Q එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 96 දෙනා ආවොත් හෙට වුණත් ආණ්ඩුවක් පිහිටුවන්න සූදානම් කියලා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් දවසක කිව්වා. ඇත්තටම මහ ඇමතිතුමා එහෙම ආණ්ඩුවක් පිහිටුවන්න පුළුවන්ද
අපි නිතරම උත්සාහ කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් හදන්න තමයි. ජනාධිපතිතුමා නිතරම වෙහෙසෙන්නේ ඒ සඳහායි. පසුගිය කාලය පුරා ජනාධිපතිතුමා සිදුකළ ප්‍රකාශවලින් ජනතාවට එම කරුණ පැහැදිලි වෙන්න ඇති. නමුත් ඒකාබද්ධ විපක්ෂය ඉතාමත් ප්‍රෝඩාකාරී වැඩපිළිවෙළක් අනුගමනය කරමින් ඉන්නේ. ඒ අයට අවශ්‍ය වී තිබෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩා බිඳ දමා එක්සත් ජාතික පක්ෂයට ජය ගැනීමට අවශ්‍ය පාර හදාදෙන්නයි. එක උදාහරණයක් මම කියන්නම්. පොහොට්ටුවට පැහැදිලිව මහරගම නගර සභාව ජයග්‍රහණය කරන්න බැරි බව දැන දැනත් එයාලා බයිසිකලය ලකුණින් ස්වාධීන කණ්ඩායමක් දාලා තියෙනවා. දිනේෂ් ඇමතිතුමා කියනවා පොහොට්ටුවට දෙන්න හිටිය ඡන්දෙ බයිසිකලයට දෙන්න කියලා. නමුත් ඒ අයට තිබුණෙ බුලත් කොළයට ඡන්දේ දෙන්න කියන්න. ඒක සිද්ධ වුණේ නැහැ. එහෙම වෙන්න හේතුවක් තිබෙනවා. ඒ ගොල්ලන්ට රෑට රෑට ඩීල් එකක් තිබෙනවා. එයාලා රෑට රෑට එක්සත් ජාතික පක්ෂයේ නායකයන් හමුවෙලා සාකච්ඡා කරනවා. ඒකාබද්ධ විපක්ෂයේ කට්ටිය සමග එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් හදන්න කුමන්ත්රණයකුත් මේ රටේ ක්‍රියාත්මක වෙනවා. මෛත්‍රීපාල ජනාධිපතිතුමා කිව්වෙ දැන් බෙදිලා ඉන්න කණ්ඩායම් එකතු කරගෙන තමයි තනි ශ්‍රී ලංකා ආණ්ඩුවක් හදන්නේ කියලා. ඒක වැරදි කතාවක් නෙමෙයි.
එක්සත් ජාතික පක්ෂය දිනෙන් දිනම ජනතාව අතරින් ප්‍රතික්ෂේප වෙමින් යන පක්ෂයක් බවට පත් වෙමින් තිබෙනවා. පසුගිය අවුරුදු තුනක් වැනි කෙටි කාලයේදී ඒක පැහැදිලි වුණා. ඒ නිසා රටේ උගතුන්, බුද්ධිමතුන්, පාක්ෂිකයන් ඇතුළුව වෙනසක් වෙනුවෙන් අගමැතිවරයාට සහාය පළ කළ සියලු දෙනා කියන්නෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැදිහත් වී වෙනසක් කරන්න ඕන කියලා අපි ආණ්ඩුවක් හදන්න නම් පළමුවෙන්ම කරන්න ඕන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් 96 දෙනා එකතු වෙන එක. ඒ සඳහා තමයි ජනාධිපතිතුමා ආරාධනා කළේ. මේක ජනාධිපතිතුමාගේ තනි මතයක් නෙමෙයි. මේ රටට ආදරය කරන සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේ මතයක් තමයි එතුමා ඉදිරිපත් කළේ.
