අනවශ්‍ය දේශපාලනික අතපෙවීම් නිසා ජාතික අධ්‍යාපනය අද දැඩි අනතුරකට පත්වෙලා


රටක අධ්‍යාපන ක්‍රමය රටේ සහ ජනතාවගේ යහපැවැත්ම පිණිස පැවතිය යුත්තක් මිස එක් පුද්ගල කණ්ඩායමක පමණක් අභිමතාර්ථ සපුරන ක්‍රමයක් නොවිය යුතුය. එබැවින් ශ්‍රී ලංකාවේ දැනට පවතින අධ්‍යාපන ක්‍රමය අර්බුදයකට පත්වීමට හේතුව කුමක්ද? එහි වගකිව යුත්තන් කවුද? සහ වත්මන් අධ්‍යාපන ක්‍රමයේ අර්බුදය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය ඉන්ද්‍රකීර්ති සිරිවීර මහතා සම්බන්ධ කර ගැනීමට අද අපි සිතුවෙමු.


ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව පිළිබඳ හැඳින්වීමක් කළොත්?

ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව පිහිටුවන්නේ 1991 අංක 19 දරන පාර්ලිමේන්තු පනතින්. එහි මූලික පරමාර්ථය වුණේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සියලු විධිවිධානයන්ට යටත්ව අධ්‍යාපනයේ සියලු අංශයන් සම්බන්ධයෙන් වගකිවයුතු සියලු අධිකාරි හා ආයතන විසින් අනකූලතාවක් දැක්විය යුතු ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය සැකසීමයි. 
මෙම කොමිෂන් සභාවේ නිර්දේශ සෘජුවම ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ යුතුයි. ඒ අනුව මෙය ජනාධිපතිවරයාට සෘජුවම වගකියන ස්වාධීන ආයතනයක්. 

අධ්‍යාපනයේ කුමන අංශ සම්බන්ධයෙන්ද මෙහිදී ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ බලතල තිබෙන්නේ?

පනතේ විධිවිධාන ප්‍රකාරව විශාල පරාසයකට මේ අංශයන් විහිදී යනවා. පෙරපාසල්, ප්‍රාථමික, ද්විතීයික, තෘතීයික, උසස්, නොවිධිමත්, අවිධිමත්, වැඩිහිටි, විශේෂ, වෘත්තීය හා ආගමික යන අධ්‍යාපන ක්‍රමයේ ව්‍යූහයන්. ශිෂ්‍යයන් ඇතුළත් කරගැනීම හා ගුරුවරුන් බඳවා ගැනීම සඳහා වූ ක්‍රම හා නිර්ණායක ඇතුළුව අධ්‍යාපන ආයතනවල පිහිටීම සහ ඒවායේ ව්‍යාප්තිය, ඉගැන්වීම් මාධ්‍යය, විෂය මාලා විවිධාංගීකරණය, පෙළ පොත් සහ ඉගෙනුම් උපකරණ, ආගමික දැනුම, පිළිගැනීම හා පරිචය ලබන ස්ථානය, තක්සේරු කිරීම හා ඇගයීම, විභාග ක්‍රමය, සහතික, අභිඥාන පත්‍ර සහ ශාස්ත්‍රීය ප්‍රදාන හා සුදුසුකම් පිළිගැනීම, ගුරුවරුන්, උපකාරක අධ්‍යාපන කාර්යමණ්ඩල, අධීක්ෂකයන් සහ පරිපාලකයන්, ඇතුළුව අධ්‍යාපන සේවා කාර්යමණ්ඩලය බඳවා ගැනීම, ස්ථාපනය කිරීම හා ඔවුන්ගේ විනය පාලනය සහ වෘත්තීය වර්ධනය, ප්‍රජා සහභාගීත්වය උපයෝගී කරගැනීමද ඇතුළුව අධ්‍යාපනය සඳහා වූ සම්පත් සහ දිවා ආහාරය, සෞඛ්‍ය හා දන්ත සේවා, ශාරීරික අධ්‍යාපනය හා ක්‍රීඩා ඇතුළුව ඉගෙනීම සඳහා වූ උපකාරක සේවා ආදී මේ සඳහන් කළ අධ්‍යාපනය සම්බන්ධ සියලු අංශයන් පිළිබඳ ප්‍රතිපත්ති සම්පාදනය සහ තීන්දු තීරණ ගැනීම මෙම කොමිසමට පැවරී තිබෙනවා.

ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව කලින් කලට සම්පාදනය කරන ප්‍රතිපත්ති ජාතික වශයෙන් ක්‍රියාත්මකවීම බෙහෙවින් මන්දගාමී වී තිබෙන්නේ ඇයි?

ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ ආරම්භයේ සිටම පත්වූ විවිධ ප්‍රබුද්ධ මණ්ඩල විසින් සමස්ත අධ්‍යාපන ක්‍ෂේත්‍රය පිළිබඳව වරින් වර විවිධ ප්‍රතිපත්ති මාලාවන් සකස් කර ඉදිරිපත් කොට තිබුණත් 1991 වසරේ සිට මේ දක්වාත් කිසිදු ජනාධිපතිවරයෙක් විසින් මෙම ප්‍රතිපත්ති ජාතික ප්‍රතිපත්ති ලෙස ප්‍රකාශයට පත්කිරීමක් සිදුකර නැහැ. 

සිදුවෙන්නේ කොමිෂන් සභාව ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට යොමු කිරීමයි. පසුව කැබිනට් මණ්ඩලයෙන් මේවා අදාළ අමාත්‍යවරුන්ට, අමාත්‍යාංශවලට සහ අනෙකුත් අදාළ අංශ වෙත යොමු කිරීමයි. 

නමුත් එතනින් පසු කැබිනට් මණ්ඩලයෙන් හෝ අදාළ අංශ මගින් ජනාධිපතිවරයාට මෙම ප්‍රතිපත්ති පිළිගත් බවට නිල ප්‍රතිචාරයක් ලැබී නැහැ. 1991 වසරේ සිටම රටේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියට අත්වෙලා තිබෙන ඛේදනීය ඉරණම එයයි. එම ඛේදනීය තත්ත්වය අදටත් පවතිනවා. 

කොමිසම විසින් සම්පාදනය කරන ප්‍රතිපත්ති සහ විෂය භාර අමාත්‍යවරයාගේ යම් යම් තීන්දු තීරණ අතර ඝට්ටනයක් පවතිනවා නේද?

මෙහිදී දැඩි අර්බුදයක් මතු වෙලා තිබෙන්නේ පාසල් අධ්‍යාපනය පිළිබඳවයි. ඇතැම් අවස්ථාවල ඇමතිවරයා විසින් යම් යම් යෝජනා ඉදිරිපත් කරමින් ඒවා ක්‍රියාත්මක කරනවා. එසේ වෙන්නේ 1939 වසරේ අංක 31 දරන ප්‍රඥප්තියක් මගින් අධ්‍යාපන ඇමතිවරයාට අධ්‍යාපනය පිළිබඳ බලතල පැවරෙනවා. එය යම් යම් සංශෝධනවලට ලක්වූ ප්‍රඥප්තියක්. එම ප්‍රඥප්තිය අනුවයි අමාත්‍යවරුන් විවිධාකාරයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් කලින් කලට රැගෙන එන්නේ. ඒ නිසා ප්‍රඥප්තියෙන් අමාත්‍යවරයාට ලබාදී ඇති බලතල සහ ජාතික අධ්‍යාපන කොමිෂන් සභා පනත අතර යම් පරස්පරයක් පවතිනවා.

ආණ්ඩු වෙනස්වන හා අධ්‍යාපන අමාත්‍යවරයා වෙනස්වන වාරයක් පාසා සහ දේශපාලනඥයන්ගේ මතයන් අනුව ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ප්‍රතිපත්ති වෙනස් වීම හිතකර තත්ත්වයක් නෙවෙයි නේද?

පැහැදිලිවම එය ඉතාමත් අහිතකර සහ භයානක තත්ත්වයක්. දේශපාලන අතපෙවීම් මත සිදුවන මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල කිසිදු දූර්දර්ශී බවක් නැහැ. මීට හේතු වෙලා තිබෙන්නේ ද්විතීයික අධ්‍යාපන ප්‍රතිපත්ති හිතුමනාපයට වෙනස් කිරීම වැළැක්වීම සඳහා ව්‍යවස්ථාපිත නීතියක් ශ්‍රී ලංකාවේ නොතිබීමයි. 

