මෙවර ජනපතිවරණ සටන පැවැත්වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් හා එහි සභාපති අතරයි. නොවැම්බර් මස 21 වැනිදා මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂක ලෙස ජනපතිවරණයට ඉදිරිපත්වීමත් සමග ජනපතිවරණය වඩාත් උණුසුම් තත්ත්වයට පත්විය. මෙවර ජනපතිවරණයේදී ටී.එන්.ඒ. සහාය මෛත්‍රීපාල සිරිසේන මහතාට හිමිවීම, රටේ ඒකීයභාවය, අගමැති තනතුර මෙන්ම මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපතිවුවහොත් කැබිනට් මණ්ඩලය කෙසේවේදැයි යන්න පිළිබඳව මැතිවරණ වේදිකාවේ ප්‍රධාන මාතෘකා බවට පත්ව තිබේ. මේ ඒ සම්බන්ධයෙන් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා 'අද' පුවත්පතට දැක්වූ අදහස්ය.
- මේ සටන ඔබ දිනනවද?
පැහැදිලිවම විශිෂ්ට ජයග්‍රහණයක් ලබනවා. මගේ දේශපාලන ජීවිතය අවුරුදු 49ක්. මම පළමුවෙන්ම 1969දී පොළොන්නරුව නගරසභාවට තරග කළේ ශිෂ්‍යයෙක් විදිහටයි.70 මහ මැතිවරණයට එක්වුණේ ශිෂ්‍යයෙක් ලෙසයි. එදා මෙදා කාලය තුළ මම දැකලා තියෙනවා දිනන මැතිවරණ හා පරදින මැතිවරණ. මේ මැතිවරණය තුළ තරම් රජයට විරුද්ධව ජන රැල්ලක්, ජන මතයක් රටේ ගොඩනැගිච්ච අවස්ථාවක් මම දැකලා නෑ.
රනිල් වික්‍රමසිංහ මහත්මයා මගෙත් එක්ක පුද්ගලිකවම කිවුවා, එයාට හොඳටම මතකයේ තියෙනවා කියලා 1977 ඒ අයගේ ජයග්‍රහණය. 77දී මේ තරම් උණුසුමක් තිබුණේ නෑ කිවුවා. මම හොඳට 70 ජයග්‍රහණය දැක්කා අපේ පැත්තෙන්. 94 ජයග්‍රහණය, 2005 ජයග්‍රහණය, 2010 ජයග්‍රහණය. ඒ කිසිම මැතිවරණයක මේ වගේ ආණ්ඩුවිරෝධී භාවයක් මම දැකලා නෑ.
මේක පුදුමාකාර මහා ජන බලවේගයක්. ඒ නිසා විශිෂ්ට ජයග්‍රහණයක් ලබනවා. මහින්ද රාජපක්ෂ මහත්මයා ඉතා අන්තපරාජයක් ලබනවා.
- ජනපතිවරණය ජය ගැනීමෙන් පසුව ඔබ මුල්ම පියවර ලෙස ගන්නේ කුමක්ද?
අංක එක ජනතාවගේ බඩගින්න නිවීම. මොකද මේ රටේ ලක්ෂ 100කට වැඩි පිරිසක් ඉන්නවා තුන්වේල කන්න බැරුව. අපේ දින 100 වැඩපිළිවෙළේ අපි ප්‍රමුඛතාව දෙන්නෙත්, එතනින් එහාට යන ආණ්ඩුවක් ලෙස ප්‍රමුඛතාව දෙන්නෙත් ජනතාවට අඩු වශයෙන් තුන්වේල කන්න පුළුවන් සමාජයක් හදන එකයි.
මේ රටේ ආදායම් බෙදීයාමේ හරිම විෂමතාවක් පවතිනවා. පසුගිය අවුරුදු 5-6 මිනිසුන්ගේ ඒකපුද්ගල ආදායම ගත්තාම අන්තඅසරණ මිනිස්සු ඉන්නවා තුන්වේලක් නෙමෙයි දෙවේලක් කන්න බැරුව.ඒ වගේම තව පංතියක් ගොඩනැගිලා ඉන්නවා මේ රටේ මහා පුදුමාකාර විදියට සල්ලිවලින් කරන්න දෙයක් නැතිව.
