නීතිය සහ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය ගැන පොදු ජනතාව මේ දිනවල දැඩි අවධානයෙන් බලා සිටිති. බැඳුම්කර මගඩියේ වගකිවයුත්තන්ට නීතියෙන් ලැබෙන දඬුවම කුමක්ද යන්න පිළිබඳව එක් පැත්තකින් ජනතාවට ඇත්තේ දැවන්ත ප්‍රහේලිකාවකි. බැඳුම්කර සිද්ධියේ අක්මුල් මහජන නියෝජිතයන් දක්වා දිවයමින් ඔවුන් අතිබහුතරයක් වංචාවට, දූෂණයට හවුල්වී ඇති බව රටටම ඔප්පු වෙමින් ඇති මොහොතක නීතියෙන් ඔවුන්ට විරුද්ධව දෙන දඬුවම් කුමක්දැයි දැන ගැනීමට ජනතාව දෑස් අයා බලා සිටිති.
විල්පත්තුව, ජල ගැලුම් නිම්නය, දුම්බර වනපෙත වැනි අතිශය සංවේදී පාරිසරික කලාප කිසිදු පාරිසරික ඇගයීමකින් තොරව දේශපාලන බලවතුන් විසින් කපා විනාශ කරද්දී ජනතාව විශ්මයට පත්ව බලා සිටිති.
යුක්තිය පසිඳලීම ප්‍රමාද කරවීමට හා වැළැක්වීමට දේශපාලකයන් විසින් නිරන්තරයෙන්ම අනුගමනය කරන යටිකූට්ටු ක්‍රියාන්විතය හේතුවෙන් අද වන විට යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය ගැන ජනතාවගේ විශ්වාසය බිඳවැටෙමින් පවතින බව ප්‍රත්‍යක්‍ෂ කරුණකි. මෙම අවාසනාවන්ත තත්ත්වය පිළිබඳ සිය වෘත්තීය අත්දැකීම් හා සම්බන්ධ හෙළිදරව් කිරීම් සමගින් විග්‍රහයක් ගෙන එන්නේ නීතීඥ නිලන්ත හෙට්ටිගේ මහතා විසිනි.
&මා හට පෙනී යන හැටියට ඉදිරි අනාගතයේදී රජයට හා රජය නියෝජනය කරන දේශපාලකයන්ට අතිශය බැරෑරුම් ප්‍රශ්න ගණනාවකට මුහුණදීමට සිදුවනු ඇත. ඉන් වඩාත්ම අවදානම් ප්‍රශ්නය නම් යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය පොදුජනතාව හෝ ජාත්‍යන්තර ප්‍රජාව විසින් සියතට ගැනීමේ අවදානමයි. එම අවදානම සුළුකොට තැකිය නොහැකිය.
සත්තකින්ම විනිසුරුවරුන්ගෙන්ද, නීතිඥවරුන්ගෙන්ද අතිබහුතරයක් යහපත් ලෙස සිය රාජකාරී ඉටුකරති. එනමුත්, ඔවුන්ටද ඉක්මවාලිය නොහැකි සංරෝධනයන් ගණනාවක්ම ඇති බව අමුතුවෙන් කිවයුතු නොවේ. එය මුළුමහත් පද්ධතියම වෙළාගත් එකකි. අප විසින් සිදුකළ යුත්තේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියේ සැබෑම දුර්වලතා හඳුනාගෙන ඒවාට ප්‍රතිකර්ම යෙදීම මිස ඔවුනොවුන් වෙත මඩ ගසා ගැනීම නොවේ. එම බරපතළ සත්‍යය කිසිවෙකු විසින් හෝ මෙතෙක් හඳුනා නොගැනීම ගැන ඇත්තෙන්ම කණගාටු විය යුතුය.
