19න් 20ට යන සංශෝධනය


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක්‘ පිළිබඳ යළිත් කතාබහට ලක්වෙමින් තිබේ. ආණ්ඩුව මගින්ද මේ වනවිට ඒ සඳහා සූදානම් වන අතර, ව්‍යවස්ථා සංශෝධනය වෙනුවෙන් කැබිනට් අනුකමිටුවක්ද පත්කර තිබේ. වර්තමානයේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ වනවිට 19 වතාවක් සංශෝධනය කර ඇති අතර, තවත් වතාවක් එය සංශෝධනය කිරීමට වත්මන් ආණ්ඩුව සූදානම් වේ. මේ අතර 19 වැනි සංශෝධනය ඉවත් කළයුතු බවටත් පසුගිය කාලයේදී මැතිවරණ වේදිකාව තුළ දැඩි කතාබහක් ඇතිවිය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සිදුකළ සංශෝධනයක් එලෙස ඉවත් කළ හැකිද යන්න මෙම ලිපිය තුළින් සාකච්ඡා කෙරේ. කෙසේ වෙතත් 19 වැනි සංශෝධනය ඉවත් කිරීම කළයුතු යැයි පැවති කතාබහ මේ වනවිට තරමක් වෙනස් වී ඇති අතර, 20 වැනි සංශෝධනයක් ගෙන ආ යුතු බවටත්, නව ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවක් ගෙන ආ යුතු බවටත් කතාබහක් ඇතිවී තිබේ.


1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 

දෙවැනි ජනරජ ව්‍යවස්ථාව ලෙස හඳුන්වන ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිවරයා හඳුන්වා දුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ දක්වා මෙරට ක්‍රියාත්මක වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වේ. එම ව්‍යවස්ථාවේ සඳහන් යම් යම් කරුණු වරින් වර  වෙනස් කිරීම්වලට ලක් කළ අතර, ඒවා ව්‍යවස්ථා සංශෝධන ලෙස හඳුන්වයි. ඒ අනුව 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මේ වනවිට සංශෝධන 19ක් සිදුකර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකරන විට කිසිදු අවස්ථාවක ඊට පෙර සිදුකර තිබෙන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ඉවත් නොකරන අතර, අදාළ වෙනස්කම් පමණක් සිදුකරයි. එබැවින් 19 සංශෝධනය අහෝසි කරනවා යනුවෙන් සිදුවන කතාබහ අර්ථ රහිතය. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනය මගින් ගෙන ආ සංශෝධන සිදුකළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් දැන් තිබෙන අතර, එහි සංශෝධන සිදුකරනවා නම් තවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ආ යුතුය. 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලෙසින් සංශෝධනයක් ඉදිරිපත් කිරීමෙන් එය සිදුකළ හැකිය.

19 වැනි සංශෝධනය

2015දී බලයට පැමිණි යහපාලන ආණ්ඩුව 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හඳුන්වා දුන්නේ විධායකයේ අනිසි බලතල අඩුකිරීමක් වශයෙනි. විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා යන්න මැතිවරණ වේදීකාවේ දීර්ඝකාලීන පොරොන්දුවක් වුවද බලයට පැමිණි සියලු ආණ්ඩු එය සිදුනොකර මඟහැරියේය. සිරිසේන ජනාධිපතිවරයාද බලයට පත්වීමට පෙර සහ බලයට පත්වීමෙන් පසුව විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට පොරොන්දු වුවද එය සිදු නොකළේය. නමුත් 2015දී බලයට පත්වූ ආණ්ඩුව විධායකයේ තිබූ අනිසි බලතල ඉවත් කිරීමට 19 වැනි ව්‍යවස්ථා සංශෝධය හඳුන්වා දුනි.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රධාන මෙන්ම වැදගත් කරුණු රැසක් අන්තර්ගත වූ අතර, ඒවා මෙසේය,

