අවසානයේදී රිෂාඩ් බදියුදීන් අල්ලාගැනීමට පොලීසියට හැකි විය. රාජිත සේනාරත්න, රවි කරුණානායක හෝ අර්ජුන් මහේන්ද්‍රන් අල්ලා ගන්නට බැරි වූවාට රිෂාඩ් බදියුදීන් අල්ලාගැනීමට පොලීසියට හැකි විය. එහෙත් රිෂාඩ් අල්ලා ගත්තේ පාස්කු ප්‍රහාරයක් ගැන හෝ විල්පත්තුවේ කැළෑ කැපීමක් නිසා නොවේ. 2019 ජනාධිපතිවරණයේ දී අවතැන් වූ පිරිස් රජයේ මුදල් අවභාවිත කර ඡන්දය දැමීමට ගෙන යෑමේ චෝදනාවටය. ලක්ෂ අනූවක් වූ මේ මුදල දින හයකට පසුව ගෙවා ඇති බවද කියැවෙයි. ඒ නිසා වරදවා වටහා නොගෙන රිෂාඩ් කළ වැරැද්ද මතකයේ තබාගත යුතුය. මේ අවස්ථාවේ දී රිෂාඩ් අල්ලා ගන්නේ විල්පත්තුව කැපීම නිසා හෝ පාස්කු ප්‍රහාරයේ කොණක් තියෙන නිසා යැයි සිතාගෙන එවැනි වරදක් කර නැති රිෂාඩ්ට ප්‍රහාර එල්ල කිරීම අසාධාරණය, අශිෂ්ටය. තවත් වචන කීයක් කියන්නට වේදැයි නොදන්නේ 23 වැනිදාට 2/3 ගැනීමට රිෂාඩ්ගේ ගෝලයන් ඡන්දය දෙනවාද නැද්ද යන්න තවමත් නොදන්නා නිසාය. ඔවුන් ඡන්දය දුන්නොත් රිෂාඩ් දේශමාමකයෙකු වීම නතර කළ නොහැක.
මේ රට සංවර්ධනය කරන්නට බැරි එකම ප්රශ්නය ව්‍යවස්ථාව බව මේ කාලයේ කතාවයි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනැවිත් රට පාලනය කරන්නේ පක්ෂ දෙකක දෙදෙනෙකු වීම නිසා රට වළපල්ලට වැටුණු බව කියන කතාවයි. ඇත්තම කිව්වොත් එදා හිටියේ පක්ෂ දෙකක දෙදෙනෙකු නොවේ. එදා හිටියේ %සර් කැමති විදියට කරන්න මම පොළොන්නරුවට වෙලා ඉන්නම්... අත්සන් ටික ගහන්න ඕනි ඒවා එවන්න^ යැයි කියපු කෙනෙකු සහ තමන් තමන්ගේ පක්ෂය මෙන් රටම අල්ලේ නටවනවා කියා හිතා කටයුතු කළ අයෙකි. එහෙත් අන්තිමට පොළොන්නරුවේ ඉන්න හිතාගෙන හිටි මිනිහා නවතින්නේ කොළඹ හතෙන් ගෙවල් දෙකක් හයිබ්‍රිඩ් කරගෙන මන්දිරයක් හදාගෙනය. අනෙක් මිනිහා තමන්ට වුණේ මොකක්ද කියා හිතන්න ගොස් ඉතිරි වුණ ආසනයට යවන්නේ කවුදැයි කියාවත් හිතාගත නොහැකිව අන්දමන්ද වී සිටියි. 19 වැනි සංශෝධනය ඒ තරම් බලවත්ය.
පහුගිය මහ ඡන්දය කාලයට කලින් මේ ජනාධිපතිවරයා බලයට එන්නේ 19 වැනි සංශෝධනය තබාගෙනය. ඇමතිවරු 30ක් නොව 15කින් රට දුවන්නේ 19 තබාගෙනය. කෝවිඩ් ආවා කියා දැවැන්ත මෙහෙයුමක් දියත්වන්නේත් කෝවිඩ් පරාද කළා කියා පැසසුම් ලබන්නේත් 19 තිබියදීය. ආරක්ෂක ඇමති කෙනෙකු නැතිව රාජ්‍ය ඇමතිවරයෙකු පමණක් සිටියදීත් මේ රටේ ආරක්ෂාව තිබෙන්නේ උපරිමයටය. විදේශීය කුමන්ත්රණවලට, එල්.ටී.ටී.ඊ ත්රස්තවාදයට හෝ ඉස්ලාම් අන්තවාදයට ඉඩක් නැත. කෝවිඩ් නැවත එන්නේ 19 නිසා යැයි දැන් කෙනෙකුට කියන්නට හැකිය. ඒ ගැන නම් දන්නේ නැත.
