පරිසරයට, ජනතාවට හා සතාසිවුපාවට ආදරය කරන දේශපාලන ක්‍රමයක් ඇතිකිරීම එකම අරමුණයි


සංවර්ධන ව්‍යාපෘති හරහා වැඩිම පිරිසක් අවතැන් වූ සහ වැඩිම ගොවිබිම් ප්‍රමාණයක් විනාශයට පත්වූ ව්‍යාපෘතිය ලෙස උමාඔය බහුකාර්ය ව්‍යාපෘතිය නම් වී තිබේ. මේ හේතුවෙන් කුමන හෝ බලපෑමකට ලක්වූ පවුල් ප්‍රමාණය 20,000 ඉක්මවා ගොස් තිබෙන බව උමාඔය ව්‍යාපෘතියට එරෙහි ජනතා එකමුතුව සඳහන් කරයි. විනාශයට  පත් ගොවිබිම් ප්‍රමාණය අක්කර දසදහස ඉක්මවා ගොස් තිබෙන බවද එම සංවිධානය සඳහන් කරයි. සංවිධානය විසින් සිදුකරන ලද අරගල නිසා විනාශයට පත් ජනතාවට යම්යම් සහන ලැබී තිබෙන බවත්, මේ නිසා විපතට පත් ජනතාවට සහන සැලසීම හා විනාශ වී ගිය භූමිය නැවත යථාතත්ත්වයට පත්කර ගැනීමට අවශ්‍ය කටයුතු කිරීමට දේශපාලන මැදිහත්වීමක් සිදු කිරීමට පැවරීමට තීරණය කළ බවද එම සංවිධානයේ කැඳවුම්කරු පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කරයි. බණ්ඩාරවෙල මහ නගර සභාවට හා ප්‍රාදේශීය සභාවට ස්වාධීන කණ්ඩායම් දෙකක් ඉදිරිපත් කරමින් මෙම කටයුතු සිදුකළ බවද හෙතෙම පවසා සිටියේය. මේ පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා සමග 'අද' මෙලෙස කතාබහක නිරත විය.


ස්වාධීන කණ්ඩායම් දෙක ඉදිරිපත් කිරීම

2007 වසරේ සිට උමාඔය විනාශකාරී ව්‍යාපෘතිය පිළිබඳ මතවාදයක් හා සටනක් ගෙන ගියා. ඒ සටනට දැන් අවුරුදු 10ක් ගෙවිලා ගිහිල්ලා තියෙන්නේ. අපේ සටන නිසා ව්‍යාපෘතියෙන් සිදුවන හානිය වළක්වාගන්න යම් යම් ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. විනාශයට පත් ජනතාවට සහන ප්‍රමාණයක් ලබාදී තියෙනවා. ඒත් මේ විනාශකාරී ව්‍යාපෘතිය නවතා දැමීමට හිටපු පාලකයන් වගේම වර්තමාන පාලකයනුත් කටයුතු කළේ නැහැ. මේ නිසා උමාඔය අවට ප්‍රදේශවලට දිගින් දිගටම හානි  සිදුවෙනවා. ව්‍යාපෘතිය අඛණ්ඩව සිදුවන නිසා විනාශයේ තරම තාම කියන්න බැහැ. ඒක රජයත් පිළිගෙන තියෙනවා. මේ නිසා මේ සටන තීරණාත්මක තැනකට ගේන්න අවශ්‍ය වෙලා තියෙනවා. එහි ආරම්භයක් ලෙස තමයි ස්වාධීන කණ්ඩායම් දෙක ඉදිරිපත් කරන්න තීරණය කළේ.
අරමුණ