මේ බරපතළ ආදායම් පරතරය ලොකු ප්‍රශ්නයක්. සංවර්ධනය වන රටක එහෙම වෙන්න විදියක් නෑ. ඒක නිසා ආදායම් පරතරය අඩු කරන්න ඕනෑ. මූලිකම දේ ජනතාවගේ දුක්ගින්න වන බඩගින්නට අවශ්‍ය පිළියම් දෙන්න ඕනෑ.
බුදුන් වහන්සේත් දේශනා කරලා තියෙනවා බඩගින්නේ ඉන්න මිනිස්සුන්ට බණ කියන්න එපා කියලා. ඒක නිසා අනිත් දේවල්වලට කලින් මිනිස්සුන්ගෙ බඩගින්න නිවන්න ඕනෑ. ඒ නිසා මගේ අංක එක දුගීභාවය තුරන් කිරීමයි. ඒත් එක්කම අපි ව්‍යවස්ථාමය සංශෝධනයට යනවා.
- ජනපති සටනේ මේ දක්වා පැමිණි ගමන පිළිබඳව ඔබගේ අදහස කුමක්ද?
මම පොදු අපේක්ෂකයා වුණේ කොහොමද කියලා මට කියන්නත් බෑ. මේක මම දකින්නෙ මහා ආශ්චර්යයක් විදියටයි. මොකද මම ආණ්ඩුව තුළ පසුගිය අවුරුදු තුන හතරක බොහොම හිතේ අමාරුවෙන් හිටපු කෙනෙක්. මේ ආණ්ඩුවේ තිබෙන බරපතළ දූෂණ, වංචා ඒකාධිපතිත්වය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර වැඩකරන්න ගත්තේ.
මට 2005දී තමයි මහින්ද රාජපක්ෂ මහත්මයා කිවුවේ බණ්ඩාරනායක නම පක්ෂයේ උත්සවවල න්‍යාය පත්‍රයේ දාන්න එපා කියලා. එදා ඉඳලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බරපතළ විදියට බණ්ඩාරනායක නාමය හා පක්ෂයට යටපත් කළ හැකි සියලු දේ ඒ අය කෙරුවා.
අමාත්‍යාංශවල තියෙන්නෙ බරපතළ දූෂණ, වංචා. මේ අවුරුදු 10 ගත්තොත් මම අමාත්‍යාංශ ගණනාවක වැඩ කළා. ඒ අමාත්‍යාංශ එකක්වත් මට නිදහසේ කරන්න දුන්නේ නෑ. මුදල් අමාත්‍යාංශය ඒ අයගේ යටතේ තියාගෙන ඉන්නවා වගේම කවුරු ඇමතිවුණත් අධ්‍යාපන, සෞඛ්‍ය, කෘෂිකර්මය කියන ප්‍රධාන අමාත්‍යාංශ තුන ඒ පැත්තෙන් තමයි පාලනය වෙන්නෙ.
ඒ අයට අවශ්‍ය ලේකම්වරු දාගන්නවා. ඇමතිවරු නමට ඉන්නේ. ඇමතිවරු ලැජ්ජාවට කතා කරන්නේ නෑ. ඒ පොදු කාරණා මත මේ රටට අවශ්‍ය වෙනස්කම් කිරීමට පැහැදිලිව ඉඩ නොදෙමින් ඉතාම දූෂිත ලෙස කටයුතු කරනවා.
