අත් හෝදලාම වෙන ලෙඩක් හැදෙයිද?


'කෝවිඩ් - 19' වංසගතයේ ආරක්ෂා වීම සඳහා සෞඛ්‍ය අංශ මගින් නිරතුරුවම දෑත් සේදීමට උපදෙස් දුන් බැවින් දෛනික ජීවිතයේදී වැඩි වාර ගණනක් අප දෑත් දෙපා සේදීමට යොමු වී ඇත. එහිදී බොහෝ දෙනෙකු විවිධ සේදුම් ද්‍රාවණ භාවිතා කරනු දක්නට ලැබේ. නමුත් සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් දෑත් සේදීමට යොමුවුවත්, ඒ සඳහා ශරීරයට අහිතකර ද්‍රාවණ යොදා ගැනීම තුළින් සිදුවන්නේ අප එක් රෝගයකින් ආරක්ෂා වීම සඳහා තවත් රෝග කාරකයක් යොදා ගැනීමකි. එසේ නම් දෑත් සේදීම සඳහා යෝග්‍ය වන්නේ කුමනාකාරයේ සේදුම් ද්‍රාවණද? මේ පිළිබඳව අප පාර්ශ්ව කීපයක අදහස් විමසීමු.

මේ පිළිබඳව අදහස් දැක්වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආහාර විද්‍යා තාක්ෂණ අංශයේ මහාචාර්ය ටෙරන්ස් මදුජිත් මහතා,

“විශේෂිත සබන් වර්ග හෝ අත් සේදුම් දියර භාවිතා කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. සාමාන්‍ය සබන් වර්ගයකින් හෝ දෑතට සුමුදු සබන් වර්ගයකින් දෑත් සේදීම ප්‍රමාණවත් මේ වෛරසය අත්වල තිබෙනවා නම් ඉවත් කරන්න. වෛරස ප්‍රධාන වශයෙන් වර්ග දෙකකින් යුක්තයි. ඒ කොපුවක් තුළ තිබෙන වෛරසය සහ කොපුවක් රහිත වෛරසය කොරෝනා වෛරසය අයත් වෙන්නේ කොපුවක් තුළ තිබෙන වෛරසය ගණයටයි. අපි රූපරාමුවල දකින්නේ වෛරසයේ කුඩා කුඩා ඉහළට දිගු වී තිබෙන කොපු. ඒ තමයි වෛරසයේ තිබෙන කොපු. මේ තුළ තිබෙනවා මේදමය පටලයක්. පටලය ඕනෑම සබන් වර්ගයකින් ඉතා පහසුවෙන් ඉවත් කරගන්න පුළුවන්.

නමුත් කොපුව රහිත වෛරසවල බාහිර ස්ථරවල තිබෙන්නේ සම්පූර්ණයෙන්ම ප්‍රෝටීන්. ඒ ප්‍රෝටීන් පටලය සබන්වලින් අයින් කරන්න අමාරුයි. අපි භාවිතා කරන දියර සබන් වර්ගවල ක්ෂුද්‍ර ජීවින්ට එරෙහිව සටන් කරන වෙනත් සංයෝග අන්තර්ගතයි. ඒවා භාවිතා කරන්න ඕනමයි කියලා අවශ්‍යතාවයක් නැහැ. නමුත් ඒවායින් වැඩි ආරක්ෂාවක් ලැබෙනවා.

රෙදි සේදීමට යොදාගන්නා සබන් වර්ග, භාජන සේදීමට භාවිතා කරන සබන් සහ දියර වර්ගවලින් දෑත් සේදීම නිසා සමෙහි විවිධ සංකූලතා ඇතිවෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් අත් සේදීමට වඩා හොඳ වෙන්නේ සුමුදු සබන් වර්ගයක්.