නීති පද්ධතියේ දුබලතා
මෙරට නීති පද්ධතිය අධිරාජ්‍යවාදීන් විසින් අප වෙත බලෙන් පැටවූ එකකි. එනමුත් අපගේම අවාසනාවට මෙන් උපන් බිමෙන්ද ගිලිහී ගිය රෝමානු ලන්දේසි නීති මූලධර්ම කිසිදු සංස්කරණයකට භාජනය නොවී තවමත් අප පෙළමින් භාවිතයේ ඇත. අවම වශයෙන් රෝමානු ලන්දේසි නීතිය හටගත් නෙදර්ලන්තයේවත් රෝමානු ලන්දේසි නීතිය අද දක්නට නැත. ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව රෝමානු ලන්දේසි නීතිය භාවිත කරන අවසන් රටවල් දෙක ලෙස ලෝක ඉතිහාසයට එක්වීමට සූදානමින් පවතින්නේ යැයි කීම නිවැරදිය.
යුදෙව් හා ක්‍රිස්තියානි ආගම්වල එන සමහර මූලධර්මයන් රෝමානු ලන්දේසි පවුල් නීතියට සෘජුවම එක්වීම නිසා විවාපත් දෙදෙනෙකුට බරපතළ හේතුවක් නොමැතිව දික්කසාදයට අවසර නොදීමේ සම්ප්‍රදායක් විය. රෝමානු ලන්දේසි නීතියෙන් ආභාසය ලත් අපගේ සාමාන්‍ය විවාහ ආඥා පනතෙන්ද මේ කියන තත්ත්වය එයාකාරයෙන්ම පුනර්වාදනය කරනු ලැබීය. අද පවත්නා නීතිය අනුව දික්කසාදයක් ලබාගැනීමට වෛවාහක වරදක් ඔප්පු කළ යුතුය. දික්කසාදයක් ලබා ගැනීමට වෛවාහක වරදක් ඔප්පු කළ යුතු බැවින් එකිනෙකාගේ ඔළු පලාගෙන නඩුපිට නඩු පටලවා ගන්නා අවාසනාවන්ත විවාහක ජෝඩු ඕනෑතරම් මා දැක ඇත.
නූතන දියුණු නීති පද්ධතීන් තුළ දික්කසාදයක් ලබාදීම සඳහා බලපාන ප්‍රධාන නිර්ණායකයන් දෙක වනුයේ විවාහය බිඳවැටීම හා අන්‍යෝන්‍ය කැමැත්තයි. අන්‍යෝන්‍ය කැමැත්ත මත දික්කසාදයක් ලබාගැනීමට ව්‍යවස්ථාපිත උඩරට නීතිය තුළින් මේ වන විටත් උඩරැටියන්ට අවකාශ ලැබී ඇත.
සාමකාමීව ස්වකීය ප්‍රශ්න විසඳා ගැනීමට ජනතාවට ඇති ඉඩ ප්‍රස්ථා අහිමි කළේ නීතිය විසින්මය යන අප්‍රසන්න සත්‍යය අප විසින් වටහා ගත යුතුව ඇත.
අධිකරණයේ ස්වාධීනත්වයට එල්ලවන බාධාවන්
ප්‍රංශ දාර්ශනිකයෙකු වන මොන්ටෙස්ක්‍යු එංගලන්ත අධිකරණ පද්ධතියේ ඇති සුවිශේෂී ගුණාංගයන් වර්ණනා කරමින් 1748 වන වර්ෂයේදී %ස්පිරිට් ඔෆ් ද ලෝ^ (Spirit Of The Law) නමින් පොතක් ලිවීය. එම ගුණාංගය නම් විධායක, ව්‍යවස්ථාදායක හා අධිකරණ බල වෙන්ව පැවතීමයි. ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය එකිනෙකින් ස්වාධීනව පවත්නා තාක් කල් ඒ ආයතන තුනටම යහතින් පැවතිය හැකිය. එසේම ඒ ආයතන තුන ස්වාධීනව පවත්නා තාක් කල් පොදු ජනතාවට එම ආයතන තුනෙන් උපරිම සේවයක් ලබාගත හැකිය. දෙවියන්ට පින්සිදුවන්නට ඉංග්‍රීසීන් මොන්ටෙස්ක්‍යුගේ බලතල වෙන් කිරීමේ න්‍යාය මෙරටදී නිසියාකාරව ක්‍රියාවට නැංවූහ. සුද්දන්ට පිං සිදුවන්නට අද අපට එකිනෙකින් වෙන්වූ ව්‍යවස්ථාදායකයක්, විධායකයක් හා අධිකරණ පද්ධතියක් ඇත.
