ශ්‍රී ලංකාවේ අධිකරණයට අපහාස කිරීමේ වරද සම්බන්ධයෙන් නිර්වචනයක් නොමැති බැවින් එහි සීමාව සම්බන්ධයෙන් ජනතාව තුළ අවබෝධයන් නොමැත. එමෙන්ම අධිකරණයට අපහාස කිරීමේ වරද සම්බන්ධයෙන් නිශ්චිත දඬුවමක්ද නොමැති වීම තුළ ජනතාව ව්‍යාකූලත්වයට පත්ව තිබේ. අධිකරණයට අපහාස කිරීමේ වරද සම්බන්ධයෙන් මේ දිනවල වැඩි වශයෙන් කතාබහට ලක්වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට වසර 04ක සිරදඬුවම් නියම වීමත්, එය මෙතෙක් අධිකරණයට අපහාස කිරීමේ වරද සම්බන්ධයෙන් ලබාදුන් වැඩිම දඬුවම වීමත් නිසාය. අධිකරණයට අපහාස කිරීම සම්බන‍්ධයෙන් දඬුවම් පැමිණ වූ අවස්ථා කිහිපයක් ඉතිහාසයේ ඇති අතර, මාධ්‍යවේදියෙක්ද ඒ අතර වේ. ඔහු නමින් ගරුමුණි තිලකරත්නයි. එවකට දිවයින පුවත්පතේ අරණායක ප්‍රාදේශීය වාර්තාකරු ලෙස කටයුතු කළ තිලකරත්නට තමන් පළ කළ වාර්තාවක් හේතුවෙන් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව එල්ලවූයේ මීට වසර 30කට පමණ පෙරදීය.
දෙවැනි ජනාධිපතිවරණය
විධායක ජනාධිපති ධුරය හඳුන්වාදීමෙන් පසුව මෙරට පැවැත්වූ දෙවැනි ජනාධිපතිවරණය පැවැත්වූයේ 1988දී. ලංකා මැතිවරණ ඉතිහාසයේ භීෂණයක් මැද පැවති මැතිවරණයක් ලෙස මෙම ජනාධිපතිවරණය ප්‍රසිද්ධය. ජනාධිපතිවරණය වර්ජනය කරන ලෙස එක් පිරිසක් රටපුරා ප්‍රචාරණය කරන අතර, ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් වන ආර් ප්‍රේමදාස, සිරිමාවෝ බණ්ඩාරනායක, ඔසී අබේගුණසේකර යන අය සිය මැතිවරණ ප්‍රචාරණ කටයුතුද සිදුකළහ. කෙසේවෙතත් අඩුම ඡන්ද ප්‍රතිශතය සහිත ජනාධිපතිවරණයක් ලෙසත් මෙම මැතිවරණය ඉතිහාසගත වී ඇති අතර, ජනාධිපතිවරණයෙන් ජයගත්තේ ආර්. ප්‍රේමදාස මහතායි. 1989දී දෙසැම්බර් 19 දින පැවැත්වූ මෙම ජනාධිපතිවරණයේ වලංගුභාවය පිළිගත නොහැකි බව සඳහන් කරමින් ජයග්‍රාහී අපේක්ෂක ආර්. ප්‍රේමදාස මහතාගේ පත්වීම අභියෝගයට ලක්කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂිකාව වූ සිරිමාවෝ බණ්ඩාරණායක මහත්මිය 1989 ජනවාරි 09 දින ඡන්ද පෙත්සමක් ගෙනු කරන්නට විය. මේ සම්බන්ධ නඩු විභාගය වසර දෙකකුත් මාස අටක් වැනි දීර්ඝ කාලයක් පුරා සිදුකෙරුණු අතර, 1991 ඔක්තෝම්බර් 01දා ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ පත්වීම නීත්‍යනුකූල බවයි.
මෙම සිදුවීම එකල වැඩි වශයෙන් කතාබහ වූ මාතෘකාවක් වූ අතර, එම පෙත්සම විභාගයට ගැනෙමින් තිබූ කාලසීමාවේදී අරණායක, අඹලතැන්න ප්‍රදේශයේ පැවැති ජනහමුවකදී එක් මන්ත්‍රීවරයකු මේ පිළිබඳව අදහස් දක්වමින් කතාවක් කළේය. එවකට කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයකුද වූ ධර්මසිරි සේනානායක මහතා එසේ අදහස් දැක්වූ අතර, එහිදී මෙම පෙත්සම පිළිබඳවත් එහි තීන්දුව ලැබිය යුතු ආකාරය පිළිබඳවත් ඔහු කරුණු දක්වා තිබුණි.
