2019 ගෝඨා යටතේ බ්හිවන්නේ 2005-2015දී ජනතාව දුටු සුළු අඩුපාඩුවක්වත් නොමැති ආණ්ඩුවක්


මෙවර ජනාධිපතිවරණයේදී  එක්වන කුලුඳුල් ඡන්ද ලක්ෂ 10ක පමණ ප්‍රමාණය අපේක්ෂකයන්ට තීරණාත්මක එකකි. එවන් පසුබිමක රටේ තරුණ පරපුර ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ ව්‍යාපාරය කෙලෙසදැයි එහි තරුණ පෙරමුණින් අද ප්‍රශ්න කළෙමු. ඒ වෙනුවෙන් සංවාදයේ යෙදුණේ එක්සත් ජනතා නිදහස් සන්ධාන අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතායි.  


මෙවර තීරණාත්මක කුලුඳුල් ඡන්ද ලක්ෂ 10 පිළිබඳ පක්ෂයේ ආමන්ත්‍රණය කොහොමද?

තාරුණ්‍යය සෑම අවස්ථාවකම තීරණාත්මකයි. මේ ආණ්ඩුව සහ පසුගිය මැතිවරණයේ ඔවුන්ගේ ඉලක්කය වුණේ රටේ තාරුණ්‍යයි. තාරුණ්‍යයට ලබාදුන් බලාපොරොත්තු තමයි අම්මා, තාත්තා, දරුවා වෙනුවෙන් කරන කාර්යභාරය රජයක් ලෙස කරනවා කියන දේ. අන්තර්ජාල පහසුකම්, රැකියා දසලක්ෂය, යහපාලන සංස්කෘතිය, අභ්‍යන්තරයේ ප්‍රජාතන්ත්‍රවාදය, විනිවිදභාවය මෙවැනි කරුණු රාශියක් පදනම් කරගෙනයි ඔවුන් හීන ලෝකය මැව්වේ. ඊට අමතරව නංගිලා මල්ලිලාට මතයක් හැදුවා මහින්ද රාජපක්ෂ මහත්තයා ඔවුන්ගේ අනාගතය විනාශ කරන්න කටයුතු කළා, ඒ අනුව මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පිළිකුල් සහගත ආණ්ඩුවක් කියලා. ඒ තුළ යම් ඊර්ෂ්‍යාවකුත් ඇතිකළා. ඒ සියල්ල මේ වනවිට බොඳව තිබෙනවා. ඒ වගේම ඒ සියල්ල යථාර්ථයක් කරගන්න වත්මන් ආණ්ඩුවට නොහැකිව තිබෙනවා.

අපේ තිබෙන ප්‍රතිපත්ති ප්‍රකාශයත් සමග අපි විශ්වාස කරනවා අපි රටේ දැවෙන ප්‍රශ්න හඳුනාගෙන තිබෙනවා. රටේ බදු ප්‍රතිපත්තිය, තරුණ ව්‍යවසායකයන් කෙරෙහි ආණ්ඩුවේ තිබෙන කළමනාකරණ දුර්වලතා, දූෂණය සහ හොරකම ඒ අතර මූලික වෙනවා. මේ කාලය තුළ වැඩි වශයෙන් දුෂ්කරතාවලට මුහුණ දුන්නේ නැඟී එන තරුණ ව්‍යවසායකයන්. ඒ තුළත් 2010න් පසු මහින්ද රාජපක්ෂ යුගය තුළ නිර්මාණය වූ ව්‍යවසායකයන්. දේශපාලන භේදයකින් තොරව එය සිදුව තිබෙනවා. 

අපි හිතනවා බදු ප්‍රතිපත්තියම නැවත විශ්ලේෂණය කර සහනදායී බදු ප්‍රතිපත්තියක් වගේම වැට් බද්ද 8%ක් දක්වා අඩු කිරීම, උපයන විට බදු පිළිබඳ විධිමත් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම කළ යුතුයි කියලා. මේ බදු භාවිත කර වත්මන් ආණ්ඩුව සිදුකළේ මේ රටේ බදු බර දෙගුණයක් කළ එක පමණයි. මේ තුළ දැඩි ව්‍යාකූලභාවයක් තරුණයන් තුළ ඇතිව තිබෙනවා. මේ කරුණු එක්ක අනාගතයක් ගැන හිතන තරුණයන් කිසිවෙක් වත්මන් ආණ්ඩුව සමග කටයුතු කරන්නේ නෑ.

පසුගිය ආණ්ඩුවේ දුර්වලතා නොමැතිව තරුණයන් අතරට අහේතුකව වැරදි මත යන්න බැහැ නේද? 