තොරතුරු අයිතිය මූලික අයිතියක් වීම - තොරතුරු වෙත ප්‍රවේශ වීමේ අයිතියිවාසිකම හෙවත් තොරතුරු දැනගැනීමේ අයිතිය රටේ නීතියක් බවට පත්කිරීමට දශක ගණනාවක සිට කතාබහක් ඇති වුවද එය සිදුනොවුණි. මේ හරහා තොරතුරු දැනගැනීමේ අයිතිය මූලික අයිතියක් බවට පත්වූ (ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(අ) ව්‍යවස්ථාව) අතර, ඒ හරහා තොරතුරු දැනගැනීමේ පනතක් ස්ථාපිත විය.
ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 05ක් දක්වා සීමා වීම - මීට පෙර ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර 06කි.
ජනාධිපති ධුරය දැරිය හැකි වාර ගණන අවස්ථා 02ක් දක්වා සීමා කිරිම -18 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා ජනාධිපති ධුරය දැරීමේ කාලසීමාව අහෝසි කළ අතර, ඕනෑම වාර ගණනක් ධුරය දැරිය හැකි තත්ත්වයක් ඇති වී තිබුණි. මේ හරහා එය අවස්ථා 02කට සීමා කළේය. 

ජනාධිපතිවරයා මිය ගියහොත් හෝ ඉවත් වුවහොත් වැඩබලන ජනාධිපතිවරයෙක් වෙනුවෙන් ප්‍රතිපාදන ඇතිකිරීම සහ පැවති ප්‍රතිපාදන වෙනස් කිරීම.
ජනාධිපතිවරයාට අතිරේක රාජකාරී පැවරීම - ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිවයුතු බව සහ මාස 03කට වරක් හෝ පාර්ලිමේන්තුවට පැමිණිය යුතු බවට නීති සකස් විය.
ජනාධිපතිවරයාගේ මුක්තිය සීමා කිරීම - ජනාධිපතිවරයාට එරෙහිව නඩු පැවරීමේ හැකියාවක් නොතිබූ අතර, මේ හරහා ජනාධිපතිවරයාට මූලික අයිතිවාසිකම් නඩු පැවරීමට හැකියාව ඇති කළේය. මේ හේතුව නිසාම දින 52 ආණ්ඩුව අවස්ථාවේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩු පැවරීමක් සිදුකළේය. එලෙස ජනාධිපතිවරයාට එරෙහිව නඩු පැවරීමට අවස්ථාව හිමි වූයේ මෙම සංශෝධනය හරහාය.

ධුරයේ සිටින ජනාධිපති නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් ධුර කාලයෙන් වසර 04ක් ගතවූ පසුව සිදුකළ යුතු බවත්, ඊට පෙර මැතිවරණයක් පැවැත්විය නොහැකි බවටත් වගන්ති ඇතුළත් වීම.
18 වැනි සංශෝධනය හරහා අහෝසි කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නැවත ස්ථාපිත කිරීම-කොමිෂන් සභා නිලධාරීන් සහ උසස් රාජ්‍ය නිලධාරීන් පත්කිරීමේදී අදාළ නම් අනුමත කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හරහා සිදුකරයි. මෙහි නිර්දේශ පැහැර හැරීමට ජනාධිපතිවරයාට බලයක් නොමැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කළ යම් නමක් ජනාධිපතිවරයා විසින් දින 14ක් තුළ පත්කිරීමක් නොකරන්නේ නම් 15 වැනි දිනයේ සිට අදාළ පත්කිරීම බලාත්මක වන බවට නීති සම්පාදනය කිරීම.
අමාත්‍ය මණ්ඩලයට පත්කිරීමේදී අග්‍රාමාත්‍යවරයාගෙන් විමසා පත්කිරීම -
 ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි කැබිනට් මණ්ඩලය පත්කිරීමට මීට පෙර හැකියාව තිබූ අතර, මෙම සංශෝධනයෙන් පසු කැබිනට් මණඩලයට අමාත්‍යවරුන් පත්කිරීමේදී අග්‍රාමත්‍යවරයාගෙන් විමසා එය සිදුකළ යුතු බවට වගන්ති සංශෝධනය විය. එය අග්‍රාමාත්‍යවරයාගේ බලය වැඩි කිරීමකි.
අමාත්‍ය ධුර දැරීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පමණක් සීමා කිරීම - 
මේ හරහා ජනාධිපතිවරයාට අමාත්‍ය ධුර දැරීමට ඇති අවස්ථාව අහිමි විය.

