අන්දේස් කඳුවැටියේ උරුමක්කාරයෝ


කොළොම්බස් සහ කොළොම්බස්ගේ ගෝලයෝ ඉන්දියාව ඇතුළු ආසියාව හොයාගෙන ගියපු ගමනේදී හමුවුණු භූමිය නැත්නම් වර්තමාන ඇමෙරිකානු මහද්වීප දෙකෙන් හමුවුණු දුඹුරු හම ඇති මිනිස්සුන්ව හැඳින්වුවේ ඉන්දියානුවන් නමින්. මොකද කොළොම්බස් හිතුවේම තමන් ඉන්දියාවට ගොඩබැස්සා කියලයි. ඒ වැරදීම පිරියම් නොකර අපි අදටත් ඒ ආදිවාසීන්ව ඉන්දියානුවන් නමින්ම හඳුන්වනවා. උතුරු ඇමෙරිකාවෙන් හමුවුණු ආදිවාසීන් මෝහිකන්, මෝහොක්, චෙරෝකි, ඉරකුවා ආදී වශයෙන් වෙද්දි දකුණු ඇමෙරිකාවෙන් හමුවෙන ගෝත්‍ර අතරින් ප්‍රධාන වෙන්නේ ඉන්කා වරු.

1532දී ස්පාඤ්ඤයින් දකුණු ඇමෙරිකාව ආක්‍රමණය කරද්දී පැසිෆික් වෙරළ කලාපය ඇතුළුව ඇන්ඩියානු උස්බිම් කලාපය නැත්නම් වත්මන් පේරු, ඉක්වදෝරයේ උතුර, ආජන්ටිනාව සහ චිලී කලාපය පාලනය කළේ ඉන්කාවරු.

පේරු:

ඉන්කාවරුන්ගේ අතීතය අවුරුදු දහස් ගණනක් පැරණි විය හැකි වුණත් ඔවුන් තමන්ගේ රාජධානියේ අගනගරය පිහිටුවා ගන්නේ 12වැනි සියවසේදී, ඒ වත්මන් පේරු රටේ Cuzco ප්‍රදේශයේ ටිටිකාකා ජලාශය ආශ්‍රිතව. අවුරුදු 100ක් ඇතුළත ඉන්කාවරු නැත්නම් ඇන්ඩියානු කඳුවැටි මැද වැඩුණු ඉන්කාවරු මිලියන 12ක් විතර වුණාය කියලයි කියැවෙන්නේ. පේරු රටේ හැංගුණු කඳුවැටියක් උඩ තැණුනු මකු පීකු, නැත්නම් ලෝක පුදුම හතෙන් එකක් වෙන ඉන්කා නගරය සහ නටඹුන්, කලාකෘති ඇරුණාම ඔවුන්ගේ ඉතිහාසය ගැන දැන කියාගන්න තරම් ලිඛිත සාක්‍ෂි නැහැ. තමන්ගේ හත්මුතු පරම්පරාව ගැන කටින්කට පැවතුණු කතා ඇරෙන්න වෙන කිසිම දෙයක් වර්තමාන ඉන්කාවරු නැත්නම් වත්මන් Qero/ Quechua ජනතාව අතර ඇත්තේ නැහැ. කොහොම වුණත් ස්පාඤ්ඤ ආක්‍රමණවලින් පස්සේ ලියවුණු ලිපි ලේඛනවල ඔය කියන විදියේ කතා අනුව ඉන්කා රාජ්‍ය ආරම්භ කරලා තියෙන්නේ Manco Capac කියන ඉන්කා පාලකයා විසින්. ඔහු වගේම ඔහුගෙන් පස්සේ ඉන්කා රාජ්‍ය පාලනය කරපු නායකයෝ ක්‍රමක්‍රමයෙන් අනෙකුත් ගෝත්‍ර ජීවත් වුණු ප්‍රදේශත් තමන්ගේ යටතට ගන්නට සමත් වෙලා තියෙනවා. ඉන්කාවරුන්ට ඉතිහාසයේ වැඩි තැනක් ලැබෙන්නෙත් ඒ නිසා වෙන්නට ඇති.