2006දි මට මහින්ද රාපක්ෂ මහත්මයා ගැන මගේ කළකිරීම ඇතිවුණ පළමු තැන. ඒ කාලේදී හිටපු ආයෝජන ප්‍රවර්ධන ඇමති බරපතළ විදියට පෞද්ගලිකව යම් යම් මුදල් හොයන්න ගත්තා. මමඑතුමාගේ නම කියන්නෙ නෑ. එතකොට ආණ්ඩුව බලයට පත්වෙලා අවුරුද්දයි. මම ජනපතිට කිවුවා 'සර් මේ ඇමතිතුමාට හරියට චෝදනා තියෙනවා පෞද්ගලිකව මුදල් හොයනවා කියලා. ඒක අපිට හොඳනෑ කියලා.' ජනපතිතුමා මට දුන්න පිළිතුර තමයි,'ඇයි ඔයා ඕක මට කියන්නේ ඔයා පක්ෂේ ලේකම් ලෙස එයාට ලියුමක් ගහන්න ඒ වාගේ දේවල් කරන්න එපා කියලා.' මම බැලුවා මේ අපි බලයට පත්කරපු ජනපතිතුමාද කතා කරන්නේ කියලා.
එතනින් එහා ගත්තොත් සිද්ධි සිය දහස් ගණනක් තියෙනවා. මම ඒවට කාලය ගන්නෙ නෑ. ඔයාලට ලියන්නත් බෑ. දැන් මාස දෙකකට විතර කලින් පොදු අපේක්ෂකයා ගැන අදහස කිහිපපොළකින්ම ආවා. විශේෂයෙන්ම අතුරලියේ රතන හිමි. චම්පික රණවක ඇමතිතුමා. මේ දෙන්නා මහ විශාල දෙයක් කළා. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය මගෙන් ඇහුවා කැමතිද කියලා. ඊළඟට එක්සත් ජාතික පක්ෂය මේකට කතා කළා. ඔය විදියට තමයි පොදු අපේක්ෂකයා ලෙස විශ්වාසයක් ඇතිව ඒ අය මාව තෝරගත්තේ.
මම ආණ්ඩුවෙන් එළියට ඇවිත් පැය කිහිපයක් තුළ මේ රටේ දේශපාලනය වෙනස්වුණා. මම ඒක දන්නවා. මොකද මාස 8ක් වෙනවා ආණ්ඩුව මැතිවරණ ව්‍යාපාරය පටන් අරගෙන. ඒ අට මාසේ නිලධාරීන් රහසිගතව තමයි කමිටුවලට පත්කළේ. ඇමතිවරුවත් දන්නේ නෑ. රනිල් වික්‍රමසිංහ මහත්මයා සටනට එයි කියලා හිතුවෙ.සම්පූර්ණයෙන්ම රනිල් වික්‍රමසිංහ මහත්මයා විනාශවෙන විදියට සීඩී, චිත්‍රපට පොත්පත් ගහන්න ඒ අය අතිවිශාල මුදලක් වැයකළා. නමුත් ඒ අය දැනගෙන හිටියෙ නෑ ඒ අය පරාජය කරන කෙනා ආණ්ඩුව ඇතුළෙමයි ඉන්නෙ කියලා.
ඉතින් ඒ අයගේ මාස අටක මැතිවරණ ව්‍යාපාරය මම ආණ්ඩුවෙන් ඇවිත් පැය දෙක තුනකින් නැතිවුණා. ඒ අයට මුල ඉඳලම පටන්ගන්න වුණා. ගෙවීගිය මාසයක් ගත්තාම අපි වේගයෙන් ඉදිරියට ඇවිත් තියෙනවා. අපි සියලු දෙනාගේම හිත් දිනාගෙන තියෙනවා. මොකද අපි පොදු අරමුණකින් යන්නේ. මොකද අපි ඉතාම සතුටුවෙනවා ඉතාම ඉහළ ජනතා ප්‍රතිචාරයක් තියෙනවා. අපි ජයග්‍රාහීව ඉදිරියෙන් ඉන්න එක මට බොහොම පැහැදිලිව පේනවා.
- ආණ්ඩුවෙන් මෙන්ම විපක්ෂයෙන්ද මෙවර විශාල ලෙස මඩ ව්‍යාපාර දියත්වෙනවා. මඩ ව්‍යාපාරය දේශපාලනයට පැමිණීම පිළිබඳ ඔබගේ අදහස කුමක්ද?
