සුදුසු අවස්ථාවේදී ගෝඨාභයට දේශපාලනයට එන්න වෙයි


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මේ දිනවල වේදිකාවලදී ආන්දෝලනාත්මකව අදහස් පළ කරයි. පසුගිය ආණ්ඩුවේ හා වත්මන් ආණ්ඩුවේ  සිදු වූ දූෂණ, වංචා ගැන ජනාධිපතිවරයා ජනතාවට කරුණු පෙන්වා දෙයි. මෙම පසුබිම තුළ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා සම්බන්ධ කර ගත්තේ රාජපක්‍ෂ පවුලට එල්ල වෙන චෝදනා ගැන අදහස් දැනගැනීමටය.


Q දූෂණ වංචා සෙවීමේ කොමිෂන් සභා වාර්තා මගින් රාජපක්‍ෂ පවුලේ අය ගැන කියැවෙනවා. ඔවුන් දූෂණ, වංචා සිදුකර තිබේ නම් දඬුවම් ලබාදීමේ වරදක් නැහැ නේද

යම් පුද්ගලයෙකු වරදක් කර තිබේ නම්, ඕනෑම කෙනෙකුට වරදේ හැටියට දඬුවම් ලබා දෙනවා. අපේ විරුද්ධත්වයක් නැහැ. හැබැයි ඒවා කිය කියා මෝඩ චූන් ගන්නවාට අපි අකැමැතියි. අරක කරනවා මේක කරනවා කියලා නිකන් කියනවා විතරයි. අහවල් බැංකුවේ ඩොලර් අච්චර තියෙනවා, මෙච්චර තියෙනවා කියමින් මෝඩ චූන් ගන්න එක අපි අනුමත කරන්නෙ නැහැ. ඒ වගේ තුට්ටු දෙකේ දේශපාලනයක් අපි කරන්නෙත් නෑ, අපි හිතන්නෙත් නැහැ. වැරදි කරලා තියෙනවා නම් දඬුවම් විඳින්න ඕන.

පසුගිය ආණ්ඩුවේ ඇමතිකමක් දැරූ ඔබ රාජපක්‍ෂ පවුල ළඟින් ආශ්‍රය කළ කෙනෙක්. මේ කොමිෂන් සභා වාර්තා පවසන ආකාරයේ  දූෂණ, වංචා සිදුවෙන ආකාරය දැක්කෙ නැද්ද

අපේ කාලයේ වැරදි කරලා තියෙනවා නම් කරුණාකරලා දඬුවම් කරන්න. හැබැයි කියන පළියට ඕවා කරන්න බැහැ. වරදක් කරලා තියෙනවා නම් ඒක ඔප්පු කරන්න ඕන. කට තිබුණු පළියට කියවලා වැඩක් නැහැ. මම කවදාවත් අරයා මෙහෙම කළා කියලා නැහැ. එහෙම කියන්න සාක්‍ෂි තියෙන්න ඕන. නිකන් ආවට ගියාට කටට ආපු පළියට කෑගහලා වැඩක් නැහැ. මේක ඇවිල්ලා චරිත ඝාතනය කරමින් යන ආණ්ඩුවක් නේ. විනෝදයට තමන්ට ලකුණු දාගන්න චරිත ඝාතනය කරලා රෙද්දේ හලාගෙන ඉන්නෙ. janaka-bandara-tennakoon

හොරුන් පිරිසක් එක්ව ප්‍රභූ හොරුන්ගේ සන්ධානයක් බිහිකර ගෙන ජනාධිපතිතුමා අපහසුතාවට පත්කරමින් ඉන්න බව ඔහු කියනවා. එහෙම සන්ධානයක් ගැන දන්නවාද

මෛත්‍රීපාල සිරිසේන මහතා ඔය කියන විදියට ප්‍රභූන් එක්ක හිටපු කෙනෙක්නේ. ඔය කියන ප්‍රභූවරුන් එක්ක අවුරුදු ගාණක් ඉඳලා මේ ටික කාලෙට තමයි ප්‍රභූවරුන්ව මතක් වෙලා තියෙන්නේ. එහෙනම් මෙච්චර කාලයක් තුට්ටු දෙකේ දේශපාලනයක් එයා කරලා තියෙන්නේ. ජනාධිපතිතුමා ගැන මට පුදුම කනගාටුවක් තියෙන්නේ. එතුමා මේ රටේ ජනාධිපති හැටියට විනයගරුකව කටයුතු කරන්න ඕන. එක එක්කෙනාට අපහසු කරලා, වැරදිකරුවන් හිරේ යවලා, එල්ලුම් ගස් යවලා අවීචිමහා නරකාදියට අරන් යන ජනාධිපති කෙනෙක් දැන් අපට ඉන්නේ. මේ රටේ ජනාධිපතිවරයා එවැනි තත්ත්වයකට පත්වීම ගැන අපට හරිම කනගාටුයි.

