විනයත්, සදාචාරයත් මූල පද්ධතිය කරගත් බෞද්ධ දේශනාවන් හා දර්ශනය ඉදිරියට පවත්වාගෙන යාමේ වගකීම පැවරෙන්නේ භික්ෂූන් වහන්සේලා වෙතටය. බුදුසසුන රැක ගැනීමත් ධර්මය ප්‍රචාරය කිරීමත් මෙන්ම අනුගාමිකයන් සුමගට ගෙනයාමත් මූලික වශයෙන්ම භික්ෂූන් වහන්සේලා වෙත පැවරෙන වගකීම් වෙයි. එසේ වූ වගකීම් සමුදායක් මෑතකදී පැවරුණේ අභිනව සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන නායක හිමියන් වෙතය. එහෙයින්ම කාලීන අවශ්‍යතාවක් සේ සළකා 'අද' අපි උන්වහන්සේ සමග සාකච්ඡාවකට එක් වීමු.
Q ඔබ වහන්සේ අස්ගිරි මහනායක ධුරයට පත්වීම හා සමකාලීනව පවත්නා ආගමික පසුබිම දකින්නේ කොහොමද?
මේ කාලය ආගමික වශයෙන් විවිධ ප්‍රශ්න, ඒ වගේම විවිධ අදහස් උදහස්වලින් පිරුණු කාලයක් විදිහට දක්වන්න පුළුවන්, මිනිස්සු හා සමාජය අතර විවිධ ප්‍රශ්න පැනනැගිලා තියෙනවා. බුද්ධ ශාසනයෙත් එහෙමයි. ඉතින් සමස්තයක් හැටියට ගත්තම විවිධ ප්‍රශ්නවලින් ගහන වකවානුවක් හැටියට සළකන්න පුළුවන්.
Q දීඝ නිකායේ අග්ගඤ්ඤ සූත්‍රයේදී බුදුන් වහන්සේ පැහැදිලිවම ජාති, කුල, ආගම් භේදයකින් තොර සමාජයක් පිළිබඳවයි දේශනා කරන්නේ. නමුත් ලංකාව බෞද්ධ රටක් වුණත් ඒ ඉගැන්වීම් එතරම් තැකුණු බවක් පේන්න නෑ නේද?
විවිධ ආගම් ජාති භේද නැතිව සමගියෙන් සමාදානයෙන් ජීවත්වෙන්න, කටයුතු කරන්න කියන එක තමයි බුදු දහමේ ඉගැන්වීම. නමුත් ඉතින් මේක මිනිස් සමාජය දිහා බැලුවම පේන්න නෑ. බුදුහාමුදුරුවන්ගේ කාලේ මේ තත්ත්වය ඉතා දරුණුවට තිබිලා තියෙනවා. ඒ නිසයි ඒ දේවල් වලින් මිදිලා කටයුතු කරන්න උපදෙස් දුන්නේ. ඉන්දීය සමාජය අදත් එහෙමයි. ජාති, කුල මල භේදය දරුණුවට තියෙනවා. ඒ වගේම වෙනත් බටහිර රටවල සුදු කළු භේදය තියෙනවා. ලංකාවේ ඒ අතින් බලනකොට බොහෝදුරට ඒවා සමනය වෙලා තියෙනවා. සමහර අය නම් වරින්වර තමන්ගේ වාසි තකා ඒවා අවුස්සන අවස්ථා තියෙනවා. ඒ අවස්ථාවලදී ඒවා පිළිබඳ මතිමතාන්තර ඇතිවෙලා තියෙනවා. සමහර අය මේවා කරන්නේ එක එක බලාපොරොත්තු පරමාර්ථ ඉටුකරන්න. සිංහල බෞද්ධයන් කියන්නේ කවදත් බොහොම ඉවසීමෙන් ජීවත්වෙන පිරිසක්.
Q භික්ෂූන් වහන්සේලා ඇතැම් අරගලකාරී ක්‍රියාවල පෙරමුණේ හිඳ කටයුතු කරන ආකාරය කොතරම් උචිතද?
ඒවා නම් උචිත නෑ තමයි. දේශපාලන වශයෙන් යම් යම් බෙදීම් නිසා තමයි මේ දේවල් කෙරෙන්නේ. දේශපාලන හා තම පෞද්ගලික වාසි තකා ඇතැම් දෙනා මෙවැනි යටපත් වෙලා තියෙන ජාතිභේද, ආගම් භේද ඉස්මතු කරගෙන කටයුතු කරන අවස්ථා තියෙනවා.
