රටේ මූලික නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වන අතර, මේ වන විට ක්‍රියාත්මක වනුයේ 1978දී හඳුන්වා දුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්වස්ථාවය. මේවනවිට අවස්ථා 19කදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධන එක් කර ඇති අතර, 20වැනි වතාවටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා වන කෙටුම්පතක් ආණ්ඩුව විසින් ඉදිරිපත්කර තිබේ. එබැවින් යෝජිත 20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් විද්වත් අදහස් මෙලෙස දැක්වීමට
අද අපි අදහස් කළෙමු.
මේ ආකාරයටම සම්මත වුණොත් අධිකරණය, විධායකය යටතට පත්වෙනවා මෙය භයානක තත්ත්වයක් - නීතිඥ ජගත් ලියනාරච්චි
යෝජිත 20වැනි සංශෝධනය ඒ ආකාරයෙන්ම සම්මත වුණොත් ප්‍රධාන වශයෙන් කාරණා දෙකක් වෙනවා. ඒ තමයි ජනාධිපතිවරයාගේ බලතල වැඩි වෙනවා. ඒ වගේම ජනාධිපතිවරයාට තිබෙන වගවීම අඩු වෙනවා. මේ කාරණා දෙකෙන්ම සිදුවෙන්නේ විධායකය ශක්තිමත් වීම කියන කාරණයයි. ප්‍රධාන වශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඉවත් කරලා ඒ වෙනුවට පත්කරන කිසිදු තීරණ ගැනීමේ බලයක් නැති පාර්ලිමේන්තු සභාව සම්බන්ධ ප්‍රතිපාදන හේතුවෙන් ස්වාධීන කොමිෂන් සභා සඳහා කොමසාරිස්වරුන් පත්කිරීමේ බලතල ජනාධිපතිට හිමි වෙනවා. ජනාධිපති පාර්ලිමේන්තු සභාවෙන් නිරීක්ෂණ ඉල්ලා සිටිය යුතුයි කියා මේ සංශෝධනයේ සඳහන්ව තිබුණද ජනාධිපති තීරණ ගන්නේ නිරීක්ෂණ මත පදනම් වෙලා නෙවෙයි. ඒ නිරීක්ෂණ මත ජනාධිපතිවරයා බැඳෙන්නේ නැහැ. මොකද එමගින් ඉල්ලන්නේ නිරීක්ෂණ මිස නිර්දේශ නෙවෙයි. එය බරපතළ කාරණයක් ලෙස මම දකිනවා.
ඒ වගේම මේ හරහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ස්වාධීනත්වයට, අධිකරණ සේවා කොමිෂන් සභාවේ ස්වාධීනත්වයට, මානව හිමිකම් කොමිෂන් සභාවේ ස්වාධීනත්වයට, අල්ලස් කොමිසමේ ස්වාධීනත්වයට ජාතික පොලිස් කොමිසමේ ස්වාධීනත්වයට, බරපතළ හානි සිදුවෙනවා. මුදල් කොමිෂන් සභාව සහ සීමා නීර්ණ කොමිෂන් සභාව ගැන මම එතරම් සැලකිලිමත් වෙන්නේ නැහැ. මොකද එය ජනතාවට සෘජුවම අදාළ වන දෙකක් නොවන නිසා. නමුත් අනිකුත් කොමිෂන් සභා ස්වාධීන නොවීම ජනතාවට සෘජුවම බලපානවා. ඒ වගේම මැතිවරණ කොමිෂන් සභාවේ බලතල අඩු කිරීමක් සිදුකර තිබෙනවා. රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ බලතල අඩු කරලා තිබෙනවා. ඒ වගේම 19වැනි සංශෝධනය හරහා අල්ලස් කොමිසමට ලබාදුන් අතිරේක බලතල අඩු කරලා තිබෙනවා. මේ තත්ත්වය ඉතාම අයහපත් විදිහටයි අපි දකින්නේ.
ඒ වගේම විගණකාධිපතිගේ විෂය පථය සහ බලතල අඩු කරලා තිබෙනවා. විගණන කොමිසම අහෝසි කරලා තියෙනවා. විගණන කොමිසම අහෝසි කිරීම සහ විගණකාධිපතිවරයාගේ විෂය පථය අඩු කිරීම සහ ඔහුගේ බලතල අඩු කිරීම කියන කාරණා දෙකම කරලා තියෙනවා. එය බලපාන්නේ විගණකාධිපතිට පමණක් නොවෙයි. විගණකාධිපති වාර්තා මත කටයුතු කරන විමර්ශන සිදුකරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවලටත් එය අදාළ වෙනවා. පොදු ව්‍යාපාර කාරක සභාවට එය සෘජුවම අදාළ වෙනවා. ඒ වගේම රාජ්‍ය මූල්‍ය කාරක සභාවටත් එය අදාළ වෙනවා. සරලව කිව්වොත් විගණකාධිපති සම්බන්ධයෙන් කරලා තියෙන සංශෝධන නිසා ඇත්ත වශයෙන්ම විගණකාධිපති බලතල පමණක් නෙවෙයි පාර්ලිමේන්තුවේ මූල්‍ය පාලන බලතලත් අඩු වෙනවා. ඒක බරපතළ කාරණයක්. රාජ්‍ය මූල්‍ය පාලනය තිබෙන්නේ පලිමේන්තුවට. එය මේ සංශෝධනය හරහා අඩු වෙනවා. ඒ නිසාම වංචා දූෂණ සිදුවීම් ඉහළ යාමේ සම්භාවිතාවක් තිබෙනවා. ඒ වගේම ප්‍රසම්පාදන කොමිෂන් සභාව සහ විගණන කොමිෂන් සභාව අහෝසි වෙනවා. මේ දෙකම පිහිටුවලා තිබුණේ රටෙහි මිලදී ගැනීම් සහ වියදම් කිරීම් නියාමනයක් ඇති කිරීම සඳහායි. මේ දෙක අහෝසි වෙනවා කියන්නේ රාජ්‍ය මුදල් අවභාවිත වීම විශාල වශයෙන් සිදුවෙන්න පුළුවන් ඉඩකඩ වැඩි වීමයි.
ඒ වගේම රජය සතු සමාගම් විගණනය මෙයින් සෘජුවම ඉවත් වෙනවා. සමාගම් පනත යටතේ ලියාපදිංචි කර තිබෙන රාජ්‍ය අරමුදල් භාවිත කර තිබෙන සමාගම් විගණකාධිපතිට විගණනය කරන්න පුළුවන් කියලා 2015 වසරේ ගෙන ආ 19වැනි සංශෝධනය මගින් ව්‍යවස්ථාවට ඇතුළත් කළා. 20වැනි සංශෝධනය මගින් එය ඉවත් කර තිබෙනවා. රජයට අයිති සමාගම් 150ක් පමණ විගණකාධිපතිගේ අධීක්ෂණයෙන් තොර වෙනවා. උදාහරණයට ලෙකෝ, ලාෆ් ගෑස්, ශ්‍රී ලංකන් ආදී සමාගම් විගණනයෙන් ඉවත් වෙනවා. ඒ වගේම අග්‍රාමාත්‍ය කාර්යාලය ජනාධිපති කාර්යාලයත් විගණනයෙන් ඉවත් වෙනවා. මේවා බරපතළ තත්ත්වයන් ලෙස අපි දකිනවා.
