අත්වැරදීමෙන් හෝ නොදැනුවත්කමින් සිදුවන මෙම දෝෂ පිළිබඳව ගෘහණියන් දන්නවාද?


වාස්තුවේදයට අනුව නිවසක මුළුතැන්ගෙට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. මුළුතැන්ගෙය හෙවත් 'කුස්සිය' යනු නිවසේ ප්‍රධාන අංගයක් වන අතර, නිවසේ ජීවත් වන සියලුදෙනාගේ පැවත්ම උදෙසා ආහාරපාන ආදිය පිළියෙළ කරගෙන කුස පුරවා ගන්නට සම්පූර්ණ දායකත්වය ලබාදෙන්නේ මුළුතැන්ගෙයිනි. එසේම නිවසක ජීවත් වන පිරිස විසින් හරිහම්බ කරගන්නා ධනය කළමනාකරණය වන්නේද මුළුතැන්ගෙය තුළ සිදුවන්නා වූ ක්‍රියාදාමයන් සමග බද්ධවය. නිවසේ සාමාජිකයන් අතරින් ක්‍රියාශීලීව මෙන්ම සියලුදෙනාගේ දෛනික අවශ්‍යතාවයන් සඳහා මහත් වූ කාර්යභාරයක් ඉටුකරන්නේ මුළුතැන්ගෙයිහි ප්‍රධානියා වන ගෘහණියයි.

කාර්යබහුල දිවිපෙවෙතක් ගතකරන වර්තමාන බොහෝ ගෘහණියන් අතින් නොදැනුවත්ව හෝ අත්වැරදීමකින් හෝ යම් යම් වාස්තුදෝෂ සිදුවේ. එය ඇයට මෙන්ම සිය පවුලේ සෑම සාමාජිකයෙක්ටමද බලපානු ඇත. එම නිසා මුළුතැන්ගෙය මෙන්ම ඒ හිමිකාරියගේ අතින් නොදැනුවත්වම සිදුවන වාස්තු දෝෂ පිළිබඳව දැනගැනීම ඉතා වැදගත් වේ. වර්තමානයේ මුළුතැන්ගෙය තුළ ගෘහණියන්ගේ නොදැනුවත්කම නිසාවෙන් ආහාර පිසීම සඳහා විදුලිය, ගෑස්, තෙල් හෝ වෙනත් ද්‍රව්‍ය භාවිත කර හෝ ලිප සකස් කර එය නිසියාකාරව දිශාගත නොකිරීම බලවත් දෝෂයක් වේ. මුළුතැන්ගෙයෙහි සියලුම උපකරණ සඳහා නියමිත දිශාවත්, එහි ස්වභාවයත්, ස්ථානගත කිරීමත් නිසි පරිදි සිදුවිය යුතු බැවින්, ආහාර පිසීම හෝ ගිනි මෙලවීම ගිණිකොන දිශාවට යහපත් වේ. බටහිර දිශාවට එය දෝෂ සහගත වේ. එමෙන්ම නිවසේ ඇතුළු දෙසට මුහුණලා ගිනි මෙලවීම නිවසේ සමගිය නැති වී කායික මෙන්ම මානසික දුබලතා මතුකර ධනය හීන කරවන බව සඳහන් කළ යුතුය. මුළුතැන්ගෙයෙහි චිමිනිය හෙවත් පෝරණුව ගිනිකොණ දිශාවේ නිර්මාණය කරගත යුතු අතර එය සක්‍රීය මට්ටමෙන් දෛනිකව පවත්වාගෙන යාම යහපත් ප්‍රතිඵල ගෙන දෙයි.

