1948 පෙබරවාරි 04 දින බ්‍රිතාන්‍යය අධිරාජ්‍යවාදීන්ගෙන් ලංකාව නිදහස ලබා අදට වසර 73කි. පුරා වසර හැත්තෑ තුනක් පුරාවට සෑම පෙබරවාරි 04වැනිදා දිනකම අභිමානයෙන් අප නිදහස් දිනය සමරයි. නමුත් අප සැබැවින්ම නිදහස් වී ද? මේ වනවිට අප විශාල ණය අර්බුදයකට යටත්ව සිටීම සහ රටේ දුප්පත්කම ක්‍රමයෙන් ඉහළ යෑම හමුවේ නිදහස් රටක් ලෙස නිදහස සැමරිය හැකිද? ආර්ථික විද්‍යා විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා සමග මේ සටහන ගෙන එන්නේ අප ආර්ථික නිදහසක් ලබා ඇතිද යන්න පිළිබඳවය.
1948න් පසුව අප නිසැකවම නිදහස ලැබුවේද, එසේ නොමැතිව අප ස්වාධීන වූවා පමණක්ද යන්න ගැටලුවකි. විශේෂයෙන් අප හැත්තෑ තුන් වසරක් ගත වන මොහොතේදීත් ආර්ථික වශයෙන් නිදහසක් නොලබා තිබීම ඊට කදිම හේතුව ලෙස දැක්විය හැක. සාමාන්‍ය ව්‍යවහාරයේදී ආර්ථික වශයෙන් නිදහස යැයි විශ්වාස කරන්නේ "ජීවන තත්ත්වය වර්ධනය වීම, කැමති දෑ මිලට ගැනීමට ඇති හැකියාව" වැඩි වීමයි. එය ලංකාව තුළ යම් කිසි මට්මටමකින් වැඩි වී තිබුණත් සාපේක්ෂව කොරියාව, සිංගප්පූරුව, මැලේසියාව වැනි අපට පසුපසින් සිටි රටවල ආර්ථික නිදහස ඊට වඩා වැඩිය.
නිදහස ලැබීමෙන් පසුව අප බලාපොරොත්තු වූ ආර්ථික නිදහස ලබාගැනීමට අපට තවම හැකියාවක් ලැබී නැත. අප තවමත් සිටින්නේ මැදි ආදයම් ලබන රටවල පහළ ස්ථානයකය. දළ වශයෙන් ජනගහණයෙන් 50%කට ආසන්න ප්‍රමාණයකට සමෘද්ධිය හිමි වේ. උද්ඝෝෂණවලදී පවා බොහෝවිට දක්නට ලැබෙන්නේ "බඩු මිල අඩු කරනු, රැකියා ලබාදෙනු, වැටුප් වැඩිකරනු" වැනි සටන් පාඨයන්ය. ජනතාවට බඩු මිල වැඩියි කියා උද්ඝෝෂණය කරන්නේද ආර්ථික නිදහසක් නොලැබී තිබෙන නිසාය.
කැනඩාවේ "Economic Freedom of the World index^ දර්ශකය දක්වන පරිදි රටක් ආර්ථික වශයෙන් නිදහස් වීමට බලපාන කාරණා පහකි. එහිදී "ආර්ථික වශයෙන් නිදහස් රටවල ජනතාවගේ ජීවන මට්ටම ඉහළ තත්ත්වයක ඇති බව^ ඔවුන් දත්තවලින් පෙන්නුම් කරදී තිබීම ඉතා වැදගත් කරුණකි. ඉන් අදහස් කෙරෙන්නේ ආර්ථික නිදහස ඇති රටවල ජනතාවට තමන් කැමති තීන්දු තීරණයක් ගැනීමට හැකියාව පවතින බවයි.
