අත්අඩංගුවට ගැනීම සහ නීතිය


වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමකදී එය සිදුවන්නේ කෙලෙසින්ද යන්න බොහෝදෙනෙක් නොදනී. මේ නිසා යම් වරදකරුවෙකුට නීතිය ක්‍රියාත්මක කිරීමේදී පවා විවිධ ගැටලු ඇති වේ. එමෙන්ම ඇතැම්විට නීතියේ ඇති යම් හිඩැස් මතින් වරදකරුවන්ද නිදහස ලබයි. මේ සම්බන්ධයෙන් පසුගිය 31වැනිදා ‘ප්‍රායෝගිකවාදී නීති ශිෂ්‍ය ව්‍යාපාරය’ විසින් සාකච්ඡාවක් සංවිධානය කර තිබිණි. අපරාධ නීතිය, අපරාධ නඩු විධාන සංග්‍රහය, නඩු තීන්දු, තීරණ නීතිය සහ අනෙකුත් ව්‍යවස්ථාපිත නීතිය තුළින් ‘අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් දක්වා තිබෙන ප්‍රතිපාදන පොදුවේ සැලකිල්ලට ගෙන පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමේ නීතිමය පසුබිම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.

එහිදී අදහස් දැක්වූ ජනාධිපති නීතිඥ ප්‍රසන්ත ලාල් ද අල්විස් මහතා,

“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන්නේ රටේ නීතියේ කශේරුකාව. දහතුන්වන වගන්තියේ ඉතා පැහැදිලිව දක්වා තිබෙනවා පුද්ගලයෙක්ව අත්අඩංගුවට ගැනීමේදී ‘%නීතියේ විධිවිධාන යටතේ අත්අඩංගුවට ගත යුතුයි’ කියලා. එතකොට අත්අඩංගුවට ගත යුත්තේ නීතියේ විධිවිධාන ප්‍රකාරව මිසක් කෙනෙකුට හිතුමතේ නෙවෙයි. ඒ වගේම ඒ අත්අඩංගුවට ගැනීමේදී අත්අඩංගුවට ගැනීමට හේතුව දැක්විය යුතු වනවා. පුද්ගලයෙකුට තමන් කැමති දේ කිරීමේ නිදහස, ගමන් බිමන් යෑමේ නිදහස යන මූලික අයිතිවාසිකම් අහිමි වන්නේ ‘අත්අඩංගුවට ගැනීම නිසා. ඒ නිසා පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමේදී නීතියේ විධිවිධාන ප්‍රකාරව සිදුකළ යුතු බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා තිබෙනවා.

අපරාධ නඩු විධාන සංග්‍රහයේ 05වන වගන්තියේ ඉතා පැහැදිලිව දක්වා තිබෙනවා දණ්ඩ නීති සංග්‍රහය හා වෙනත් නීති සම්බන්ධයෙන් විමර්ශන කටයුතු, අත්අඩංගුවට ගැනීම්, නඩු විභාග සම්බන්ධයෙන් බලපාන්නේ අපරාධ නඩු විධාන සංග්‍රහය කියලා. අපරාධ නඩු විධාන සංග්‍රහයේ පස්වන වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සමානයි. අපරාධ නඩු විධාන සංග්‍රහයේදී දණ්ඩ නීති සංග්‍රහයේ වරදවලට සංඥය වරද සහ සංඥය නොවන වරද කියලා කොටස් දෙකකට කඩනවා. සංඥය නොවන වරදකදී තමයි වරෙන්තුවක් පිට අත්අඩංගුවට ගැනෙන්නේ. වරෙන්තුවක් කියන්නේ මොකද්ද? අපි උසාවියට ගිහිල්ලා උසාවියේ අනුදැනුම අනුව අත්අඩංගුවට ගැනීම තමයි වරෙන්තුවක් ලෙසින් හඳුන්වන්නේ. එතකොට ඒ අධිකරණය සම්බන්ධ නොවී සාම නිලධාරියෙකුට අත්අඩංගුවට ගැනීමේ හැකියාව තමයි සංඥේමය වරද කියන්නේ.

