SLFP හා UNP එක්වීමෙන් සිදුවූ අවුල


මගේ ජීවිතයේ තවත් එක් සන්ධිස්ථානයක් සටහන් වන අවස්ථාවක මෙවර කුරහන් සුවඳ තීරු ලිපිය ලිවීමට අවස්ථාව ලැබීම භාග්‍යයක් කොට සලකමි. ඒ මගේ දිවියේ හමු වූ සුවිශේෂීම යුවතියක වන ලිමිනි වීරසිංහ සමග මාගේ විවාහය තවත් නොබෝ දවසකින් සිදුවීමට නියමිත හෙයිනි.

කුරහන් සුවඳ තීරු ලිපියත් සමග මා හා සම්බන්ධ වී සිටි පාඨකයන් වෙනුවෙන් ලිමිනිගේ හා මාගේ ආදර කතාව පිළිබඳ සුළුවෙන් හෝ දැනුවත් කිරීම මගේ සතුටට හේතුවකි. මාගේ විවාහය පිළිබඳ ඔබට වැදගත්කමක් නොමැති වන්නට පුළුවනි. මන්දයත් ඔබත් මාත් සමස්තයක් ලෙස රටත් විවිධාකරයේ ප්‍රශ්නවලට මුහුණදෙමින්
සිටින හෙයිනි.

ලිමිනිගේ හා මගේ ආදර කතාව ආරම්භ වන්නේ මීට වසර දෙකකට පමණ පෙරය. ඒ මැරතන් ධාවන තරගයක් තුළිනි. අප දෙදෙනා දැන හැඳිනගැනීමෙන් අනතුරුව ආරම්භ කළ සම්බන්ධයට දෙමාපියන්ගේ ආශිර්වාදය ලබාගැනීමට අපේක්ෂා කළෙමු.

ඒ අනුව මීට වසර එකහමාරකට පමණ පෙර අපගේ සබඳතාව පිළිබඳ දෙමාපියන් දැනුවත් කිරීමට අපි කටයුතු කළෙමු. මාගේ දෙමාපියන් මෙන්ම ලිමිනිගේ දෙමාපියන් අපගේ සබඳතාවට ආශිර්වාදය ලබාදීමට කැමැත්ත පළ කළ අතර, එය අපගේ සබඳතාවට විශාල ශක්තියක් විය.

ඔවුන්ගේ ආශිර්වාදය ලැබුණත් අපගේ සබඳතාව පිළිබඳ බොහෝ දෙනෙකුගේ අවධානයක් යොමුවූයේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාවේ කළ සංචාරයේදීය.
ඉන් අනතුරුව පෙම්වතුන් ලෙස බොහෝ පිරිසක් අප දෙදෙනා හඳුනාගත්තේ යෝෂිතගේ විවාහ ගිවිසගැනීමේ අවස්ථාවේදීය. ඒ අපගේ පවුලේ ළඟම ඥාතීන් සමග ලිමිනිද එම අවස්ථාවට එක්වීම හේතුවෙනි. ඒ අපගේ ආදර කතාව හා එය ජනතාව දැනගත් ආකාරය පිළිබඳ කෙටිකතාවයි.

නමුත් මගේ විවාහ උත්සවය පාඨක ඔබට එතරම් වැදගත් නොවනු ඇත. අප දිගින් දිගටම කුරහන් සුවඳ තීරු ලිපියෙන් අවධානය යොමුකළේ රට එදිනෙදා මුහුණදෙන ගැටලු පිළිබඳවය. සුපුරුදු ලෙසම මේ සතියේදීත් අප කුරහන් සුවඳ තීරු ලිපියෙන් එවැනි ගැටලු පිළිබඳ අවධානය යොමු කිරීමට අපේක්ෂා කරමු.

මේ වනවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කිරීමෙන් අනතුරුව සැලසුම්සහගත ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මඟපෙන්වීම යටතේ අපගේ මැතිවරණ ව්‍යාපාරය ඉදිරියට පවත්වාගෙන යමින් සිටිමු.

එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව අපගේ මැතිවරණ ව්‍යාපාරය දිනෙන් දින ශක්තිමත්ව ඉදිරියට ගමන් කරමින් තිබේ. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයට තවමත් සිය ජනපති අපේක්ෂකයා තෝරාගැනීමට නොහැකිව පක්ෂය තුළ අර්බුදයක් නිර්මාණය වී තිබේ. 

එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙසින් රනිල් වික්‍රමසිංහ මහතාත් සජිත් ප්‍රේමදාස මහතාත් ඉදිරිපත් වීමට සූදානම් වෙමින් සිටිති. මේ දෙදෙනාගෙන් කුමන අයෙකු ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත් වුවද අපට ගැටලුවක් නොවේ. 

පක්ෂ දේශපාලනයේ නිරතව සිටින බොහෝ දෙනෙකු තම පාර්ශ්වයේ ජයග්‍රහණය පිළිබඳ උනන්දු වන හෙයින් තවත් පක්ෂයක්, එසේත් නැත්නම් ප්‍රතිවාදී පක්ෂයක් දෙකට බෙදීම හොඳ දෙයක් ලෙස දැකීමට අවස්ථාව තිබේ. නමුත් එක්සත් ජාතික පක්ෂය දෙකඩ වීමෙන් බිහිවන පක්ෂය හෝ කණ්ඩායම තවත් ශක්තිමත් පක්ෂයක් හෝ කණ්ඩායමක් නොවනු ඇත.
එක්සත් ජාතික පක්ෂය දෙකඩ වීමෙන් සජිත් ප්‍රේමදාස මහතා යම් පක්ෂයක් ගොඩනගයි යැයි අපි උපකල්පනය කරමු. එසේ බිහිවන පක්ෂය තවත් ශක්තිමත් පක්ෂයක් වන්නේ නම් එය ගැටලුවක් නොවේ. නමුත් එසේ බිහිවන පක්ෂය සුළු පක්ෂයක් වී ජනාධිපතිවරණයෙන් පසුව එය අවසන් වේ නම් එය ගැටලුවකි.  

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව දැනුවත් කර තිබුණත්, ඉදිරිපත් වන අපේක්ෂකයා කවුරුන්ද හෝ වැඩපිළිවෙළ කුමක්ද යන්න පිළිබඳ තවමත් නිශ්චිත වැඩසටහනක් නොමැත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වැනි සංවත්සරයේද ඒ පිළිබඳ කිසිම සඳහනක් නොවුණි. ශ්‍රී ලංකාවේ මේ වන විට ඇතිව තිබෙන දේශපාලන අර්බුදයට මූලිකම කරුණ වී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය යහපාලන ආණ්ඩුවක් බිහිකිරීම වෙනුවෙන් සිදු වූ ඒකාබද්ධ වීමය. මේ හරහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ වූ අතර, එක්සත් ජාතික පක්ෂයද විනාශ වෙමින් තිබේ.

ශ්‍රී ලංකාවේ මේ වනවිට මතුව තිබෙන ආර්ථික, ආරක්ෂක, දේශපාලන හා සමාජ සංස්කෘතික අර්බුද තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යනවාද, එසේත් නොමැති නම් තවත් මාස කිහිපයකින් අවසන් වන්නේද යන්න පිළිබඳ තීරණය  කෙරෙන තීරණාත්මක කඩඉම වන්නේ එළඹෙන ජනාධිපතිවරණයයි.

මෙවර අප පත් කරගත යුතු වන්නේ ජාතික නායකයෙකි. ඒ ජාතික නායකයාට රට ඉදිරිය කරගෙන යෑමට ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළක් තිබිය යුතුය. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතික නායකයෙකු ලෙස ඉදිරියට පැමිණ තිබේ. එසේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පසුගිය දින කිහිපයේදී පැවැත්වූ සම්මේලනවලදී ඒ ඒ අංශ පිළිබඳ ඔහුගේ දැක්ම වැඩපිළිවෙළ ඉදිරිපත් කළේය. එම වැඩපිළිවෙළට මේ වනවිට රට පත්ව ඇති අගාධයෙන් ගොඩනැගීම වෙනුවෙන් බොහෝ දේ කළ හැකිය. එසේම මේ සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය ලබාදෙනු ඇත. ඒ හරහා ඔබත් මාත් සිහින දකින සමෘද්ධිමත්, සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් බිහි කිරීමට අවස්ථාවක් තිබේ.
ලබන සතියේදී යළිත් හමුවෙමු!
ඔබට සුබ අනාගතයක්! 

 



Recommended Articles