අදූරදර්ශී විරෝධතා පසෙකලා අපද්‍රව්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් ජාතික වශයෙන් ඍජු තීරණ ගත යුතුව තිබෙනවා


අද වනවිට ලංකාවේ නාගරික ප්‍රදේශවල ජනයා මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් ලෙස කැළි කසළ ගැටලුව හඳුන්වා දිය හැකිය. විශේෂයෙන් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල සිටින ජනතාව මෙම ගැටලුවට දෛනිකව මුහුණ දෙති. රජය විසින් මෙම අපද්‍රව්‍ය ගැටලුවට විවිධ විසඳුම් ගෙන එනු ලැබුවද ඒවා බොහෝමයක් ස්ථිරසාර විසඳුම් නොවේ. නමුත් පළාත් පාලන ආයතන විසින් %අපද්‍රව්‍ය වෙන් කර එකතු කිරීම^ කාලයක පටන් සිදු කරමින් පැමිණෙන වැඩපිළිවෙළකි. මෙහිදී ප්ලාස්ටික්, පොලිතින් වැනි දෑ, කඩදාසි, වීදුරු කැබැලි වැනි දෑ සහ පහසුවෙන් දිරවීමට හැකි කසළ වෙන වෙනමද එකතු කිරීම සිදු වේ. නමුත් මෙලෙස වෙන්කර ගනිමින් එකතු කරගන්නා අපද්‍රව්‍යවලට අවසානයේ කුමක් සිදුවෙනවාද යන්න මහජනයාට ඇති ගැටලුවකි. වෙන්කර එකතු කරන අපද්‍රව්‍යවලට අවසානයේ කුමක් සිදුවේද යන්න පිළිබඳ අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ අධ්‍යක්‍ෂ නලින් මාන්නප්පෙරුම මහතාගෙන් අප විමසීය. 


වෙන් කරන ලද අපද්‍රව්‍යවලට අවසානයේදී සිදු වෙන්නේ කුමක්ද?

සාමාන්‍යයෙන් අපද්‍රව්‍ය කළමනාකරණයේදී කුණු වෙන්කිරීම අත්‍යවශ්‍ය කාරණයක්. ඒක ජනතාව විසින් සිදු කළ යුතුයි. කසළ කියන දේ වෙන්කිරීම සිදුවෙන්නේ කුඩාම ස්ථානය ඒ කියන්නේ නිවසේ සිටයි. නිවාසවල අපි බෝතල් පත්තර, ඉවතලන යකඩ, වගේ දේවල් එකතු කර ඒවා විකුණනවා. ඊට පස්සේ ඉතුරු වන ප්‍රමාණය තමයි පළාත් පාලන ආයතනවලට ලබා දෙන්නේ. පළාත් පාලන ආයතනවලින් සමහර අය අපද්‍රව්‍ය සියල්ලම එකට එකතු කරනවා, සමහර අය වෙන් වෙන්ව එකතු කරනවා. බොහෝ පළාත් පාලන ආයතන අපද්‍රව්‍ය වෙන් වෙන්ව එකතු කරන්න වැඩපිළිවෙළක් සකස් කරගෙන තිබෙනවා. පළාත් පාලන ආයතනවල තිබෙනවා සම්පත් කේන්ද්‍රයක්. එතැනට වෙන් කරලා ගෙනෙන අපද්‍රව්‍ය ගබඩා කර තිබෙනවා. බෝතල් ඇතුළු ප්ලාස්ටික් ද්‍රව්‍යවලට එක් තැනක්, වීදුරු කැබලිවලට වෙනම තැනක් ආදී වශයෙන්. පළාත් පාලන ආයතනවලින් එකතු කරන අපද්‍රව්‍යත් ඒ වගේ ප්‍රතිචක්‍රීකරණ ආයතනවලට විකුණනවා. ඒවා සිදු වෙන්නේ විශාල ආයතන සමගයි. 
දෛනිකව එක්රැස් වන අපද්‍රව්‍යවලින් ප්‍රතිචක්‍රීකරණ ආයතනවලට ලබා දෙන ප්‍රමාණය 

