ඩී.එන්.ඒ අපගේ සිරුරේ බොහෝ සෛල තුළ දක්නට ලැබෙන අතර, එය අප එකිනෙකාට අවේණික වේ. එම නිසා අප යන සෑම තැනකම එම ඩී.එන්.ඒ අප එහි සිටිය බවට සාක්ෂි ලෙස ඉතිරි වේ. මෙලෙස ඉතිරි වන ඩී.එන්.ඒ මගින් ප්‍රයෝජන ගන්නා අධිකරණ වෛද්‍යවරුන්ට හා පරීක්ෂකවරුන්ට අප සිටියේ කොතැනද, සබඳතා පවත්වා ඇත්තේ කවුරුන් සමගද යන වග නිගමනය කිරීමට හැකියාවක් ඇත.
උදාහරණයක් ලෙස සමූහ මිනී වළවල් අධික්ෂණයේදී , ස්ත්‍රී දූෂණයකදී වරදකරුවන් හඳුනා ගැනීම, වරදට පත්කිරීම සහ නිවැරදිකරුවන් නිදොස් කිරීම, ස්වාභාවික ව්‍යවසනවලදී මියගිය පුද්ගලයන් හඳුනා ගැනීමට හෝ අතරමං වූ දරුවන්ගේ නියම දෙමවුපියන් හඳුනා ගැනීම වැනි බොහෝ අවස්ථාවලට ඩී.එන්.ඒ/ජාන තාක්ෂණය යොදාගත හැකිය. එහෙත් ඩී.එන්.ඒ සාක්ෂිවලටද අනෙකුත් රසායනාගාර පරීක්ෂණ මෙන් සීමාවන් ගණනාවක් තිබේ. සමහර අවස්ථාවලදී පරීක්ෂණ ප්‍රතිඵල හඳුනා ගැනීමට නොහැකි වීම(undetected ), ව්‍යාජ ධනාත්මක (false positive) හෝ ව්‍යාජ සෘණාත්මක (false negative) ප්‍රතිඵල ලැබීම තුළින් අර්ථකථන අසීරු විය හැක. නමුත් මෙය සිදුවන්නේ ඉතාමත් කලාතුරකිනි.
මෙලෙස මෙම ඩී.එන්.ඒ තාක්ෂණය අපරාධ පරීක්ෂණ විද්‍යාවේදී යොදාගන්නා එක් පැතිකඩක් පමණි. එනම් යම් අපරාධයක් සිදුවූ ස්ථානයක තිබී යම් පුද්ගලයෙකුගේ ඩී.එන්.ඒ හමුවීම තුළින්ම පමණක් එම පුද්ගලයා වැරදිකරුවෙකු කළ නොහැක. මේ සඳහා අනිකුත් සාක්ෂි සියල්ල සලකා බැලීම වැදගත් වේ.
උදාහරණක් ලෙස යම්කිසි මනුෂ්‍ය ඝාතනයක් සිදුවූ වෙළෙඳසලක් ඉදිරිපිට පදික වේදිකාවක් සලකමු. එම සිදුවීම ජනවාරි 3 වෙනි දින දහවල් 1.00ට සිදුවී ඇත. නමුත් යම් පුද්ගලයෙකු එම ස්ථානයේම ජනවාරි 2 වෙනි දින රාත්‍රී නිදා සිට උදෑසන පිටව යාමේදී මුඛය සෝදා කෙළ ගසා ගොස් ඇතත්, එම පුද්ගලයා අපරාධය සිදුවන ජනවාරි 03 වෙනිදා දහවල් 1.00ට එම ස්ථානයේ හෝ එම ස්ථානය අසලකවත් සිට නැත. නමුත් පරීක්ෂණ කිරීමේදී එම නිදාසිටි පුද්ගලයගේද ඩී.එන්.ඒ හමුවීමට ඉඩ තිබේ. එලෙස හමුවන ඩී.එන්.ඒ අප පසුබිම් ඩී.එන්.ඒ (Background DNA) ලෙස හඳුන්වනු ලබයි. එසේ හමුවූ පමණින් එම පුද්ගලයා වැරදිකරුවෙකු නොවේ. වැරදිකරු සොයාගැනීමට අනිකුත් සියලුම සාක්ෂි සලකා බැලීම වැදගත් වන්නේ ඒ නිසාය.
