අදහස් නිසා දඬුවම් ලැබීම


චින්තනයේ නිදහස යනුවෙන් පොදුවේ හැඳින්වෙන්නේ කිසියම් පුද්ගලයෙකුට වෙනත් බාහිර පාර්ශ්වයන්ගේ බලපෑමෙන් තොරව කිසියම් කරුණක්, දෘෂ්ටිවාදයක්, සිතුවිල්ලක් දැරීමේ ඇති අයිතියයි. ආගම පිළිබඳ නිදහස, ප්‍රකාශනය පිළිබඳ නිදහස ආදිය ආරම්භ වීමේ මුල පවතින්නේ චින්තනයේ නිදහස පිළිබඳ අයිතිය මතයි. 

ඉපැරණි අතීතය සලකද්දී ප්ලේටෝ සහ සොක්‍රටීස් චින්තනයේ නිදහස පිළිබඳ සාකච්ඡා කර තිබේ. අශෝක ස්ථම්භවලද මිනිසුන්ගේ හෘදය සාක්ෂියේ නිදහස පිළිබඳව සටහන් වෙයි. අද  වන විට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රඥප්තියෙන්ද එය පිළිගැනීමට ලක් වී තිබේ. මේ අනුව සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය (International Covenant on Civil and Political Rights ) අත්සන් තබා ඇති සියලු රටවල් චින්තනයේ නිදහසට ගරු කිරීම සඳහා නීතියෙන් බැඳී සිටී. 

මේ අනුව බාහිර බහුතරයේ අදහසට සපුරා වෙනස් වූ ස්වාධීන චින්තනයක් දැරීමේ පරම අයිතිය මිනිසෙකු වශයෙන් උපත ලැබූ ඕනෑම අයෙකු වෙත පවතී. කෙසේවෙතත්, බහුතරය සහ අධිකාරිය පිළිනොගන්නා මත දැරීම නිසා මනුෂ්‍ය ඉතිහාසය තුළදී දණ්ඩනයට ලක්කර ඇති මිනිසුන්ගේ සංඛ්‍යාව සුළුපටු නොවේ. ඉපැරණි ග්‍රීක දාර්ශනිකයෙකු වූ සොක්‍රටීස් එවැන්නෙකි. අලුත් අදහස්වලින් තරුණයන්ගේ හිස් පිරවීම නිසා ක්‍රිස්තුපූර්ව 399දී සොක්‍රටීස් වෙත වස පානය කරන්නට දී මරා දැමීමට කටයුතු කෙරිණ. 

කොලොෆොන්හි සිනොෆානිස් ද වෙනස් අදහස් දැරීම නිසා පිටුවහල් කරන ලද දාර්ශනිකයෙකි. සීනෝ නම් ග්‍රීක දාර්ශනිකයාගේ මරණය සිදුවන්නේද අධිකාරියට එරෙහිව සිය මතය දරාගෙන සිටීමේ ප්‍රතිඵලයක් ලෙසිනි. පයිතගරස් සම්බන්ධයෙන්ද ඇතැම් මූලාශ්‍රවල දැක්වෙන්නේ පිරිසක් විසින් ඝාතනය කරන ලද බවකි. බහුතරයේ මතය අනුගමනය නොකළ බොහෝ දාර්ශනිකයන්, ලේඛකයන් චින්තකයන් වෙත ඉතිහාසයේ බොහෝ අවස්ථාවලදී එල්ල වී ඇත්තේ පීඩනයයි. භීෂණයයි. තළා පෙළා දැමීමයි. 

මේ අතරින් 16 වැනි සියවසේ ජීවත් වූ බ_නෝ නම් දාර්ශනිකයාට අත් වූ ඉරණම අතිශයින්ම ඛේදවාචකයක් වේ. ඉතාලි ජාතික දාර්ශනිකයෙකු වූ බ_නෝ වසර 07ක කාලයක් නඩු අසා අවසානයේ ඝාතනය කෙරිණ. බ_නෝ කියා සිටියේ විශ්වය සම්බන්ධයෙන් මධ්‍යයක නොමැති බවයි. එය එතෙක් පැවති බහුතරයගේ විශ්වාසය සමගින් එකඟ නොවිණ. නඩු විභාගයෙන් පසු 1600දී පමණ මතයක් දැරීමේ වරද වෙනුවෙන් රෝමයේදී බ_නෝ පණ පිටින් ගිනි තබා පුලුස්සා මරා දැමිණ. එය එතෙක් මෙතක් මනුෂ්‍ය ඉතිහාසයේ සිදු වූ දරුණුතම ඛේදවාචකවලින් එකක් බවට කිසිදු  සැකයක් නොමැත. පසුකාලීනව බ_නෝගේ අදහස නිවැරදි බව මිනිසුන්ට පිළිගැනීමට සිදුවිය. 

ජර්මානු ගණිතඥයෙකු වූ ජොහැන්නස් කෙප්ලර් ද බහුතරයේ මතයට එරෙහි වීම නිසා පීඩා වින්දෙකි. ඊට පෙර කොපර්නිකස් විසින් ඉදිරිපත් කරන ලද න්‍යාය අනුමත කිරීම ඊට හේතුවයි. කොපර්නිකස් ද අධිකාරියේ තහනමට ලක් වූ චින්තකයෙකි. ගැලීලියෝ ගැලිලිට අත්වූයේද එවැනිම ඉරණමකි. එදා තහනමට සහ පරිහාසයට ලක් වූ මෙම චින්තකයන් පිළිබඳ අද පාසල් පෙළපොත්වල ඉගැන්වෙයි. 
මිනිසුන්ගේ චින්තනය සම්බන්ධයෙන් වැටකඩොළු බැඳීම මනුෂ්‍ය ශිෂ්ටාචාරය තුළ කළ හැකි අශිෂ්ටම ක්‍රියාවකි. කෙනෙකුට තමන් දරන අදහසක් නිසා පීඩාවට පත්වීමට සිදුවන්නේ නම් එම සමාජය දියුණු සමාජයකට වඩා වැඩවසම් හෝ ප්‍රාථමික සමාජයකි. 



Recommended Articles