නිවාස තුළින් එකතු කරන බෝතල්, පත්තර වැනි දේවල් මිලදී ගන්නා පිරිස් ඒවා ප්‍රතිචක්‍රීකරණ ආයතනවලට ලබා දෙනවා. ඒක සිදුවෙන්නේ ප්‍රාථමික මට්ටමින්. බස්නාහිර පළාත තුළ ප්‍රාථමික මට්ටමින් සිදුකරනු ලබන එක්රැස් කිරීම් පිළිබඳ හරි දත්තයක් නැහැ. මම හිතනවා 05% - 06% වගේ ප්‍රමාණයක් ප්‍රාථමික මට්ටමෙන් ප්‍රතිචක්‍රීකරණ ආයතනවලට ලබා දෙනවා ඇති කියලා. 
බස්නාහිර පළාතට අයත් පළාත් පාලන ආයතනවල අපද්‍රව්‍ය එක්රැස් කිරීම්වලින් 04%ක් වගේ තමයි ප්‍රතිචක්‍රීකරණ ආයතන සඳහා ලබාදිය හැක්කේ. ඒ කියන්නේ දිනකට මෙට්‍රික්ටොන් 60ක් පමණ ප්‍රතිචක්‍රීකරණය කළ හැකි අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය සඳහා ලබා දෙනවා. 

පරිසර පොළ සහ මිහිසර ජංගම දුරකථන යෙදුම

අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය හැටියට මේ පද්ධතිය ශක්තිමත් කිරීම තමයි අප විසින් සිදු කරනු ලබන්නේ. නිවාස තුළින් වෙන්කරන ප්‍රතිචක්‍රීකරණය කළ හැකි දේවල් ගන්න අපි %පරිසර පොළ^ කියලා වැඩසටහනක් ක්‍රියාත්මක කරගෙන යනවා. අපි සතිඅන්තයේ දිනකදී තෝරාගත් එක් ස්ථානයකට නිවාසවල එකතු කරන්න කියපු බෝතල්, පත්තර ටික ගේන්න කියලා කියනවා. එතැනට අප ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ද්‍රව්‍ය එකතු කරන්නන්වත් ගෙන්වනවා. එතකොට මෙතැන ගැනුම්කරුවෝ සහ විකුණුම්කරුවෝ ඉන්නවා. මේ ක්‍රමය විදෙස් රටවල ප්‍රසිද්ධයි. එයාලා මේ ක්‍රමය සාර්ථකව ක්‍රියාත්මක කරගෙන යනවා. අපේ අයට මේක දැන් අපි පුරුදු කරගෙන යනවා. පළාත් පාලන ආයතන කිහිපයකම මේ වනවිට පරිසර පොළවල් සියයක් පමණ සාර්ථක අයුරින් කරගෙන පවත්වා තිබෙනවා. මෙතැනින් අප සිදු කරන්නේ නිවාසවලින් එකතු කරන අපද්‍රව්‍ය අලෙවි කරන්න අවශ්‍ය තෝතැන්නක් සකස් කර දීමයි. පරිසර පොළ මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. 

