21 වැනි සියවසේ ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තයේ ආශ්චර්යය ලෙසින් හැඳින්වෙන මොරගහකන්ද - කළුගඟ බහුකාර්යය සංවර්ධන ව්‍යාපෘතිය මගින් කෘෂි කර්මාන්තය සහ ජීවනෝපාය වැඩිදියුණු කිරීම සඳහා දක්වන දායකත්වය ඉතා වැදගත් ස්ථානයක් ගන්නා බවට පැහැදිලිය.
ජාතික විදුලිබල පද්ධතියට ජල විදුලිබල සැපයුම සඳහා දායකත්වය ලබාදීමටද බලාපොරොත්තු වන මෙම ව්‍යාපෘතියේ ඉතා උසස් අරමුණු යථාර්ථවත් කර ගැනීම සඳහා මොරගහකන්ද, කළුගඟ සහ බෝවතැන්න ජලාශවල ජලපෝෂක ප්‍රදේශ මෙන්ම ඒ ආශ්‍රිත පහළ ගඟා , යෝජිත ඇළ සහ ස්වාභාවික ජල පහරවල් ආශ්‍රිත ජලපෝෂක ප්‍රදේශ හා කඳුකර වනාන්තර සංරක්ෂණය හා පරිහානියට පත්ව ඇති ජල පෝෂක ප්‍රදේශ පුනරුත්ථාපනයද ඉතා වැදගත්ය.
එමෙන්ම පුනරුත්ථාපනය සඳහා හඳුනාගත් කුඩා එල්ලංගා පද්ධතිවල ජලපෝෂක ප්‍රදේශද ජලය සහ ජෛවවිවිධත්වය සඳහා සංරක්ෂණයද වැදගත් වේ.
මොරගහකන්ද - කළුගඟ බහුකාර්යය සංවර්ධන ව්‍යාපෘතියේ පළමු අදියර ඉදිරි කාලය තුළ උතුරු මැද, වයඹ සහ සහ උතුරු පළාත සඳහා යල සහ මහ කන්නවල හෙක්ටයාර 82,000ක් වූ ගොවි බිම් සහ ගෘහස්ථ සහ කර්මාන්ත සඳහා අවශ්‍ය වාරි පහසුකම් සැපයීමේ අරමුණ ඇතිව ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව, උතුරු මැද පළාත් ඇළ හා ඒ හා සම්බන්ධිත ජල මාර්ග සහ ජලාශ ඉදිකිරීම් හෝ පුනරුත්ථාපනය කිරීම මෙහි දෙවැනි අදියරින් බලාපොරොත්තු වේ.
මෙමගින් උතුරු සහ උතුරු මැද පළාත්වල ගඟා ද්‍රෝණි 8ක් සඳහා දැනට පවතින සහ නව වගා බිම් හෙක්ටයාර 135,000ක් කන්න දෙකම වගා කළ හැකි සේ ජලය සැපයීමට සැලසුම් කර ඇත. මෙම බහුකාර්යය සංවර්ධන ව්‍යාපෘතියේ අරමුණු අතරින් පවුල් මිලියන 1.5ක් සඳහා කෘෂිකාර්මික කටයුතු කරගෙන යාමට සහාය වීම, උතුරු වියළි කලාපය ක්‍රමයෙන් ගිල ගනිමින් පවතින උග්‍ර ජල හිඟයට මෙන්ම වකුගඩු රෝගයටද මුහුණපා සිටින රජරට ප්‍රදේශයේ 300,000කට වැඩි පවුල් සංඛ්‍යාවක් සඳහා පිරිසුදු පානීය ජල පහසුකම් සැපයීම ප්‍රධාන වේ.
ජලපෝෂක ප්‍රදේශ සහ වර්ෂාපතන රටාව
මොරගහකන්ද සහ බෝවතැන්න ජලාශවල ජලපෝෂක ප්‍රදේශය වර්ග කිලෝමීටර 785ක් පමණ වන අතර, ඉන් කළුගඟ ජලපෝෂක ප්‍රදේශය වර්ග කිලෝමීටර 200ක් පමණ වේ. ඉන් විශාල ප්‍රදේශයක් මාතලේ මහනගර සභා බලප්‍රදේශයට අයත් වන අතර, උකුවෙල, ලග්ගල, පල්ලේගම, රත්තොට, අඹන් ගඟ කෝරළේ සහ නාඋල ප්‍රාදේශීය සභා බලප්‍රදේශය හරහා විහිදී තිබේ.
