2030දී වැඩිවන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ව්‍යවසායකයන් කරමු


ඕනෑම රටක පැවැත්ම වෙනුවෙන් ශ්‍රම බළකාය අත්‍යවශ්‍යම සාධකයකි. ශ්‍රම බළකාය හිඟවේ නම් එම රටේ සියලු ක්‍රියාවලීන්ගේ අඩපණවීමක් සිදුවන අතර, ඒ ඔස්සේ ඇතිවන සමාජ, ආර්ථික ගැටලුද බොහෝය.වයස්ගත ජනගහනය අධික වීම සහ එම ප්‍රමාණය ශ්‍රම බළකාය ඉක්මවා යෑමේ ගැටලුවට අද වනවිට ලෝකයේ සංවර්ධිත රටවල් ඇතුළුව රටවල් ගණනාවක්ම මුහුණපා තිබේ. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත වාර්තා අනුව ශ්‍රී ලංකාවේ වයස්ගත ජනගහනය 2030 වර්ෂය වනවිට රටේ ශ්‍රම බළකාය ඉක්මවා යාමට නියමිත බවට පුරෝකථනය කර තිබේ. 


එක්තරා අතකින් එය මෙරට සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ ඇතුළු ක්‍ෂේත්‍ර කිහිපයක දියුණුවේ යම් ප්‍රවණතාවක් ලෙස සැලකිය හැකි වුවද, තවමත් සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙසත්, විධිමත් නොවූ මානව සම්පත් කළමනාකරණයක් දක්නට නොලැබෙන රටක් මෙන්ම සමාජ සුබ සාධන යාන්ත්‍රණයන් තවමත් ශක්තිමත් නොවූ රටක් ලෙසත් එම අර්බුදය ශ්‍රී ලංකාවේ සමාජයට මෙන්ම ආර්ථිකයට විශාල බලපෑමක් එල්ල කරනු ඇත.
ජන සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් අවසන් වරට සිදුකරන්නට යෙදුණු සමීක්ෂණවල දත්ත වාර්තා මගින් සහ වෙනත් පිළිගත හැකි දත්ත මූලාශ්‍රයන් මගින් පෙන්වාදෙන පරිදි ශ්‍රී ලංකාවේ ජනගහන වර්ධන වේගය 2017 වසර වනවිට 1.1෴ක් පමණ වාර්තා කෙරේ. දත්ත විශ්ලේෂණයේදී පෙනී යන ආකාරයට මෙරට වියපත් ජනගහනය ශීඝ්‍රයෙන් ඉහළ යෑම ආරම්භ වන්නේ 80 දශකයෙන් පසුවය. ඒ අවධියේදී රටේ පැවැති අර්බුදකාරී සහ භීෂණකාරී තත්ත්වයත් පසුකාලීනව මුහුණදුන් යුද වාතාවරණය යටතේ විශාල තරුණ පිරිසක් රටට අහිමිවීමත් ඊට සෘජුව හා වක්‍රව හේතු සාධක බවට පත්ව තිබේ. තවද එම කාලසීමාවේ පටන් අද දක්වාමත් තරුණ පිරිස් විශාල වශයෙන් විදෙස් රටවල් වෙත සංක්‍රමණය වීම තවත් හේතුවකි. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් රටේ ආර්ථිකයට තවදුරටත් කාර්යක්ෂමව දායක කරගනිමින් ඔවුන් අභිමානවත් පුරවැසියන් බවට පත්කිරීමට ව්‍යවසායකත්වය සතු කාර්යභාරය පිළිබඳ විග්‍රයක් ඔබ වෙත ගෙන ඒමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවසායකත්ව අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය රුක්මාල් වීරසිංහ මහතා සම්බන්ධ කර ගැනීමට අද අපි සිතුවෙමු.

වැඩිහිටි ජනගහනය ශ්‍රම බළකායත් ඉක්මවා යමින් වැඩි වීම අද වනවිට ලෝකයේ බොහෝ රටවල් අත්විඳින ප්‍රශ්නයක්. දත්ත වාර්තා අධ්‍යයනයේදී පැහැදිලිවම පෙනී යන කාරණයක් තමයි ශ්‍රී ලංකාවේ මරණ අනුපාතිකය නොවෙනස්ව පවතිද්දී උපත් අනුපාතිකය අඩුවෙමින් පැවතීම. ඒ නිසා දැනට සිටින ජනගහනයටයි රට නඩත්තු කරගෙන යෑමේ වගකීම පැවරී තිබෙන්නේ. මේ සඳහා හේතු වෙලා තිබෙන තවත‍් කාරණයක් තමයි සංක්‍රමණ. රටේ මතු සංවර්ධනය වෙනුවෙන් දායකත්වය සැපයීමට සිටින තරුණ ශ්‍රමය විශාල වශයෙන් මේ වනවිට රටින් බැහැරව යමින් සිටිනවා. මේ සියල්ල අවසානයේදී අපිට ඉතිරි වෙන්නේ වයස්ගත වූ ජනගහනයක්. 2030 වර්ෂය වනවිට මේ තත්ත්වය යම් බරපතළ තත්ත්වයකට පත්වීමට ඇති ඉඩකඩ පිළිබඳව මේ වනවිට පුරෝකථන ඉදිරිපත් වෙමින් පවතිනවා.

