නව ව්‍යවස්ථාව සහ ව්‍යවස්ථාවෙන් බුදුදහමට හිමිවන තැන


යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා බුදුදහමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමිව තිබූ ස්ථානය අභියෝගයට ලක්ව ඇති බවට මේ දිනවල විවිධ පාර්ශ්ව රජයට චෝදනා කරයි. නමුත් රජයේ පාර්ශ්වයෙන් මේ සම්බන්ධයෙන් පිළිතුරු දෙමින් පවසන්නේ රටේ ඒකීයභාවයට හෝ බුදුදහමට තිබෙන ස්ථානය වෙනස් නොකරන බවය. යෝජිත නව ව්‍යවස්ථාව සම්බන්ධ අතුරු වාර්තාවක් අගමැතිවරයා විසින් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර, එය පදනම් කරගනිමින් නව ව්‍යවස්ථාව සම්පාදනය කරන බව එහිදී ප්‍රකාශ විය. අතුරු වාර්තාව ප්‍රකාශයට පත්වීමත් සමග ඉහත සඳහන් කළ කාරණා සම්බන්ධයෙන් දැඩි ලෙස කතාබහට ලක්වූ බැවින් එම කාරණා පිළිබඳ විමර්ශනය කර බැලීමට අපි අදහස් කළෙමු.


c1263c4ae040-1 copy

ඒ සඳහා මුලින්ම පවතින ව්‍යවස්ථාවේ සඳහන් වගන්ති, මහජන අදහස් විමසීමේ වාර්තාවේ නිර්දේශ සහ අතුරු වාර්තාවේ යෝජනා දෙස අවධානය යොමු කිරීම වැදගත් වනු ඇත.

පවතින ව්‍යවස්ථාව

දැනට පවතින ව්‍යවස්ථාවේ බුදුදහම පිළිබඳ 09 වැනි ව්‍යස්ථාවේ දක්වා ඇත්තේ, ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේය යනුවෙනි.

මහජන අදහස් විමසීමේ කමිටුව

නව ව්‍යවස්ථාව සඳහා මහජන අදහස් විමසීමට ලාල් විජේනායක කමිටුව පත් කළ අතර, රටපුරා අදහස් විමසමින් ලබාගත් තොරතුරු ඇතුළත් කර එම කමිටුව සකස් කළ වාර්තාවේ මේ සම්බන්ධ නිර්දේශ ඉදිරිපත් කර ඇත්තේ මෙසේය.


(01) කිසිම වෙනසකින් තොරව වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (ii වැනි පරිච්ජේදය) 09 වැනි ව්‍යවස්ථාව තබාගැනීම

(02) වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ii වැනි පරිච්ජේදයේ ශීර්ෂය බුද්ධාගම නොව ආගම් යනුවෙන් වෙනස් විය යුතු අතර, 09 වැනි ව්‍යවස්ථාව කිසිම වෙනසක් නොකර තබාගත යුතුය.

(03)  ශ්‍රී ලංකා ජනරජය සියලු ආගම්වලට සම තත්ත්වයක් දිය යුතුය. වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10 වැනි හා 14(1) (ඉ) ව්‍යවස්ථාවලින් සියලු ආගම්වලට ලබාදී ඇති අයිතීන් ආරක්ෂා කරමින් රාජ්‍යය, බුද්ධාගම හා බුද්ධශාසනය පෝෂණය කර ආරක්ෂා කළ යුතුය.

(04) ශ්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක් විය යුතුය.

(05) ජනතාවගේ ආධ්‍යාත්මික සංවර්ධනයට ආගමේ කාර්යභාර්ය පිළිගන්නා අතර, ශ්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක් විය යුතුය.

(6) ශ්‍රී ලංකා ජනරජය සියලු ආගම්වලට සමාන තත්ත්වයක් ලබාදිය යුතුය. යනුවෙන් සඳහන් කර තිබේ.

