ජයග්‍රහණය කෙසේ වෙතත් ගිය වතාවට වඩා අපි හොඳ සටනක් දෙනවා


පවතින වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අප සමග සංවාදයට එක්විය. එම සටහන පහතින් දැක්වේ.


Basil-Rajapaksa

Q ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂ දෙක වෙන් වෙන්ව මැතිවරණයට ඉදිරිපත් වී සීටීමෙන් පොදුජන පෙරමුණට වාසියක් වුණා නේද

ජනාධිපතිවරයා රඟපෑම් කරමින් ඉන්නවා. කැබිනට් එකේදිත් එයා පොඩි රඟපෑමක් දාලා තිබුණා. ජාතික ආණ්ඩුවක් තිබියදී සුප්‍රිම් උසාවියෙන් මත විමසුමක් සිදු කිරීමට පෙර අඩු ගාණේ අගමැතිවරයා හෝ කැබිනට් එක දැනුම්වත් කරන්න ඕන. යූඑන්පීය, ශ්‍රීලනිපය අතර ගිවිසුමක් තිබියදී ඒවා අමතක කර ඊළඟ දවසේ පත්තරවල හෙඩ්ලයින් ගත්තා හයක් පුළුවන්ද කියා. ඉන්පසුව විවිධ කතා ඇහෙන්න ගත්තා. 
පසුගිය කාලයේදී සනත් නිශාන්තට විනය පරීක්ෂණයක් පවත්වලා නායකත්වය විවේචනය කරන්න බැහැ කියලා මතවාදයක් ගොඩනැගුවා. ඒකාබද්ධ විපක්ෂයේ අයට එම තහනම තිබෙනවා. ඒ නිසා කාටවත් මෛත්‍රීව විවේචනය කරන්න බැහැ. මෛත්‍රීව  විවේචනය කරන්න පුළුවන් කට්ටියක් එක පාරම මතුවුණා. ඒකනේ දිලිප් වෙදආරච්චි කියලා තිබුණෙ එයාගේ පක්ෂයේ අයට විනය දැම්මට අපට ඒවා කරන්න බැහැ කියලා. අද රනිල් කියනවා මෛත්‍රීව විවේචනය කරන්න එපා කියලා. එතකොට මෛත්‍රී තනිකරම යන්නේ විවේචනයෙන් තොර එක්කෙනෙක් විදියට. කොහොම කොහොම හරි ජාතික මාධ්‍යටත් එයා සෘජුවම මැදිහත් වෙනවා. සෝෂල් මීඩියා විතරයි එයාට විරුද්ධව දැනට කතා කරන්නේ. ඒක හොඳයි නිර්පාක්ෂිකව දේශපාලනිකව හිටියා නම්. ගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී එහෙම ඉන්නවා කියලා අපට යටින් ගැහුවා. දැන්  එයා වේදිකාවල යනවා. කොයි පක්ෂයට වුණත් එයාව විවේචනය කරන්න ඉඩ දෙන්න ඕන. යූඑන්පී එකයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි වේදිකා දෙකක නගිනවා නම් මුලින්ම එකඟත්වයකට එන්න තිබුණා ආණ්ඩුවේ හිටියට අපි විවේචනය කර ගන්නවා කියලා. ඒක කවුරුවත් පෙන්නන්නේ නැහැ.
ආණ්ඩුවේ ඉන්න ශ්‍රී ලංකා එකයි, යූඑන්පී එකයි දෙගොල්ලෝ දැන් වෙනම තරග කරනවා. කට්ටියක් කියනවා ශ්‍රී ලංකා එක දෙකට බෙදීම නිසා යූඑන්පී එකට වාසියක් වෙලා කියලා. තව කට්ටියක් කියනවා ආණ්ඩුව දෙකට බෙදීම පොහොට්ටුවට වාසියි කියලා. ආණ්ඩුවේ අය හැම පනතකටම, අයවැයට තුනෙන් දෙකක් ඡන්දය දෙනවා. හැබැයි අද මැතිවරණ වේදිකාවේ දෙගොල්ලෝ වෙන්වෙලා ඉල්ලනවා. ඔය මතවාද දෙකේම යම්කිසි සත්‍යතාවක් තිබෙනවා. ගමට ගියාම මිනිස්සුන්ට පේන්නේ ශ්‍රී ලංකා එක දෙකට බෙදිලා වගේ. කොළඹ වැනි නගරබදව පෙනෙන්නේ ආණ්ඩුව දෙකට බෙදිලා වගේ. ආණ්ඩුව දෙකට බෙදිලා කිව්වොත් අපට වාසියි. එතකොට අපි විතරයි විපක්ෂයේ ඉන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට බෙදිලා කියන එක අපට අවාසියි. පොඩි පොඩි බෙදීම් තිබෙන නිසා පිරිසක් මුවාගෙන් ඉල්ලනවා, තව පිරිසක් රොකට් එකෙන් ඉල්ලනවා. ඒ වගේම යූඑන්පී එකෙත් එවැනි බෙදීම් තිබෙනවා. මොනරගෙන් ඉල්ලනවා. සාම සන්ධානය කියලා ඉල්ලනවා. කෝට්ටේ හර්ෂයි, රවියි දෙන්නා වෙනම  කණ්ඩායම් දාලා තිබෙනවා.