මේ කාරණය රටේ ආර්ථිකයට බලපවත්වන ආකාරය පිළිබඳ අවධානය යොමු කළොත් පළමු කාරණය තමයි මේ ඔස්සේ රටේ ශ්‍රම බළකායේ අඩුවීමක් සිදුවෙනවා. ඒ ඔස්සේ බොහෝ කර්මාන්ත ක්‍ෂේත්‍ර සඳහා නව පුහුණු ශ්‍රමිකයන්ගේ හිඟයක් මතුවේවි. දැනමත් රටේ ඇතැම් ක්‍ෂේත්‍ර මුහුණදී තිබෙන ගැටලුවක් තමයි එම ක්‍ෂේත්‍ර සඳහා නව ශ්‍රමය සොයා ගැනීමේ ගැටලුව. ඉන්න ශ්‍රමිකයන් වයස්ගත වීමත් සමග විශ්‍රාම යන ප්‍රමාණයට සාපේක්ෂව වන ශ්‍රමය එක්වීම යම් අඩු මට්ටමකට පැමිණෙමින් තිබෙනවා. මේ සඳහා මෙරට මානව සම්පත කළමනාකරණය කිරීමේ අවිධිමත් භාවයත් යම් හේතුවක් වෙලා තිබෙනවා. ක්‍රියාශීලී, නව අදහස් ඇති, අනාගත නායකත්වයන් දැරිය යුතු තරුණ ශ්‍රමය රටේ ඉදිරි ගමන සඳහා ප්‍රමාණවත් ලෙස එක් නොවීම රටට අහිතකර තත්ත්වයක් නිර්මාණය කරන්න හේතු වෙනවා.

මේ ආකාරයෙන් ශ්‍රම බළකායට සාපේක්ෂව යැපෙන්නන් ප්‍රමාණය වැඩිවන විට ආර්ථික වශයෙන් වගේම සාමාජීය වශයෙන් පවා ගැටලු බොහොමයක් නිර්මාණය වේවි. රටේ පවතින වාතාවරණය අනුව ආදායම් තත්ත්වය පහළ මට්ටමක තිබෙන දරුවන්ට වයස්ගත දෙමවුපියන් නඩත්තු කිරීම යම් අභියෝගයක් බවට පත්වනවා. ඒ වගේම රජයටත් ආර්ථිකමය වශයෙන් පවතින ශක්තිමත් භාවය අඩුවීම නිසා වියපත් ජනගහනය සඳහා රජයට සිදුකළ හැකිදේත් සීමා සහිත තත්ත්වයකයි තිබෙන්නේ. අද අපිට සුලභව දකින්නට ලැබෙන දෙයක් තමයි වියපත් මවුපියන් යාචක ජීවිතයක් ගතකිරීම. එම තත්ත්වය එළඹෙන අභියෝගාත්මක තත්ත්වය යටතේ තවත් සුලභ වීමට ඉඩලබා නොදිය යුතුයි. 