ඒ වගේම මේ වන විට පවතින නීතිය අනුව අධිකරණ සේවා කොමිෂන් සභාවේ කොමසාරිස්වරයෙක් ඉවත් කිරීම සිදුකළේ පාර්ලිමේන්තු යෝජනාවක් සම්මත කිරීමෙන් පසුවයි. නමුත් 20වැනි සංශෝධනය අනුව ජනාධිපතිවරයාට ඕනෑම කොමසාරිස්වරයෙක්ව හේතු දක්වා ඉවත් කරන්න පුළුවන් කියලා සඳහන් කර තිබෙනවා. පහළ අධිකරණවල විනිසුරුවරුන් පත්කිරීම, ස්ථාන මාරු කිරීම්, උසස්වීම්, විනය පරීක්ෂණ ආදී කටයුතු වගේම අධිකරණ උපලේඛනගත නිලධාරීන්ගේ පත්කිරීම්, පරීක්ෂණ සේවා සමාප්ත කිරීම්, ස්ථාන මාරු කිරීම්, උසස් කිරීම් ආදිය සිදු කරනුයේ අධිකරණ සේවා කොමිෂන් සභාව මගින්. 1946 සිටම මේ කොමිෂන් සභාවේ පාලනය විධායකයෙන් ඈත් කරලා තිබුණේ. විධායක, ව්‍යවස්ථාදායක, අධිකරණ කියන බලතලවලදී විධායකයට සහ ව්‍යවස්ථාදායකයට ඈතින් තමයි අධිකරණය පිහිටවලා තියෙන්නේ. නමුත් මේ හරහා අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකයන් පත්කරන්නත් ජනාධිපතිට බලයක් ලැබෙනවා. ඉවත් කරන්නත් ජනාධිපතිට බලයක් ලැබෙනවා. මේ ක්‍රියාවලිය නිසා අධිකරණය විධායකය යටතට පත්වෙනවා. මෙය භයානක තත්ත්වයක්. ඒ වගේම මොන්ටෙස්කියුගේ බලතල බෙදීමේ න්‍යායටත් මෙය පටහැනියි. මේ නිසා අධිකරණය විධායකයට අනුව හැසිරෙන්න පුළුවන්. ජනතාවට තමයි මෙයින් හානිය සිදුවෙන්නේ. සරලව කිව්වොත් අධිකරණයට අතපොවන්න විධායකයට සෘජුවම අවස්ථාවක් ලැබෙනවා. ඒ වගේම 19 හරහා හඳුන්වා දුන් කොමිෂන් සභා ස්වාධීන කොමිෂන් සභා කියලා අපිට කියන්න පුළුවන්. නමුත් 20වැනි සංශෝධනයෙන් පසුව මේවා තවදුරටත් ස්වාධීන කොමිෂන් සභා නෙවෙයි, විධායකයේ කොමිෂන් සභා බවට පත්වෙනවා.
20 නිසා ශක්තිමත් වූ විධායකය පෙර තිබූ දේශපාලන, ආර්ථික අස්ථිරභාවයට හොඳ විසඳුමක් - ආචාර්ය ටියුඩර් වීරසිංහ
&20වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒම අභිනවයෙන් තේරී පත් වූ රජයේ ප්‍රධානම සහ ප්‍රමුඛතම කාර්යයක් විදිහට සලකන්න පුළුවන්. 20වැනි සංශෝධනය කියලා කියන්නේ යහපාලන ආණ්ඩුවේ 19වැනි සංශෝධනය නැවත වෙනස් කිරීමයි. එතකොට 19සංශෝධනයේ ඇති වුණු වෙනස නිසා යම් කිසි ආකාරයකින් රටේ ක්‍රියාවලියට, දේශපාලන තත්ත්වයට, රාජ්‍යයේ ආරක්ෂාවට යම්කිසි බලපෑමක් වූ බව පසුගිය අවුරුදු පහක කාලය තුළ අපි දැක්කා.
ඒත් එක්කම 19 සංශෝධනයත් එක්කම ඇති වුණු දේශපාලන අර්බුදකාරී තත්ත්වය නිසා විධායකය, ව්‍යවස්ථාදායකය යන ආයතන දෙක අතර එකමුතුවක් නොමැති වීමක් තිබුණා. ඒ නිසා රට තුළ පහුගිය වසර පහ තුළ ක්‍රියාකාරීත්වය දේශපාලන වශයෙන් සහ ආර්ථික වශයෙන් පවා අස්ථාවර බවක් ඇති වුණා. ඒ වගේම රටේ ආරක්ෂාවත් යම්කිසි ආකාරයක අර්බුදයකට මුහුණ දුන්නා. 19 සංශෝධනය මූලික වෙලා තිබුණේ විධායකයේ බලතල යම්කිසි මට්ටමකට අවම කිරීමක් මත.
ඒ අවම කිරීම තුළ රට තුළ අලුත් තත්ත්වයක් උදා වුණා. ඒ ඇති වුණු තත්ත්වය වෙනස් කිරීම සඳහා මේ අභිනවයෙන් පත්වුණු රජය අවධානය යොමු කරලා තියෙනවා 19වැනි සංශෝධනය වෙනස් කළ යුතුයි කියලා. ඒ අනුව තමයි 20වැනි සංශෝධනය කියන සංකල්පය ගෙන එන්නේ. අපි දන්නවා මේ 19 තුළ බලය විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන ආයතන තුනට පවරලා තිබුණා කියලා. ඇත්ත වශයෙන්ම එහිදී රාජ්‍යය යම්කිසි ආකාරයක පරිපාලන ක්ෂේත්‍රය නියෝජනය කරපු සංකල්පයක් ලෙස තමයි ක්‍රියාත්මක වුණේ. එහිදී 19 ආරම්භයේදී යම්කිසි සාධනීය ප්‍රතිඵලයක් දැකිය හැකි වූවත් අවසාන කාලය වනවිට එහි එතරම් කාර්යක්ෂමව සහ බලාපොරොත්තු වූ ප්‍රතිඵල ලබාගැනීමට නොහැකි වුණා කියලා අපි දැක්කා. ඒ කියන්නේ ඒ බලතල බෙදීම තුළින් රටේ ස්ථාවරත්වය පවත්වාගෙන යාම තවදුරටත් අපහසු වුණා. බලතල බෙදීම තුළින් සිදුකළේ මේ ආයතන තුන අතර යම්කිසි සංතුලනයක් ඇති කරන්න. නමුත් ඒක තුළින් වුණේ එක බලයකටවත් තීන්දුවක් ගැනීමට ඇති අවස්ථාව ගිලිහී යෑමක්.
අපේ රටේ ඒක මතු වුණේ විධායකය සහ ව්‍යවස්ථාදායකය අතර තිබුණු දෙබිඩි ප්‍රතිපත්තීන් නිසයි. ඒ නිසා තමයි එක බලයක් තවත් බලයක් අබිබවා යන්න උත්සාහ කළේ. 20වැනි සංශෝධනයෙන් සිදු වන්නේ මේ බල ත්‍රිත්ත්වයෙන් එක බලයක් ප්‍රමුඛ කිරීමයි. එතනදී අනිවාර්යෙන් ව්‍යවස්ථාදායකය හෝ විධායකය හෝ කුමන හෝ බලයක් ප්‍රධාන වෙන්න ඕනේ. නමුත් 19වැනි ව්‍යවස්ථා සංශෝධනයේදී වුණේ මේ එක බලයකටවත් ප්‍රමුඛත්වයකට පැමිණීමට ඇති අවස්ථාව ලැබුණේ නැති එකයි.
