COVID-19 මැඬපවත්වන සටනේ ආසියාව සාර්ථක වූයේ කෙසේද?


COVID-19 හෙවත් නව කොරෝනා වෛරසයෙන් මියගිය අමෙරිකානුවන් මේ වනවිට වියට්නාම යුද්ධයේදී එරටට අහිමි වූ ජීවිත ප්‍රමාණය ඉක්මවා දැන් බොහෝ දුරක් ගොසිනි. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අනුව මරණ සංඛ්‍යාව 100,000ට අඩුව තබා ගැනීම දැන් ඔවුන්ගේ ඉලක්කය වී ඇත.


ඇමෙරිකාවට පසුව බටහිර යුරෝපයේ ප්‍රබල රාජ්‍යයන් රැසක් කොරෝනා වෛරසය හමුවේ අසරණය. මහා බ්‍රිතාන්‍යය, ඉතාලිය, ස්පාඤ්ඤය, ප්‍රංශය, ජර්මනිය, ස්වීඩනය ආදී රටවල් රැසක් මේ ඛේදවාචකයට මුහුණදී ඇත. දකුණු ඇමෙරිකාවේ බ්‍රසීලය ප්‍රමුඛ රාජ්‍යයන් කිහිපයක්ද මේ වනවිට වෛරසය හමුවේ මහා ව්‍යසනයක් අබියසය.

ඇමෙරිකාවේ විරෝධතාකරුවන්


කෙසේ වෙතත් ඇමෙරිකා හා බටහිර යුරෝපා කලාපය මෙසේ දැඩි පීඩනයකට ලක්ව ඇති පසුබිමක, ආසියා පැසිෆික් කලාපයේ රාජ්‍යයන් වෛරසය හමුවේ යම් කම්පාවන්ට මුහුණ දුන්නද, ඒ රටවල් බොහෝමයක් ක්‍රමයෙන් අර්බුදයෙන් නැගී සිටිමින් ඇත. ඔවුන්ගේ ආර්ථික යාන්ත්‍රණයන් ක්‍රියාත්මක කිරීම වඩාත් ප්‍රායෝගික අයුරින් අරඹමින් ඇත. මේ තත්ත්වය තුළ COVID-19 වෛරසය හමුවේ ආසියානුවන් සාර්ථක වී ඇත්තේ කෙසේද යන්න සොයා බලා, ඔවුන්ගෙන් පාඩම් ඉගෙනීමට ඇමෙරිකානු සහ බටහිර යුරෝපා කලාපවලට කාලය එළැඹ තිබේ.

චීනය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, දකුණු කොරියාව, තායිවානය සහ වියට්නාමය ඇතුළු ආසියා පැසිෆික් කලාපයේ ස්ථාන කිහිපයක් විසින් වෛරසය ක්‍රමයෙන් මැඬ පවත්වමින් සිටියි. එම රටවල පුද්ගලයන් 100,000කට වෛරසය ආශ්‍රිත මරණ එක් අයෙකු හෝ ඊට අඩු මට්ටමකට පැමිණ ඇත. මේ නිසා එම රටවල් තවදුරටත් සම්පූර්ණ අගුලු දැමීමක අවශ්‍යතාව පහව යමින් තිබේ.

නමුත් එක්සත් ජනපදයේ මේ වනවිට මරණ සංඛ්‍යාව 67,000කට ආසන්නය. එනම් එරට පුද්ගලයන් 100,000කට මරණ 20ක් පමණ සිදුව ඇත. බටහිර යුරෝපයේද පුද්ගලයන් 100,000කට සිදුවන මරණ සංඛ්‍යාව ඉතා ඉහළය. බෙල්ජියමේ එය 67කි. ප්‍රංශයේ 37කි. ඉතාලියේ 47කි. ජර්මනියේ 8කි. ස්පාඤ්ඤයේ 53කි. ස්වීඩනයේ 26කි.

මේ අතර ආසියාවේ සහ ඕෂනියාවේ වාර්තා වී ඇති අනුපාත සැලකිය යුතු ලෙස අඩු මට්ටමක පවතී. ඔස්ට්‍රේලියාවේ පුද්ගලයන් 100,000කට මරණ 0.4කි. චීනයේ 0.3කි. නවසීලන්තයේ 0.4කි. දකුණු කොරියාවේ 0.5කි. තායිවානයේ 0.03කි. ශ්‍රී ලංකාවේ එය 0.03කි.

මෙවැනි දැඩි විෂමතා පෙනෙන්නට තිබියදීත් ඇමෙරිකාව වෛරසය පාලනය සඳහා වෙනත් රටවල් යොදාගත් උපාය මාර්ග දෙස අන්ධව සිටින්නේ ඇයිද යන්න එරට තුළම සිටින විද්වත්හු හා ජනතාව ප්‍රශ්න කරති. එහිදී ලෝකයේ එක් කොටසක් සාර්ථක වෙද්දී, අනෙක් කොටස සාර්ථකත්වයේ පාඩම් ඉගෙනීම ප්‍රතික්ෂේප කරන්නේ කෙසේද යන්න උභතෝකෝටිකයක් වී තිබේ.

