225 ද? මිලියන 20ද?


ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන අර්බුදයට අප සිතන පරිදි ඇති එකම විසඳුම වන්නේ මහමැතිවරණයක් පැවැත්වීමය. කෙසේ වෙතත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළව ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් වන තීන්දුව මේ සටහන ලියන විටත් නිකුත් කර නොතිබිණි.

කෙසේ වෙතත් නුදුරු දිනයකදීම මේ සම්බන්ධයෙන් වන තීන්දුව ලැබෙනු ඇත. මෙම තීන්දුව ජනතාව වෙනුවෙන් ලැබෙන තීන්දුවක් බවට අප ප්‍රාර්ථනා කරන අතර, ඒ හරහා පාර්ලිමේන්තු මැතිවරණයකට යෑමට අප හට අවස්ථාව ලැබේවායි විශ්වාස කරමු.

නැවත වරක් පළමු කරුණට යන්නේ නම්, මෙම පෙත්සම් ඉදිරිපත්ව ඇති කරුණක් වන්නේ පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම හරහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225කගේ වරප්‍රසාද කඩවී ඇති බවයි. නමුත් මෙම මන්ත්‍රීවරුන් පත්කරන්නේ ජනතාව බැවින් ඔවුන්ගේ කාලසීමාවේ අවුරුද්දක් හෝ දෙකක් අඩුවීම මත තම අයිතිවාසිකම් කඩවීමක් ලෙස එක්සත් ජාතික පක්‍ෂය දකින්නේ නම්, එය වැරදීමකි. එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රී ධුරය තමන්ට හිමි දෙයක් නොවන අතර, එය ජනතාවට හිමි දෙයකි. 

ජනතාව කරන්නේ තමන් වෙනුවෙන් නියෝජිතයෙකු පාර්ලිමේන්තුවට තෝරා යැවීමය. ඒ අනුව මන්ත්‍රීවරුන් 225කගේ අයිතියද, එසේත් නොමැති නම් මිලියන 20කට අධික ජනතාවගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටිනවාද යන්න පිළිබඳ අප තීරණය කළ යුතුය. 225ක් වෙනුවෙන් පෙනී සිටිමින් මිලියන 20කට අධික ජනතාව නොසලකා හැරීමට කටයුතු කරනවාදැයි යන්න පිළිබඳ අප ගැඹුරින් සිතා බැලිය යුතු කරුණකි.
මේ අතර, අග්‍රාමාත්‍ය ධුරයේ හා කැබිනට් මණ්ඩලයේ රාජකාරි කටයුතු අත්හිටුවමින් අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුවද අභියෝගයට ලක්කරමින් අපි ශ්‍රේෂ්ඨාධිරණයට ඇපෑලක් ඉදිරිපත් කළෙමු.

ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමේ බලය ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයට බැවින් අපි අභියාචනාධිකරණයේ තීන්දුවට එරෙහිව මෙම අපෑල ගොනු කිරීමට කටයුතු කළෙමු. කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය ධුරයට හා කැබිනට් මණ්ඩලයට ලබාදුන් අතුරු තහනම හේතුවෙන් කිසිදු අවස්ථාවක අග්‍රාමාත්‍ය ධුරය හෝ කැබිනට් මණ්ඩලය අහෝසි වීමක් සිදුව නොමැති අතර, සිදුව ඇති එකම දේ වන්නේ ඔවුන්ට සිය ධුරවල රාජකාරි කිරීමට අවස්ථාවක් නොමැති වීමය. මේ හරහා අප ජනතාව වෙනුවෙන් සිදු කිරීමට නියමිතව තිබූ කටයුතු රාශියක් ඇනහිට තිබේ.

‘සුවපති’ගේ ලෙඩ වැඩ

රුසියාවෙන් ගෙන් වූ ප්‍රමිතියෙන් තොර ට්‍රස්ටුසුමැබ්, බ්‍රස්ටුසුමැබ් පිළිකා ඖෂධ දෙකෙන් පසුගිය වසර දෙකට මෙරටට රුපියල් බිලියන 3.8ක් අහිමි වී ඇති බව ශ්‍රී ලංකා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ සංගමය ඊයේ අභයාරාමයේ පැවැති මාධ්‍ය හමුවකදී හෙළිදරව් කරන ලදී.