එය යම් ආකාරයකට සම මට්ටමක හෝ යම් අසමතුලිතතාවක තමයි පැවතුණේ. මෙතනදී 20වැනි සංශෝධනයේදී පේන්න තිබෙන ප්‍රධාන කාරණයක් විධායකයේ බලතල වර්ධනය කරලා තිබෙනවා කියලා. විධායකයේ බලතල 19ට කලින් තිබුණු තත්ත්වයට ගෙනැවිත් තිබෙනවා. යහපාලන ආණ්ඩුවේ 19වැනි ව්‍යවස්ථාව සමග දේශපාලන සහ රාජ්‍ය අස්ථාවරත්වය දුර්වල වී තිබීම මග හැරීමට 20වැනි ව්‍යවස්ථාව එක්තරා ආකාරයකට විසඳුමක් වෙනවා. එහි අදහස වන්නේ ඒ බලතල බෙදීමේ ක්ෂේත්‍ර තුළ එකට බලය ප්‍රමුඛ විය යුතුයි කියන එකනේ. මේ විසිවැනි සංශෝධනයේදී ඒක පැවරෙන්නේ විධායකයට. මෙහිදී විධායකය ප්‍රබල වෙනවා. සමහර රටවල ව්‍යවස්ථාදායකය ප්‍රබල වී තිබෙනවා වගේම සමහර රටවල විධායකය ප්‍රමුඛ වෙලා තිබෙනවා. අද ලෝකය දිහා බැලුවත් මේක ලොකු ප්‍රවණතාවක්. 19වැනි සංශෝධනයෙන් ඒ තත්ත්වය ගිලිහුණා. මෙහිදී 77 පටන් තිබුණු සම්ප්‍රදාය අනුව සහ සමාජයේ තිබෙන යම් යම් ගති ලක්ෂණත් සමග විධායකයට බලය හිමිවන්නේ. නැවත විධායකය ශක්තිමත් වීමක් 20වැනි සංශෝධනයත් සමග සිදුවෙනවා. එය යම්කිසි ආකාරයකින් රටේ කලින් පැවැති දේශපාලන, ආර්ථික අස්ථාවරත්වය නැති කිරීමට හේතු වෙයි කියලා මම හිතනවා. ඒ වගේම 20වැනි ව්‍යවස්ථා සංශෝධනය අවශ්‍ය සහ කාලීන වශයෙන් වැදගත් කියලා තමයි මම සලකන්නේ.
කෝවිඩ් එක්ක ආර්ථිකය නගා සිටුවන්න විධායක ජනාධිපතිවරයාට බලතල ලබාදීම වෙනුවෙන් 20 අවශ්‍යයි - - බටහිර ඉන්දීය කොදෙව් රාජ්‍ය‘යේ ජැමෙයිකා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ නීති පීඨාධිපති මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා
ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 20වැනි සංශෝධනයක් අවශ්‍ය වුණේ ඇයි කියන එක ගැන අපි මුලින්ම අවධානය යොමු කරන්න අවශ්‍යයි. 20වැනි සංශෝධනය අවශ්‍ය වුණේ 19වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම රට ආපස්සට ඇද්ද නිසයි.
මම එහෙම කියන්නේ අපිට පෙනුණ ප්‍රායෝගික කරුණු කාරණා නිසයි. 19වැනි ව්‍යවස්ථාවට හඬා වැලපෙන අයට නොපෙනෙන අන්තර්ජාතික වශයෙන් අපි දැක්ක අත්දැකීම් එක්කත් මම එය මුසු කරනවා. 19වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලහි ලහියේයි ගෙනාවේ. ජනමත විචාරණයකටවත් ගියේ නැහැ. 19වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ හොඳට බලන්න අවශ්‍ය දේ තමයි ජනාධිපතිවරයාව සම්පූර්ණයෙන්ම බෙලහීන කිරීමත්, අගමැතිවරයා විධායක අගමැති කිරීමත්.
මෙහිදී අගමැතිවරයා පාර්ලිමේන්තුවට වගකියන තත්ත්වයක් තිබුණේ නැහැ. අගමැතිවරයා තමයි සියලුම තීරණ ගත්තේ. ගරු සිරිමෙවන් මැතිතුමාගේ නඩු තීන්දු අරන් බලන්න. සමහරක් ඒවායේ විධායක බලය බහුතරයක් දුන්නා. නමුත් ජනමත විචාරණයකට යන්න වෙන නිසා ඒවා නැතිව ඒවායෙන් රිංගා ගිය අවස්ථා තියෙනවා. මම කරුණු තුනක් පමණක් ඉදිරිපත් කරන්න කැමතියි. 19වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළ විධායක ජනාධිපතිවරයා ඡන්දෙන් පත්වුණත් ඔහුගේ විධායක බලතල සියල්ල කොමිෂන් සභා හරහා ගලවා දැමුවා. උදාහරණයක් ලෙස ගත්තම කොමිෂන් සභාවලදී ව්‍යවස්ථාදායක සභාව කියලා එකක් කළු සුදු අකුරෙන් පත්කරලා තිබෙනවා. ප්‍රායෝගිකව මේකේ හිටියේ කවුද? එතකොට මේවාට පත්කිරීම් කළේ කොහොමද? රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා හා විපක්ෂයක් නොවන විපක්ෂ නායක සම්බන්දනුත් එකතු වෙලා තමයි ඔවුන්ට ඕන අයව මේකට පත්කර ගත්තේ. එහෙම පත්කරලා මේකේ ස්වාධීන භාවය තනිකරම ලඝු කළා ජිනීවාවලට හා විශේෂයෙන් අන්තර්ජාතික ආයතනවලට. ජනාධිපතිවරයාට මොකුත් කරගන්න බැහැ. ස්වාධීනයි කිය කිය නිදහසේ තමන්ගේ මත ප්‍රකාශ කර කර හිටියා මිසක් රටට සේවයක් වුණේ නැහැ.
විශේෂයෙන්ම වැදගත්ම දේ තමයි ජාතික ආරක්ෂාව කියන එක. එහිදී 19වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව විධායකයේ ප්‍රධානියා, සන්නද්ධ සේවාවන්වල ප්‍රධානියා ලෙස ජනාධිපතිවරයා හිටියාට ඔහුට තීරණ ගන්න බැහැ. ආරක්ෂක කවුන්සිලයේදී මොකද වුණේ? හොඳට ප්‍රායෝගිකව විශ්ලේෂණය කර බලන්න. න්‍යාය තිබුණට ප්‍රායෝගිකව වුණ දෙයයි බලන්න අවශ්‍යය. න්‍යාය තිබුණට රටක් ගොඩගන්න බැහැ. ඒ අනුව මේ කරුණු කාරණා ගත්තම රටට අවශ්‍ය වන සංවර්ධනය බිම හෙළුවා.
දැන් මම කරුණු කාරණා කිහිපයක් දිහා බලනවා ජාත්‍යන්තර වශයෙන් අරගෙන. විශේෂයෙන් ලී ක්වාන් යූ. ඔහුට ජනතාව බලය දීලා විධායකය ශක්තිමත් කරලා රට හැදුවා. යම් කිසි කාලයකදී අපිට මේ බලතල වෙනස් කරගන්න පුළුවන්. මම ජැමෙයිකාවේ පසුගිය කාලයේ හිටියේ. එම රටට අසල්වැසි රට තමයි කියුබාව. අදටත් කියුබාව ස්ථාවර වෙන්න ප්‍රධාන සාධකය තමයි විධායකය ශක්තිමත් වීම. ඇමෙරිකාවත් සමග කියුබාව සම්පූර්ණයෙන්ම උරෙන් උර ගැටෙනවා. බය නැතිව නැගී සිටිනවා. එයට හේතුව තමයි ස්ථාවර රටක් බවට පත්වෙන්න හේතු වූ විධායකය.