එවැනි ව්‍යවස්ථාපිත නීතිමය රාමුවක අවශ්‍යතාව හඳුනා ගනිමින් 2003 වසරේදී මේ සඳහා පනතක් ගෙනඑන මෙන් කොමිෂන් සභාව රජයෙන් ඉල්ලීමක් සිදුකළා. නමුත් ඊට නිසි ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. 2008 වසරේදී එවකට සිටි අධ්‍යාපන අමාත්‍යවරයා ජාතික කමිටුවක් පත්කළා පනතක් සකස් කිරීමට. එම කමිටුව විසින් 2009 වසරේදී මේ පිළිබඳ පනත් කෙටුම්පතක් ඉදිරිපත් කළා. ඇමතිවරයා එය පාර්ලිමේන්තුවට යොමු කරලා 30 දෙනෙකුගෙන් යුත් පාර්ලිමේන්තු අනුකාරක සභාවකින් සම්මත වුණා. නමුත් අවාසනාවට  පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග එය ක්‍රියාත්මක වීම වැළකී ගියා. 

මේ ආකාරයෙන් අධ්‍යාපන ප්‍රතිපත්ති හිතුමනාපයට වෙනස් කිරීම වැළැක්වීමට නීතියක් නොමැතිකම නිසා මේ කොමිෂන් සභාවට අමතරව අගමැති කාර්යාලයත් කමිටු පත්කරමින් අධ්‍යාපන ප්‍රතිපත්ති සකස් කරනවා. අධ්‍යාපන අමාත්‍යාංශයත් වෙනම ප්‍රතිපත්ති හදනවා. ඇතැම් අවස්ථාවල විශාල ලෙස විදෙස් ආධාර මුදල් ලබාගැනීමේ අරමුණින් පවා මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හිතුමනාපයට ඇති කරනවා. මේ ව්‍යාකූලත්වය වහාම වැළැක්විය යුතුමයි. එසේ නොමැති වුණොත් රටේ දේශපාල යාන්ත්‍රණයට අවශ්‍ය ආකාරයෙන් අධ්‍යාපන ප්‍රතිපත්ති වෙනස් වීම නිසා විශාල අර්බුදයකට නුදුරේදීම මුහුණදෙන්න සිදුවේවි. අපි දැනටමත් එහි අහිතකර ප්‍රතිවිපාක විඳිමින් ඉන්නවා. 

එවැනි පනතක් ගෙන ඒමේ අවශ්‍යතාව පිළිබඳ වත්මන් රජයෙන් යහපත් ප්‍රතිචාරයක් පවතිනවාද?

අධ්‍යාපන ප්‍රතිපත්ති හිතුමනාපයට වෙනස් කිරීම වැළැක්වීමට නීතියක් ස්ථාපිත කිරීමේ ජාතික අවශ්‍යතාව සම්බන්ධයෙන් අපි කිහිප අවස්ථාවකම සාකච්ඡාවලදී බලධාරීන්ව දැනුවත් කොට තිබෙනවා. නමුත් අවාසනාවකට වත්මන් දේශපාලන අධිකාරිය මේ වෙද්දී බලය ලබාගැනීමේ සහ බලය ආරක්ෂා කර ගැනීමේ අරගලයක නිරතව සිටින නිසා රටේ දරුවන්ගේ අනාගතය පිළිබඳව ඉතා කනගාටුදායක අතපසුවීමක් පෙන්නුම් කරමින් තිබෙනවා.

වර්තමානයේදී අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ඇතිවී තිබෙන තරගකාරීත්වය සහ ආකල්පමය සංවර්ධනයක් නොමැතිවීම විශාල ගැටලු රාශියකට මුල්වී තිබෙනවා නේද?

මෙයත් ඉක්මන් අවධානය යොමුවිය යුතු ගැටලුවක්. මෙතැනදී දරුවන්ගේ පමණක් නොවෙයි දෙමාපියන්ගේ සහ ගුරුවරුන්ගෙත් ආකල්පමය සංවර්ධනයක් ඇතිකිරීමේ වැඩපිළිවෙළක් සකස් කළ යුතුම අවධියකට අප පැමිණ තිබෙනවා. පාසල් අධ්‍යාපනය තරගකාරී විභාග තුනකට කොටුවෙලා එය උඩුදුවන ගැටලුවක් බවට පත්වෙලා තිබෙනවා.