ඉන්කාවරුන්ට තිබුණේ පහසුවෙන් බිඳිය නොහැකි තරමේ බලවත් පාලනයක්. යුද බලය වගේම කෘෂි කර්මය, වෙදකම, වාරි තාක්‍ෂණය වගේම ගෘහ නිර්මාණ ශිල්පය ඔවුන්ගේ ශිෂ්ටාචාරගත වීමේ ඇතුළේ වැඩි කතාබහට ලක් වෙනවා. ඉන්කා බලප්‍රදේශය පුරා සැලසුම්සහගත මාර්ග පද්ධතියක් පවා තිබිල තියෙනවා වගේම, අපේ රජ කාලවල හිටියා වගේ දිවිලිකාරයෝ නැත්නම් දවසකට කිලෝමීටර 240ක් දුර ගමන් කළ හැකි පණිවිඩකරුවන් පවා සිටි බවයි කියැවෙන්නේ. මේ දිවිලිකාරයෝ තමන්ගේ ගමන් පහසුව සහ දුර කෙටි කර ගන්න උමං මාර්ග, එල්ලිලා යන්න පුළුවන් ගස්වල වැල් පවා භාවිත කරලා තියෙනවා. ඔවුන් දවස් ගාණක් තිස්සේ පණිවිඩ ගෙන ගියේ දකුණු ඇමෙරිකානු කැලෑවල බහුලව වැවුණු Coca කොළ කාල යි. මේ කොකා කොළ බඩගින්න නිවන්න විතරක් නෙමෙයි ඇඟ පතේ වේදනාවල් නසන්නත්, ඉන්කාවරු විසින් කරන්නට යෙදුණු සැත්කම්වලදී නිර්වින්දනයක් විදියටත්  උපකාර වුණා.

ඉර:

ඉන්කාවරු තමන් විසින් රෑ දවල් දැකපු ඉර හඳ අදහපු අය. බොහෝමයක් ඇමෙරිකානු ස්වදේශික ඉන්දියානුවන් වගේම ඉර හඳ පොළොව දේවත්වයෙන් සලකපු, දේව ඇල්ම බැල්ම ලබාගන්න හැකි හැම දෙයක්ම කරපු අය. ඒ නිසාම ස්වභාව ධර්මයට ඉහළ ගරුසරුවක් මේ අය අතර තිබුණා.  ඉර දෙවියන් (ඉන්ටි), ලෝකය මවපු දෙවියා හෙවත් %Viracocha^, වර්ෂාවට අධිපති %Apu Illapa^ හෙවත් කඳු අතර සැරිසරන දෙවියන්, %Mamaquilla^ හෙවත් චන්ද්‍ර මාතාව, %Pachamama^ හෙවත් මහී කත, %Mama Cocha^ ජලයට අධිපති දෙවඟන ඔවුන්ගේ ඇදහීම් අතරේ ප්‍රධාන වෙනවා.

%Huacas^ හෙවත් අධිබලයක් සහිත පුද්ගලයන්, වස්තූන්, ස්ථාන ඔවුන්ගේ විශ්වාසයට නැගෙන්නේ ඒවායේ ප්‍රමාණයන් මතයි. මේ අතරින් වැඩි බලයක් ඇති තැනක් විදියට සැලකුණේ කඳු.  පණක් නැති ගලකට වුණත් ආත්මයක් බලයක් තියෙන බව විශ්වාසයට ගත්තොත් එතැන ඔවුන්ගේ පූජනීය දෙයක් බවට පත් වෙනවා. ඒ වගේම ඔවුන් පුනරුප්පත්තිය විශ්වාස කරපු අය. අපි විශ්වාස කරන විදියට එහෙම නෙමෙයි, මේ අයගේ ජීවන පැවැත්මේ ආචාර ධර්ම පද්ධතියේ තිබුණු, බොරු නොකියනු, සොරකම් නොකරනු, අලස නොවෙනු වගේ පිළිපැදීම් ඉටුකරන අය සීතල ඇන්ඩියානු කඳු අතර ගෙවුණු ජීවිතය වගේ නෙමෙයි, මරණින් පස්සේ මලින් පිරුණු ඉතිරුණු, හිරු එළියෙන් උණුසුම් වුණු පාරාදීසයක් වෙත ගමන් කරනවා කියලයි හිතුවේ. ගින්නකට අහුවෙලා මැරුණොත් එහෙම මේ පාරාදීසයට යන්න සිරුරක් ඉතිරි වෙන්නේ නැති නිසා පිච්චිලා මැරෙන්න පුදුම බයක් ඉන්කාවරුන්ගේ හිත්වල තියෙන්න ඇති. රජවරු නම් මමීකරණය කරලා තැන්පත් කෙරුණේ පාරාදීසයට යන ගමනේදී ඕන කරන අඩුවැඩිය එහෙමත් තැන්පත් කරලා පාරාදීසයේදීත් රජෙක් වගේ වැජඹෙන්න ඕන කරන රාජ ඔටුන්න එහෙමත් පලඳලයි. ජීවත්ව හිටපු ඉන්කාවරු මේ විදියට මමීකරණය කරපු සිරුරු තැන්පත් කරපු ස්ථානවලටත් වන්දනා කළා. මළවුන් තමන්ව ගැටලුවලින් මුදවන්න පාර පෙන්වන බවත් මේ අය විශ්වාස කළා. ස්පාඤ්ඤකාරයෝ දකුණු ඇමෙරිකාව පුරා තමන්ගේ බලය පතුරවද්දී ඉන්කාවරු තමන්ගේ රජවරුන්ගේ  මමී හංගලා තියෙනවා. මේ විදියට හංගපු මමී බොහෝ ගණනක් ස්පාඤ්ඤකාරයින්ට හමු වුණාම ආයේ හොයාගන්න බැරිවෙන්නම වළ දැම්මයි කියලයි ඔවුන්ම ලියපු ලිපි ලේඛනවල තියෙන්නේ. මේ මමී බොහෝම සුරක්‍ෂිතව තිබිලා තියෙන්නේ කෙස් ගහක්වත් නොහැලෙන විදියටයි.

