බෙදී නොවැම්බර් 16 වන දින තීරණයක් ගැනීමට කටයුතු කළහොත් හත්වන විධායක ජනාධිපතිවරයාත් මෙතෙක් බිහිවූ ජනාධිපතිවරුන් හයදෙනාගේ ගොඩටම වැටෙනවා නොඅනුමානය.

ලංකාවේ ජනතාව සාක්ෂරතාවයෙන් දැනුමෙන් ඉහළ වුවත් පාලකයන් තෝරා ගැනීමේදී අති බහුතර ජනතාවක් තම දැනුම අත්දැකීම් භාවිත කරන්නේ නැත. මේ නිසාම සටකපට දේශපාලනඥයන්ට ජනතාව ගොනාට ඇන්දවීමට හැකියාව ලැබෙනු ඇත. ජනාධිපතිවරණය පැවැත්වීමේදී ආසන්න වශයෙන් රුපියල් කෝටි හාරසීයකට අධික මුදලක් වැයවන බවට ගණන් බලා තිබෙන අතර, විධායක ජනාධිපතිවරයෙකු නඩත්තු කිරීමට ආසන්න වශයෙන් දිනකට රුපියල් කෝටි තුනකට අධික ජනතා මුදලක් වැයකිරීමට සිදුව ඇත.

විධායක ජනාධිපති ක්‍රම‘යේ බලතල අඩුකිරීම යටතේ නොවැම්බර් 16 වෙනිදා තේරීපත්වන්නේ බලතල අඩු ජනාධිපතිවරයෙකු බවට ප්‍රකාශ වුවත්, ඔහු නඩත්තු කිරීමට යන මුදල අඩුවනවා යැයි තවමත් කිසිවෙකුත් ප්‍රකාශ කර නැත. එවැනි ප්‍රකාශයක් සිදුකළ පමණින් නඩත්තු කිරීමට යන මුදල අඩුවේ යැයිද සිතිය නොහැකිය. මේ නිසා ඉදිරි වසර පහක කාලයක් සඳහා ජනාධිපතිවරයා තෝරාපත්කර ගැනීමේදී තමන්ට නොව රටට වැඩදායී නායකයෙකු තෝරාපත්කර ගැනීමට ජනතාව බුද්ධිමත් විය යුතුය.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් විසින් මේ වන විට විශාල පොරොන්දු ප්‍රමාණයක් ලබා දී තිබුණද‍, එකී පොරොන්දු ඉටුකිරීමට අවශ්‍ය මුදල් සොයා ගන්නේ මහජනතාවගෙන් අය කරගන්නා දඩ මුදලික් හෝ බදු මුදල්වලිනි.

මේ නිසා ජනතාව තෝරාපත්කර ගතයුත්තේ තනි තනිවම ගෙයක්දොරක් හදාගෙන, තුන්වේලම බඩ පිරෙන්න කෑමට හැකි ආර්ථිකයක් සහිත රටක් නිර්මාණය කළහැකි පුද්ගලයෙකුය. ඒ සඳහා ජනතාව බුද්ධිමත් තීරණයක් මෙවර හෝ ගත යුතුය.



Recommended Articles