මේ නිසා අධිකරණ වෛද්‍යවරුන් හා විද්‍යාඥයන් විසින් ඔවුන්ගේ ක්‍රමවේදය සෑමවිටම සහතික කරමින් ඒවායේ වැරදි අවම කර ගැනීම සඳහා මහත් සැලකිල්ලක් දක්වයි. සෑම සාක්ෂියක්ම නිවැරදිව ඉතා ඕනෑකමින් විශේෂ පුහුණුවක් ලත් පිරිසක් මගින් පරික්ෂා කිරීම සිදුකරන අතර, භාවිත කරන සියලුම උපකරණ ක්‍රමාංකනය කර නිසි ප්‍රමිතියෙන් පවත්වාගෙන යාම මගින් වැරදි ඉතා අවම කරගැනීමට වගබලා ගනී. එසේවුවද ඉතා කලාතුරකින් වැරදි සිදුවිය හැකිය. මෙම විශේෂාංග ලිපිය තුළින් අපි දැනට පවතින ඩී.එන්.ඒ තාක්ෂණය අපරාධ පරීක්ෂණ විද්‍යාවේදී යොදාගන්නා ආකාරය, එහි සීමාවන් සහ අනාගතයේදී කුමක් විය හැකිද යන්න පිළිබඳව යම් අවබෝධයක් ලබාදීමට අපේක්ෂා කරන්නෙමු. ඒ සඳහා අපි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කාය ව්‍යවච්ඡේදන අධ්‍යයනාංශයේ කථිකාචාර්ය, ප්‍රවේණි වෛද්‍යවේදී වෛද්‍ය සජිත් එදිරිසිංහ මහතා %අද^ ට සම්බන්ධ කර ගතිමු.
අපරාධයක් සිදුවූ ස්ථානයකින් ඩී.එන්.ඒ තාක්ෂණයට යොදාගත හැක්කේ මොනවාද?
ඩී.එන්.ඒ අනුවක් තුළ ජාන විශාල ප්‍රමාණයක් අන්තර්ගත වේ. අප සිරුරේ ඇති 99.9% ක් ම ඩී.එන්.ඒ අණු සියලු මිනිසුන්ගේ සමාන වන අතර, 0.1෴ක් ඩී.එන්.ඒ අණුවල සිදුවන වෙනස්වීම් නිසා අප සියලු දෙනා එකිනෙකාගෙන් හාත්පසින්ම වෙනස් වේ. මෙම 0.1% වූ ඩී.එන්.ඒ වෙනස්කම් අපරාධ පරීක්ෂණ විද්‍යාවේදී මුලික අවධානයට ලක් කරයි. මෙමගින් අපරාධයක් සිදුවූ ස්ථානයකින් ලබාගන්නා නිදර්ශකවලින් එක් එක් පුද්ගලයාට ආවේණික ඩී.එන්.ඒ පැතිකඩවල් (DNA profiles) හෙවත් ඩී.එන්.ඒ ලිපිගොනු නිර්මාණය කිරීමේ හැකියාවක් පවතී. මෙලෙස නිර්මාණය කළ ඩී.එන්.ඒ පැතිකඩවල් හෙවත් ඩී.එන්.ඒ ලිපිගොනු අප යම් අපරාධ ස්ථානයකින් එකතු කරගත් සාම්පල මගින් නිපදවන ඩී.එන්.ඒ පැතිකඩවල් හෙවත් ඩී.එන්.ඒ ලිපිගොනු සමග සංසන්දනය කිරීමෙන් මෙම අපරාධයට යම් යම් පුද්ගලයන්ගේ ඇති සහභාගීත්වය සහ දායකත්වය තීරණය කළ හැක. මේ සඳහා දීර්ඝ කාලයක සිට සෑම අපරාධයකදීම එකතු වන දත්ත පොදු ගබඩාවකට ඇතුළත් කිරීම සහ දෛනිකව යාවත්කාලීන කිරීමක් සිදුකෙරේ. මෙමගින් ඉතා පහසුවෙන් පරීක්ෂණ කටයුතු සිදුකරගැනීමට හැකියාවක් පවතී.