අපේ ආණ්ඩුව තුළත් යම් අඩුපාඩු තිබුණා. අපි නැහැයි කියන්නේ නෑ. ඒ අඩුපාඩු නිවැරදි කරන්න පැමිණි ආණ්ඩුවක් මෙහෙමද රටකට සැලකුවේ? අපි දැක්කා විශේෂයෙන් තාජුදීන් ඝාතනය කියන මාතෘකාව තරුණ පරම්පරාව අතරට කාවැද්දුවා. බොරු සමාජගත කිරීමක් කළා. දැන් අවුරුදු 05කදී මොකක්ද ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව කරලා තියෙන්නේ? 2015දී කියූ දේවල් නැවත මේ මැතිවරණ වේදිකාවට ගෙනැවිත් තිබෙනවා. ලසන්ත වික්‍රමතුංග ඝාතනය පිළිබඳ ආණ්ඩුව ඇඟිල්ල දිගු කළේ එවකට හමුදාපතිවරයාව සිටි සරත් ෆොන්සේකා මහත්මයාට. එක්නැළිගොඩ ඝාතනය සම්බන්ධයෙන් තවත් ඉන්න හිටින රටක් ගැන කියන කණ්ඩායමකට තමයි චෝදනාව එල්ල වුණේ. මාලඹේදි එක්තරා ඇමතිවරයෙක් කතා කරද්දි අපි දැක්කා තරුණයෙක් රාජගිරියේදි රිය අනතුරකට ලක්වෙනවා. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කර අපිට කියන්න කියලා ඉල්ලීමක් කළත් නැවත පිළිතුරු ලබා දුන්නේ නෑ. 

දෛවයේ සරදම කියන්නේ එතුමා කතා කරද්දි මාලඹේදී තවත් නිදහස් මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කරනවා. ඒ මාධ්‍යවේදියාට ඇතිවුණ ඉරණම මේ රජය පිළිබඳ ජනතාවට පණිවුඩ ලබාදෙනවා.

දේශපාලනඥයෝ විදියට ඔබතුමාලා හැමදාම කළේ පක්ෂ අතර %බෝල පාස්^ කර ගැනීම. තාක්ෂණික ලෝකයත් සමග දියුණු, උගත්, බුද්ධිමත් වත්මන් තරුණ පරපුර ඒවාට රැවටේවි කියලා හිතනවාද?

නෑ නෑ මං කියන්නේ මේ තරුණයන්ව නොමග යැවීම සහ වෛරයක් ඇති කිරීම සඳහා භාවිත කළ උපක්‍රම. මේවා සිදුවෙද්දි අවුරුදු 18ක් වුණ පළමුවරට ඡන්දය භාවිත කරන නංගි කෙනෙකුට, මල්ලි කෙනෙකුට පවතින රජය කෙරෙහි වෛරයක් ඇතිවීම සාධාරණයි. එවැනි වෛරයක් ආණ්ඩුවත් නිර්මාණය කළා නම් ඒ වෙනුවෙන් සාධාරණයක් කරන්න ඕනෑ. 

අලුත් තාක්ෂණ ප්‍රවණතා සමග ආර්ටිෆිෂල් ඉන්ටර්ලිජන්ට්සි කියලා ප්‍රතිවාදී අපේක්ෂකයා මහා බොරුවක් තරුණයන්ට පෙන්වා දෙනවා. මේවා සමග ආණ්ඩුවේ බොරුවේ නිමක් අපි දකින්නේ නෑ. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා රටේ අනාගතය පිළිබඳ නිවැරදි දැක්මක් පෙන්වා දී තිබෙනවා. අපි ලබාදුන් තාක්ෂණික විද්‍යාගාර විවෘත නොකර, උපකරණ ලබා නොදී සිටි ආණ්ඩුවක් තමයි මේ. දක්ෂ තරුණයෝ රටේ බිහිවනවා දකින්න මේ ආණ්ඩුවට අවශ්‍යතාවක් තිබුණේ නෑ. විනිවිදභාවයත්, ප්‍රජාතන්ත්‍රවාදයත් නැතිකර ඒකාධිපති ලෙස රටක් පාලනය කිරීම පමණයි දක්නට තිබෙන්නේ.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලනයක් %ඒකාධිපති පාලනයක්^ වේවි කියලා සමාජ මතයක් තිබෙනවා?

එහෙම සමාජ මතයක් නිර්මාණය කරන්නේ එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ. ගෝඨාභය රාජපක්ෂ කියන්නේ ඉතාම සොඳුරු පුද්ගලයෙක්. ඔහු තමන්ගේ වගකීම 100෴ක් නිවැරදිව ඉටුකරන, සෑමවිටම රටේ අනාගතය පිළිබඳ කල්පනා කළ නායකයෙක්. වැඩ කරන්නම් නොවෙයි කරලා පෙන්වපු නායකයෙක්. එතුමාගේ පාලනයක් තුළ ඔය කියන කිසිදු තත්ත්වයක් මේ රටේ නිර්මාණය වන්නේ නෑ. සොඳුරු මිනිසාගේ පාලනය මේ රටේ නිර්මාණය වුණාම ජනතාව කියාවි මෙවැනි පාලකයෙක් ප්‍රමාද වී බිහිවීම අපේ රටේ අවාසනාවක් කියලා.