එනමුත් ජාතියේ අවාසනාවට මෙන් දේශපාලකයන් බලතල බෙදීමේ න්‍යාය මෙතෙක් තේරුම් කරගෙන නැත. ඔවුහු අධිකරණය යටපත් කර දැමීමට දන්නා සියලු උප්පරවැට්ටි දමති. සාමාන්‍ය ජනතාවට නඩුවක් වැටුණොත් ඔවුන් අනිවාර්යයෙන්ම අධිකරණයට පැමිණිය යුතු වෙයි. එය අප කවුරුත් දන්නා කරුණකි. බලවත් දේශපාලකයෝ තමන්ට නඩු වැටීගෙන එන විට අධිකරණයට ගොස් තමන් අත්අඩංගුවට නොගන්නා ලෙස කරදර කරති.
අප රටෙහි වැඩිහිටි ජනතාව හොඳාකාරව දන්නා පරිදි අධිකරණයට මදි නොකියන්න නිග්‍රහ කරන ලද්දේ ජේ.ආර්. ජයවර්ධනගේ %‘‘ධර්මිෂ්ට සමාජ’ ක්‍රමය බලපැවති සමයෙහිය. එකල්හි විනිසුරුවරුන්ගේ බංගලා වටා මැරයන් පෙළපාලි ගිය බව ප්‍රසිද්ධ කරුණකි. 2015 වර්ෂයේදී අවසන් වූ මහින්ද රාජපක්‍ෂ පාලන සමයේදී අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මියට නඩු පැටලී ගෙදර යාමට සිදුවනුයේ ඇය විසින් සිදුකළ වරදක් නිසා නොව විධායකයේ අනිසි අතපෙවීම් නිසා බව කවුරුත් දන්නා කරුණකි.
යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට පාලකයන් එල්ලකරන අනිසි බලපෑම් නතර ෙනාවුවහොත් අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කිරීම සුරංගනා කතාවක් පමණක්ම වනු ඇත.
පාලනය කළ නොහැකි අල්ලස් ගැනීම්
කලකට පෙර අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හා ආසියානු සංවර්ධන බැංකුව විසින් අල්ලස් දූෂණ මර්දන වැඩසටහනක් ආරම්භ කරනු ලැබීය. මම වසර දෙකක කාලයක් එහි අල්ලස් හා දූෂණ මර්දන නිලධාරියෙකු ලෙස සේවයේ නියුක්ත වූයෙමි. එම කාල පරිච්ඡේදය තුළ මා ලද අමිහිරි අත්දැකීම් හා සමාන අත්දැකීම්වලට තවත් කෙනෙකු මෙතෙක් භාජනය වී නැතැයි කල්පනා කරමි.
එම කාලසීමාව තුළ මා විසින් ලබාදුන් තොරතුරු මත දූෂිත රජයේ නිලධාරීන් ගණනාවක්ම නීතියේ රැහැනට කොටුකර ගත හැකි විය. අල්ලස් හෝ දූෂණ ක්‍රියාවන් අතිශය සංවිධානාත්මක මුහුණුවරකින් හා ඉහළ හා පහළ ශ්‍රේණිවල නිලධාරීන්ගේ සහයෝගයෙන් ක්‍රියාත්මක වන්නේය යන අමිහිරි සත්‍යය වැඩි කල් නොගොස් මට වටහාගත හැකි විය. අල්ලස් ගත් නිලධාරීන් නීතියට කොටුකර දීමේ ප්‍රතිඵලයක් ලෙස වසර ගණනාවක් යනතුරු මාගේ ජීවිතයට තර්ජන එල්ලවිය. සංවිධානාත්මකව සිදුවන අල්ලස් හෝ දූෂණ මැඩපැවැත්වීම කිසිසේත්ම කළ නොහැකි බව තේරුම් ගත් බැවින් වහා එම රැකියාවෙන් ඉවත්ව පෞද්ගලිකව නඩු කටයුතු කිරීම ආරම්භ කළෙමි.