මෙම දර්ශකයේදී ඔවුන් ආර්ථික නිදහස මනින පළමු කාරණය වන්නේ "රජය කෙතරම් විශාලද" යන්නය. ලංකාවේ රජය කෙතරම් විශාලද කිවහොත් රජයට රාජ්‍ය සේවය දරාගැනීමට නොහැකි තරමට විශාලය. මිලියන 1.3ක රාජ්‍ය සේවකයන් සිටින රටක ඔවුන්ගේ මාසික වැටුප්, විශ්‍රාම වැටුප් ගෙවීම ඉතා අපහසු තත්ත්වයකි. විශේෂයෙන් මේ වනවිට රට විදෙස්රටවලට ගෙවන ණය ගෙවූ පසු රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවීමට නොහැකි වී තිබේ. එහිදී සෞඛ්‍යයට, අධ්‍යාපනයට මුදල් වෙන් කිරීමට රජයට හැකියාව නොලැබෙයි. එයට හේතුව රාජ්‍ය සේවයෙන් ලැබෙන ආදායමද ප්‍රමාණවත් නොවීමයි. රජය විශාල වනවා යන්නෙන් අදහස් වන්නේ පෞද්ගලික අංශයට සහ සාමාන්‍ය ජනතාවට ආදායමක් උපයා ගැනීමට ඇති අවස්ථාව අඩු වීමය. රජය සෑම දෙයක් තමන් තුළ පටවා ගෙන කරන්නට යෑමෙන් ජනතාව රජයකින් බලාපොරොත්තු වන ප්‍රධාන කාර්යයන් රජයට කරගැනීමට නොහැකිය. 2018 එම දර්ශකයේ රජයේ විශාලත්වයට හිමි වන ලකුණු ප්‍රමාණය තුළ ලංකාව ලබාගෙන තිබෙන්නේ ලකුණු 8.76කි. එහිදී ඔවුන් පෙන්වා දෙන්නේ රජය කුඩා වන තරමට පෞද්ගලික අංශයට සහ සාමාන්‍ය ජනතාවට මුදලක් උපයාගැනීමට, ආර්ථිකයක් ගොඩනගා ගැනීමට ඇති ඉඩකඩ වැඩි වීමයි. ඒ තුළින් ආර්ථික නිදහසක් ලබාගැනීමට හැකි බවයි.
මෙම දර්ශකයේ දෙවැනි මිනුම් දණ්ඩ වන්නේ නීති පද්ධතිය සහ වත්කම් පිළිබඳ අයිතියයි (Legal system and property rights). එය චංචල හෝ නිශ්චල දේපළ විය හැකියි. ලංකාව එහි සිටින්නේද 5.09ක් ලබාගනිමින් ඉතා පහළ තත්ත්වයකය. අප රටේ ජනතාවට දේපළවල අයිතිය අඩුය. රටේ සමස්ත ඉඩම් ප්‍රමාණයෙන් 80% අයිති රජයටය. ඉන් 30% පමණ ලංකාවේ වනාන්තර වන අතර, ඒවාට අත තැබීම නම් එතරම් සුබදායක නොවේ. නමුත් සම්පූර්ණ ඉඩම් ප්‍රමාණයෙන් ජනතාවට ඇත්තේ 20%ක් වැනි ප්‍රමාණයකි. එහි ඇති බරපතළ තත්ත්වයට සරල උදාහරණයක් නම් පුද්ගලයෙකුට බැංකුවකින් නිවාස ණයක් ලබාගැනීමට අවශ්‍ය නම් ඔහුට ඔහු සතුව ඇති ඉඩම් බැංකුවේ ඇපයට තැබීමට සිදු වීමයි. තමාට ඉඩමක් තිබෙනවා නම් පමණක් ඉඩමේ වටිනාකමට නිවාස ණයක් ලබාගැනීමට හැකි වන අතර, තමාගේ නමට ඉඩමක් නොමැති නම් එම පුද්ගලයාට ගත හැකි වන්නේ 'පෞද්ගලික ණයක්' පමණි. රජය සතු ඉඩම්වලින් වනාන්තර ප්‍රමාණය හැරුණු විට ඉතිරි ඉඩම්වලින් වැඩි කොටසක් ඵලදායි දෙයකට යොමු කර නොමැත. රටේ කෘෂිකර්මය දියුණු නොවීමට ප්‍රධානවම බලපාන්නේද රටේ ඉඩම්වල අයිතිය ගොවීන්ට ලබානොදී තිබීමයි. එම නිසා කිසි දිනෙක 'හරිතාගාර ව්‍යාපෘති' වැනි දෙයකට ආයෝජනය කළ නොහැකිය. රටේ ඉඩම් ප්‍රමාණයෙන් 80%ක්ම අයිති රජයට නම් රටේ ජනතාවට 'දේපළ පිළිබඳ අයිතියක්' (property rights) නැති තරම්ය. එයම ඉතිහාසයේ සිට දේශපාලන පාපන්දුවක් ලෙස පැමිණ තිබීම කනගාටුදායකය. සෑම රජයක්ම බලයට පත්වන්නේ 'ඉඩම් දෙනවා, ගෙවල් දෙනවා' කියා වූවත් කිසිම විටෙක දේපළ පිළිබඳ පූර්ණ අයිතියක් සහිතව ඉඩම් ලබාදීම සිදු නොකරයි.