එසේම මෙම ඖෂධ දෙක ලොව කිසිදු සායනයකින් අත්හදා බැලීම් කර නැති බවටත්, එවැනි එන්නත් මගින් සිදු වූ මූල්‍ය පාඩුවට වඩා ජීවිත හානිය වැඩි විය හැකි බවටත්, ජීවිත හානි තක්සේරු කළ නොහැකි බවටත් ඔවුන් කළ ප්‍රකාශය පිළිබඳ දැඩි අවධානයක් යොමුකළ යුතුය.

මේ සඳහා ඍජුවම වගකිව යුතු වන්නේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත  සේනාරත්න මහතා බව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ. පිළිකා ඖෂධ ඇතුළු ඖෂධ මිල අඩුකළැයි පවසමින් ජනතාව නොමග යැවූ රාජිත සේනාරත්න මහතාගේ කාලයේ සිදු වූ බව කියන දූෂණ අක්‍රමිකතා මේ වන හෙළිදරව් වී තිබේ.

චමල් රාජපක්‍ෂ මහතා එම අමාත්‍යාංශයේ වැඩ ආරම්භ කරමින් ප්‍රකාශ කළේ, අමාත්‍යාංශය සම්බන්ධයෙන් නිසි විගණනයක් කිරීමෙන් අනතුරුව වැඩකටයුතු ආරම්භ කරන බවයි. මෙම විගණනයේ අවසන් වාර්තාව පැමිණි විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිදු වූ දූෂණ හා අක්‍රමිකතා පිළිබඳ ජනතාවට දැන ගැනීමට අවස්ථාවක් තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඖෂධ මිලදී ගැනීම ටෙන්ඩර් පටිපාටි අනුව සිදුකළ යුතුව තිබුණද, පසුගිය කාලයේදී එය සිදු නොවුණු බැවින් තවත් විශාල මුදල් කන්දරාවක් රටට අහිමි වී ගොස් තිබේ. කෙසේ වෙතත් අමාත්‍ය චමල් රාජපක්‍ෂ මහතා දැනටමත් ඖෂධ මිලදී ගැනීමේ කටයුතු ටෙන්ඩර් පටිපාටි අනුව සිදුකරන ලෙස උපදෙස් ලබාදී ඇත.

පිළිකා රෝගීන් යනු සමාජයේ බොහෝ සානුකම්පාව යොමුවන පිරිසකි. එවැනි රෝගීන් වෙනුවෙන් උපකාර කිරීමට ශ්‍රී ලාංකේය ජනතාව නොපැකිළිව කටයුතු කරන බවට ලබාදිය හැකි හොඳම උදාරහණය වූයේ, මහරගම අපේක්ෂා රෝහලට %පෙට් ස්කෑනර්^ යන්ත්‍රයක් ලබාගැනීම වෙනුවෙන් දියත් වූ ව්‍යාපෘතියයි.

එහිදී අපේක්‍ෂා කළ මුදලටත් වැඩි මුදලක් කෙටි කාලයක් තුළදී පරිත්‍යාග කිරීමට ජනතාව කටයුතු කළද, පෙට් ස්කෑනරය ලංකාවට ගෙන ඒම සඳහා විශාල කාලයක් ගත විය. කෙසේ වෙතත් එම ක්‍රියාදාමය කල්යැවීම පසුපස හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා සිටි බවට චෝදනා එල්ලවන්නට විය.

රාජිත සේනාරත්න මහතාට ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපසභාපති තනතුර ලැබීම වෙනුවෙන් මීට මාස කිහිපයකට පෙර ඔහු %‘සුවපති’ ලෙස නම් කරමින් තමන්වම සම්මානයට පාත්‍ර කර ගන්නා උත්සවයක් තිබූ බව ඔබට මතක ඇත. නමුත් දැන් දැන් සුවපතිගේ ලෙඩ වැඩ එළියට එමින් තිබෙන බව නම් හොඳට පැහැදිලිය.
ලබන සතියේදී යළිත් හමුවෙමු!

ඔබට සුබ අනාගතයක්!



Recommended Articles