අපරාධ නඩු විධාන සංග්‍රහයේ පළවෙනි උපලේඛනයේ පළමු තීරුවේ තිබෙනවා දණ්ඩ නීති සංග්‍රහයේ වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත හැකි වරදවල් පිළිබඳව. දෙවෙනි තීරුවේ තිබෙනවා මුල් අවස්ථාවේ නිකුත් කරන්න ඕනේ වරෙන්තුවක්ද, සිතාසියක්ද කියලා. ඒ නිසා අපිට වැදගත් වන්නේ ඒ පළමු සහ දෙවැනි තීරුව. වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගන්න වැරදි බැලුවොත් සියල්ලම බරපතළ වැරදි. අපරාධ නඩු විධාන සංග්‍රහයේ සියයට අනූවක් තිබෙන්නේ මේ වැරදි. ශරීරයට එරෙහිව කරන සියලුම වැරදි මේකට අයිතියි. නමුත් සාපරාධී බලහත්කාරකම කියන එක මෙතනට ඇතුළත් කරලා නැහැ. අනිත් පැත්තෙන් බැලුවොත් ඒක උසාවියේ සමතය කළ හැකි වරදක්. දේපළ සම්බන්ධ සියලුම වැරදි ඇතුළත් වෙන්නේ සාපරාධී බලහත්කාරකම කියන කොටසට. අපරාධ නඩු විධාන සංග්‍රහයේ එක් තීරුවක සඳහන් වෙනවා සමතයක් වෙන්න සහ නොවෙන්න පුළුවන් වැරදි මොනවද කියලා. ප්‍රකෝප කිරීමකින් අත්අඩංගුවට ගන්නා අවස්ථා බැලුවොත්, හදිසි ප්‍රකෝප කිරීමකින් තුවාල කිරීම වරෙන්තුවක් නැතිව අත්අඩංගුවට ගන්න බැරි වරදක්. හැබැයි බරපතළ ලෙස තුවාල සිදුකළොත් වරෙන්තුවක් නැතිව අත්අඩංගුවට ගන්න පුළුවන්. ගබ්සා කිරීම් වරෙන්තුවක් නැතිව අත්අඩංගුවට ගන්න බැහැ. දණ්ඩ නීති සංග්‍රහයේ ඒ විභේදනය දකින්න පුළුවන්. හැබැයි මේ උපලේඛනයේ අන්තිමටම තිබෙනවා වෙනත් පනත්වලින් හැදෙන වැරදි පිළිබඳ. එහිදී දක්වා තිබෙනවා මරණීය දණ්ඩනය නියම කරන ලද හෝ වසර හතකට සිරදඬුවම් නියමව තිබෙනවා නම් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගන්න පුළුවන් කියලා. නමුත් අවුරුදු තුනට අඩු සිරඳඬුවම් වෙනත් පනත්වලින් වරෙන්තුවක් නොමැතිව ගන්න බැහැ. මේකෙන් පැහැදිලිව පේනවා බරපතළ වැරදිවලට තමයි වරෙන්තුවක් නැතිව අත්අඩංගුවට ගන්න පුළුවන් කියලා.