එමෙන්ම රටේ අධිකරණ පද්ධතියද විශාල වශයෙන් අසාර්ථකය. අධිකරණ ක්‍රියාපටිපාටිය ඉතාම මන්දගාමී තත්ත්වයකි. උදාහරණයක් ලෙස සාමාන්‍ය ඉඩම් නඩුවක් විසඳා ගැනීමට පවා වසර විස්සක්වත් අධිකරණයට ගොස් නඩු කිව යුතුය. නඩු ගාස්තු පවා ඉතා අධිකය. එවිට කිසිවෙක් ගිවිසුම්ගතව ව්‍යාපාරයක් හෝ තීන්දුවක් ගැනීමට ඉදිරිපත් නොවන්නේ යම් අයුරකින් අධිකරණයට යෑමට සිදුවුවහොත් තමා සතු සියලු ධනයම නඩු ගාස්තු ලෙස වියදම් කිරීමට සිදුවන බැවිනි. එමෙන්ම අධිකරණ ක්‍රියාපටිපාටිය සාම්ප්‍රදායික ක්‍රමයට සිදු වේ. නඩු කටයුතු සඳහා භාවිත කරන ලියැකියවිලි පවා තවමත් කඩදාසිවල මුද්‍රණය කරගත් ඒවාය. ඒවා සොරකම් කිරීමට හෝ අස්ථානගත කිරීමට පහසුය. ටැක්සි වාහනයක් වෙන් කරගෙන ගමනක් යන පුද්ගලයෙකුට ඔහු යන මාර්ගය GPS තාක්ෂණයෙන් පෙන්වනවා නම් පුද්ගලයෙකුට අයිති තමන්ගේ ඉඩම එලෙස GPS තාක්ෂණය සමග බද්ධ කිරීමට නොහැකි ඇයි දැයි ගැටලුවකි.
'Economic Freedom of the World index' දර්ශකය අනුව ආර්ථික නිදහස මනින තුන්වැනි මිනුම් දණ්ඩ වන්නේ මුදල්ය (sound money). ඒ මුදලේ වටිනාකම නොමැතිවීමයි. යම් ආකාරයකින් මුදලේ වටිනාකම අවප්‍රමාණය වූවත් අපේ රට මුදල් ප්‍රමාණයට වඩා නිකුත් කිරීම හේතුවෙන් අපේ මුදලේ තිබෙන වටිනාකම සීඝ්‍රයෙන් අඩු වී තිබේ. මීට වසර කිහිපයකට පෙර රුපියල් 10,000කින් මිලදී ගත් භාණ්ඩ අද එම මුදලටම ලබාගැනීමට නොහැකිය. මුදලේ වටිනාකම අඩුවීමේ ප්‍රධාන බලපෑම සිදුවන්නේ ජනතාවටය. භාණ්ඩ හා සේවාවල මිල ඉහළ ගොස් ඇති බැවින් එකම මුදල් ප්‍රමාණය වූවත් ආදායම අඩු වී ඇති බව ජනතාවට පෙනී යයි. මුදලට වැඩි වටිනාකමක් ලැබීම තුළින් පුද්ගලයෙකුට වැඩි වැඩියෙන් භාණ්ඩ හා සේවා ලබාගැනීමට හැකියාව ලැබේ. එබැවින් sound money ඉතා වැදගත්ය.
