කොලොන්නාවේ කුණු කන්ද ජලයෙන් දිය වී නිවෙස් තුළ


අයහපත් කාලගුණය හේතුවෙන් ඇතිවූ ගංවතුර ක්‍රමයෙන් බැස යමින් පරිසරය සාමාන්‍ය තත්ත්වයට හැරෙමින් පවතී. මේ වනවිට පීඩාවට පත්වූ බොහෝ ප්‍රදේශ තුළ නිවෙස් ආදිය පිරිසුදු කරමින් යළි යථා තත්ත්වයට පත්වීමට ජනතාව උත්සාහ කරමින් සිටිති. කරුණු මෙසේ පැවතියදී අපි කොලොන්නාව මීතොටමුල්ල ප්‍රදේශයේ තත්ත්වය කෙසේදැයි විමසුමට ලක්කළෙමු. 

මීතොටමුල්ල කුණු කන්ද පිළිබඳ නොදැන එන්නෙකුට එය පහසුවෙන් දැනගත හැකි ආකාරයේ දැඩි දුඟදක් ප්‍රදේශය පුරා හමා යයි. නමුත් වෙනදා මෙන් නොව මීතොටමුල්ල ප්‍රදේශයට ආසන්න වනවිටම දැඩි දුර්ගන්ධයක් වහනය විය. කුණු කන්ද පිහිටි ගම්මානයට ළඟා වනවිට නාසය ආවරණය කරගෙන හෝ අතින් වසාගෙන සිටින මිනිසුන් වෙත අපේ නෙත් යොමුවිය.

AID_9563

පැවති ගංවතුර හේතුවෙන් මීතොටමුල්ල ආශ්‍රිත ප්‍රදේශයම අඩි පහකට වඩා යටවී තිබුණි.  කුණු කන්ද පිහිටි ප්‍රදේශයේ නිවෙස් යට වූයේ ජලයෙන් පමණක් නොවෙයි. කුණු මිශ්‍ර වූ ඉතා තද කළු පැහැති දැඩි දුඟද හමන ජලයෙනි.එම ප්‍රදේශයේ ජලය බැස ගියද තවමත් නිවෙස් තුළින් ජලය ඉවත් වී නැත. කුණු මිශ්‍ර වූ ජලය නිසාම ලෙඩ රෝග ඇතිවීමේ දැවැන්ත අවදානමක්ද මතුව තිබේ. කපුටන්, මැස්සන් ගහනව සිටි මීතොටමුල්ලට දැන් මදුරුවන් පමණක් නොව පණුවන්ද ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් තිබේ. මෙම කුණු කන්ද ආශ්‍රිතව නිවෙස් පිරිසුදු කරගැනීමට ගම්වාසීන්ට පමණක් තනිව සිදුකළ නොහැකි දෙයකි. ඒ සඳහා රජයේ දායකත්වයද ලැබිය යුතුමය. එමෙන්ම මෙම ප්‍රදේශයේ ජනතාවගේ ජීවත්වීමේ අයිතිය අමු අමුවේ උල්ලංඝනය කරනා මෙම කුණු කන්ද වහාම ඉවත් කිරීමට බලධාරීන් දැන්වත් පියවර ගත යුතුය.

AID_9429

කලින් බ්ලූමැන්ඩල් ප්‍ර‘දේශයට බැහැර කළ මෙම අපද්‍රව්‍ය මීතොටමුල්ලට ගෙනැවිත් දැමීම ආරම්භ කර දැනට වසර 20 ක් පමණ ගත වී හමාරය. කොළඹ සුන්දරත්වය පිළිබඳව අධිතක්සේරුවෙන් කතා කරන සැමට මීතොටමුලේලේ අහිංසක ජනතාව විඳින සැබෑ තත්ත්වය පෙන්විය යුතුය. ඔවුන් ඒ වන්දි ගෙවන්නේ නොකළ වරදකටය.

