ඉදිරි මැතිවරණයේ මහින්ද සාධකය මුලට එන්න ඉඩ තිබෙනවා


පළාත් පාලන මැතිවරණ උණුසුම තුළ පක්ෂ විපක්ෂ මතවාද කරළියේ හුවමාරු වෙමින් තිබේ. තම තමන්ගේ කණ්ඩායමේ  ජයග්‍රහණය සඳහා විවිධ සැලසුම් සකස් වෙමින් තිබියදී හිත් අමනාපකම්ද  සිදුවෙයි. මෙවන් පසුබිමක් තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  සහ ඒකාබද්ධ පොදුජන පෙරමුණේ අදහස් දැනගැනීමට අප උත්සාහයක් දැරුවෙමු. එහිදී ප්‍රථමයෙන්ම ඒකාබද්ධ පොදුජන පෙරමුණ වෙනුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා දැක්වූ අදහස් පහතින් දැක්වේ.


Vidura 01

Q ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන කටයුතු එහෙම කොහොමද?

 අපි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් විදියට එක්සත් ජාතික පක්ෂයට කරට අත දාගත්ත ගමනකට වඩා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙනියන්න, ජනතාව තළන්නේ පෙළන්නේ නැති සාධාරණ සමාජයක් ගොඩනගන්න, හොරු බොරු නැති ආණ්ඩුවක් ගොඩනැගීම සඳහා වැඩපිළිවෙළකට යනවා. එතැනදී අපිට පක්ෂය නෙමෙයි වැදගත් වෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිපත්ති සමග එකතුවෙන්න පුළුවන් වැඩපිළිවෙළකුයි අපිට අවශ්‍ය වන්නේ.

Q ගමේ ඡන්දදායකයා මේ කියන කරුණු පිළිගැනීමට සූදානම්ද?

සැදැහැ සිතින් යුතුව සූදානමින් ඉන්නවා. එතැනදී මහින්ද බරපතළ සාධකයක් වෙනවා. ඒ අනුව තමයි බොහෝදුරට ජනතාව තීන්දුවක් ගන්නේ. සාමාන්‍යයෙන් පළාත් පාලන මැතිවරණයක ප්‍රධාන සාධකය වන්නේ පුද්ගලයා කවුරුන්ද කියන එක. එම පුද්ගලයා මිනිස්සු එක්ක ඉන්නවද, සේවය කරලා තියෙන්නේ කොහොමද ආදී වශයෙන් ඔහු වැඩකර තිබෙන ආකාරය ජනතාව බැලුවා. ඊට පසුව ඒ පුද්ගලයාගේ පෙළපත ආදිය සොයා බලනවා. තුන්වැනියට තමයි පක්ෂයක කියලා එන්නේ. නමුත් මේ වෙලාවෙදී පක්ෂය හෙවත් මහින්ද සාධකය මුලට එන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ මහින්ද මහත්තයා එක්ක ඉන්න කණ්ඩායම සහ මහින්ද මහත්තයා සමග නැති කණ්ඩායම  වශයෙන් ඉදිරි මැතිවරණයේදී ජනතාව බෙදෙනවා. මේ කාල පරාසය තුළ බඩු මිල කොහොමද කියලා හැමෝම දන්නවා. ඒ නිසා ජනතාව හරිම තීරණය ගනීවි. අපේ පළාත්වල ඉස්සර ගොවියෝ වැඩියි. වී, රබර්, තේ,පොල් ඇතුළු විවිධ වගාවන්වල ඔවුන් යෙදී සිටියා. එවැනි පිරිස් ගම්වල වැඩිපුර සිටියා. නමුත් ඒ අයගේ දෙවැනි, තුන්වැනි පරම්පරාවන් වෙනකොට මාසික වේතනයක් ලබන රාජ්‍ය හා පෞද්ගලික අංශයේ රැකියා කරන මධ්‍යම පාන්තිකයන් වැඩියි. අධ්‍යාපනයත් එක්ක ආපු ගමනක් නිසා එවැනි පරිවර්තනයක් වෙලා තියෙනවා. ඒ අය තමයි මේ ආර්ථිකයත් එක්ක බරපතළ ලෙසම ප්‍රශ්නවලට මැදිවෙලා තියෙන්නේ.
නාමයෝජනා සකස් කිරීමේදී අපේක්ෂකයන් අතර හිත් අමනාපකම් ඇතිවූ ආකාරය පසුගිය දින කිහිපයේදී අපි දුටුවා. ඒකාබද්ධ පොදුජන පෙරමුණේ එවැනි ගැටලු විසඳී තිබෙනවාද?
පෞද්ගලිකව මගේ හැඟීම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිවලට විරුද්ධ සියලු දෙනාම එක කඳවුරකට එන්න ඕන. මම විශ්වාස කරනවා ඒ දේ සිද්ධ වුණොත් ජනතාවට සහ රටට ජයග්‍රහණයක් අත්වේවි. එහෙම නැතිවුණොත් පෞද්ගලික න්‍යාය පත්‍ර පිළිපදින කණ්ඩායමක් පමණක් ඉතුරු වේවි.