පරිසරයත්, භූමියත් විනාශ වී යනවා. වනසතුන් වගේම ජනතාවත් අවතැන් වෙනවා. වනසතුන්ට පරිසරය අහිමි වෙනවා. ජනතාවට බීමට ජලය ගත් ළි‍ඳේ සිට සියලු දේපොළ අහිමිවෙලා තියෙනවා, අහිමි වෙමින් තියෙනවා. මේ තත්ත්වය උමාඔය ව්‍යාපෘතියට පමණක් සීමාවන දෙයක් නෙවෙයි. පොදුවේ සංවර්ධනය නාමයෙන් ක්‍රියාත්මක වන ව්‍යාපෘති හරහා මේ දේවල් සිදුවෙනවා. උමාඔය පදනම් කරගෙන ඇති බහු විනාශය මූලික කර ගනිමින් තමයි මෙම කණ්ඩායම් දෙක ඉදිරිපත් කළේ.
ස්වාධීන කණ්ඩායම් දෙක මැතිවරණයට ඉදිරිපත් වුණත් ඔවුන් සිදුකරන්නේ ඡන්දයක් යැයි සලකන්නේ නැහැ. අපි මෙය සලකන්නේ පාරිසරික සටනක් ලෙසයි. ඒක නිසා තේරී පත්වන සෑම මහජන නියෝජිතයෙකුම කටයුතු කරන්නේ පරිසරය රැකගැනීමේ මූලික අරමුණ පෙරදැරි කරගෙනයි. 

සංවර්ධනයේ නාමයෙන් සිදුවන පරිසර විනාශ

අතිවිශාල සංවර්ධන ව්‍යාපෘති බවට කතා කරන චීන වරාය නගරය සකස් කිරීමෙන් මහා පරිමාණ පරිසර විනාශයක් සිදුවනවා මෙන්ම සකස් කරන ලද හම්බන්තොට වරාය,  මත්තල ගුවන්තොටුපළ හා උමාඔය ව්‍යාපෘතිය ගත්තද, සිදුවන්නේ මහා පරිමාණ පරිසර විනාශයක්. ඒ වගේම ඌව වෙල්ලස්සේ උක්  වගා කිරීමට සැලසුම් කර තිබෙන අක්කර හැටදෙදහස් පන්සියයේ ව්‍යාපෘතිය ගත්තත් සිදුවන්නේ පරිසර විනාශයක්. මේවා සංවර්ධන ව්‍යාපෘති වුවත්, මෙමගින් සතාසිවුපාවට හා මිනිසාට විශාල බලපෑම් සිදුවෙනවා. මීට අමතරව ගස්කොළන් ටිකත් කුමන හෝ ආකාරයකට විනාශ වෙලා යනවා. මේ නිසා මේවාට සංවර්ධන ව්‍යාපෘති කියලා කියන්න බැහැ.

සංවර්ධන ව්‍යාපෘතිවල අතුරු ප්‍රතිඵල

සංවර්ධනයේ නාමයෙන් සිදුකරන සංවර්ධන කටයුතු නිසා වකුගඩු රෝගවලට ලක්වෙන්න ජනතාවට සිදුවෙලා තියෙනවා. ඒ වගේම ඩෙංගු ප්‍රශ්නය, කුණු කඳු ප්‍රශ්නය, නාය යෑම, නියඟය, ගංවතුර යන ව්‍යසනවලට මුහුණ දීලා සිටිනවා. මේ නිසා පාරිසරික විනාශය ගෙන එන පාලකයන්ට එරෙහිව පරිසර සටහන් අලුත් ආකාරයට සිදුකළ යුතුව තිබෙනවා. මෙහි ආරම්භයක් ලෙස උමාඔය සම්බන්ධයෙන් මෙතෙක් පැවැති සටන් වෙනත් ක්‍රමයකට ගෙනයන්න තීරණය කරලා තියෙන්නේ. මේ සඳහා දේශපාලන බලය අත්පත් කරගැනීම දක්වා මේ පාරිසරික සටන ගෙන යනවා. ලෝකයේ කිසිදු රටක පාරිසරික සටනක් දේශපාලන බලය අත්පත් කරගැනීම සඳහා ගමන් කර නැහැ. ඒත් අපි ඒක කරනවා.