අනෙක් කාරණය තමයි පාසල්වල විෂය මාලා සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමේ බලතල තිබෙන්නේ ජාතික අධ්‍යාපන ආයතනයට. නීතිමය රාමුවේ පවතින හිඩැසක් නිසා ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ සාමාජිකයෙක් බවට පත්ව නැහැ. එම නීතිමය අඩුපාඩුව සකස් කළ යුතුව තිබෙනවා. මේ නිසා ප්‍රතිපත්ති සම්පාදනයේදී ගැටලු මතුවෙනවා.

පාසල් අධ්‍යාපනය වාණිජකරණය වීම සහ සම්පත් බෙදීයෑමේ විෂමතාව පිළිබඳ දැඩි කතාබහක් සමාජයේ පවතිනවා ?

අද ඇතැම් පාසල්වල ගුරුවරු වාණිජකරණයට ලක්ව තිබෙන නිසා ඔවුන් පාසලේදී ඉගැන්වීම් කටයුතු නොකර දරුවන්ව ටියුෂන් පන්තියට ගෙන්වා ගන්න තත්ත්වයට පත්ව තිබෙනවා. ඒ වගේම තමන්ගේ ටියුෂන් පන්තියට නොපැමිණෙන දරුවන්ට වෙනස්කොට සලකන තත්ත්වයට පත්ව තිබෙනවා. දෙමාපියන්ගේ සමාජ නිලබල අනුව දරුවන්ට විශේෂකොට සලකන්න ඇතැම් ගුරුවරු සහ විදුහල්පතිවරු යොමු වෙලා තිබෙනවා. සමහර පාසල්වල උසස්පෙළ පන්තිවල ශිෂ්‍ය ශිෂ්‍යාවන් නැහැ. ඔවුන් ටියුෂන් යනවා. ඒ වගේම දැනට තිබෙන විෂය නිර්දේශය දරුවන්ට සංකීර්ණ වැඩියි.
ඒ විතරක් නෙවෙයි පාසල්වල හා පාසල් වෙත සම්පත් බෙදීයෑමේ විෂමතා පවතිනවා. මේ රටේ පාසල් ප්‍රමාණය දසදහසක් පමණ වෙනවා. මේ අතරින් සිසුන් ප්‍රමාණය 50කට අඩු පාසල් 1000ක් පමණ තිබෙනවා. උසස් පෙළ සඳහා විද්‍යා විෂය උගන්වන පාසල් තිබෙන්නේ 3000කට ආසන්න ප්‍රමාණයක් පමණයි. මෙය අධ්‍යාපනය වාණිජකරණය වීමේ ප්‍රතිඵලයක් වගේම අධ්‍යාපන ක්‍රමය වාණිජකරණය වීමට අධ්‍යාපන ක්‍රමයත් බලපා තිබෙනවා. 

අද ප්‍රාථමික පාසල්වලට ඉගැන්වීමට නිසි පුහුණුවක් නොමැතිව උපාධිධාරී ගුරුවරුන් පත්කරනවා. දුෂ්කර ප්‍රදේශවල පාසල්වල මේ වනවිට දුර්වලව පවතින ඉංග්‍රීසි, විද්‍යාව හා ගණිත අධ්‍යාපනය දියුණු කරන්න ගුරුවරුන් කොපමණ පත්කළත් ඔවුන් දේශපාලනඥයන්ගේ පිහිටෙන් නැවත මාරුව වෙනස් කරගන්නවා. 
මේ පිළිබඳ අවධානය යොමු කරමින් ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව පාසල් ව්‍යූහය ප්‍රතිව්‍යූහගතකරණය කිරීම පිළිබඳ ප්‍රතිපත්ති යෝජනාවක් සඳහා පර්යේෂණයක් ආරම්භකර තිබෙනවා. එය මේ වසරේදී අවසන් කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකාවේ පාසල් ගුරුවරුන්ට ලැබෙන අභිප්‍රේරණය සහ වැටුප ප්‍රමාණවත්ද?