Q ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළ අපේක්ෂකයන්ට නාමයෝජනා ලබාදුන්නේනෑ කියලා ඔවුන් අතරේ හිත් අමනාපකම් ඇතිව තිබුණා. ශ්‍රියානි විජේවික්‍රම මන්ත්‍රීවරිය ඉවත්ව ගියෙත් එම කරුණ නිසයි. ඔබටත් එවැනි ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දෙන්න ලැබුණාද?

එතැනදී ශ්‍රියානි විජේවික්‍රම මන්ත්‍රීවරියට යම්කිසි අසාධාරණයක් වුණා කියලා මම පෞද්ගලිකව විශ්වාස කරනවා. පසුගිය අවුරුදු පහේත්, මේ අවුරුදු තුනේත් අපි එතුමිය ආශ්‍රය කළා. ඒ අනුව අපි හිතනවා එතුමිය ඉතාමත් සාධාරණ ඇති කියලා. නැත්නම් එතුමිය ඒ වගේ දැඩි තීරණයක් ගන්නෙ නෑ.
මම ගැන කියනවා නම් පළාත් පාලන ආයතනවල වැඩිපුර ඉන්නේ මට විරුද්ධ අය. මගේ ඡන්දවලට උදව් කරපු අය හොරණ නගර සභාවේ හෝ හොරණ ප්‍රාදේශීය සභාවේ වැඩිපුර නැහැ. ප්‍රාදේශීය සභාවේ  ඔක්කොම 14ක් හිටියා. එයින් මට හිටියේ හතර දෙනයි. නගර සභාවේ හය දෙනෙක් හිටියා. ඉන් තුන්දෙනෙක් තමයි මට උදව් කළේ. අනිත් ඔක්කොම මට විරුද්ධව හිටපු අය. නමුත් ඒ සියලු දෙනාටම කොන්දේසි විරහිතව අපි සහයෝගය දෙනවා. මොකද මේ අවස්ථාවේදී ජනතාවගේ පැත්ත දිනන්න ඕන.

Q ඒකාබද්ධ විපක්ෂය පැත්තේ දෙදරීමක් තිබෙනවාද?

මම දැනුවත්ව නම් එහෙම දෙදරීමක් නැහැ. මම දන්නෙ නැහැ එහෙම තියෙනවද නැද්ද කියලා. නොදන්න කරුණු ගැන මම කතා කරන්න කැමති නැහැ.

 Q බැසිල් රාජපක්ෂ මහතා සමග ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කටයුතු කරන්නේ කොහොමද?

මගෙත් එක්ක නම් පෞද්ගලිකව කිසි ප්‍රශ්නයක් නෑ. මම දකින්නේ බැසිල් රාජපක්ෂ මහත්තයා හොඳ සංවිධායකවරයෙකු විදියටයි. මම ඒක හැමදාම කියපු දෙයක්. එතුමා යම්කිසි කණ්ඩායමක් සමග තියාගන්න එක අපිට ලොකු වාසියක්. මැතිවරණ මෙහෙයුමේ දිනපතා කාර්යයන්වලදී එතුමා හොඳ ආයෝජනයක්.

Q නමුත් ඒකාබද්ධ විපක්ෂය සමග සිටින කුඩා පක්ෂවලට අවස්ථාව නොදුන් බවට ඔහුට විරුද්ධව චෝදනා කර තිබුණෙත් ඔබලාගේම අයම නේද?