මමකිසිදාක දේශපාලන මඩ ව්‍යාපාරයට සම්බන්ධ අයෙක් නෙමෙයි. මගේ දේශපාලනයේ මඩ ගැසීම් නෑ. පුද්ගලික චරිත ඝාතන නෑ. හැබැයි මේ මාසේ ගත්තාම මහින්ද රාජපක්ෂ මහත්මයා වාර්තාවක් පිහිටුවා තියෙනවා තමන්ගේ ප්‍රතිවාදී අපේක්ෂකයාගේ චරිත ඝාතන, නින්දා අපහාස පිළිබඳව. දැන් අද රාජ්‍ය මාධ්‍ය දින කිහිපයක ඉඳන් නිදහස් මාධ්‍ය සදාචාරය කෙලසීමක්, මැතිවරණ නීති බරපතළ උල්ලංඝනය කිරීමක් කරනවා. නමුත් මේ රටේ ජනතාව හරි බුද්ධිමත්. මේවා බලාගෙන ඉන්න ජනතාව ඇත්තෙන්ම පිළිකුල්සහගත ලෙස රජයේ වැඩ හෙළා දකිනවා.
මේවා දකින්න දකින්න මහින්ද රාජපක්ෂ මහත්තයා එපා වෙනවා කියලා බොහෝ අය මට කියනවා. දේශපාලන ප්‍රබුද්ධභාවයක් තියෙන කෙනෙක්, විශාල ජනතා සහභාගීත්වයක් තියෙන කෙනෙක් කිසිම දවසක ඔය විදියේ අශීලාචාර ලෙස චරිත ඝාතන, නින්දා අපහාස කරන්නේ නෑ. රාජ්‍ය බලය යෙදවීමට අද හමුදාව රජයේ නිලධාරීන් පවා යොදාගන්නවා. අරලියගහ මන්දිරය දේශපාලන වශයෙන් පූජනීය ස්ථානයක්. මේ රටේ කිසිම රාජ්‍ය නායකයෙක් අරලියගහ මන්දිරය දේශපාලනය සඳහා භාවිත කළේ නෑ. අරලියගහ මන්දිරය මැතිවරණ කාර්යාලයක් කළේ නෑ. අරලියගහ මන්දිරය මිනිස්සුන්ට කන්න දෙන දන්සලක් කළේ නෑ. සම්පූර්ණයෙන් එතන කෙලසුවා. එතන විනාශ කළා.
- මෙවර මැතිවරණයේ පිල්මාරුව පිළිබඳ වැඩි කතාබහකට ලක්වෙනවා?
ලංකාවේ දේශපාලනයේ පිල්මාරුව අද ඊයෙක දෙයක් නෙමෙයි. මේක ඉස්සර ඉඳලා තිබුණු දෙයක්. මේ වාණිජ සමාජයේ, තාක්ෂණ ලෝකයේ දේශපාලන වශයෙන් තිබෙන ගුණවත්භාවය හා ඒ සියල්ල පවතින යුගයත් එක්ක තමයි සලකා බලන්නේ. ඒ තිබෙන තත්ත්වයත් එක්ක තමන්ට නිවැරදියි කියලා හිතෙන තැනට යනවා.
එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහත්තයා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැදුවා.මාක්ස්වාදයේ පියා පිලිප් ගුණවර්ධන මහත්මයා 65 ආණ්ඩුව හදන්න එක්සත් ජාතික පක්ෂයට ගියා. ඉතින් ඒ විදියට මහා දීර්ඝ ඉතිහාසයේ කතාවක් කියන්න පුළුවන්. අපේ රටේ දේශපාලන පිල්මාරුව අලුත් දෙයක් නෙමෙයි. එක් අපේ රටේ දේශපාලන සංස්කෘතියේ බොහොම පැරණි දෙයක්.
- ඔබට තිබෙන ශක්තීන් මොනවද?
මගේ ශක්තියේ පළමු දේ ජනතාවයි. ජනතාවගේ ශක්තියයි මට තියෙන්නේ. එක්සත් ජාතික පක්ෂයත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ජාතික හෙළ උරුමයත් අද තිබෙන දේශපාලන පක්ෂ ගණනාවත් මහින්ද රාජපක්ෂ මහත්තයට විරුද්ධව පොදු අපේක්ෂකයා ලෙස මාව තෝරගත්තේ ඇයි කියන එක මට මඩ ගහන අය තේරුම්ගන්නඕනෑ. මගේ චරිතයේ තිබෙන වටිනාකමක් නිසා තමයි මෙහෙම කරලා තියෙන්නේ. මම පාර්ලිමේන්තුවේ අඛණ්ඩව වසර 25ක් හිටපු කෙනෙක්. අඛණ්ඩව වසර 18ක් ඇමතිකම් කරන කෙනෙක්. මම වංචාවට, දූෂණයට විරුද්ධයි.
