COVID-19 දෙවන රැල්ලක් පිළිබඳව මේ වනවිට දැඩි අවදානමක් ඇති වී තිබේ. ලොව පුරා COVID-19 ආසාදිත රෝගීන් සංඛ්‍යාව මිලියන 10 පසුකර ඇති අතර, මරණ සංඛ්‍යාව ලක්ෂ 5 පසුකර තිබේ.
පසුගිය සෙනසුරාදා පැවැති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීමේදී, මේ පිළිබඳව සාමාජිකයන් අදහස් දක්වමින් පෙන්වා දී ඇත්තේ එම සංගමය හා එහි සාමාජිකයන් සිය ජීවිත අනතුර පිළිබඳව නොසලකා අනෙකුත් සෞඛ්‍ය කාර්යමණ්ඩල සමග එක්ව ලබාදුන් දායකත්වය හේතුවෙන් ලොව පුරා COVID-19 වසංගතයේ අනතුරු මෙසේ තිබියදී ශ්‍රී ලංකාව සාර්ථක ප්‍රතිඵල උදාකර ගැනීමට සමත් වූ බවයි. තවද ජනාධිපතිතුමන් ඇතුළු දේශපාලන අධිකාරිය, ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ විවිධ පාර්ශ්ව ලබාදුන් සහයද එහිදී ඇගයීමට ලක්වී තිබේ.
අද වනවිට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවන ලෙස දෙවන රැල්ලක් ඇතිවීමේ දැඩි අවදානමක් තිබේ. ඉතිහාසයේද අපට ඇති අත්දැකීම් අනුව 1918දී ස්පාඤ්ඤයේ පැතිරුණු ඉන්ෆුලුවන්සා වසංගතයේදී පළමු රැල්ලට වඩා දෙවන රැල්ලෙන් සිදුවූ මරණ සංඛ්‍යාව ඉතා ඉහළය.
අද වනවිට ශ්‍රී ලංකාවේ COVID-19 ආසාදිත රෝගීන් සමාජය තුළ නොමැති බව සෞඛ්‍ය අංශ පවසයි. එය තවදුරටත් තහවුරු කරමින් ජනතාව තුළ විශ්වාසය ගොඩනැගීම ඉතා වැදගත් වේ. ඒ සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දිගින් දිගටම ඉල්ලා සිටියේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයද පිළිගත් පරිදි මසකට PCR පරීක්ෂණ අවම වශයෙන් 68,000ක් සිදුකිරීම අනිවාර්ය බවයි.
මහ මැතිවරණයකට සූදානම් වන මොහොතේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමන් සමග පසුගිය දින පැවැති සාකච්ඡාවේදීද ඉල්ලා සිටියේ එම PCR පරීක්ෂණ කිරීමේ උපරිම ධාරිතාවට අප හැකි ඉක්මනින් ළඟාවිය යුතු බවයි.
එහිදී මුළු රටම ආවරණය වන ලෙස අහඹු නියැඳි තෝරාගෙන නිරෝගී යැයි අප අනුමාන කරන සමාජය තුළ පරීක්ෂණ සිදුකිරීම මගින් COVID-19 වෛරසය නොමැති බවට නිවැරදි තක්සේරුවක් ලබාගත හැක.
නැවතත් සමාජය තුළ වෛරසය ඇතුළු විය හැකි ක්‍රම 04ක් ඇති අතර ඒවා පහත පරිදි වේ.
ගුවන්තොටුපොළ හෝ වරාය තුළින් රටට ඇතුළු වන විදේශවල සිට පැමිණෙන්නන් මගින්
නිරෝධායන මධ්‍යස්ථානවල සිටින පිරිස් අතරින්
රෝහල්වල සිටින රෝගීන් මගින්
ඉහත අවස්ථා 03දී ඔවුන් සමග යම් හෝ ගැටීමකට ලක්වන පුද්ගලයන් මගින්
ඉහත කණ්ඩායම් 04 නිවැරදිව කළමනාකරණය කිරීම මගින් නැවත වෛරසය සමාජයට ඇතුළු වීම වළක්වා ගත හැකි අතර, මීට අමතරව අගෝස්තු මාසය තුළ නැවතත් සංචාරක කර්මාන්තය ආරම්භ කිරීම පිළිබඳ කතිකාවක් මේ වනවිට මාධ්‍ය වාර්තා කරයි.