මේ මගින් කිසිදු විටෙක අපි අදහස් කරන්නේ නැහැ වැඩිහිටි ජනගහනය රටට බරක් කියන දේ. මේ ගැටලුවට උග්‍ර ලෙස මුහුණදී සිටින ජපානය, දකුණු කොරියාව වැනි දියුණු රටවල් වියපත් ජනගහනය රටට බරක් ලෙස සලකා නැහැ. ඔවුන් ශක්තිමත් හා සාර්ථක යාන්ත්‍රණයන් ගණනාවක් ඔස්සේ මෙම ගැටලුව කළමනාකරණය කරගනිමින් වැඩිහිටි ජනතාව රටේ දියුණුව සඳහා සම්පතක් බවට පත්කොටගෙන තිබෙනවා.
දකුණු කොරියාව ගත්තොත් වර්තමානය වනවිට එහි ජනගහන වර්ධන වේගය සෘණ අගයකුයි වාර්තා කරන්නේ. ඔවුන් සිය කර්මාන්ත සඳහා මිනිස් ශ්‍රමය වෙනුවට නවීන තාක්ෂණය අදේශ කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ වගේම ශ්‍රම බළකායට අවශ්‍ය යම් ප්‍රමාණයක් විදෙස් ශ්‍රමිකයන් මගින් ලබාගන්නවා. ඒ අනුව මිනිස් ශ්‍රමය ප්‍රධාන වන අපේ කර්මාන්ත ක්‍ෂේත්‍රවලටත් සිදුවනවා ශ්‍රමය මතම යැපීම සීමා කරමින් සිය ක්‍ෂේත්‍රවලට නව තාක්ෂණය ආදේශ කරගන්න. නැත්නම් ඉදිරියේදී කර්මාන්ත ඵලදායී වන්නේ නැහැ. මොකද, ඉදිරියේදී ශ්‍රමය සඳහා වන පිරිවැය අධික වෙනවා. ඒ වගේම අධික මුදලක් ගෙවා හෝ ශ්‍රමය සොයා ගැනීමට නොහැකි වෙනවා. 

නමුත් ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්‍ෂේත්‍ර සඳහා නව තාක්ෂණය උපයෝගී කරගැනීම ඉතාම මන්දගාමී තත්ත්වයකයි පවතින්නේ. බොහෝ කර්මාන්තකරුවන් තාක්ෂණය ආදේශ කරගැනීම සඳහා වන වියදම හුදෙක් පිරිවැයක් ලෙසයි සලකන්නේ. අනෙක් කාරණය තමයි ඒ ආකාරයෙන් තාක්ෂණය ආදේශ කරගැනීම සඳහා විශාල ආයෝජනයක් අවශ්‍ය වෙනවා. ඒ ආයෝජනය සපයා ගන්නේ කොහොමද කියන ගැටලුවට කර්මාන්තකරුවන් මැදිවෙනවා නම් එතනදී තමයි රජයේ මැදිහත්වීමක් මෙහිදී අවශ්‍ය වෙන්නේ. රජය මැදිහත් වීම හරහා කර්මාන්ත සඳහා අයෝජකයන් සම්බන්ධ කරදීම මගින් එම ගැටලුව සැලකිය යුතු මට්ටමකින් නිරාකරණය කරගත හැකිවෙනවා.

ඒ වගේම දියුණු රටවල් වුණත් මේ වනවිට විදේශ ශ්‍රමිකයන් ගෙන්වා ගැනීම සීමා කිරීමට අවධානය යොමු කරමින් සිටිනවා. විදෙස් ශ්‍රමය ගෙන්වා ගැනීම පැහැදිලිවම සහ හුදෙක්ම පැලැස්තර විසඳුමක් පමණයි. ශ්‍රී ලංකාව වැනි තවමත් දියුණු වෙමින් පවතින රටවලට විදෙස් ශ්‍රමිකයන් මගින් යැපීම එතරම් සාර්ථක විසඳුමක් වෙන්නේ නැහැ. ඒ වගේම නීති රීති හා ප්‍රතිපත්තිවල පවතින දුර්වලතා නිසා එමගින් රටේ ස්වෛරීභාවට යම් බලපෑමක් ඇතිවීමේ ඉඩකඩ මේ ඔස්සේ නිර්මාණය වෙන්න පුළුවන්කම තිබෙනවා. ප්‍රධානතම කාරණය තමයි ඉදිරියේදී ලාබෙට විදෙස් ශ්‍රමය ලබාගැනීමට තිබෙන හැකියාව නැතිවී යනවා. 

මීට වසර කිහිපයකට පමණ පෙර චීනයේ විදෙස් ශ්‍රමය ලාබෙට තිබෙනවා කිව්වත් අද කවුරුවත් කියන්නේ නැහැ චීනයේ ශ්‍රමය ලාබෙට තිබෙනවා කියලා. ශ්‍රී ලංකාව වර්තමානයේදී ඉන්දියාවේ ශ්‍රමය පිළිබඳ බලාපොරොත්තු තබාගෙන සිටියත් එයත් ඉදිරියේදී සාර්ථක විසඳුමක් වෙන්නේ නැහැ. අද ලෝකයේ විවිධ කාර්යාලයීය කටයුතු සහ විවිධ ක්‍ෂේත්‍රයන් සඳහා බාහිරකරණය මගින් සේවා ලබාගැනීමට (Outsourcing) අවධානය යොමු වී තිබෙනවා. එමගින් භූගෝලීය වශයෙන් කේන්ද්‍රීය නොවී ව්‍යාපාරවල ඇතැම් කටයුතු පිටරටවල හෝ දුරබැහැර සිටින පිරිස් හරහා සිදුකර ගැනීමේ හැකියාව පවතිනවා.