ඔබ දැනටමත් දන්නා පරිදි අප ශරීරයේ රතු රුධිරාණු හැර අනෙකුත් සියලුම සෛලවල ඩී.එන්.ඒ දැකිය හැක . එමෙන්ම අප ශරීරයෙන් නිරන්තරයෙන් ස්වාභාවිකව සෛල ගැලවීමකට හෝ හැලීමට ලක්වේ. එය අපට පියවි ඇසින් දැකිය නොහැක. වෙනත් ආකාරයකට කිවහොත් ඔබ යම්කිසි ස්ථානයක සිටියේ නම් ඔබ ඔබගේ ඩී.එන්.ඒ වාර්තාව එම ස්ථානයේ තබා ගොස් ඇත. උදාහරණයක් කිවහොත් ඔබගේ සිරුරෙන් ගැලවී යන සෛල ඔබගේ නිවසේ දූවිල්ල තුළ ඇත. ඔබගේ තොලේ ඇති සෛල ජලය පානය කළ වීදුරුවේ ඇත. ඔබගේ හිසකෙස්වල මුල් කොටසේ ඇති සෛල ඔබගේ හිස පීරන පනාවේ ඇත. එමෙන්ම ඔබ නිවසකට ඇතුළු වීමේදී අගුල අරින විට අතේ ඇති සෛල එම අගුලේ රැඳී පවතී. තවත් ආකාරයකින් කිවහොත් ඔබ කොතැනක සිටියත්, කුමක් කළත් ඔබ ස්පර්ශ කරන හෝ භාවිතකරන සියලුම දේ මත ඔබගේ සිරුරෙන් ගැලවී යන සෛල තිබීමෙන් ඔබගේ ඩී.එන්.ඒ පැතිකඩවල් හෙවත් ඩී.එන්.ඒ ලිපිගොනු පහසුවෙන් නිර්මාණය කරගත හැක. මේ සඳහා අපට අවශ්‍ය වන්නේ ඔබෙගේ සිරුරෙන් ගැලවී යන නිවැරදි සෛල 8-10ක් වැනි ඉතා කුඩා ප්‍රමාණයකි.
තාක්ෂණයේ දියුණුවත් සමග ඩී.එන්.ඒ අණු සොයා ගැනීමට සහ විශ්ලේෂණය කිරීමට විවිධ රසායනාගාර පරීක්ෂණ ගණනාවක් යොදා ගනී. මෙම විවිධ රසායනාගාර පරීක්ෂණ මගින් ඩී.එන්.ඒ අණුව සම්පූර්ණයෙන්ම හෝ අවශ්‍යතාව මත අදාළ කොටසක් හෝ විශ්ලේෂණය කිරීමට හැකියාවක් පවතී.