මොරගහකන්ද සහ කළුගඟ ජලාශවලට ජලය සපයන ප්‍රධාන ජල ධාරා වන්නේ අඹන් ගඟ, සුදු ගඟ, කළු ගඟ, කැටමිණි ඔය, හල්මිණි ඔය, නිකවතුර ඔය සහ ඇටඹගොල්ල ඔය වේ. මින් බොහෝමයක් නකල්ස් කඳුවැටියේ කඳු පන්තියේ නැගෙනහිර බෑවුමේ පිහිටා තිබේ. ඊට අමතරව නොයෙකුත් කුඩා ප්‍රමාණයේ අතු ගඟා (අමුණුවෙල, නිකෝලපැලැස්ස, හේවානේ, හල්මින්න, බඹරගහ, කුඹුක්ගොල්ල සහ වත්තේ ගෙදර) ඇතුළු ජලාශ සඳහා ජලය සපයනු ලැබේ. එම නිසා මෙම ජලාධාරවල ජලපෝෂක ප්‍රදේශ ආරක්ෂා කළ යුතුව ඇත.
අඹන් ගඟ සහ කළු ගඟ යන ගංගා දෙකෙහි ජලාධාර සඳහා වාර්ෂිකව ඊසාන දිග මෝසමෙන් සහ අන්තර් මෝසමෙන් වැඩි වර්ෂාපතනයක් ලැබේ. එහෙත් මෙම ජලධාරා ප්‍රදේශ නකල්ස් කඳු වැටියේ උතුරු සහ නැගෙනහිර බෑවුම්වල පිහිටි බැවින් නිරිත දිග මෝසමෙන් සැලකිය යුතු වර්ෂාපතනයක් නොලැබේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් සම්පූර්ණ ජලපෝෂක ප්‍රදේශය ජූලි සිට සැප්තැම්බර් කාලයේදී ඉඩෝර තත්ත්වයක පවතී.
මොරගහතැන්න - කළුගඟ- බෝවතැන්න ජලාධාර ප්‍රදේශවල වර්තමාන ඉඩම් පරිහරණය
වර්තමානයේ මොරගහතැන්න සහ කළුගඟ ජලාධාරා ප්‍රදේශවලින් විශාල ප්‍රමාණයක් මුහුදු මට්ටමේ සිට මීටර 1500ට වැඩි ඉහළ කඳුකර තෙත් වනාන්තර සහ මුහුදු මට්ටමේ සිට මීටර 900-1500ත් අතර වන පහළ කඳුකර තෙත් වනාන්තර මගින් ආවරණය වී තිබේ. මේවා තණ බිම් සහ ලඳු කැලෑවලින්ද යුක්ත වේ. මෙම ප්‍රදේශයේ මිලිමීටර 2000ට වැඩි සාමාන්‍ය වර්ෂාපතනයක් ඇත. මීටර 900 වඩා උසින් අඩු ප්‍රදේශ මිටියාවත් සහ අතර මැදි කලාපීය වනාන්තර මෙන්ම ලඳු කැලෑ ( අත්හැර දමන ලද තේ සහ භෝග වගාවන් ) වලින්ද පහළ ප්‍රදේශ ගෙවතුවලින්ද සමන්විත වේ.
ඉහළ පිහිටි නකල්ස් වන භූමියෙන් විශාල ප්‍රදේශයක් නිරුපද්‍රිත ලෙස පෙනුන මුහුදු මට්ටමේ සිට මීටර 900-1500ත් අතර වන පහත් කඳුකර ප්‍රදේශ යුනෙස්කෝ ආයතනය මගින් 2010 වර්ෂයේ මිශ්‍ර ලෝක උරුම භූමියෙන් කොටසක් ලෙස නම් කරන තෙක් 1960 සිට වාණිජමය වශයෙන් කරදමුංගු වගාව සඳහා භාවිත කෙරිණි. විශේෂයෙන් කළුපහන සහ ලකේගල මුදුන දක්වා පැතිරී ඇති කළු ගඟේ ඉහළ ජලධාර ප්‍රදේශවල අවුරුදු 40-50කට වැඩි කාලයක් සිදුකළ කරදමුංගු වගාව නිසා විශාල වශයෙන් වන ආවරණය අඩු වී තිබේ.