බුලත් කොළය සහ අත ලකුණ යෙදූ පෝස්ටර්වලට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඡායාරූපය යෙදීමෙන් අවාසියක් වුණා නේද

දැනට ලොකු අවාසියක් තිබෙනවා. මිනිස්සු කියනවා  මහින්ද මහත්තයාගේ පින්තූර දාපූ අය පොහොට්ටුවෙන් ඉල්ලනවා. බුලත් කොළයට දාලා තියෙනවා. මුවාගෙන් ඉල්ලන කණ්ඩායමක් තියෙනවා. තවත් කණ්ඩායමක් දාලා තියෙනවා. ඒ විදියට මහින්ද මහත්තයාගේ පින්තූර කාර්යාල හතරක දාලා තියෙනවා. පැහැදැලිව සමහර තැන්වල එළිපිට තුනක් නම් ඉන්නවාමයි. ඒ අය කියනවා පොහොට්ටුවෙන් බැරිවුණු නිසා රොකට්ටුවෙන් මහින්දට සහාය දෙනවා කියලා. මෙතන ජනප්‍රියම පුද්ගලයා හැටියට ඉන්නේ මහින්ද මහත්තයා. පක්ෂය කෙසේ වෙතත් බුලත් කොළයෙන් ඉල්ලනවා, සමහර තැන්වල යූඑන්පීකාරයොත් කියනවා මහින්ද මහත්තයා හොඳයි කියලා. කවුරුවත් මෛත්‍රීගේ පින්තූරය ගහන් නෑ. රනිල්ගේ පින්තූරය ගහන් නෑ. අඩුගානේ බුලත් කොළයෙන් ඉල්ලන ශ්‍රී ලංකා කට්ටියවත් මෛත්‍රීගේ පින්තූරයට උනන්දුවක් නැහැ. කාර්යාලවල නායකයාගේ පින්තූරය ගහන්න බැහැ කියලා නීතියක් ආවා. අපේක්ෂකයෝ විතරයි ගහන්න පුළුවන්. නමුත් මැතිවරණ කොමිසමේ පැවැති පක්ෂ ලේකම්වරුන්ගේ රැස්වීමේදී ඒ ගැන අවධානය යොමුකළේ අපි විතරයි. අනිත් කට්ටියට ඒක ප්‍රශ්නයක් නැහැ. රනිල්ගේ පින්තූරය නැහැ කියලා යූඑන්පී අයට ගැටලුවක්  නැහැ. කවුරුවත් මෛත්‍රීගේ පින්තූරය නැහැ කියලා උනන්දුවක් දැක්වූයේ නැහැ.

මේ විදියට ගියොත් ඡන්දදායකයා ඡන්දය ප්‍රකාශ කරද්දි ලකුණ මාරුවෙන එකක් නැද්ද?

