Friends of the earth


වසර තිස් එකක් මුළුල්ලේ ලංකාවේ පරිසර පද්ධතියේ ආරක්ෂාව සහ පැවැත්ම සම්බන්ධයෙන් පරිසරවේදී හේමන්ත විතානගේ මහතා කළ සේවය අතිවිශාලය. පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ලෙස ඔහු පසුගිය දාහත් වසර තුළ කටයුතු කළ අතර, පසුගියදා එයින් ඉවත් විය. මේ වන විට ඔහු පරිසර යුක්ති කේන්ද්‍රයේ ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරට පත්ව ඇති අතර, පසුගියදා Friends of the earth ජාත්‍යන්තර සංවිධානයේ සභාපති තනතුරටද තේරී පත්විය. එම තනතුර සඳහා දකුණු ආසියාවෙන් තේරී පත්වුණු පළමු පුද්ගලයාද හේමන්ත විතානගේ මහතාය. මේ ඔහු සමග කළ සාකච්ඡාවකි.

Friends of the earth international සංවිධානය පිළිබඳව හඳුන්වා දුන්නොත්?

Friends of the earth international කියන්නේ ලෝකයේ තිබෙන ලොකුම පාරිසරික සංවිධානය. මේ සංවිධානයේ රටවල් 73ක සාමාජිකයන් සිටිනවා. ආසියාවේ රටවල් දොළහක් මෙහි සාමාජිකයෝ. යුරෝපයේ රටවල් තමයි වැඩියෙන්ම මෙහි සමාජිකත්වය අරගෙන තිබෙන්නේ. 1971 වසරේදී එංගලන්තය, ඇමරිකාව, ප්‍රංශය ඇතුළු රටවල් එකතුවෙලා තමයි Friends of the earth සංවිධානය ආරම්භ කරන්නේ. පසුගියදා එහි පනස්වැනි සංවත්සරය සැමරුවා. මොවුන් වැඩ කරන්නේ ලෝකයේ බිම් මට්ටමේ ඉන්න ප්‍රජාව සමග. අපේ ප්‍රධාන වශයෙන් වැඩසටහන් හතරක් තිබෙනවා. ඒ දේශගුණික සාධාරණත්වය සහ බලශක්තිය, ආහාර සුරක්ෂිතතාව, ජෛව විවිධත්වය පිළිබඳ බලපෑම් කිරීම, ආර්ථික සාධාරණත්වය යන වැඩසටහනුයි. මෙහිදී අපි පිළිගන්නවා පුරුෂාධිපත්‍ය තුළින් විශාල බලපෑමක් ලෝකයට එල්ල කරලා තිබෙනවා කියලා. ඒ නිසා අපි කාන්තාවන්ගේ අයිතිය තදින්ම පිළිගන්නවා. ඒ වගේම ලෝකයේ රටවල් පරිසරය සම්බන්ධයෙන් සිද්ධ කරන කාරණාවලදී රජයන්, විශාල සමාගම් එල්ලකරන බලපෑම් හරහා බලපෑම් එල්ල කරන්න කටයුතු කරනවා. ලෝකයේ පවතින ක්‍රමවේද හරහා බලවත් ජාතීන්, බලවත් සමාගම් ලොකු බලපෑමක් ලෝක පරිසරයට එල්ල කරනවා. ඒ සඳහා නොයෙකුත් ක්‍රමවේදයන් ධනවාදය හරහා ඔවුන් හදාගෙන තිබෙනවා. මේ නිසා ලෝකයේ ඉන්න බහුතර ප්‍රජාවකට ලෝකයේ තිබෙන සම්පත් භුක්ති විඳින්න බැහැ. සුළු කොටසකගේ සම්පත් අධිභාවිතය නිසා ඇතිවෙලා තිබෙන පාරිසරික, සාමාජීය, ආර්ථික ගැටලුවලට බහුතරයට මුහුණ දෙන්න වෙලා තිබෙනවා. මෙවැනි දේවලට පෙනී සිටින සංවිධානයක් ලෙස Friends of the earth සංවිධානය හඳුන්වන්න පුළුවන්. මේ හරහා අපි එක්සත් ජාතීන්ගේ සංවිධානයට සැමටම එක ලෙස යටත් වන නීතියක් ගෙන ඒමට යෝජනා කරලත් තිබෙනවා.

ලංකාව තුළ සිදුවන පරිසර හානි සඳහා මෙමගින් සිදුකළ හැකි කාර්යය කෙබඳුද?