වයස්ගත ජනගනය සම්පතක් කරගනිමින් ඔවුන්ව රටේ සංවර්ධන කාර්ය සඳහා කාර්යක්ෂමව දායක කරගැනීමට විසඳුම් ගණනාවක්ම ව්‍යවසායකත්වය සතුව පවතිනවා. ඒ නිසයි ලෝකයේ වගේම ශ්‍රී ලංකාව තුළත් නිරන්තරයෙන්ම ව්‍යවසායකත්ව සංස්කෘතියක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව දැඩිව මතුකරන්නේ. මේ කටයුත්ත අද වනවිට ජපානය, ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය පමණක් නොවෙයි අපේ අසල්වැසි ඉන්දියාව පවා ඉතාමත් සාර්ථකව ක්‍රියාත්මක කරමින් සිටිනවා.

පළමුවෙන්ම වියපත් වුණාට පස්සේ ඔබ දැන් වයස්ගතයි, තවත් වැඩකරන්න අවශ්‍ය නැහැ, තවත් ඔබට වැඩකරන්න බැහැ කියන සෘණාත්මක සංකල්ප ඔවුන් තුළ ඇති කිරීම නොකළ යුතු කාරණයක්. වියපත් වුවත් ඔවුන් යැපෙන්නන් නොවන බවටත් තවදුරටත් ඔවුන්ට ආර්ථිකය සඳහා දායකවිය හැකි අභිමානවත් පුරවැසියන් පිරිසක් හැකි බවටත් ඔවුන්ගේ මනසට ඒත්තු ගැන්වීම ඉතාම වැදගත් කරුණක් වෙනවා. 

මීට හොඳම උදාහරණය තමයි ලොව ප්‍රකට %KFC^ අවන්හල් ජාලයේ නිර්මාතෘ කර්නල් හැරල්ඩ් . ඔහුට වයස 60 වනවිටත් ඔහු ආර්ථික වශයෙන් ඉතාමත්ම කනගාටුදායක තත්ත්වයක පසුවූ පුද්ගලයෙක්. වරක් ඔහු සියදිවි නසාගැනීමට පවා තැත් කරනවා. ඔහු වියපත් වියේදී තමයි අවසානයේදී KFC අවන්හල් ජාලය ආරම්භ කරමින් ධනවත් පුද්ගලයෙක් බවට පත්වෙන්නේ. අවසානයේ අවුරුදු 60දී දිවි නසාගන්න උත්සහ කළ ඔහු 90 වැනි විය වන තෙක් ජීවත් වෙන්නේ අභිමානවත් පුද්ගලයෙකු ලෙසයි.

වයස 60 ලැබුවාට පසුව රාජ්‍ය සේවයේ හෝ පුද්ගලික සේවයේ නියුතු අය විශ්‍රාම වැටුප් පමණක් ලබන එසේත් නැත්නම් විශ්‍රාම ගිය පිරිසක් බවට පත්කරලා ඔවුන් මරණයට සූදානම් වන පිරිසක් බවට පත් නොකොට එතැන් පටන් ඔවුන්ට තමන්ගේ වීර්යයෙන් සිදුකළ හැකි යම් යම් කර්මාන්ත වෙත යොමු කිරීම හෝ ඔවුන්ව ව්‍යවසායකයන් ලෙස පණ ගැන්වීමට ජාතික වශයෙන් යම් වැඩපිළිවෙළක අවශ්‍යතාව මේ මොහොතේ රටේ පවතිනවා. මේ ක්‍රමවේදය අද වනවිට ඉන්දියාව, ඇමෙරිකාව සහ ජපානය වැනි රටවල සාර්ථකව ක්‍රියාත්මක වෙනවා.