මීළඟට අපි බැලුවොත් චීනයේ ජනාධිපති ජින් පින්ට ජීවිතාන්තය දක්වා බලතල දී තිබෙනවා රට සංවර්ධනය කරන්න. ඒ අනුව අද චීනය තමයි ප්‍රධාන වශයෙන් ආර්ථිකය මෙහෙයවන්නේ. මොකද ජනාධිපතිවරයාට දී ඇති බලතල අනුව ඔහුගේ කකුලෙන් අදින්න කාටවත් බැහැ. රුසියාවෙත් මේ තත්ත්වයමයි තියෙන්නේ.
මම කියන්නේ 19වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම ගැලවිය යුතුයි. එහි තිබෙන හොඳ අංග ගන්න එක වෙනම දෙයක්. සමස්තයක් ලෙස කියන්න අවශ්‍ය දේ තමයි මෙය නැවත වතාවක් 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන මුල් අවස්ථාවට ගිහින් එතනින් හෝ රටට යම් ආකාරයකට දියුණුවක් කරගන්න අවස්ථාවක් අපිට ලැබිලා තිබෙනවා.
නැවත වතාවක් අපි 19ට ගියොත් අපිට ජීවිතේට දකින්න වෙන්නේ ජනාධිපතිවරයා හා අගමැතිවරයා තමන්ගේ මතවල දෙන්නා දෙපැත්තට ඇද ඇද ඉන්න තත්ත්වයක්. හැබැයි පැහැදිලිව සඳහන් වෙන දෙයක් තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ඒ දෙදෙනාගේ එකතුවෙන් තමයි හැම දෙයක්ම කළ යුත්තේ කියන දෙය. නමුත් එහෙම වුණේ නැහැ. හිටපු ජනාධිපතිවරයා කී වතාවක් නැගිටලා ගියාද අමාත්‍ය මණ්ඩල රැස්වීම්වලදී. විධායක අගමැතිවරයාගේ සිර අඩස්සියේ ජනාධිපතිවරයා ඉන්නා බවක් තමයි අපි දැක්කේ.
මීළඟට විධායකය ශක්තිමත් කිරීමට අවශ්‍ය තැන්වල විධායකය ශක්තිමත් කිරීම සිදු වුණේ නැත්නම් ඒ රටට අවශ්‍යවන දේ කරන්න ඒ බලතල ලබා දීලා වැඩක් නැහැ. අපි උදාහරණ ලෙස බලමු අමාත්‍ය මණ්ඩලය 30කට සීමා කිරීම ගැන 19වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා. නමුත් එහිම සඳහන් වෙනවා එක්කෙනෙක් හරි පිටින් අරන් ජාතික ආණ්ඩුවක් පත්කළ හැකි බව. එයින් අමාත්‍ය මණ්ඩලය වැඩි කරගත හැකියි. ඉතින් ඊට වඩා හොඳ නැද්ද ජාතික ආණ්ඩුව ඉවත් කරලා ඇමැතිවරු සංඛ්‍යාව ජනාධිපතිවරයාට තීරණය කරන්න දෙන එක.
ඇත්තටම 19වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පෙන්වා තිබෙන දේවල් නොවෙයි ප්‍රායෝගිකව සිදුවුණේ. මේ වෙලාවේ හඬාවැටෙනවා 19වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති වුණා කියලා. නමුත් ජාතික ආරක්ෂාවක් නැති රටක ප්‍රජාතන්ත්‍රවාදය තිබිලා මොනවා කරන්නද?
මීළඟට ඇමැතිවරු සංඛ්‍යාව තීරණය කිරීමේදී ජනාධිපතිවරයාට ඒ තීරණය ගන්නට පුළුවන්. මොකද අපි දැන් කෝවිඩ් එක්කයි රට කරගෙන යන්නේ. ඒක අපි තේරුම් ගන්න ඕන. කෝවිඩ් 19ත් එක්ක ලෝකයේ වෙනත් රටවල් කොච්චර දුක් විඳිනවාද? ඒ නිසා මම හිතනවා කෝවිඩ් 19ත් එක්ක එන 20වැනි සංශෝධනය යටතේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරනා තුරු විධායක ජනාධිපතිවරයාට බලතල ලබා දිය යුතුයි, ඒ හරහා ශක්තිමත් ආර්ථිකයක් කරා ගමන් කරන්න හැකියි කියලා. මොකද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි, ආර්ථිකයයි දෙක එකට ගියේ නැත්නම් කිසි ලෙසක ශක්තිමත් ආර්ථිකයක් කරා යන්න බැහැ. මම දකින අත්දැකීම් එක්ක තමයි මම මේ කාරණා කියන්නේ.
කෙනෙක්ට අහන්න පුළුවන් විධායකයේ බලය වැඩි කිරීමෙන් පසු වැරදි කෙනෙක් අතට මේ බලය ගියොත් රටට කුමක් වෙයිද? කියලා. ඇත්තටම රටට ආදරය කරන දේශප්‍රේමී ජනාධිපතිවරයෙක් පත්වීම න්‍යායාත්මකව හා ප්‍රායෝගිකවම මේ අවස්ථාවේ සිදුවී තිබෙනවා. නමුත් ඉන් මත්තට අපි බලන්න අවශ්‍යයි. එහිදී අපි උපමාන දෙකක් අනුව බැලිය යුතුයි.
එනම් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනෙනකොට 1-20 දක්වා සිදුකර ඇති ව්‍යවස්ථා සංශෝධන ගැලවිලා අලුත්ම එකක් තමයි ගේන්නේ. එහි තත්ත්වය අපි දන්නේ නැහැ. මම ලෝකයේ දකින හොඳම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තමයි 1996 දකුණු අප්‍රිකානු ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. එහිත් විධායකය ශක්තිමත්. ඒ අනුව 20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දිගටම තියෙයි කියලා අපිට කියන්න බැහැ. ජනමත විචාරණයක් ආවොත් එය අනිවාර්යෙන් වෙනස් වෙනවා. දෙවැනි කාරණය තමයි ජනාධිපතිවරණයකට පිස්සෙක්ට හෝ රටට ආදරය නැති කෙනෙක් ඉදිරිපත් වෙන්න පුළුවන්. නමුත් ජනතාව කවදාවත් එවැනි කෙනෙක්ව පත් කර ගන්නේ
නැති වෙයි.