මහ ඡන්දය කාලයේ පොහොට්ටුවේ සියලු දෙනා එකාවන්ව හඬ නැගුවේ වෙනත් පක්ෂයකින් අගමැති කෙනෙක් පත් වුවහොත් 19 නිසා මාර හානියක් වෙනවාය කියමිනි. “අපේ ජනාධිපතිතුමා ඉවරයි* කියමිනි. “සජිත් අගමැති වුණොත් සුනේ සුං නිසා මහින්ද මහත්තයා දිනවන්න* යැයි කෑ මොර දුන්හ. මහින්ද මහත්තයා අගමැති වී මල්ලී ජනාධිපති වූ පසු 19 සාපයක් නොව වාසනාවක් වන්නේ යැයි කියූහ. අයියාට සහ මල්ලීට හිතේ හැටියට රට පාලනය කරන්නට හැකි යැයි කියූහ. ඒ වගේම මේ ව්‍යවස්ථාව ඇති තරම් සංශෝධනය කරලා නිසා දැන් තවත් වැඩක් නැති හින්දා අලුත් එකක් ගෙනෙනවා කියා ද කියූ බව අපට අමතක නැත. එහෙත් අරලියගහ මන්දිරයේ දී 20 ගැන කතා වෙන වෙලාවේ ජී.එල්. පීරිස් කියූ ආකාරයට ජනතාව මේ වගේ වරමක් දුන්නේ 20ක් ගෙනත් ඊට පස්සේ අලුත් ව්‍යවස්ථාවක් ගෙන එන්නට යැයි කීම නම් පට්ටපල් බොරුය. එදා ඒක කියද්දී සමහර ඇමතිවරු මන්ත්‍රීවරු ඇස් උඩ ඉන්දාගෙන බැලූ බව එතැන සිටි මන්ත්‍රීවරුන්ගේ අදහසයි.
පසුගිය නොවැම්බරයේ සිට මේ රට පාලනය කරන්නේ 19 වැනි ව්‍යවස්ථාව අනුවය. ජනාධිපතිවරයා %මගේ කට වචනය චක්‍රලේඛ ලෙස සලකනු^ කියා කියන්නේද 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුවය. මෙතැනින් එහා අමාරුවක් තිබේද? මහින්ද මහත්තයා අගමැති වන්නේද, චමල්, නාමල්, ශෂීන්ද්‍ර ඇමතිවරු, රාජ්‍ය ඇමතිවරු වන්නේද 19 වැනි සංශෝධනය තිබියදීය. වෙන එකක් තබා නිපුණ රණවකට දිස්ත්‍රික් කමිටු සභාපති ධුරයක් දෙන්නේද මේ 19 තිබියදීමය. එසේ තිබියදීත් ජනාධිපතිවරයා තමන්ට යළි බලය පවරාදෙන්න යැයි 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනෙන්නේ ඇයිදැයි මේ වනවිට ඇති වී තිබෙන ප්රශ්නයයි. මේ කරන්නේ අනාගතයේ ඇති විය හැකි තත්ත්වයක් පාලනය කිරීම යැයි හෙට සහ අනිද්දා පාර්ලිමේන්තුවේ දී කතා වෙනවා ඇසුණහොත් කලබල නොවන්න. වර්තමාන අග්‍රාමාත්‍යවරයා වෙනුවට වෙනත් කෙනෙකු ඇවිත් පිස්සු නැටුවොත් රටම ඉවර යැයි ඒ අනුව කියවෙනු ඇත. එතැනින් නතර නොවී විජය රජ්ජුරුවන්ගේ පටන් මේ රට ගොඩගත්තේ ද්විත්ව පුරවැසියන්ම යැයිද කියනු ඇත. ඒවා අසා සිටිනු හැරෙන්නට වෙනත් දෙයක් නැත. කැමති නම් දකුණු සුඩානයේ හෝ පුරවැසිකම ගෙන ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසියෙකු වෙනු හැර විකල්පයක් නැත.
ජනාධිපතිවරයාගේ දෙවැනි පදවිප්‍රාප්තිය සිදුවන දිනයේදී නව ව්‍යවස්ථාවක් ගෙන එන බව දැන් කියන කතාවයි. ඒකට තව ඇත්තේ මාස 13ක කාලයකි. සංශෝධනයක් ගෙන එන්නට මාස 03ක් දැඟලූ ආණ්ඩුවක් මාස 13කින් අලුත් ව්‍යවස්ථාවක් හදයිද? ඇත්ත කතාව නම් ප්රශ්නය ඇත්තේ ව්‍යවස්ථාවේ නොවේ. හරියට වැඩක් නොකිරීමෙනි. ජනාධිපතිවරයා සිතන්නේ තමන් බලය ලබාගත් පසු ඔහුගේ විධානය මේ සිටින ඇමතිවරුන්ගේ සිට සියලු නිලධාරීන් පිළිපදිනු ඇතැයි කියාය. එහෙම වුණොත් හොඳය. එහෙත් අපට පැහැදිලි දෙය නම් අලුත් ව්‍යවස්ථාවක් යනු 20 සම්මත කරගැනීමෙන් පසුව පත්තරවලට පිටු පුරවන්නටත්, ටීවී චැනල්වල ප්රවෘත්තිවල කාලය වසා ගන්නටත් වසර දෙක තුනක් ඇදගෙන යා හැකි හොඳ මාතෘකාවක් බවය. එය එසේ නොවන්නේ නම් 20 අස්සට ඔක්කොම දාගෙන සම්මත කරන්නට යන්නේ නැත. අලුත් ව්‍යවස්ථාවක් මග එනවා නම් විස්සට අවශ්‍ය වන්නේ ජනාධිපතිවරයාට ආරක්ෂක ඇමති ධුරය දැරිය හැකිය යන වගන්තිය විතරය. ඉතුරු ටික කරගන්න ජනාධිපතිවරයා දනී. අනෙක කවුරුවත් අකැමැති වන්නේද නැත. අප නම් කැමතිය. අනෙක් අය ගැන දන්නේ නැත.