කරදමුංගු වගාව නීත්‍යනුකූලව තහනම් වුවත්, බීජ නඩත්තු කිරීම සඳහා අවසර නොතිබුණත් කුඩා පරිමාණ කරදමුංගු එකතුකිරීම් සහ දර යොදාගෙන පදම් කිරීම් වනාන්තරය තුළ සිදු කරයි. මෙසේ පරිහානියට පත් වනාන්තර ආවරණය නැවත ප්‍රතිස්ථාපනය සෙමෙන් සිදුවන අතර, මෙයට නිරිතදිග වර්ෂා වනාන්තර ප්‍රතිස්ථාපනයට වඩා දීර්ඝ කාලයක් ගතවේ.
නකල්ස් අඩවියේ ඉහළ කඳුකර වනාන්තර තුළ ශාක මැරී යමින් පැවතීම තවත් ගැටලුවක් ලෙස හඳුනාගෙන ඇත. තවද බෝවතැන්න ජලාශයේ ජල පෝෂක ප්‍රදේශය වන සුදු ගඟ ද්‍රෝණිය වර්ග කිලෝ මීටර 387ක් වන අතර, එය විශාල වශයෙන් වාණිජ කෘෂිකාර්මික භෝග වන තේ, රබර්, කොකෝවා වගා භූමිවලින් මෙන්ම වී, කුළුබඩු වගාබිම් හා ගෙවතුවලින් යුක්ත වේ.
දේශගුණික වෙනස්වීම් හේතුවෙන් ඇති වන බලපෑම් පුරෝකථනයන්
කලාපීය දේශගුණික විචල්‍යතාවන් පිළිබඳව ඉදිරිපත් කරනු ලැබූ වාර්තාවකට අනුව දකුණු ආසියානු කලාපයේ සාමාන්‍ය වර්ෂාපතනය 10%- 20% කින් අඩු හෝ වැඩි වීමක් සිදු විය හැකිය. එයට සමගාමීව ශ්‍රී ලංකාවේද සිදුකළ දේශගුණික අධ්‍යයනයන් අනුව මෑතක සිට ඊසාන දිග මෝසම් වැසි 19%කින් පමණ අඩුවී ඇත. නිරිත දිග මෝසම් වැසි 9෴කින් වැඩිවීමක් පෙන්නුම් කරයි. ඉහත සඳහන් කරුණු පදනම්ව සැකසූ තොරතුරු ආකෘති අනුව ඊසාන දිග මෝසම් වැසි මගින් අඹන් ඟඟ හා කළු ගඟ සඳහා ලැබෙන ජල ප්‍රමාණය වර්තමාන ජල ප්‍රමාණයට වඩා අඩු වන බවත්, නිරිත දිග මෝසම් තත්ත්වයන්හිදී නිරන්තරයෙන් අධික නියං කාලගුණයක් ඇති වන බවටත් අනාවැකි පළ කරයි.
මධ්‍යම කඳුකරයට ඇදහැෙළන ඊසාන දිග මෝසම් වර්ෂාවෙනුත්, ඉහළ උන්නතාංශයන්හි පවතින කඳුකර වනාන්තරයන්හි මීදුම මගිනුත් නකල්ස් කඳු පන්තීන්ගේ උතුරු සහ නැගෙනහිර බෑවුම්වල පිහිටි සුදු ඟග, අඹන් ගඟ මෙන්ම කළු ගඟට ජලය සැපයෙන අතර, මෙම ජලයෙන් බෝවතැන්න, මොරගහකන්ද සහ කළු ගඟ යන ජලාශ පෝෂණය වේ. එබැවින් මෙම ජලාධාර ප්‍රදේශ විශේෂයෙන් සංරක්ෂණය කිරීම මගින් ජලාධාර ප්‍රදේශයට ලැබෙන ජලය රඳවා ගැනීමටත් සෙමෙන් මුදාහැරීමටත් හැකියාව ලැබේ.
