මට බයක් නෑ මම අභියෝගවලට සූදානම් - හිිරුණිකා


ඇය දිනුවාය. අවුරුදු 26 ක් වූ යුවතියක් තනිව ප්‍රබලයන් හා සටන් වැද සියල්ලන් මවිත කළාය. ලොව ප්‍රථම අගමැතිනිය බිහි වූ රටෙන් තවත් ගැහැනියක් පුරෂාධිපත්‍යයට අභියෝගයක් වූවාය. මේ ඇගේ ‍හෙවත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවියගේ අවදි කළ ලිඛිත සටහනයි.

  • මිනිස්සු ඔබව දැනගත්තෙ කොහොමද?

මගේ තාත්තාගේ ඝාතනයට කලින් හිරිණිකා ප්‍රේමචන්ද්‍ර කියන කෙනා ජනතාව දැනගෙන හිටියෙ නැහැ. තාත්තගෙ මරණින් පස්සෙ ඔහු වෙනුවෙන් මම ගෙනගිය සටන නිසා හැමකෙනාම මාව දැනගත්තා.

  • එය කළේ දේශාපලන අරමුණකටද?

නෑ. මට ඒ වෙනකොට දේශපාලනයට ඒමේ අවශ්‍යතාවක් තිබුණෙ නැහැ. මට ඕන වුණේ මගේ තාත්තගෙ මරණයට සාධාරණයක් ඉටුවෙනවා දකින්නයි. ඒ වෙනුවෙන් මම සටන් කළේ. නමුත් එදා දියණියක් තමන්ගෙ තාත්තා වෙනුවෙන් සාධාරණය ඉල්ලලා අඬා වැටෙද්දි, ගෙවල්වල ඉන්න අම්මලා මගේ දුක වෙනුවෙන් කඳුළු හෙළුවා. තමන්ගේ දියණියකට වගේ මට ආදරේ කළා.

  • ඔබේ දේශපාලන අරමුණ වුණේ මොකක්ද?

මම අතේ ගෙනිච්චෙ සත්‍යය විතරයි. ඉල්ලුවේ සාධාරණත්වය විතරයි. ඒ සඳහා මට ශක්තිය දුන්නෙ මාධ්‍යයි. ඒ සියලු මාධ්‍යවේදීන්ට වගේම මාධ්‍ය ප්‍රධානීන්ටත් මම කෘතිවේදී වෙනවා. මේ ගෙවුණු අවුරුදු දෙකහමාර ආපස්සට හැරිලා බලද්දි මගේ අම්මා ඇතුළු ළඟම හිතවතුන් කිහිපදෙනෙක් එක්ක පටන්ගත්තු සටනක්.

  • ඔබ කොළඹින් වැඩිම මනාප ගත්තා?

ඔව්. මම අද ජයග්‍රහණය කළා. ලොකු විශ්වාසයක් තිබුණා ඒ ගැන. මගේ තේමාව වුණේ %ඇයයි ඔබේ හඬ^ කියන එක. මම කතා කළේ හැම වෙලාවකදිම යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙන්. %දුප්පත් අහිංසක ජනතාව වෙනුවෙන් හඬක් නගයි, ඔවුන්ගේ හඬ මම වෙයි^ කියන විශ්වාසයෙන් ඔවුන් මට මනාප දීලා මාව කොළඹ දිස්ත්‍රික්කයේ පළමු තැනට ගෙනාවා. ඔවුන් ඉන් රටට සත්‍යය, සාධාරණත්වය වෙනුවෙන් ජයග්‍රහණයට ඉඩක් තියෙනවා කියන පණිවුඩය දුන්නා. මේ ජයග්‍රහණය ගන්න, ජනතාවගේ ආදරය ගන්න මම ඉඳිකට්ටක දෙයක් ජනතාව අතර බෙදුවෙ නැහැ.

  • කොළොන්නාව ඔබට මනාපද?

ඔව්. කොළොන්නාවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයට දුන්න ඡන්දවලින් 85෴ක්ම මට හිමිවුණා. කොළොන්නාව කියන්නෙ මගේ ගම. ඔවුන් මගේ තාත්තට කොයිතරම් නම් ආදරේ කරනවද කියන සියලු දේ මම ලබාගත් මනාප තුළින් පේනවා.

  • ජනතා සේවයට ඔබ කැපවෙනවද?

අනිවාර්‘යෙන්ම. පළාත් සභාව තුළ මට ජනතාව වෙනුවෙන් කළ හැකි උපරිමය මම කරනවා. ඒකට මම ඡන්දය දුන්නද, නොදුන්නද කියන එකවත්, මොන පක්ෂයේද කියන එකවත් අදාළ වෙන්නෙ නෑ. මගේ වගකීම මම හඳුනනවා. ජනතාව වෙනුවෙන් සේවය කිරීම මගේ වගකීම බවත් මම දන්නවා. එය කළ හැකි බවත්, විශ්වාසයෙන් මම කියනවා. ඒ නිසා ඒකාන්තයෙන්ම මගේ වගකීම මම ඉටුකරනවා.