අපි දැන් බලමු කුමන අවස්ථාවලදී, කුමන විධිවිධාන යටතේද මේ අත්අඩංගුවට ගැනීම් සිදුවන්නේ කියලා. 109 (5) වගන්තියේ පැහැදිලිව තිබෙනවා සාම නිලධාරීන් සංඥය වරදකදී හෝ සාමය කඩ කිරීමකදී (හේතු සහිත) අධිකරණ බලයක් ඇති ආසන්තම ෙජ්‍යෂ්ඨ නිලධාරියාට වාර්තා කරන්න ඕනේ කියලා. ඒ වගේම අදාළ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කර ඔහු අත්අඩංගුවට ගැනීමට ඔහු පෞද්ගලිකවම යා යුතුයි. එහෙම නැත්නම් ඔහු විසින් බලය පැවරෙන කෙනෙකුට තමයි මේක පවරන්න පුළුවන්. විමර්ශනයට ප්‍රමාණවත් සාක්ෂි නැතිනම් ඔහුට නිදහස් කරන්න පුළුවන්. සාම නිලධාරියා ලෙස අපරාධ නඩු විධාන සංග්‍රහයේ සඳහන් කරන්නේ පොලිස් නිලධාරීන් සහ උපදිසාපති විසින් පත්කරන ලද ග්‍රාම නිලධාරියායි. ඒ වගේම සංඥය වැරදි වළක්වා ගන්නේ කෙලෙසද කියලා 104 වගන්තියේ පැහැදිලිවම තිබෙනවා. සාම නිලධාරියා තමන්ගේ උපරිමයෙන් වරද වැළැක්විය යුතුය යනුවෙන් එහි දැක්වෙනවා. ඒ වගේම 107 වගන්තියේ මහජන දේපළ (චංචල, නිශ්චල) රජයේ බිම් සලකුණු තත්ත්වයන් තුළදී ඒවා වළක්වන්න පියවර ගන්න පුළුවන් කියලා. අපි හැම වෙලාවේම අත්අඩංගුවට ගැනීම නීත්‍යනුකූල නැත්නම් රඳවා තබා ගැනීමත් මූලික අයිතිවාසිකම්වල නීතිවිරෝධී ලෙසින් දක්වා තිබෙනවා. මේ දෙක නිවුන් දරුවෝ වගේ. පොලිස් ආඥා පනතේ පස්වන වගන්තියේ තිබෙනවා අනන්‍යතාවය හඳුනාගන්න කෙනෙක්ව අත්අඩංගුවට ගන්න පුළුවන් කියලා. හැබැයි අනන්‍යතාවය තහවුරු වූ විගසම ඔහුව නිදහස් කළ යුතුයි.

පසුගිය ජූලි 15දා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 14වන සංශෝධනය සම්මත වුණා. එහි තිබෙනවා කවුරුහරි අත්අඩංගුවට ගෙන ක_ර ලෙස වධ හිංසා දෙනවා නම් මහේස්ත්‍රාත්තුමාට පොලීසියට යන්න සිදුවනවා. ඒක විශාල ප්‍රගතිශීලී පියවරක් ලෙසින් හඳුනාගන්න පුළුවන්. මීට පෙර මහේස්ත්‍රාත්තුමාට පොලීසියට යන්න බලයක් තිබුණේ නැහැ. නමුත් දැන් මහේස්ත්‍රාත්තුමා යා යුතුමයි. එයින් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුට විශාල ආවරණයක් තිබෙනවා.