ද්විත්ව පුරවැසිභාවය 

ජනාධිපති ධුරයට හෝ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට පත්වන්නන් ශ්‍රී ලාංකික පුරවැසියන් විය යුතු බවට නීති ඇතුළත් වීම. වෙනත් රටක පළමු පුරවැසිකම හිමිව ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය දෙවැනියට හිමි ද්විත්ව පුරවැසියන්ට විධායකයේ හෝ ව්‍යවස්ථාදායකයේ තනතුරු දැරිය නොහැකි බවට මේ හරහා නීති සංශෝධනය විය. පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරූ ගීතා කුමරසිංහ මහත්මියට මන්ත්‍රී ධුරය අහිමි වූයේ ඇයට ද්විත්වපුරවැසිභාවයක් තිබූ බැවිනි. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේදී ඇමරිකන් පුරවැසිභාවය අත්හල බව ප්‍රකාශ කළේද මෙම නීතිය හේතුවෙනි.
පාර්ලිමේන්තු කාලසීමාව වසර 05කට සීමා වීම - 
මීට පෙර පාර්ලිමේන්තුවේ කාල සීමාව වසර 06ක් විය.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නීති වෙනස් වීම -  
ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකි වන්නේ වසර 4 ½න් පසුව බවට නීති ඇතුළත් විය. ඊට ප්‍රථම විසුරුවා හරින්නේ නම් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙන් තුනෙන් දෙකක බහුතර කැමැත්ත ගතයුතු බවටද නීති ඇතුළත් විය. මීට පෙර ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි පාර්ලිමේන්තුව වසරක් ගතවූ පසුව ඕනෑම අවස්ථාවක විසුරුවා හැරීමේ හැකියාව තිබුණි.

හදිසි පනත් ගෙන ඒමේ ප්‍රතිපාදන ඉවත් කිරීම- 

පාර්ලිමේන්තුවට පනතක් ඉදිරිපත් කරනවා නම් එය දින 14කට පෙර ගැසට් පත්‍රයේ පළ කළ යුතුය යන නීතිය හඳුන්වා දුන් අතර, ඒ හරහා හදිසි පනත් ගෙන ඒමේ අවස්ථාව අහිමි කළේය. හත්වෙනි පාර්ලිමේන්තුව ක්‍රියාත්මක වූ  2010- 2015 කාලසීමාව තුළ හදිසි පනත් 07ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී තිබුණි.

අලුතින් කොමිෂන් සභා හඳුන්වාදීම -  ස්ථාපිතකර තිබූ ස්වාධීන කොමිෂන් සභාවලට අමතරව විගණන කොමිෂන් සභාව සහ ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව හඳුන්වාදීම සිදුකළේය.
අන්තර්කාලීන විධිවිධාන - ධුරයේ සිටින ජනාධිපතිවරයාට (එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන) අන්තර්කාලීන විධිවිධාන ඇතුළත් කළ අතර, ඒ හරහා  පරිසර හා මහවැලි අමාත්‍යාංශ, ආරක්ෂක අමත්‍යාංශයක් දැරීමට අවස්ථාව ලැබුණි. අමාත්‍යාංශ පිළිබඳ නීති ඇතුළත් වුවද අමාත්‍ය විෂයන් සම්බන්ධයෙන් නීතියේ වෙනසක් වී නොමැත.

අමාත්‍යවරුන් සංඛ්‍යාව 30කට සීමා වීම - කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් සංඛ්‍යාව 30කට සීමා වූ අතර, කැබිනට් නොවන අමාත්‍යවරුන් (රාජ්‍ය සහ නියෝජ්‍ය) ගණන 40කට සීමා විය. ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීමේ අවස්ථාවක මෙහිදී තිබූ අතර, එහිදී අමාත්‍ය ධුර සංඛ්‍යාව වැඩිකර ගැනීමටද අවස්ථාව ලබාදී තිබේ.