මෙම දර්ශකයේ සිවුවැනි කාරණය වන්නේ ජාත්‍යන්තර වශයෙන් පහසුවෙන් ගනුදෙනු කිරීමට ඇති හැකියාවයි (Freedom to Trade Internationally). ෆෙඩ්රික් බැස්ටියාර්ඩ් නම් ප්‍රංශ ජාතික ආර්ථික විද්‍යා විශේෂඥයා පවසන පරිදි 'දේශ සීමා අතර භාණ්ඩ හුවමාරුව සිදු වන්නේ නැති විට සෙබළු හුවමාරුව සිදු වේ' යන කියමන මෙහිදී වැදගත් වේ. එහිදී වැදගත් වන්නේ රටවල් අතර අපනයනය සහ ආනයනය සිදු කිරීමට අවශ්‍ය නිදහස තිබීමයි. ලංකාව වැනි රටක අපනයනය සහ ආනයනය සිදු කිරීම ඉතා අපහසු වී ඇත්තේ ඒ තුළ අතිශය රෙගුලාසි නිකුත් කර තිබීමය. ලංකාවේ සිදු කළ එක් සමීක්ෂණයකදී අනාවරණය වූ දෙය නම් භාණ්ඩයක් අපනයනය කිරීමේදී මුරපොළ (Block) 13ක් තිබෙන බවයි. අපනයන ක්ෂේත්‍රයේ නිරත වන පුද්ගලයන්ට ඇති ප්‍රධානම ගැටලුව ඇත්තේ අවශ්‍ය වෙළෙඳපොළ සොයා ගැනීමට නොව මෙම රෙගුලාසි හමුවේ අපනයන කිරීමට නොහැකි වීමයි. එමෙන්ම ආනයනයටද එලෙසින්ම බාධා තිබේ. භාණ්ඩ ආනයනය අඩු මුදලකට සහ අඩු රෙගුලාසි හමුවේ සිදු කරගතහොත් අපනයනයද එලෙස සිදු කිරීමට හැකිය. උදාහරණයක් ලෙස සන්නාමයක් සහිත තේ අපනයනය කිරීමේදී එහි ඇසුරුම් නිෂ්පාදනයට යොදාගන්නා කඩදාසි හෝ පොලිතීන් ආනයනය කරනවා යැයි සිතමු. යම් හෙයකින් එම කඩදාසි හෝ පොලිතීන් ආනයනය සීමා කළහොත් හෝ ගෙන්වීම නැවැත්වුවහොත් වක්‍රාකාරව අපනයනය කරන තේ පැකැට්ටුවක මිල ඉහළ යෑම සිදුවේ. එවිට අප සතුව හොඳ තේ තිබුණත් ඒවා අපනයනය කිරීමට නොහැකි තත්ත්වයක් උදාවනු ඇත.
සාමාන්‍යයෙන් අප මෝටර් රථයක් ගෙන්වීමේදී 180%ක බදු මුදලක් අය වේ. පුද්ගලයෙකු මෝටර් රථයක් මිලට ගැනිමේදී එවැනි මෝටර් රථ තුනක් ගැනීමට වැය වන මුදල එක් රථයකට වියදම් කිරීමට සිදුව ඇත. එයින් හැඟෙන්නේ කාර්යයක් සඳහා වියදම් කිරීමට ඇති මුදල අහිමිවීමකි. ජාත්‍යන්තර මට්ටමෙන් ගනුදෙනු කිරීමට ඇති ඉඩකඩ අවහිරවීම තුළද අප ආර්ථික වශයෙන් සිර වී තිබේ. මෙම දර්ශකයට අනුව ලංකාව %ජාත්‍යන්තර වශයෙන් පහසුවෙන් ගනුදෙනු කිරීමට ඇති හැකියාව^ අතිනුත් සිටින්නේ 5.44ක වැනි පහත මට්ටමකය.