පළාත් පාලන ආයතන දූෂිත ආයතන බවට නැගෙන චෝදනාව

පාර්ලිමේන්තුව තුළ, පළාත් සභා ආයතන හා පළාත් පාලන ආයතන තුළ දූෂිතයන් සිටින බවට නැගෙන චෝදනාවක්, පළාත් පාලන ආයතන ගත්තාම බහුතර පිරිසක් කොන්ත්‍රාත්කාරයො. එහෙම නැත්නම් උඩ ඉන්න දේශපාලඥයන්ට වංචා, දූෂණ කරන්න ඉණිමං සපයන්නන් සිටින තැනක් බවටත් පත්වෙලා තියෙනවා. මේ නිසා මෙම ආයතන පිරිසුදු කරන්න සැබෑ දේශපාලඥයන් වැඩි වැඩියෙන් අවශ්‍යයි. උමාඔය සටන වසර 10ක් කිරීම තුළ අපි අලුත් නායකත්වයක් ගොඩනැගුවා. ඔවුන් වැටුපකට, දීමනාවකට හෝ මන්ත්‍රීකමකින් නොවෙයි මේ සටනට දායක වුණේ. පරිසරයක් ආරක්ෂා කරගන්න හා මහජන පීඩාවට එරෙහිව ඒ නිසා අපේ අපේක්‍ෂකයන්ට ස්වේච්ඡාවෙන් වැඩ කිරීම ගැන උගන්වන්න දෙයක් නැහැ.
මේ අය මහජන නියෝජිතයන් බවට පත්කරලා පළාත් පාලන ආයතන දූෂිත වීමෙන් වළක්වා ගන්න ජනතාවට අවස්ථාව උදාවෙලා තියෙනවා.

ස්වාධීන කණ්ඩායම්වල ඡන්ද ව්‍යාපාරය සිදුවන ආකාරය

ලංකාවේ අනෙක් ප්‍ර‘දේශවලට වඩා මේ ප්‍ර‘දේශවල ජනතාව ගැටලු ගණනාවකට මුහුණ දීමට සිදුවෙලා තියෙන්නෙ. එතැනදී ජනතාවගේ මූලික අයිතිවාසිකමක් වන පානීය ජල අවශ්‍යතාව මේ ප්‍ර‘දේශයේ ජනතාවට නැහැ. තමන් පදිංචිව සිටි නිවාස පුපුරලා, ඉරිතළලා, විනාශ වෙලා තියෙන්නෙ. වගා කළ භූමිය විනාශ වෙලා පන්සල්, පල්ලි, කෝවිල්, පාසල්වලට වගේම මහා මාර්ගවලටත් හානි සිදුවෙලා තියෙන්නෙ. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ස්වයං රැකියා අහිමි වෙලා තියෙන්නෙ. අදාළ භූමි නාය යෑමේ අවදානමකට ලක්වෙලා තියෙන්නෙ. පළාත් පාලන ආයතන දෙකේ බලය ලබාගැනීම තුළින් මෙතෙක් සිදුකළ අරගලයට මන්ත්‍රීවරුන්, නගරාධිපතිවරුන් හා ප්‍රා‘දේශීය සභා සභාපතිවරුන් ලෙස සටනට බැහැලා මෙම ප්‍රශ්න නිරාකරණය කරදීම පිළිබඳ ජනතාව දැනුවත් කරනවා. මෙතැනදී අපි ජයග්‍රහණය කළාට පස්සේ සිදුකරන වැඩකටයුතු පිළිබඳ පත්‍රිකාවක සඳහන් කරලා ජනතාවට ලබාදෙන්න කටයුතු කරනවා.

තේරී පත්වූ පසු ලැබෙන වැටුප

මම නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණ තීරණය කරලා තියෙනවා තේරී පත්වන මහජන නියෝජිතයන්ගේ වැටුප එකතු කරලා දිස්ත්‍රික්කයේ සුභසාධන කටයුතුවලට යොදවන්න. මෙහිදී අදාළ වැටුප දිස්ත්‍රික් සංවර්ධන අරමුදලක් හදලා ඒක‍ට බැර කිරීම සිදුකරනවා. ඒත් බණ්ඩාරවෙල මහ නගර සභාවට හා ප්‍රා‘දේශීය සභාවට ඉදිරිපත් කරලා ඉන්න ස්වාධීන කණ්ඩායම් දෙක එවැනි තීන්දුවකට තාම ඇවිත් නැහැ. කොහොම වුණත් තේරී පත්වන මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කරලා ජනතා විමුක්ති පෙරමුණ ගෙනයන වැඩපිළිවෙළ හඳුන්වා දෙන්න කටයුතු කරනවා.