ඒ වගේම හොඳ හොඳ සෙල්ලම් ඉදිරියේදී බලාගන්න පුළුවන් කියලත් ජනාධිපතිතුමා කියනවා

අපිත් කියන්නේ ඒකම තමයි. හොඳ හොඳ සෙල්ලම් ඉදිරියේදී බලාගන්න පුළුවන් වේවි කියලා අපිත් එතුමාට කියනවා. බලාගෙන හිටියොත් 10 වැනිදායින් පස්සේ ජනාධිපතිවරයාට හොඳ හොඳ සෙල්ලම් හොඳටම තේරෙයි.

ජනාධිපතිතුමාට කිසිදු චෝදනාවක් එල්ල කරන්න විදියක් නැති නිසා ඔහුගේ පෞද්ගලික ජීවිතය අලලා මඩ ගහන්න ඒකාබද්ධ විපක්‍ෂයේ සූදානමක් තිබෙන බව කියනවා

අපි කරයි කියලා එයා බය ඇති. අපි නම් එහෙම දැනගත්තත් මඩ ගහන්න යන්නෑ. අපි වැදගත් දේශපාලනයක් කරන්නේ. අපි වැදගත් දෙමවුපියන්ගේ වැදගත් පවුල්වල දරුවෝ. පවුල් ජීවිත ඇදගෙන මිනිස්සුන්ට මඩ ගහන, චරිත ඝාතනය කරන දේශපාලනයක් අපි කරන්නෑ. බොහෝම වැදගත් පිරිසුදු දේශපාලනයක අපි යෙදී ඉන්නේ.

ගත වූ වසර තුන තුළදී ජනාධිපතිවරයාට විරුද්ධව දූෂණ චෝදනාවක් එල්ල කරන්න පුළුවන් තරමේ කරුණු නැහැ නේද

මම ඒ අංශයෙන් එතුමා දිහා බැලුවෙම නැහැ. මම කාගෙවත් දිහා එහෙම බලන්නෑ. මිනිස්සුන්ට මඩ ගහලා, ඒ අයගේ දරු පවුල්වලට දුක්දීලා, චරිත ඝාතනය කරන දේශපාලනය අපි කරන්නෑ. එතුමා ඉල්ලගෙන කනවා නම් අපට කරන්න දෙයකුත් නැහැ. ඔහු කරන වැඩවලින් නැති තරහකාරයෝ බිහිකර ගන්න එකනේ දැන් කරන්නේ. දැන් යූ.එන්.පී. එකත් තරහයි. පොහොට්ටුවත් තරහයි. දැන් හැමෝම තරහ කරගෙන යන දේශපාලනයක් කරන්නේ. එහෙම කරලා මට මඩ ගහයි, අරකෙන් ගහයි, මේකෙන් ගහයි කියලා පසුව පශ්චාත්තාප වෙලා වැඩක් නැහැ.

බැඳුම්කර සිද්ධිය අන්තිමට සිවිල් නඩුවකින් කෙළවර වුණා නේද

ඔය වගේ ඔක්කොම කතාවලට බයිලා කියලා තමයි කියන්නේ. දැන් විහිළුකාරයෝ පාලනය කරන රටක් තියෙන්නේ. දැන් දොන් සිරිසේනලා, එඩී ජයමාන්නලා, ප්‍රෙඩී සිල්වාලා නැවත ඉපදිලා. එහෙම ආණ්ඩුවක් දැන් දුවන්නේ. කරන්නේ එකක්, කියන්නේ එකක් නිසා මිනිස්සුන්ට මේ ආණ්ඩුව විහිළුවක් වෙලා තියෙන්නේ. අද කියන එක නෙමෙයි හෙට කියන්නේ. අද කියනවා මම පත්තරේ දැක්කා කියලා. හෙට කියනවා මම ටීවී එකේ දැක්කා කියලා. මාධ්‍ය කරන මහා මෙහෙවර ගැන අපි හිස නමනවා. මේවා නොතේරෙන එකගැන කියාදීම ගැන මාධ්‍යයට ස්තුතිවන්ත වෙනවා. නමුත් මාධ්‍ය හරහා රටම දැනගත්ත බැඳුම්කර හොරුන්ට නිදහස් වෙන්න ඉඩදීලා තියෙනවා. එළියට ඇවිත් කුලප්පු වෙලා වගේ කෑගැහුවාට වැඩක් නැහැ. ඇතුළෙ ඩීල් දාගෙන වැඩ කරනවා. මේවා ජනතාව හොඳට තේරුම් ගන්න ඕන.