සෛලයේ න්‍යෂ්ටියට අමතරව සෛලයේ ශක්ති නිෂ්පාදනයට උපකාරී වන මයිටකොන්ඩ්‍රියම් නම් කොටසක්ද සෛලය තුළ ඇත. එම කොටස තුළද වෘත්තාකාර ඩී.එන්.ඒ අණු දැකිය හැක. මයිටකොන්ඩ්‍රිය ඩී.එන්.ඒ (Mitochondrial DNA) අනුන්‍යෂ්ටික ඩී.එන්.ඒ අණු තරමටම අපට වැදගත් තොරතුරු සපයන්නේ නැති නමුත්, අධිකරණ වෛද්‍ය පරීක්ෂණවලදී අප මෙම මයිටකොන්ඩ්‍රිය ඩී.එන්.ඒ අණුද උපකාරී කරගන්නා අවස්ථාද ඇත. විශේෂයෙන්ම මරා දමා හඳුනාගත නොහැකි ලෙස පුලුස්සා දමන ලද මළසිරුරු හෝ ඝාතනය කර රහසේ වළ දැමීමෙන් පසු අධික ලෙස නරක් වූ මළසිරුරු හඳුනා ගැනීමට මෙම මයිටකොන්ඩ්‍රිය ඩී.එන්.ඒ අණු බෙහෙවින් උපකාරී වේ. වෙනත් ආකාරයකින් කිවහොත් , මනුෂ්‍ය ඝාතනයක් සිදුකර එම මළසිරුර කොතරම් උත්සාහ දරා හඳුනාගත නොහැකි තත්ත්වයට පත් කළද, රසායනාගාර පරීක්ෂණ මගින් එම මළසිරුරේ අනන්‍යතාව පරීක්‍ෂා කළ හැක.
මෙලෙස අධිකරණ වෛද්‍ය විද්‍යාවේදී ඩී.එන්.ඒ අනු විශ්ලේෂණය කිරීම සඳහා යොදා ගන්නා තාක්ෂණික ක්‍රම මොනවාද ?
ඩී.එන්.ඒ ඇඟිලි සලකුණු (DNA Fingerprinting) / DNA Profiling)
මෙම පරීක්ෂණය මගින් සිදුකරෙන්නේ අපරාධයක් සිදුවූ ස්ථානයෙන් ලබා ගන්නා සාම්පල ඇති ඩී.එන්.ඒ. විශ්ලේෂණය කිරීමෙන් ලබාගන්නා දත්ත සැකකරුවන්ගෙන් ලබා ගන්නා ඩී.එන්.ඒ. සාම්පල විශ්ලේෂණය කර ලබාගන්නා දත්ත සමග සංසන්දනය කිරීමකට ලක් කරයි. මෙලෙස ලබාගන්නා දත්ත අපරාධ ස්ථානයේ ඇති අනිකුත් සාක්ෂි සමගද සලකා බලා සැකකරු හඳුනා ගැනීමට උපයෝගී කරගත හැකිය.
අපරාධ පරීක්ෂණ කරන විටදී යම් යම් අවස්ථාවලදී ලැබෙන සාම්පලවල පවතින ඩී.එන්.ඒ. ප්‍රමාණය ඉතා අල්ප වීමට ඉඩ ඇත. එහිදී %STR profiling^ පරීක්ෂණය යොදා ගනු ලබයි. මෙහි ඇති විශේෂත්වය වන්නේ සම්පූර්ණ ඩී.එන්.ඒ. අනු සියල්ලම විශ්ලේෂණය නොකර අවශ්‍ය කොටස් කිහිපයක්(Short tandem repeat ලෙස එම කොටස් හඳුන්වා දිය හැකිය) පමණක් විශ්ලේෂණය කර සැකකරුවන් හඳුනා ගැනීමයි. රූපය - 1 හි දක්වා ඇති පරිදි පුද්ගලයාගෙන් පුද්ගලයාට %Short tandem repeat(STR)^ වෙනස්ය. ඔබගේ අවධානය %STR site 1^ වෙත යොමු කළහොත් පළමු පිරිමියාගේ Short tandem repeat 7ක් ලෙසද, දෙවැනි කාන්තාවගේ එය 4ක් ලෙසද, අවසාන පිරිමියාගේ එය 12ක් ලෙසද දැකිය හැකිය. එම වෙනස් කම් මත අපට එක් පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයෙකු පහසුවෙන් වෙන් කර හඳුනා ගත හැකිය.
ඇමෙරිකා එක්සත් ජනපදයේ %FBI^(Federal Bureau of Investigation) ආයතනය මගින් මෙම %Short tandem repeat^ කොටස් 13ක් %STR profiling^ තාක්ෂණය සඳහා තෝරාගෙන එය %Combined DNA Index System^ (CODIS) ලෙස භාවිතා කරයි . සමහර රටවල් (උදා - මහා බ්‍රිතාන්‍යය )වල එම තෝරාගැනීම වෙනස් උවද, එම තෝරා ගැනීම් සියල්ලටම පාදක වන්නේ %Short tandem repeat^ කොටස්ය.