කුණු එක් රැස්කිරීම සම්බන්ධයෙන් ජනතාවයි පළාත් පාලන ආයතන අතරයි යම් දුරස්ථභාවයක් තිබෙනවානේ. ජනතාව දන්නේ නැහැ අද මොනවාද පළාත් පාලන ආයතන කරන්නේ කියලා. පළාත් පාලන ආයතන දන්නේ නැහැ ජනතාව අද මොනවද වෙන්කර තිබෙන අපද්‍රව්‍ය කියලා. ඉතින් මේ දුරස්ථභාවය අවම කරන්න අපි %මිහිසරු^ නමින් ජංගම දුරකථන යෙදුමක් (app) පසුගිය මාසේදී එළිදැක්වූවා. මේ ජංගම දුරකථන යෙදුම අපි මුලින්ම මිනුවන්ගොඩ නගර සභාවට හඳුන්වා දුන්නා. ඒ යෙදුම තුළින් අප බලාපොරොත්තු වෙනවා පළාත් පාලන ආයතනවලින් සිදුකෙරෙන වැඩකටයුතු විධිමත් කරන්න. ඒ යෙදුම තුළ අන්තර්ගත කර තිබෙනවා කුණු එක්රැස් කරන දිනයන් පිළිබඳ. මිහිසරු යෙදුම පළාත් පාලන ආයතන බලප්‍රදේශයේ සිටින ඕනෑම අයෙකුටම අන්තර්ජාලයෙන් ලබා ගැනීමට හැකියාව පවතිනවා. 2019 වසර අවසානය වනවිට අප බලාපොරොත්තු වෙනවා මේ මිහිසරු ජංගම දුරකථන යෙදුම බස්නාහිර පළාතේ සෑම පළාත් පාලන ආයතනයන් තුළම ප්‍රචලිත කරන්න.

ප්‍රාථමික අපද්‍රව්‍ය එකතු කරන්නන්ට හැඳුනුම්පතක්

අප බලාපොරොත්තු වෙනවා කුඩා පරිමාණයේ ප්‍රතිචක්‍රීකරණ ආයතනවලට හැඳුනුම්පතක් ලබාදීලා එයාලට පළාත් පාලන ආයතන තුළ අනන්‍යතාවක් නිර්මාණය කරලා දෙන්න. අප කුඩා පරිමාණයේ අපද්‍රව්‍ය එකතු කරන්නන්ව අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ ලියාපදිංචි කරලා එයාලට හැඳුනුම්පතක් ලබාදෙනවා. එය තවත් පැත්තකින් එයාලටත් වැදගත්කමක් වෙනවා. ඉතා ඉක්මනින් අප එම හැඳුනුම්පත් නිකුත් කර ඔවුන්ව ලියාපදිංචි කරවීමට කටයුතු යොදනවා. 

අපි අවුරුදු දෙකකට වතාවක්ම ප්‍රතිචක්‍රීකරණ අපද්‍රව්‍ය එකතු කරන්නන්ගේ නාමාවලියක් පළකරනවා. ඒ නාමාවලියේ සුළු පරිමාණ, මධ්‍ය පරිමාණ සහ මහා පරිමාණ ප්‍රතිචක්‍රීකරණ අපද්‍රව්‍ය එකතු කරන්නන් අන්තර්ගත කර තිබෙනවා. මේ නාමාවලිය අපි පළාත් පාලන ආයතනවලට ලබා දුන්නාම එයාලා ඒ ආයතන සම්බන්ධීකරණය කර ගන්නවා.

කරදියාන තවදුරටත් භාවිත කළ හැකිද?