විධායක බලයට තිබෙන බාධාවන් ඉවත් කර පූර්ව 19 තත්ත්වයට ව්‍යවස්ථාව ගෙන යෑම තමයි 20වැනි සංශෝධනයේ අරමුණ - නීතිඥ කනිෂ්ක විතාරණ
20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ බැලූ බැල්මට කර ඇත්තේ 19වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ගෙනා සංශෝධන බොහෝමයක් ඉවත් කර, නැවත පූර්ව 19 තත්ත්වයට ව්‍යවස්ථාව සකස් කිරීමයි. එම වෙනස්වීම් බොහෝමයක්ම කර තිබෙන්නේ විධායක බලය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙනි. එවිට සිදුවන ප්‍රධාන දෙයක් තමයි විධායක ජනාධිපතිවරයාගේ බලතල පෙර පැවැති විධායක බලතල වල තත්ත්වයටම පත්කර ජනාධිපතිවරයාට කිසිදු බාධාවකින් තොරව ආණ්ඩුවේ පාලනය කරගෙන යාමට හැකියාව ලැබීම. 19වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ගෙන එනු ලැබූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හරහා විධායක බලතල මෙහෙයවීමේ සීමාවන් හා බාධාවන් වුණා. මේවා ඉවත් කරන එක තමයි අපිට 20වන සංශෝධනයේ ප්‍රධාන වශයෙන්ම දකින්නට ලැබෙන්නේ. අපි බැලුවොත් ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ %සෞභාග්‍යයේ දැක්ම^ යටතේ සඳහන් වුණා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් විධායක බලය සම්බන්ධයෙන් යළි විමසා බැලීමක් සිදු කරන බවට. ඒ වගේම කාර්යක්ෂම ආණ්ඩුවක් ඇතිකරන බවට එහි සඳහන් වුණා. ආර්ථික සංවර්ධනයක් ඇති කරන බවටත් රටේ ආරක්ෂාව ස්ථාපිත කරන බවටත් එහි සඳහන් වුණා. මේ කාර්යන් සියල්ල සිදුකිරීම සඳහා තමයි ජනාධිපතිවරයාට ජනතාව ඡන්දය ලබා දුන්නේ. ජනාධිපතිවරයා කොරෝනා කාලයේ ව්‍යවස්ථාදායකය විසුරුවා හැර තිබූ අවස්ථාවේ විධායක ජනාධිපති ලෙස රටේ යහපත වෙනුවෙන් ගත් ක්‍රියාමාර්ග ගැන ජනතාව තෘප්තිමත් වුණා. විධායක ප්‍රධානියා ලෙස ජනාධිපතිවරයා ජනතාවගේ යහපත වෙනුවෙන් විධායක බලය මෙහෙයවන ආකාරය පිළිබඳව තිබූ ජනතාවගේ විශ්වාසයක් තව තවත් තහවුරු වුණා. ඒ නිසයි ව්‍යවස්ථාදායකයේ 2/3ක බහුතරයත් ජනාධිපති නියෝජනය කරන පක්ෂයට ලබා දෙන්න ජනතාව කටයුතු කළේ. මහ මැතිවරණයේදීත් ඔවුන් පාවිච්චි කළේ ජනාධිපතිවරයාගේ %සෞභාග්‍යයේ දැක්මේ^ ප්‍රතිපත්ති ප්‍රකාශනයයි. ඉන්පසු ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය පත් කරද්දීත් සෞභාග්‍ය දැක්මට අනුව කටයුතු කරන්න කියලා විෂයන් බෙදීම සඳහා නිකුත් කළ ගැසට්ටුවේ සඳහන් කර තිබුණා. එවිට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව එක ඉලක්කයක් කරා නැත්නම් කඩිනම් සංවර්ධනය කරා රට ගෙනියන්න සූදානම් වෙලා ඉන්නවා. ව්‍යවස්ථාවට අනුව විධායක ජනාධිපතිවරයා ආණ්ඩුවේ ප්‍රධානියාද වෙනවා. ඒ අනුව %සෞභාග්‍යයේ දැක්ම^ කියන්නේ ජනතාව විසින් ජනාධිපතිවරයා වෙත ලබාදී ඇති භාරයක් වගේම වගකීමක්. එම වගකීම ජනතාව වෙනුවෙන් ඉටුකරන්න පුළුවන් ආණ්ඩුවක් පවත්වාගෙන යන්න බාධාවන් ඉවත් කරන්න තමයි 20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනයෙන් උත්සාහ කර තිබෙන්නේ.
එනමුත් මේ ව්‍යවස්ථා කෙටුම්පතේ තිබෙනවා ජනාධිපතිවරයාගේ මූලික අරමුණුවලට සෘජුව සම්බන්ධ නොවන ගැටලු සහිත තැන්. ඒවා තමයි හදිසි පනත් සම්මතයට තිබෙන වගන්ති. ඒ වගේම ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධ වගන්ති. ප්‍රසම්පාදන කොමිසම, විගණන සේවා කොමිසම, අල්ලස් හෝ දූෂණ කොමිසම ඉවත් කිරීමට ගෙන ඇති පියවර. ඊට පසු විගණකාධිපතිවරයාගේ විෂයපථයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය හා සියයට 50ක් රජයේ කොටස් තිබෙන සමාගම් ඉවත් කරලා තිබෙනවා. මේ කාරණා වගේම 53වැනි වගන්තියෙන් 7වන උපලේඛනය යටතේ වන රට තුළ වෙනම රාජ්‍යයක් බිහි නොකරන බවට වන දිවුරුම ඉවත් කර තිබෙනවා. අනෙක් කාරණය තමයි අමාත්‍ය මණ්ඩලය සම්බන්ධයෙන් තිබෙන තිහේ සීමාව ඉවත් කිරීමත් ජනතාව අපේක්ෂා කරපු දෙයක් නෙවෙයි. 20න් බිහිවන්නේ අසීමිත විධායක බලතල ඇති ජනාධිපතිවරයෙක්.
මෙවැනි කාරණා සෘජුව ජනාධිපතිවරයා අරමුණු කරන ඉලක්කගත කාරණයට යන්නනට හේතු පාදකවන හෝ ඊට බාධා වන කාරණා නොවෙයි.
මේ කෙටුම්පත සම්බන්ධයෙන් තිබෙන ප්‍රධානතම ගැටලුව වන්නේ එහි සම්පාදකවරයා ජනතාව ඉදිරියට නොපැමිණීම. ඇත්තෙන්ම එය කෙටුම්පත් කළ තැනැත්තා මේ වගන්ති ඇතුළත් කිරීමට මේ මේ කරුණු හේතු වුණා කියන එක ජනතාව ඉදිරියේ හෙළිදරව් කළ යුතුයි. ඒ නිසා දැන් වෙලා තිබෙන්නේ ජනාධිපති හා ආණ්ඩුව පත්කර ගන්න සහය දුන් භික්ෂූන් වහන්සේලා ජාතික සංවිධාන හා වෘත්තීය සමිති සහිත බලවේග නියෝජනයක් ව්‍යවස්ථා කෙටුම්පත සැකසීමේදී සිදුවී නැතිවීම. ඔවුන්ගේ දායකත්වයක් 20 සංශෝධන කෙටුම්පත සකස් කිරීමට දායක කරගෙන නැහැ. එහි ප්‍රතිඵලයක් ලෙස ජනතාව අපේක්ෂා නොකළ බොහෝ කරුණු හා දෝෂ මේ කෙටුම්පතට ඇවිත් තිබෙනවා. ඇත්තෙන්ම මෙම 20වන සංශෝධන කෙටුම්පත ජනාධිපති ඇතුළු ආණ්ඩුව කෙරෙහි ජනතාව සතු විශ්වාසය නැති කිරීමේ විජාතික කුමන්ත්‍රණකරුවන්ගේ ක්‍රියාවක් දැයි සැක මතුවෙනවා.
