2013 සිට 2020 දක්වා ශ්‍රී ලංකාවේ විවාහ ලියාපදිංචිවීම් අඩු වෙලා


විවාහය සංස්කෘතිමය කාරණයක් වන අතර, එය සංස්කෘතිය හා බැඳී පවතින්නේ සමාජ පැවැත්ම උදෙසා තම අනාගත වර්ගයා බෝ කිරීම ඇතුළු සමාජීය පැවැත්ම රඳවා ගැනීමට නීත්‍යනුකූලභාවය ලබාදෙන ප්‍රධාන සාධකයක් නිසාවෙනි. එහෙයින් විවාහය අතීතයේ සිටම වර්තමානය දක්වා බලපවත්නා වූ ප්‍රධාන සමාජීය කරුණකි.

නමුත් 2000 - 2012 කාලසීමාවේදී වාර්ෂිකව ලක්ෂ 2කට ආසන්න ලෙස විවාහ ලියාපදිංචි වාර්තා වූ ශ්‍රී ලංකාව තුළ, 2013 වසරේ සිට 2020 දක්වා විවාහ ලියාපදිංචි වීම්හි විශාල අඩුවීමක් පෙන්නුම් කර තිබේ. මෙය සංඛ්‍යාත්මකව දැක්වුවහොත් 2019 වසරේ 163,378ක් වූ දිවයිනේ සමස්ත විවාහ සංඛ්‍යාව, 2020 වසරේ 143,061ක් දක්වා අඩු වී තිබේ. මෙය 2019 වසරට සාපේක්ෂව 12%ක අඩුවීමක් බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම දත්ත මගින් පෙන්නුම් කර ඇත.

මෙලෙස විවාහ ලියාපදිංචි වීම් අඩුවීමට බලපා ඇති හේතු මෙන්ම, ඒ හරහා අනාගතයේ යම් සමාජමය අභියෝගයන්ට මුහුණ දිය හැකිද? යන්න අප අදාළ අංශ කිහිපයක් සමග කළ අදහස් විමසීමකි මේ.

විවාහය ගැන අපේ රටේ ඇති වැරදි ප්‍රතිරූපය විවාහ අඩුවීමට හේතුවක් වෙලා මේ සඳහා ඔබ නීතිමය ලෙස දකින හේතු මොනවාද?

පළමුව අපි විවාහය කියන දෙය හා මිනිසුන් ඇයි විවාහ වෙන්නේ කියන කාරණය ගැන අර්ථකථනය කරගතහොත් ඇත්තටම විවාහය ලෙස මට දෙන්න පුළුවන් අර්ථකථනය තමයි එය ගිවිසුමක්. කවදාවත් එකට ගමනක් නොගිය දෙදෙනෙක් ගිවිසුමකට එළඹෙනවා මැරෙනතුරාවට අපි එකට ඉන්නවා කියලා. එවැනි ගිවිසුමකට නීතිමය ලෙස බැදෙන ක්‍රියාවලියක් තමයි අපිට සරලවම විවාහය ලෙස අර්ථකථනය කරගත හැකි වන්නේ. නමුත් අපිට වර්තමානයේ මතුවී තිබෙන ගැටලුව තමයි මේ කියන කාරණයට ඇයි මිනිස්සු පෙලඹීමක් නොදක්වන්නේ කියන දෙය. ඇත්තටම අපි අතීතය සමග සසදා බැලීමක් කළහොත් වර්තමානයේ අපිට තියෙන්නේ අතිශය වේගයෙන් දියුණු වූ ලෝකයක්. ඒ කියන්නේ මිනිසුන් පිනවීමට, තෘප්තිමත් කිරීමට තියෙන දේවල් අතීතයට සාපේක්ෂව විශාල ලෙස පුළුල් වීමක් තියෙනවා. අපි අතීතය දෙස බැලුවහොත් අතීතයේ විවාහ වර්තමානයේ මෙන් පොත්වල ලියා නීතිමය ගිවිසුමක් තිබුණේ නෑ. ඉංග්‍රීසි අාක්‍රමණයත් එක්ක තමයි මේ නීතිමය විවාහ කියන සංකල්පය ලංකාව තුළ ස්ථාපිත වුණේ.