පාරිසරික බලපෑම් සඳහා දක්වන අවම කිරීමේ සහ අනුහුරුවීමේ ප්‍රතිචාර
ව්‍යාපෘතිය හේතුවෙන් හටගන්නා පාරිසරික බලපෑම් අවම කිරීමේ කාර්යයන් සැලකීමේදී සාපේක්ෂව මෙම ව්‍යාපෘතිය මගින් මේ වන විටත් එම බලපෑම් අවම කිරීමට ක්‍රියාමාර්ග ගණනාවක් ආරම්භ කර තිබේ.මේවා අතර,
1) අඹන් ගඟ ගංගා ද්‍රෝණියට ආසන්නව ජලාධාර ප්‍රදේශයේ හෙක්ටයාර 1300ක් පමණ වූ ප්‍රදේශයක් නැවත වන වගා කිරීම.
2) මොරගහකන්ද ජලාශය වටා මීටර 100ක ස්වාරක්ෂක කලාපයක් සලකුණු කිරීම හා එම ස්වාරක්ෂක කලාපය තුළ හෙක්ටයාර 650ක භූමි ප්‍රදේශයේ නැවත වන වගා කිරීම.
3) ගිරිතලේ, මින්නේරිය ස්වාභාවික රක්ෂිතය සහ වස්ගමුව ජාතික වනෝද්‍යානය අතර අලිමංකඩක් ස්ථාපිත කිරීම.
4) වනජීවීන්ට භාවිත කිරීම සඳහා ආසන්නයේ ඇති ස්වාභාවික රක්ෂිතවල පවත්නා වැව්/ජලාශ පුනරුත්ථාපනය.
5) ආක්‍රමණශීලී ශාක ඉවත් කිරීම.
6) ජනාවාස වූ ප්‍රදේශ වටා අලි වැටවල් ස්ථාපිත කිරීම.
කෙසේවුවද, නව්‍ය වූ වඩාත් සුදුසු සැලැස්මක් මේ සඳහා තිබිය යුතුය. විශේෂයෙන්ම දෙවැනි අදියරේදී ජලය වැඩිදුරක් ගෙන යා යුතු අතර, දීර්ඝ නියන් කාලවලදී මෙම ජලය වාෂ්පීකරණය මගින් ඉවත්වීම පිළිබඳව සැලකිලිමත්ව සැලසුම් සැකසීම ඉතා වැදගත්ය.
මෙම මහා පරිමාණ ව්‍යාපෘතියේ දෙවන අදියර ලෙසින් බෝවතැන්න ජලාශයේ ජලය දෙවන උමං මාර්ගය ඔස්සේ සහ පුළුල් කළ හුරුළු වැව් පෝෂක ඇළ මගින් උතුරු මැද වාරිමාර්ග පද්ධතියට සම්බන්ධ කිරීමට සැලසුම් කර ඇත. මොරගහකන්ද හා කළුගඟ ජලාශයන්හි අතිරික්ත ජලය මේ සඳහා භාවිත කිරීමට සැලසුම් කරයි. තවදුරටත් හුරුළු වැවෙන් ආරම්භ කරමින් නාච්චදූව වැව, තිස්ස වැව, නුවර වැව හා මහකනදරාව වැව තෙක් පැතිරෙන පරිදි පිහිටි විශාල ප්‍රමාණයේ හා කුඩා ප්‍රමාණයේ වැව් පුනරුත්ථාපනයද වැදගත් වේ.
මෙම ව්‍යාපෘතියේ ජලය රැගෙන යන ඇළෙහි දිග කිලෝ මීටර 96ක් වන අතර, එයට කිලෝ මීටර 26ක උමඟක් අයත්ය. මෙම කිලෝමීටර 93ක් වන වයඹ ඇළ මගින් කුරුණෑගල, ගලේවෙල සහ මාතලේ යන ප්‍රදේශ ආවරණය වේ. මෙම වැඩසටහන යටතේ විශාල සහ කුඩා වැව් 300ක් පමණ පෝෂණය වන අතර, එයින් කෘෂි බිම් හෙක්ටාර 12,500ක් සඳහා වාරිමාර්ග පහසුකම්ද, පවුල් 40,000ක් සඳහා පානීය ජලයද සැපයෙනු ඇත. ස්වාභාවික ජලධාරා අසල වනාන්තර පුනරුත්ථාපනය මෙන්ම ඇළ මාර්ග දිගේ ඇති වනාන්තරද පුනරුත්ථාපනය කළ යුතු වන අතර, වනසතුන්ගේ පර්යටනයන් සඳහා ගංගාධාර මංපෙත් ඇති කිරීමද පෙන්වාදී ඇත.
