අධික හිරු රශ්මිය ඔබව ලෙඩ කරන්නට පෙර


ලෝක ගෝලයේ දකුණු අර්ධ ගෝලයේ සිට උතුරු අර්ධ ගෝලයට සූර්යයා ගමන් කිරීම ග්‍රීෂ්ම කාලයේ සිදුවන්නකි. ඒ අනුව සාමාන්‍යයෙන් ලංකාවට ඉහළින් ඉර මුදුන් වීම සිදුවන්නේ අප්‍රේල් මාසයේ 5වෙනිදා සිට 14වැනිදා දක්වා කාලය තුළයි. සූර්යයා දෘෂ්‍ය ලෙස උතුරට ගමන් කිරීමේදී ශ්‍රී ලංකාවට ඉහළින් හිරු මුදුන් වීම මෙම මස 14වැනිදා දක්වා සිදුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සාමාන්‍යයෙන් මාර්තු අග භාගය හා අප්‍රේල් මුල් සති කිහිපයේ අපේ රට සිටින්නේ ඊසාන මෝසමේ අග භාගයේය. නිරිත දිග මෝසම ආරම්භ වන්නේ මැයි මාසයේ අග කාලයේදීය. මේ අතර කාලය අන්තර් මෝසම් කාලය යනුවෙන් හඳුන්වනු ලබයි. මාර්තු, අප්‍රේල් හා මැයි මස මුල් සති කිහිපය මෙම අන්තර් මෝසම් කාලයට අයත් ‍වේ. මේ කාලයේදී දිවයින වටා විශේෂ සුළං රටාවක් දැකගත නොහැකිය. සුළඟ ඉතාමත්ම අඩු වේ. මේ නිසා අපගේ දහඩිය වාෂ්ප වී යාමට බාධාවන් ඇතිවේ. එබැවින් අපට දැනෙන උෂ්ණත්වයද වැඩිය. ඒ අනුව මාර්තු, අප්‍රේල්, මැයි යන මාසයන්හී ලංකාවට උණුසුම් කාලගුණයක් පවතී. ඒ අනුව මේ කාලයේ අධික හිරු රශ්මියට නිරාවරණය වීම නිසාම විවිධ සෞඛ්‍ය ගැටලුවලට මුහුණපෑමට සිදුවේ. මේ එම සෞඛ්‍ය ගැටලු හා ඒවායෙන් මිදෙන්නට සිදුකළ හැකි ක්‍රියාපිළිවෙත් පිළිබඳ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ, පාරිසරික හා වෘත්තීය සෞඛ්‍ය අංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ඉනෝකා සුරවීර මහත්මිය දැක්වූ අදහස්ය.

අපගේ ශරීරයේ යම්කිසි උෂ්ණත්ව මට්ටමක් පවතින බව අප හැමෝම දන්නා කරුණක්. මේ උෂ්ණත්ව මට්ටම අපට පාලනය කරගත නොහැකි වූ විට නොයෙකුත් සෞඛ්‍ය ගැටලු ඇතිවේ. දැනට රටේ පවතින තත්ත්වය අනුව ඇතැම් පිරිසකට දැඩි සෞඛ්‍ය ගැටලු ඇතිවිය හැකිය. උෂ්ණත්වය වැඩි වන විට දහඩිය ලෙස ඉවත්ව ගොස් අපගේ ශරීරය සිසිල් කරයි. නමුත් ආර්ද්‍රතාවයේ පවතින ගැටලු හේතුවෙන් දහඩිය ඉවතට යෑමක් සිදුනොවෙයි. එය බොහෝ අපහසුකාරී වන්නේ ශරීර අභ්‍යන්තර උෂ්ණත්වය යාමනය කරගත නොහැකි වන බැවිනි.