AID_9434

මීට වසර 20කට පමණ පෙර මීතොටමුල්ලේ මෙම ස්ථානය සුන්දර වෙල්යායකි. එවකට කොළොන්නාව නගර සභාව පාලනය කළ පිරිස් නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කරන මුවාවෙන් මෙම ස්ථානය භාවිත කිරීම ආරම්භ කළහ. මේ වනවිට එය දිනකට කුණු ටොන් 1500 වඩා එකතු වන ස්ථානයක් බවට පත්ව තිබේ.
කුණු වතුරට හසුවූ තම නිවාස තුළ ඉතිරිව ඇති දෙය හෝ රැකගැනීමේ අරමුණින් එම නිවෙස් පිරිසුදු කරන ගම්වැසියන් කිහිපදෙනෙකුගෙන් අපි අදහස් විමසුවෙමු. 

 

AID_9438

 

කුණු දියවුණු කළුම කළුපාට වතුරෙන් අපිව යටවෙලා තිබුණෙ - සමන්ත පුෂ්පකුමාර 

දැන් ලෙඩ බෝ වෙන්න පටන් අරගෙන තියෙන්නේ. අපේ ළමයින්ව තාම මෙහෙට අරගෙන ආවේ නැහැ. එයාලා තැන්තැන්වල නවත්තලා තියෙන්නේ. නැදෑ ගෙවල්වල කියලත් හැමදාම ඉන්න බැහැනේ. ගෙවල්වල මෙට්ටෙ කොට්ටෙ ඉඳන්ම ගන්න වෙලා තියෙන්නේ. වෙනදා ගංවතුර වගේ නෙවෙයි මේ සැරේ අපිට ආවේ. කුණු දියවුණු කළුම කළුපාට වතුරෙන් අපිව යටවෙලා තිබුණෙ. මේ ගෙවල් පිරිසුදු කරගන්න තව දවස් දෙකක්වත් යයි. අපිට හැමදේම නැතිවෙලා තියෙන්නේ. මේ කුණු වතුර ඉවත් කරගන්න රජය අපිට උදවු වෙනවා නම් හොඳයි.

මැස්සෝ මදුරුවෝ මදිවට දැන් පණුවොත් හැදිලා -ජේ.ඒ. සෝමාවතී

පසුගිය සෙනසුරාදා අපිට වතුර ගැලුවට පස්සේ ගෙදර සම්පූර්ණයෙන්ම කුණු වතුරෙන් යටවුණා. ගෙවල් පැත්තේ ඉන්න බැරි තරම් ගඳ. වැස්සට කුණු හේදිලා ගඳ වැඩියි. ඉවසන්න බැහැ. ඊට පස්සේ අපි පන්සලට ගිහිල්ලා වතුර බහිනකම් කියලා හිටියේ. ඒත් තවම ඉවරයක් නැහැ. කුණු වතුර තවම අඩියක් විතර තියෙනවා. අපේ ගෙදර තිබුණු හැමදේම අපිට නැතිවුණා. එක එක්කෙනාගෙන් ඉල්ලගෙන අදින්නේ. අපිට ඇඳුමක්වත් නැහැ. කන්ඩ බත් නම් ලැබුණා. ඉන් එහාට දෙයක් ලැබුණෙ නැහැ. අපේ දුවගේ දරුවො දෙන්නත් වතුරට යටවුණා. එයාලට තාම උණ.
මැස්සෝ මදුරුවෝ මදිවට දැන් පණුවොත් හැදිලා. අපි පුදුම දුකකින් ඉන්නේ. මේ කුණු කන්ද පුළුවන් ඉක්මනට ඉවත් කරලා දෙන්න කියල තමයි අපි ඉල්ලන්නේ.