ජනාධිපතිවරයාගේ ධුර කාලය වන වසර 05න් දැන් මාස 11ක් ඉවරය. තවත් ඇත්තේ වසර 04කි. ජනාධිපතිවරයා 20 ගෙනැවිත් කියන්නේ වැඩ කරන්නට බලය දෙන්න කියාය. ඕක මහ ඡන්දය කාලයේ දී කිව්වේ මහින්දය. ඡන්ද ප්‍රතිඵලය ආවාට පසුව පත්තරවල හෙඩින් ගියේ මහින්ද මහත්තයා දිනුවා කියා නොවේ. ජනතාව ජනපතිට වැඩ කරන්නට බලය දෙයි කියමිනි. ජනතාව දුන්නාට මදි බවත්, ව්‍යවස්ථාවද ඒ බලය දිය යුතු බවත් දැන් කියයි. මේ රටේ ජනතාව වශයෙන් අප දැන් සිටින්නේ පැදුරේය. ආයෙත් වැටෙන්නට තැනක් නැත. 69 ලක්ෂයක් මේ ජනාධිපතිවරයාට ඡන්දය දී මේ ආණ්ඩුවටද ඡන්දය දෙන්නේ පැදුරෙන් උඩට එන්නටය. ඒ උත්සාහයේ දී ආයෙත් පැදුරට වැටුණත් කමක් නැත. දැන් හිත හදාගෙන අත උස්සන්න යැයි අපි අපේ මහජන නියෝජිතයන්ට කියමු. එසේ නොවුණහොත් 20ට ඡන්දය දුන්නා නම් මට මේ වගේ වැඩ නොකර ඉන්න වෙන්නේ නෑ කියා කියන්නට ඉඩ ලැබේ. මේ රටේ දේශපාලනඥයන්ගෙන් අප දශක ගණනාවක් දැක්කේ මට ඉඩ දුන්නෙ නෑ, ඕගොල්ලො කරපුව නිසා අපට කරන්න බෑ වගේ කතාය. ඒවා තවදුරටත් අසන්නට අවශ්‍ය නැත. ඔච්චර දුන්න එකේ මේකත් දීලා දාන්න යැයි අපි යෝජනා කරමු. මේකත් දීලා කොරන්න බැරි නම් කොරන්නට ආයෙත් ජේ.ආර්. ගෙන ආ යුතුය. එහෙම කියන්නේ වෙනත් දෙයක් නිසා නොවේ. 20න් කොරන්නේ ජේ.ආර්.ගේ ව්‍යවස්ථාවට ආයෙත් යාම යැයි ජී.එල්. කියන නිසාය. ජේ.ආර්.ගේ ව්‍යවස්ථාවෙන් ජී.ආර්. මොකද කරන්නේ කියා බලා ගන්නට ඔන්න ඔහේ අත ඉස්සිය යුතුය. ගැහැනියක පිරිමියෙකු කරන්නට පමණක් බැරි ජේ.ආර්.ගේ ව්‍යවස්ථාවෙන් ජී.ආර්. පෙන්වන වැඩ අනුව අප පැදුරේ සිටිනවාද නැද්ද යන්න තීරණය වනු ඇත. අපි පැදුරටම වැටෙන බව පෙනුණොත් ජේ.ආර්.ගේ ව්‍යවස්ථාව වැඩක් නැති නිසා අපි ආයෙත් පැදුරට වැටුණා කියා ජී.ආර්.ගේ ව්‍යවස්ථාව ඉල්ලා අපට හඬ නගන්නට පුළුවන. ඒ කාලය තුළදී කෝවිඩ් ආවාද? දළ දේශීය නිෂ්පාදිතය කොපමණද? ඒකපුද්ගල ආදායම කීයද වගේ ගොන් ප්‍රශ්න අපට අමතක කරන්නට හැකිය. පොලීසිය රිෂාඩ් බදියුදීන් අල්ලාගෙන අපට තිබූ එක ප්‍රශ්නයක් විසඳා දුන් බව සැබවි. එහෙත් රටේ ජනතාව වශයෙන් අපට ඇත්තේ විස්සේ ප්රශ්නයයි. එය ඉක්මනින් අපට විසඳා දෙනු සේක්වා !
ය.ස.දොරටුපාල