Q වර්තමාන ආණ්ඩුවේ අගමැති ධුරය දරන්නේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් පිහිටුවීම ජනාධිපතිවරයාගේ අදහස නම් අලුත් අගමැතිවරයෙක් පත් කරගැනීමට සිදුවෙනවා. එවැනි අවස්ථාවක අගමැතිවරයා පත් කර ගන්නේ කොහොමද
අගමැතිවරයා පත් කිරීම සම්බන්ධව සාකච්ඡා කරන්න ඕන. නමුත් 96 දෙනා අතර සිටින යූඑන්පී එකත් එක්ක ඩීල් දාන අය මේකට කැමති වෙයිද කියන්න බැහැ. ඒ අය රනිල් වික්‍රමසිංහ මහත්තයාට පොරොන්දු වෙලා තියෙනවා ඒ අයගේ අවුල් විසඳීමට උදව්වක් වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩලා දෙනවා කියලා. ඒකට රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩන්න උපදෙස් දීලා තියෙනවා. මේ ගැන එක එක්කෙනා කියවා කියවා ඉඳීවි. නමුත් ජනාධිපතිතුමාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ශ්වය නිතරම කල්පනා කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් හදන විදිය ගැනයි. ඒ නිසා පවතින ආණ්ඩුවේ වෙනසක් කිරීමට උත්සාහ ගනිමින් ඉන්නේ. එහි ඇත්ත නැත්ත ඉදිරියේදී ජනතාවට බලාගන්න පුළුවන් වේවි. අගමැතිවරයා කවුද, මොකක්ද වෙන්නේ කියලා තව ටික කාලයක් අපි බලාගෙන ඉමු.
Q නමුත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව අගමැතිවරයා ස්වකැමැත්තෙන් ඉල්ලා අස්වුණොත් පමණයි නව අගමැතිවරයකු පත් කළ හැකි වන්නේ. ඒ බව නීති කේෂ්ත්‍රයේ විද්වතුන් ප්‍රකාශ කර තිබුණා. එහෙම තිබියදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අලුත් ආණ්ඩුවක් හදන්න රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉල්ලා අස්වේවි කියලා ඔබ සිතනවාද
ඔබ මතු කරන කාරණය ගැන ගැටලුවක් තිබෙනවා. නමුත් පාර්ලිමේන්තුවේ බහුතරය එක ගොඩකට ආවොත් සාම්ප්‍රදායික නීතිය කුමක් වුණත්, අගමැතිවරයාට තීන්දුවක් ගන්න වෙනවා. එවැනි අවස්ථාවක අගමැතිවරයාට එම තනතුරේ ඉන්න පුළුවන් වේවි කියල මම හිතන්නෑ. මෙතැනදි පරමාර්ථය තමයි වැදගත් වෙන්නේ. රටේ ජනතාව ඉල්ලා සිටින්නේ හොර බොරු නැති අවංක නායකයෙක් නම් රනිල් වික්‍රමසිංහ මහතාට තීරණයක් ගන්න වේවි. මොකද කවුරුවත් සදාකාලිකව ඔය තනතුරුවල ඉන්න ඕන කියලා නීතියක් නැහැ. රටේ ඇතිවන ප්රවණතා අනුව දේශපාලනය වෙනස් වෙනවා. ඒකට මේ රටේ පසුගිය ඉතිහාසයෙන්ම උදාහරණය සපයන්න පුළුවන්.