ලංකාව තුළ සිදුවන විවාහ ගතහොත් ඒවා බොහෝදුරට සිදුවන්නේ නිසි වගකීමක්, සොයා බැලීමක් නොකර. උදාහරණයකින් මෙය පැහැදිලි කරගතහොත් අපි පිටරටක සංස්කෘතිය පිළිබඳ අධ්‍යයනය කිරීමේදී දැකගත හැකි කරුණක් තමයි මේ living together කියන සංකල්පය. මේක ලංකාව වගේ රටක එතරම් සුදුසු නැති දෙයක් ලෙස තමා දකින්නේ. නමුත් එහිදී මූලික ලෙසම සලකා බලන්නේ විවාහ වීමට පෙර දෙදෙනාගේ අදහස් ගැළපෙනවාද? එකට ජීවත් විය හැකිද යන කාරණාවන්. මෙහිදී අපි කතා කරන දික්කසාදවීම්, මතගැටුම් ආදී දේවල් බොහෝ දුරට දක්නට ලැබෙන්නේ නෑ. නමුත් අපේ මිනිස්සු සියලුම දේවල් සොයන්නේ විවාහ වීමෙන් පසුවයි. එහිදී වෙන්නේ අප සමාජයේ වැඩි කතාබහට ලක්කරන මේ දික්කසාදවීම්, ස්වාමි භාර්යා ගැටුම්, අනියම් සබඳතා වැනි කාරණාවන් සමාජය තුළ බහුල වශයෙන් ගොඩනැගීමයි. මේ හරහාත් විවාහය සම්බන්ධයෙන් සමාජය තුළ වැරදි ප්‍රතිරූපයක් ගොඩනැගීමත්, මිනිසුන් විවාහ වීම අඩුවීමටත් හේතුවක් විය හැකියි. තමන්ටත් මෙවැනි දික්කසාදවීම්වලට මුහුණදීමට සිදුවේ යැයි බියක් ඔවුන් තුළ ඇතිවෙයි. අපිට තවත් හේතුවක් ලෙස ගත හැකි වන්නේ පුද්ගලයෙකු සතු නරක අත්දැකීම්. ඇතැම් විට මෙය තමන්ගේ හෝ තමන් දන්නා වෙනත් කෙනෙකුගේද විය හැකියි. තවත් බොහෝ තරුණ පිරිස් මුහුණ දෙන ගැටලුවක් වන්නේ තමන් යම් ඇසුරක් පැවැත්වුවද, එයට දෙමවුපියන් අකමැති වුවහොත් ඔවුන්ට පාඩමක් කියාදීමට යැයි සිතා විවාහ නොවී සිටීම. තවත් පිරිසක් තමන් ආදරය කරන කෙනා යම් හේතුවක් මත වෙනත් කෙනෙකු සමග විවාහ වුවහොත් ඒ හිත්රිදීම්, කලකිරීම් මත දිර්ඝකාලීනව විවාහ නොවී සිටීමට පෙලඹී සිටීමත් අපට මෙයට උදාහරණයක් ලෙස ගත හැකියි. ඒ වාගේම ආර්ථික අපහසුතා පැවතීමද තවත් හේතුවක්. නිසි රැකියාවක් නොමැතිව තමන්ට තමන් නඩන්තු කර ගැනීමට නොහැකි වීම හේතුකොටගෙන මෙම විවාහ ප්‍රමාද කිරීමද අපිට හේතු ලෙස පෙන්වා දිය හැකියි. අනෙක් අතට ලංකාවේ පවතින අධ්‍යාපන ක්‍රමයද ප්‍රබල හේතුවක්. ආසන්න වශයෙන් ලංකාවේ උපාධියක් සම්පූර්ණ කර ගැනීමට වසර 5,6ක් වැනි කාලයක් ගතවෙනවා. මේ වසංගත තත්ත්වය සමග මෙය තවත් වැඩි වී තිබෙනවා. බොහෝදෙනෙකු උත්සාහ ගන්නේ හොඳ අධ්‍යාපනයක් ලබා ස්ථාවර වූ විට විවාහ වීමටයි. නමුත් මේ සියලු කාරණා ඉෂ්ට වන විට බොහෝ දෙනෙකුගේ විවාහ වීමේ වයස ඉක්මවා ගොස් තිබෙනවා.