මෙහිදී එක්සත් ජනපදය, මහා බ්‍රිතාන්‍යය, ප්‍රංශය සහ ඉතාලිය හා සැසඳීමේදී ජර්මනියේ ප්‍රයත්නයන්හි ගුණාංග ගැන බටහිර මාධ්‍ය කතා කළද, ඔවුන් විසින් ජර්මනියේ මරණ අනුපාතය තායිවානයට හා හොංකොංවලට වඩා 100 ගුණයකින් වැඩි බව සඳහන් නොකරයි. ඔස්ට්‍රේලියාව, ජපානය, නවසීලන්තය සහ දකුණු කොරියාවට වඩා 10 ගුණයකින් වැඩි බවද සඳහන් නොකරයි.

එංගලන්තය 


ආසියාව සාර්ථක වී ඇත්තේ කෙසේද?

අාසියාව සාර්ථක වීමේදී ප්‍රධාන කාරණය වී ඇත්තේ රජයන්හි වෘත්තීයභාවයයි. එමෙන්ම ජංගම තාක්ෂණයන් භාවිත කිරීම, මුව ආවරණ සහ අත් ආවරණ වැනි සනීපාක්ෂක උපකරණ මහජනතාව පුළුල් ලෙස භාවිත කිරීම, සමාජ දුරස්ථකරණය හා නිතර අත්සේදීම වැනි ක්‍රම වෙත වැඩි වශයෙන් නැඹුරු වීම, ආසාදිතයන් සහ ආසාදනයට ලක්විය හැකි පුද්ගලයන් ස්වයං නිරෝධායනයට ලක්කිරීම සඳහා දැඩි මහජන සෞඛ්‍ය සේවා රට පුරා සෞඛ්‍ය ප්‍රමිතීන් අනුගමනය කරමින් ක්‍රියාත්මක කිරීම දැක්විය හැකිය.

නමුත් ඇමෙරිකාවේ ප්‍රධාන අභිප්‍රාය වී ඇත්තේ COVID-19 පරීක්ෂණ හැකිතාක් සිදුකිරීමය. ඔවුන් එය විශාල වශයෙන් සිදුකරමින් සිටින බව සැබෑවකි. යුරෝපයද ඒ පදයම ගසන බවද සැබෑය. නමුත් ඇමෙරිකාව විශ්වාස කරන්නේ එය වෛරසය සම්බන්ධයෙන් සියල්ල හා අවසානය බවය. නමුත් එය එසේ නොවන බව ඔවුන්ට පැහැදිලි නොවීම අභාග්‍යසම්පන්නය.

නිදසුනක් ලෙස ගැනීමේදී වියට්නාමයේ කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීම සහ ආක්‍රමණශීලී නිරෝධායන ක්‍රියාමාර්ග වඩාත් සාර්ථක වී ඇත. ඔවුන් එක් පුද්ගලයෙකු ධනාත්මක බව සනාථ කළ විගස, ඔහුගේ හෝ ඇයගේ සමීප සම්බන්ධතා දක්වන (රෝග ලක්ෂණ නොමැති අය පවා) නිරෝධායනය සඳහා යොමුකර තිබේ. එහි ප්‍රතිඵලයක් වශයෙන්, වියට්නාමය තුළ COVID-19 පරීක්ෂණ බොහෝ සේ සිදුකිරීමේ අවශ්‍යතාවක් ඇති නොවූ අතර, වෛරසය පැතිරී යාම වඩාත් ඵලදායී ලෙස පාලනය කිරීමට ඔවුන් සමත් වී ඇත. ඒ අනුව මිලියන 95ක ජනගහනයක් වෙසෙන වියට්නාමයේ මේ දක්වා එකදු මරණයක් හෝ වාර්තා නොවීම කැපී පෙනෙයි.

වියට්නාමය


එමෙන්ම නවසීලන්ත රජය විසින් අගුලු දැමීමේ සීමාවන් ලිහිල් කිරීම දැන් අරඹා ඇති අතර, ඔවුන්ට ආසාදනය වන ඕනෑම නව පොකුරක් පරීක්ෂා කිරීමට හා සොයා ගැනීමට දැන් හැකියාවක් ඇති බව නිලධාරීහු පවසති. නවසීලන්ත අගමැති ජසින්ඩා ආර්ඩර්න් රටේ රාජ්‍ය නායිකාව ලෙස ඉතා සංයමයෙන් යුතු වචන භාවිතයද වෛරසය පාලනයට වඩාත් රුකුලක් වී ඇත.