මේ දිනවල බොහෝදෙනා භාවිතා කරන අත්සේදුම් ද්‍රාවණවලත්(Hand Sanitizer) වර්ග දෙකක් තිබෙනවා. ඒ එතනෝල් අඩංගු ද්‍රාවණ සහ හයි ප්‍රොපනෝල් (High Proponol) අඩංගු සේදුම් ද්‍රාවණයි. හයි ප්‍රොපනෝල් ද්‍රාවණ තමයි තුවාල පිරිසිදු කරන්න යොදාගන්නේ. ඒවායෙනුත් සම මතුපිට තිබෙන වෛරස වර්ග 96෴ක් පමණ විනාශ වෙනවා. ඒ සඳහා තත්පර 30ක පමණ කාලයක් තමයි ගතවෙන්නේ. එතනෝල් අඩංගු අත්සේදුම් ද්‍රාවණවලින් විනාඩි දෙකකට ආසන්න කාලයක් තුළදී විෂබීජ 99෴ක්ම ඉවත් වෙනවා.

මේ හෑන්ඩ් සැනිටයිසර්වලට මීට අමතරව තවත් සංයෝග එකතු කරනවා. ඒ වැඩි වෙලාවක් ඒ ද්‍රාවණය සම තුළ රඳවන්නයි. ඒ තුළ ප්‍රධාන වශයෙන් යොදා ගන්නවා ග්ලිසරින්. ඇල්කොහොල් ඉතා ඉක්මනට වාෂ්ප වෙනවා. ඒ තියා ඒවට ග්ලිසරින් යෙදූවිට අතෙහි යම් වෙලාවක් රැඳිලා තිබෙනවා.

සබන් භාවිතා කරලා අපි සබන් ටික ඉවත් කරන්න ජලයෙන් අත සෝදනවනේ. එතකොට අපේ දෑත්වලින් භෞතිකවම විෂබීජ ඉවත් වෙනවා. නමුත් අපි ඇල්කොහොල් සෙනිටයිසර්වලින් දෑත් පිරිසිදු කරලා ජලයෙන් සෝදන්නේ නැහැ.

ඒ නිසා විශේෂිත අත් සේදුම් ද්‍රාවණ භාවිතා කරනවාට වඩා තමන්ගේ සමට සුමුදු සුදුසු සබන් වර්ගයකින් දෑත් සෝදනවා නම් වඩාත් යෝග්‍යයි. නමුත් රෙදි සේදීමට හෝ භාජන සේදීමට හෝ වෙනත් දේවල් සේදීමට යොදා ගන්නා සබන් ද්‍රාවණ වර්ග භාවිතා කිරීමෙන් වැළකිය යුතුයි.

සම සංවේදී පුද්ගලයින් සහ කුඩා දරුවන් මේ පිළිබඳව විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුයි. ඇල්කොහොල් ද්‍රාවණයක් භාවිතා කිරීමේදී පවා ඔවුන් ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. අවුරුදු තුන හතර වයස් කාණ්ඩවල දරුවන්ට නම් අපි කෙසේවත් ඇල්කොහොල් මිශ්‍ර සේදුම් ද්‍රාවණ නිර්දේශ කරන්නේ නැහැ* යැයි පැවසීය.

බොහෝ දෙනා නිවසේ එදිනෙදා කටයුතුවලට භාවිතා කරන සේදුම් ද්‍රාවණවලින් දෑත් සේදීමට යොමුව තිබේ. බොහෝ වි‍ට රෙදි සේදුම් ද්‍රාවණ මතුපිට පොළොව සේදීමට හෝ වාහන සේදීමට භාවිතා කරන ද්‍රාවණ ඇතැම් පුද්ගලයන් භාවිතා කරයි. ඉන් ඇතිවිය හැකි අහිතකර ප්‍රතිඵල පිළිබඳව පරිසර යුක්ති කේන්ද්‍ර‘යේ අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතා පැවසුවේ මෙවැන්නකි.

“ කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වෙන්න කියලා මේ දිනවල හැමෝම විවිධ විෂබීජනාශක භාවිතා කරනවා. විශේෂයෙන් රසායනික ද්‍රව්‍ය විෂ බව තේරුම් ගන්නේ නැතුව කෝවිඩ්වලින් ආරක්ෂා වෙන්න බොහෝ දෙනා මේවා භාවිතා කරන්නේ.

P.K ගුප්තා මහතා ලියූ 'විෂ විද්‍යාවේ මූලධර්ම' ග්‍රන්ථයේ මේ කාණ්ඩවල ෆීනෝල් නමැති අම්ලය අඩංගු වන බව සඳහන් වෙනවා. ඒ පිළිබඳව ඒ කෘතියේ ඔහු සඳහන් කරන්නේ කාබොලික්

අම්ලය සුවඳ මගින් හඳුනාගත හැකි විෂ වර්ගයක් වන බවත්, එය පොදු ලෙසින් හැඳින්වෙන්නේ ෆීනොලික් ගන්ධයක් හෝ රෝහල් ගන්ධයක් ලෙසින් බවත්ය. පිරිසිදු ෆීනෝල්වල වර්ණ රහිත, කෙටි ප්‍රිස්මැටික් ඉඳිකටු හැඩයක ස්ඵටික ස්වරූපයන් දක්නට ලැබෙනවා. වාතයට මුසු වුණාට පස්සේ ඒවා රෝස පැහැයට හැරිලා ද්‍රව බවට පත්වෙනවා. ඒක මේද ද්‍රාවණයක් වන නිසා ස්නායු පද්ධතියට හානි කිරීමේ හැකියාවක් තිබෙනවා.

ඒ වගේම එය ග්ලිසරින්, ඊතර්, ඇල්කොහොල්වල ද්‍රාව්‍ය වන අතරම ජලයේද තරමක් ද්‍රාව්‍ය වෙනවා. ෆීනෝල් කාණ්ඩයේ අනෙක් සාමාජිකයින් විදිහට ක්‍රිසෝල්, ක්‍රියෝසෝට්, ලයිසෝල් හා ඩෙටෝල් හඳුන්වන්න පුළුවන්. මේවා මුඛයෙන්, සමෙන්, ආමාශ ආන්ත්‍රික මාර්ගය මගින් ශ්වසන මාර්ගය හරහා ගුද මාර්ගයට අවශෝෂණය වනවා. මේ සංයෝගවල විෂ විද්‍යාත්මක ක්‍රියා ෆීනෝල්වලට සමාන වුවත් එහි ස්වභාවය ඒ තරම් දරුණු නැහැ.

ක්‍රි‘සෝල් කියන්නේ මෙටා, ඕතෝ හා පැරා සහිත මෙතිල් ෆීනෝල්. ඒක විෂබීජ නාශකයක් විදිහට භාවිත කරනවා. මේ රසායනිකයන් නොදැනුවත්ව භාවිත කිරීම ඉතා භයානකයි. මේ රසායනිකයන් සමේ ආසාත්මිකතා සහ සම කැසීමට බලපානවා. ඒ වගේම ඇදුම හා පිළිකාවට යම් බලපෑමක් ඇති කරනවා. ඒ වගේම මේවා අනිසි ලෙස භාවිතා කිරීම තුළින් ප්‍රජනන සෞඛ්‍යටද අහිතකර ලෙසින් බලපානවා. මේ නිසා මෙවැනි විෂබීජනාශක භාවිත කළ යුත්තේ උපදෙස් අනුව පමණයි

එම නිසා කොරෝනාවලින් ආරක්ෂා වෙන්න කියලා අපේ ශරීරයට හානි කරන, පසුකාලීන බලපෑම් ඇති කරන ද්‍රාවණවලින් ඈත් වීමට වගබලා ගත යුතු වෙනවා. හැකිතරම් මෙම ගුණ සාමාන්‍ය සබන් වර්ග හෝ අත්සේදුම් ද්‍රාවණ භාවිතා කිරීම සිදුකළ යුතුයි* යැයි පැවසීය.



Recommended Articles