ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් කාලයක් පුරාවට සිදුකරන ලද පර්යේෂණයකින් අනතුරුව දුර්ලභ වූ නව ශාකයක් සොයා ගනු ලැබීය. මේ ශාකය 'කෙතල' ලෙසින් ලංකාවේ බොහෝ දෙනා හඳුන්වන Lagenandra කුලයට අයත් නව ශාකයකි. මේ පිළිබඳව සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම හා වැවිලි කළමනාකරණ පීඨයේ මහාචාර්ය කපිල යකන්දාවල මහතාව 'අද'ට සම්බන්ධ කර ගතිමු.
මෙම නව ශාකය පිළිබඳව හඳුන්වා දුන්නොත්?
මේ ශාකයේ විද්‍යාත්මක නාමය වන්නේ Lagenandra. අපේ බොහෝ දෙනෙක් දන්නේ කෙතල යන නමින්. කෙතල ශාකය ගංගා, ඇළ දොළ අයිනේ, තෙත් කලාපයේදී එහෙම නිරන්තරයෙන් දකින්න ලැබෙනවා. මේ කෙතල ශාකයේ නව ශාකයක් තමයි අපි පසුගිය කාලයේදී සොයා ගත්තේ. අපි මේ ශාකයට නම තැබුවේ Lagenandra wayambae ලෙසින්. මොකද මේ පර්යේෂණය සඳහා අපට මූල්‍ය දායකත්වය ලබාදුන්නේ වයඹ විශ්වවිද්‍යාලයෙන් නිසා අප ඒ නමින් මෙය හඳුවන්න කටයුතු කළා.
Lagenandra කුලයට අයත් ශාක වර්ග කොපමණ ලංකාවේ තිබෙනවාද?
මේ Lagenandra ශාකයේ වර්ග අටක් මේ වන විට හමු වී තිබෙනවා. ඉන් වර්ග දෙකක් ලංකාවේ බහුලවම තිබෙනවා. ඒවා තමයි ගංගා, ඇළ දොළ ආශ්‍රිතව තියෙන්නේ. ඒ වගේම තවත් වර්ග පහක් ලංකාවේ ශාක වඳ වීමේ තර්ජනයට ලක්ව ඇති රතු දත්ත පොතට ඇතුළත් වෙලා තියෙනවා. ඇත්තටම ඒ ශාක වර්ග පහ මේ වන විට වඳවී යාමේ තර්ජනයට ලක්වෙලා තියෙන්නේ. ඒ වගේම තවත් එක් ශාකයක් මේ වෙද්දි ලංකාවෙන් සම්පූර්ණයෙන්ම නැතිවෙලා ගිහිල්ලා කියලා තමයි හිතන්නේ. මොකද ලංකාවේ කොහෙන්වත් වසර ගණනාවකින් ඒ ශාකය කාටවත් හමුවෙලා නැහැ. අපි මේ සොයාගත් ශාකය ඒ වර්ග අටටම සමානකමක් දක්වන්නේ නැහැ. ඒ නිසා තමයි අපි මේක නව ශාකයක් විදිහට හඳුන්වන්නේ.
Lagenandra wayambae ශාකය හමුවන්නේ කුමන පරිසර පද්ධතියෙන්ද?
මේ ශාකය අපට හමුවන්නේ බුලත්සිංහල, වතුරාන කියන තෙත්බිම් මිරිදිය පරිසර පද්ධතියෙන් සහ ඒ අවට ප්‍රදේශයෙන්. ඊට අමතරව පෞද්ගලික වැවිලි කර්මාන්ත සමාගමකට අයත් මිරිදිය පරිසරයට සමාන පරිසර පද්ධතියකින් අපට ඊයේ පෙරේදා හමුවුණා. දැනට ලංකාවෙන් මේ ශාකය හමු වුණේ ඔය තැන් දෙකෙන් පමණයි. මේ ශාකය හමුවුණු පරිසර පද්ධතිය පිළිබඳව කිව්වොත් ඒක වතුරෙන් යටවෙලා තමයි තිබෙන්නේ. කාලෙන් කාලෙට වතුරෙන් යටවෙලා ඊට පස්සේ වතුර බැහැලා යනවා. ඒ වගේ පරිසර තත්ත්වයකදී ඕනෑම ගහකට හැදෙන්න බැහැනේ. ඒ පරිසර තත්ත්වයට අනුවර්තනය වෙන්න පුළුවන් ගස් තමයි මෙතැන හැදෙන්නේ. මේ ගහත් එහෙමයි. මේ ගහ හිරු එළියට නිරාවරණය වුණොත්, ඉතා ඉක්මනට මැරිලා යනවා. ඒ නිසා මේක පරිසර පද්ධතියෙන්ම තමයි සංරක්ෂණය කරගන්න ඕනේ.