ඕක සන්ධාන විදියට, පෙරමුණු විදියට එකතුවෙලා යන විට තියෙන ප්‍රශ්නයක්. ඕක හරියටම ඉරක් ගහලා බෙදලා දෙන්න ඕන කියල එකක් නැහැ. එහෙම කරන්න හරි අමාරුයි. කුඩා පක්ෂවල විතරක් නෙවෙයි, සමහරවිට අපේ පක්ෂවලත් තියෙනවා. උදාහරණයක් විදියට හොරණ  ආසනයේ මම පාර්ලිමේන්තු මන්ත්‍රී. එම ආසනයේ පළාත් සභා මන්ත්‍රී කෙනෙක් ඉන්නවා. ඊළඟට සභාපති කෙනෙක් ඉන්නවා. ඒ ගොල්ලොත් බලනවා ඒ අයගේ කට්ටිය  දාගන්න. ඒ අයත් විවිධ පුද්ගලයන්ට පොරොන්දු වෙලා තියෙනවා. සමහරු කියනවා කෝටා තියෙනවා කියලා. ඒ මිනිස්සු කැමති නැහැ මිනිස්සු අමනාප කරගන්න. නමුත් මේ වෙලාවෙදී කරන්න ඕන දිනන්න පුළුවන් හොඳම පුද්ගලයා දාන එක. එහෙම නැතිව ආසන සංවිධායකවරයාට හිතවත් කෙනා දාලා වැඩක් නැහැ. එහෙමනම් මටත් තිබුණා මට විරුද්ධ අය කපලා වෙනත් ටිකක් දාන්න. එහෙම නැතිව අපි මේ ගමන එකමුතු වෙලා ගියොත් දිනන්න පුළුවන්.

Q මේ වන විට එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපේක්ෂක කණ්ඩායම් නම් කරමින් යනවා. පොහොට්ටුවේ කණ්ඩායමට ගම ඇතුළේ තියෙන ප්‍රතිචාරය කොහොමද?

 අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. ජනතාව පැහැදිලි තීරණයක ඉන්නවා. ඡන්ද ප්‍රතිඵල ගමේම ගණන් කරන නිසා  මැතිවරණ දවසෙන් පස්සේ වේලාසනම ප්‍රතිඵලය දැනගන්න ලැබේවි. තව පොඩ්ඩක් ඉවසගෙන ඉමුකෝ. මට හොරණ ආසනය ගැන පැහැදිලිව  කියන්න පුළුවන්. හොරණ නගර සභාව සහ ප්‍රාදේශීය සභාව අපි දිනනවා. ඒක අතිවිශිෂ්ට ජයග්‍රහණයක් වේවි. එක්සත් ජාතික පක්ෂයට හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට රාජ්‍ය බලය තිබුණට එම සියලු සාධක පරාද කරමින් අපේ ජයග්‍රහණය සිදුවනවා. මම කියන්නෑ සියලු පළාත් පාලන ආයතන දිනනවා කියලා.

එක්ව ගියොත් පමණයි  ශ්‍රීලනිපයට ජය ගන්න  පුළුවන් - ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය  මනූෂ නානායක්කාර මහතා

manusha

 Q ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ මෙහෙයුමේ අලුත්ම තත්ත්වය කොහොමද?

අපි හැම පළාතකින්ම ඉතා හොඳ කණ්ඩායමක් තෝරගෙන  තිබෙනවා. ගාල්ල නගර සභාව ගත්තාම අපිට හොඳ කණ්ඩායමක් ඉදිරිපත් කරන්න අවස්ථාව ලැබුණා. වංචා දූෂණවලට හසු නොවූ දක්ෂ පිරිසක් එතැන ඉන්නවා. මැතිවරණයේදී හොඳ ප්‍රතිඵලයක් බලාගන්න පුළුවන් වේවි. මේක ගමේ මිනිස්සු තෝරගන්න මැතිවරණයක් නිසා ගමට අවශ්‍ය මිනිස්සු අපි ඉදිරිපත් කරනවා. ගමේ ජනතාව අතර ජනප්‍රිය පුද්ගලයන් අපේ කණ්ඩායම්වල සිටින නිසා මෙවර ජයග්‍රහණය හරි පැහැදිලියි.

 Q අපේක්ෂකයන් තෝරා ගැනීමේදී ඇතිවූ කලබලකාරී තත්ත්වයට මුහුණ දුන්නේ කොහොමද?