මෙම ක්‍රියාකාරකම් සඳහා මීට පෙර ක්‍රියාත්මක කළ මහවැලි සංවර්ධන ව්‍යාපෘතිවලදී උගත් පාඩම් ඉතා හොඳ පිටිවහලක් වනු ඇත.
වනරෝපා ජාතික පැළ සිටුවීමේ වැඩසටහන
වනරෝපා ජාතික පැළ සිටුවීමේ වැඩසටහන 2015 ඔක්තොම්බර් මස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වු අතර, එහි අරමුණ වූයේ දැනට පවතින වන ආවරණය එනම් 29% හෙක්ටයාර 180,000කින් වර්ෂ 2016 සිට 2018 තුන් අවුරුදු කාලය තුළ 32% කින් ඉහළ නැංවීමයි.
මෙම ජාතික කර්තව්‍ය ක්‍රියාත්මක කිරීම සඳහා සියලුම රාජ්‍ය ආයතනත් එලෙසම පෞද්ගලික අංශය සහ රාජ්‍ය නොවන සංවිධානයන්ගේ සක්‍රීය ක්‍රියාකාරිත්වයත් අපේක්ෂා කෙරුණි. 2015 ඔක්තොම්බර් සිට මසක කාලයක් තුළ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත් වූ අතර, එය තේමාවන් 04ක් යටතේ විය.
වන සංරක්ෂණය ඇති කිරීම.
මිනිස් වාසස්ථාන, නාගරික වනාන්තරවල හරිතකරණය වැඩි කිරීම.
පාර්ශ්වකරුවන් නොවන අයගේ සහභාගිත්වය වැඩිදියුණු කිරීම.
මිනිසා විසින් නිර්මාණය කළ වනාන්තර වැඩි කිරීම.
සැබැවින්ම මෙම දැවැන්ත වැඩසටහන මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය මගින් එළිදැක්වූ අතර එය මොරගහකන්ද, කළුගඟ, බෝවතැන්න ජලාශ සංකීර්ණයේ ජලාධාර ප්‍රදේශ තිරසර කළමණාකරණය දක්වා පුළුල් කර තිබේ. වනරෝපා සහ අනෙකුත් ප්‍රතිස්ථාපන වැඩසටහන් යටතේ 2015 වසරේ කළුගඟ - මොරගහකන්ද - බෝවතැන්න ප්‍රධාන ජලධාරාව ආරක්ෂා කර ගැනීමට ඉදිරිපත් කළ වැඩසටහන්ද මෙහිදී අවධානයට ගැනීම වැදගත්ය.
මෙම ජලාශයන්ගේ ජලාධාර ප්‍රදේශවල පරිසර පද්ධති වැඩි දියුණු කිරීම සඳහා මෙම ප්‍රදේශවල ඇති විදේශීය ශාක ඉවත් කර දේශීය මිශ්‍ර ශාක හඳුන්වා දෙමින් වනාන්තර සංයුතිය හා ව්‍යූහය වෙනස් කිරීමද ඉතා වැදගත්ය.
එසේම කඳුකර ප්‍රදේශවල වනාන්තරවල ගිනි ඇතිවීම වැළැක්වීම, පස හායනය වැළකීම, ගෙවතු වගාවේදී කුළුබඩු භෝග සහ අනෙකුත් ප්‍රයෝජනවත් ශාක විශේෂ වගාවන් මගින් වඩාත් හොඳ කළමනාකරණයක් සඳහා ප්‍රජාව උනන්දු කරවීමෙන් මානව ජනාවාස හරිතකරණයද සිදුවේ.