අග්‍රමාත්‍යවරයා ඉවත් කිරීම - ධුරය දරන අග්‍රමාත්‍යවරයා ඉල්ලා අස්වුවහොත්, පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වුවහොත් හෝ මිය ගියහොත් හැර අග්‍රමාත්‍යවරයා ඉවත් කිරීමට ජනාධිපතිවරයාට තිබූ බලය අහිමි විය. දින 52 ආණ්ඩුවෙන් පසුව යළිත් රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ධුර හිමිවූයේ මේ නිසාය.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ වැදගත් කරුණු ඒවා වන අතර, මෙම සංශෝධනයේද අඩුපාද නැතිවා නොවේ. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ගැටලුකාරී තැන් තිබේද යන්න සම්බන්ධයෙන් සහ සැබැවින්ම සංශෝධනය විය යුත්තේ මොනවාද යන්න නීතීඥ ජගත් ලියනාරච්චි මහතාගෙන් විමසූ අවස්ථාවේදී ඔහු පැවසුවේ මෙවැන්නකි.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ගැටලුකාරී තත්ත්වයන් කිහිපයක් දකිනවා. නමුත් ඒ දකින ගැටලු නෙවෙයි මේ දවස්වල කතා වෙන්නේ. ඒ වෙනුවට කාතා වෙන්නේ හුල්ගේ (මහාචාර්ය රත්නජීවන් හූල්) ප්‍රශ්නය. ඒක 19 වැනි සංශෝධනයේ ප්‍රශ්නයක් නෙවෙයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 19 වැනි සංශෝධනය හඳුන්වා දීමේ සමස්ත ක්‍රියාවලියේ අරමුණ වුණේ ප්‍රධාන රාජ්‍ය ආයතන නිර්දේශ පාලනය කිරීමයි. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරම්භ කළ අවස්ථාවේ සිට මේ කතාබහ ඇතිවුණා. ජනාධිපතිවරයාගේ අධික බලය සම්බන්ධයෙන් ඒ කාලයේ සිට විවිධ දෙනා කතාබහ කළා. ජී.එල් පීරීස් ඇමතිවරයා ඇතුළු පිරිස 1994දී එය වෙනස් කරන්න මුලපිරුවා. ව්‍යවස්ථා කටයුතු අමාත්‍යාංශය ලෙස ලංකාවේ ප්‍රථම වතාවට අමාත්‍ය ධුරයක් පිහිටුවූවා. ජී.එල් පිරිස් මහත්තයා එහි පළමු ඇමතිවරයා වුණා. එතුමා ඒ හරහා ලොකු කාර්යභාරයක් කළා. නිර්දේශපාලනයේ පළමු පියවර පටන් ගන්නේ එතැනින්. මේවා රාජ්‍ය නොවන සංවිධානවල ව්‍යාපෘති නෙවෙයි. වාසනාවට මේවාට අත තියපු ජී.එල් පීරිස් ඇමතිතුමා මෙවර ව්‍යවස්ථා සංශෝධන කැබිනට් අනු කමිටුවේ සභාපතිතුමා. එතුමාගේ දරුවෝ එතුමා මරයිද කියලා අපි බලන් ඉදිමු.
19 සංශෝධනය නිසා පොලිස්පතිතුමා ඉවත් කරගන්න බැරි වීම ගැනත් ලොකු කතාබහක් ඇතිවෙලා තියෙනවා. පොලිස්පති ඉවත්කරන්න බැරි නැහැ. ඉවත් කරන්න පුළුවන්. 2002 අංක 05 දරන නිලධරයන් ඉවත් කිරීමේ කාර්යපටිපාටි පනත අනුව එය කරන්න පුළුවන්. පොලිස්පතිවරයාට සහ නීතිපතිවරයාට මෙය අදාළයි. ඔවුන් ඉවත් කරනවා නම් ඔවුන් සම්බන්ධයෙන් විමර්ශනයක් තියලා ඉවත් කරන්න පුළුවන්. ඒවා 19 වැනි සංශෝධනයේ ප්‍රශ්න නෙවෙයි.