මේ පැළය සාමාන්‍යයෙන් සෙ.මි. 10 - 12ක් වගේ උසයි. Lagenandra wayambae ශාකය තෙතමනයේ හැදෙන්න කැමතියි. පත්‍රත් බොහෝ අඳුරු කොළ පැහැයකින් යුක්තයි. මේ ශාකය පරිසරයට බොහෝ සංවේදී පැළයක්. බොහොම පොඩි ශාක සංඛ්‍යාවක් තියෙන්නේ.
මේ නව ශාකය ආරක්ෂා කර ගැනීමේ වගකීමක් තිබෙනවා?
පැහැදිලිවම. මේ ශාකයේ තොරතුරු දැනගත්තාම ශාක එකතු කරන්නන් ඇවිත් මේවා අරගෙන ගිහින් වඳවී යන්නත් පුළුවන්. ඒ නිසා අපි මේක ආරක්ෂා කරන එක ඉතා වැදගත්. අපි දන්නවා පසුගිය කාලෙත් පරිසර පද්ධතිවලට විශාල වශයෙන් හානි සිදුවුණා. නමුත් මේවා රැකගන්න අපට ඇත්තටම අමාරුයි. විශ්වවිද්‍යාලයෙන් අපිට පුළුවන් පර්යේෂණ සිදුකරලා අපි අලුතෙන් පැළයක් හොයාගත්තා කියන්න විතරයි. එතැනින් එහාට ගිහිල්ලා ඒවා සංරක්ෂණය කිරීමේ නීතිමය වගකීමක් අපට නැහැ. බුලත්සිංහලින් හමුවුණු ශාක පද්ධතිය නම් මධ්‍යම පරිසර අධිකාරියෙන් බලාගන්නවා. මම ඔවුන්ටත් මේ ගැන කියන්න බලාපොරොත්තු වෙනවා. බුලත්සිංහල ඔය පරිසර පද්ධතියෙන් මීට පෙරත් තවත් දුර්ලභ ශාක දෙකක් වුණු හොරවැල් සහ සුවඳ කියන ශාකයන් හමුවුණා. ඒ ගස් දෙකත් මෙතැනින් විනාශ වෙලා ගියොත් ලෝකයටම නැතිවෙලා යනවා. මේ Lagenandra wayambae ශාකයත් ඒ වගේම තමයි.
Lagenandra කියන්නේ මිරිදිය මත්ස්‍ය කර්මාන්තයට විශාල වශයෙන් උපකාරී වන ශාකයක්. මේ කුලයේ ශාක බොහෝමයක් පිටරටින් මිනිස්සු ඇවිත් අරගෙන ගිහින් තිබෙනවා. දැනට ලංකාවෙන් නැතිවෙලා ගිහින් කියලා මම කිව්ව ශාකය පවා පිටරටවල තිබෙනවා. ඔවුන්ගේ වෙබ් අඩවිවල බැලුවොත් ඒ ගැන විස්තර තිබෙනවා. ඒ වගේම එවැනි පිරිස් නැවත ලංකාවට ඇවිත් ශාක ගෙන යාමට බලාපොරොත්තු වන ආකාරයේ විස්තර පවා එම වෙබ් අඩවිවල සඳහන් වෙනවා. ඒක ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයක්.
Lagenandra wayambaeහි පාරිසරික වටිනාකම පිළිබඳව පැවසුවොත්?
මේ ශාකය හොයාගත්තාට පස්සේ අපි Phytotaxa කියන ජර්නල් එකේ එළිදැක්වූවා. මොකද විද්‍යාඥයෝ හැටියට අපි යම් ශාකයක් අලුතෙන් සොයාගත්තාට පස්සෙ ඒක එළිදක්වන්න ඕනේ. එතකොට තමයි ඒ ශාකයට වටිනාකමක් ලැබෙන්නේ. ඇත්තටම Lagenandra wayambae වල පාරිසරික වටිනාකම කොතෙක්දැයි අපට තවම කියන්න බැහැ. මේක අලුත් ගහක්නේ. එතකොට අපි මේ ශාකය එළිදක්වනතුරු කිසිම කෙනෙක් මේ ශාකය ගැන දැනගෙන හිටියෙ නැහැ. ජලජ ශාකයක් විදිහට මේක ඉතාමත් වැදගත් වනවා. මේ පරිසර පද්ධතියේ ජෛව විවිවධත්වය සඳහා Lagenandra wayambae ශාකය දායකත්වය දක්වනවා. මේ ශාකයේ පාරිසරික වටිනාකම සම්බන්ධයෙන් අප තවමත් පර්යේෂණ කරමින් යනවා. මේකත් හරියට කෝවිඩ් 19 රෝගය වගේ. මුලදී හොයාගත්තු කාලෙදි අපි ඒ ගැන කිසිම දෙයක් දන්නෙ නැහැ. නමුත් පර්යේෂණ කරමින් ඒ සමග ජීවත් වෙද්දි අපි ටිකෙන් ටික ඒ ගැන දැනගන්නවා. ඒ වගේම මේ ශාකය කොච්චරක් පාරිසරික වශයෙන් වැදගත්ද, කොපමණ කාලයක් පවතිනවාද ආදී දේවල් අපි සොයාගන්න ඕනේ. උදාහරණයක් විදිහට මේ ශාකයේ මල්වලට කෘමීන් එනවා. ඒ කෘමීන් මේ මල්වල පරාග ආහාර විදිහට ගන්නවා. සමහරවිට මේ ශාකයට එන්නේ එක්තරා ආකාරයෙන් විශේෂිත වූ කෘමීන්ම වෙන්නත් පුළුවන්. සමහරවිට මේ ශාකයේ ඉතා වටිනා රසායනිකයන් තිබෙන්න පුළුවන්. අපි තවම ඒ කිසිදෙයක් දන්නෙ නැහැනේ. එතකොට ඒ සම්බන්ධ දේවල් පිළිබඳවත් අපි පර්යේෂණ කරන්න ඕනේ.