එසේම මුළුතැන්ගෙය සඳහා අවශ්‍ය ජලය ලබාගැනීමේදී සහ අපවිත්‍ර ජලය බැහැර කිරීමේදීද විශේෂ අවධානයක් ලබාදිය යුතු අතර, උතුර සහ ඊසාන දිශාවේ ජල කරාම පිහිටා තිබීම සුදුසු වේ.  ලිප සහ ජලය ලබාගන්නා ස්ථානය අතර හැකිතාක් දුර ප්‍රමාණයක් තබාගැනීම යෝග්‍ය වේ. මන්ද ජලය සහ ගින්දර අතර ඇති විරුද්ධ ස්වභාවය නිසා නියමිත ස්ථානගත කිරීම් වැදගත් වන අතර, අපිරිසුදු ජලය නිසි ක්‍රමවේදයකට අනුව බැහැර කළ යුතුය. ජල කරාම, සින්ක් නිවැරදි දිශාවට නොතබා මුළුතැන්ගෙය තනා තිබෙන නිවෙස්වල හැකි නම් මේ ආකාරයේ නිවැරදි දිශාවට ජල කරාමයන් සකස් කරගත හැකිය. අපිරිසුදු ජලය බැහැර කිරීමේදී කිසි විටෙකත් උතුර හෝ ඊසාන දිශාවන්ට බැහැර නොකළ යුතු අතර, ගිණිකොණ දිශාවේ මුළුතැන්ගෙය පිහිටා ඇත්නම් දකුණු දිශාවටද, වයඹ දිශාවේ ඇති මුළුතැන්ගෙයෙහි අපිරිසුදු ජලය බස්නාහිර දිශාවටද නළ මාර්ග භාවිතකර ඉවත් කිරීම සුදුසුය. එමෙන්ම කිසි විටෙකත් මුළුතැන්ගෙය තුළට ජලය කාන්දු වීමට ඉඩ නොතැබිය යුතුය.

විටෙක නොදන්නාකම නිසා ගෘහණියන් මස් මාංස සේදූ අපවිත්‍ර ජලය මුළුතැතැන්ගෙයිහි පිටත පරිසරයට මුදාහරින බව දක්නට ලැබෙන බැවින් එයද වාස්තු දෝෂයකි. එමගින් අමනුෂ්‍ය බිය මෙන්ම ප්‍රේත ආත්මයන්ගේ දෝෂයන්ට නිවසේ සාමාජිකයන්ට මුහුණ දීමට ඉඩකඩ ඇත.

තවද ඇඹරුම්ගල හෙවත් මිරිස්ගල මෙන්ම අනෙකුත් යන්ත්‍රෝපකරණ උතුර සහ දකුණු දිශාවේ ස්ථානගත කිරීම වැදගත් වන අතර, බස්නාහිර සහ නැගෙනහිර දිශාවන් තදබල වාස්තු දෝෂයන් නිර්මාණය කරයි. මිරිස්ගලෙන් ඇඹරීම් සිදුකරන විට නිවසින් පිටත බලා සිදුකිරීම යහපත් වේ. ආහාර ගබඩාව හෝ ආහාර ගබඩා කර තිබෙන භාජන, භාවිත කරන පිහියා වර්ගද නිරිත දිශාවේ තැබීම වැදගත්ය.

තවද ගිනිපෙට්ටිය සහ ලුණු බහාලුම හිස්වීම සිදු නොවීමට ඉඩ තැබිය යුතුය. දිය ලුණු බඳුන හිස් වීමෙන් ධන හානියද, ගිනිපෙට්ටිය හිස් වීමෙන් මානසික ව්‍යාකූලතාද ඇති වේ. කැළිකසළ සහ අපවිත්‍ර ජලය මුළුතැන්ගෙයට යාබදව එක්රැස් වී තිබීම ගෘහණියන්ගේ ශරීර සෞඛ්‍යයට මෙන්ම පැවැත්මටද, අපවාද, චෝදනාවලටද ලක්කිරීම සිදුවන්නකි.

අක්‍රීය වූ හෝ කැඩී බිඳී ගිය උපකරණ ප්‍රතිසංස්කරණය නොකර තැබීම ගෘහනියට අහිතකර සෞඛ්‍ය ගැටලු ගෙන එන අතර, වැරහැලි හෝ අපිරිසුදු ඇඳුම් හැඳ සිටීම ආත්ම ගෞරවයට හානි ගෙන ඒමට මග පාදයි.

වඩාත් වැදගත් කරුණක් ලෙස මුළුතැන්ගෙය පිරිසුදුව තබාගැනීම දැක්විය යුතුය. නිවසේ දෛනික කටයුතු අවසන් වීමෙන් අනතුරුව නින්දට යෑමට පෙර මුළුතැන්ගෙය පිරිසුදු නොකිරීම තුළින් ශ්‍රියාකාන්තාවගේ දෝෂ දර්ශනයට ලක්වන බව පැරණි සෘෂිවරුන් සඳහන් කර ඇත.