එතැනදී අපේකෂකයන් අතරේ තරගයක් තිබුණු නිසා බොහෝ ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දෙන්න වුණා. තවම තෝරලා ඉවර කරන්න බැරිවෙලා තියෙනවා. සමහර කොට්ඨාසවලට අපේක්ෂකත්වය දෙන්න කියලා හත් අටදෙනා ඉල්ලනවා. ඒ නිසා තවම තෝරාගැනීමේ කටයුතු සිදුවෙනවා. කාන්තා නියෝජනය වැඩිපුර තියෙන නිසා කාන්තාවන් විශාල පිරිසක් අපේක්ෂකත්වය ඉල්ලා තිබෙනවා. ඒ අනුව බැලූ විට අපේ පක්ෂයෙන් ඉදිරිපත් වීම අතින් ඉතා හොඳ වාතාවරණයක් දැකිය හැකියි. කවුද තෝරාගන්නේ කියන ප්‍රශ්නයට අපි මැදිවෙලා ඉන්නේ.

 Q මෙවැනි තත්ත්වයක් මීට පෙර ඇතිවෙලා නැද්ද?

ඇත්තටම පළාත් පාලන මැතිවරණවලදී මෙවැනි තරගයක් මීට පෙර අප දැක නැහැ. නව මැතිවණ ක්‍රමය නිසයි මෙවැන්නක් වුණේ.

 Q තෝරාගන්නා අපේක්ෂකයන්ගේ සුදුසුකම් ගැන සොයා බැලුවාද?

පසුගිය කාලයේදී ඔවුන්  වැඩකර තිබෙන ආකාරය ගැන අපි ප්‍රධාන වශයෙන් බලනවා. වංචා, දූෂණවලට ලක්නොවුණු චරිතවත් පුද්ගලයන් අපේක්ෂක කණ්ඩායමට ඇතුළත් කිරීමට දැඩි උත්සාහයක් ගන්නවා. ඒ වගේම ඔවුන්  සමාජය සමග වැඩ කර තිබෙන ආකාරය, සමාජ සේවා වැඩවලදී පෙන්වා ඇති ප්‍රගතිය, ජනතාව තුළ ප්‍රසාදයට ලක්ව ඇති ආකාරය ගැනත් සොයා බලනවා. පෙර වැරදිවලට හසුවූ අයට අපේක්ෂකත්වය ලබානොදෙන බව පැවසිය යුතුයි.

 Q එක්සත් ජාතික පක්ෂයෙන් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන්  ඉදිරිපත් කරන අපේක්ෂකයන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂයන්ට අභියෝගයක් වන මට්ටමක ඉන්නවාද?

ගමේ පොදුජන පෙරමුණද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද කියලා අදාළ නැහැ. ගමේ ජනප්‍රිය චරිතය තමයි ජයග්‍රහණය කරන්නේ. මිනිස්සු ඡන්දේ දෙන විට ගමට වඩා වැදගත් පුද්ගලයා තෝරා ගනීවි. ඒක මැතිවරණයෙන් පසුව බලාගන්න පුළුවන්.
එක්සත් ජාතික පක්ෂය ඇතුළු සියලු පක්ෂ හිතන්නේ ජයග්‍රහණය තම තමන්ට හිමිවේවි කියලා. එම පක්ෂය හැකි සෑම අවස්ථාවකදීම පරද්දලා අපේ ජයග්‍රහණය තහවුරු කරගන්න තමයි අපි බලන්නේ.

 Q ජනතාව ආමන්ත්‍රණය කිරීමේ ප්‍රචාරණය, යාන්ත්‍රණය සකස් කර අවසන්ද?