Q මෙරට තුළ බුද්ධ ශාසනයේ ඉදිරි පැවැත්ම පැහැදිලි තත්ත්වයක තිබෙනවාද? නැත්නම් යම්යම් අර්බුදකාරී තත්ත්වයන් මතුවිය හැකිද?
ඒක ක්‍රියාකාරීත්වය අනුව තමයි හිතන්න වෙන්නේ. මොකද බුදුදහමේ ඉගැන්වීම යහපත් ලෙස ජීවත් වෙන්න කියන එක. ඒක පේන්න තියෙනවා. වෙසක්, පොසොන් වගේ බෞද්ධ කටයුතු සිදුවෙන අවස්ථාවල බෞද්ධ ජනතාව බොහෝ සාමකාමීව කටයුතු කරනවා. දේශපාලනික වශයෙන් ගැටුම් ඇතිවන අවස්ථාවලදී ඒවා උත්සන්න වෙලා එකිනෙකා ඇනකොටාගෙන හැසිරෙන බවනම් දකින්න තියෙනවා. ඒවා වර්ධනය වීම එතරම් හොඳ දෙයක් නෙවෙයි.
Q මිනිස්සුන්ගේ ආධ්‍යාත්මික සංවර්ධනය උදෙසා අතීතයේ අතිශයින් බුදුදහම මැදිහත් වුණත් වර්තමානය වන විට එය එසේ නොවන්නේ ඇයි?
එය එසේ නොවන බව පැවසීමත් අපහසුයි. මිනිසුන්ගේ ආගමික ළැදියාව, ඒ වාගේම මිනිස්කම ඉස්මතුවෙන අවස්ථා නැතුවා නෙවෙයි. නමුත් පුරාණ කාලේ නම් උද්ඝෝෂණ, ගහමරා ගැනීම් නැති කාලෙක මිනිස්සු බොහොම සැනසීමෙන් ජීවත්වුණා. අද විවිධ පරමාර්ථ ඉස්මතු කෙරෙන කටයුතු කිරීම නිසා මිනිසුන්ගේ යහපත් ගතිගුණ හා සැනසීම අඩුවෙලා තියෙනවා කියලා දකින්න පුළුවන්. කොහොම වුණත් විදේශිකයන් පවා කියලා තියෙනවා ලංකාවේ ආගන්තුක සත්කාර දන්න යහපත් මිනිස්සු ජීවත්වෙනවා කියලා. හොඳ මානුෂීය ගතිගුණ තියන මිනිස්සු ඉස්සර හිටියා. දැන් යම් යම් බලවේග නිසා තමයි අපේ මිනිස්සු අතර තිබෙන හොඳ ගතිගුණ යටත් වෙලා තියෙන්නේ. ආගමික වශයෙන් අපි උත්සාහ කරනවා මිනිස්සුන්ව යහමගට ගන්න. නමුත් ඉස්සර තරම්ම ඒක සිද්ධ වෙන්නේ නෑ.
Q ඔබ වහන්සේ පවසන ආකාරයට මිනිසුන්ගේ යහපත් චර්යාවන් යටපත් කරගෙන ඇත්තේ කුමන බලවේග විසින්ද?
ඒක එක් එක්කෙනාට අනුව වෙනස්. නමුත් වඩා වැඩි බලපෑමක් කරන්නේ දේශපාලනය විසින්. විශ්වවිද්‍යාල, පාසල් වල වගේම ආගමිකව වුණත් දේශපාලන ඇඟිලි ගැසීම් මැදිහත්වීම් නිසා තමයි මේ අසහනකාරී තත්ත්වය මතුවෙන්නේ. නැත්නම් අපේ බෞද්ධයා, සිංහලයා ගැටුම් ඇතිකරගන්නේ නෑ. ගැටුම් ඇතිවෙන්න හේතුව තමයි අර පෙර කියූ කාරණය. ඒ වගේම මිනිස්සු ඉස්සරට වඩා ගොඩක් බුද්ධිමත්. ඒත් අරවගේ ගැටුම් ඇතිවෙනවා යම් යම් තත්ත්ව වලදී.
