පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව 09 වැනි පාර්ලිමේන්තුව සඳහා තේරීපත්වුණ මන්ත්‍රීවරුන් අද (20දා) මුල්වරට පාර්ලිමේන්තු සභා ගර්භයට රැස්වීමට නියමිතය. ඒ අනුව 09 වැනි පාර්ලිමේන්තුවේ මංගල දිනය අද (20දා) පැවැත්වෙන අතර, අද පස්වරුවේ ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ වැඩපිළිවෙළ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත්කිරීමට නියමිතව ඇත.
පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරුන් 225ක් තෝරාගත්තද ඇතැම් පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ආසන ගැටුම් හේතුවෙන් මේ වන විට මන්ත්‍රීවරුන් 225ම සම්පූර්ණ වී නොමැත. එබැවින් මන්ත්‍රීවරුන් 223ගේ නම් මේ වනවිට ගැසට් මගින් ප්‍රකාශ කර තිබේ. ඒ අනුව අද දිනයේදී මන්ත්‍රීවරුන් 223 දෙනෙකු දිවුරුම් දීමට නියමිතව තිබේ.
මෙවර මහ මැතිවරණයට දේශපාලන පක්ෂ 304ක්, ස්වාධීන කණ්ඩායම් 313ක් තරග වැදුණු අතර, මේ යටතේ මැතිවරණ දිස්ත්‍රික්ක 22ක් යටතේ අපේක්ෂකයෝ 7452ක් ඉදිරිපත්ව සිටියහ. මේ අතරින් ජයග්‍රහණය කළ අපේක්ෂකයන් 196ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස තෝරාගෙන ඇති අතර, ජාතික ලැයිස්තුව මගින්ද මන්ත්‍රී ධුර සඳහා පුද්ගලයන් 29 දෙනෙකු පත්කරනු ලබයි.
මේ ආකාරයෙන් බලන කල මහජන නියෝජිතයන් ලෙස හඳුන්වන පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් ලබාගැනීම සඳහා අධික තරගයක් තිබෙන බව කවුරුත් දන්නා කරුණකි. එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් වෙනුවෙන් අපේක්ෂකයන් අතිවිශාල වියදමක් සිදුකරන බවද නොරහසකි. ඇතැම් අපේක්ෂකයන් මෙවර මැතිවරණයේදී රුපියල් කෝටි 15ක් පමණ වියදම් කළ බවටද කතාබහක් ඇති විය. මෙපමණ දැඩි තරගයක් ලබාදී මන්ත්‍රීවරයකු ලෙස පත්වන මහජන නියෝජිතයන් සිදුකරන කාර්යයන් පිළිබඳව ඡන්දදායකයන් ලෙස ජනතාව අවධානයෙන් සිටිය යුතුය.
පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සංයුතිය
මෙවර පාර්ලිමේන්තුවට වයස අවු. 25-40 තෙක් මන්ත්‍රීවරු 26ක් ඡන්දයෙන් තේරී පත්ව සිටින අතර, එයින් තරුණ මන්ත්‍රීවරුන් පස්දෙනෙක් වයස අවු 25-30 දක්වා වයස් කාණ්ඩයට අයත් වේ. අවුරුදු 31-40 දක්වා වයස් කාණ්ඩය නියෝජනය කරන්නන් ගණන 21 ක් වන අතර, එයින් 09ක් ප්‍රථම වරට පාර්ලිමේන්තුව නියෝජනය කරන නවක මන්ත්‍රීවරු වෙති. අවු. 41-50 වයස් කාණ්ඩයෙන් තේරී පත්ව සිටින මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 67ක් වන අතර, වයස අවු 51-60 කාණ්ඩය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 54කි.
අභිනව පාර්ලිමේන්තුවේ අවු.61-70 වයස් කාණ්ඩය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගණන 37කි. අවු. 71-80 තෙක් වයස් කණ්ඩායම නියෝජනය කරන පරිණත මන්ත්‍රීවරු 09 දෙනෙක් මෙරට පාර්ලිමේන්තුවේ කටයුතු කරති. අවු. 81-90 දක්වා වයස් කාණ්ඩයේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගණන 03 කි.
පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ
දේශපාලන පක්ෂ 15ක් මෙවර 09 වැනි පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට සුදුසුකම් ලබා තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මන්ත්‍රීවරුන් 145ක්, සමගි ජන බලවේගයෙන් මන්ත්‍රීවරුන් 54ක්, ඉලංකෙයි තමිල් අරසු පක්ෂයෙන් මන්ත්‍රීවරුන් 10 දෙනෙක් පාර්ලිමේන්තුව නියෝජනය කරති.
ජාතික ජනබලවේගයෙන් මන්ත්‍රීවරුන් 03ක් ,අහිල ඉලංකෙයි තමිල් කොංග්රස් පක්ෂයෙන් මන්ත්‍රීවරුන් 02ක්, ඊලම් ජනතා ප්රජාතන්ත්රවාදී පක්ෂයෙන් මන්ත්‍රීවරුන් 02ක් පාර්ලිමේන්තුව නියෝජනය කරයි.
එමෙන්ම එක්සත් ජාතික පක්ෂය, අපේ ජනබල පක්ෂය, තමිල් මක්කල් විදුතලෙයි පුලිකල් පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මුස්ලිම් ජාතික සන්ධානය, තමිල් මක්කලෙයි තේෂිය කුට්ටනි පක්ෂය, සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය, ජාතික කොංග්‍රසය සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය යන පක්ෂවලින් එක් මන්ත්‍රීවරයා බැගින් මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරයි.
මන්ත්‍රී දීමනා
පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ සියලු මන්ත්‍රීවරුන්ට මන්ත්‍රී දීමනා හිමිවන අතර, අමාත්‍ය හෝ නියෝජ්‍ය අමාත්‍ය ධුර සඳහා මන්ත්‍රීවරුන් පත්වූ විට පාර්ලිමේන්තුවෙන් ලබාදෙන ඇතැම් දීමනා නතර කරනු ලබයි. නමුත් ඒ වෙනුවට ඔවුන්ට රජය මගින් අමාත්‍ය දීමනා ගෙවීමට සලස්වයි. එමෙන්ම ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට විශේෂ වූ දීමනාද ආණ්ඩුව මගින් ලබාදෙන අවස්ථා තිබේ. මේ අනුව ඇමතිවරයෙකු, නියෝජ්‍ය ඇමතිවරයෙකු හෝ මන්ත්‍රීවරයෙකු වුවද මේ සියලුදෙනාට පාර්ලිමේන්තුවෙන් හිමිවන වරප්‍රසාද මෙසේය,
රැස්වීමේ දීමනා
පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී වීම වෙනුවෙන් එක් දිනක් සඳහා සියලුම අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් පැමිණීමේ දීමනාව රු. 2500ක් ගෙවනු ලබයි.
කාරක සභා දීමනාව
පාර්ලිමේන්තු රැස්වීම් නොපැවැත්වෙන දිනවල රැස්වෙන කාරක සභා සඳහා සහභාගී වීම වෙනුවෙන් දිනකට රු. 2500 බැගින් ගෙවනු ලබයි. පාර්ලිමේන්තු රැස්වීම් දිනවල පැවැත්වෙන කිසිදු කාරක සභාවකට සහභාගී වීම වෙනුවෙන් දීමනා නොගෙවයි.
කාර්යාල දීමනාව
කාර්යාලයක් පවත්වාගෙන යාම සඳහා සියලුම අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් මසකට රු. 100,000/=ක් බැගින් ලබාදෙයි.
මන්ත්‍රී දීමනාව (වැටුප)
අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු සහ රාජ්‍ය අමාත්‍යවරු සඳහා වැටුප් පාර්ලිමේන්තුව විසින් නෙගෙවන අතර මන්ත්‍රීවරුන් සඳහා පමණක් ලබාදෙයි.
ඒ අනුව මන්ත්‍රීවරුන් සඳහා රුපියල් 54,285.00ක වැටුපක් මාසිකව ගෙවනු ලබයි. ඔවුන්ගේ සංග්‍රහ දීමනාව ලෙස මාසිකව රුපියල් 1000.00ක මුදලක් ලබාදෙයි.
රියැදුරු දීමනාව ලෙස මාසිකව රුපියල් 3,500.00ක දීමනාවක් ලබාදෙන අතර, රියැදුරු දීමනාව ගෙවනු ලබන්නේ රජයෙන් වැටුප් ලබන රයැදුරෙක් නොමැති නම් පමණක් බවද පාර්ලිමේන්තුව සඳහන් කරයි.
