2021 ලෝකවාසීන්ට කොහොමද


2020 අපට බොහෝ කඳුළු උරුමකර පළා ගියේය. දැන් 2021 පිළිබඳ නැවුම් බලාපොරොත්තු ඇතිව සිටියි. 2021 වසර අප රටට ලෝකයට කෙසේ වේදැයි අපි සාකච්ඡා කර බලමු.

පෙර වසරේ සිදුවුණ ග්‍රහ මාරු, ග්‍රහ ගෝචර ග්‍රහන අනුව වන විපාක මීට පෙර ලිපියකින් සාකච්ඡා කළෙමු. ඒ අනුව එම සංසිද්ධීන්, ඵලවිපාක නාමිකව ජනවාරි යන වසරක් ආරම්භ වන අවස්ථාවක් වුවද දිගටම පවතී. පෙර සඳහන් කළ අනතුරු, වසංගත විපත්, ස්වාභාවික විපත් එලෙසම ඉදිරියට යද්දී 2021 වසරේ එක් සුවිශේෂී කරුණක් පෙනෙන්නට ඇත.

2021 වසරේ ග්‍රහ යුද්ධ 17කි. ඉන් ග්‍රහ යුද්ධ දහයක්ම පළමු මාස තුන තුළ වන අතර, ඉන් අවස්ථා හයකදීම බුධ යුද වැදී අවස්ථා හතරකදී ජය ලබයි. කඩාවැටුණු අධ්‍යාපනයට කුමන හෝ පිළියමක් බුධගේ ජය තුළින් ගෙන දිය හැක. නමුත් 2020 පෙර තිබූ අධ්‍යාපනය තව ප්‍රමාදයි. නීච වී මකර රාශියේ ගමන් ගන්නා ගුරු ග්‍රහ යුද්ධ දෙකකින් ජය ලබා මකර රාශියේ ශනි සමග එක්ව 2020 අවසන් භාගයේ කළ සෙල්ලම 2020 දෙසැම්බර් 21 ශනිට පරාජය වී අඩාල වුණි. නැවත එම ගුරු පෙබරවාරි 11 සිකුරු සමග යුද වැදී ජය ලබා නීච වී සිටියදීම බලවත් වේ. එය අහිතකරය.

2020 නොවැම්බර් 20 ගුරු, ශනි, මකර රාශියේදී සංයෝග විය. අතීතයේ මකර රාශියේ ගුරු ශනි සංයෝග වූ කාලයන්වල ලෝකයේ වූ ස්වභාවයන් බලන කල 2021 පෙරළිකාර වසරක් වේ. 1961දී ශනි, ගුරු මකර රාශියේදී සංයෝග විය. එය ශනිට අයත් කරදරයි. ලංකාව ශනිට අයත් කුම්භ රාශියේ රටකි.

ශනි, ගුරු වෙනත් රාශිවල එක්වූ කලද ලෝකයේ ප්‍රබල වෙනස්කම් වී ඇත. ආසන්නව 2001 ගුරු, ශනි සංයෝග විය. 1981දී තුලාවේදී විය. 1961 මෙන්ම 1941දීද ගුරු, ශනි එක්විය. ඉන්දියාව මකර රාශිය හිමි රටක් වන අතර,  2020 නොවැම්බර් 20 ග්‍රහ සංයෝගය ඉන්දියාවට තදින් බලපානු ලැබේ. 1981දීත් ඉන්දියාවේ සිවිල් යුද්ධ මතු විය. රටවල් ආක්‍රමණය ජනතා විරෝධ මතුවූ බව ඉතිහාසය විමසා බලන කල පෙනේ. විශේෂයෙන් ශනිට අයත් මකර කුම්භ රාශි හිමි රටවල කම්කරුවා නියෝජනය කරන ශනි විසින් ගොවි ගැටලු කෘෂි උවදුරු කෘෂිකර්මයේ ගැටලු මතුකරනු ඇත. කම්කරු ජනයා පීඩාවට පත්වේ.

එසේම පැරණි ජ්‍යොතිෂය සිද්ධාන්ත අනුව ගුරු ශනි සංයෝගය ජන්මියෙකුගේ කේන්දරයේ 12 වැන්නේ වුවහොත් ධන හානි වී ධනයෙන් දුර්වල වේ. එය රාජ්‍යයක කේන්දරයක වුවද අදාළ රටට බලපාන බව තේරුම්ගත යුතුය. ගුරු ශනි සංයෝගය සමග 1961 පෙබරවාරි 05 වන විට රාහු හැර ග්‍රහයන් අටදෙනාම මකර රාශියේ විය. දුර්ලභ ග්‍රහ සංයෝගයකි. එමගින් ස්වාභාවික විපත් ආර්ථිකයේ පරිහානි, වසංගත, යුද්ධ සමාජයේ නොසන්සුන්කම, ඝාතන, දිගු කාල පරාසයන් තුළ පවතින අතර, ඒ සමග වන චන්ද්‍රග්‍රහණ ග්‍රහ යුද්ධ වක්‍රවීම් මත ප්‍රශ්න උඩුදුවයි.