විවාහ ප්‍රමාද වීමට තවත් එක් කරුණක් වන්නේ ඇතැම් පුද්ගලයන් තම වෘත්තිය පිළිබඳ දක්වන දැඩි සැලකිල්ල. මෙයට උදාහරණයක් සැපයුවහොත් ඉන්දීය ගායිකාවක් වන ලතා මංගේෂ්කාර් සම්මුඛ සාකච්ඡාවකදී පවසා සිටියේ තමන්ට විවාහ වීමට අමතක වුණා යනුවෙනි.  මේ ආකාරයට වෘත්තියට දක්වන ළැඳිකමත් මෙයට හේතුවක් ලෙස දැක්විය හැකියි. තවත් ප්‍රධාන කරුණක් ලෙස පෙන්වා දිය හැක්කේ දරුවන් හැදීම කියන කාරණය. මෙය එක් අතකින් පුදුම දනවන කරුණක්. මෙයට හේතුවක් ලෙස දැක්විය හැක්කේ අපේ අධ්‍යාපනය සඳහා වන වගන්තියේ 43වන වගන්තියේ සඳහන් වන පරිදි දරුවන් පාසල් යැවීම දෙමවුපියන්ගේ ප්‍රධාන වගකීමක්. නමුත් වර්තමානයේ ආර්ථික තත්ත්වය සමග බොහෝ දෙමවුපියන්ට එය දුෂ්කර කටයුත්තක් වෙලා තියෙනවා. දරුවන් පාසල් නොයැවුවහොත් පනතේ 45වන වගන්තිය යටතේ දෙමවුපියන්ට දඬුවම් ලැබෙන නිසා බොහෝ දෙමවුපියන් දරුවන් හැදීමට බියක් දක්වනවා. ඒ අනුව මේ සඳහන් කළ කාරණා සෘජුව හෝ වක්‍රව මෙම විවාහ අඩුවීම් සඳහා බලපා තිබෙන බව පෙන්වා දිය හැකියි.

රටේ දික්කසාද නඩු බහුල බවට මතයක් පවතිනවා. මෙයත් හේතුවක් විය හැකි බව ඔබ සිතනවාද?

ඔව් අනිවාර්යෙන්ම. නමුත් දික්කසාද නඩු ඉහළ යෑමට කරුණු කිහිපයක් පවතිනවා. අපි වසරකට මෙවැනි නඩු 1200ක් පමණ සිදුවන බව සැලකුවහොත් එය සියයට සියයක්ම දික්කසාද වීමට හේතු ලෙස සලකන සාධක මත සිදුවනවාද යන්න සොයා බැලිය යුතුයි. එයට හේතුවක් ලෙස සඳහන් කළ හැක්කේ පුත්තලම, වෙන්නප්පුව, මීගමුව වැනි ප්‍රදේශවල බොහෝ අය කිසිදු හේතුවක් නොමැතිව දික්කසාද වෙනවා. මොකද දික්කසාද වීමට හේතු 3ක් බලපානවා. එකක් තමයි අනාචාරයේ හැසිරීම, විවාහ වන අවස්ථාවේදී පවතින සුව කළ නොහැකි ලිංගික බෙලහීනතාව, ද්වේශසහගත හැර යාම ආදී කාරණා. නමුත් බොහෝ අය ඔය කියන කාරණාවලින් 1ක් දමා දික්කසාද වෙනවා. ඒ දික්කසාද වීම් සිදුවන්නේ හැරයාමට නෙවෙයි. ඉතාලිය හෝ වෙනත් බටහිර රටකට යෑම සඳහා අවශ්‍ය නීත්‍යනුකූල බව ලබාගැනීමට විවාහ වීම අවශ්‍ය නිසා ඔවුන් මෙලෙස දික්කසාද වී නැවත විවාහවීම් සිදුකරනවා. නැවත වරක් ඔවුන් ලංකාවට පැමිණි පසු දික්කසාද වෙනවා. එම නිසා මෙවැනි තත්ත්වයක් මත මේවා සත්‍ය දික්කසාද වීම් ලෙස සැලකිය හැකිද යන්න ගැටලුවක්. නමුත් අපි පොදුවේ මේ දික්කසාද වීම් ගැන සැලකුවහොත් මේවා සෘජු ලෙසම මෙම විවාහ ප්‍රමාද වීම් සඳහා බලපානවා. මේ තුළින් සිදුවන්නේ විවාහය කියන උත්තරීතර දෙය හෑල්ලුවට ලක්වීම. පැහැදිලි ලෙසම දූෂණයට ලක්වීම. අනුන්ගේ අත්දැකීමක් තමන්ගේ අත්දැකීමක් ලෙස ගෙන මේ තරුණ පරම්පරාව විවාහ ගිවිස ගැනීම්වලින් ඈත් වෙනවා.