නමුත් සාධනීය දේවල් මේ කෙටුම්පතේ තිබෙනවා. 19 න් ගෙනාපු 14(අ) නැත්නම් තොරතුරු දැනගැනීමේ මූලික අයිතිවාසිකම 20ත් නිරුපද්ධිතව තිබෙනවා. ඒ වගේම පාර්ලිමේන්තු කාලය අවුරුදු 05කට සීමාවීමත් එලෙසම තිබෙනවා. යහපාලන කාලයේ අපි දැක්කා ව්‍යවස්ථාදායකය (පාර්ලිමේන්තුව) ජනතාවගේ අපේක්ෂාවන්ට අනුව කටයුතු නොකරන අවස්ථාවන්වලදී පාර්ලිමේන්තුව විසුරුවන්න බලය ලැබෙන වගන්ති සීමා කරන තත්ත්වයක් 19 තිබුණා. ඒ වගේම ජනාධිපතිවරයාට විරුද්ධව මූලික අයිතිවාසිකම් කඩ වූ නඩු පවරන්න පුළුවන් කියන වගන්තිය යටතේ ජනාධිපතිගේ ක්‍රියා අභියෝගයට ලක් වුණා. මේ බාධාවන් 20 යටතේ ඉවත් කර තිබෙනවා. තවත් සාධනීය තත්ත්වයක් තමයි පාර්ලිමේන්තුවෙන් ප්‍රතික්ෂේප කළ කෙටුම්පතක් ජනතාවට සෘජුව ජනමත විචාරණයකදී තීරණය කරන්න ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයාට හැකි වන වගන්තිය යළි ස්ථාපිත කර තිබෙනවා.
යම් යම් විරෝධතා මේ කෙටුම්පතට පැමිණීමත් සමග යම් යම් ප්‍රතිසංස්කරණ කරන්නට ආණ්ඩුව පියවර ගනිමින් සිටින බවත් අපිට වාර්තා වෙනවා. ඒ අනුව මේ කෙටුම්පතේ තිබෙන දෝෂ හා ඉවත් විය යුතු තැන් සංශෝධනය කරගෙන මේ ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට රජය කැමැත්තෙන් ඉන්නා බවක් අපිට පේනවා. එහෙනම් අපිට මේ කෙටුම්පත අවසන් කෙටුම්පත ලෙස අපිට සලකන්න බැහැ. මේ කෙටුම්පතේ යම් වගන්ති ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් කෙරුණොත් නිගමන හා තීන්දු මත වෙනස්කම් සිදු විය හැකියි. ඒ වගේම කාරක සභා අවස්ථාවේදී වෙනස් කළ හැකියි. ජනතාවට දැන් තිබෙන්නේ 20 වෙනස් විය යුතු තැන් විමසිල්ලෙන් බලලා තමන්ගේ පාර්ලිමේන්තු නියෝජිතයන් හරහා එම වෙනස්කම් සිදු කිරීමට ආණ්ඩුව පෙලඹවීම. %සෞභාග්‍යයේ දැක්ම^ යටතේ ජනාධිපතිවරයා අලුත් ව්‍යවස්ථාවක් ගෙන එන්න ප්‍රතිඥාවක් ලබා දී තිබෙනවා. නමුත් ව්‍යවස්ථාවක් අලුතෙන් ගේන එක ලෙහෙසි පහසු දෙයක් නොවෙයි. එය දීර්ඝ ක්‍රියාවලියක්. ඒ අනුව තව අවුරුද්දක් වගේ කාලයක් මේ සඳහා ගතවෙයි. මේ රටේ ව්‍යවස්ථාවක් සකස් විය යුත්තේ රටේ ජනතාවගේ චින්තනයට හා අපේක්ෂාවන්ට අනුව. ඒ සඳහා අප රටින්ම උත්පාදනය වන මූලධර්ම යොදා ගත යුතු වෙනවා. බටහිර ව්‍යවස්ථා මූලධර්ම සෑමවිටම අපට ගැනෙන්නේ නැහැ. අලුත් ව්‍යවස්ථාවක් ගෙන එන තෙක් රටේ සංවර්ධනය හා ජාතික ආරක්ෂාව දුර්වල කරගන්න අපිට බෑ. ඒ අනුව අලුත් ව්‍යවස්ථාවක් සකස් කරන්නේ කවදාද ඒ දිනය දක්වා 20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය රටේ බලපැවැත්වෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොටස් ලෙස ක්‍රියාත්මක වෙනවා.
20 සංශෝධනයෙන් කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය හකුළුවා දැමීමක් - උසස් පෙළ දේශපාලන විද්‍යා දේශක හේමප්‍රිය කවිරත්න
&මේ ගැන සංසන්දනය කරන්න අපිට සංශෝධන තුනක් තිබෙනවා. නිදහසින් පසුව ලංකාව මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්නවලින් එකක් තමයි ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනගන්නේ කොහොමද කියන ගැටලුව. 72 ව්‍යවස්ථාවයි, 78 ව්‍යවස්ථාවයි ලංකාවේ ඇති කළේ ව්‍යවස්ථානුකූල අධිකාරීවාදයක්. ඉංග්‍රීසීන් විසින් ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ව්‍යාප්ත කළානේ. අපේ සෝල්බරි වැනි ව්‍යවස්ථාවන් තුළ යම් ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ තිබුණා. නිදහසින් පසුව අපි කළේ ඉංග්‍රීසීන් පොඩියට ප්‍රසාරණය කළ ප්‍රජාතන්ත්‍රවාදය හකුළපු එකයි. එහි ප්‍රධානම කේන්ද්‍රීය එක තමයි 78 ව්‍යවස්ථාව. 78 ව්‍යවස්ථාව ගෙන එද්දී ලංකාවේ බහුතරයක් ඒකට විරුද්ධ වුණා. ලංකාවේ උගත් මිනිස්සු, විශ්වවිද්‍යාලවලින්වත් ඒකට සහයෝගයක් ලැබුණේ නැහැ. ඒ නිසා ඒ තුළින් නිර්මාණය වුණු ජනාධිපති ධුරය තුළ විශාල බලයක් කේන්ද්‍රගත වුණා. ඒ හින්දා තමයි පසුකාලීනව විධායක %ජනාධිපති ධුරය අහෝසි කරනවා, බලතල අඩු කරනවා^ වැනි දේවල් කියලා අනූ ගණන්වල ඉඳලා පැමිණි සියලු ජනාධිපතිවරු බලය අරගත්තේ.
චන්ද්‍රිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ, සරත් ෆොන්සේකා, මෛත්‍රීපාල සිරිසේන මේ හැමෝම ජනාධිපතිවරණවලදී කිව්වේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා කියලා. සරත් ෆොන්සේකාට හැරෙන්න අනෙක් හැමදෙනාටම මේ රටේ ජනවරමක් ලැබුණා. ඒකේ අර්ථය තමයි මේ රටේ මිනිස්සු විධායක ජනාධිපති ධුරයේ බලයට කැමති නැහැ කියන එක. ඒක ජේ.ආර්. ජයවර්ධනගෙන්, රණසිංහ ප්‍රේමදාසගෙන් දැක්කා. ඒ නිසා ලංකාවේ ජන සමාජය තුළ තියෙන්නේ ජනාධිපති ධුරය ඕනේ කියන එක නෙවෙයි. හැබැයි මෙවර ජනාධිපතිවරණයේදී ප්‍රධාන අපේක්ෂකයෝ දෙදෙනා තුළම ඒ විධායකය අහෝසි කරනවා කියන සටන් පාඨය තිබුණේ නැහැ. එතකොට අපේ රටේ මේ වෙද්දී ලොකු ප්‍රශ්නයක් තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය සහ ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රතිසංස්කරණ කරා අපි යනකොට ඒකට තිබුණු ලොකුම බාධාව තමයි ජනාධිපති ධුරය. ඒ නිසා 17වැනි සංශෝධනය 2001 ගෙනල්ලා මේ බලය යම් ප්‍රමාණයකින් අඩු කළානේ. ඒ හරහා රටේ යම් ප්‍රජාතන්ත්‍රවාදී පරිසරයක් ඇති වුණා. පොලිස් කොමිසම, රාජ්‍ය සේවා කොමිසම වැනි දේ යම් ආකාරයකට ස්වාධීනව වැඩ කළා. ඊට පස්සේ ගෙනාපු 18වැනි සංශෝධනයේ ප්‍රධානම පරමාර්ථය වුණේ ඔහුගේ ධුර කාලය වැඩි කර ගැනීමයි. පුද්ගලයෙක් ඉලක්ක කරගෙන තමයි 18වැනි ව්‍යවස්ථාව ගෙනාවේ. 18 සංශෝධනයෙන් ප්‍රජාතන්ත්‍රවාදය නැති වුණු හැටි 2010 - 2015 කාලවකවානුව තුළ අපි දැක්කා.