රජයේ නිලධාරීන් අල්ලස් ලබාගැනීම සෑම ක්ෂේත්‍රයකම දැකිය හැකි පොදු ලක්‍ෂණයක් වන අතර, අල්ලස් ලබාගැනීම නැවැත්වීමට රජයට කිසිදු උවමනාවක් නැති බව පොදු ජනතාව විසින් මේ වන විට වටහා ගෙන ඇත. උදාහරණයක් ලෙස පොලිස් සේවයේ නියුතු සමහර නිලධාරීන් අල්ලස් ලබාගැනීම දැක්විය හැකිය. ඇතැම් පොලිස් නිලධාරීන් තමන් අධිකරණයට ඉදිරිපත් කරන නඩු කටයුතු දියාරුවට කරගෙන යාමට විත්තිකරුවන්ගෙන් අල්ලස් ගනිති. එසේම විත්තියෙන් හා පැමිණිල්ලෙන් යන දෙපක්‍ෂයෙන්ම අල්ලස් ගන්නා පොලිස් නිලධාරීහුද වෙසෙති.
සමහර උසාවිවල ලේඛනාගාර සහායකයෝ අල්ලස් ගැනීම සම්බන්ධව කප් ගැසීමට සමත්ව සිටිති. රුපියල් දහසක් හෝ දෙදහසක් විසි නොකර පැරණි නඩු පොතක් සොයා ගැනීම කළුනික සෙවීම තරම් අපහසු කාර්යයකි. තමන් බලාපොරොත්තු වූ අල්ලස් මුදල් නොලැබුණහොත් නඩුපොත අස්ථානගතව ඇති බව කීමට තරම් ඔවුහු නිර්භය වෙති.
උසාවිවල සිතාසි භාරකරවන නිලධාරීන්ගෙන් සැලකිය යුතු පිරිසක් අල්ලස් කප්පිත්තෝ වෙති. තහනම් නියෝගයක් භාරකරවීමට දැනට රුපියල් දහසක් හෝ දෙදහසක අල්ලසක් ගෙවීමට සිදුවන අතර, භුක්තිය භාරකිරීමේ ආඥාවක් ක්‍රියාවේ යෙදවීමට එක් අයෙකුට රුපියල් හාරපන්දහස බැගින් අල්ලසක්ද, පිරිමි නිලධාරීන්ට සැර බීමද ලබාදීමටද බොහෝ විට සිදුවෙයි.
නඩු කටයුතු පමා වීම්
නඩු කටයුතු පමා වීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් දැඩි අප්‍රසන්නතාවකින් යුතුව කතා කරති. සාමාන්‍යයෙන් බෙදුම් නඩුවක් අවසන් වීමට අවුරුදු දහයක් පමණ ගතවෙයි. වෙනත් ඉඩම් නඩුවක් අවසන් වීමටද අවරුදු පහක් හෝ හයක් ගතවෙයි. සමහර දික්කසාද නඩු අවුරුදු පහක් හෝ හයක් දිගින් දිගට ඇදෙමින් යයි. නඩු කටයුතු පමා වීම සම්බන්ධයෙන් කිසිවෙකු හෝ පෞද්ගලිකව දෝෂදර්ශනයට ලක්කිරීම සාධාරණ නැත. ඉඩම් නඩු පමා වීමට ප්‍රධානතම හේතුව මැනුම් කටයුතුවලදී සිදුවන ප්‍රමාදයයි.