Q ජනාධිපතිවරයා 96 දෙනා ගැන කිව්වත් ආණ්ඩුවක් පිහිටුවන්න තවත් මන්ත්‍රීවරු අවශ්‍යයි. එම පිරිස සම්බන්ධ කරගන්නේ කොහොමද
ආණ්ඩු පක්ෂයේ ඉන්න රටට ආදරය කරන මැති ඇමතිවරුත්, වෙනසක් වෙන්න ඕන කියන මතයේ ඉන්න සියලු දෙනාත් මෙතැනදි එකතු වෙන්න ඕන. අපි හිතනවා ඒකාබද්ධ විපක්ෂයේත් රටට ආදරය කරන මිනිස්සු ඉන්නවා කියලා. ඒ කණ්ඩායමටත් අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්. ඒ නිසා ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය 113 දෙනා හදාගන්න එක ජනාධිපතිතුමාට එතරම් ගැටලුවක් නෙමෙයි.
Q මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මැතිවරණ සටන වෙන වෙනම ගෙනයනවා. නමුත් ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිවරයා කියා තිබුණා මැතිවරණය වනතුරු පමණයි මෙහෙම බෙදී ඉන්නේ කියලා. මැතිවරණයෙන් පසුව යළිත් එකතු වී යහපාලන ආණ්ඩුව ඉදිරියටත් ගෙනියන බව ඔහු කියා තිබුණා. මෙම කරුණ අගමැතිවරයාත් පසුව ප්‍රකාශ කළා නේද?
ලක්ෂ්මන් කිරිඇල්ල කියපු කතාව මමත් දැක්කා. ඔහු යහපාලන ආණ්ඩුව තුළ විවිධ චෝදනාවන්ට ලක්වුණු ඇමති කෙනෙක්. එයා කියන දේවල් අපි ගණන් ගන්නෑ. අපි නිතරම හදන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් ඇති කරගන්න. එක්සත් ජාතික පක්ෂයට දැන් ගම්වලට යන්න බැරි නිසා විවිධ ප්‍රකාශ කරමින් ඉන්නවා. නමුත් ජනතාව දන්නවා ජනාධිපතිතුමාට කිසිදු චෝදනාවක් එල්ල වෙලා නැති විත්තිය. ඒ නිසා කවුරු මොනවා කිව්වත් පිරිසුදු
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් බිහිකර ජනතාවට සෙත සැලසීමේ ඉලක්කයෙන් අපි ඈත් වෙලා නැහැ.
Q ඒකාබද්ධ විපක්ෂයේ උදවිය නම් ඕකට කියන්නේ රනිල්-මෛත්‍රී නාට්‍යයේ ජවනිකා විවිධ අයුරින් කරලියේ රඟපාන බවයි. ජනතාව රැවටීමක් නෙවෙයිද මේ කරන්නේ
අපි රඟපාන්නේ මොකටද? අපි කරන්න බැරි දෙයක් කියන්නෑ. කරන්න පුළුවන් දේවල් විතරයි කියන්නේ. ඒ නිසා ඕන කෙනෙකුට අපේ වැඩපිළිවෙළ විවිධ අයුරින් විග්රහ කරන්න පුළුවන්. නමුත් අපි දන්නවා අපි ජනතාව රවටන්න නෙමෙයි මේ දේවල් කරන්නේ කියලා. ජනාධිපතිතුමා ඒ විශ්වාසය ජනතාව තුළ ඇති කර තිබෙනවා. මේවා බලා ඉන්න බැරි ඉරිසියාකාරයන් ජනතාව මුළා කිරීමට නොයෙක් කතා වේදිකාවල කියනවා.
Q මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම ගැනත් මේ දිනවල කියවෙනවා. ඇත්තටම එතුමාගේ ප්‍රජා අයිතිය අහෝසි කරලා දේශපාලනික වශයෙන් පැත්තකට කරලා තැබීම ගැන ඔබ එකඟද? මොකද පසුගිය ආණ්ඩුව කාලයේ ඔබේ නායකයා වුණේ මහින්ද රාජපක්ෂ මහතා?