තවම පක්ෂය විදියට තේමාවක් සකස් කර නැහැ. ගමට සේවය කරන්න පුළුවන් කණ්ඩායම් අපි ඉදිරිපත් කර තිබෙනවා. එම කණ්ඩායම ජයග්‍රහණය කරවීමට ඡන්දෙ ලබාදෙන ලෙස ජනතාවට අපි කියනවා. ඒ හරහා ගමේ සංවර්ධන කටයුතු තවත් ශක්තිමත් කළ හැකි බව අපි ජනතාවට අවබෝධ කර දෙනවා.
ජනාධිපතිතුමා දිස්ත්‍රික් මට්ටමින් තියෙන ප්‍රධාන රැලිවලට සහභාගී වෙනවා. ඒ හරහා යම්කිසි අයුරකින් ජනතාවගේ ප්‍රබෝධයක් ඇතිවේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. දිස්ත්‍රික් මට්ටමින්, ආසන මට්ටමින් අපි වෙනම රැස්වීම් සංවිධානය කරනවා. ඒ වගේම ග්‍රාමසේවා වසම් මට්ටමින්, කොට්ඨාස මට්ටමින් කුඩා රැස්වීම් පැවැත්වීමට නියමිතයි.
මේ මැතිවරණයේදී ජාතික වශයෙන් ලොකුවට ප්‍රචාරණ යාන්ත්‍රණයක් දියත් කිරීමේ අවශ්‍යතාවයක් අපි දකින්නේ නෑ. මේක ගමේ මැතිවරණයක්. ගමේ ගෙයින් ගෙට යන එක තමයි මේ මැතිවරණයේ ප්‍රධානම දේ. ඒ සඳහා අපි වැඩි අවධානයක් යොමු කරනවා. ගම ඇතුළේ තමයි සියලු දේ කරන්නේ.

 Q ශ්‍රියානි විජේවික්‍රම හා වීරකුමාර දිසානායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකතු වුණා. ඔවුන් කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැකිය යුතු බවයි. ඔවුන්ගේ එක්වීම ශ්‍රීලනිප ඡන්ද ව්‍යාපාරයට බලපෑ ආකාරය පැහැදිලි කළොත්?

මේ අය කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට බෙදෙන්නෙ නැතිව එක්ව ගමනක් යමු කියලා. එකට සිටි පිරිසනේ මේ එකතු වෙන්න ඕන කියන්නේ. ගමෙත් ඔය තත්ත්වය තමයි තියෙන්නේ. ගමෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිනවන්න කැමති පිරිස මේ වන විට අප පක්ෂය වටා එකතු වෙමින්  සිටිනවා. බෙදිලා වෙනම කණ්ඩායමක් හදාගෙන ඡන්දෙකට යනවට පරණ 
ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් කැමති නැහැ. දැනට ඒකාබද්ධ විපක්ෂයෙන් අයින් වුණු මන්ත්‍රීවරුත් කියන්නේ 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩා දමා වෙන්ව යෑම නොව පක්ෂය ආරක්ෂා කරගෙන යා යුතු බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කරන්න එපා කියන පණිවුඩය ඔවුන් ලබාදීමට ඉදිරිපත් වීමෙන් ගමේ පාක්ෂියකයාටත් ධෛර්යයක් වුණා.

 Q මෛත්‍රී  හා මහින්ද  එකමුතු වීමකින් තොරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගොඩ යන්න බැරිද?

එක්ව ගියොත් පමණයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට ජයග්‍රහණයක් ලබන්න පුළුවන් වෙන්නේ. ඒක කරන්න දෙන්නෙ නැතිව පිටුපස ඉඳගෙන කකුලෙන් අඳින කණ්ඩායමක් ඒකාබද්ධ විපක්ෂය ඇතුළේ ඉන්නවා. අපිත් එක්ක කතාකරන ඒකාබද්ධ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ පරිණත බුද්ධියක් තියෙන සියලු මන්ත්‍රීවරුන් කියන්නේ මෛත්‍රී-මහින්ද එකමුතුවක් අවශ්‍ය බවයි.

 Q මෙම පළාත් පාලන මැතිවරණය සහ 2020දී පැවැත්වීමට නියමිත ප්‍රධාන මැතිවරණ සම්බන්ධ කරගනිමින්  නොයෙක් පාර්ශ්ව අදහස් පළ කරනවා. ඔබ  එය දකින ආකාරය කොහොමද?

2020දී තියෙන්නේ ජාතික මැතිවරණයක්. මේක පළාත් පාලන මැතිවරණයක්. 2020 වන විට තවත් දේශපාලන පෙරළි රාශියක් වෙන්න පුළුවන්. ඒ වන විට රටේ ලොකු ලොකු වෙනස්කම් සිදුවෙලා තියේවි.

 Q ඒ කියන්නේ ඒකාබද්ධ විපක්ෂයේ තවත් චරිත ආණ්ඩුවට එකතුවෙන්න සිටිනවාද?

වෙන්න පුළුවන්. ඒ අය කවුද කියලා කියන්න බැහැ.

 Q මේ මැතිවරණයෙන් ජනතාවට වාසියක් අත්වේවිද? එහෙම නැත්නම් තවත් රැවටිලිකාරී මැතිවරණයක් පමණක් වේවිද?

