'වල්ඌරන් මරන්න පුළුවන් නම්, ඇයි මස් විකුණන්න බැරි? වැඩිපුර ඉන්න අලි රට පටවන්න ඕන. රිලව් මරන්න ඕන.' යන මාතෘකාව පිළිබඳ කතාබහට ලක්වන්නේ කරුණාරත්න පරණවිතාන නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් සිදුකරන ලද ප්‍රකාශයක් සමගය. එම ප්‍රකාශයට මාධ්‍ය මගින් පුළුල් ප්‍රචාරයක් ලබාදීමත් සමගම පරණවිතානට යන එන මං නැතිවන්නේ එය අලළා සමාජ ජාල වෙබ් අඩවි පහරගැසීම මගිනි. කෙසේ වෙතත් මෙම ප්‍රකාශය සමග යම් ධනාත්මක සහ සාධනීය කතාබහක් හා පරිසරය රැකගැනීම සම්බන්ධයෙන් කතිකාවක් සමාජය තුළින් ගොඩනැගී ඇති බව පෙනේ.
ශ්‍රී ලංකාවේ මෑත කාලීනව වඩාත් විද්‍යාත්මකව සිදුකළ අලි සංගණනයක් නොමැත. ලංකාවේ අලි ගණනය 6,000ක් යනු පදනම් විරහිත ප්‍රකාශයකි. අලි ගහනය වැඩි නම්, එය විද්‍යානුකූලව ඇති නිරීක්ෂණ 03කි. විශාල, තරබාරු හා අධිපෝෂණය ඇති අලින් දක්නට ලැබීම.ඉතා කෘශ වූ අලින් දැකගත හැකිවීම හා ආහාර නොමැතිකමින් මියයන අලින් සිටීම.
ලෝකයේ අලි ගහනයක් වැඩි යැයි නිගමනයට නම් ඉහළ ලක්ෂණ තිබිය යුතුය. එබැවින් විද්‍යානුකූල සටහනක් නොමැතිව, උක්ත ලක්ෂණ දැකගත නොහැකි අවස්ථාවක අලි ගහනය වැඩි යැයි කීම මතභේදාත්මකය. අලින් යනු 'මුල්ගල් ජීවීන්' (Key Stone Species) ලෙස හැඳින්වේ. පරිසරය රඳා පවතින්නේ මෙවන් වූ ජීවීන් නිසාවෙනි. එබැවින්‘ බලහත්කාරයෙන් එම ජීවීන් ඉවත් කිරීමට යෑමෙන් පරිසර පද්ධතිය දැඩි අවුල් ජාලාවක් බවට පත්වේ.
'වල්ඌරන් මැරීමට අවසර ඇත්නම් ඌරු මාංසය විකිණීමට නොහැක්කේ ඇයි?' මෙය පරණවිතාන ගෙන ආ අනෙක් තර්කයයි. පළිබෝධකයෙකු ලෙස වල්ඌරන් මරා දැමීමට හැකිය. වල්ඌරාද පරිණාමයන් උරුම වූ පරිසර පද්ධතිය තුලනය කරගැනීමට විශාල දායකත්වයක් ලබා දෙන ජීවීන් කොට්ඨාසයකි. වල්ඌරු මාංසය විකිණීමට අවසර ලබාදුනහොත් මෙය ව්‍යාපාරයක් බවට පත්ව වල්ඌරන් ගහනය නැත්තටම නැතිව යෑමට හේතු කාරණා සැකසෙනු ඇත. රිළවුන් ගහනය වැඩි වීමට හේතු වන්නේ විලෝපිකයන් වන ලංකාවට ආවේණික කොටියා, හඳුන් දිවියන් මරා දැමීමය. පසුගිය වසරේදී පමණක් ලංකාවට ආවේණික කොටියන් 14 දෙනෙකු මදුවලට හසුවීමෙන් මියගොස් ඇත. විලෝපිකයන් නොමැති වීම හේතුවෙන් රිළවුන් මෙන්ම වල්ඌරු ගහනයද ඉහළ ගොස් ඇත.