ක්ලාන්ත ගතියක්, වැඩපළ කරගැනීමට නොහැකි ගතියක්, ඈලි මෑලි දුබල ගති, නිදිමත ගති මේ දිනවල පවතින උෂ්ණාධික බව නිසා ඇතිවිය හැකියි. මීට අමතරව කය වෙහෙසා වැඩ කරන විට අපගේ ශරීරයෙන් දහඩිය පිටවේ. දහඩිය ලෙස ජලය පිටවන විට ලවණද පිටවේ. මේ නිසා විවිධ සෞඛ්‍යමය ගැටලු ඇතිවිය හැකිය.

Heat Rash

කුඩා දරුවන්ගේ මෙන්ම වැඩිහිටියන්ගේද සමේ රතු පැහැති කුඩා බිබිලි ඇතිවීම.

Heat Stress

ක්ලන්ත ගතියක්, වැඩපළ කරගන්නට බැරි ගතියක්, ඈලි මෑලි දුබල ගති, නිදිමත ගති දැනීම මූලික අවස්ථාවේදී දැනෙන අතර, මස්පිඬු පෙරළීම ලවණ අසමතුලිතතාව නිසා ඇති විය හැකිය. මෙය තවදුරටත් බලපෑම නිසා අපගේ ප්‍රධාන ඉන්ද්‍රියන් වන හෘදයට බලපෑම් ඇතිවිය හැකිය. එමෙන්ම ලවණ අසමතුලිත බව නිසා ශරීරය තුළ සමතුලිත බව ගිලිහීම හේතුවෙන් මරණය පවා ඇති විය හැකිය.

මේ නිසා පවතින උෂ්ණාධික තත්ත්වය සුළුවෙන් තැකිය නොහැක. මෙම උෂ්ණාධික කාලගුණය අහිතකර ලෙස බලපානු ලබන කණ්ඩායම් අපිට හඳුනාගත හැකිය.

කුඩා ළමුන්

වැඩිහිටියන්ගේ මෙන් ශරීරයේ අවයව වැඩී නැති බැවින් කුඩා ළමුන්ට මෙම උෂ්ණාධික තත්ත්වය දරාගැනීම අපහසු වේ.

වැඩිහිටි ජනතාව

ලංකාවේ වැඩිහිටි ජනගහනය වැඩි වන අතර, ඔවුනට අධික උෂ්ණත්වය අහිතකර ලෙස බලපෑම් එල්ල කරනු ලබයි.

රෝගීන්

හෘද රෝගීන්, නිදන්ගත පෙණහලු හා වෙනත් රෝග ඇති පිරිසට මෙම තත්ත්වය දරාගත නොහැකි වේ.

මීට අමතරව එළිමහනේ වැඩකරන ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අයට හා කෘෂිකර්මාන්තයේ යෙදෙන අයට වැඩි සෞඛ්‍ය බලපෑම් ඇතිවේ. ඔවුන් මෙම උෂ්ණාධික කාලගුණික තත්ත්වයේ කය වෙහෙසා වැඩ කිරීම නිසා සෞඛ්‍යයට එල්ලවන බලපෑම අධිකය. මීට අමතරව රථවාහන හැසිරවීම්වල යෙදෙන පොලිස් නිලධාරීන්ට ඔවුන්ගේ ඇඳුමේ ඇති රළු බවත් සමග එල්ලවන බලපෑම වැඩිය.

මෙම ගැටලු සඳහා කෙටිකාලීන හා දිගුකාලීන විසඳුම් සෙවිය යුතු වේ. ලෝකයේ බොහෝ රටවල මෙවැනි කාලගුණික තත්ත්ව පවතින කාලවලදී මිනිසුන් මිය යෑමේ තත්ත්වය ඉතා වැඩිය. මිය ගිය පුද්ගලයා හෘද රෝගයකින් මිය ගියද එයට හේතු වී තිබෙන්නේ උෂ්ණාධික කාලගුණයේ බලපෑම බව ඒ රටවල් හඳුනාගෙන තිබේ. මේ නිසා අපි කෙටිකාලීන විසඳුම් කිහිපයක් මෙලෙස ඉදිරිපත් කරන්නෙමු.

ජලය පානය කිරීම.