අතුරු වාර්තාව

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුව මගින් සම්පාදනය කළ අතුරු වාර්තාවේ මේ සම්බන්ධයෙන් යෝජනා දෙකක් අන්තර්ගත කර ඇති අතර, එහි දැක්වෙන්නේ මෙලෙසය.ශ්‍රී ලංකාව බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේය. එහෙයින්  10 වැනි ව්‍යවස්ථාවෙන් සහ 14 වැනි ව්‍යවස්ථාවේ (1) වැනි අනුව්‍යවස්ථාවේ (ඉ) ජේදයෙන් සියලුම ආගම්වලට පිරිනැමෙන අයිතිවාසිකම් ආරක්ෂා කරදෙන අතර, බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම විය යුත්තේය හෝ ශ්‍රී ලංකාව බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේය. එහෙයින් සියලු ආගම් හා විශ්වාසයන්ට ගෞරවයෙන් හා අභිමානයෙන් සලසමින් හා වෙන්කොට සැලකීමකින් තොරව සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහතික කර ඇති මූලික අයිතිවාසිකමක් සියලුම පුද්ගලයන්ට සහතික කරමින්, බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම විය යුත්තේය යනුවෙන් සඳහන්ය.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනයේදී මෙම කරුණු සියල්ලම සැලකිල්ලට ගනිමින් පාර්ලිමේන්තුවම එක්ව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කරන බවත්, මෙම වාර්තාව ඉදිරිපත් කරන අවස්ථාවේ ප්‍රකාශ විය.
එසේ වුවද මෙම වගන්ති සම්බන්ධයෙන් මේ වනවිට දැඩි කතාබහක් නිර්මාණය වී ඇත. ශ්‍රී ලංකාව අන්‍යාගමික රාජ්‍යයක් බවට පත් කරමින් රට අරාජික කිරීමට සූදානම් වන බවටද විවිධ පාර්ශ්වයන් චෝදනා කරන අතර, රජය එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.

imagesQGT7QTOG copy

බුද්ධශාසන කාර්යසාධක මණ්ඩලය

බුද්ධශාසන කාර්යසාධක මණ්ඩලය මෙම යෝජනා ප්‍රතික්ෂේප කරන අතර, එම යෝජනා හරහා බුදුදහමට ඇති ප්‍රමුඛතාව අහිමි කර ඇති බවද ප්‍රකාශ කරයි.තවද ‘ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේය' යනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැනට පවතින වගන්තිය වෙනස් කර ශ්‍රී ලංකා ජනරජය වෙනුවට ශ්‍රී  ලංකාව යන වචන ඇතුළත් කර තිබෙන බවද එමගින් බුද්ධාගමට රාජ්‍ය අනුග්‍රහය හිමි වීම ඉවත් කර තිබෙන බව ඔවුහු සඳහන් කර සිටිති.

මේ පිළිබඳ බුද්ධශාසන කාර්යසාධක මණ්ඩලය නිවේදනයක්ද නිකුත් කළේය.බුද්ධශාසන කාර්යසාධක මණ්ඩලයේ සභාපති දිවියාගහ යසස්සි නාහිමියන්ද, ත්‍රිකුණාමලයේ ආනන්ද, කොටුගොඩ ධම්මාවාස, ඉත්තෑපාන ධම්මාලංකාර සහ දොඩම්පහළ චන්ද්‍රසිරි යන මහ නාහිමිවරුන්ද, බෙල්ලන්විල විමලරතන අනු නාහිමියන්ද, වැලමිටියාවේ කුසලධම්ම, බලන්ගොඩ සෝභිත, අකුරටියේ නන්ද, මාතලේ ධම්මකුසල සහ කොටපොල අමරකිත්ති යන නාහිමිවරුන්, මහාචාර්ය අගලකඩ සිරිසුමන සහ සිරි වජිරාරාමයේ ඤාණසීහ යන හිමිවරු නියොජනය කරති.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට අනුබද්ධ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව පසුගිය සැප්තැම්බර් මස 21 වැනිදා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරිණි. මෙම වාර්තාව ඉදිරිපත් කළ අවස්ථාවේදී අගමැතිතුමා ප්‍රධාන රජය නියෝජනය කරන මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළේ නව ව්‍යවස්ථාව මගින් බුද්ධාගමට හිමි ප්‍රමුඛස්ථානය කිසිවිටකත් අහිමි නොකරන බවයි.

එහෙත් මෙම අතුරු වාර්තාවෙන් වර්තමාන 09 වැනි වගන්තිය වෙනුවට විකල්ප විධිවිධාන දෙකක් යෝජනා කර තිබේ.  ඉහතකී විකල්ප විධිවිධාන දෙකෙන් පළමුවැන්න වර්තමාන 09 වැනි වගන්තියට බොහෝ සෙයින් සමාන නමුත්, වර්තමාන ව්‍යවස්ථාවේ 09 වැනි වගන්තියේ ‘ශ්‍රී ලංකා ජනරජය' ‘ශ්‍රී ලංකාව’ යනුවෙන් වෙනස් කර ඇත. මෙම සංශෝධනය කර ඇත්තේ යටි අරමුණ ඇතිව බව පැහැදිලිය. බුද්ධාගමට ප්‍රමුඛස්ථානයදීම ශ්‍රී ලංකා ජනරජයේ වගකීමක් ලෙස වර්තමාන 09 වැනි වගන්තියේ දැක්වෙන්නේ ඒ සඳහා අවශ්‍ය රාජ්‍ය අනුග්‍රහය ලබාදීම සඳහාය.