දැන් අප පහත රූපය - 2 කෙරෙහි අවධානය යොමු කරමු. එය සරලව විස්තර කළහොත් යම් අපරාධ පරීක්ෂණයකට අදාළ සියලු සැකකරුවන් සහ අපරාධය සිදුවූ ස්ථානයේ තිබී සොයාගත් සාම්පලවල ඩී.එන්.ඒ ඇතුළත් කර PCR(Polymerase chain reaction) නමැති පරීක්ෂණය කළ විට ලැබෙන ප්‍රතිඵලයයි.
එහි පළමු තීරුවෙන් දක්වා ඇත්තේ අපරාධයක් සිදුවූ ස්ථානයේ තිබී සොයාගත් සාම්පලයකින් පිළියෙළ කළ ඩී.එන්.ඒය. දෙක, තුන සහ හතර යන තීරුවල දක්වා ඇත්තේ යම්කිසි අපරාධයකට සැකකරන සැකකරුවන් තුන් දෙනෙකුගේ ඩී.එන්.ඒ. සම්පලයි. මෙහිදී අපරාධ ස්ථානයෙන් ලබාගත් සාම්පලය සහ දෙවැනි සැකකරුගේ සාම්පලය නිවැරදිව සැසඳේ (කහ පාටින් කොටුකර ඇත). එමගින් අපර අනෙකුත් සාක්ෂිද සලකා බලා එම අපරාධයට දෙවැනි සැකකරු සම්බන්ධ බවට නිගමනය කළ හැකිය.
මෙම තාක්ෂණය 2004 වසරේදී සිදුවූ සුනාමි ව්‍යවසනයේදී අතරමං වූ දරුවන්ගේ නිවැරදි දෙමවුපියන් සොයාගැනීමටද භාවිතා කර ඇත. එමෙන්ම නීතිමය කටයුත්තකදී දරුවෙකුගේ සැබෑම පියා හෝ මව තීරණය කිරීමටද මෙම තාක්ෂණය භාවිතා කළ හැකිය. රටක ආරක්ෂක අංශයන්හි රාජකාරියේ නිරත සොල්දාදුවන් හඳුනා ගැනීමටද මෙම ඩී.එන්.ඒ තාක්ෂණය යොදාගත හැකිය.
Y වර්ණදේහ විශ්ලේෂණය (Y chromosome analysis)
Y වර්ණදේහය පිහිටා ඇත්තේ පිරිමි පුද්ගලයන්ගේ පමණි . එමෙන්ම මෙම Y වර්ණදේහය තම පියාගෙන් පුතාට පමණක් ගමන් කරයි. වෙනත් ආකාරයකින් කිවහොත් එකම පවුලේ පිය පාර්ශ්වයේ සියලුම සහෝදරයන් තුළ මෙම එකම Y වර්ණ දේහයන් පවතී.
ස්ත්‍රී දූෂණයක් සිදුවූ විටකදී මෙම Y වර්ණදේහ විශ්ලේෂණය සැකකරුවන් හඳුනා ගැනීමට ඉතා උපකාරී වේ.