ඉන්ධන දීමනාව
එක් එක් මන්ත්‍රීවරයා හෝ මන්ත්‍රීවරිය තේරීපත් වුණ දිස්ත්‍රික්කයේ සිට පාර්ලිමේන්තුවට ඇති දුර පදනම් කර ගණනය කළ ඩීසල් ලීටර ප්‍රමාණය සඳහා මාසයේ පළමු දිනට පවතින වෙෙළඳපොළ මිළ ගණන් අනුව ඉන්ධන දීමනාව ගෙවනු ලබයි. ඒ අනුව උදාහරණයක් ලෙස කොළඹ දිස්ත්‍රික්කය සඳහා ඉන්ධන ලීටර් 283.94ක්, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක සඳහා ඉන්ධන ලීටර් 355.58ක් ආදී වන ලෙස දීමනා ගෙවනු ලබයි.
දුරකථන දීමනාව
ස්ථාවර දුරකථන හා ජංගම දුරකථන සඳහා මාසිකව රු. 50,000.00 බැගින් ලබාදෙන අතර, දුරකථන බිල්පත් ගෙවීම හෝ ප්‍රතිපූර්ණය කිරීම පාර්ලිමේන්තුව මගින් සිදු නොකරයි.
පෞද්ගලික කාර්ය මණ්ඩල ප්‍රවාහන දීමනාව
පෞද්ගලික කාර්යමණ්ඩල සාමාජිකයන් 04 දෙනෙක් කාර්යාලයට පැමිණීම වෙනුවෙන් එක් අයෙක් සඳහා රුපියල් 2,500.00 බැගින් මාසිකව
රු. 10,000.00ක් පාර්ලිමේන්තුව මගින් ලබාදෙයි.
නිදහස් තැපැල් පහසුකම්
සෑම මන්ත්‍රීවරයෙකුටම වාර්ෂිකව රුපියල් 350,000.00ක් වටිනා මුද්දර දීමනාවක් ලබාදෙයි. ඒ අනුව එක් කාර්තුවකට රුපියල් 87,500.00ක් බැගින් මන්ත්‍රීවරුන්ට මුද්දර දීමනාව ලබාදේ.
මන්ත්‍රීවරුන්ට හිමිවන දීමනා මේ ආකාරයෙන් වන අතර, ඔවුනට අධීක්ෂණ මන්ත්‍රී දීමනා, දුම්රිය බලපත්‍ර, යැපීම් දීමනා, නිල නිවාස දීමනා, පුවත්පත් දීමනා වැනි වෙනත් දීමනාවක් පාර්ලිමේන්තුව මගින් ලබා නොදෙන බව පාර්ලිමේන්තුව සඳහන් කරයි. මීට අමතරව මන්ත්‍රීවරුන් සඳහා තීරු බදු රහිත වාහන බලපත්රයක්ද හිමිවන අතර, එය රජය මගින් ලබාදෙයි.
ව්‍යවස්ථාදායකය හෙවත් පාර්ලිමේන්තුවේ කාර්යය වනුයේ රටේ මූල්‍ය පාලනය සහ ප්‍රතිපත්ති සම්පාදනයයි. එම කාර්යයන් සඳහා කැපවන මහජන නියෝජිතයන්, මන්ත්‍රීවරුන් ලෙස හඳුන්වන අතර, ඔවුන්ගේ කටයුතු පහසු කිරීම වෙනුවෙන් මෙලෙස පාර්ලිමේන්තුව මගින් දීමනා කලක් තිස්සේ ගෙවනු ලබයි. මෙම දීමනා කලක් තිස්සේ ලබාගනිමින් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් මහජන නියෝජිතයන් ලෙස ඔවුන්ගේ කාර්යයන් කැපවී සිදුකරන ආකාරය මෙවරද (20දා) මහජනතාවට බලාගැනීමට හැකියාව ලැබේ. එමෙන්ම පසුගිය ආණ්ඩු වැඩපිළිවෙළ මෙන් 09 වැනි පාර්ලිමේන්තුව සඳහා ඔබ තෝරාපත්කර යැවූ මහජන නියෝජිතයන්ගේ ක්‍රියාකලාපය පිළිබඳවද අවධානයෙන් පසුවීමද වැදගත්ය.