  • හැම වෙලාවකම තාත්තා මතුකර ගන්නෙ ඇයි?

මගේ ජීවිතේ වුණේ තාත්තා. ඔහු එදා වගේම අදටත් මට ශක්තියක් වෙනවා. ඒ වගේම හැම දවසකම තාත්තා මට ආශිර්වාද කරනවා කියන විශ්වාසය මා තුළ තියෙනවා. මම හැම දවසක්ම පටන්ගන්නෙත්, හැම වැඩක්ම ආරම්භ කරන්නෙත් තාත්තගෙ පින්තූරයට වැඳලා. මම හැමදාම ඔහුගෙන් ඉල්ලනවා මම කරන දේ හරි නම් එය සාර්ථක කර දෙන්නත්, වැරදි දෙයක් නම් කොහොමහරි එය වළක්වන්නත් කියලා. මම හිමින් හිමින් නිහඬව මේ ගමන ආවෙ තාත්තාගේ ආශිර්වාදයෙන්. උපේක්ෂාවෙන් පියවරෙන් පියවර ආව ගමනක් නිසයි මම අද සාර්ථක තරුණියක් වුණේ.

  • තරුණියක් විදියට දේශපාලනයේ ගොඩනැගිය යුතු දේ ඔබ දකිනවාද?

ජනාධිපතිතුමා කියන විදිහට මේ රටේ පාරවල් ගොඩනැගිලි හැදුවට විතරක් වැඩක් නෑ. රටට ආදරේ කරන තරුණ පිරිසක් ගොඩනගන එක ඊට වඩා වැදගත්. තරුණ පරපුරේ ආකල්ප වෙනස් කළ යුතුයි. තරුණ තරුණියන්ට මේ පවතින දේශපාලන ක්‍රමය පිළිබඳ පැහැදීමක් නෑ. රටට ආදරය කරන අය අඩු වෙනවා. දේශපාලන දැනුම ඇති කරමින් ඔවුන්ගේ ආකල්ප වෙනස් කළ යුතුයි.

  • කාන්තාවට දේශපාලනය අභියෝගයක්ද?

කාන්තාවට නොයෙකුත් අවවාද එල්ලකරන පිරිස් ඉන්නවා. ඔවුන්ට අම්මා, සහෝදරියන්, බිරිඳ, දියණිවරුන් පිළිබඳ ආකල්ප හැඟීම් නෑ. ඒක හරිම වේදනාකාරියි. නමුත් පිළිගත යුතුයි. මාධ්‍ය, නීතිය, වෛද්‍ය, දේශපාලනය කොයි අංශයේ වුණත් කාන්තාවත් ඉදිරියට එද්දි අභියෝග වැඩියි. අපේ රටේ කාන්තාවක් දේශාපලනයට එද්දි මුලින්ම පහරදෙන්නෙ ඇගේ චරිතයට. කාන්තාවට පහරදිය හැකි ලේසිම ක්‍රමය ඒක. පිරිමියෙකුට ඒක ඒ තරම් දෙයක් නොවෙයි. ඔය කියන හැමකෙනෙක්ම අම්මා කෙනෙකුගෙ කුසේ මාස ගාණක් හිටියා. ඔබ කාන්තාවකට ඇඟිල්ල දිගුකරන හැම මොහොතක් පාසාම එය ඔබේ මවටත්, බිරිඳටත්, දියණියටත්, සහෝදරියටත් කියන හැමකෙනාටම දිගුකරන ඇඟිල්ලක් වෙනවා. මම දේශපාලනයේ හතුරො හදාගන්නෙ කාටවත් වැරැද්දක් කරලා නෙමෙයි.

  • කොළඹ අඩු කාන්තා නියෝජනයක් තුළ සටන් කිරීම අභියෝගයක්ද?

ඔව්. මම ඒ බව දැනගෙන හිටියා. අභියෝගය දිනන්න සූදානමිනුයි මම දේශපාලනයට ආවෙ. මට බයක් නෑ, අභියෝගවලට සූදානම්.

 


නම - හිරුණිකා එරාංජලී ප්‍රේමචන්ද්‍ර

වයස - අවුරුදු 26

පාසල - විශාඛා විද්‍යාලය කොළඹ (උප ප්‍රධාන ශිෂ්‍ය නායිකා)

උසස් අධ්‍යාපනය - එංගලන්තයේ කිංග්ස්ටන් විශ්වවිද්‍යාලයේ නීතිය පිළිබඳ ගෞරව උපාධි (නීතිවේදී), ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අවසන් වසර

රැකියාව (මැතිවරණයට පෙර) - ධීවර අමාත්‍යාංශයේ නීති නිලධාරිනී

පියා - භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර (හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, වෘත්තීය සමිති පිළිබඳ ජනාධිපතිවරයාගේ අධ්‍යක්ෂ ජනරාල්)

මව - සුමනා ප්‍රේමචන්ද්‍ර


 



Recommended Articles