මයිටකොන්ඩ්‍රීය ඩී.එන්.ඒ අණු විශ්ලේෂණය(Mitochondrial DNA analysis)
ඉහත සඳහන් කළ පරිදි සෛල තුළ ඇති, මයිටකොන්ඩ්‍රිය තුළ වෘත්තාකාර මයිටකොන්ඩ්‍රිය ඩී.එන්.ඒ අණු පිහිටා තිබේ. අපරාධ පරීක්ෂණ කරන විටදී යම් යම් අවස්ථාවලදී ලැබෙන සාම්පලවල පවතින ඩී.එන්.ඒ ප්‍රමාණය ඉතා අල්ප වීමට ඉඩ තිබේ . එසේ වීමට හේතු ගණනාවක් ඇත. පාරිසරික හේතුන් නිසා (දැඩි උණුසුම , රසායනික සංයෝග ,ජලය , හිරු එලිය) සෛල විනාශවී න්‍යෂ්ටික ඩී.එන්.ඒ විනාශ වීමේ ප්‍රවණතාවක් ඇත. එවැනි අවස්ථාවකදී මෙම මයිටකොන්ඩ්‍රිය ඩී.එන්.ඒ අණු අපට ප්‍රයෝජනයට ගත හැකිය. මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙම මයිටකොන්ඩ්‍රිය ඩී.එන්.ඒ අණු සියල්ල ඔබට උරුම වන්නේ ඔබගේ මවගෙන් වීමයි. එනම් ඔබගේ මවු පාර්ශ්වයේ ඥාතීන් තුළ එකම වර්ගයේ මයිටකොන්ඩ්‍රිය ඩී.එන්.ඒ අණු පිහිටා තිබේ.
SNP analysis
ඉහත සඳහන් කළ පරිදි විවිධ පාරිසරික හේතුන් නිසා ඩී.එන්.ඒ විශාල වශයෙන් විනාශ වී හෝ පිරිහී ඇති විටකදී මෙම %SNP^ (single nucleotide polymorphisms) analysis තාක්ෂණය භාවිතාවට ගත හැකිය. මෙම SNP ඉහත අංක 1හි සඳහන් කළ Short tandem repeatවලට වඩා බහුලව දැකිය හැකිය.
Next Generation Sequencing
මෙය තාක්ෂණයේ එක් දියුණුම අවස්ථාවක ඇති පරීක්ෂණයක් කිවහොත් නිවැරදිය . මෙය ඉතා විශාල ප්‍රයෝජන ගණනාවක් ලබාගත හැකි පරීක්ෂණයකි. මෙම පරීක්ෂණය තුළින් අප කලින් සඳහන් කළ/ නොකළ විවිධ පරීක්ෂණ ගණනාවක් (STR profiling, Bio geographic ancestry testing සහ Phenotyping යන අධිකරණ වෛද්‍ය විද්‍යාවේ ජාන තාක්ෂණයට උපකාරී වන පරීක්ෂණ) එකවර සිදුකිරීමේ හැකියාවක් තිබේ. නමුත් මෙම Next - generation sequencing^ පරීක්ෂණය දැනට අධිකරණ වෛද්‍ය විද්‍යාවේ පරීක්ෂණවලට භාවිතා වන්නේ ඉතා අල්ප වශයෙනි. එම භාවිතා වීමද පවතින්නේ ප්‍රථමික අවධියකය.
ශ්‍රී ලංකාව තුළ අපරාධ පරීක්ෂණ විද්‍යාව සඳහා තාක්ෂණය භාවිතා වෙනවාද?
ඔව් . ශ්‍රී ලංකාව තුළ අපරාධ පරීක්ෂණ විද්‍යාව සඳහා ඩී.එන්.ඒ තාක්ෂණය පළමු වරට භාවිතා කර ඇත්තේ හෝකන්දර ප්‍රදේශයේදී සිදුවූ මනුෂ්‍යය ඝාතනයක (එකම පවුලේ 6 දෙනෙකු) සුල මුල සොයා ගැනීමටයි. එදා පටන් විවිධ අවස්ථාව සඳහා ඩී.එන්.ඒ තාක්ෂණය ප්‍රායෝගිකව භාවිතා කර තිබෙනවා. (උදා - 2004 වසරේදී ඇතිවූ සුනාමි අවස්ථාවේදී - Baby 81). නමුත් ලොව අනෙකුත් රටවල් සමග සැසඳීමේදී ශ්‍රී ලංකාවේ ඩී.එන්.ඒ තාක්ෂණය අපරාධ පරීක්ෂණ සඳහා භාවිතා වීම පවතින්නේ ප්‍රථමික අවධියකය.
නඳුන් ශ්‍යාමාල්