පිටරටකදී දික්කසාද වීම් පිළිබඳ නීත්‍යනුකූල පිළිගැනීමක් ලබාදී තිබෙනවා. මෙවැනි නීති ලිහිල් වීමත් මේ සඳහා බලපෑ හැකිද?

ලංකාව කියන්නේ පොදුරාජ්‍ය මණ්ඩලීය රටක්. පොදුරාජ්‍ය මණ්ඩලීය රටකදී එසේ විවාහ වී දික්කසාද වීමට කිසිදු බාධාවක් නෑ. මේක තහවුරු කරන නඩුවක් තමා අශෝකන් එදිරිව අශෝකන් නඩු තීන්දුව. මේ සිද්ධිය පැහැදිලි කළොත් මේ අදාළ පුද්ගලයා ඉන්දියාවේදී විවාහ වුණා. එහිදී විවාහ වෙලා ඇවිත් ලංකාවේදී දික්කසාද වුණා. මෙහිදී මතුවූ ගැටලුවක් තමා ඉන්දියාවේ විවාහ වුණු දෙදෙනෙකුට ලංකාවේ දික්කසාද වීම සිදුකළ හැකිද කියන කාරණය. එහිදී තීරණය වු‍ණේ එසේ කිරීමට හැකි මෙය පොදුරාජ්‍ය මණ්ඩලීය රටක් නිසා කියන දෙය. පිටරටකදී මෙලෙස විවාහයන් සම්බන්ධයෙන් පවතින යම් යම් නීති මගින් මේ විවාහය කියන කාරණය සම්බන්ධයෙන් යම් සමාජ ගැටලු නිර්මාණය වී ඇති ආකාරයක් දැකගත හැකියි. විවාහය කියන දෙය අතිශය සිල්ලර තත්ත්වයට පත් වී ඇති අතර, එයට තිබූ පිළිගැනීමත් නැති වී ගොස් තිබෙනවා. මේ විවාහ ගිවිස ගැනීම් අඩුවීමට මෙයත් ප්‍රබල හේතුවක් වෙනවා. ඒ නිසා පිටරවල පවතින ලිහිල් නීති, සංස්කෘතීන් මේ රටට පැමිණියහොත් මේ තත්ත්වයටත් වඩා පහළ තැනකට අපිට ගමන් කිරීමට සිදුවෙනවා.

මෙය අනාගත සමාජ අභියෝගයක් විය හැකිද?

විවාහ ප්‍රමාද වීම් යම් සමාජ ගැටලුවක් විය හැකි බවට මම නම් විශ්වාස කරනවා. මොකද පවුල කියන සංකල්පය නැති වී යනවා. බැඳීම් කියන දේ හරි වැදගත්. බැඳීම් නැති වූ විට බිහිවන්නේ කෘත්‍රිම සමාජ. පවුලක කොතරම් ගැටලු මතුවුවත්, කාලයත් සමග ඒ හැමදේම විසඳිලා, ස්වාමියා භාර්යා කියන හැඟීමෙන් යුතුව කටයුතු කරන මේ පවුලේ බැඳීම අතිශය වැදගත් දෙයක්. ඒ නිසා මේ විවාහ වීම් අඩුවීම හරහා අනාගතයේ බිහිවන්නේ රොබෝ වැනි මිනිසුන්. මොකද මිනිසුන්ගේ අවශ්‍යතා ඉටුකර ගැනීමට ක්‍රම හා විධි වැඩියිනේ. බොහෝ තරුණ පිරිස් කියන්නේ අම්මෝ විවාහ වෙන්න බෑ, දරුවො හදන්න බෑ, ඕවා මහ විකාර වැඩ වගේ අදහස්. අද තරුණ පිරිසට තම ලිංගික අවශ්‍යතා ඉටුකර ගැනීමට විශාල වෙළෙඳ පොළක් බිහිවෙලා තියෙනවා. ඒ නිසා බොහෝ තරුණ අය මෙම විවාහය කියන සංකල්පයට වැඩි උනන්දුවක් නොදැක්වීම හරහා දැඩි සමාජ ගැටලුවක් ඇති විය හැකි බවට මම විශ්වාස කරනවා.