නඩුවල විභාග දින මාස හතරක් පහක් ආදී ලෙස කල්යාම හේතුවෙන් නඩු විභාග ප්‍රමාද වීම මුළු රටටම බලපා ඇති ප්‍රශ්නයකි. දික්කසාද නඩු වෙනුවෙන් ලඝු කාර්ය පටිපාටියක් හඳුන්වා දුනහොත් මාස කිහිපයක් තුළ නඩු අසා අවසන් කළ හැකිය. ඉඩම් නඩු සඳහා මැනුම් කටයුතු අවසන් කිරීමට දින ලබාදීමේදී ගාස්තුවට යටත් කිරීමේ නියමයක් පැනවුවහොත් මැනුම් කටයුතු වහා අවසන් කර වාර්තාවන් කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කෙරෙනු ඇත. දැනට පවත්නා සිවිල් නඩු විධාන සංග්‍රහය තුළ බරපතළ දෝෂ ගණනාවක්ම ඇත. උදාහරණයක් ලෙස යම් පුද්ගලයෙකුට විරුද්ධව මුදල් අයකර ගැනීමේ නඩු තීන්දුවක් ලබා ගත්තද විනිශ්චිත ණයකරු ආදායම සැඟවුවහොත් එය අයකර ගැනීම දුෂ්කරය. මේ හේතුවෙන් බොහෝ මුදල් නඩුවල තීන්දු හුදු ලියවිල්ලක් පමණක් බවට හැරෙයි. එසේම නඩු පරාජය වූ කල තීන්දු ප්‍රකාශය ඉටුකිරීම වැළැක්වීමට අභියාචනා කිරීම සුලභව දක්නට ඇත. නිකරුණේ අභියාචනා ඉදිරිපත් කිරීම වැළැක්වීමට ප්‍රමාණවත් ඇපයක් මත අභියාචනා කළ යුතුය යනුවෙන් නීති සංශෝධනය කිරීම කාලෝචිතය. එසේම සිවිල් නඩු විධාන සංග්‍රහයේ පවත්නා බරපතළ දෝෂය වන්නේ නඩු විභාග දිනයක් වැරදීමෙන් සිදුවන හානිය මැකීමට කිසිම ප්‍රතිකර්මයක් නොමැති වීමයි.
අපරාධ නීතියේ ඛේදවාචකය
ශ්‍රී ලංකාවේ අපරාධ නීතිය අන්තර්ගත පනත් අතරින් දණ්ඩ නීති සංග්‍රහය මුල් තැනට එයි. දණ්ඩ නීති සංග්‍රහයේ එන වැරදිවලින් වැඩි කොටස විභාග වනුයේ මහේස්ත්‍රාත් අධිකරණයන්හිය. මහේස්ත්‍රාත්වරුන් විසින් දණ්ඩ නීති සංග්‍රහයේ එක් වරදකට පැනවිය හැකි උපරිම දඩ මුදල රුපියල් එක්දහස් පන්සීයකි. උපරිම සිරදඬුවම් කාලය එක් වරදකට වසර දෙකකි. දඬුවමට අමතරව හැකි උපරිම වන්දි මුදල රුපියල් ලක්‍ෂයකි. උදාහරණයක් ලෙස කොල්ලකෑමේ වරදට වරදකරු වූවෙකු සලකමු. ඔහු සමහරවිට වැරදිකරු වී රුපියල් එක්දහස් පන්සීයක දඩ මුදල ගෙවා අත්හිටවූ සිරදඬුවම් ලැබ සතුටින් නිවසට යනු ඇත.
එනමුත්, නීත්‍යානුකූල නොවන ලෙස ආනයනය කරන ලද සිගරට් ළඟ තබාගෙන හසුවන පුද්ගලයෙකුට රුපියල් දසලක්‍ෂය දක්වා දඩයක් නියම කිරීමට මහේස්ත්‍රාත්වරුන්ට බලතල ඇත. නූතන අපරාධ නීතියේ එන සමානුපාතිකභාවයේ මූලධර්මය ශ්‍රී ලංකා දණ්ඩ නීතියේ දක්නට නැතැයි මා නිතර නිතර පවසනුයේ එබැවිනි. බරපතළ වැරදිවලට වැඩි දඬුවම් ලැබෙන පරිදි නීතිය වහාම සංශෝධනය වීම කාලීන අවශ්‍යතාවකි.