කොළඹ මහ නගර සභාව මෙතෙක් කිසිම පියවරක් ගත්තේ නැහැ- ශාන්ත

ගෙවල්වල බිත්ති පොඟලා. කඩා වැටෙයි කියලා බයෙන් ඉන්නේ. මීතොටමුල්ල පැත්තේ ඇතිවුණ මේ ගංවතුරේ වගකීම ගන්න ඕනේ අනිවාර්යෙන්ම කොලොන්නාව නගර සභාව. පොතුවිල් කුඹුර කියන්නෙ ඉස්සර වෙලක්. අක්කර දහ අටක වෙලක්. 1989 ගංවතුර ආපුවාම මේ ගමේ හිටපු මිනිස්සු ගංවතුරේ පීනුවා. නෑවා. නමුත් මේ සැරේ පීනනවා තියා පාරකවත් යන්න බැරි තරමට වතුර කළු පාට දම් පාට වගේ පාටට හැරුණා. නමුත් අපිට පිසූ ආහාර පමණයි ලැබුණේ. කොළඹ මහ නගර සභාව මෙතෙක් කිසිම පියවරක් ගත්තේ නැහැ. ඔවුන් කිසිදෙයක් නොවුණු විදිහටයි ඉන්නේ. මටත් පොඩි ළමයි දෙන්නෙක් ඉන්නවා. අපේ මානසික මට්ටමවත් සලකලා බලලා අපිට ඉක්මනින් විසඳුමක් දෙන්න කියලයි කියන්නේ. අපිට හැමදේම නැති වෙලා ඉවරයි. ආර්ථිකයත් බිංදුවට බැහැලා.

මීතොටමුල්ල ශ්‍රී රාහුල විද්‍යාලයද ජලයෙන් යටවී තිබූ අතර, මේ වනවිට පාසලේ ආචාර්ය මණ්ඩලය සහ ගම්වාසීන් එක්ව එය පිරිසුදු කරමින් සිටිති. ඒ අතරවාරයේ පාසලේ ගුරුතුමියක් පවතින දුෂ්කරතාව පිළිබඳව මෙසේ පැවසුවාය.

අඩි පහකට වැඩි වතුරක් ආව නිසා අපේ පාසල සම්පූර්ණයෙන්ම යටවුණා. ඒක සාමාන්‍ය වතුරක් නම් පොඩ්ඩක් හරි හිත හදා ගන්න පුළුවන්. නමුත් අපිව යටවුණේ සම්පූර්ණ කුණු වතුරෙන්. අපේ ඉස්කොලේ පරිගණක කාමරය සම්පූර්ණයෙන්ම යටවුණා. ඒ එකක්වත් වැඩ කරන්නේ නැහැ. ඉස්කෝලෙ සංගීත බඩු ලිපිද්‍රව්‍ය හැමදෙයක්ම අහිමි වුණා. අපේ පාසල පිරිසුදු කරගන්න රජය මැදිමහත්වෙලා උදවු කරනවා. ලබන සදුදා ඉඳන්වත් පාසල පටන් ගන්නට පුළුවන් වේවි කියලා හිතනවා. අපේ පාසලේ දරුවන්ට කිසිම දෙයක් නැහැ. එයාලගේ හැමදේම නැතිවෙලා තියෙන්නේ. එයාලට ඒ දේවල් සපයලා දෙන්න අපි පුළුවන් සෑම උත්සහායක්ම ගන්නවා.

AID_9566

සටහන චාමර සම්පත්/ඡායාරූප හා වීඩියෝ ඉසුරු පෙරේරා/වීඩියෝ සැකසුම තිසර ගංඟාදර

 

AID_9530AID_9538

AID_9557AID_9552AID_9547AID_9529AID_9542AID_9545AID_9526AID_9522AID_9520AID_9517AID_9512AID_9488

AID_9489AID_9497AID_9500AID_9510AID_9487AID_9482AID_9479AID_9477AID_9474AID_9450AID_9455AID_9457AID_9459AID_9467

 

 
 
 
 
 
 


Recommended Articles