Lagenandra wayambae කියන්නේ කෙතල ශාකයේ යම් විකෘතිතාවයක් නිසා හටගත් ශාකයක්ද?
නැහැ. මේක විකෘතියක් නිසා සිදුවූවක් නොවෙයි. අපි දැනට මේ ශාකයේ අනුක ජීව විද්‍යාත්මක අධ්‍යයනයන් පවා සිදුකරගෙන යනවා. එතකොට අපිට පැහැදිලි වුණා මේක වෙනස්ම ශාකයක් කියලා. ඇත්තටම එහෙම අධ්‍යයනයන් නොකර වුණත් අපිට ඉස්සර කාලේ වගේ කියන්න පුළුවන්. ඉස්සර කාලෙත් මලක රේණුවලින්, එකම විශේෂයේ ගස් දෙකක් අතර තිබෙන පොඩි පොඩි වෙනස්කම්වලින් තීරණය කරන්න පුළුවන් අලුත් ශාකයක්ද කියලා. අපි එහෙමත් කළා. Lagenandra ශාකයේ ලෝකයේ තිබෙන වර්ග අට සමග මේ ශාකය එකතු වීමෙන් වර්ග නවයක් වනවා.
මේ පර්යේෂණය පිටුපස සිටි අනෙක් පිරිස ගැන කිවුවොත්?
අපි මේ වෙනුවෙන් වසර දෙකක විශාල පර්යේෂණයක් කළා. මම, මගේ බිරිඳ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උද්භිද විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය දීප්ති යකන්දාවල, ආචාර්ය සේනානි කරුණාරත්න සහ ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම හා වැවිලි කළමනාකරණ පීඨයේ පශ්චාත් උපාධි අපේක්ෂක ඉන්ද්‍රකීල මාදොල යන පිරිස තමයි මේ පර්යේෂණය සිදුකළේ. ඉන්ද්‍රකීල මාදොලගේ පශ්චාත් උපාධිය සඳහායි මේ අධ්‍යයන කටයුතු කරගෙන ගියේ.
Lagenandra wayambae ශාකයේ අනාගතය කෙබඳු වේද?
අපි තවම මේ ගැන පර්යේෂණයන් කරනවානේ. අපිට පැළ ගලවාගෙන ගිහිල්ලා පර්යේෂණ කරන්න බැහැ. මොකද එතැන තියෙන්නේ ඉතා සීමිත පැළ සංඛ්‍යාවක්. ඒ නිසා ඒ පැළ සංරක්ෂණය කිරීමේ ක්‍රියාවලියකුත් මේ වෙද්දි අපි කරගෙන යනවා. අපි ඒ ශාක සිතියම්කරණය කිරීමේ වැඩසටහනක් කරනවා. ඒ කියන්නේ මේ ශාකය තිබෙන පරිසර පද්ධතිය හා සමාන හෝ සියයට අනූවක්වත් ගැළපෙන පරිසර පද්ධති අපි ලංකාවෙන් සොයාගන්න ඕනේ. ඊටපස්සේ ඒ තැන්වලට ගිහිල්ලා මේ පැළ සිටුවලා ව්‍යාප්ත කරන්න ඕනේ. ඒ වගේම මේ ශාකය බෝ කිරීමේ ක්‍රමයකුත් අපි හොයාගන්න ඕනේ. ඒවායේත් පර්යේෂණ අපි දැන් පටන් අරගෙන තියෙන්නේ. නැත්නම් හදිසියේවත් මිනිස් ක්‍රියාකාරමක් නිසා මේ ශාක මේ ස්ථානයෙන් නැතිවෙලා ගියොත් ලෝකයටම නැතිවෙලා යනවා.