ලංකාවේ අපි කරන බොහෝ සංවර්ධන කටයුතුවලදී බොහෝ පරිසර විනාශයක් සිදුකරනවා. ඒ වගේම දිගුකාලීනව නිවැරදි තීරණ ගෙන නෙවෙයි පරිසර කළමනාකරණය කරන්නේ. අපේ කැළි කසළ කළමනාකරණය වැරදියි. වනාන්තර විනාශය වැරදියි. අපේ වගාවන් විශාල වශයෙන් කෘමිනාශක, වල්නාශක යොදාගෙන සිදුකරන්නේ. ජාන තාක්ෂණ ආහාර සම්බන්ධයෙන් විශාල ගැටලු තිබෙනවා. රසායනික ද්‍රව්‍ය ලංකාවට ගෙනත් කරන හානි තිබෙනවා. ඒ වගේම දේශගුණික විපර්යාසවලදී ලංකාව කටයුතු කරන ආකාරය හොඳටම මදි. මේ දේවල් නිසා අපිට වෙන වෙන රටවල තිබෙන අත්දැකීම් භාවිත කරමින් අපි කොහොමද ලංකාව නිවැරදි පාරිසරික වෙනසකට භාජනය කරන්නේ කියන එක මෙතනදි වැදගත් වෙනවා. ඒ වගේම විවිධ රටවල තිබෙන සංවිධාන හරහා අපිට වෙනස් ගමනක් යන්න පුළුවන් වෙනවා. විශේෂයෙන් බහුජාතික සමාගම් මගින් සිදුකරන විශාල පරිසර හානි සම්බන්ධයෙන් අපට කටයුතු කිරීමට හැකියි. ඒ වගේම වෙනත් රටවල තිබෙන බහුජාතික සමාගම් ලංකාවට ඇවිත් කරන බලපෑම ඔවුන්ගේ රටේදීම ප්‍රශ්න කිරීමට භාජනය කරන්න පුළුවන්. ඊට හොඳම උදාහරණය තමයි නෙදර්ලන්ත ෂෙල් කම්පැනියක් නයිජීරියාවේ සිදුකරන හානියට විරුද්ධව නෙදර්ලන්තයේදීම නඩු මගට ගෙනයන්නට Friends of the earth සංවිධානයට හැකි වුණා. ඒ වගේම ඉන්දුනීසියාව, මැලේසියාව වැනි රටවල සිදුකරන කටුපොල් වගාව නිසා විශාල හානියක් සිදුවනවා. ඒ කටුපොල් වගාව අවසානයේ විකිණෙන්නේ යුරෝපීය රටවලට. එතකොට අපට යුරෝපීය රටවල්වලින් ප්‍රශ්න කරන්න පුළුවන්. ඒ වගේම අපි වගේ රටවල ප්‍රතිපත්ති සකස් කිරීමේදී අනෙක් රටවල සහයෝගය ලබාගන්න පුළුවන්. ඒ වගේ දේවල් අපේ රටේ පරිසරය සුරැකීම සඳහා භාවිත කරන්න පුළුවන්.

අපි ලංකාව ඇතුළේ පරිසර ආරක්ෂණය සම්බන්ධයෙන් බලපෑමක් එල්ල කරද්දි අපිටත් අනිත් පැත්තෙන් බලපෑම් එල්ල වෙනවා. ඒ වගේ අවස්ථාවලදී අපි තනිවෙලා නැහැ කියලා අපිට පෙන්වන්න පුළුවන්. මොකද අනෙක් රටවලුත් අප සමග ඉන්න නිසා. අපි දන්නවා ලෝකයේ පරිසරය වෙනුවෙන් වැඩ කරන බිම් මට්ටමේ පුද්ගලයන්ට තමයි විශාල වශයෙන් තර්ජන එල්ල වන්නේ. ඒ තර්ජනයන්වලදී අපි තනියම නෙවෙයි ඉන්නේ කියන දේ ඔවුන්ට දැනෙන්න ඉඩහරින්න පුළුවන්.

ලංකාව Friends of the earth සමග අත්වැල් බැඳගන්නේ කොහොමද?

ලංකාව මුලින්ම Friends of the earth සමග සම්බන්ධ වෙන්නේ 2000 වසරේදී. ‘%පරිසර පදනම’ කියන ආයතනය තමයි ඒ අවස්ථාවේදී ඔවුන් සමග එකතු වෙන්නේ. 2002 වසරේ ඉඳලා මම වසර දෙකක් එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් වුණා. නමුත් 2003දී අපි හිටපු ආයතනයෙන් ඉවත් වෙනවානේ. 2004දී අපි පිහිටුවන පරිසර යුක්ති කේන්ද්‍රය 2008 ඉඳලා දිගටම Friends of the earth සමග අත්වැල් බැඳගන්නවා. 2010 ඉඳලා 2018 වෙනකල් මම Friends of the earthහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් වෙනවා. එක් වතාවකදී භාණ්ඩාගාරික, උපසභාපති වැනි තනතුරු දරලා තිබෙනවා.

පරිසර යුක්ති කේන්ද්‍රය ආරම්භයේ සිට ඔබ විශාල සහ ඓතිහාසික කාර්යයන් රැසක් සිදුකළා. ඒ ගැන සඳහන් කළොත්?

