ලංකා ඉතිහාසය තුළ සිංහලයාගේ ආරම්භය පිළිබඳ පුරාවෘත්ත දෙකක් තිබේ. එකක් වන්නේ මහාවංශය පවසන පරිදි සිංහබාහු හා සුප්පා දේවිය විසින් වංග දේශයේ සිට ලංකාවට පිටුවහල් කරන විජය නමැති ඔවුන්ගේ වැඩිමහල් කුමාරයා විසින් දේශීය යක්‍ෂ ගෝත්‍රික කුවේණියට ආලයක් පා ඇයගේ ප්‍රේමය දිනාගෙන එය මත පදනම්ව, ඇයගේ සහයෝගය ඇතිව කුවේණියගේ වර්ගයා පරදවා තම්බපන්නියේ මල්වතු ගඟට දකුණින් (වර්තමානයේ විල්පත්තු වනාන්තරය) ගොඩනගා ගත් රාජධානියයි. එම රාජධානිය සිංහල ජනතාවගේ ආරම්භය හා ප්‍රථම සිංහල රාජ්‍ය ලෙස මහාවංශ කතුවරයා කියයි.
අනෙක් කතාව වන්නේ ඉන්දියානු රාමායණයේ එන රාම රාවණා හා සීතාගේ ප්‍රේම වෘත්තාන්තයයි. මෙහිදී රාම හා ඔහුගේ සහෝදර ලක්‍ෂමන සමග යුදවැදී සීතා පැහැර ගෙන රාවණ විසින් ලංකාවට ගෙන එයි. එහිදී රාවණ හා සීතාගේ ප්‍රේමයත් මතින් සිංහල ජාතිය උපන් බව ලංකාවේ එක් ජාතිකවාදී කණ්ඩායමක් විශ්වාස කරයි. ලංකාවේ කෝනේෂ්වරන් කෝවිල වෙන්වී ඇත්තේ රාවණ වෙනුවෙනි. රාවණ යනු ලාංකික දෙමළ, සිංහල සියලුම දෙනාගේ වීරෙයකි. වැඩියෙන් සීතාට ආදරය කරන ලද්දේ රාමද, රාවණද යන්න විමසන විවාද තරගයක්ද මේ ලියුම්කරු අසා තිබේ. ඉන් අදහස් වන්නේ මේ අන්දරය ලාංකික ජන සමාජය තුළ හොඳින් පැලපදියම් වී තිබෙන බවයි.
මේ කතා දෙක තුළින්ම අපට එක්තරා ආකාරයක ඉඟියක් ලබාදෙයි. එනම් බලයට හා දේශපාලනයට ප්‍රේමයේ ඇති ගැඹුරු සම්බන්ධය පෙන්වා දීමටය. ලෝකයේ වැඩියෙන්ම ගීත ලියවී ඇත්තේ ප්‍රේමය පාදක කරගෙනය. සංගීතය නිර්මාණය වී ඇත්තේ ප්‍රේමය වෙනුවෙනි. සමාජයේ කුඩාම හා බහුලම සමාජ ආයතනය වන පවුල පවතින්නේ ප්‍රේමය මතය. මෙවන් තත්ත්වයක් තුළ වසර දහස් ගණනකට පෙර සිංහල ජාතියේ ආරම්භය පිළිබඳ ජනප්‍රවාද ප්‍රේමය මුසුකොට ගොඩනැගීම ජයන්ත චන්ද්‍රසිරිගේ සිනමාපටයක් මෙන් වෙතැයි මට සිතේ. ජයන්ත චන්ද්‍රසිරිගේ නවතම සිනමා කෘතිය තුළ ඇති ප්‍රධානතම තේමාව වන්නේ ප්‍රේමය හා ලිංගිකත්වය මත පදනම්ව මිනිස් සිත් තුළ ඇතිවන රසායනික වෙනස්කම්වලින් ඔවුන්ගේ හැසිරීමට වන බලපෑම පිළිබඳව වූ ෆැන්ටසියකි. නමුත් %කළුකුමාර දෝෂය^ ලංකාවේ ගම්වල රූමත් කාන්තාවන්ට වැලඳෙන බහුල මානසික ව්‍යාධියකි. විශේෂයෙන් රූමත් බව නිසාම දෙමවුපියන්ගේ හෝ සැමියාගේ අධික රැකවල් යොදා පරිස්සම් කිරීමත්, එම නිසාම ආදරය හා ලිංගිකත්වය අඩුපාඩුව නිසාම එවැනි කාන්තාවන්ට ඇතිවන මානසික වියවුල නැතිනම් බිඳවැටීම මෙම කළුකුමාර දෝෂය යැයි හඳුන්වයි. එම සිනමා පටයේදී කළුකුමාරයා ප්‍රේමය අබියසදී පරාජය වෙයි. නමුත් ලංකාවේ සමාජ දේශපාලන හා ආර්ථික තත්ත්වය මත මෙම පෙම් යුවළට ඔවුන්ගේ ප්‍රේමය සාක්‍ෂාත් කර ගැනීමට නොලැබෙන අතර, අවසානයේදී ඔවුන් නැවත හමුවන තුරු ප්‍රේමය නොමැරී සිත් තුළ පවතී.