හැමදාම සටන් කළා. මම ඖෂධ පනත හැදුවේ නැත්නම් කෝටි සිය ගණනක් ලබාගන්න තිබුණා. ඒ සියලු විරෝධය මැද්දේ ඖෂධ පනත හදලා කැබිනට් එකට දැම්මා. මට සැප ජීවිතයක් ගත කරන්න තිබුණා දුම්පානය සම්බන්ධයෙන් සිගරැට් පැකට්ටුවේ ගැසට් එක නොගසා සිටියානම්. ඒවට ආපු යෝජනා රාශියක් ප්‍රතික්ෂේප කරපු කෙනෙක්. කවුරු කොහොම කිවුවත් මම සාමාන්‍ය අල්පේච්ඡ ජීවිතයක් ගත කරන කෙනෙක්. උපේක්ෂා සහගතව, මධ්‍යස්ථව හිතලා බලලා වැඩකරන කෙනෙක්. ඒ තුළ මම බොහොම පැහැදිලිව කියන්න ඕනෑමම මේ ශක්තීන් එක්ක ඉදිරියට යනවා කියන එක.
- ඔබගේ ආණ්ඩුවේ අගමැති තනතුර හිමිවන්නේ කාටද?
අපේ ජයග්රහණයෙන් පස්සේ පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත තියෙන කෙනා තෝරලා බලලා පාර්ලිමේන්තුවේ අගමැතිවරයා පත්කිරීම සම්බන්ධයෙන් තීන්දුව ගන්නවා.
- කැබිනට් මණ්ඩලයේ ව්‍යුහය මොනවගේ වෙයිද?
කැබිනට් මණ්ඩලය 30 දෙනයි. අපි තාම කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් ගැන හිතලවත් නෑ. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවලට අපි ආරාධනා කරනවා නියෝජනයක් දෙන්න කියලා. අපි හදන්නෙ සර්ව පාක්ෂික ආණ්ඩුවක්. එතකොට ආණ්ඩුවට සහයෝගය දෙන පක්ෂවලට සංයුතිය අනුව අපි අමාත්‍යධුර වෙන් කරනවා.
- රටේ ඒකීයභාවය යනු ජනපතිවරණයේ ප්‍රධාන මාතෘකාවක්. ඒ පිළිබඳව ඔබගේ දැක්ම?
බොහොම පැහැදිලිව මම කියන්න ඕන මට එල්.ටී.ටී.ඊ. ප්‍රහාර පහක් ආවා. මට ගහන්න ආපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් විනාශවුණා මිසක් මගේ රෝම කූපයකටවත් හානියක් වුණේ නෑ. අවසාන ප්‍රහාරයට බොරලැස්ගමුවේ අහිංසක මිනිස්සු හතර දෙනෙක් මැරුණා. බොහාම පැහැදිලිව කියන්න ඕනෑ මේ රටේ යුද්ධය අවසන් වෙන වෙලාවේ අවසන් සති දෙකේදී මේ රටේ ආරක්ෂක ඇමතිවුණේ මම. මහින්ද රාජපක්ෂ මහත්තයා ලංකාවෙ හිටියෙ නෑ. අගමැති ලංකාවෙ හිටියෙ නෑ. ඒ වෙලාවෙ මම තමයි ආරක්ෂක ඇමති. එතකොට තමයි ජනරාල් සරත් ෆොන්සේකා මහතාගේ යුද මෙහෙයුමත් එක්ක එල්.ටී.ටී.ඊනායකයෝ අවසන් ගමන් ගියේ.