ඊළඟට අපි කතා කරමු අත්අඩංගුවට ගන්නවා කියන්නේ මොකද්ද කියලා. අපරාධ නඩු විධාන සංග්‍රහයේ විසි තුන්වැනි වගන්තියේ සඳහන් වනවා %වචනයෙන් හෝ ක්‍රියාවට අවනතයි නම් කිසිම බලයක් භාවිත කරන්න බැහැ^ කියලා. හැබැයි ප්‍රතිරෝධයක් පානවා නම් ස්පර්ශ කරලා අවම බලය භාවිත කරමින් අත්අඩංගුවට ගන්න පුළුවන්. අවම බලය කියන්නේ මොකද්ද? 31 (2) වගන්තියේ සඳහන් වන්නේ ප්‍රතිරෝධය පෑමට සරිලන ප්‍රමාණයට සාධාරණ ලෙස අවශ්‍ය උපක්‍රම යෙදිය හැකියි කියලා. හැබැයි මේක මරණය දක්වා විහිදෙන්නේ නැහැ. නමුත් මිනීමැරුමක් සිදුකර තිබෙනවා නම් ඒ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමේදී මරණයක් සිදුකරන්න පුළුවන්. මේක තමයි භයානකම. ඒ වගේම බයට දක්වන ප්‍රතිචාරයත් අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත්. උදාහරණයක් විදිහට බස් රථයක රියැදුරු මහතෙකු අතින් වරදක් සිදු වූ විට බස් රථය පොලීසියට ගෙන යාමට කරන අණ කිරීම දක්වන්න පුළුවන්. 32 වගන්තියේදී සඳහන් වනවා සාධාරණ සැකයකින් තමා ඉදිරිපිට තොරතුරු ලැබී තිබෙනවා නම්, සාම නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කරනවා නම්, හමුදාව හමුවේ පලා යන්නේ නම්, හොරකම් කරනවා නම් වැනි අවස්ථාවලදී වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගන්න පුළුවන් කියලා. ඒ වගේම 34වන වගන්තියේ සඳහන් වනවා ලංකා භූමිය තුළ ඕනෑම ප්‍රදේශයකට ලුහුබැඳ යාමෙන් අත්අඩංගුවට ගත හැකියි කියලා. ඒ වගේම 36වන වගන්තියේ සඳහන් වනවා පොලිස් නිලධාරියෙක් නැතිනම් පෞද්ගලිකව ඔබට මට පුද්ගලයෙක් අත්අඩංගුවට ගත හැකියි ලෙසින්. හැබැයි ඉන් අනතුරුව සාම නිලධාරියාට භාරදෙන්න ඕනේ. අපි දන්නවා ඇතැම් අවස්ථාවලදී ගස් බඳිනවා. එහෙම තියාගෙන ඉන්න බැහැ. අත්අඩංගුවට ගත් සැණින් අනවශ්‍ය ප්‍රමාදයකින් තොරව ආසන්නතම සාම නිලධාරියාට භාර දෙන්න ඕනේ. ඒක පුරවැසි අයිතියක්.

අත්අඩංගුවට ගැනීමකදී හේතු දැක්වීම අනිවාර්යයි. ඒ වගේම අපි දන්නවා ඇතැම් අත්අඩංගුවට ගැනීම් සිදුවන්නේ ඔත්තුකරුවෙකුගේ ඔත්තුවක් මගින්. එහෙනම් අනිවාර්යයෙන් ඒ ඔත්තුකරුවා කවුද, ඔත්තුව මොකද්ද කියලා අධිකරණයේදී හෙළි කළ යුතුයි.”

මෙම සාකච්ඡාවට එක් වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ රුවන් ගුණසේකර මහතා දැක්වූ අදහස්,

“අත්අඩංගුවට ගැනීම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්ද? මේක අපි කතා කරන්න ඕනේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13වන ව්‍යවස්ථාව සමග. එහි 13 (1)හි සඳහන් වන්නේ නීතියෙන් නියම කරනු ලබන කාර්ය පටිපාටියට අනුව මිස කිසිම තැනැත්තෙක් අත්අඩංගුවට නොගත යුතුයි යනුවෙන්. එහෙනම් පුද්ගලයෙකුව අත්අඩංගුවට ගන්න එපා කියලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා නැහැ. අපරාධ නීතිය ක්‍රියාත්මක කරන්න නම් අත්අඩංගුවට ගන්න ඕනේ. අපි දන්නවා ප්‍රභාකරන්ට වසර ගණනාවක සිරදඬුවමක් තිබුණා. නමුත් ඔහු අත්අඩංගුවට පත් නොවුණු නිසා ඒ සිරදඬුවම ක්‍රියාත්මක කරන්න බැරි වුණා. ඒ නිසා අපරාධ නීතියේදී අත්අඩංගුවට ගැනීම අත්‍යවශ්‍යයි. ඒක කරන්න ඕනේ 13 (1) වගන්තියට අනුවයි. ඊට බැහැරව අත්අඩංගුවට ගත්තොත් එය පුද්ගලයන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනයක් වනවා.

අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාපටිපාටිය අපරාධ නඩු විධාන සංග්‍රහයේ ඇතුළත් වෙලා තිබෙනවා. මෙහි සිවුවන පරිච්ඡේදය වෙන් කර තිබෙන්නේ අත්අඩංගුවට ගැනීමේ කාර්ය පටිපාටිය සඳහායි. මේ සම්බන්ධයෙන් සිවුවන පරිච්ඡේදයේ 23 වගන්තියේ සිට 43 වගන්තිය දක්වා දිවෙනවා. ඒ වගේම 23 (1) උපවගන්තියේ පැහැදිලිවම අත්අඩංගුවට ගැනීමේදී ප්‍රධාන කරුණු තුනක් දක්වා තිබෙනවා. ඒ අවනත කර ගැනීම, ඔහුගේ ශරීරය සැබැවින්ම ස්පර්ශ කිරීම, වරදේ ස්වභාවය පැහැදිලි කර දීමයි. මෙහි දෙවැනි කරුණ වන සැබැවින්ම ශරීරය ස්පර්ශ කළ යුතුයි යන්න මෙම වගන්තියට එක්කොට ඇත්තේ ඇයි කියන කාරණය සොයාගන්න නැහැ. නමුත් අපි විශ්වාස කරන්නේ ශරීරය ස්පර්ශ කළ විට ඔහුට දැනෙනවා ඔහු අත්අඩංගුවට පත්වූවා කියලා. ඔහු එවිට දන්නවා ඔහුවම තමයි මේ අත්අඩංගුවට ගත්තේ කියලා. ඉන්පසුව ඔහුට වරදේ ස්වභාවය පැහැදිලි කර දිය යුතුයි සහ ඉන් අනතුරුව එම පුද්ගලයාට ඒ සඳහා නිදහසට කරුණු පැවසිය හැකියි.

අත්අඩංගුවට ගැනීම විධිමත් සහ අවිධිමත් ලෙසින් අපි කොටස් දෙකකට වෙන් කර ගනිමු. 23 (1) උපවගන්තියේ තිබෙන ආකාරයට අත්අඩංගුවට ගැනීම විධිමත් අත්අඩංගුවට ගැනීමක් ලෙස හඳුන්වන්න පුළුවන්. අවිධිමත් අත්අඩංගුවට ගැනීම කියන්නේ පොලිස් නිලධාරියෙක් තුවක්කුව පෙන්වා හෝ තදින් කතා කරමින් අත්අඩංගුවට ගැනීම. එහිදී අධිකරණයේදී පොලීසියට කියන්න පුළුවන් අපි එයාව අත්අඩංගුවට ගත්තේ නැහැ කියලා. මොකද 23 (1) උපවගන්තියේ සඳහන් විදිහට ශරීරය ස්පර්ශ කරලා නැහැ, වරද මොකද්ද කියලා පැහැදිලි කරලත් නැහැනේ. 23 (1) අපි අනුගමනය කරලා නැහැ. එහෙනම් මේ පුද්ගලයා අපි අත්අඩංගුවට ගෙන නැහැ. ඒක තමයි අවිධිමත් අත්අඩංගුවට ගැනීම කියන්නේ. මේ නිසා 23 (1) උපවගන්තියේ පැහැදිලිවම සඳහන් කර තිබෙනවා විධිමත් ලෙස අත්අඩංගුවට නොගෙන ඔහුව රඳවා තබාගෙන, ඔහුගේ ගමන් බිමන් සීමා කරලා, නිදහස සීමා කර රඳවාගෙන සිටිනවා නම් එයත් නීතියේ අර්ථ නිරූපණය තුළ අත්අඩංගුවට ගැනීමක් කියලා. අවිධිමත් අත්අඩංගුවට ගැනීමත් අත්අඩංගුවට ගැනීමක් කියලා එහි සඳහන් වෙනවා. මෙය පැහැදිලිව පෙනී යනවා රේගු නිලධාරී පියසිරි එරෙහිව නිමල් ප්‍රනාන්දු නඩුවේදී.