ඡන්ද පත්‍රිකාව අනුව බැලීමේදි පෙනී යන දෙයක් තමයි ශ්‍රීනාත් පෙරේරාගේ ජාතික ජනතා මධ්‍යස්ථානයේ බල්බය ලකුණ තමයි ලොකුම ප්‍රශ්නයකට තියෙන්නේ. බල්බ් එකයි පොහොට්ටුවයි එක ළඟ තියෙන්නේ. බුලත් කොළය හුගක් උඩින් තියෙන්නේ. ඊළඟට අලියා, අනතුරුව කෙසෙල් ඇවරිය එනවා. මේ පාර ඡන්දය ලෙස කතිරය ගහන්න ඕන. රවුමක් හරියක් දැම්මොත් අවලංගු වෙනවා. ලකුණ උඩින් සටහන් කළත් වැරදියි කියලා. මේ තීරණය සම්පූර්ණයෙන් වැරදියි. බල්බ් එක උඩි අතට තියෙන විදියට පත්‍රිකාවේ මුද්‍රණය කරලා තියෙන්නේ. හරියට පේන්නැති කෙනෙකුට පොහොට්ටුවයි, බල්බ් එකයි පැටළෙනවා. මටත් කණ්ණාඩි දෙක ගැලෙව්වාම හරියට හිතාගන්න බැහැ. බල්බ් එක අනිත් පැත්තට හැරෙව්වා නම් ප්‍රශ්නයක් නැහැ. දැන් ගැසට් කරලා ඉවරයි. අපි මේකට විරුද්ධව කොමිසමේදී අදහස් පළ කළා. ඊළඟ පාර ඡන්දෙදි අනිත් පැත්ත හරවනවා කියලා ඒ අය කිව්වා. හොඳ වෙලාවට හැම තැනටම බල්බ් එක ඉල්ලන් නෑ.‍

මැතිවරණයට තවත් සති තුනකට අඩු කාලයක්  තියෙන්නේ. ඒකාබද්ධ පොදුජන පෙරමුණේ මැතිවරණ  ව්‍යාපාරයේ ඉලක්ක සම්පූර්ණ වෙලාද

අපේ ප්‍රධානම ඉලක්කය ගිය මහ මැතිවරණයේදී ගත්ත ඡන්ද ප්‍රමාණය කවර් කරගන්න එක. ඒ වගේම ගියපාර ඡන්ද පාවිච්චි නොකළ ජනතාව ඡන්ද පොළට ගෙනියන එක.
ජනවාරි 08 වැනිදා නොයෙක් හේතු නිසා අපෙන් ගිය පිරිසක් හිටියා. ඒ පිරිස නැවත අපට එකතු කරගත යුතුයි. අපි පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කරපු ඡන්ද ටික ලැබුණොත් ප්‍රාදේශීය සභා දිනිය හැකියි. 95෴ක් විතර එම ප්‍රමාණය තිබුණු විදියටම තිබෙනවා. ගිය පාර අපිත් එක්ක දුමින්දලා, මනූෂලා, ලක්ෂමන් යාපලා, එස්බීලා, සුදර්ශනිලා වගේ කට්ටිය හිටියා. ඒ විදියට අපි ලක්ෂ 48ක් ගත්තා. පැරදිලා ලැයිස්තුවෙන් ආපු අයගේ ප්‍රදේශවල බලපෑමක් නැහැ. හැබැයි මහින්ද මහත්තයගේ නම පාවිච්චි කරලා දිනපු කට්ටිය ඉන්න ප්‍රදේශ ගැන තමයි අපි වැඩි අවධානයක් යොමුකර තිබෙන්නේ. සමහර තැන්වල ඒ අය බලය තියාගන්න උත්සාහ කරනවා. සමහර ඇමතිවරුන්ට ලැබී තියෙන අමාත්‍යාංශවලින් රැකියා ලබාදෙන්න පුළුවන් නිසා බලයක් තියාගන්නවා ඇති. මේ දවස්වල විදුලිබල මණ්ඩලය වැනි ආයතනවල සම්මුඛ පරීෂණ සඳහා කැඳවනවා. එවැනි අය සිටින ප්‍රදේශ හයක් විතර අපි හඳුනාගෙන තියෙනවා. ඒ වගේ තැන්වලට අපි වැඩි බරක් යොදා තිබෙනවා.