මම යුද්දේ කාලේ අවස්ථා පහකදී ආරක්ෂක ඇමතිලෙස වැඩ කරලා තියෙනවා. මම බොහොම පැහැදිලිව කියනවා. මේ රටේ ඒකීයභාවයට හානි කරන්න කිසිම ආකාරයකින් ඉඩදෙන්නෙ නෑ. රට බෙදන්න ඉඩ දෙන්නෙ නෑ. යුද්දේ එන්න දෙන්නෙ නෑ. එල්.ටී.ටී.ඊ.යට ඔළුව උස්සන්න දෙන්නෙ නෑ. අපි බොහොම ආදරයෙන් මේ රට ගොඩනගන්නෙ. මහින්ද රාජපක්ෂ මහත්තයා කියන්නෙ එයා තමයි දේශප්‍රේමියා, එයාලා තරම් මේ රටට වෙන කවුරුවත් ආදරේ නෑ කියලා. මේක පුදුම කතන්දරයක්.
නමුත් අපි දන්නවා ජනතාව අද ඒ අයව ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ. අපිසියලු දෙනා සම්බන්ධ කරගෙනබොහොම හොඳට මේ රට යහපත් රටක් කරනවා. ආගම් හා ජාතීන් අතර සංහිඳියාව අපි බොහොම ශක්තිමත් විදියට ගොඩනගනවා. ජනතාවට විශ්වාසය ඇති කරන්න ඕනෑ පළමුවෙන්ම. සැකය ඉවත් කරන්න ඕනෑ. තම තමන් ගැන අනෝන්‍ය අවබෝධයක් තියෙන්න ඕනෑ. ඒ තුළ අපිට හොඳ රටක් ගොඩනගන්න පුළුවන්.
- මැතිවරණ නීති කඩකිරීම දෙපැත්තෙන්ම සිදුවෙනවා. මේ පිළිබඳව ඔබගේ අදහස?
මැතිවරණ දූෂණ, වංචා මැතිවරණ නීති කඩකිරීම් දැනටමත් ආණ්ඩුව පැත්තෙන් සිදුකරනවා. හැබැයි ඒ සියල්ලත් එක්ක අපිට පුළුල් ජනතා බලවේගයක් තියෙනවා. හැබැයි මැතිවරණ දෙපාර්තමේන්තුව හා කොමසාරිස් මට විශ්වාසයි.ඒ තුළ අපක්ෂපාතී සාධාරණ මැතිවරණයක් සඳහා අපිත් සහාය දෙනවා.
මැතිවරණ දූෂණ ආණ්ඩුව පැත්තෙන් කරන්න ගත්තොත් එය නවත්වන්න අපි සියලු උත්සාහ ගන්නවා. ජනතා බලය තියෙන්නේ අපේ පැත්තේ.
- පශ්චාත් මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා වළක්වන්නේ කෙසේද?
මේ මැතිවරණය ඉවර වෙනවාත් එක්කම පාප් වහන්සේ ලංකාවට එනවා. ඒක නිසා අපි හැම කෙනෙක්ගේම වගකීමක් තියෙනවා ප්‍රචණ්ඩත්වයෙන් තොර සාමකාමී රටක් හදන්න. ඒ නිසා පාප් වහන්සේගේ ගමනට අවහිරයක් වෙන ලෙස හැසිරෙන්න හොඳ නෑ. ඒ නිසා අපි හැමකෙනෙක්ම සාමකාමී වෙන්න ඕන. අපේ ජයග්‍රහණය තුළ රට තුළ ප්රචණ්ඩත්වය ඇති නොවන ආකාරයට අවශ්‍ය කටයුතු සංවිධානය කරනවා.
- ටී.එන්.ඒ. සහාය ලැබීම ගැනත්,එහිදී එල්.ටී.ටී.ඊ. සංවිධානය නැවත නැගිටීම පිළිබඳවත් විවිධ කතා පැතිරෙනවා?
දැන් ආණ්ඩුව මාවත් එල්.ටී.ටී.ඊ කරන්න හදනවා. දැන් මම ආණ්ඩුවේ ඉඳලා වෙන තැනකටනේ ඇවිල්ලා ඉන්නේ. ඉතින් එතකොට ටී.එන්.ඒ. එකත් යම්කිසි කාලයක අඩුපාඩු තිබුණානම් දැන් ඒ අය ඒක හදාගෙන යම්කිසි තැනකට ඇවිල්ලා ඉන්නවා.