ඉන්කාවරු දෙවියන් වෙනුවෙන්, තමන්ගේ පැවැත්ම වෙනුවෙන් මිනිස් ජීවිත බිලිදෙන්න කිසිම වෙලාවක පසුබට නොවුණු උදවිය. විශේෂයෙන් %Capacocha^ චාරිත්‍රයට අනුව තෝරාගත් දරුවන්, නැත්නම් දෙවියන්ගේ ආශීර්වාදය ලැබූ දරුවන් කොකා ශාක පත්‍ර සාරයෙන් නිද්‍රාවට පත් කරලා අන්දේස් කඳු වැටියේ තෝරා ගත්තු ස්ථානයක තැන්පත් කෙරුණේ බොහොම සුරක්‍ෂිත ආකාරයටයි. මේ චාරිත්‍රය සිද්ධ කරන්නේ පාලකයෙකුගේ අභාවයක් අවස්ථාවකදී නැත්නම්, සෞභාග්‍ය සහ යහපත් දේශගුණයක් පතමින් නැත්නම් උපද්‍රවයක් සිදුවුණු අවස්ථාවලදී යි. 1527දී Huayna Capac කියන ඉන්කා පාලකයා මියගිය අවස්ථාවේදී  සේවකයන්, උප බිසවුන් වගේම ප්‍රභූවරුන් 4,000ක් බිලිවුණු බව ඉතිහාසයේ සඳහන් වෙනවා.

Spaniards:

ඉන්කා රණවිරුවෝ යුද ශක්තියෙන් අනූන වුණු අය. ඔවුන් නිතරම පුරුදු පුහුණුවීම් කරලා ශක්තිමත්ව හිටියේ නිතරම ඇන්ඩියානු කලාපයේ අනෙකුත් ගෝත්‍ර එක්ක ගහ මරාගන්න සිදුවුණු නිසා. ඉන්කාවරු තමන්ගේ බල ප්‍රදේශය වැඩි කර ගත්තේ අනෙකුත් ගෝත්‍ර ඔවුන්ගේ බිම්වලින් එළවල දාලා. ඒ නිසාම තමන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් ලෑස්ති පිට ඉන්න ඉන්කාවරුන්ට සිද්ධ වුණා.