ඉතිහාසය පුරා එක්සත් ජාතික පක්ෂයට බලය ලැබුණු කොළඹ මහ නගර සභා‍ෙව් බලය ලබාගත හැකි මට්ටමක තිබෙනවාද

ජයග්‍රහණය කෙසේ වෙතත් ගිය වතාවට වඩා අපි හොඳ සටනක් දෙනවා. ලිස්ට් එකේ හොඳ පිරිසක් ඉන්නවා. යූඑන්පී එකට තනියෙන් මේ පාර බලය පිහිටුවන්න ලැබෙන්නැහැ. පළමු වතාවට යූඑන්පී එකට පැහැදිලි ජග්‍රහණයක් ලැබෙන්නැති වෙනවා ෂුවර් එකටම. මනෝ ගනේෂන්ලා වෙනම ඉල්ලනවා. මුස්ලිම් පක්ෂ තුනක් වෙනම ඉල්ලනවා. යූඑන්පී එකේ හිටපු නියෝජ්‍ය නගරාධිපති අසාද් සාලි 
ශ්‍රී ලංකා එකෙන් ඉල්ලනවා. රවිගෙ ටිකක් ඉන්නවා. එයත් කකුලෙන් ඇදිල්ලක් කරනවා. යූඑන්පී එකට මුස්ලිම් හා දෙමළ ඡන්ද ටික නොලැබී ගියොත් තනියෙන් පිහිටුවන්න අපහසුයි. මන්ත්‍රීවරු 110න් අපට මන්ත්‍රීවරු 40කට වඩා ලබාගන්න පුළුවන් මට්ටමක තිබෙනවා. පැහැදිලිව කවුරුවත් දිනන්නෑ. නගරාධිපති තෝරන්න වෙන්නේ රහස් ඡන්දයෙන්. එහෙම වුණොත් යූඑන්පී එකට ලොකුම පරාජයක්.
මම ෆයිස්ර්ගේ, ෆවුසිගේ, කැම්පේන් මීට පෙර කළා. තිලංගගේ කළා. කවදාවත් නොදැක්ක විදියට ග්‍රෑන්ඩ්පාස්, ඛෙත්තාරාම මේ වතාවේ අපි කාර්යාල දැම්මා. ඒවා යූඑන්පී බලකොටු. අපට කොට්ඨාස 46න් 10ක් විතර පැහැදිලිව දිනන්න පුළුවන්. ඒවායේ බහු ආසන තියෙනවා. උතුරු කොළඹත් අපට වාසි කොට්ඨාස කිහිපයක් තියෙනවා. දෙමටගොඩ අපට හොඳයි. නැගෙනහිර කොළඹ හා බොරැල්ල අපි දිනනවා.

ඒකාබද්ධ විපක්ෂය කොතෙක් චෝදනා කළත් ආණ්ඩුව ලාභ උපයා ඇතැයි පසුගියදා ප්‍රකාශ වුණා නේද