අධ්‍යාපන ප්‍රතිපත්ති සම්පාදනය හරහා ගුරුවරුන් ඇගයීම සහ ඔවුන්ගේ සාධන මට්ටම් තව තවත් ඉහළ දැමීම මගින් ඔවුන්ගේ උපරිම දායකත්වය ලබාගැනීමට නිසි යාන්ත්‍රණයක් සකස් කරමින් පවතිනවා.
ගුරු වැටුප ප්‍රමාණවත් ලෙසින් වැඩිවීමක් සිදුවී නැති බව ඇත්ත. ගුරුවරුන්ගේ පමණක් නොවෙයි ක්ෂේත්‍ර ගණනාවකම වැටුප් විෂමතා තිබෙනවා. නමුත් මේවා වැඩිකරනවා නම් සමස්ත ආර්ථික ව්‍යූහයම හොඳ අධ්‍යයනයකට ලක් කරලා සිදුකරනවා මිසක් දේශපාලනික වාසි තකා සිදු කළොත් පවතින ආර්ථික අර්බුද තව තවත් උග්‍ර තත්ත්වයකට පත්වේවි.  

ටියුෂන් වැඩි වීමට පවතින අධ්‍යාපන ක්‍රමයේ සහ ප්‍රතිපත්තිවල දුර්වලතා හේතුවී තිබෙනවා නේද?

අනිවාර්යයෙන්ම, මේ අදූරදර්ශී ක්‍රියාවන්ට එක් උදාහරණයක් තමයි තාක්ෂණ විෂය ධාරාව හඳුන්වාදීමේ තිබූ අවිධිමත්භාවය. එම විෂය ධාරාව හඳුන්වාදීම ඉතා හොඳ දෙයක් වුණත් ඒ සඳහා ප්‍රමාණවත් ආකාරයෙන් පුහුණු දැනුමැති ගුරුවරු නොමැතිවීම නිසා අවසානයේදී සිදුවූයේ තාක්ෂණ විෂය ධාරාව මේ වෙද්දී ටියුෂන්කරණය වීමයි. මේ අදූරදර්ශී ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණම තමයි ටියුෂන් වැඩි වීමට හේතු සාධක වී තිබෙන්නේ.

රටේ පවතින ආර්ථික අර්බුද තත්ත්වයන් සැලකීමේදී ව්‍යවසායකත්ව අධ්‍යාපනයක් ඇති කිරීමේ වැදගත්කම කෙබඳුද?

අපේ තවමත් තිබෙන්නේ සුදු කරපටි රැකියාවන්ට පමණක් ඉලක්ක ගතවූ පාසල් අධ්‍යාපන ක්‍රමයක්. සුදු කරපටි රැකියාවලට තිබෙන අවධානය හා පිළිගැනීම ව්‍යවසායකත්වයට සහ කාර්මික ක්‍ෂේත්‍රවලටත් ලැබිය යුතුයි. එය ඇති කළ හැක්කේ සමාජ පැවැත්ම සඳහා එම ක්ෂේත්‍රවල වැදගත්කම තවත් ඉස්මතු කිරීමෙන් සහ ආකල්පමය වෙනසක් පාසල් අධ්‍යාපනය තුළින් ලබාදීමෙනුයි. නමුත් ඇතැම් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් දරුවන්ව වෘත්තීය මාර්ගෝපදේශයට යොමුකිරීමට දැඩි පසුගාමී ස්වභාවයක් තමයි දක්වන්නේ.

පාසල් ප්‍රතිව්‍යූහගත කිරීමේ වැඩපිළිවෙළ යටතේ ඊට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කරන්න අප කටයුතු කරමින් ඉන්නවා. වෘත්තීය අධ්‍යාපනය පිළිබඳව වගේම විශේෂයෙන් ඉංග්‍රීසි භාෂා කුසලතාව වර්ධනය සඳහා වැඩපිළිවෙළවල් කිහිපයක්ම මේ වනවිටත් ආරම්භකොට තිබෙනවා.

පසුගියදා පාසල් සිසුන් සඳහා ටැබ් පරිගණක ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබුණා. එම තීරණයට ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ සම්බන්ධයක් තිබෙනවාද?