'Economic Freedom of the World index' දර්ශකයේ පස්වැන්න වන්නේ නීති පද්ධතියයි(Regulation). රටේ පුද්ගලයෙකු ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී හෝ ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමේදී හෝ ඇති නීතිරීති පද්ධතිය විශාල හෝ සංකීර්ණ වේ නම් පුද්ගලයන් ව්‍යාපාර ආරම්භ කිරීමට මැළි වෙති. සරල නීති පද්ධතියක් සහ නිරවුල් නීති පද්ධතියක් තුළින් පෞද්ගලික ව්‍යාපාර ආරම්භ කිරීමට වැඩි ඉඩකඩක් ලැබෙන අතර, එයින් ජනතාවට විශාල වශයෙන් ආර්ථික නිදහසක් අත් කරගැනීමට හැකිය. මෙම දර්ශකයේ 2018 ගණනය කිරීම්වලට අනුව ලංකාව 7.02ක් ලබාගෙන සිටියේය. සමස්තයක් ලෙස 2018 දර්ශකයට අනුව ලංකාව සිටින්නේ 83වැනි ස්ථානයේය. 2015 වසරේදී 93වැනි ස්ථානයේ සිට 2018 සහ 2020 වසරවලදීත් 83වැනි ස්ථානයේ ලංකාව පසුවෙති. මෙහි යම් ප්‍රගතියක් දුටුවත් රට මේ වනවිට මීට වඩා ඉදිරියට ගොස් විශාල ආර්ථික නිදහසක් ලබාගෙන තිබිය යුතුය.
නිවසක් හැදීමට, වාහනයක් මිලට ගැනීමට රජය විසින් විශාල තීරු බදු මුදලක් අය කරගන්නා නිසා වෙන රටක නිවසක් සෑදීමට යන මුදලට වඩා වැඩි මුදලක් ලංකාවේදී වැය වේ. අප ස්වාධීන රටක් ලෙස හැඳින්විය හැකි වූවත් නිදහස් රටක්ද යන්න නැවත සිතා බැලිය යුතුය. තමන්ට කැමති ව්‍යාපාරයක් ආරම්භ කිරීමට නොහැකිවීම, තමන් කැමති වාහනයක් මිලට ගැනීමට නොහැකි වීම, කැමති දෙයක් සඳහා ආයෝජනය කිරීමට නොහැකි වීම, කැමති විෂයක් ඉගෙනගැනීමට නොහැකිවීම වැනි දෑ හේතුවෙන් සැබැවින්ම අප නිදහස් ආර්ථිකය ජීවත්වනවාද යන්න ගැටලුවකි. රටේ ඒකපුද්ගල ආදයම ඩොලර් 3,900ක් වූවත් එය උපයන්නේද රටෙන් ඉතා සුළු පිරිසකි. නමුත් විශාල පුද්ගල පිරිසක් ඩොලර් 3,900ක් උපයන්නේ නැත. මේ තත්ත්වය වෙනස් කරගත හැක්කේ ලංකාව තුළ දැනුම, තාක්ෂණය පදනම් කරගත් ආර්ථික ක්‍රමවේදයකට හැඩගැසුණහොත් පමණි.