ඒ වගේම කාන්තාවක් අත්අඩංගුවට ගැනීම කාන්තාවක්ම සිදුකළ යුතුද යන්න පිළිබඳ සලකා බලමු. මුලින්ම මෙහි ප්‍රායෝගික තත්ත්වය ගැන පැහැදිලි කරන්නම්. උදාහරණයක් විදිහට පොලීසියට තොරතුරක් ලැබෙනවා පාන්දර දෙකට යම් ස්ථානයක යම් කාන්තාවක් ළඟ හෙරොයින් තිබෙනවා කියලා. රෑ දහයෙන් පසුව පොලීසියේ කාන්තා නිලධාරිනියන් රාජකාරියට ගන්නේ නැහැ. එතකොට කොහොමද මේ අත්අඩංගුවට ගැනීම සිදුකරන්නේ. කාන්තා නිලධාරිනියක් නැහැ කියලා ඒ හෙරොයින් ළඟ තබාගෙන සිටින කාන්තාව අත්අඩංගුවට නොගෙන ඉන්නද? ප්‍රායෝගික තත්ත්වය තමයි කාන්තා නිලධාරිනියක් සිටින අවස්ථාවක කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට රැගෙන යෑම සහ නිලධාරිනියක් නොමැති අවස්ථාවකදී නිලධාරියෙක් විසින් ඒ අත්අඩංගුවට ගැනීම කිරීම. ඒ වගේම මෙහි නෛතික තත්ත්වය ගැන පැවසුවොත් 23 (1) උපවගන්තියේ කිසිම තැනක කියලා නැහැ කාන්තාවක් අත්අඩංගුවට ගන්න කාන්තාවක්ම සිටිය යුතුයි කියලා. නමුත් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 04වන පරිච්ඡේදයේ 30වන වගන්තියේ සඳහන් වනවා කාන්තාවක් සෝදිසි කරනවා නම් නිලධාරිනියක් විසින්ම ඒ සෝදිසි කිරීම කළ යුතුයි කියලා. නිලධාරියෙකුට කාන්තාවක් අත්අඩංගුවට ගන්න පුළුවන්. ඒ අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සෝදිසි කරනවා නම් ඒ සඳහා නිලධාරිනියක් මගින් එය සිදුකළ යුතුයි.

අපරාධ නඩු විධාන සංග්‍රහයේ තුන්වන තීරුවේ පළමු උපලේඛනයේ යම් වරදක් සංඥය වරදක්ද, සංඥය නොවන වරදක්ද සොයාගත යුතුයි යන්න සඳහා ප්‍රතිපාදන සඳහන් වෙනවා. මෙහි 32 (1) (ආ) යන්නෙහි නෛතික බලය ලබා දී තිබෙන්නේ සංඥය වරදකදී වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගන්න. 32 (1) (ආ) අනුව සාම නිලධාරියෙකුට සංඥය වරදක් සිදුව තිබෙනවා නම් එනයින්ම අත්අඩංගුවට ගන්න බලය දීලා නැහැ. ඒ සඳහා කරුණු හතරක් උක්ත විය යුතුයි. ඒ පොලිස් නිලධාරියෙක් ඉදිරිපිට සංඥය වරද සිදුව තිබිය යුතුයි, සාධාරණ පැමිණිල්ලක් ලැබී තිබිය යුතුයි, විශ්වාස කටයුතු තොරතුරක් ලැබී තිබිය යුතුයි, සාධාරණ සැකයක් තිබිය යුතුයි.