වැඩිපුර ජලය පානය කළ යුතුය. සාමාන්‍ය දිනයකදී වැඩිහිටියෙකුට ලීටර 2.5ක් ජලය පානය කිරීම ප්‍රමාණවත් වේ. නමුත් මෙවන් දිනයකදී විනාඩි 20කට වරක් වතුර උගුරු 8-10ත් අතර පානය කිරීමට නිර්දේශ කරයි. මෙහිදී මතක තබාගත යුතු වන්නේ කුමන වේලාවේදී වත් පැණි රස බීම හෝ සීනි යෙදූ පානයන් භාවිත නොකළ යුතු බවයි. විශේෂයෙන් මෙවන් දිනවල පිරිසුදු ජලය පානයට ගැනීම සිදුකළ යුතුය.

එළිමහනේ ගමන්කරන විට කුඩයක් රැගෙන යන්න.

වැඩිම උෂ්ණත්වයක් පවතින්නේ උදෑසන 11ත් සවස 3ත් අතර කාලයේදීය. එම කාලයේ මෙන්ම උදේ 8 සිටත් අපට උෂ්ණත්වය වෙනදාට වඩා වැඩි බවක් දැනෙයි. එබැවින් කුඩයක් භාවිත කරන්නට වග බලාගත යුතුයි. කුඩ භාවිත නොකරන පිරිමි පාර්ශ්වය තොප්පි පාවිච්චි කළ යුතුය.

සැහැල්ලු ඇඳුම්, ළා පැහැති ඇඳුම් හා කපු ඇඳුම් මේ දිනවල ඇඳීම ඉතාම උචිතයි.

මේ දිනවල පවතින අධික රස්නය නිසා ශරීරයේ වතුර ආලේප කිරීම සිදුකළ යුතුයි. දරුවන්ගේ මෙන්ම වැඩිහිටියන්ද ශරීරයේ ජලය ආලේප කිරීමෙන් ශරීරය සිසිල් කරගත හැකි වේ. මෙම කාලගුණික තත්ත්වයේ අහිතකර බලපෑම් නිසා යම් සෞඛ්‍ය ගැටලුවක පුද්ගලයෙක් සිටින බව දකින්නේ නම් වහාම ප්‍රථමාධාර ලබාදිය යුතුය.

එළිමහනක සිටී නම් එම ස්ථානයෙන් සෙවනක් ඇති සිසිල් තැනකට රැගෙන යෑම.

ඇඳුම් ඉහිල් කර සිහිය තිබෙන අවස්ථාවක වතුර පානය කිරීමට ලබාදෙන්න.

මස්පිඬු පෙරළීමකදී ලුණු ලබා නොදී වතුර පමණක් ලබාදෙන්න.

මෙලෙස ප්‍රථමාධාර ලබාදීමෙන් මඳ වේලාවකට පසු රෝගියා යථා තත්ත්වයට පත් නොවේ නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා රැගෙන යා යුතුය.

එසේම මෙවන් කාල වකානුවක විවිධ වර්ගයේ ආලේපන වර්ග, ක්‍රීම් වර්ග ආලේප කිරීම නිසා රෝම කූප අවහිර වී දහඩිය පිටවීම සම්බන්ධයෙන් ගැටලු ඇතිවිය හැකිය. එබැවින් මේ දිනවල තෙල් සහිත ක්‍රීම් වර්ග හා වෙනත් ක්‍රීම් වර්ග ආලේප කිරීමෙන් වැළකී සිටිය යුතුය.