2021 පෙබරවාරි 09-12 අතර කුජ රාහු කේතු හැර අන් ග්‍රහයන් හයදෙනා මකර රාශියේ සංයෝග වේ. එය අෂ්ට ග්‍රහ සංයෝගය තරම් ප්‍රබල නොවුණත් අසුබ විපාක වන බව නම් පැහැදිලිය.

එම ග්‍රහ සංයෝගයේ සිටින බුධ පෙබරවාරි 13 සිකුරු සමග යුද වැදී ජය ලබන අතර, ඒ වන විට බුධ සිටින්නේ වක්‍ර ගමනකය. ඊට ආසන්න වී අප්‍රේල් 30 සූර්යග්‍රහණයක් සිදුවේ. එම ග්‍රහ සංයෝගයේ සිටින නීච ගුරු පෙබරවාරි 11 සිකුරු පරදා ජය ලබයි.

මුල් මාස තුන තුළ සය වතාවක් යුද වැදී සිව් වතාවක් ජය ලබන බුධගෙන් අධ්‍යාපනයට සහනයක් අපේක්ෂා කළද ප්‍රබලව නොවනු ඇත.

2021 වසරේ සමස්ත ග්‍රහ යුද්ධ 17කි. සූර්යග්‍රහණ දෙකකි. චන්ද්‍රග්‍රහණ දෙකකි. බුධ පෙබරවාරියේ වක්‍ර වේ. නැවත මැයි 30 බුධ වක්‍ර වේ. මැයි 23 ශනි වක්‍ර වේ. ජූනි 20 ගුරු වක්‍ර වේ. ජූනි 01 ප්ලූටෝ වක්‍ර වේ. ජූනි 20 සිට ජූනි 24 අතර ග්‍රහයන් සිව් දෙනෙකු වක්‍ර වී සිටියි. ගුරු ශනි වක්‍රයෙන් මිදෙන්නේ ඔක්තෝම්බර් මාසයේය.

සෑම වසරකම ග්‍රහ ගෝචර ග්‍රහණ ග්‍රහ යුද්ධ පවතී. නමුත් 2019 දෙසැම්බර් 26 සිට ඇතිවූ දුරුතු සිට මැදින් දක්වා වූ මාස තුනේ ශනි කුජ රවි දින 15 යෙදීම තුළින් හටගත්තා වූ වසංගත රෝග ව්‍යාප්තිය වරින්වර හටගත්තා වූ හා හටගන්නා වූ ග්‍රහ සංයෝග ග්‍රහණ ග්‍රහ යුද්ධ තුළින් අඩුවැඩි කරනු ලබයි. එසේම 1961 පෙබරවාරි වලට ආසන්න ග්‍රහ පිහිටීමක් 2021 පෙබරවාරිවල සිදුවීමද සැලකිය යුතු කරුණකි. මෙම සියලු කරුණු අනුව පෙනී යන්නේ 2021 වසරද ඉතා අභියෝගාත්මක බවයි. වසංගත හා දරිද්‍රතාවයේ ඉක්මන් සහනයක් නැත. ලොව පුරා විපර්යාසයන් නම් වන බව පෙනේ. එසේම ධනු, මකර, කුම්භ රාශිවලට අයත් නොවන රටවලට යම් සහනයක් හිමි වේ.

ජනතාව සුබවාදීව සිතමින් ධර්මානුකූලව ජීවත් වීම මෙන්ම සකසුරුවම්කම ප්‍රගුණ කර අපහසු කාලයට මුහුණ දී ශක්තිමත්ව නැගී සිටීමට වෙර දැරුවහොත් අපට රටක් ලෙස ඉදිරියට යා හැක. මන්ද ලොව පුරා වන ස්වාභාවික ධර්ම විරෝධී කටයුතු නිසා ස්වභාවධර්මයෙන්ම අපට දඬුවම් පමුණුවයි. මෙම දඬුවම් ඇතිවීමට ග්‍රහ සංසිද්ධීන් බලපානවා සේම එම බලපෑම අපට ග්‍රහයන් තුළින්ම දැක ගන්නටද හැකියාව ඇත.

ලැබුවා වූ 2021 නව වසර ලංකාවාසී හා ලෝකවාසී සියලුදෙනාට අභියෝග මැදින් ජයගන්නට හැකි සැනසිලිදායී සුබ නව වසරක් වේවා. ධර්මයේ හැසිරෙන්න.



Recommended Articles