Q චක්කවත්ති සීහනාද වැනි සූත්‍ර හරහා රාජ්‍ය පාලනයට උපදෙස් දුන්නා වගේම බුද්ධ කාලයේත් ලංකා ඉතිහාසයේ මුල් කාලයේත් මේවා පිළිපැද ඇති බව දකින්නට ලැබෙනවා. ඒත් වර්තමානයේ දේශපාලඥයන් ඔබවහන්සේලා බැහැදකින්න එන්නේ ඇත්තටම උපදෙස් ගන්නද?
එක එක වෙලාවට ඇවිත් කතා කරලා නම් යනවා. ඊට පස්සේ ඉතින් ලොකු සම්බන්ධතාවක් නෑ. නමුත් එහෙම උපදෙස් ගන්න එන්නේ නෑ. පස්සේ අර සම්බන්ධතා නැතුවාමත් නෙවෙයි. අවවාද අනුශාසනා දීලත් පිළිනොගත්ත අවස්ථාත් අපි දකිනවා. රජයටත් ඉතින් මිනිසුන්ගේ අසංවර ක්‍රියා, දේශපාලන ගැටුම් ආදිය පාලනය කරන්නත් බැරිව ඇති. මිනිස්සු ආගමෙනුත් ටිකක් ඈත්වෙලා. මේවා ඉතින් පැහැදිලිව කියන්න පුළුවන් කමකුත් නෑ. බොහෝ විට අස්ගිරි, මල්වතු දෙපාර්ශ්වයේ උපදෙස් ගෙවුණු හැම රජයක්ම පිළිගත්තු බවක් පේනවා. නෑ කියන්නම බෑ. සාකච්ඡාවලදි නම් බොහොම සුහදව කතා කරලා අදහස් උදහස් හුවමාරු කරගන්නවා. මේවා ඉතිං බොහොම සංකීර්ණ ප්‍රශ්න.'
Q භික්ෂූන් වහන්සේලාට මූලිකත්වය හා ගෞරවනීයත්වය දී කටයුතු කරනවාද? සමාජයෙන් ඒ ගෞරවනීයත්වය අවම වෙලාද?
ඒ තත්ත්වය අතීතයේ තරම් නම් නෑ. මොකද පුරාණ කාලේ පන්සලේ තමයි අධ්‍යාපනය ලැබුවේ. පොතපත ඉගෙන ගත්තේ අකුරු කියෙවුවේ පන්සලේ. භික්ෂූන් වහන්සේලා එක්ක එදා සමාජයේ ලොකු බැඳීමක් තිබුණා. ඒ තත්ත්වය නැති කළේ බටහිර ජාතීන්. ඉංග්‍රීසීන් ඒ බෞද්ධ අධ්‍යාපනික ක්‍රමය වෙනස් කළා. ඒ නිසා භිෂූන්වහන්සේලා සමග, පන්සල සමග තිබුණු බැඳීම ටිකෙන් ටික ඈත්වුණා. ඉන් පස්සේ ඒක නැවත ළඟා කරගන්න බොහොම අමාරුයි. අනාගාරික ධර්මපාලතුමාත් මහත් පරිශ්‍රමයක් දරලා මෙය නිවැරදි කරන්න උත්සාහ කළා. නමුත් ඉතින් මේ තත්ත්වය දිගින් දිගටම ආවේ දේශපාලන ගැටලු නිසා කියන එකයි මගේ මතය. පවතින දේශපාලන පක්ෂ ක්‍රමය හා මතිමතාන්තර නිසා තමයි සටන්, විරෝධතා ආදිය ඇතිවෙලා තියෙන්නේ. පක්ෂ භේදය මේ රටට මහා විපතක්. එහෙම නොවුණා නම් මිනිසුන්ට බොහොම සාමකාමීව ජීවත්වෙන්න තිබුණා.