ස්පාඤ්ඤයින් ඉන්කා බල ප්‍රදේශයට ඇතුළු වෙද්දි ඉන්කා රණශූරයෝ ආයුධ සන්නද්ධව හිටියත්, තමන්ගේ සතුරාගේ ලෝහ පළිහ විනිවිද යන්නට ඔවුන්ගේ ආයුධවලට ශක්තියක් තිබුණේ නැහැ. නමුත් ඉන්කා රාජ්‍ය ස්පාඤ්ඤයන්ට සම්පූර්ණයෙන්ම යටත් කර ගන්න ලැබෙන්නේ ඔවුන්ගේ ආගමනයෙන් අවුරුදු 36කට පස්සේ. අවසන් ඉන්කා පාලකයාට ස්පාඤ්ඤ නීති රාමුව ඇතුළේ මරණ දණ්ඩනයට යටත් වෙන්න සිද්ධ වුණා. ස්පාඤ්ඤයන්ගෙන් බෝ වුණු ලෙඩ රෝග එකක් එහෙම නෙමෙයි, සරම්ප, පැපොල, කක්කල් කැස්ස, උණ වසංගතයෙන් ඒ කාලේ මුළු දකුණු ඇමෙරිකාවේම ස්වදේශිකයෝ දුර්වල වෙමින් හිටියා. බොහොම දෙනෙක් මරණයට පත් වුණා. ‘තමන්ගේම රට ඇතුළේ කොයිතරම් බලවත් ජාතියක් වුණත් ඉන්කාවරුන්ට තමන්ගේ හතුරට යටත් වෙන්න ඒකත් එක හේතුවක්. ස්පාඤ්ඤ යටත් කර ගැනීමෙන් පස්සේ ඉන්කා පවුල්වලට ගෙවන්න සිද්ධ වුණේ කොහොමටවත් හොඳ කාලයක් එහෙම නෙමෙයි. ඉන්කා පවුලකින් ඒක් අයෙකුට ස්පාඤ්ඤයන් යටතේ තිබුණු රන් රිදී පතල්වල වැඩ කරන්න සිද්ධ වුණා. ස්පාඤ්ඤයින් ඔවුන්ගේ දේපළ, රන් රිදී භාණ්ඩ පවා ද්‍රව බවට පත් කරලා තමන් සන්තක කර ගත්තා.

මකු පීකු

ඉන්කාවරු කියන්නේ රෝදය ගැන දැනගෙන හිටියේ නැති, පිටේ බඩු පටවලා නැත්නම් කරත්ත දක්කගෙන යන්න බූරුවෝ, අශ්වයෝ, හරක්වත් හිටියේ නැති, හරිහමන් ලේඛන කලාවක්වත් තිබුණේ නැති මිනිස්සු. රන් රදී තිබුණත්, යකඩ හෝ වානේ හිමිව තිබුණේ නැති මිනිස්සු. නමුත් ඔවුන් මානව ඉතිහාසයේ නොමැකෙන අධිරාජ්‍යයක් ගොඩනගපු මිනිස් ශිෂ්ටාචාරයක්. පේරු රටේ මකු පීකු ඔවුන්ගේ උරුමය විදියට තවමත් පවතිනවා. ගල් එකිනෙක මත සවිවන විදියට ගොඩනගල තියෙන්නේ ඒ ගල් අතරින් පිහි තලයක්වත් ඇතුළු කරන්න බැරි විදියට. ඔවුන්ගේ කලා ශිල්ප අතරින් ගෘහ නිර්මාණ ශිල්පය ඇරුණාම රෙදි පිළි, මැටි භාණ්ඩ, රන් රිදී ආකෘති කලාවත් වැදගත් වෙනවා.

ලේඛන ක්‍රමයක් නොතිබුණත් ඉන්කා දරුවන් සියලු දෙනාටම අධ්‍යාපනය අනිවාර්ය වුණා. තමන්ගේ ආගම, ඉතිහාසය, ක්‍රීඩාව, ගණිත ක්‍රම, කලා ශිල්ප, ‌ජ්‍යෝතිෂය, තාරකා හැසිරීම් ඔවුන් ඉගෙන ගත්තේ කටපාඩමින් ප්‍රායෝගික පුහුණුවෙන්. ඔවුන්ගේ ගණිත ක්‍රමය තරමක් මෙට්‍රික් ක්‍රමයට සමානයි.

මකු පීකු ඉන්කාවරුන්ගේ මනස්කාන්ත උරුමය විදියට සැලකුණත්, අද වෙද්දි ඉන්කා ස්වදේශිකයන් සමහරක් ජීවත් වෙන්න කරන්නේ මකු පීකු කන්ද නගින සංචාරකයන්ගේ බඩු මුට්ටු උස්සගෙන කන්ද නගින එක. මකු පීකු වෙත ගමන දුර වුණත්, දුෂ්කර වුණත් වසරක් පාසා කන්ද නගින සංචාරකයන්ගෙන් නම් අඩුවක් නැහැ.

සටහන: නිමේෂා තන්ත්‍රිමුදලි



Recommended Articles