පුවත්පතේ පළ කළ මන්ත්‍රීගේ කතාව
ධර්මසිරි සේනානායක මහතා අරණායකදී කළ කතාව 1990 නොවැම්බර් මස 12දා දිවයින පුවත්පතේ පළ විය. &අපිත් ඕනෑම මැතිවණයකට සූදානම්” යන සිරස්තලය යටතේ එය පළවී තිබුණි. එහි සේනානායක මහතාගේ සම්පූර්ණ කතාව ඔහු පැවසූ වචන වලින්ම පළකොට තිබුණි.
අධිකරණයට වූ අපහාසය
සේනානායක මහතා සිය කතාව තුළ අධිකරණය සම්බන්ධයෙන් කළ විචේචනාත්මක කරුණු දැක්වීම් සිදුකර තිබුණු අතර, ඒවා එලෙසම පුවත්පතේ පළවී තිබුණි. මේ හේතුවෙන් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105(3), ව්‍යවස්ථාවට අනුව අධිකරණයට කළ අපහාසයක් බව දක්වමින් ගරුමුණි තිලකරත්නට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරන්නට විය.
අසරණ වූ ගරුමුණි තිලකරත්න
මෙම නඩුපැවරීම සම්බන්ධයෙන් ධර්මසිරි සේනානායක මහතා කරුණු ප්‍රකාශ කරමින් අධිකරණයට පවසා ඇත්තේ තමන් එවැනි ප්‍රකාශයක් සිදුනොකළ බවය. එලෙස පුවතක් පළකිරීම සම්බන්ධයෙන් කණගාටු වන බව පවසමින් දිවයින පුවත්පතේ කතුවරයාද අධිකරණය ඉදිරියේ වරද පිළිගෙන තිබේ.
නොකළ වරදකට වරදකරු වීමට තමා අකමැති බව පවසමින් ගරුමුණු තිලකරන්න මහතා අධිකරණය ඉදිරියේ වරද පිළිගෙන නොමැති අතර, රැස්වීමක සිදුවූවක් පමණක් තමා වාර්තා කළ බවද තමාගේ වාර්තාව සත්‍ය බව ඔප්පු කිරීමට එදින අරණායක රැස්වීමට සහභාගී වූ පුද්ගලයන්ගෙන් දිවුරුම් පෙත්සම් ලබාගත හැකි බවද ඔහු අධිකරණයට පෙන්වා දී ඇත. එමෙන්ම දේශපාලන වේදිකාවක කථිකයෙකු පළ කළ අදහස් ජනතාව එතරම් පිළිනොගන්නා බව අධිකරණයට පැවසූ තිලකරත්න, මේ හේතුවෙන් අධිකරණයට අපහාසයක් සිදුව නොමැති බවද සඳහන් කර ඇත.
එමෙන්ම තමා පුවතක් ලියා පුවත්පත් කාර්යාලයට එවුවද එය පළකරන්නේ කතුවරයා බවද ඔහු දැනටමත් වරද පිළිගෙන ඇති බැවින් තමාට දඬුවම් කිරීමෙන් වළකින ලෙසද හෙතෙම අධිකරණයෙන් ඉල්ලීම් කර තිබේ. එමෙන්ම අධිකරණයට අපහාස කිරීමේ චේතනාව මත අදාළ වාර්තාව සකස් නොකළ බවද, අපහාස කිරීම සම්බන්ධයෙන් තමන් දැන නොසිටි බවද තිලකරත්න මහතා අධිකරණය ඉදිරියේ පවසා තිබේ.
ගරුමුණි වරදකරු වෙයි
කෙසේවෙතත් අදාළ පුවත හේතුවෙන් ගරුමුණි තිලකරත්න වරදකරු වන බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කළ අතර, එසේවුවද මෙම ක්‍රියාවේදී ඔහුගේ දායකත්වය සහ ක්‍රියාව ඉතා සුළු බව අධිකරණයට විසින් තීරණය කර තිලකරත්නට එරෙහිව දඬුවම් නියම නොකිරීමටද ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කළේය. මෙම සිදුවීම සම්බන්ධයෙන් ඔහුගේ දායකත්ව සුළුපටු යැයි දක්වමින් දඬුවම් නියම නොකිරීමට අධිකරණය තීරණය කරමින් ප්‍රකාශ කළ තීන්දුව 1991(1) SLR 134 ලෙස ප්‍රකාශයට පත්වී තිබේ.