ප්‍රචාරක කටයුතු සිදුකිරීම

මැතිවරණ කොමිෂන් සභාවේ නීතිරීති අකුරටම පිළිපදිමින් කිසිදු මැතිවරණ නීතියක් උල්ලංඝනය නොවන ආකාරයට මැතිවරණ ප්‍රචාරක කටයුතු මෙන්ම ජනතාව දැනුවත් කිරීම සිදුකරනවා. මෙහිදී ස්වාධීන කණ්ඩායම් දෙකම පරිසර  රැකගැනීම සඳහා කටයුතු කරන නිසා ප්‍රචාරක  කටයුතු සඳහා කිසි ලෙසකින් පොලිතින් හෝ ප්ලාස්ටික් භාවිත කරන්නේ නැහැ කියන තීරණය අරගෙන තියෙන්නෙ.

ස්වාධීන කණ්ඩායම් දෙකේ අපේක්‍ෂක නියෝජනය

උමාඔය ව්‍යාපෘතිය නිසා අදාළ ප්‍රදේශවල ජීවත් වන සියලුම ජාතීන්ට අයත් ජනතාවට බලපෑම් ඇතිවුණා. දේශපාලන පක්‍ෂ ලෙස ගත්තත් සෑම පක්‍ෂයකම සාමාජිකයන්ට දේශපාලන භේදයකින් තොරව හානි සිදුවුණා. ඒ වගේම ආගම් භේදයකින් තොරවත් ජනතාවට හානි සිදුවුණා. අරගලයක් සිදුකළා, මේ සඳහා සියලුම දෙනා එකට එක්ව කටයුතු කළා. ඒත් මේ සටනට සහාය නොදුන්නේ එක්සත් ජාතික පක්‍ෂයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකයන් පමණයි. ඒ අය මේ විනාශයට සහයෝගය දැක්වූවා. ඒත් බිම් මට්ටමේ සියලුම දෙනා විනාශයට එරෙහිව සටන් කළා. මේ ආකාරයට සටන් කළ අය තමයි පක්‍ෂ භේදයකින් තොරව ස්වාධීන කණ්ඩායම් දෙක නියෝජනය කරන්නෙ.

ප්‍රචාරක වියදම

උමාඔයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් මෙම පිරිස් සටන් කළේ තමන්ගේ මුදල් යෙදාගෙන. එහෙම නැත්නම් විපතට පත්වූ ජනතාව ලබාදුන් ආධාර හා උපකාර මත. මේ නිසා පළාත් පාලන ආයතන ජයග්‍රහණය සඳහාත් අවශ්‍ය උදව් උපකාර ලබාදෙන්නේ ජනතාව. එහෙම නැත්නම් එම පිරිස් සතු මුදල්.

ස්වාධීන කණ්ඩායම් දෙක නිසා ජනතා විමුක්ති පෙරමුණට සිදුවන පාඩුව

අපේ පක්‍ෂය සෑම විටම ජනතාව වෙනුවෙන් කැපකිරීම් කරපු පක්‍ෂයක්. පීඩාවට පත්වූ ජනතාව වෙනුවෙන් අසාධාරණයට පත්වූ ජනතාව වෙනුවෙන් සටන් කරන්නේ අපි. ඒක නිසා ස්වාධීන කණ්ඩායම් දෙකට ඉඩ ලබාදී, පක්‍ෂයේ කණ්ඩායම් දෙකක් ඇතුළු නොකිරීමට ගත් තීරණයෙන් පක්‍ෂයට පාඩුවක් වෙනවා කියලා අප සිතන්නේ නැහැ. අපි කිසිලෙසකින් පටු දේශපාලන වාසියක් ගන්න කියලා සටන දියකර හැරීමට හෝ සටනට කඩා කප්පල් කිරීමට හෝ පීඩාවට පත් ජනතාවට පීඩා කරන්න සූදානම් නැහැ. අප පක්‍ෂය පළාත් පාලන ආයතන 311කට තරග කරනවා. මේ ආයතන දෙකට තරග කරලා ඒක 313ක් කරගන්න තිබුණා. බණ්ඩාරවෙල මහ නගර සභාවට හා ප්‍රාදේශීය සභාවට තරග කළා නම්, අපට බලයක් දෙන්නත් ජනතාව සූදානමින් සිටියා. ඒත් බොහෝ දේශපාලන කණ්ඩායම් කල්පනා කරන තත්ත්වයෙන් ඉදිරියට ගොස් තමයි මෙම තීරණය ගත්තෙ. අපේ පක්ෂයේ අය සතපහක වැටුපක් නොගෙන ජනතාවට සේවය කරණ අය.