කරදියාන පාලිත බිම් පිරවුම් අංගණය භාවිත කිරීම තවදුරටත් කළ හැක්කේ වසර තුනක් බවට අපි මුලින්ම පුරෝකථනය කළේ ඇස් මට්ටමෙන් බලලා සහ අපේ අත්දැකීම් අනුවයි. නමුත් අපි දැන් මේක භාරදීලා තියෙනවා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයට (NBR). ඔවුන් මේක ගැන අධ්‍යයනය කරලා හරියටම මෙහි තත්ත්වය ගැන වාර්තාවක් දෙනවා. ඔවුන් වාර්තාව අපට දෙන්න නම් තව මාස තුන හතරක් යනවා. මේ වෙද්දි ඔවුන් කරදියාන අධ්‍යයනය කරමින් යනවා. ඉතින් ඒ අනුව තමයි අපට හරියටම කියන්න පුළුවන් වෙන්නේ කරදියාන කුණු එකතු කිරීමේ මධ්‍යස්ථානය තව කොපමණ කල් භාවිත කරන්න පුළුවන්ද කියලා. NBR එක කිව්වොත් තව මේකට කුණු දාන්න එපා කියලා අපි ඒක නවත්වනවා. එහෙම වුණොත් අපි විකල්ප විසඳුම් කිහිපයකට යනවා. මේ වනවිට අපි කරදියාන අංගණයට කුණු ගේන සියලු පළාත් පාලන ආයතනවලට දැනුම් දීලා තියෙනවා 20෴කින් කසළ රැගෙන එන එක අවම කරන්න කියලා. මේ වනවිට අපි කරදියානට කානු පස් භාරගැනීම සම්පූර්ණයෙන්ම නතර කර තිබෙනවා. මොකද කානු පස් පහත් බිම් ගොඩකිරීම් සහ ඉදිකිරීම් කටයුතුවලට යොදා ගන්න පුළුවන්. මේ වසරේදී මිහිසරු සම්මාන උළෙලේදී කරදියානට අවමයෙන් කසළ ගෙන එන පළාත් පාලන ආයතන ඇගයීමට ලක් කරන්න අප බලාපොරොත්තු වෙනවා. 

අරුවක්කාරුවට එන අදූරදර්ශී විරෝධතා

කසළ කළමනාකරණය කියන්නේ ජාතික ප්‍රශ්නයක්. ජාතික ප්‍රශ්නයකට විද්‍යාත්මක ප්‍රවේශයක් ගන්නකොට ඒකට මිනිසුන්ගෙන් අහලා තීරණ ගන්න බැහැ. ඒක ජාතික අවශ්‍යතාවක් වෙනවා නම් අනිවාර්යයෙන්ම ඒකට ඍජු තීන්දු තීරණ ගන්න සිදු වෙනවා. මුලින් තේරුම් ගන්න ඕන මේක ජනතාවට අවශ්‍යද කියන කාරණය. දෙවැනි කාරණය තමයි මේක පරිසර හිතකාමීද කියන කාරණය. ඒ දෙක පැහැදිලි නම් අපි ඒ තීරණය අනිවාර්යයෙන්ම ගන්න ඕන. මේ කසළ කළමනාකරණයේ තිබෙන ගැටලුව තමයි පළාත් පාලන ආයතනවල කළමනාකරණය කරන්න බැරි කසළ ටික කළමනාකරණය කරන්න පොදු පහසුකම් නැහැ. 1996 දී සීතාවක වග ප්‍රදේශයේ අපි උත්සාහ කළා කසළ අංගණ හදන්න. නමුත් දිගින් දිගටම අදූරදර්ශී විරෝධයක් එල්ල වුණු නිසා ඒක නැවතුණා. එහි ප්‍රතිඵලය තමයි මීතොටමුල්ල කුණු කන්දට යටවෙලා 35 දෙනෙකුට ජීවිතය අහිමි වීම. ඒ කාලේදීම ඒවා හදලා තිබුණා නම් අද වෙද්දි අපට කසළ කළමනාකරණය පිළිබඳ ගැටලුවක් නැහැ. ඉතින් ඒක නිසා මේ වෙලාවෙදි හැමෝම තේරුම් ගන්න ඕන මේ ප්‍රශ්නයට ඇති විසඳුම මොකද්ද කියලා. මොන විරෝධතාවන් එල්ල වුණත් පරිසර හිතකාමී විසඳුමක් නම් රජයක් විදියට ඒ තීරණ කෙළින් ගත යුතු වෙනවා. ඒක රටේ අවශ්‍යතාවක්. 

අරුවක්කාරු කසළ අංගණයෙන් කිසිම පාරිසරික ගැටලුවක් හෝ සෞඛ්‍යමය ගැටලුවක් ඇති වෙන්නේ නැහැ කියලා සහතික වෙන්න පුළුවන්ද?