දේශපාලඥයා කියන කෙනා ඒ කාලයේ හැටියට, යුගයේ හැටියට අවශ්‍ය තීන්දු තීරණ ගන්න කෙනෙක්. දේශපාලඥයට එකතැන පල්වෙන්න අවශ්‍ය නෑ. නව ලෝකයේ අලුත් අදහස් එක්ක ගොඩනැගෙන්නේ කොහොමද කියල දැනගන්න ඕනෑ. ඒක බුද්ධිමත් දේශපාලකයෙක් කරන දෙයක්. ඒක නිසා ඔය මොන විදියේ වැරදි ප්‍රචාර අරගෙන ගියත්, අපේ චේතනාව, අදහස පිරිසුදුයි. ඒ අදහසින් මේ රට ගොඩනගන්න අපි යන්නේ.
- ඔබ චන්ද්‍රිකාගේ රූකඩයක් බව විවිධ පාර්ශ්ව චෝදනා කරනවා?
එහෙමනම් මම මීට කලින් මහින්ද රාජපක්ෂගේ රූඩකයක් වෙන්න ඕනෑ. හැබැයි මහින්ද රාජපක්ෂට මාව රූකඩයක් කරන්ගන්න බැරි නිසානේ මම ආණ්ඩුවෙන් එළියට ආවේ. මහින්ද රාජපක්ෂට රූකඩයක් නොවුණ මම තව කෙනෙකුගේ රූකඩයක් වෙන්නේ නෑ. මාව හසුරුවන්න කිසිම පුද්ගලයෙකුට බෑ. මාව හසුරුවන්න පුළුවන් මහ ජනතාවට හා ප්‍රතිපත්තියට පමණයි.
- ඡන්ද දායකයන්ට දෙන පණිවුඩය කුමක්ද?
මෙතනදී සිංහල, දෙමළ, මුස්ලිම් කියලා වර්ගයක් බෙදන්න මම කැමති නෑ. මේ රටේ සියලු ජාතීන් හා ආගම් අතර සමගිය තියෙන්න ඕනෑ. රට බෙදන්න එල්.ටී.ටී.ඊ.යට ඔළුව උස්සන්න දෙන්නෙ නෑ. මේ රටේ තිබෙන මහා සංස්කෘතිය සුරක්ෂිත වෙන්න ඕන. ඒ තුළ අපි හොඳ හිත ගොඩනගාගෙන හොඳ වැඩපිළිවෙළකට යන්නේ.
- මැතිවරණයෙන් ඔබ ජයගැනීමෙන් පසුව විරුද්ධ පාර්ශ්වයේ ආරක්ෂාව පිළිබඳව දෙන්නේ කුමනාකාර තහවුරුවක්ද?
ඔතනදි විරුද්ධවාදියා කියන වචනය මම භාවිත කරන්නෙ නෑ. දේශපාලන ප්‍රතිවාදියා. මහින්ද රාජපක්ෂ පවුලේ සිට මේ මැතිවරණයේදී අපිට විරුද්ධව වැඩ කරන සියලු දෙනාගේම ආරක්ෂාව පිළිබඳව මම දැඩිවගකීමකින් කටයුතු කරනවා.ඒ සියලු දෙනා ආරක්ෂා කරනවා. මම පුද්ගලිකමව ඒ වගකීමභරාගන්නවා.බලය මාරුවෙන විට බලයේ හිටපු අයට තමයි අමාරුව තියෙන්නේ. එතනදි අපි දැනගන්න ඕනෑ බුද්ධිමත්ව ඒ කටයුතු කරන්න. කිසිකෙනෙකුට හිංසාවක් නොවන විදියට අපේ ආයතන ස්ථාපිත කරගන්න එකයි තියෙන්නේ. ඒක අපේ දීර්ඝකාලීන අත්දැකීම් එක්ක ඒක කරන්න පුළුවන්.