මධ්‍යම ආණ්ඩුව නොමැතිව පළාත් පාලන ආයතනවලට වැඩ කළ නොහැකියි යන ප්‍රකාශය

ආණ්ඩුවේ පිරිස් නගන තර්කය සම්පූර්ණයෙන්ම අපි ප්‍රතික්‍ෂේප කරනවා. මොකද ආණ්ඩු බලයක් තියාගෙන, විධායක ජනාධිපති බලයක් තියාගෙන, පළාත් සභාවේ බලයක් තියාගෙන දියුණු කරපු එක පළාත් පාලන ආයතනයක් කියන්න කියලා ආණ්ඩුවට අපි කියනවා. අඩුම තරමින් කොළඹ නගරයේ කුණු ප්‍රශ්නය විසඳා ගන්න බැහැ. බණ්ඩාරවෙල ප්‍රා‘දේශීය සභා බලප්‍ර‘දේශයේ තියෙන මාතෘ හා ළදරු සායනවලදී තවමත් දරුවන්ගේ බර කිරන්නේ  ලී කැබැල්ලකට තරාදිය එල්ලලා. නිදහස අරගෙන අවුරුදු 70ක් වෙනවා. මෙහෙම තියාගෙන හදන්න බැරිවුණු දේවල් කොහොමද හදන්නේ කියලා තමයි ප්‍රශ්නය. අපට ආණ්ඩු බලයවත්, පළාත් සභාවේ බලයවත් නොමැතිව තිස්සමහාරාම ප්‍රා‘දේශීය සභාව අවස්ථා දෙකකදී බලය අරගෙන දියුණු කරලා පෙන්නුවා. ඒ ප්‍රා‘දේශීය සභාව රටටම ආදර්ශයක් ලබාදුන් පළාත් පාලන ආයතනයක් බවට පත්වුණා. ආණ්ඩු බලය නැතිව පළාත් පාලන ආයතනයක් දියුණු කරන්න බැහැ කියලා ආණ්ඩුව කියනවා නම්, පළාත් පාලන ආයතන වැඩක් නැහැ.  කෙළින්ම ආණ්ඩුවට පුළුවන්නේ පළාත් පාලන ආයතන දියුණු කරන්න. ආණ්ඩුව කොහේ තිබුණත් පළාත් පාලන ආයතනයකට ලැබිය යුතු වාර්ෂික ආදායමක් තියෙනවා. මීට අමතරව ප්‍රතිපාදන ප්‍රමාණයක් තියෙනවා. ලබාදිය යුතු සේවක සංඛ්‍යාවත් ලබාදිය යුතුයි. තේරී පත්වන කණ්ඩායම නිර්මාණශීලීව, බුද්ධිමත්ව, අවංකව වැඩ කරනවා නම් ඕනෑම කණ්ඩායමකට පළාත් පාලන ආයතන බබළවන්න පුළුවන්. ඒක නිසා තිස්සමහාරාම ප්‍රා‘දේශීය සභාව බැබළුණු ආකාරයටම බණ්ඩාරවෙල නගර සභාවත්, ප්‍රා‘දේශීය සභාවත් බබළවන්න කටයුතු කරනවා.

රට පුරා මෙම ක්‍රමය ව්‍යාප්ත කිරීම

ස්වාධීන කණ්ඩායම් දෙකෙන් තේරී පත්වන නියෝජිතයන් පළාත් සභා හා පාර්ලිමේන්තු මැතිවරණවලට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පරිසරයට ආදරය කරන, ජනතාවට ආදාරය කරන කණ්ඩායම්වලට මේ ආකාරයට දේශපාලනයට පැමිණිලා රටේ දේශපාලනය වෙනස් කිරීමට කටයුතු කළ හැකියි. මෙම කණ්ඩායම් දෙක ඒ සඳහා ආදර්ශයට ගත හැකියි. 



Recommended Articles