හතර වැනි ප්‍රේමය පිළිබඳ මගේ කතාව වන්නේ 19 වැනි සියවසේ එංගලන්තයේ රජකම් කළ වික්ටෝරිය රැජින සම්බන්ධයෙනි. ලෝකයේ අද පවතින පවුල් සංස්ථාව ගොඩනගන ලද්දේ එම රැජින විසිනි. එනම් ප්‍රථම වතාවට උපත් මරණ හා විවාහ ලියාපදිංචි කොට පවත්වාගෙන යෑමත්, එසේම පවුල නමැති සමාජ ඒකකයට අවශ්‍ය ආචාරධර්ම පද්ධතිය ගොඩනැගුවේත් එම රැජිනියගේ කාලයේය. නමුත් ඇය විවාහ වී සිටි ඇල්බට් කුමරුට අමතරව මුල් කාලයේදී ලෝර්ඩ් මෙල්බරෝන් සමගත්, ඇල්බට් හා මෙල්බරෝන් මියගිය පසු අබ්දුල් නමැති තමන්ගේ සේවකයෙකු සමගත් ගැඹුරු පෙම් සබඳතාවක් පවත්වාගෙන ගියේය. ඉන්දියාව, අප්‍රිකාව මෙන් සුරාකන ලද මහද්වීපයක් බවට පත් නොවුණේ රැජිනගේ හා අබ්දුල්ගේ පෙම් පලහිලව්ව නිසා ඇයට ඉන්දියාව කෙරෙහි වූ කැමැත්ත නිසා බව ඉතිහාසඥයෝ පවසති.
මා මෙම ප්‍රේම කතා හතරම කියන ලද්දේ එක කාරණයක් පැහැදිලි කිරීමටය. එනම් දේශපාලනයේදීත්, කලාවේදීත්, ඉතිහාසයේදීත්, ජාතිකත්වයේදීත් ප්‍රේමය කෙතරම් බලගතු සාධකයක්ද යන්න පැහැදිලි කිරීමටය. ඒ අනුව 2020දී එළැඹෙන ජනාධිපතිවරණයේදී මහින්ද පාර්ශ්වය මගින් උත්කර්ෂයට පත්කොට ඉදිරිපත් කරනු ලබන්නේ මහින්ද රාජපක්‍ෂගේ ආදරය දිනු අපේක්‍ෂකාවියකි. ඇය ශිරන්ති රාජපක්‍ෂයි. රාජපක්‍ෂවරුන්ගේ අභ්‍යන්තර ප්‍රේම සමාගම විසින් එය සාදරයෙන් පිළිගනු ලබන අතර, ඔවුන්ගේ දේශපාලනයේ මූලික පදනම වන නාමල් රාජපක්‍ෂ හා අනෙකුත් මහින්ද රාජපක්‍ෂගේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මහින්ද තුළ ඇති ප්‍රේමය 2020 අපේක්‍ෂකයා තෝරා ගැනීමේ මූලික හේතුවයි.
ශිරන්ති රාජපක්‍ෂ අපේක්‍ෂකයා වූ විට එය සාධාරණය කිරීමට ඉදිරිපත් කරනු ලබන හේතු, ප්‍රබන්ධ, විශ්වාස කරන ඒ මත යැපෙන ජාතියක් වශයෙන් ඔවුන්ගේ පිලේ අය ඉතා පහසුවෙන් පිළිගනු ඇත. 2020දී එක්සත් ජාතික පක්‍ෂය ඉදිරිපත් කරන අපේක්‍ෂකයාට මුහුණ දීමට සිදු වනුයේ බල අරගලයකට නොව ප්‍රේම අරගලයකටය. එය ඉතිහාසයේ සිදු වූවාක් මෙන් ජනප්‍රවාදයට යන කාරණයක් වනු ඇත.