මේ සම්බන්ධව යම් මට්ටමකින් කටයුතු කරන්නෙකු ලෙස ඔබට තරුණ පිරිස ඇතුළු සමාජයට දිය හැකි උපදෙසක් තිබේද?

මම තරුණ පිරිසට දෙන ප්‍රධාන උපදෙස තමා නිසි වයස එළඹුණාම විවාහ වීම සිදුකර ගත යුතුයි කියන දෙය. අධ්‍යාපනය වැදගත්, නමුත් නිසි කල වයසේදී සිදුකළ යුතු දේවල් නිසි කල වයසේදී සිදුකරන්න. එසේ නොකළ විට තමයි මෙය සමාජ ගැටලුවක් බවට පත්වෙන්නේ. උදාහරණයකින් පැහැදිලි කළොත් අපි අතීතයේ සිට කියන දෙයක් තියෙනවානේ අර ගෙදරට නාකි වෙනවා කියලා. ඒ නිසා මේ ගෙදරට නාකි නොවී නිසි වයසේදී විවාහ වීම් සිදුවුවහොත් සමාජ ගැටලු රැසක් අපිට විසඳා ගැනීමට හැකියාව ලැබෙනවා. බොහෝ තරුණ පිරිස් සිතන දෙයක් තමා හොඳට ඉගෙන ගන්නවා, ඉගෙන ගෙන හොඳ රැකියාවක් කරනවා, ඊට පස්සේ හොඳ වාහනයක් ගන්නවා, මේ හැමදේම සිද්ධ කරලා තමා විවාහ වෙන්නේ කියලා. නමුත් මේ දේවල් සියල්ලම සිදුකරගෙන විවාහ වන විට අපි කියන නිසි වයස පහුවෙලා. ඉන්පසු විවාහ වීම් සිදුවුවත්, මා දකින විදිහට අපි අර්ථකථනය කරන පවුලේ බැඳීම් සහිත රැකවරණය, ආදරය පිරුණු දෙයක් නෙවෙයි ගොඩනැගෙන්නේ. බොහෝ විට මුදල මත තීරණය වූ විවාහයක් තමයි සිදුවන්නේ. නමුත් අපි විවාහය, පවුල කියන්නේ එහෙම දෙයක් නෙවෙයි. දන්නැති දෙදෙනෙක් එකට එකතු වී මැරෙනතුරාවට යන ගමනක්. ගුණයහපත්කම් කියාදෙමින්, ආදරයෙන් යුතුව සමාජයට අවශ්‍ය පුද්ගලයන් බිහිකිරීමට නම් අනිවාර්යෙන්ම මේ පවුල කියන දේ හරි වැදගත්. ඒ නිසා අතීතයේ සිට අපේ පැරැන්නන් පවසන පරිදි නිසි කල වයස තුළදී ඒ කළයුතු දේවල් සිදුකිරීම වැදගත් බවයි මගේ මතය.

විවාහ වීම පසෙකලා ජීවිතය සාර්ථක කර ගැනීමේ අභිප්‍රාය ඉදිරියට ඒම අඩු විවාහවලට හේතුවක් වෙලා මෙයට හේතු ලෙස ඔබට පෙන්වා දිය හැක්කේ කුමක්ද?