ඔව්. අපි දාපු එප්පාවල පොස්පේට් නිධිය සම්බන්ධ නඩුකරය, වේරගම්පිට නඩුකර වගේ නඩුකර අදටත් නීතිය පිළිබඳ විශ්ව විද්‍යාලවල උගන්වනවා. 2005න් පස්සේ අපි ජාන තාක්ෂණ ආහාර ලේබල් කළ යුතුයි කියලා නඩුවක් දැම්මා. ඒ නඩු තීන්දුව දැන් ලැබිලා, ඒ සඳහා නීතියක් ලංකාවේ සකස් කරලා තියෙනවා. 2009දී අපි ඡන්ද පෝස්ටර් වෙනුවෙන් නඩුවක් දැම්මා. 2012දී එහි තීන්දුව ලැබුණත්, ආණ්ඩුව ඒක කළේ නැහැ. ආයෙත් අපි 2019දී මෝසමක් දැම්මා. ඒ වගේම 2015දී අපි විල්පත්තු නඩුව දැම්මා. 2020දී ඒ නඩුව අපි ජයග්‍රහණය කරනවා. ඒ නඩු තීන්දුවත්, එප්පාවල නඩු තීන්දුව වගේම ඉතාම වටිනා නඩු තීන්දුවක්. විශේෂයෙන්ම %‘දූෂකයා ගෙවිය යුතුය’යන කාරණය ඒ තීන්දුව මගින් ගෙන එන්නට අපට හැකි වුණා. ඒ වගේම එප්පාවල නඩු තීන්දුව හරහා තමයි ‘%සම්පත් ජනතාවගේ - ආණ්ඩුව භාරකාරයා පමණයි’ කියන සංකල්පය එන්නේ. ඒ වගේම තීන්තවල ඊයම් සම්බන්ධ නඩුව, 2019 කුණු කන්ටේනර් නඩුව ඇතුළු නඩු අපි දැම්මා. මේ වගේ නඩු මගේ පරිසර දිවිය තුළ 300ක් පමණ දාලා තිබෙනවා. ඊට අමතරව අපි විවිධ වැඩමුළු, පර්යේෂණ කළා. වකුගඩු රෝගය පිළිබඳ පර්යේෂණ කළා. 2005 ඉඳලා 2019 වසර වනතුරු අපි රට වටා පරිසර දින වැඩසටහනක් කළා. ඒ වගේම රට වටා වනාන්තර ආරක්ෂණය සම්බන්ධයෙන් විවිධ කණ්ඩායම් සකස් කරලා තිබෙනවා. මිනිසුන්ට පරිසර ප්‍රශ්න ඉදිරිපත් කරන්න ජංගම දුරකථන යෙදවුමක් හදලා තිබෙනවා. පහුගිය වසර 17ට අපි මේ වගේ විශාල වැඩ කොටසක් කරලා තිබෙනවා.

ඔබ පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ලෙස සිටි කාලයේදී කළ කාර්යයන් පිළිබඳ තෘප්තිමත් වෙනවාද?

ඇත්තටම විශාල වශයෙන් සෑහීමකට පත්වෙනවා. මම වැඩ කළ ආයතනයේ විධායක අධ්‍යක්ෂ ධුරය දැරුවත්, අපේ හැඟීම්වලට යටත්ව වැඩ කරන්න ලැබුණේ නැහැ. ඒ නිසාම තමයි මම එයින් ඉවත් වෙන්නේ. පරිසර යුක්ති කේන්ද්‍රයෙන් ගහකොළට සිදුවන අසාධාරණය වගේම මිනිසාට සිදුවන අසාධාරණය වෙනුවෙනුත් කටයුතු කරන්න ලැබුණා. විශේෂයෙන් පරිසර යුක්තිය කියන දේ ගෙන එන්න අපට හැකි වුණා. පොහොසත් මනුස්සයාට පරිසරය විනාශ වුණා කියලා ලොකු ගැටලුවක් නැහැ. දුප්පත් මනුස්සයා තමයි එයින් හානියට පත්වෙන්නේ. අපි දන්නවා ඇතැම් පුද්ගලයන් සහ සංවිධාන දේශපාලන ගැතිභාවයකින් තමයි බොහෝවිට පරිසර ප්‍රශ්නවලට විසඳුම් සොයන්නේ. නමුත් අපිට කිසිඳු දේශපාලන පක්ෂයකට ගැති නොවී කටයුතු කරන්නට හැකි වුණා. අපිට පක්ෂ භේදයකින් තොරව, ජාති භේදයකින් තොරව, වර්ණ භේදයකින් තොරව පරිසර ප්‍රශ්නවලදී එකට එකතු වෙලා වැඩ කරන්න ලැබුණා. ඒ වගේම පරිසර ආරක්ෂාව සම්බන්ධයෙන් උසස් ප්‍රමිතියක් නිර්මාණය කරන්නට අපි හැකි වුණා. අපිට ඇත්තටම මේ රටේ මිනිසුන්ගෙන් විශාල ප්‍රසාදයක් ලැබුණා. අපි කවදාහරි දවසක මැරිලා ගියත් අපි කරපු දේවල් මේ පොළොවේ රඳා පවතිනවා.



Recommended Articles