ඇතැම් අවස්ථාවලදී තරුණයන් ප්‍රශ්න කරනු ඇසෙනවා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කතාවන් තුළ කරනවා, කළ යුතුයි යනුවෙන් සඳහන් වන නමුත් ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ පිළිබඳ සඳහන් වීමක් සිදුනොවන බවට?

ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රටේ යුද්ධය නිම කිරීම සඳහා අභියෝග වලට මුහුණ දෙමින් ඒ අභියෝග යථාර්ථයක් කළ නායකයෙක්. කොළඹ නගරය ලෝකයේ දියුණු වෙමින් පවතින නගරයක් බවට පත්කළ රාජ්‍ය නිලධාරියෙක්. අපි ඉන්නේ විපක්ෂයේ. ආණ්ඩුවේ කාර්යභාරය කවුරුහරි විපක්ෂයේ මන්ත්‍රීවරයෙක්ගෙන් බලාපොරොත්තු වනවා නම් ඒක අදාළ නෑ. ගෝඨාභය රාජපක්ෂ මහතා කියා තිබෙන්නේ කළ හැකි දේවල් පමණයි. එතුමා කියූ දේ කළ, කළ දේ දක්නට තිබෙන පැහැදිලි නායකයෙක්. තමන්ගේ වගකීම නිසියාකාරව ඉටුකර පෙන්වූ නායකයෙක්.
වත්මන් තරුණයන් රජයේ රැකියා මත පමණක් යැපෙන්න සූදානම් නෑ. රට තුළ පෞද්ගලික අංශය 

වඩා විධිමත් කර රැකියා සුරක්ෂිත කිරීම සඳහා ඔබලාගේ වැඩපිළිවෙළ කුමක්ද?

අපේ රජයක් යටතේ රාජ්‍ය සේවය තවදුරටත් ශක්තිමත් වීම සිදුවනවා. ඒකෙ කිසිම සැකයක් නෑ. පෞද්ගලික අංශය ශක්තිමත් කිරීමේ පළමු පියවර ලෙස තමයි මේ රටේ පළමු වතාවට උපයනවිට බද්ද ඉවත් කිරීමට ආණ්ඩුව කටයුතු කළේ. ඊළඟට තරුණ ව්‍යවසායකයන්ට වැට් බද්ද අඩුකර ඔවුන්ට තමන්ගේ ව්‍යාපාර කිරීමේ පහසුව ලබාදීම අපේ අරමුණයි. කෘෂිකර්මාන්තය, කාර්මික මෙන්ම සංචාරක කර්මාන්තය ඇතුළු සියලු ක්ෂේත්‍රයන් සඳහා නවීන තාක්ෂණය සහ අධිවේගී අන්තර්ජාල පහසුකම් ලබාදීම සඳහා වූ සැලසුම් අපි සකස් කර තිබෙනවා. 

ගෝඨාභය රාජපක්ෂ පාලනයක් යටතේ නාමල් රාජපක්ෂ මහතාගේ නිල් බළකාය නැවතත් කරළියට පැමිණේවිද?

තරුණ ප්‍රජාව ඒකරාශී කිරීම සහ තරුණ ප්‍රජාව මූලික කරගත් ආණ්ඩුවක් අපේ පාලනයක් යටතේ දිගින් දිගටම සිදුවෙනවා. ඔවුන්ට ඇහුන්කන් දීම දිගටම සිදුවෙනවා. ඒක එක්සත් ජාතික පක්ෂය විසින් හදපු දෙයක්නේ. එක්සත් ජාතික පක්ෂය පොරොන්දු කඩ කිරීම, බොරු පොරොන්දු දීම හරහා තමයි තරුණයන් දේශපාලනඥයන් කෙරෙහි වෛරයක් ඇතිකර ගත්තේ. තරුණ දේශපාලනඥයන් බිහිවීම පවා අපේ ආණ්ඩුවක් යටතේ අපි සැලසුම් කරනවා. එසේ නොමැතිව රටක් වශයෙන් ඉදිරියට යන්න බැහැ.

එහිදී ලැම්බො ගිනි, නයිට් රේස් චෝදනා යළි ඇති නොවේවිද?

අපේ ආණ්ඩුවකට යම් යම් චෝදනා තිබුණා නම් අපි අඩුපාඩු හදාගත් කණ්ඩායමක් ලෙසයි ඉදිරියට එන්නේ. අපි සමාජගත කළ බොරුවලට පිළිතුරු දෙන්න සූදානම් නෑ. ජනතාව දුටු, අපි විසින් නොකළ යුතු යම් යම් දේ සිදුකළා නම් ඒ සියල්ල ගැන අපි අවබෝධයෙන් ඉන්නේ. 2005- 2015 රජය යටතේ ජනතාව දැකපු සුළු අඩුපාඩු පවා සිදුනොවන ආණ්ඩුවක් ලෙස තමයි 2019 ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ බිහිවන්නේ.



Recommended Articles