මේක ගමේ ඡන්දයක්  නිසා ගම දියුණු කරන්න අවස්ථාව ලැබෙනවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කරපු ලොකුම දෙයක් තමයි මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම. එයින් ගම දියුණු කරන්න ගමට මන්ත්‍රීවරයෙකු පත්කර ගැනීමට අවස්ථාව ලැබෙනවා. මනාපවලට ගහමරාගන්න අවශ්‍ය නැහැ. ගමට වැඩක් කළ හැකි මැතිවරණ ක්‍රමයක් තුළින්  මන්ත්‍රීවරු හරහා ජනතාවගේ ප්‍රශ්න විසඳීමට මග පෑදෙනවා. පළාත් පාලන ආයතනවලට වැඩි බලයක් ලබාදීමට කටයුතු කර තිබෙනවා.
ගමට ලැබෙන ලක්ෂ 10ක මුදල පසුගිය කාලයේදී ලැබුණා. පසුගිය අවුරුදු දෙකේදී එම මුදල් යොදා ගමේ සංවර්ධන කටයුතු සිදු කළා. ඊට අමතරව තවත් සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් පළාත් පාලන අමාත්‍යා‍යංශය හරහා ඉටුකිරීමට රජය සැලසුම් කර තිබෙනවා. එවැනි ව්‍යාපෘති පසුගිය වසර දෙක තුළදීත් සිදු වුණා. නගර සභා, ප්‍රාදේශීය සභා, ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා තමයි පසුගිය කාලයේ එම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කළේ. ඉදිරියේදී මේ ලබාදෙන ප්‍රතිපාදන ප්‍රමාණය තවත් වැඩි කරන්න පුළුවන්.
ජෝන් අමරතුංග ඇමතිවරයා කියා තිබුණා පොලීසියත් අපේ, රාජ්‍ය බලයත් අපේ, ඒ හින්දා මෙදා පාර අනිත් අයට ඡන්දෙ කරන්න දෙන්නෑ කියලා. රජයේ කැබිනට් ඇමතිවරුන් මැතිවරණය ආරම්භ වීමටත් පෙර  මෙවැනි ප්‍රකාශ සිදුකරද්දී නිදහස් හා සාධාරණ මැතිවරණයක්

 Q අපේක්ෂා කරන්න පුළුවන්ද?

ජෝන් අමරතුංග ඇමතිවරයා කළ ප්‍රකාශය මමත් අහන් හිටියා. එතුමා කිව්වේ පසුගිය මැතිවරණවලදී අපිට බලපෑම් කළා, දැන් ඒ වගේ දේවල් වෙන්න ඉඩ තියන්නෙ නෑ, ඒ වගේ දේවලට ආවොත් ගහලා එළවනවා කියලා. එතුමා කියන්නේ වැරදි කරන්න ආවොත් ගහලා එළවනවා කියලයි. කවුරුත් වැරදි නොකර ඉන්නවා නම් ප්‍රශ්නයක් නැහැ. පාක්ෂිකයන් ශක්තිමත් කරන්න තමයි ඔවැනි කතා කියන්නේ. මින් ඉදිරියට එවැනි ප්‍රකාශ නොකර ඉන්නවා නම් හොඳයි කියා මම හිතනවා.
එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරුන් හා පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ සම්බන්ධීකරණ ලේකම්වරුන් වශයෙන් දැනට කටයුතු කරන විශ්‍රාම ගිය ග්‍රාම නිලධාරීන් පිරිසක් මැතිවරණ රාජකාරි සඳහා බඳවා ගැනීමට යන බව කියමින් ඒකාබද්ධ විපක්ෂය මැතිවරණ කොමිසමට

 Q පැමිණිලි කර තිබුණා. මැතිවරණ සමයකදී සිදුවන මෙවැනි දේ ඔබ අනුමත කරනවාද?

මැතිවරණ කාලයකදී එවැනි කටයුතු කරන්න බැහැ. එය අනුමත කරන්න බැහැ. ග්‍රාම නිලධාරීන්ගේ හිඟයක් තිබෙන බව මම පිළිගන්නවා. ඒ සඳහා නීත්‍යනුකූලව ග්‍රාම නිලධාරීන් බඳවාගත යුතුයි.

 



Recommended Articles