අද ලෝකය දියුණු වෙනකොට කසළ කළමනාකරණය ආරම්භ වෙන්නේ විවෘත බිම් පිරවුම් මගින්. ඒකේ කිසිම තාක්‍ෂණයක් නැහැ නිකම්ම කුණු ගෙනල්ලා ගොඩකළා. ඊට පස්සේ ඒක පාලිත බිම් පිරවුම් තාක්‍ෂණයෙන් දියුණු වුණා. අද වනවිට ඒක විද්‍යාත්මක බිම් පිරවීමක් දක්වා වර්ධනය වෙලා තිබෙනවා. විද්‍යාත්මක බිම් පිරවුම මගින් පරිසරයට සිදු වන හානිය අවම වෙනවා. අරුවක්කාරු අංගණයත් ඒ ආකාරයේ දියුණු තාක්‍ෂණික ක්‍රමවේද භාවිත වන කසළ අංගණයක්. ඒක සාමාන්‍ය කුණු කඳු වගේ නෙවෙයි.

අරුවක්කාරු පිළිබඳ ජනතාවගේ දුර්මතය ඉවත් කරන්න බස්නාහිර පළාත් හා මහානගර සභා අමාත්‍යාංශයේ නිලධාරීන් ඒ සඳහා දැනුවත් කිරීම් අරඹා තිබෙනවා. මිනිස්සු බොරුවට නිදාගෙන ඉන්නවා නම් අපට ඔවුන්ව ඇහැරවන්න බැහැ. නමුත් ඔවුන් ඇත්තට නිදාගෙන ඉන්නවා නම් ඇහැරවන්න පුළුවන්. මේක ගැන ඇත්ත දැනගෙන නොදන්නවා වගේ ඉන්නවා නම් අපට කරන්න තියෙන්නේ ඍජු තීරණවලට එළඹෙන එකයි. 
අද වෙද්දි අපද්‍රව්‍ය කළමනාකරණයට රජයේ මේ සම්බන්ධ නිලධාරීන් විශාල මහන්සියක් ගන්නවා. නිලධාරීන් ගෙන එන යෝජනා ජනතාව සංවේදී නොවීම නිසා ක්‍රියාත්මක කරගන්න බැරිව ඉන්නවා. මේ නිසා මුළු රටම අගාධයකට යනවා. ඉතින් ජනතාව මේ කාරණයට පැහැදිලිව ඇහුම්කම් දීලා, සංවේදී වෙලා අපට සහයෝගය දුන්නා නම් අපට කසළ කළමනාකරණය කර ගැනීම මේ තරම් අපහසු වෙන්නේ නැහැ. 

කසළ මගින් බලශක්ති උත්පාදන ව්‍යාපෘතිවල වත්මන් තත්ත්වය

කරදියාන කසළ අංගණයේ ස්ථාපනය කරන්න නියමිතව තිබුණු බලශක්ති උත්පාදන ව්‍යාපෘතියේ ඉදිකිරීම් අවසන් කර වැඩකටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබුණේ 2019 වසරේදීයි. නමුත් එහි එක් ගිවිසුමකට විදුලිබල මණ්ඩලය විසින් අත්සන් තැබීම ප්‍රමාද වුණා. නමුත් දැන් ඒ ගැටලුව විසඳලා තිබෙනවා. ඒ අනුව 2020 වසරේදී මෙම ව්‍යාපෘතිය නිම කිරීමට සැලසුම් සකස් කර තිබෙනවා. ඊට අමතරව මුතුරාජවෙල බලශක්ති උත්පාදන ව්‍යාපෘතියේ වැඩකටයුතු 50%ක් අවසන් වී තිබෙනවා. 

සටහන - කැළුම් විශ්වනාත්



Recommended Articles