කිඹුලන්ගේ තත්ත්වයද එසේය. ශ්‍රී ලංකාවේ කිඹුල් විශේෂ දෙකකි. ඒ හැළකිඹුලා සහ ගැටකිඹුලාය. නිල්වලා ගඟේ ඉහළට කිඹුලන් පැමිණ ඇත්තේ ගංමෝය අසල කිඹුලන්ගේ ප්‍රජනන බිම් ලෙස ඇති ලවණ වගුරු මිනිසුන් විසින් ගොඩ කරනු ලැබීමය. 'ගැට කිඹුලා' යනු ඩයිනෝසර් යුගයේ පවා ජීවත් වූ %පොසිලයක්^ (Living Fossil) වන අතර, මිනිසාට වඩා මේ මිහිකත මත උරුමයක් කිඹුලාට ඇත.
අලි-මිනිස් ගැටුම්, සතුන් හා මිනිසුන් අතර ගැටුම් මේ වනවිටත් උත්සන්න වී ඇත. මීට හේතුව ශ්‍රී ලංකාවේ වන ගහනය ශීඝ්‍ර ලෙස පහළ වැටීමය. පසුගිය කාල පරාසය පුරාවට විල්පත්තුව වැනි වනාන්තර කැලෑපාළු දේශපාලනික හස්තයන්ගේ ක්‍රියාකාරකම් මත අහිමි වෙමින් පවතී. සබුද්ධික දේශපාලඥයෙකු වන කරු පරණවිතාන සිටගත යුත්තේ මේවාට එරෙහි වීමටය. 1920 දී ශ්‍රී ලංකාවේ වන ගහනය 49%කි. අද එය 18%ක් දක්වා අඩුවී ඇත.
අප කළ යුත්තේ සතුන් පිටරට පැටවීමත්, මස් කිරීමවත්, මරා දැමීමවත් නොව රටේ වන ගහනය වැඩි කිරීමය. තර්කය වනුයේද එයයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකාවේ වන ගහනය 35%ක් දක්වා වැඩි කිරීමට කටයුතු කරන බව පැවසුවා මතකය. මේවා කතාවට පමණක් සීමා නොකොට වන ගහනය වර්ධනය කිරීමට කටයුතු කරන්නේ නම්, රටට වඩාත් යහපත්වනු ඇත. සතුන්ට තම භූමිය නැතිවෙන්නේ මිනිසාගේ වරදිනි. එබැවින් එම වරද හදාගැනීම සඳහා කළ යුත්තේ වන ගහනය වර්ධනය කරනවා මිස අලි පිටරට පැටවීම, මස් විකිණීම හා සතුන් මැරීම වැනි සිල්ලර දේවල් නොවේ.
ශ්‍රී ලංකාව අවුරුදු 80ක් තිස්සේ තවමත් දියුණු වෙමින් පවතින රටකි. කලෙක මෙරට ආර්ථිකයට පසුපසින් සිටි දියුණු රටක් ලෙස දැන් සැලකෙන මැලේසියාවේ වන ගහනය 40%කි. අප ආදර්ශයට ගත යුත්තේ මෙයයි. මධ්‍යම කඳුකරයේ තේ වගාකර අත්හැර දමන ලද අක්කර 50,000ක බිම් ප්‍රමාණයක් ඇත. ජනාධිපති සිරිසේන පවසන පරිදි ශ්‍රී ලංකාවේ වන ගහනය 35%ක් කිරීම මෙම බිම් ප්‍රමාණයෙන් ආරම්භ කළ හැකිය. අවුරුදු 80ක් තිස්සේ තවමත් දියුණු වෙමින් පවතින රටක් ලෙස පවතින්නේ දේශපාලඥයන්ගේ දුර්වලතාවන් හා සැලසුම් නැතිකම නිසාවෙනි.
සංවර්ධනය විය යුත්තේ පරිසරයද ආරක්ෂා කර ගනිමිනි. ඒ අප ජීවත් වන්නේ මේ පරිසර පද්ධතිය තුළ බැවිනි. මෙහිදී එක් දෙයක් අවසානයේ මතක් කරදීමට කැමැත්තෙමි. ස්වභාව ධර්මයට පිටුපා යන්නාගේ ජීවිතය විනාශ වන්නේ ඔහුටත් නොදැනීය. අලින් 1,400ක් මැරූ මේජර් රොජර්ස්ගේ සොහොනට තවමත් අකුණු ගසන බව අප සැවොම දන්නා කරුණකි. ධරණීය ලෙස තිරසාර පරිසර සංරක්ෂණ ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කිරීමට කාලය එළැඹ ඇත.