‘ජනරජය' යන වචනය මෙම විධිවිධානයෙන් ඉවත් කර ඇත්තේ එම රාජ්‍ය අනුග්‍රහය ඉවත්කර ගැනීමට බව පෙනේ. දෙවැනි විකල්ප විධිවිධානයෙන් යෝජනා කර ඇත්තේ අනෙකුත් ආගම් වෙනස් ලෙස නොසැලකිය යුතු බව සහතික වීමටය. අනෙක් ආගම්වලට වෙනස් ලෙස බුද්ධාගමට නොසලකා බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබාදිය නොහැකිය.

මෙය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙන 09 වැනි වගන්තිය අර්ථ ශුන්‍ය කිරීමට ගත් උත්සාහයක් බව පැහැදිලිය. එහෙයින් වර්තමාන ව්‍යවස්ථාවේ බුද්ධාගමට හා අනෙකුත් ආගම්වලට අදාළ වන වගන්ති කිසිදු අයුරකින් වෙනස් නොකරන ලෙස අපි දන්වා සිටිමු යනුවෙන් නිවේදනයේ සඳහන්ව තිබේ. බෞද්ධ මහා සම්මේලනයද වරෙක මාධ්‍ය හමුවක් කැඳවමින් මෙම කරුණුම ප්‍රකාශ කරන ලද්දේය.

එමෙන්ම තවත් කණ්ඩායම් අතුරු වාර්තාව සම්බන්ධයෙන් පැහැදීමෙන් කතා කරන අතර, රටක ඉදිරි ගමන වෙනුවෙන් වැදගත් තීරණ රැසක් ගෙන ඇති බවය.කෙසේ වෙතත් මෙම අතුරු වාර්තාව පිළිබඳ ව්‍යවස්ථා මෙහෙයුම් කමිටු විවාදය යෙදී ඇත්තේ මේ මස 30, 31 සහ නොවැම්බර් මස 01 වැනිදාටය. එම විවාදයේදී මෙන්ම ඊට ප්‍රථමද මෙම ගැටලු සහගත ස්ථාන පිළිබඳ ආණ්ඩුව පිළිතුරු ලබාදෙන්නේ නම් එය යහපත් වනු ඇත.

ව්‍යවස්ථාවක් සකස් කළ යුත්තේ කෙටි කාලයකින් සංශෝධනය කරන ආකාරයට නොවන අතර සියලු පාර්ශ්වයන්ට ඇහුම්කන්දී සැමට වැඩදායී, රටට වැඩදායී ව්‍යවස්ථාවක් සැකසේ නම් එය රාජ්‍යයේ ඉදිරි ගමනට වඩා යහපත් වේ. නව ව්‍යවස්ථාව පිළිබඳ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාවේ බුදුදහම පිළිබඳ යෝජනා සම්බන්ධයෙන් භික්ෂූන් වහන්සේලා කිහිප නමකගෙන් අපි අදහස් විමසූ අතර, එම අදහස් පහතින් දක්වා තිබේ.

Main image copy

ජනතාවට බිල්ලෝ මවනවාට වඩා කරුණු සාකාච්ඡා කිරීමයි වැදගත් - දඹර අමිල හිමි

නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ඉදිරිපත් කරලා තියෙන්නේ අතුරු වාර්තාවක් පමණයි. ව්‍යවස්ථා කෙටුම්පතක් තවම ඉදිරිපත් කර නැහැ. ඒ නිසා අතුරු වාර්තාවේ තිබෙන්නේ අවසාන කාරණා නෙවෙයි. ලාල් විජේනායක කමිටුව මහජන අදහස් විමසා වාර්තාවක් සකස් කළා. එයට සිංහල, දෙමළ, මුස්ලිම්, බෞද්ධ, කතෝලික, ඉස්ලාම් මේ හැමෝගෙම අදහස් ඒ වාර්තාවට ඇතුළත් වෙලා තිබෙනවා. ඊටපසුව පාර්ලිමේන්තුව සම්පූර්ණයෙන්ම ව්‍යවස්ථාදායක සභාවක් බවට පත්කරලා කටයුතු කරගෙන යනවා.

