සෞඛ්‍ය සේවයේ අසාධාරණයක් වුණොත් පැමිණිලි කළ හැකියි


සෞඛ්‍ය සේවය රටක දැඩි ලෙස අවධානයට පාත්‍ර වන සහ අවධානයට පාත්‍රවිය යුතු ක්ෂේත්‍රයකි. එහෙයින් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍ර‘යේ උද්ගතව තිබෙන නූතන ප්‍රවණතා කිහිපයක් පිළිබඳව සාකච්ඡා කරන්නට සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහතා සම්බන්ධ කරගතිමු.

 

අලුතෙන් හඳුන්වාදුන් ප්‍රතිපත්තිය කුමක්ද

ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියට අනුකූල පනත තමයි ඉස්සෙල්ලා ගෙනාවෙ. ඒ පනත හරහා වෙනම අධිකාරියක් හඳුන්වාදීලා තියෙනවා. ඊළඟට ඖෂධ පරීක්ෂණ සඳහා රසායනාගාරයක් ලැබෙනවා. ඒ වගේම ඖෂධ නම් කිරීමේදී ඒවායේ ඖෂධ නාමයෙන් (Genatic Name) හැරෙන්න වෙළෙඳ නාමයෙන් ලියන්න බැරිවීම වගේ ගොඩක් දේ සිදුවෙනවා. සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තියේ නිර්ණායකයන්ට අදාළ නීතිරීති සැකසීම තමයි ඒ පනත තුළින් සිදුවෙන්නෙ. ගුණාත්මක බෙහෙත් සාධාරණ මිලකට රෝගීන්ට ලබාදීම තමයි මේ මගින් අපේක්ෂා කරන්නෙ. මේ ප්‍රතිපත්තිය හරහා සිදුවන්නේ එම කරුණු කාරණා නියාමනය කිරීමයි.

තෘප්තිමත් විය හැකි වැටුප් සෞඛ්‍ය සේවය තුළ ලබාදෙනවාද?

සෞඛ්‍ය සේවාවට බිලියන 155 ක් පමණ වෙන්වෙලා තියෙනවා. ඒකෙන් බිලියන 37කට වැඩි ප්‍රමාණයක් වෙන්වෙලා තියෙන්නෙ වැටුප් සඳහා. බිලියන 35 ක් විතර බෙහෙත්වලට ගියාම ඉතිරි ටික තමයි ගොඩනැගිලි වැනිදේට ඉතිරිවෙන්නෙ.

වෛද්‍ය හිඟයක් තිබෙන බවටත්, පත්වීම් ලබාදීම් සිදු නොවන බවටත් චෝදනා එල්ල වෙන්නෙ ඇයි?

අවුරුද්දකට 800 ක් විතර තමයි වෛද්‍යවරු පිටවෙන්නෙ. නමුත් ඔවුන්ට දුෂ්කර සේවයේ පත්වීම් දුන්නම යන්න කැමති නෑ. ඒ 800 න් 600 ක් ආවත් යම් පිරිසක් අඩුවෙනවා. පසුගිය යුද්ධ කාලෙ වහලා තිබුණු උතුරු නැගෙනහිර පළාත්වල රෝහල්, වෛද්‍ය මධ්‍යස්ථාන සියල්ලම පාහේ විවෘත කරලා තියෙනවා. නමුත් මේ හැම එකකටම සේවකයන් මදි. වෛද්‍යවරයෙක් විදිහට පිටවුණාට සේවා කාලය තුළ ඉහළ අධ්‍යයනයක් සිදුකළ යුතුයි. ඒ අධ්‍යයනය ලබන විෂයයට සීමාවීමක් සිදුවෙනවා. ඒක කරන්නත් කාලයක් ගතවෙනවා. එහෙමත් නැතිව අසමත් වුවහොත් එතැනදිත් ඒ ක්ෂේත්‍රය අතහැරලා සාමාන්‍ය වෘත්තිකයන් විදියට සේවය කරන්නත් පෙළඹෙන අවස්ථා තියෙනවා. මානසික, නිර්වින්දන, හෘදරෝග වැනි ඕනෑම ක්ෂේත්‍රයකට අපට බලෙන් වෛද්‍යවරු යවන්න බෑ. හිඟයට හේතුව ඒකයි..

ඖෂධවල ප්‍රමිතිය පිළිබඳව නිරන්තර ගැටලු මතුවෙනවා. මේ ඇයි?

මිල ප්‍රශ්නය අපට තියෙන නිසා ඉන්දියාවෙන් තමයි බෙහෙත් ගෙන්වන්නෙ. ගුණාත්මක බව සම්බන්ධ ප්‍රශ්නයෙදි අපට දෙන ආදර්ශක පරීක්ෂා කරලා බලලා තමයි අවසර දෙන්නෙ. බෙහෙත් වර්ග 600 - 700 ක් අපි ගෙන්වනවා. එතෙන්දි සමාගමක් අසාදු ලේඛනගත කළොත් ඔවුන් නැවත වෙනත් නමකින් ලියාපදිංචිව වෙනත් නියෝජිතයෙක් හරහා ඖෂධ එවනවා.

සෞඛ්‍ය සේවය තුළ සිදුවන අපහසුතා පිළිබඳ පැමිණිලි කිරීමේ හැකියාවක් රෝගීන්ට තිබෙනවාද?

රජයේ සෞඛ්‍ය සේවයේ සාමාන්‍ය සේවකයෙකු හෝ වෛද්‍යවරයෙකු හෝ මොනයම් හෝ අංශයක් අතින් යම්කිසි අසාධාරණයක් වුණොත් පැමිණිලි කරලා සාධාරණ විසඳුමක් ලබාගැනීමේ හැකියාව රෝගීන්ට තිබෙනවා. 



Recommended Articles