එතුමාගේ ප්‍රජා අයිතිය අලුතෙන් අහෝසි කරන්න දෙයක් නැහැ. අපි දන්නවා දිවංගත මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කළ ආකාරය. එක්සත් ජාතික පක්ෂය එය කළේ. නමුත් ඒ විදියට මහින්ද මහත්තයාගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න අපිට වුවමනා නැහැ. අපි එතුමගේ ප්‍රජා අයිතිය දීලා තියෙන්නේ. නමුත් දේශපාලඥයෙක් හැටියට එතුමාගේ ප්‍රජා අයිතිය ජනතාව විසින්ම අහෝසි කරලා තියෙන නිසා අමුතුවෙන් අහෝසි කරන්න දෙයක් නැහැ. වෙනත් අයට මහින්ද මහතාගේ ප්‍රජා අයිතිය ගැන ප්‍රශ්න ඇති. නමුත් අපට එහෙම ප්‍රශ්නයක් නැහැ.
Q නමුත් ඒකාබද්ධ විපක්ෂය කියන්නේ මේ අවස්ථාවේ රටේ ඉන්න ජනප්‍රියම පුද්ගලයා මහින්ද රාජපක්ෂ බවයි. ආණ්ඩුවට ඔහුගේ ජනප්රසාදය ඉවසා ඉන්න බැරි නිසා ප්‍රජා අයිතිය අහෝසි කරන්න යන බවයි ඔවුන් කියන්නේ
හිටපු ජනාධිපතිතුමාගේ ජනප්රසාදය ඉවත් වෙලා තියෙන්නේ. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී ඒවා පැහැදිලි වුණා. ඒ නිසා දැන් ඉන්න ජනප්‍රියම පුද්ගලයා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා විතරයි.
Q පළාත් පාලන මැතිවරණයේ අවසන් සතියේදී ඒකාබද්ධ විපක්ෂයේ කිහිප දෙනෙක් සිරගත කිරීමේ සූදානමක් තිබෙන බවත් ඔවුන් කියනවා. ඇත්තටම එහෙම සූදානමක් තිබෙනවාද
ඇතුළට දැමීම කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායමක් අපත් සමග එකතුවීමට නියමිතයි. ඒ අය එක්ක අපි සාකච්ඡා කරලා තිබෙනවා. මැතිවරණයෙන් පසුව ඔවුන් ආණ්ඩුවට එකතු වේවි. වැරදි කරපු අය ඉන්නවා නම් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන. ජනතාව ඒ දෙස බලාගෙන ඉන්නවා.
Q මහරගම පොහොට්ටුවේ නාමයෝජනා ලැයිස්තුව ගැන ඔබ මුලින් සඳහන් කළා. හිටපු නගරාධිපතිනි කාන්ති කොඩිකාර කියා තිබුණා බයිසිකලය ලකුණින් ඉදිරිපත් කර තිබෙන ස්වාධීන කණ්ඩායම ජයග්‍රහණය කළොත් ඔවුන් සියලුදෙනා ඉල්ලා අස්වී පොහොට්ටුවේ අපේක්ෂකයන් ඒ වෙනුවට පත්වෙන බව. මෙම වැඩපිළිවෙළ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද ව්‍යාපාරයට බලපෑමක් ඇති වෙයිද
මහරගම මිනිස්සු කාන්ති කොඩිකාර කියන දේවල් ගණන් ගන්නෑ. කාන්ති කොඩිකාරට ඕන වෙලා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම දිනවන්න. ඒ සඳහා කරන්න බැරි අසත්‍ය ප්‍රචාර පතුරුවමින් ඉන්නවා. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහරගම ආසන සංවිධායක. අපි ජනතාවට වැඩ කරලා තියෙනවා. ඒ නිසා මහරගම ජනතාව පෙබරවාරි 10 වැනිදාට බුලත් කොළයට ඡන්දේ දේවි. බයිසිකලය පරාද වෙනවා. ඒ නිසා අපට ඒක ඒ තරම් ගැටලුවක් නෙමෙයි. මැතිවරණ නීතිය අනුව අපි බලමු කාන්ති කොඩිකාර කියන විදියට එහෙම කරන්න පුළුවන්ද කියලා.