"නවසීලන්තයේ හඳුනා නොගත් පුළුල් ප්‍රජා සම්ප්‍රේෂණයක් දක්නට නැහැ. අප මේ සටන ජයගෙන තියෙනවා. නමුත් එය එලෙසම පවත්වා ගැනීමට නම් අප සුපරීක්ෂාකාරීව සිටිය යුතුයි." ඇය කීවාය. මේ ආකාරයෙන්ම අසියානු හා ඕෂනියානු කලාපයේ බොහෝ රටවල මේ හා සමාන සාර්ථක සිද්ධි අපට දැකගත හැකිය.

නවසීලන්ත අගමැතිනී


දකුණු කොරියාවද COVID-19 සටනේදී ආක්‍රමණශීලී පරීක්ෂණ, සම්බන්ධතා සොයාගැනීම සහ නිතර උණ පරීක්ෂාව වැනි මූලික මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග මගින් වසංගතය බිඳ දැමීමට මූලික වූ රටක් වන අතර, ඔවුන් ඩිජිටල් තාක්ෂණයද ඒ සඳහා මූලික කරගෙන තිබේ. එහිදී මහජනයා දැනුවත් කිරීම සඳහා දකුණු කොරියාව කෙටි පණිවුඩ අනතුරු ඇඟවීමේ පද්ධතියක් භාවිත කරන අතර, විවිධ යෙදුම් මගින් නව COVID-19 සිද්ධීන් සොයාගැනීමට, වෛද්‍යවරුන් හමුවීමට හෝ වෛරසය පැතිර යන උණුසුම් ස්ථාන නිරීක්ෂණයට පහසුකම් සලසා ඇත.

ශ්‍රී ලංකාවේද මේ සඳහා වඩාත් යෝග්‍ය සිද්ධියක් ලෙස ජංගම දුරකථනය නාද වනවිට COVID-19 සම්බන්ධයෙන් වූ දැනුවත් කිරීමේ ක්‍රමවේදය ආරම්භයේ සිටම දැකගත හැකි වූ අතර, එයද ජනතාව අතර වෛරසය පිළිබඳ නිසි අවබෝධයක් හා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා සුවිශේෂී ක්‍රියාමාර්ගයක් විය.

කෙසේ වෙතත් ආසියාව ලබාඇති මෙම ජයග්‍රහණවලින් පාඩම් ඉගෙනීමට ඇමෙරිකාව හෝ යුරෝපය තවමත් සූදානම් නැති බව පෙනෙන්නට තිබේ. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙහිදී වඩාත් අකාර්යක්ෂම නායකත්වයක් පිළිබිඹු කර ඇති අතර, සෞඛ්‍ය හා මහජන සේවා, රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන සහ ප්‍රවාහන ආරක්ෂණ පරිපාලනයන් සඳහා ඔහු පත් කළ නිලධාරීන්ද නායකත්වය සැපයීමට අපොහොසත් වී ඇත.

'මේක් ඇමෙරිකා ග්‍රේට් අගේන්' හෝ 'ඇමෙරිකා ෆස්ට්' විසින් අද ඇමෙරිකාවට COVID-19 මරණවලින් ලෝකයේ මුල්තැන ලබාදීමට එරට පාලකයන් කටයුතු කර ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස අහිංසක ඇමෙරිකානුවන් දස දහස් ගණනක් සිය ජීවිතවලින් වන්දි ගෙවමින් සිටිති.

ඒ අනුව ලොව වෙනත් ජාතීන්ගේ ජයග්‍රහණ දෙස බලා ඉගෙන ගතහොත් ඇමෙරිකාවට සහ බටහිර යුරෝපයට ඔවුන්ගේ ඉතා වටිනා මානව සම්පත මෙන්ම, ආර්ථිකයන්ද ආරක්ෂා කරගැනීමට හැකිවනු ඇති බව පැහැදිලිය.

ෆෙඩරල් රජය හා ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන් දෙපැත්තට වී කඹ ඇදීමෙන්ද, ට්‍රම්ප් හිතවාදී ඇමෙරිකානුවන් ව්‍යවස්ථාව ඉදිරියට දමා, කොරෝනා නොසලකමින් තමාගේ අයිතිවාසිකම් ගැන පමණක් කතා කිරීමට අවි ආයුධ රැගෙන උද්ඝෝෂණය කිරීමෙන්ද, සිදුවන්නේ ඇමෙරිකාව තව තවත් අගාධයට යෑමය. යුරෝපයද ඇමෙරිකානු මඟ නොගෙන කඩිනමින්, ආසියානු මඟට පිවිසුණහොත් යුරෝපයටද වඩාත් යහපත් හෙට දවසක් වෙනුවෙන් සිහින දැකිය හැකි බව විචාරක මතය වී ඇත.

චීනය



Recommended Articles