ඒ වගේම බලය පාවිච්චි කළ හැකි ආකාරය පිළිබඳවත් අවධානය යොමු කරමු. පොලීසියට බලය භාවිත කළ හැකි අවස්ථා තුනක් තිබෙනවා. ඒ අත්අඩංගුවට ගැනීමේදී බලය පාවිච්චි කිරීම. මෙය අපරාධ නඩු විධාන සංග්‍රහයේ 23(2), 23 (3) උපවගන්ති දෙකේ සඳහන් කර තිබෙනවා. 23(2) සඳහන් වන්නේ සාධාරණ ලෙස අවශ්‍ය උපක්‍රමයක් භාවිත කළ හැකියි යනුවෙන්. 23(3) අනුව අත්අඩංගුවට ගැනීමකදී බලය පාවිච්චි කිරීම මරණයක් දක්වා ව්‍යාප්ත කළ හැකියි. හැබැයි එය මරණ දඬුවම ලැබිය හැකි වරදකරුවෙක් වෙන්න ඕනේ. නමුත් හිතුමතේට බලය පාවිච්චි කරන්න කිසිම තැනක අවසර දීලා නැහැ. ඒ වගේම පොලීසිය බලය පාවිච්චි කරන දෙවැනි අවස්ථාව ලෙස රැස්වීම් විසුරුවා හැරීමේදී බලය පාවිච්චි කිරීම හඳුන්වා දිය හැකියි. මෙහිදී අපරාධ නඩු විධාන සංග්‍රහයේ 95 වගන්තිය අනුව විසුරුවා හැරිය හැකි රැස්වීම් දෙකක් තිබෙනවා. ඒ නීතිවිරෝධී රැස්වීම් සහ පුද්ගලයන් පහක් හෝ ඊට වැඩි පිරිසක් සිටින මහජන සාමයට හානි වන රැස්වීම්. නීතිවිරෝධී නොවුණත් මහජන සාමයට බාධා වන රැස්වීමක් තිබෙනවා නම් එය විසුරුවා හැරීමට පොලීසියට බලය පාවිච්චි කළ හැකියි. මෙහිදීත් හිතුමතේ බලය පාවිච්චි කරන්න බැහැ. සාධාරණ ලෙස අවශ්‍ය බලය පාවිච්චි කිරීම තමයි කළ යුත්තේ. ඒ වගේම තෙවෙනි අවස්ථාව ලෙස පෞද්ගලික ආරක්ෂාවේ අයිතිය හඳුන්වන්න පුළුවන්. මෙය පොලීසියට විතරක් නෙවෙයි මහජනතාව ඇතුළු සියලු තැනැත්තන්ට තිබෙනවා. විශේෂයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 89 සිට 99 දක්වා වගන්තිවල මේ පෞද්ගලික ආරක්ෂාවේ අයිතියේදී බලය පාවිච්චි කිරීම සඳහා ප්‍රතිපාදන තිබෙනවා. නමුත් 92(4) එය යම් ප්‍රමාණයකට සීමා කරනවා. එහි සඳහන් වනවා ආරක්ෂාවේ කාර්ය සඳහා ප්‍රමාණයට පමණයි කියලා. නමුත් මෙහි 93 සහ 96 වගන්තිවල තිබෙනවා මරණය දක්වා බලය පාවිච්චි කරන්න පුළුවන් අවස්ථා කියලා. 93හි තිබෙනවා ශරීරය සම්බන්ධයෙන් පෞද්ගලික ආරක්ෂාවේ අයිතිය භාවිත කරද්දිත් මරණය දක්වා පාවිච්චි කරන්න පුළුවන් කියලා. 96 වගන්තියේ තිබෙනවා දේපළ සම්බන්ධ පෞද්ගලික ආරක්ෂාවේ අයිතිය පාවිච්චි කරද්දී මරණය දක්වා පාවිච්චි කරන්න පුළුවන් කියලා. උදාහරණ ලෙස කොල්ලකෑමකදී පොලිස් නිලධාරියෙකුට හෝ ආරක්ෂක නිලධාරියෙකුට පුළුවන් මරණය දක්වා බලය පාවිච්චි කරන්න. ඒ වගේම ගින්නෙන් හෝ පුපුරන ද්‍රව්‍යයකින් ගොඩනැගිල්ලකට අනර්තයක් කරන්න උත්සාහ කරද්දි පෞද්ගලික ආරක්ෂාවේ අයිතිය මරණය දක්වා පාවිච්චි කරන්න පුළුවන්. හිටපු මැතිවරණ කොමසාරිස්තුමා ඡන්ද පෙට්ටියක් හොරෙන් අරගෙන යන්න හැදුවොත් වෙඩි තියන්න කියලා කිව්වේ මේ වගන්තිය අනුවයි. ඡන්ද පෙට්ටියක් බලෙන් අරගෙන යනවා කියන්නේ හොරකමක් නෙවෙයි, කොල්ලකෑමක්.”



Recommended Articles