ඒ තුළ මෙහෙයුම් මණ්ඩලයක් තිබෙනවා. අතුරු කමිටු තිබෙනවා. මේ සියල්ලගෙන්ම වාර්තා සකස් කර තිබෙනවා. මේ සියලු ආකාරයෙන් ලබාගත් අදහස් අතුරු වාර්තාවට එක්කර තිබෙනවා. මේ නිසා මෙය අවසාන වාර්තාවක් නොවෙයි. ඒ නිසා මේ වාර්තාව පිළිබඳ හැමොටම අදහස් දක්වන්න පුළුවන්. දැන් මහජන නියෝජිතයන්ට වගේම හැමෝටම අදහස් දක්වන්න පුළුවන්. ඒ වගේම අතුරු ව්‍යවස්ථාවේ අන්තර්ගතය පෙන්නලා රටට වැරදි චිත්‍රයක් පෙන්වන්න හොඳ නැහැ. මොකද මෙය තවදුරටත් වෙනස් කරගන්න අපට පුළුවන්. ඒ නිසා ජනතාවට බිල්ලො මවනවාට වඩා කරුණු ගැන පුළුල් සාකච්ඡාවක් සිදුකිරීම යහපත්.

 

සැක සහිත වගන්ති අතුරු වාර්තාවේ තිබෙනවා - මැදගම ධම්මානන්ද හිමි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් කරනවාද අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍යද කියන එක මහජනතාව තීරණය කරනවා නම් අපට ගැටලුවක් නැහැ. වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අපට ලැබුණු සුවිශේෂී තත්ත්වයන් තිබෙනවා. නමුත් මෙම අතුරු වාර්තාව තුළ ඒකීය වචනය සමග 'ඔරුමිත්ත නාඩු' යන දෙමළ වචනයක් ඇතුළත් කර තිබෙන්නේ ඇයි කියන ගැටලුවක් තිබෙනවා.

 බුද්ධාගම සම්බන්ධ වගන්තියට ඇතුළත් කර තිබෙන විකල්ප යෝජනා පිළිබඳ සැලකීමේදී ශ්‍රී ලංකාව බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේය කියලා ඇතුළත් කරලා ජනරජය කියන වචනය ඉවත් කිරීම ගැටලු සහගතයි. මොකද මේක නිකම්ම නිකම් වචනයක් විතරයි. ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේය කියලා තිබුණොත් විතරයි වගකීමෙන් බැඳෙන්නේ. දෙවැන්න මන්ත්‍රණ සභාවක් සෑදීමෙන් පාර්ලිමේන්තුවේ බලතල අඩුවෙනවා කියලා පෙනෙනවා.

මේ නිසා මේ කාරණා සම්බන්ධයෙන් අපේ කුකුසක් තිබෙනවා. බුද්ධාගම සම්බන්ධ වගන්තිය පිළිබඳ අපි වරින්වර විග්‍රහ කර තිබෙනවා. මේ ආකාරයට සැක සහිත තැන් අතුරු වාර්තාවේ තිබෙනවා. අපි මේවා කියන්නේ අන්තවාදීව හෝ කාගේවත් වුවමනාවට නොවෙයි. බුද්ධ ශාසනය රකින්නට අපි වගකීමෙන් බැඳී සිටිනවා. ඒ නිසා අපි කියන දේවල් විවිධ කෝණවලින් බලලා දේශපාලනය එක්ක දකින්න පුළුවන්. නමුත් අපි කියන්නේ අපේ වගකීම ගැනයි.

 

ආගම රාජ්‍ය පාලනයට කිසිදවසක එකතු නොවිය යුතුයි - සිරි සමන්තභද්‍ර හිමි

මම දරන අදහස තමයි කිසි දවසක ආගම රාජ්‍ය පාලනයට එකතු නොවිය යුතුයි කියන දේ. රජය රාජ්‍ය පාලනය නිදහසේ කරගෙන යන්න අවශ්‍යයි. ආගම්වල ඉන්න අය ඒවා නිදහසේ කරගෙන යන්න අවශ්‍යයි. මේ දෙගොල්ලෝ එකතු වුණොත් එතැන තියෙන්නේ යටිකූට්ටු වැඩ ගොඩක්. මුළු රටම විනාශ වෙනවා. ආගම්  පාලනයයි, රාජ්‍ය පාලනයයි දෙගොල්ලෝ, දෙපැත්තේ ඉඳගෙන කරගෙන යාමයි හැමදාම විය යුත්තේ. යම් රටක යම් තැනක ආගමයි, රාජ්‍යයයි එකතු වුණොත් ඒ රට විනාශයෙන් විනාශයට පත්වෙනවා. අපි දැකලා තියෙනවා යුරෝපයේ රාජ්‍ය පාලනය වෙනම යනවා, ආගම වෙනම තියෙනවා. ආගම කියන දේවල් පාලකයෝ අහන්නේ නැහැ. පාලකයෝ නිදහසේ තීරණ ගන්නවා. ඒ නිසා ඒ රටවල් දියුණූ වෙනවා. අපේ එහෙමද? නැහැනේ. ඒකයි අපේ රට එකම තැන තියෙන්නේ. 

 
 


Recommended Articles