78 ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයාට අභිමත ඇමති මණ්ඩල පත්කිරීමේ බලයක් තිබුණා. එහි නරක පැත්ත තමයි රටේ විපක්ෂය බය කිරීමට අභිමත ලෙස ඇමති මණ්ඩල පත්කරපු එක. ඒවා සීමා වෙන්න ඕන කියන තැන ඉඳලා තමයි 19 වැනි සංශෝධනය ගෙනාවේ. 19 වැනි සංශෝධනය තුළ ඉතා ප්‍රගතිශීලී ලක්ෂණ කිහිපයක් තිබෙනවා. උදාහරණ විදිහට නීතිපතිවරයා පසුගිය කාලයේ රටේ ප්‍රධාන සිදුවීම් කිහිපයකදී තම තීරණ ප්‍රකාශ කරපු විදිහ ගන්න පුළුවන්. එතකොට මැතිවරණ සමයේදී මැතිවරණ කොමිසම ක්‍රියා කරපු ආකාරය දිහා බැලුවාම අපිට කියන්න පුළුවන් 19 තුළ ප්‍රගතිශීලී ලක්ෂණ තිබෙනවා කියලා.
අපි දැක්කා 19 හරහා රට යම් හොඳ පැත්තකට ගමන් කරමින් තිබුණා. කවුරුහරි කියන්න පුළුවන් 19 ක්‍රියාත්මක වූයේත් පුද්ගලයන් ඉලක්ක කරගෙන කියලා. ජනාධිපතිවරණයට ඉල්ලන අපේක්ෂකයෙකුගේ වයස් සීමාව 30ට තිබුණු එක 19 ව්‍යවස්ථාවෙන් 35 කළා. ද්විත්ව පුරවැසියන්ට ඡන්දෙ ඉල්ලන්න බැහැ කියලා 19 තියෙනවා. ඒවා පුද්ගලයෙක් ඉලක්ක කරගෙන නිර්මාණය වුණා කියලා කියන්න පුළුවන් කියමුකෝ. ඒක ඇත්ත. ඒ වෙලාවේ ඒ ආණ්ඩුවත් ඒ දේශපාලන බලය ඉලක්ක කරගෙන තමයි ඒක කරේ. හැබැයි ඒකෙන් රටට වුණේ හොඳක්. හැබැයි මේ ගේන 20වැනි සංශෝධනය තුළ ආයෙත් ගමන් කරන්නේ පරණ 18න් ඇති කරපු දර්ශනයට තමයි. දැන් වයස 35 සීමාව 30ට ගෙන්න මේ අවස්ථාවේදී අවශ්‍යතාවක් නැහැ. ඒ වගේම ද්විත්ව පුරවැසියන්ට ඡන්දේ ඉල්ලන්න පුළුවන් කියලා ගෙනාවේ ඇයි කියන එකත් ප්‍රශ්නයක්.
ඇත්තටම 20වැනි ව්‍යවස්ථාව තුළ භයානකකම තිබෙන්නේ ඔය කාරණා දෙකේ නෙවෙයි. ඔය කාරණා දෙක අපේ ජන සමාජය අල්ලාගෙන තිබෙන කාරණා දෙකක් විතරයි. මෙතැන භයානකකම තිබෙන්නේ ජනාධිපතිවරයාට ලැබෙන අසීමිත බලතලය තුළයි. ප්‍රජාතන්ත්‍රවාදය ඇතුළේ බලය දීලා තවත් තැනකින් බලය පාලනය කරන්න ඕනෙනේ. මෙතන එහෙම පාලනය කිරීමක් නැහැ. ජනාධිපති තමයි නීතිපති, පොලිස්පති, පාර්ලිමේන්තු මහලේකම්, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු, අභියාචනාධිකරණ විනිසුරු, ඔම්බුඩ්ස්මන්වරයා වැනි තනතුරු පත්කරන්නේ. 19 තිබුණු අධිකරණයේ ස්වාධීනත්වය නිසා තමයි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාව නඩුවේදී සාධාරණයක් වුණේ. ඒ වෙලාවේදී ආණ්ඩුවට බලපෑමක් එල්ල කිරීමට නොහැකි තත්ත්වයක්නේ තිබුණේ. බලපෑම එල්ල කරන්න පුළුවන් වන්නේ පත්කිරීම් මතනේ. 17 සහ 19න් කළේ පත්කිරීම් සම්බන්ධයෙන් තිබුණු බලය සංශෝධනය කිරීමනේ. මම දකින්නේ 20 සංශෝධනයෙන් කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය හකුළුවා දැමීමක් කියලා.
එහෙනම් අපි මොකක්ද කළ යුත්තේ?. 19වැනි සංශෝධනයේ අඩුපාඩු තිබෙනවානේ. උදාහරණයක් විදිහට ඇතැම් කොමිෂන් සභාවල ක්‍රියාකාරීත්වය ප්‍රබලව දකින්න ලැබෙන්නේ නැහැ. පහුගිය අවුරුදු පහටම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම සක්‍රිය වුණේ නැහැනේ. ඇත්තටම ලංකාවේ අල්ලස් තිබෙනවානේ. ඒ කොමිසම් සභා එයාලාගේ වගකීම් ඉටු කරලා නැහැ. අපි කළ යුත්තේ 19 තිබෙන අඩුපාඩු ටික හදන එක මිසක් එතනින් ආපස්සට නැවත එන එක නොවෙයි. මොකද මේ හැම සංශෝධනයකම තියෙන්නේ පුද්ගලයෙක් හෝ පවුලක් හෝ මුල් කරගෙන ගොඩනැගෙන ඉලක්ක. රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ජනතාව ඉලක්ක කරගෙන වෙනස් කරනවා මිසක් තම තමන්ගේ උවමනාවන් මත වෙනස් කරගන්න එක එතරම් හොඳ දෙයක් නොවෙයි. ඒ වගේම 18වැනි සංශෝධනය ගෙනාවට පස්සේ රාජපක්ෂවරු පැරදුණා. 20වැනි සංශෝධනයත් එක්ක සමහරවිට පවුලේ දේශපාලනය ලංකාවෙන් අතුගෑවිලා යන්නත් පුළුවන්. මොකද ලංකාවේ මොනවා නැතත් මිනිස්සු ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරනවා. හිටපු ජනාධිපතිවරයා හදිසියේම අගමැතිවරයා වෙනස් කරපු අවස්ථාවේදී ලංකාවේ ජන සමාජය ඒක පිළිගත්තේ නැහැ. යටත් විජිතවලින් පළමු වරට සර්වජන ඡන්ද බලය හිමිවුණු රට ලංකාවනේ. එතකොට දශක අටක් තිස්සේ පැමිණි දියුණු ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ අපේ මිනිස්සු අතරේ තවම තිබෙනවා. ඒවා හැංගිලා තියෙන්නේ. ඒ බලවේග මේවා හරහා නැවතත් උඩට එනවා. අපි දන්නවා අසීමිත බලයක් ලැබුණාම ඊට පස්සේ වෙන්නේ අසීමිත දූෂණය කියලා. ඒක අපිට දැනටමත් පේන්න තිබෙනවා. 20වැනි සංශෝධනයට පෙර මෙහෙම නම් 20 ක්‍රියාත්මක වෙද්දී තව කෙතරම් දේවල් වේවිද?. 19 සංශෝධනයේ වෙනස් විය යුතු තැන් තිබෙනවා. උදාහරණයක් විදිහට අවුරුදු හතරයි මාස හයක් වෙනකල් පාර්ලිමේන්තුව විසුරුවන්න බැහැ කියන එක සංශෝධනය විය යුතුයි. ඒ වගේ දේවල්වලට පිළිතුරක් සොයාගත යුතුයි. නමුත් 20වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් සිදුවන්නේ බල කේන්ද්‍ර වෙලා රට ආපස්සට ගමන් කිරීමක් කියලා තමයි මම දකින්නේ.