ජනාධිපතිවරයා යූ.එන්.පී. එක තරහා කරගෙන නම් ඒක ඔබතුමාලට වාසියක් නේද

ආණ්ඩුව බෙදෙන කොට අපට වාසියි තමයි. එකම විරුද්ධ පක්‍ෂය අපි විතරයි. ආණ්ඩුව අනාගන්න විට එකම විරුද්ධ පක්‍ෂය විදියට අපි සන්තෝෂ වෙන්න ඕන. අනෙක් පැත්තෙන් මේ රටේ ජනතාව විඳින දුක ගැන අපට කනගාටුයි. මම මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ලේ මන්ත්‍රීවරයා. මිනිස්සුන්ට කුඹුරු කරන්න වතුර නැහැ. පොහොර නැහැ. මිනිස්සු සදා අනාථ වෙලා ඉන්න විත්තිය අපට පේනවා. මිනිස්සුනට යන එනමං නැති වෙලා. මේවා දැකලා අපට සන්තෝෂ වෙන්න බැහැ. මේ ආණ්ඩුව අනාගන්නවා දැක්කාම අපට පාලනය අරන් ජනතාවට උදවු කරන්න ලැබෙයි කියන සන්තෝෂය  තිබෙනවා. අනිවාර්යයෙන් ප්‍රාදේශීය සභා, නගර සභාවලින් අපි සියයට 75ක් විතර දිනනවා. මේ මැතිවරණ ක්‍රමය අමාරු එකක්. නමුත් අපි දිනනවා. 11 වැනිදාට ජනතාවට තේරෙයි ජනාධිපතිවරයා කිව්වේ මොනවද, අපි කිව්වේ මොනවද කියලා.

නැවතත් ප්‍රජාතන්ත්‍ර විරෝධී, ඒකාධිපති පවුල් පාලනයකට ඉඩ දෙන්න එපා කියන සටන් පාඨය එ.ජා.ප.ය, ශ්‍රී.ල.නි.ප.ය හා ජ.වි.පෙ. රට පුරා ගෙන යමින් ඉන්නවා. එවැනි පාලනයක් නැවත ඇතිකර ගන්නද ඔබතුමාලා උත්සාහ ගන්නේ

අපි කොහෙත්ම ඒකාධිපති පාලනයකට කැමැති නැහැ. අපි කවදාවත් එවැනි පාලනයක් ඇතිවනවාට කැමැති වෙන්නෙ නැහැ. පවුල් පාලනය කිව්වට ගෝඨාභය වැනි මිනිහෙක් මේ රටේ ජනාධිපති වුණොත් හොඳයිනේ. ගෝඨභය කියන්නේ සැලැස්මක්, දර්ශනයක්, විනයක් තියෙන මිනිහෙක්. ඒ වගේ මිනිහෙක් මේ රටේ ජනාධිපති වෙන එක හොඳයි. එතකොට එයා සුදුසුකම් තිබියදී අර පවුලේ කෙනෙක් කියලා අයින් කරන්න බැහැ. ඒක සදාචාරාත්මක නැහැ.

නමුත් ගෝඨාභය රාජපක්‍ෂ මහතා නිතරම කියන්නේ දේශපාලනයට එන්න සූදානමක් නැහැ කියලා

එහෙම තමයි ඉතින් කියන්නේ. පස්සේ ඉතින් සුදුසු අවස්ථාවේදී එයාට  එන්න වෙනවනේ. අපි මේ කියන්නේ එදාට වෙයි කියන දෙයක්. මේ ලෝක ස්වාභාවය අනුව ඒක වෙනස් වෙන්න පුළුවන්.

ගෝඨාභය වැනි අයෙක් ගේන්න සූදානම් වෙන්නේ වත්මන් ආණ්ඩුවෙන් යහපාලන අරමුණු ඉවත් වෙලාද

සභාවේ හිනා කියලා තමයි ඒකට කියන්න වෙන්නෙ. යහපාලන ආණ්ඩුව කරනවා කියලා පැමිණි කිසි දෙයක් කළේ නැහැ. කියපු දේවල් ඔක්කොම කණපිට හරවපු ආණ්ඩුවක් දැන් තියෙන්නේ. ලෝකයේ තියෙන ලොකුම හොරකම කළා. එක මිනිහෙක්වත් සන්තෝෂයෙන් ඉන්න එක ක්‍ෂේත්‍රයක්වත් නැහැ. සන්තෝෂයෙන් ඉන්න එක ව්‍යාපාරිකයෙකුවත් නැහැ. එක ගොවියෙක්වත් සන්තෝෂයෙන් නැහැ. එක පවුලක් සන්තෝෂයෙන් නැහැ. රවිගේ පවුල වගේ පවුල් කිහිපයක් සන්තෝෂයෙන් ඇති. අපි කොහොමද සන්තෝෂ වෙන්නේ.