මැතිවරණ කොමිසමේ සාමාජිකයෝ 03ක් ඉන්නවා. ඝන පූරණයත් 03 යි. ඒක 19 වැනි සංශෝධනයෙන් කරපු වැරැද්දක් කියලා කියනවා. ඒ වැරැද්ද කළේ 19 වැනි සංශෝධනයෙන් නෙවෙයි, 18 වැනි සංශෝධනයෙන්. මැතිවරණ කොමිසම පිහිටුවේ 17 වැනි සංශෝධනයෙන්. ඒ අවස්ථාවේදී සඳහන් කර තිබුණා කොමසාරිස්වරු 05ක් සිටිය යුතුයි කියලා. 03ක් ඝන පූර්ණය කියලා. 18 වැනි සංශෝධනය කරනකොට ඒක හදිසියේ සිදුකළ නිසා සාමාජිකයන් 05දෙනා 03ක් බවට අඩු කළත් ඝන පූර්ණය වෙනස් කළේ නැහැ. ඒක 19 වැනි සංශෝධනයෙන් කරපු වැරැද්දක් නෙවෙයි. නමුත් 19 වැනි සංශෝධනයේ සම්පාදකවරුන් ඒ වැරැද්ද නිවැරදි කළේ නැහැ. නමුත් මැතිවරණ කොමිසම ඇති කරද්දී මැතිවරණ දෙපාර්තමේන්තුව තියෙනවාද නැද්ද කියලා හරියට කියලා නැහැ. මේ ගැන අවධාරණය කළයුතු වෙනවා. නමුත් මාධ්‍යයෙන් එළියට ආවේ වෙන ප්‍රශ්න ටිකක්. ඒ එළිය ආවේ කල්ලිවාදී දේශපාලනයේ ප්‍රශ්න. ඒවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පිළිතුරු නැහැ. බල ලෝබයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් උත්තර දෙන්න පුළුවන්ද? ඒ වගේම අපි 1978 සිට කතා කළේ රාජ්‍ය ආයතන නිර්දේශපාලනය කිරීම ගැන. ඊට වඩා හාත්පසින්ම වෙනස් සටන් පාඨයක් තමයි දැන් ඇතිවෙලා තියෙන්නේ.* 

සෞභාග්‍යයේ දැක්ම

වත්මන් ආණ්ඩුව බලය ලබාගැනීම සඳහා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය හෙවත් සෞභාග්‍යයේ දැක්ෙම් හිද ව්‍යවස්ථා සංශෝධනයක් සම්බන්ධයෙන් කරුණු සඳහන් කර තිබේ. ඒ මෙසේය,
ජනතාවට වගකියන ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක්
දේශපාලන පක්ෂවල සහ ඒවායේ නායකයන්ගේ උවමනා එපාකම් සහ පෞද්ගලික අභිලාසයන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව භාවිත කළ යුගය අවසන් කර අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිදුකර තිබෙන ව්‍යාකූලත්වය පිටුදකිමින් ජනතාවගේ පරමාධිපත්‍ය බලය ප්‍රමුඛත්වයේ තබා ක්‍රියාත්මක කරන නව ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක් අපි නොපමාව ඉදිරිපත් කරන්නෙමු.