දේශීය නිෂ්පාදනයන් සමග රටේ ආර්ථිකය ගොඩනැගීමට රජය උත්සහ කරනු දැකිය හැක. එහිදී දේශීය කර්මාන්ත නගා සිටුවීමට හැකි එකම ක්‍රමවේදය වන්නේ දේශීය කර්මාන්ත තරගකාරී කිරීමයි. ලංකාවේ නිෂ්පාදනය කරන ඕනෑම දෙයක් සාර්ථක වන්නේ එය වැඩි මිලකට සෑදීම නොව ලෝක වෙළෙඳ පොළේ මට්ටමටම එය තරගකාරී කිරීම තුළිනි. උදාහරණයක් ලෙස විදේශයකින් ගෙන්වන සහල් රුපියල් 80ක් නම් ලංකාවේ නිෂ්පාදන කරන සහල් රුපියල් 100කට විකුණා දේශීය කර්මාන්ත නඟා සිටුවිය නොහැක. අවම වශයෙන් ලංකාවේ නිෂ්පාදනය කරන සහල්වල මිලත් 80ක් හෝ ඊට වඩා අඩුවිය යුතුය. විදේශයන්වලින් ගෙන්වන සහල් සම්පූර්ණයෙන් නතර කර ලංකාවේ නිෂ්පාදනය කරන සහල්වලින් පමණක්ම රටේ ආර්ථීකය දියුණු කරගත හැකිද? යනුවෙන් කෙනෙකුට ගැටලුවක් ඇතිවිය හැක. එය ලංකාව වැනි රටකට කරන්නට හැකි වූවත් ඉන් වැඩියෙන් පීඩාවට පත් වන්නේ රටේ ජනතාවයි. උදාහරණයක් ලෙස විදෙස් රටකින් මෝටර් රථයක් රුපියල් ලක්ෂයකට ගෙන්වනවා නම් ලංකාවේ නිෂ්පාදනය වන මෝටර් රථයක් රුපියල් ලක්ෂ දෙකකට අලෙවි වනවා නම් ජනතාවට තවත් කාර්යයක් සඳහා යොමු කිරීමට ඇති මුදලක් අහිමි වේ. එලෙස දේශීය කර්මාන්ත නඟා සිටුවිය නොහැක. එයට හේතුව ලංකාවේ වෙළෙඳ පොළ කුඩා වීමය. එම ක්‍රමවේදය යම්තාක් දුරකට හෝ සාර්ථක කරගත හැකි වන්නේ ඉන්දියාව, චීනය වැනි රටවලටය. එම රටවල දේශීය වෙළෙඳ පොළ විශාලය. එහෙයින් අප කළ යුත්තේ අපේ දේශීය කර්මාන්තවල තරගකාරීත්වය ලෝක වෙළෙඳ පොළේ තරගකාරීත්වය දක්වා වර්ධනය කිරීමය. %අපි වවමු - රට නගමු^ වැනි සංකල්පවලින් සාර්ථක ප්‍රතිඵලයක් ලබාගත හැක්කේ තරගකාරීත්වය ඇති කිරීම තුළිනි.
මෙම තත්ත්වය යටතේ අප නිදහසේ 100වැනි සැමරුම සමරන විට ලංකාවේ ආර්ථීක නිදහස කෙබඳු තැනක තිබේද යන්න ඉතා වැදගත් කාරණයකි. මෙම තත්ත්වය යටතේ 2048 වසර වනවිටවත් අපට ආර්ථික නිදහස් නොලැබුණහොත් රටක් ලෙස ඉදිරියට යෑමට නොහැකිය. අප සමග තරග කරන සිංගප්පූරුව, මැලේසියාව වැනි රටවල දැන් තිබෙන තත්ත්වයට අපට පැමිණීමටත් 2080 වසරවත් ගත වේ. ඒ කාලය වනවිට එම රටවල් තවත් ඉදිරියට ගොස්ය. අප අවම වශයෙන් 4%ක ආර්ථික වර්ධන වේගයක් තබා ගනිමින්වත් ඉදිරි වසරවලට මුහුණ දීමට සූදානම් විය යුතුය. මේ තත්ත්වය වෙනස් කර දීර්ඝ වෙනසකට යෑමට නම් අපට විශාල ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කළ යුතුය. මේ වනවිට පොඩි පොඩි පැලැස්තර හෙවත් මිල පාලනය හෝ ගැසට් මගින් සිදු කරන ක්‍රියාකාරකම් තුළින් ඉදිරියේදී ආර්ථික නිදහසක් ලබාගත නොහැක. එහිදී අනවශ්‍ය නීති රෙගුලාසි ඉවත් කිරීම ඉතාමත් වැදගත්ය. එසේ නොමැති වුවහොත් අප සැමදාම තුන්වැනි ලෝකයේ දියුණු වන රටක් ලෙස පවතී.