අද පවතින බොහෝ ගැටලුවලට පදනම දේශපාලනික ප්‍රශ්නයි. මිනිස්සු ගහගන්නෙ, සටන් කරන්නෙ වගේම මිනිසුන්ට බොහෝ ගැටලු මතුවෙන්නෙත් මේ දේශපාලනය කියන මූල බීජය නිසයි. ඒ නිසා මේ තත්ත්වය වෙනස් විය යුතුයි. එහෙම වුණානම් භික්ෂූන් වහන්සේලා හා ජනතාව අතර සම්බන්ධය තවත් වැඩිවෙනවා. දැන් භික්ෂූන් වහන්සේලාත් බොහොම උගත්නේ. උසස් අධ්‍යාපනය හදාරලා ඉහළ මට්ටමට ගිය හාමුදුරුවරු අපේ රටේ ඉන්නවා. උපදේශනත් දෙනවා. රූපවාහිනියෙ, ගුවන්විදුලියෙ රැයක් දවාලක් නැති ධර්ම දේශනා, පිරිත් දේශනා, අවවාද අනුශාසනා කොතෙකුත් ප්‍රචාරය වෙනවා. ඒවා අහන්න, ඒවාට හිත යොමුකරන්න මිනිස්සුන්ට කාලය අඩුයි. රූපවාහිනියේ වුණත් බලන්න දේවල් නෑනේ. බාල පරම්පරාව නොමග යන්න ප්‍රධානම හේතුවත් මේ රූපවාහිනියේ තියෙන කතා හා දර්ශන නිසා කියලයි මම හිතන්නේ. හුඟක් වටිනා දේවල් තියෙනවා වගේම පෙන්වන්න පුළුවන්කම තිබුණත් නරක දේත් තියෙනවා. නරක දේටනේ වැඩියෙන්ම ඇබ්බැහි වෙන්නේ.
Q පසුගිය සමයේ දේශපාලනය විසින් භික්ෂූන් වහන්සේලා හා බුද්ධ ශාසනය පාලනය කරන්නට යාමෙන් තරමක අර්බුදයක් මතු වුණා. මේ තත්ත්වය ඔබ වහන්සේ විග්‍රහ කරන්නේ කොහොමද?
පනතක් පිළිබඳ සාකච්ඡා කිරීමේදී මෑත කාලයේ මේ තත්ත්වය මතුවුණා. එහිදී භික්ෂූන් වහන්සේලාට අහිතකර අන්දමින් තීරණ ගැනීමේ සූදානමක් තිබුණා. ඒවා සාකච්ඡා මගින් සමනය කරගත හැකි තත්ත්වයක් තිබුණා. සම්මත කරගත්තාම ලැබෙන යහපත් දේවලුත් තියෙනවා. ඒවා ඉතින් තේරුම්බේරුම් කරගෙන ඉදිරියට යාමයි වඩා හොඳ.
Q ලංකාවේ දහම් අධ්‍යාපනය ලබාදීම කොයිතරම් ඵලදායී ලෙස සිදුවෙනවාද?
පෞද්ගලික පන්ති නිසා තමයි හුඟක් දුරට දහම් පාසල් අධ්‍යාපනය ඇදවැටීමකට ලක්වෙලා තියෙන්නේ. දරුවෝ පන්ති යනවා. ඒක හින්දා දහම් පාසලෙන් ඈත්වෙනවා. දෙමව්පියන්ගෙත් ආශාව දරුවන්ට හොඳට උගන්වලා හොඳ තත්ත්වයකට යවන එක හින්දා දෙමව්පියොත් දරුවන්ව ටියුෂන් එකට යවනවා. ඒකේ වරදක් කියන්න බෑ.
Q ධර්ම දේශනා පැවැත්වීමේදී බුද්ධ දේශනාවට පරිබාහිරව තම පෞද්ගලික මත ප්‍රචාරය කරන භික්ෂූන් වහන්සේලා ඉන්නවා. මේ තත්ත්වය බුද්ධ ශාසනයේ පැවැත්මට හානියක් නොවෙයිද?
බුදු දහමට නම් මේ තත්ත්වය ඉතාම අහිතකරයි. අපි දකිනවා ධර්මදේශනාවලදී තම තමන්ගේ අදහස් සමහරු ප්‍රකාශ කරනවා. ඒවා ඒ තරම් සුදුසු නෑ. ඒ නිසා ධර්ම දේශකයන් වහන්සේලා හොඳ හුරුවක්, පළපුරුද්දක් ඇතිව තමයි ජනමාධ්‍ය වල කටයුතු කළ යුත්තේ. එසේ නොවුවහොත් බාල පරම්පරාව නොමග යන්න ඉඩතියෙනවා.
Q ධර්ම සංඝායනාවක් අවශ්‍ය කාලයක්ද මේ?