එහිදී අප අවධානයට යොමු කළ යුතු කාරණා කිහිපයක් මෙලෙස දැක්විය හැකිය.
COVID-19 වසංගතය සමග ඇතිවූ ආර්ථික අර්බුදය හමුවේ නැවත ආර්ථිකය ශක්තිමත් කර ගැනීම සඳහා සංචාරක කර්මාන්තය පිටුවහල් කර ගැනීමේ හැකියාව මෙන්ම සෞඛ්‍ය අවදානමක් ඇති නොවන ලෙස එහි සමතුලිතතාවක් ඇතිකර ගැනීම.
ලොව පුරා COVID-19 වසංගතයේ ව්‍යාප්තිය හා එහි වර්තමාන ස්වභාවය සැලකිල්ලට ගැනීම.
සංචාරක කර්මාන්තය නැවත ආරම්භ කරන්නේ නම් ඒ සඳහා සුදුසුම කාලවකවානුව සහ කුමන රටවල් සඳහාද යන්න හඳුනා ගැනීම.
දැනටමත් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය එළිදක්වා ඇති මාර්ගෝපදේශවල කිසියම් වෙනස්කම් සිදුවිය යුතුද යන්න.
- සංචාරකයන් ලංකාවට පැමිණෙන්නේ නම්
- ඔවුන් පරීක්ෂණ සඳහා යොමු කිරීම සිදුවිය යුතු ආකාරය.
- නිරෝධායනය විය යුතුද නැද්ද යන්න.
- කණ්ඩායම් වශයෙන් පැමිණෙන සංචාරකයන්ට හා තනි පුද්ගල සංචාරකයන් සඳහා අවසරය ලබාදෙන ආකාරය.
- එම විදේශිකයන් සඳහා ප්‍රතිකාර සිදුකරන රෝහල් හඳුනා ගැනීම.
- ඔවුන් අතර රෝගීන් සිටියහොත් ඔවුන් ඇසුරු කළ පුද්ගලයන් හඳුනා ගන්නා ආකාරය.
ඉහත කරුණු හා සංචාරක කර්මාන්තය නැවත ඇරඹීම හා බැඳී අනෙකුත් කරුණු අධ්‍යයනය කර දින 14ක් ඇතුළත ඒ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය හා රජය දැනුවත් කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත්කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කළේය.
එමෙන්ම මීට ඉහතදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මගින් අවධාරණය කළ පරිදි COVID-19 රෝගී තත්ත්වය හා සෘජු සම්බන්ධයක් ඇති වැරදි පුරුදුවලින් ජනතාව වැළකී සිටීම ඉදිරි අවදානම අවම කිරීම සඳහා ඉතා වැදගත් වේ.
ඒ අනුව දුම්වැටි හා මදයසාර භාවිතය අධෛර්යමත් කරන නීති රෙගුලාසි කඩිනමින් නිකුත් කර ජනතාවට එම පණිවිඩ ලබාදිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරන අතර, මැතිවරණ සමයේ COVID-19 වසංගතය තත්ත්වය නොසලකා දුම්වැටි හා මදයසාර තම මැතිවරණ ව්‍යාපාරයට භාවිත කරන දේශපාලනඥයන්ට එරෙහිව සෞඛ්‍ය අංශය හා මැතිවරණ කොමිෂන් සභාව ක්‍රියා කරනු ඇතැයි ඔවුන් බලාපොරොත්තු වේ. එවැනි නියෝජිතයන් ජනතාව නියෝජනය කිරීම සඳහා නුසුදුසු පුද්ගලයන් ලෙස පෙන්වා දීමට සිය සංගමය නොපසුබට වන බව ඔවුහු පවසති. සෞඛ්‍ය බලධාරීන්ද මේ වනවිට අනතුරු හඟවමින් සිටින කෝවිඩ් දෙවන රැල්ලක් වළක්වා ගැනීම සඳහා මේ මොහොතේදී රටක් ලෙස අප ගන්නා නිවැරදි තීන්දු තීරණ බෙහෙවින් ඉවහල් වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දේ.
විදේශයක සිට පැමිණෙන කෙනෙකුගෙන්, එය නැවත රට තුළ පැතිරෙන්න පුළුවන් - වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්යක්ෂ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර
කෝවිඩ් -19 වසංගතයේ දෙවැනි රැල්ලක් ශ්‍රී ලංකාව තුළ ඇතිවීම සම්බන්ධයෙන් රජයේ අවධානය පිළිබඳ වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්යක්ෂ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පළකළේ මෙවැනි අදහසකි.