මෙම කෙටිකාලීන විසඳුම්වලට අමතරව රටක් ලෙස දීර්ඝකාලීන විසඳුම් කරා යෑමද සිදුකළ යුතුය. දේශගුණික විපර්යාස පිළිබඳ සැලකූ විට අපට පෙනී යන්නේ අනාගතයේදීද අපට අධික උණුසුම් කාලවලට වැඩි වශයෙන් මුහුණ දීමට සිදුවන බවයි. ස්වාභාවික විපත් වැඩි කාලයකට බහුලව මුහුණ දෙන්නට සිදුවනු ඇත. වැසි කාලයේ අධික වර්ෂාවත්, පායන කාලයට අධික උෂ්ණත්වයත් අපට දැකගත හැකිය. ඒ අනුව අපේ රටේ අනාගතය එතරම් සුබ නොවනු ඇත. මේ වන විට හරිතාගාර වායූන් හේතුවෙන් ලෝකයේ සෑම රටක්ම විපාක විඳින තත්ත්වයක් පවතියි. පෞද්ගලික මට්ටමෙන් මෙන්ම රටවල් හා අන්තර්ජාතික මට්ටමෙන් මෙම තත්ත්ව අවම කරගැනීමට උත්සාහ දැරිය යුතුය. වියළි කාලයේ ජලය හා විදුලිය සම්බන්ධ ගැටලුවලට මුහුණදෙන්නට සිදුවනු ඇත. එබැවින් අප සියලුදෙනා මේ ගැටලු පිළිබඳ වැඩි අවධානයක්  යොමු කළ යුතු වේ. කුණු පිලිස්සීම නිසා ඇතිවන කාබන්ඩයොක්සයිඩ් පිළිබඳවද අප පෞද්ගලික මට්ටමෙන් සිතිය යුතුය. මන්ද මෙවන් තත්ත්වයන් නිසා අනාගතයේ අපගේ ළමුන්ට අපට වඩා විශාල ගැටලුවලට මුහුණ දෙන්නට සිදුවනු ඇත.

උෂ්ණාධික කාලගුණයක් පවතින මේ දිනවල පවතින ප්‍රධානතම ගැටලුව වන්නේ විජලනයට පත්වීම බව ප්‍රජා විශේෂඥ වෛද්‍ය භානුජ විජයතිලක මහතා %අද^ට අදහස් දැක්වීය.

&විශේෂයෙන් මේ දිනවල වතුර බෝතලයක් නිතරම ළඟ තබාගෙන වතුර පානය කිරීම ඉතාම වැදගත්. කෝවිඩ් 19 වසංගතය නිසා වසා දැමූ සියලුම පාසල් දැන් විවෘත කරලයි තියෙන්නේ. ඒ නිසා අනිවාර්යයෙන් පාසල් දරුවන් පැයකට වරක්වත් වතුර වීදුරුවක දෙකක ප්‍රමාණයක් පානය කිරීම ඉතාම වැදගත්. පාසල් දරුවන් වගේම අනෙක් සියලුම දෙනාත් වෙනදාට වඩා වතුර පානය කළ යුතුයි. ඒ වගේම කියන්න ඕන අධික පිපාසයක් දැනෙන වෙලාවට සිසිල් පැන් හෝ සීනි යෙදූ පාන වර්ග නම් භාවිත කිරීම කිසිසේත්ම සුදුසු නැහැ. නමුත් තැඹිලි වගේ ස්වාභාවික පාන භාවිත කිරීම සුදුසුයි.

ඒ වගේම කියන්න ඕන පාසල් රැස්වීම් ආදිය එළිමහනේ සංවිධානය නොකර ඉන්නවා නම්  හොඳයි. ඒ වගේම දරුවන්ට  එළිමහනේ ක්‍රීඩා කරන්නට ලබාදෙන කාලය අඩුකරන එකත් කළ යුතුයි. තවත් දෙයක් තමයි අධික හිරු රශ්මිය ඇති දවස්වල තද වර්ණයෙන් යුතු ඇඳුම් ඇඳීම නොකළ යුතුයි. හැකි තරම් ළා පැහැති වර්ණ මෙන්ම සුදු පැහැයෙන් යුතු ඇඳුම් ඇඳීම හිතකරයි. ඒ වගේම  කපු ඇඳුම් ඇඳීමත් වැදගත්.  විශේෂයෙන්  පෙරවරු 11 සිට පස්වරු 03 දක්වා අධික හිරු එළියට නිරාවරණය වෙමින් ගතකරන කාලය අවම කිරීම වැදගත්."



Recommended Articles