Q මේ දිනවල මැතිවරණ වේදිකාවල එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන්ට බණින එක ඉවසන් ඉන්න පුළුවන්ද
ඔය වගේ ප්‍රකාශ අපට ප්‍රශ්නයක් නැහැ. එක්සත් ජාතික පක්ෂයත්, ඒකාබද්ධ විපක්ෂයත් එකතු වෙලා අපට ගහන්නේ. ඒකාබද්ධ විපක්ෂයේ කට්ටියට ඕන වෙලා තියෙනවා නඩුවලින් ආරක්ෂා වෙන්න. එයට එක්සත් ජාතික පක්ෂයේ සහාය ලැබී තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ අයට ගමට යන්න විදියක් නැතිව ඉන්නේ. මේ දෙගොල්ලන්ටම අපි තමයි අභියෝගය වෙලා තියෙන්නේ.
Q අපි දැක්කා පිංගුත්තර ඇමතිවරු ලෙස ශ්‍රීලනිප ඇමතිවරුන් හඳුන්වනවා
එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරුන්ට ගමට යන්න බැහැ. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන්ට ගමට යන්න පුළුවන්. ඒ නිසා අපට බණිනවා. අපි ඕවා ගණන් ගන්නෑ. අද යූඑන්පී එකේ අපේක්ෂකයන්ට පාරේ බැහැලා යන්න බැහැ. ඒ අය ගම්වලට ගියාම මිනිස්සු අහනවා මහ බැංකුවේ සල්ලිවලට මොකද වුණේ කියලා. ඒ නිසා බොහෝ එජාප අපේක්ෂකයන් කැන්වසින් අතහැරලා ඉන්නේ.
Q ඔය අතරේ හරින් ප්‍රනාන්දු ඇමතිවරයා ඩිලාන් පෙරේරා ඇමතිවරයාට දැඩි ලෙස දෝෂාරෝපණය කරන ආකාරය ඔබතුමා දකින්නත් ඇති
එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පත් කිරීමට විශාල කැපකිරීමක් කරපු කෙනෙක් හරින් ප්‍රනාන්දු. එසේ වුණත් හරින් ප්‍රනාන්දුට ගමට යන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙනවා. නමුත් අපේ ඩිලාන් ඇමතිතුමාට ගමට යන්න පුළුවන්. ඒ නිසා හරින්ට පොඩි ඉරිසියාවක් ඇති. ඒකට ඉතිං අපි මොනවා කරන්නද?
Q මැතිවරණ රැලිවලට පැමිණෙන සෙනග දෙස බැලීමේදී පොහොට්ටුවේ රැස්වීම්වලට වැඩි පිරිසක් එන බව පේනවා. ඇයි ජනාධිපතිතුමාගේ රැස්වීම්වලට අඩු පිරිසක් එන්නේ?
ඒක සම්පූර්ණ බොරු කතාවක්. අපි මහරගම පැවැත්වූ රැස්වීමත් එකක් බලද්දි මහින්ද මහත්තයාගේ රැස්වීමට ආවේ අඩු පිරිසක්. ඒ වගේ තමයි රටේ අනෙකුත් තැන්වලත්. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා යන සෑම රැස්වීමකටම ජනතාව විශාල වශයෙන් පැමිණියා. ඒකාබද්ධ විපක්ෂයට කෑගහන පවිත්‍රා වන්නිආරච්චි සංවිධානය කරපු පැල්මඩුල්ලේ රැස්වීමේ හිටිය සෙනගට වඩා මෛත්‍රීපාල ජනාධිපතිතුමාගේ රැස්වීමට සෙනග හිටියා. ඒ විදියට හැම තැනින්ම ජනාධිපතිතුමාට ඉහළ ප්‍රතිචාරයක් ලැබෙනවා.