"කෝවිඩ් -19 වසංගතය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය ක්ෂේත්රයේ තිබෙන අවධානය කිසිම අවස්ථාවක අඩු කරලා නැහැ. ලෝකය තුළ කෝවිඩ් -19 වසංගතය අවසන් කියලා දැනුම්දෙන තුරු ඒ අවධානය ඒ ආකාරයටම පවත්වාගෙන යනවා.
ඒ වගේම කෝවිඩ් -19 වසංගතය මේ වනවිට අපේ රට තුළ පාලනය වී තිබෙනවා. විදේශයක සිට පැමිණෙන කෙනෙකු මාර්ගයෙන් එය නැවත අපේ රටට පැමිණියහොත් නැවත පැතිරීමක් සිදුවෙන්න පුළුවන්.
විදේශයක සිට පැමිණෙන කෙනෙකුගෙන්, සංචාරකයෙකුගෙන් හෝ වෙනත් අනවසරයෙන් ලංකාවට පැමිණෙන පුද්ගලයකුගෙන් මෙම රෝගය සමාජයට පැතිරුණොත් එය නැවත රට තුළ පැතිරෙන්න පුළුවන්.
නැවත ඒ ආකාරයට රෝගය පැමිණේවිදැයි යන්න සම්බන්ධයෙන් අපි අවධානයෙන් සිටිනවා. ඒ සඳහා විවිධ මට්ටමේ පරීක්ෂණ සිදුකරනවා. කෝවිඩ් සම්බන්ධයෙන් අවදානම් කණ්ඩයම් සොයා අහඹු නියැඳි ලබාගනිමින් අපි පරීක්ෂණ සිදුකරනවා.
ඒ වගේම රෝහල්වලට පැමිණෙන ශ්වසන රෝගීන්ව පරීක්ෂා කරනවා. මේ වනවිට විදෙස් රටවලින් පැමිණෙන පුද්ගලයන් නිරෝධායනයට ලක්කරනවා. විදෙස් රටකින් ලංකාවට පැමිණිය හැකි සෑම ආකාරයක්ම හඳුනාගෙන අපි මේ කටයුතු සිදුකරනවා. හදිසියේ හෝ කෝවිඩ් -19 රෝගීන් සිටීදැයි හඳුනා ගැනීමට මේ කටයුතු සියල්ල දිනපතා සිදුකරනවා.
ගුවන්තොටුපොළ යළි විවෘත කරන්නේ කෝවිඩ් -19 පාලනය කර ගැනීමට අවශ්‍ය සියලු කටයුතු සිදුකරලා. එහිදීත් විදේශිකයන් රටට පැමිණෙනවානම් ඔවුන්ව පරීක්ෂා කරන්නේ කොහොමද කියක කාරණය වගේම එවුන්ගේ හැසිරීම් නිරීක්ෂණය කිරීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර තිබෙන්නේ.
කෝවිඩ් රෝගියකු පැමිණියහොත් ඔහුව හඳුනා ගන්නත්, ඔහුගෙන් රෝගය තවකෙනෙකුට පැතිරී නොයන්නත් අවශ්‍ය පූර්ව සූදානම සහිතව සිටිනවා.
කෝවිඩ් දෙවන රැල්ලක් ඇතිවීම වළක්වා ගැනීම සඳහා ජනතාව තවදුරටත් අවදානමින් සිටිය යුතුයි. මොකද ඒ අවදානම තවම පහව ගොස් නැහැ. ඒ වගේම සෞඛ්‍ය අංශ මේ අවදානම පහව යන තුරු ඒ සම්බන්ධයෙන් අවධානයෙන් සිටිනවා. ඒ වගේම ජනතාවත් එම සෞඛ්‍ය පුරුදු පවත්වාගෙන යා යුතුයි. පුද්ගල දුරස්ථභාවයට පවත්වාගෙන යාම, අත්සේදීම ආදී කටයුතු මෙන්ම, පුද්ගලයන් වැඩි වශයෙන් ගැවසෙන ස්ථාන වෙත නොයාමටත් ඔවුන් වග බලාගත යුතුයි."