පොන්නි සම්බා ඉල්ලවාම මෙහාට එවන්නේ වෙන එකක්. ඒ එන එක ඩොලර් 16ක් අඩුයි. සම්පූර්ණ තොගයෙන් ඩොලර් මිලියන 1800ක් එම වෙනස. ඒ විදියට ලොකු වංචාවක් යනවා. මිනිස්සුන්ට වැඩියෙන් බලපාන්නේ ජීවන වියදම. ඊළඟට රටේ සංවර්ධනය. ඒ අතින් අපි ඉහළින්ම හිටියා. ගොවියගේ ආදායම වැඩි වුණා. ගෘහ කර්මාන්තවල ආදායම වැඩි වුණා. මේ ආණ්ඩුව ආපු වෙලාවේ මේ සියලුම ආදායම්  අඩු වුණා. අනිත් පැත්තෙන් වියදම අඩුවෙනවා. ආණ්ඩුව නියමිත වෙලාවට තීරණ නොගැනීම නිසයි මේ වගේ තත්ත්වයක් ඇති වුණේ. ගල් අඟුරු ටෙන්ඩර් ගැටලු නිසා විදුලි අර්බුදයක් ඇති වුණා. හොඳට පැය 24ම විදුලිය තිබුණු රටක් අපි බාරදුන්නේ. අවුරුද්දක් යන්න ඉස්සෙල්ලා විදුලිය කැපුවා. තනිකරම චම්පිකගේ වැරදි නිසා එහෙම වුණේ. විදුලිබල ඇමති කාලයේ එයාට ඕන වුණා ලාභයක් පෙන්වන්න. එයා ගල් අඟුරු ඕඩර් කළේ නැහැ. ඒ අනුව හය මාසයක් ගල් අඟුරු මිලදී ගත්තේ නැහැ. ඒක හරියට තෙල් ටැංකිය පුරවලා ට්‍රයිෂෝ එකක් මිනිහෙකුට උදේ ගෙනියන්න දුන්විට  හවස ආපසු දෙනකොට ටැංකිය පුරවලා  බාරදෙන්න ඕන වගේ වැඩක්. එතකොට එදාට හම්බ කරන ගාණ හරි. එක දවසක් ටෑන්ක් ෆුල් අරන් ගිහින් තෙල් ගහන්නැතිව දුන්නොත් එම සල්ලි ටික අතේ ඉතුරුයි. ඒක ලාභයක් වගේ පේනවා. ඒක තමයි මේ ආණ්ඩුවත් කරන්නෙ. ඒ විදියට හය මාසයකට පෙර ගෙනාපු ගල් අඟුරු තොගයෙන් දුවලා ඉවර වෙලා ගල් අඟුරු නොගෙන ඉඳලා පාඨලී ලාභයක් තියෙනවා කියලා පෙන්නුවා. එයා හැමදාම කරන්නේ ඕක. අරගන්නවා, ටික දවසක් කරලා, දැන් කරන්න තියෙන ඒවා නොකර ඉඳලා ශේෂ පත්‍රයේ මුදල් ඉතුරු වෙලා කියනවා. මුදල් අමාත්‍යාංශය විදයම් අඩු කරලා කියලා බොරු කියනවා. ඒ විදියට ඉන්ධන ටික බෙදාහරින්න බැහැ. පොහොර ටික බෙදාහරින්නෑ.

ජාතික ආණ්ඩුවේ අනාගතයට කුමක් වේවිද 

බහුතරයක් නැතිව අගමැතිවරයෙක් පත් කළාම ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම උල්ලංඝනය වෙනවා. ව්‍යවස්ථානුකූලව අයින් කළ අගවිනිසුරු නැවත ගේන්න පුළුවන් නම්, එතනින් පස්සේ ලංකාවේ ව්‍යවස්ථාවක් නැහැ. හුඟක් අය කියනවා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව අගමැතිවරයා ඉවත් කරන්න බැහැ කියලා. ඒක ඉවත් කළොත් මෛත්‍රී මොකද කරන්නේ? ඒ පූර්වාදර්ශය දීලා ඉවරයි. 47ක් ඉන්න රනිල්ව අගමැති කළා නම් නීත්‍යනූකූල අගවිනිසුරු ඉවත් කරන්න පුළුවන් නම්, අයින් කරපු කෙනාව ගේන්න පුළුවන් නම් එතන ඉඳලා ව්‍යවස්ථාවක් දැන් නැහැ. 19 නෙවේ 18වත් තිබුණේ නැහැ අගවිනිසුරු අයින් කරන්න පුළුවන් කියලා. 18දී වුණේ වැඩි කැමැත්ත තියෙන කෙනා අගමැති හැටියට පත් කරන්න ඕන. විධායකය විසින් ව්‍යවස්ථාවට පිටින් ව්‍යවස්ථාදායකයි, අධිකරණයයි අයින් කළාට පස්සේ ව්‍යවස්ථාදායකයට බලයක් නැහැ. රනිල් දැන් කයිය ගහනවා. රනිල් දන්නවා ෂුවර් එකට මේ මනුස්සයා ඕනෑ නම් හෙට අයින් කරනවා කියලා. ඒකයි කැබිනට් එකේදී පස්සෙ ගිහින් ෂේප් වුණේ. හෙට රනිල්ව අයින් කළොත් මොකද වෙන්නේ කියලා කල්පනා කරලා බලන්න. මොකද්ද රනිල්ට කරන්න පුළුවන්? රනිල් අගමැතිකමින් අයින් කළොත් යූඑන්පී එකේ දහදෙනෙක් රනිල්ට ඉතුරු වෙන්නෑ. ගොඩක් දෙනෙක් අනිත් පැත්තේ ඉන්නේ. 



Recommended Articles