මෙයට ප්‍රධාන හේතුවක් ලෙස දැක්විය හැක්කේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ඉහළට යෑමට ඇති උනන්දුව වැඩි වීම. වර්තමාන ජනගහනය ගතහොත් සංඛ්‍යා දත්ත පෙන්වා දෙන අන්දමට කාන්තා ජනගහනය ඉහළ මට්ටමක පවතිනවා. මෙම කාන්තා පාර්ශ්වය විශාල ලෙස පෙලඹෙන්නේ විවාහ වීමට නොව, අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉහළට ගොස් අධ්‍යාපන සුදුසුකම් වැඩිකර ගැනීමටයි. ඒ හරහා හොඳ නිවසක්, සුඛෝපභෝගී වාහනයක් ආදිය මිලදී ගැනීමට තමා ඔවුන් වැඩි වශයෙන් පෙළඹෙන්නේ. මේ නිසා විවාහ වීම කියන කරුණ ඔවුන් මගහැර ඇති බවයි පෙනී යන්නේ. නමුත් මෙය තම තමන්ගේ කැමැත්ත මත සිදුවන දෙයක් බවයි මාගේ විශ්වාසය. වර්තමානයේ ගෘහස්ථ කාන්තා හිංසනය, කාන්තා ඝාතන ආදිය විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා. මේ හරහා ඇතැම් කාන්තාවන් තුළ විවාහ වීම පිළිබඳව ඇති බියද මේ සඳහා ඇතැම් විට බලපෑ හැකි බව පෙන්වා දිය හැකියි. ඒ තුළින් ඔවුන් විවාහ වීම පසෙකලා තම ජීවිතය සාර්ථක කර ගැනීමට සෙසු සාධක කෙරෙහි යොමු වන බව පෙනෙන්නට තිබෙනවා. පිරිමි පාර්ශ්වය ගතහොත් ඔවුනුත් විශාල ලෙස විවාහ වීම් පසෙකලා කුමන හෝ රැකියාවන්ට යොමු වී ඒ තුළින් ඉදිරියට යෑමට උත්සාහ කරන බව වර්තමානයේ දැකිය හැකියි.

මේ පිළිබඳව සමාජ විද්‍යාත්මකව යම් ගැටලුවක් තිබෙනවාද?

මෙහෙමයි, විවාහ වීම හෝ නොවීම පුද්ගල කැමැත්ත මත සිදුවන දෙයක්. එය ස්වාධීන තීරණයක්. එයට බලපෑම් කිරීමට කිසිවෙකුටත් හැකියාවක් නෑ. ඔබ චෝදනා කරන්නේ එක් අතකින් ශ්‍රම බළකාය පිළිබඳ අනාගතයේ යම් ගැටලුවක් මතුවෙයි කියල‌නේ. ශ්‍රම බළකා ගැටලුව වර්තමානයේ පවා තියෙන දෙයක්. දැන් බලන්න ඕනෑම තැනක ශ්‍රමය සැපයීම සඳහා අප යොදා ගන්නේ විදෙස් ශ්‍රමිකයන්. විශාල ලෙස ශ්‍රම හිඟයක් වර්තමානයේදීත් පවතිනවා. ඒ නිසා එය අනාගතයේ නෙවෙයි වර්තමානයේදීත් පවතින ගැටලුවක්. අනෙක් පැත්තෙන් විවාහ වීම් ප්‍රමාද කිරීමට විශාල ලෙස කලින් සඳහන් කළ ආර්ථික ස්ථාවරභාවය කෙරේ යොමු වීම බලපානවා. මේ හැමදෙයක්ම සිදුවන්නේ සමාජ වෙනස්වීම කියන කාරණය සමග. ප්‍රධාන සමාජ සාධකයක් ලෙස අප සලකනු ලබන්නේ මෙම සමාජ වෙනස්වීම. මේ හරහා පුද්ගල ආකල්ප, විශ්වාස, සංස්කෘතිමය කාරණා ආදී බොහෝ සාධක වෙනස් වෙනවා. විවාහය කියන සාධකයත් එසේමයි. බොහෝ ගැහැනු දරුවන්ගේ විවාහය සිදුවන්නේ ඔවුන්ගේ කැමැත්ත මත නොව, පවුලේ දෙමවුපියන්ගේ බලපෑම මතයි. බොහෝ තරුණ පිරිස් විවාහය කියන කරුණට අකමැති වීමට ප්‍රධාන ලෙසම බලපෑ සාධක ලෙස පෙන්වා දිය හැක්කේ මේ පවුල් ආරවුල්, දික්කසාදවීම්, ස්ත්‍රී දූෂණයන් ආදී සමාජ කරුණුයි. මේ තුළ ඔවුන් විවාහ වීමට, ඒ ගැන සිතීමට පවා බියක් දක්වන බව සමාජ විද්‍යාත්මක පැතිකඩකින් විග්‍රහ කර බැලීමේදී පෙනී යන්නක්.



Recommended Articles