ජාතික අධ්‍යාපන කොමිෂන් සභා පනත ප්‍රකාරව අධ්‍යාපනය සම්බන්ධයෙන් ප්‍රතිපත්ති සම්පාදනය කිරීම බලතල පවතින්නේ අප කොමිෂන් සභාවටයි. නමුත් අමාත්‍යවරයා ඔහුට අවශ්‍ය දේවල් කරනවා. ඇතැම් අවස්ථාවල පමණක් කොමිෂන් සභාවට යොමු කරනවා. තවත් අවස්ථාවල අමාත්‍යවරයා කමිටු පත්කරලා විවිධ ක්‍රියාමාර්ග ගන්නවා කොමිෂන් සභාවට දැනුම් නොදී කොමිෂන් සභාවේ අනුමැතියකින් තොරව. අධ්‍යාපන අමාත්‍යවරයාට හැකියාව තිබෙන්නේ කොමිෂන් සභාව විසින් සම්පාදනය කරන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමයි. පැහැදිවම මෙය කිසිසේත්ම ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ තීරණයක් නෙවෙයි. මේ වගේ දේවල් ඇමතිවරයා තමන්ගේ හිතුමතයට කරන දේවල්. එක් අවස්ථාවක ජනාධිපතිතුමත් මේකට විරුද්ධ වෙලා තිබෙනවා. 

ෆින්ලන්ත අධ්‍යාපන ක්‍රමය ශ්‍රී ලංකාවට හඳුන්වාදීම පිළිබඳ පසුගිය කාලයේ දැඩි කතාබහට ලක්වුණා මේ පිළිබඳ කොමිෂන් සභාවේ මතය කෙබඳුද?

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලෝකයේ කොහෙවත් රටක දැක්ක පමණින් හෝ ක්ෂණික තීන්දු තීරණ මත සිදුනොකළ යුතුයි. අපි වර්තමානයේ අත්විඳින්නේ එවැනි නොමනා තීන්දු තීරණ නිසා අත්වූ ප්‍රතිඵල. ෆින්ලන්තයේ අධ්‍යාපන ක්‍රමය සකස් වෙලා තිබෙන්නේ ඔවුන්ගේ ආර්ථික, සමාජීය, සංස්කෘතික හා වෙනස් නිර්ණායකයන්වලට උචිත ආකාරයෙන් සහ දීර්ඝකාලීනව සිදුකරන ලද පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙසයි.
ඒ නිසා එම ක්‍රමවේද ඒ ආකාරයෙන්ම මෙහෙට ‍ෙගැනැවිත් ස්ථාපනය කරන්න බැහැ. මේවා දේශපාලන වේදිකාවල ප්‍රසිද්ධ මත හා ප්‍රකාශ පමණයි. අධ්‍යාපනය කියන්නේ අනුකරණය කිරීම නෙවෙයි. අතීත ශ්‍රී ලංකාවේ තමයි ලෝකයේ හොඳම අධ්‍යාපන ක්‍රමය තිබුණේ. ඒ නිසා මේ ඇති කරන වෙනස්කම් හා ප්‍රතිසංස්කරණ ක්‍රමිකව හා ස්ථිරසාර ලෙසින් සිදුවිය යුතුයි.

පවතින අධ්‍යාපන ක්‍රමය සාධනීය වෙනසකට ලක් නොකර මේ ආකාරයෙන්ම තවදුරටත් පැවතුණොත් කුමනාකාරයේ අහිතකර තත්ත්වයක් නිර්මාණය වේවිද?

පවතින පාසල් අධ්‍යාපන ක්‍රමය පිළිබඳව අපට කිසිසේත්ම සතුටු වෙන්න හැකියාවක් නැහැ. පැහැදිලිවම ස්ථිරසාර වෙනසක් සිදුවිය යුතුව තිබෙනවා. නමුත් ඒ වෙනස ක්ෂණිකව, අදූරදර්ශීව, දේශපාලනික උවමනාවන් මත සහ අනුකරණ ස්වරූපයෙන් සිදුවිය යුත්තක් නොවෙයි. එය සිදුවිය යුත්තේ ඉතාමත් ක්‍රමානුකූලව, දූරදර්ශීව සහ දීර්ඝ අධ්‍යයනයකින් පසුවයි. එසේ නොවුණොත් මේ රටේ බිහිවන මානව සම්පතින් කිසිදු ප්‍රයෝජනයක් නොමැති තත්ත්වයක් නිර්මාණය වේවි. ආත්මාර්ථකාමී පරපුරක් බිහිවීම වැළැක්වීමට නොහැකි වේවි.

නඳුන් ශ්‍යාමාල්



Recommended Articles