නකල්ස් කලාපය තුළ ඇති රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන සතු ඵලදායී නොවන ඉඩම් නව්‍ය ක්‍රමවේදයක් අනුව භෝග විවිධාංගීකරණ ක්‍රමවේදයන්ට අනුගතව එම වගාවන් තුළ පරිසර පද්ධති සේවාවන් වැඩිදියුණු කිරීම කෙරෙහි නැඹුරු විය යුතුව ඇත. එම පරිසර පද්ධති සේවා අතර පිරිසුදු ජලය සැපයීම, ආහාර හා භෝගවල ජාන විවිධත්වය, දේශගුණ නියාමනය හා රෝග නියාමනය, පරාගන කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, ප්‍රාථමික නිෂ්පාදන ඉහළ නැංවීම හා පස සංරක්ෂණය දැක්විය හැකිය. මේ මගින් පරිසර අලංකාරය වැඩි කරන අතර, විනෝදාස්වාදය හා පරිසර සංරචනය සඳහා අවස්ථාවන්ද සලසා දෙයි.
තිරසර සංවර්ධනය සඳහා වන ජාතික ප්‍රතිපත්තීන්, උපාය මාර්ග හා ක්‍රියාකාරී සැලසුම්
දේශගුණික විපර්යාසවල බලපෑම අවම කිරීම හා ඒවාට අනුගත වීම සඳහා ජාතික මෙන්ම ප්‍රාදේශීය වැඩසටහන් ගණනාවක් ඇත. මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ දේශගුණික විපර්යාස ලේකම් කාර්යාලය (CCS), ජෛවවිවිධත්ව ලේකම් කාර්යාලය (BDS) සහ තිරසාර සංවර්ධන අංශය (SDD) විසින් ඉදිරිපත් කළ ලේඛනවල ඒවා ඉස්මතු කර ඇත. මේ අනුව, මොරගහකන්ද - කළුගඟ - බෝවතැන්න වාරිමාර්ග සංවර්ධන ව්‍යාපෘතිය හා ඒකාබද්ධව වනාන්තර වැනි පරිසර පද්ධති සංරක්ෂණය කිරීම, හානිය අවම කිරීම, අනුගත වීම සහ තිරසාර පැවැත්ම සඳහා ජාතික හා කලාපීය මට්ටමේ ප්‍රතිපත්ති, උපායමාර්ග හා ක්‍රියාකාරී සැලසුම් දැනටමත් ක්‍රියාත්මක වන අතර, මෙය 21 වැනි ශතවර්ෂයේ ශ්‍රී ලංකාවේ ආදර්ශ ගඟා ද්‍රෝණි සංවර්ධන ව්‍යාපෘතිය ලෙසද සැලකිය හැකිය. මීට වසර 30කට පෙර සම්පූර්ණ කළ කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපෘතියේ අතීත අත්දැකීම්වලින් සහ අනෙකුත් ක්‍රියාත්මක කළ ජලාශ ව්‍යාපෘතිවලින් ලද අත්දැකීම් තුළින් මෙම මොරගහකන්ද ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාවට නැංවීමට අවශ්‍ය පසුබිම සැකසී ඇති අතර, මෙය නිසැකවම රජරට ගොවීන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීමට උපකාරී ෙවනවා මෙන්ම වේගයෙන් සිදුවන භූමි පරිභෝජන වෙනස්වීම් හමුවේ ඔවුන් මුහුණදෙන ගැටලුවලටද විසඳුම් සපයනවා ඇත.
ඉහළම මට්ටමේ සිට පහළ මට්ටම දක්වා සියලුම පාර්ශ්වකරුවන්ගෙන් උපරිම කැපවීම සහිතව මෙම ප්‍රතිපත්ති, උපායමාර්ග හා ක්‍රියාකාරී සැලසුම් ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම තුළින් පමණක් ශීඝ්‍රයෙන් වෙනස් වන භූ දර්ශනය හා දේශගුණය හමුවේ මොරගහකන්ද- කළුගඟ බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ 21 වැන් සියවසේ විශ්මිත වාරි කර්මාන්තය බවට පත් කිරීමට හැකියාව තිබේ.
සම්මානිත මහාචාර්ය නිමල් ගුණතිලක (පේරාදෙණිය විශ්වවිද්‍යාලය)