ඒ කියන්නේ 2020 වනවිට රටේ ලොකු වෙනසක් දකින්න ලැබේවි

අනිවාර්යයෙන්ම පළාත් පාලන මැතිවරණය තමයි ඒකට තබන මුල්ගල. අපි හදන ගොඩනැගිල්ලේ මුල්ගල 10 වැනිදා තියනවා. ඊට පස්සේ අපි මේ රජය පෙරළනවා. ජනතාවට තියෙන්නෙ මේ මුල්ගල තියලා දෙන්න. අපි මහින්ද රාජපක්‍ෂ මහතා එක්ක ඉතුරු හරිය බලාගන්නම්. අපි අනිවාර්යයෙන්ම ඒක කරනවා. දිනන්න බැහැ කියපු යුද්ධය දිනපු මහින්ද රාජපක්‍ෂ මහතාට ඒක කරන්න පුළුවන්.

වත්මන් ආණ්ඩුව පරාජය කිරීම ඒකාබද්ධ විපක්‍ෂයේ අරමුණ නම් ඊළඟට පත්වෙන ආණ්ඩුව වංචා, දූෂණ සිදුනොකරන ප්‍රජාතන්ත්‍ර විරෝධීව කටයුතු නොකරන බවට දෙන සහතිකය මොකක්ද

මෙහෙම වැරදි කරන්න නම් නැවත නැවත බලයට එන්න ඕන නැහැ. අපගේ පසුගිය ආණ්ඩුවේ වැරදි අඩුපාඩු තිබුණු නිසානේ අපට යන්න වුණේ. පසුගිය ආණ්ඩුවේ එවැනි අඩුපාඩු තිබුණත් දැන් තියෙන ආණ්ඩුවට වඩා ලක්‍ෂ වාරයක් හොඳයි. දැක්කනේ කරපු වැඩ. අපි අහුවුණානේ ඒ වැඩවලට. පසුගිය ආණ්ඩුව කාලයේදී මිනිස්සු සන්තෝෂයෙන් හිටියනේ, වතුර ටික, පොහොර ටික තිබුණානේ, ගොවිතැන සරු වුණානේ. දැන් කෘෂිකර්ම අමාත්‍යාංශයට ගොඩනැගිල්ලක් අරන් කුලී ගෙවගෙවා ඉන්නවා. ගොවියාට පොහොරත් නැහැ, වතුරත් නැහැ. දැන් ඉන්න කෘෂිකර්ම ඇමතිට ඒක ගාණකුත් නැහැ. මේක කෘෂිකාර්මික රටක්. අපි ජීවත් වෙන්නේ කෘෂිකාර්මික පළාත්වල. මුන් දැන් කරන ඒවාට හෙණ ගහනවානේ. මුන්ට හෙණ ගහන්නෙ නැත්නම් හෙණයක් හදලා හරි ගහන්න ඕන. ඒ හින්දා මේ ආණ්ඩුව පන්නලා දාන්න ඕන. මිනිස්සුන්ට කාලා, ඇඳලා ඉන්න පුළුවන් රටක් අපි හදනවා. ගිය ආණ්ඩුවේ තිබුණු අඩුපාඩුත් හදාගෙන ඉදිරියට යනවා.

පෞද්ගලික තරහකින්ද ඔය විදියට කතා කරන්නෙ

මට කිසිම කෙනෙක් එක්ක පෞද්ගලික තරහක් නැහැ. මම  කරුණු අනුව මේ දේවල් කියන්නේ. මම ජනතාව විඳින දුක දකින මිනිහෙක්. දඹුල්ලේ ඉන්න මිනිස්සු විඳින දුක මම අත්දකිනවා. ඒ මිනිස්සු කියන දේවල් අහපුවාම පපුව පත්තු වෙනවා. එහෙම පපුව පත්තු වෙන්නැති එකෙක් දේශපාලනය කරන්න හොඳ නැහැ. මට එහෙම පපුව පත්තු වෙන නිසා මට වේදනාවක් තියෙනවා. තරහක් ඇති වෙනවා. ඒක මගේ ජනතාව ගැන හිතේ තියෙන කැක්කුම නිසා වෙන දෙයක්. ඒක වරදක්ද?

පළාත් පාලන ආයතන දිනන බව ඔබ කිව්වා. එසේ දිනුවොත් අණ්ඩුව සමග කටයුතු කිරීමේදී ගැටලුවක් මතුවෙන එකක් නැද්ද

පළාත් පාලන ආයතන ස්වාධීනව ගෙනයන්න පුළුවන්. ආණ්ඩුවෙන් ආධාර දෙන්නෙ නැතිව ඉන්න පුළුවන්. ඒ වගේ වෙලාවට දක්‍ෂ වෙන්න ඕන වැඩ කරන්න. ජනතාව අපේ පැත්තේ නම් අපට ඕන එච්චරයි. 



Recommended Articles