නීතියේ අවම ක්‍රියාකාරීත්වය පිළිබඳ මූලධර්මය
ලා ඔට්සු පඬිවරයාට අනුව නීතියේ තිබිය යුත්තේ අවම ක්‍රියාකාරීත්වයකි. හැකිතාක් අඩු නීතිරීති ප්‍රමාණයක් මත රට පාලනය කිරීමට රජය අවධානය යොමු කළ යුතුය. නීතිරීති වැඩිවන තරමට, නීති දැඩි වන තරමට සමාජ අසහනය වැඩි වෙයි.
එසේම රජය අනවශ්‍ය ලෙස මහජනතාවගේ නිදහසට බාධා නොකළ යුතුය. එලෙස නිදහසට බාධා කිරීම තුළින් රජය මහජනතාවගේ අපකීර්තියට පත්වෙයි. රජය මහජනතාව වෙත බදු බර පැටවීම හැකිතාක් අඩු කළ යුතුය.
සුන් ත්සු කියන පරිදි ජනතාව මත පටවන බදු බර රජයක ආයුෂ තීරණය කිරීමේ ප්‍රධානතම සාධකයයි. ජනතාව මත පටවන ලද බදු බර වැඩිවන තරමට රජය ඉක්මනින් බිඳ වැටෙයි. බදු බර අඩුවන තරමට රජය බොහෝ කල් ශක්තිමත්ව පවතියි.
රජයේ නිලධාරීන් අතින් කිසියම් වරදක් සිදුවුවහොත් ඉහළම මට්ටමේ නිලධාරීන්ගෙන් පටන්ගෙන දඬුවම් කළ යුතුය. මෙම අපූරු සංකල්පය චීනයේ හා සිංගප්පූරුවේ අදටත් ක්‍රියාත්මක වෙයි. ඒ රටවල අල්ලස් ගන්නා නිලධාරීන්ට අත්වන ඉරණම වනුයේ මරණීය දණ්ඩනයයි.
පොදු ජනතාවගේ යුතුකම
ඉංග්‍රීසීන් අපට භාරදී ගියේ සතපහක්වත් පිටරටට ණය නැති රටකි. කෙටි කලක් තුළ මුළු රටම බංකොළොත් කර දමා උපදින්නට සිටින දරුවන් පවා ණයගැතියන් කළ මෙරටෙහි පාපතරයන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොදු ජනතාව වහා ඉදිරිපත්ව රජයට බල කළ යුතුය. පොදුජනතාවගෙන් සොරාගත් මුදල් නැවත අයකර ගැනීමේ යාන්ත්‍රණයක් වහා සකස් කර ක්‍රියාවට නංවන ලෙස රජයට බල කළ යුතුය.
අධිකරණයට බලපෑම් නොකරන බවට දේශපාලකයන් ගිවිස්වාගත යුතුය. අල්ලස් ගන්නා රාජ්‍ය නිලධාරීන්ගේ හා උන්ගේ හත්මුතු පරම්පරාවේ දේපළ රාජසන්තක කරන නීතිරීති සාදන ලෙස පොදු ජනතාව විසින් රජයට බල කළ යුතුය. පරම්පරා හතේ දඬුවම් ක්‍රමය දැනට උතුරු කොරියාවේ බලපැවැත්වෙයි. කවර හෝ සාධනීය ක්‍රියාවලියකින් අල්ලස, දූෂණය හා අධිකරණය හෑල්ලුවට ලක්කිරීම නවත්වන්නට රජයට ජනතාව බල නොකරන්නේ නම් කිසිම දිනක රජය සිය කැමැත්තෙන් ඒ තැනට නොයනු ඇත. මන්දයත් මහජන නියෝජිතයන්ගෙන් වැඩි ගණනක් අපොස සාමාන්‍ය පෙළවත් සමත් නොවූවන් වන බැවිනි. ඔවුන්ට ස්වකීය මෙහෙයවීමෙන් එබඳු උසස් ක්‍රියා පිළිවෙතකට අවතීර්ණ වීමට තරම් අවබෝධයක් නොමැත.