නිවසේ අනෙකුත් ස්ථානවල අත්වැරදීම්වලින් සිදුවන දෝෂයන් පිළිබඳවද යම් කරුණු කිහිපයක් දැනගනිමු. නිවසේ වැදගත් දෑ තබන අල්මාරිය උතුරු දිශාවේ හෝ නැගෙනහිර දිශාවට විවෘත වන ආකාරයෙන් තැබීම වඩාත් හිතකර වන අතර, (බටහිර දෙස බලා අල්මාරියේ දොර විවෘත කරන ආකාරයෙන්) එමගින් ඔබගේ ධනය කළමනාකරණය කර ගැනීමේ හැකියාව පවතී. එසේම උතුරු දිශාවට සහ බටහිර දිශාවට හිස තබා නිදාගැනීම ඉතා අසුබ දෝෂයක් වේ. උතුරට හිස තැබීමෙන් තම වංශයට නින්දා අපහාස ඇතිවන බවත්, දූ දරුවන් රෝගී වන බවත්, බටහිරට හිස තැබීම තුළින් විකාර සිතුවිලි, නපුරු සිහින පෙනීම මෙන්ම ආයුෂ හීන වන බවද, නැගෙනහිරට හිස තැබීමෙන් සමගිය, ආයුෂ බල වඩන අතර, දකුණු දිශාවට හිස තැබීමෙන් සියලු යසඉසුරු ලැබෙයි.

නිවසක සාලය කාගේත් අවධානයට යොමුවන අංගයක් වන බැවින් එහි ගෘහ උපකරණ නිසියාකාරව ස්ථානගත කිරීම වඩාත් වැදගත් වේ. එහිදී ඔරලෝසුව උතුර, නැගෙනහිර, බටහිර දිශාවටද, රූපවාහිනී යන්ත්‍රය බටහිර දිශාවටද, කවිච්චි, සෝෆා ආදිය උතුර සහ නැගෙනහිරට මුහුණලාද, ඡායාරූප තැබීම නිරිත දිශාවටද, දුරකථන වැනි දෑ නැගෙනහිරටද තබා ඊසාන දිශාව හැකිතාක් නිදහසේ තැබීමට කටයුතු කිරීම වඩා යහපත් ප්‍රතිඵල ගෙන දෙයි. අනවශ්‍ය ලෙස සාලයේ බඩුබාහිරාදිය තැම්පත් කර තිබීම සුබදායක නොවන අතර, හොඳ පිරිසුදු වාතාශ්‍රයක් සාලය පුරාවට ගලා එන ලෙස පවත්වා ගැනීම සුබය. එමෙන්ම සුන්දර මල් බඳුන්, බිත්ති සැරසිලි ලෙස තුන්පත් රෑන සහිත හස්ත රූප,  ඊසාන දිශාවේ ආගමික යන්ත්‍ර වැනි දෑ සුදුසු වන අතර, නිවස දෙසට යාත්‍රා කරන රුවල් නැවක් එල්ලා තැබීම මෙන්ම සුළඟ නිසා සෙලවීමෙන් නාද රටා නිකුත් කරන සැරසිලි එල්ලා තැබීම මගින් දේව ආකර්ෂණයද ලබාගත හැකිය.

නිවසේ කාර්යාල කාමරය හෝ එවැනි දෑ සඳහා භාවිත කරන කාමරය (වැදගත් ලිපි ලේඛන ගබඩා කරන ස්ථානය) උතුරු දිශාවට සහ ඊසාන දිශාවට සුබ වන අතර, එහි ලියන මේසයට යාබද අසුනේ හිඳ ගැනීමේදී ඇතුළු වන දොරටුව ඉදිරිපසින් තිබෙන ආකාරයට සකස් කර ගැනීම උසස් මානසික සිතුවිලි ඇති කිරීමට සමත් වේ.

උපදෙස් - කළුතර පයාගල ශ්‍රී රාවණ ජ්‍යෝතිෂ්‍ය සේවයේ ජ්‍යෝතිර්වේදී කුමාර වෙත්තමුණි මහතා.

Facebook - https://www.facebook.com/srirawanajothishya



Recommended Articles