ඇතැම් කර්මාන්ත ආයතන තමන්ගේ සුළු නිෂ්පාදනයන් සිදුකර ගැනීමට වැඩිහිටි පිරිස් වෙත අවශ්‍ය අමුද්‍රව්‍ය නිවසටම ගෙනැවිත් දෙමින්, නිමකළ නිෂ්පාදන නැවත පැමිණ රැගෙන යමින්, ඒ සඳහා ඔවුන්ට නිසි ගෙවීමක් සිදුකරමින් ඔවුන්ගේ සහයෝගය තවදුරටත් ලබාගන්නවා. ඉන්දියාවේ රජය පුද්ගලික අංශවල සහයෝගයද ඇතිව සමාජ ව්‍යාපාර ඇතිකරමින් සහ වැඩිහිටියන් විසින් සේවය කරන විවිධ කර්මාන්ත, අවන්හල් ආරම්භ කරමින් ඔවුන්ගේ යැපුම් මානසිකත්වය ඉවත් කරමින් ඔවුන්ව අභිමානවත් කරන්න කටයුතු කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදකයන් ඉදිරියේදී මතුවන මෙම අභියෝගයට පිළියම් සෙවීම ඉතාමත්ම මන්දගාමීව සිදුකරමින් සිටින්නේ. ගැටලුවට පිළියම් යොදන්න ගැටලුව ඇතිවන තුරු බලා සිටින්න අවශ්‍ය නැහැ. මෙවැනි අභියෝගයකට මුහුණදීමට ප්‍රමාද වීමෙන් වෙන්නේ එය අර්බුදයකට පරිවර්තනය වීම පමණයි. පළමුව රටේ විශ්‍රාම ප්‍රතිලාභ මීට වඩා දුර දැක්මක් සහිත පුළුල් පරාසයකට විහිදිය යුතුවෙනවා. එයින් අදහස් කෙරෙන්නේ විශ්‍රාම වැටුප් මුදල වැඩි කිරීම නෙවෙයි. විශ්‍රාම ප්‍රතිලාභ නොමැති වැඩිහිටියන්ට රජය විසින් මැදිහත්වෙලා ඔවුන්වත් ආර්ථිකයට දායක කරගනිමින් ඔවුන්ටත් ප්‍රතිලාභයක් ලැබෙන ආකාරයේ වැඩසටහනකට දායක කරගත යුතුයි. 

අනෙක් අංශය තමයි වැඩිහිටියන් සඳහා වූ සමාජ සුබසාධන මධ්‍යස්ථානවල වැදගත්කම. මේවා මහලු මඩම් කියමින් තවදුරටත් වැඩිහිටියන් ගාල් කරන ස්ථාන ලෙස පවතාගෙන යන්නේ නැතිව ඔවුන්ට තමන්ගේ සමවයස් අය සමග එක්වෙලා කතාබහ කරන්න, ක්‍රීඩා හා ව්‍යායාම්වල නිරතවෙන්න, තවතවත් දැනුම ලබාගන්න සහ නූතන සමාජයට තම දැනුම ලබාදෙන්න, සමාජ සේවාවන්හී නිරත වෙන්න, විනෝදයෙන් කාලය ගතකරන්න හැකියාව ඇති වියපත් වූ පුරවැසියන්ගේ මානසික තෘප්තිය ඇතිකරවන සැබෑම සුබසාධන ආයතනබවට පත්කළ යුතුයි. 

ඒ මානසික තෘප්තියට හැකියාව තිබෙනවා ඔවුන්ගේ ආයු අපේක්ෂාව තවත් වැඩිකරමින් කාර්යක්ෂම පිරිසක් බවට පත්කරන්න. එමගින් හැකියාව තිබෙනවා මේ මහලු මඩම් කියන සංකල්පය රටින් ඉවත් කරන්න. එම මධ්‍යස්ථාන හරහා ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ආර්ථිකයට දායක කරගත හැකි වැඩසටහන් ක්‍රියාත්මක කළ හැකි වෙනවා. මේවා රජය විසින් තනිවම සිදුකළ යුතු නැහැ. ඊට විවිධ එකඟතා ඇති කරගනිමින් පුද්ගලික අංශයේ සහය ලබා ගැනීමද සිදුකළ හැකියි. 

පවතින ව්‍යවසායකයන්ටත්, ව්‍යාපාරික ප්‍රජාවටත් වැඩිහිටි පුරවැසියන්ගේ සහය ලබාගෙන ඔවුන්ව අභිමානවත් හා ප්‍රතිලාභ ලබන පිරිස් බවට පත්කරමින් තමන්ගේ ව්‍යාපාරවලට සම්බන්ධ කරගතහැකි වැඩපිළිවෙළක් සකස් කළ හැකි නම් එය ඉතාමත්ම වැදගත් කාරණයක් වෙනවා. ඒ ඔස්සේ ව්‍යවසායකයන්ට සහ ව්‍යාපාරික ප්‍රජාවට සිය සමාජ වගකීම ඉටුකරන්නත් තමන්ට යම් ප්‍රතිලාභයක් ලබාගන්නත් හැකියාව ලැබනවා.

නඳුන් ශ්‍යාමාල්



Recommended Articles