නෑ. ධර්ම සංඝායනාවක් අවශ්‍ය නෑ. ධර්මය පිළිබඳ කිසි ප්‍රශ්නයකුත් නෑ. ක්‍රියාකලාප සිතුම් පැතුම් රටා වෙනස් විය යුතු කාලයක් කියලා නම් කියන්න පුළුවන්. ධර්ම සංඝායනාවක් තියන්න තරම් බුදුදහම පරිහානියට පත්වෙලා නෑ. සකස්කළ යුතු, සකස්විය යුතු දේ නම් බොහොම තියෙනවා. මේවා ටිකක් බරපතළ සංකීර්ණ ප්‍රශ්න. භික්ෂූන් වහන්සේලා එක්රැස් වෙලා සාකච්ඡා මාර්ගයෙන් මේ වෙද්දිත් සකස් කරල තියෙනවා. අපේ හාමුදුරුවරු අතර කිසිම භේදයක් නෑ. පුරාණ කාලයේ නම් එහෙම භේද තිබුණා. දැන් එහෙම තත්ත්වයක් නැහැ. දැන් සහෝදරත්වයෙන්, මිත්‍රශීලීව කටයුතු කරනවා. ඒක සතුටට කාරණාවක්. බොහොම සමගි සම්පන්නව සියලු භික්ෂූන්ට එකට කටයුතු කරන්න හැකියාවක් තියෙන වකවානුවක්.
Q බොහොම සැදැහැ සිතින් කටයුතු කළත් බණ අහන, බණ කියන රටක පන්සිල් පවා නොදන්න පිරිසක් ඉන්නවා නේද?
එහෙම තත්ත්වයක් නම් තියෙනවා. නමුත් අපි ඇත්තටම කණගාටු වෙනවා අපේ බෞද්ධයෝ බොහෝවිට බුදුදහම පිළිබඳ හරි අවබෝධයක් නැති අය. තරුණ පිරිස් අතර නම් බණ පොත්පත් කියවන ධර්මය අහන පිරිසක් බිහිවෙමින් තිබෙනවා. පන්සිල් පද පහේ තේරුම නොදන්න පිරිසක් ඉන්නවා. ඒ අය හොඳ මගට ගේන්න දහම් පාසල් තුළින් පුළුවන්. දහම් පාසල් තුළින් තමයි ඒක කළ හැක්කේ. ඒත් ඉතිං දරුවො ලොකු වෙනකොට දහම් පාසලෙන් ඈත් වෙනවා. එහෙම වෙද්දි දරුවො හදාගන්න ටිකක් අමාරුයි. ධර්මය තේරුම් ගන්න පිරිසක් බවට දරුවො පත්කර ගන්න අපහසුයි. දරුවෝ ධර්මයෙන් වගේම පන්සලෙනුත් ඈත් වෙනවා.
Q මේ ධුරයට ඔබවහන්සේගේ පත්වීමෙන් පස්සෙ ශාසනික දියුණුව උදෙසා යම් ක්‍රියාමාර්ගයක් ගන්න තීරණය කළාද?
වැඩසටහන් ටිකක් තියෙනවා. දරුවෝ ධර්මයට හුරු කිරීම ප්‍රධානම දෙයක්. දහම් පාසල් හා ටියුෂන් අතර ගැටුමට පහුගිය කාලවලත් විවිධ දේ යෝජනා කළා. ඒත් අධ්‍යාපන ඇමතිවරු හරි තීන්දුවකට ආවෙ නෑ. ඉරිදා දහම් පාසල්වලට පෞද්ගලික පංති බාධයි කිව්වම එක අධ්‍යාපන ඇමතිවරයෙක් කිව්වා එහෙනම් අපි සෙනසුරාදට දහම් පාසල් තියමු කියලා. ඒ වගේ උත්තර දෙන අය හිටියේ. දරුවො පන්සලට ගෙන්වාගෙන බුදුදහම ගැන කියාදෙන්න අවශ්‍යතාවක් මතුවෙලා තියෙනවා. ඒ සඳහා යම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි. ඒ වගේම දහම් දැනුම වැඩි කිරීමට කටයුතු කරන්න ඕන. ජීවත් වෙන්න හොඳ වටපිටාවක් ගොඩනැගීමේ උවමනාව තියෙනවා. ඒ පිළිබඳව සාකච්ඡා කරගෙන යනවා. තනි මතයකින් කටයුතු කරන්න බැහැ. දැහැමි සමාජයක් ගොඩනගා ගැනීම සඳහා උපදේශන සභාවකුත් පිහිටුවා ගත්තා. ඒකෙ ප්‍රතිඵලත් ඉදිරියේදී දැකගන්න ලැබේවි.