විගණකාධිපතිවරයාගේ විගණනයෙන් ඉවත් වෙනවා, පාර්ලිමේන්තුවේ මූල්‍ය පාලන බලය අඩු වෙනවා - විගණන අධිකාරී ප්‍රසාද් ප්‍රසන්න
20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන කතා කරද්දී රාජ්‍ය මූල්‍ය පාලනය සම්බන්ධයෙන් සිදුකර ඇති වෙනස්කම් පිළිබඳව විශේෂයෙන්ම කතා කළ යුතු වෙනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153, 154 ව්‍යවස්ථා තමයි විගණනයට අදාළ වෙලා තිබෙන්නේ. විගණකාධිපතිවරයා පත්කිරීම හා ඉවත් කිරීම ඇතුළු විගණකාධිපතිවරයාගේ ස්වාධීනත්වය සම්බන්ධ කාරණා වගේම විගණකාධිපතිවරයාගේ කාර්ය සම්බන්ධ නීති ඒ තුළ ඇතුළත් වෙනවා. විගණකාධිපතිවරයාගේ ස්වාධීනත්වය වර්ධනය කිරීම වෙනුවෙන් 19වැනි සංශෝධනය සමග විගණන කොමිසමක් ඇති වෙනවා. නමුත් 20වැනි සංශෝධනය මගින් මෙය ඉවත් කිරීමේදී මෙම මූලික කරුණු සියල්ල ඉවත් වී යනවා. ඒ වගේම විගණන කොමිසම සමග විගණන පනතත් සම්බන්ධ වෙනවා. විගණන පනතේ තිබෙන විධිවිධාන ක්‍රියාත්මක කිරීම සම්බන්ධ වෙන්නේ විගණන කොමිසම සමගයි. එම කොමිසම අහෝසි වීමත් සමග විගණන පනතේ විධිවිධාන ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙනුත් ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙනවා.
විගණකාධිපතිවරයාගේ ස්වාධීනත්වයට අමතරව මෙයින් සිදුවන බරපතළම කාර්ය වන්නේ රාජ්‍ය මූල්‍ය පාලනය සම්බන්ධයෙන් මේ දක්වා තිබුණු ප්‍රතිපාදන වෙනස් කිරීමක් සිදුවෙනවා. රාජ්‍ය මූල්‍ය පාලනය සම්බන්ධ බලතල පාර්ලිමේන්තුවට තිබෙනවා කියලා අණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 ව්‍යවස්ථාවෙන් කියැවෙනවා . 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුමත කරන අවස්ථාව වනවිට අමාත්‍යාංශ දෙපාර්තමේන්තු සහ සංස්ථා කියන ආයතන පමණයි රටේ තිබුණේ. නමුත් 80 දශකය වනවිට රටේ මූල්‍ය කටයුතු බහුතරයක් රාජ්‍ය සමාගම් යටතේ ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තා. මේ වනවිට රාජ්‍ය සමාගම් 150 වැඩි ප්‍රමාණයක් තිබෙනවා. උදාහරණයක් ලෙස ශ්‍රී ලංකන් ආයතනය, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ටෙලිකොම් ආයතනය, මොබිටෙල් ආයතනය, විදුලිබල මණ්ඩලයේ තුළ තිබෙන කොම්පැනි 20ක් පමණ තිබෙනවා. මෙම ආයතන හරහා රජයේ කටයුතු බොහොමයක් සිදුවෙනවා. 19වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් මෙම ආයතන විගණනයට යටත් කළා. නමුත් 20වැනි සංශෝධනයෙන් නැවත වතාවක් මේ කොම්පැනි විගණනය ඉවත් වන ආකාරයට ප්‍රතිපාදන ඇතුළත් කර තිබෙනවා. ඒ අනුව රාජ්‍ය සමාගම් 150කට වැඩි ප්‍රමාණයක් විගණකාධිපතිවරයාට විගණනය කරන්න බැරි වෙනවා. ඒ වගේම මෙම සමාගම්වල කටයුතු ගැන පාර්ලිමේන්තුව කැඳවලා පරීක්ෂණ කරන්න පාර්ලිමේන්තුවට අවස්ථාව අහිමි වෙනවා. 20 මේ විදිහටම සම්මත වුණොත් මේ කියන ආයතන කැඳවන්න කෝප් කමිටුවට අවස්ථාව අහිමි වෙනවා. ස්ථාවර නියෝග අනුව කෝප් කමිටුව කටයුතු කරන්නේ විගණකාධිපතිවරයා ඉදිරිපත් කරන වාර්තා මත පරීක්ෂණ සිදුකිරීමයි. මෙම සමාගම් විගණනය විගණකාධිපතිවරයාගෙන් ඉවත් වීමත් සමගම මෙම සමාගම්වල ගනුදෙනු ගැන පාර්ලිමේන්තුවට වාර්තා වන ක්‍රමයක් නැහැ. එයත් සමග මෙම සමාගම් ගැන පරීක්ෂා කරන්න පාර්ලිමේන්තුවට අවස්ථාවක් නැති වෙනවා. විශේෂයෙන්ම මෙම සමාගම් බොහොමයක් අතිවිශාල වශයෙන් ගනුදෙනු කරන සමාගම්, අතිවිශාල වශයෙන් ණය ගන්නවා, ජාත්‍යන්තර මිලදී ගැනීම් සිදුකරනවා, ඒ කාරණයත් සමග පාර්ලිමේන්තුවට තිබෙන මූල්‍ය පාලන බලය අඩු වෙනවා. 2015දී ඉදිරිපත් කළ 19වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කලින් මෙම සමාගම් විගණනය කළේ වරලත් ගණකාධිකාරී සමාගම්. මෙම සමාගම් විසින් ගත් අවිධිමත් කළමනාකරණ තීන්දු ගැන මේ වාර්තාවල කිසිම අවස්ථාවක සාකච්ඡා වෙලා තිබුණේ නැහැ. විගණනය කරන්නේ කොහොමද කියලා තීරණය කළෙත් එම සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩලය විසින්මයි. මේවා වෙනස් කිරීමටයි 19වැනි සංශෝධනය ගෙන ආවේ.