- පිටුව 02

ජාතික සමගියට මග කියන ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක්
වත්මන් ව්‍යවස්ථාව පිළිබඳ සමාජයේ ඇත්තේ ප්‍රබල විවේචනයකි. එහි අඩුපාඩු දුරු කිරීමට ගෙනා 19 වන සංශෝධනයෙන් සිදුවූයේ ප්‍රශ්න නැති කිරීමට ගොස් නැති ප්‍රශ්න ඇති කිරීමකි. එබැවින් ලෝක බලවතුන්ගේ සහ ජ්‍යාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානවල අභිලාසයන් වෙනුවට ජනතාවගේ අභිලාසයන් මත නව ව්‍යවස්ථාවක් හඳුන්වාදීමට අප කටයුතු කරන්නෙමු. මහජනතාවගේ මෙන්ම විවිධ දේශපාලන සහ බහුජන සංවිධානවල යෝජනා ලබාගෙන නව ව්‍යවස්ථාව බිහිකිරීම සඳහා පාර්ලිමේන්තුවේ සියලුම පක්‍ෂ නියෝජනය කරන තේරීම් කාරක සභාවක් පත්කිරීමට කටයුතු යොදනු ලැබේ.
විධායක ජනාධිපති ක්‍රමය, මිශ්‍ර මැතිවරණ ක්‍රමය, පළාත් සභා ක්‍රමය, නීතියේ ආධිපත්‍ය සවිමත් කිරීම වැනි ක්‍ෂේත්‍ර සියල්ලම ව්‍යවස්ථා සම්පාදනයේදී අවධානය යොමු කෙරේ.
ඒකීය රාජ්‍යය, බුදු දහමට ලැබෙන ප්‍රමුඛස්ථානය, ආගමික නිදහස ඇතුළු මූලික මිනිස් අයිතිවාසිකම් එකී ව්‍යවස්ථාවේ අනුල්ලංඝනීය ලක්ෂණයන් වේ. ජනවාර්ගික සහ ආගමික කණ්ඩායම් අතර මතුවන අවිශ්වාසයන් දරුණු ගැටුම් දක්වා වර්ධනය වීම වැළැක්වීම සඳහා ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් පැවැත්වෙන සර්ව ආගමික උපදේශන සභාවක් පත්කරනු ලැබේ. එමෙන්ම දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් සර්ව ආගමික සභාවක් බිහිකර ආගමික කණ්ඩායම් අතර මතුවන ගැටලු සාකච්ඡාවෙන් සම්මුතියට එළඹීම හරහා විසඳා ගැනීමේ යාන්ත්‍රණයක් බිහිකරනු ලැබේ.

- පිටුව 09

එහි සඳහන් කරන ආකාරයටම දේශපාලන පක්ෂවල සහ ඒවායේ නායකයන්ගේ උවමනා එපාකම් සහ පෞද්ගලික අභිලාසයන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව භාවිත කළ යුගය අවසන් කරන්නේ නම් එය යහපත් ක්‍රියාවක් වන අතර, ඒ සඳහා සැමගේ සහය හිමිවනු ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිදුකර තිබෙන ව්‍යාකූලත්වය පිටුදකිමින් ජනතාවගේ පරමාධිපත්‍ය බලය ප්‍රමුඛත්වයේ තබා ක්‍රියාත්මක කරන නව ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක් ඉදිරිපත් කරන්නේ නම් එයට සහාය හිමිවනු ඇත. මෙහි සඳහන් ආකාරයටම කටයුතු සිදුවනවාදැයි ඉදිරි දින කිහිපය තුළ සියල්ලන්ටම දැකගත හැකි වනු ඇත.

කැබිනට් අනු කමිටුව

19 වන ව්‍යවස්ථා සංශෝධනය අවලංගු කිරීමටත්, 20 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතක් සකස් කිරීමටත් පසුගිය සතියේ පැවති කැබිනට් මණ්ඩලයේදී  අනුමැතිය හිමි විය.
 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත් කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට එහිදී කැබිනට් අනු කමිටුවක් පත් කළ අතර, ඒ සඳහා අමාත්‍යවරුන් 05දෙනෙකු නම්කර තිබේ.
අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්, විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි, බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල හා කම්කරු අමාත්‍ය නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා යන මහත්වරුන්ගෙන් එම අනුකමිටුව සමන්විතය.
එසේවුවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සිදුවන ආකාරය සම්බන්ධයෙන් මෙතෙක් ආණ්ඩුවෙන් කිසිවකු පැහැදිලි කිරීමක් සිදුකර නොමැත. රටක් පවත්වාගෙන යාමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති බාධා ඉවත් කරන ව්‍යවස්ථා සංශෝධනයක් සිදුවන්නේ නම් එය ඉතා යහපත් වනු ඇත. 



Recommended Articles